Language Switcher

V2025

ජාතික ආරක්ෂාව කියාගෙන ආවට එළවළු කඩයක්වත් ආරක්ෂා කරන්න බැරි වෙලා !

අද වනවිට එළවළු මිල ඉහළ ගොස් තිබෙන ප්‍රමාණය අනුව ගොවියන්ට තමන්ගේ එළවළු කොරටු රැකගැනීම සඳහා කඩු පොලු තියාගෙන රකින්න වී ඇති බවත් එළවළු වෙළඳසැල් හිමියන්ට එම කඩ මුර කිරීමට සිදුව ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි. 

රටේ ජාතික ආරක්ෂාව සපයන බවට පවසමින් බලයට පැමිණි ආණ්ඩුවට එළවළු කඩයකටවත් ආරක්ෂාව දීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඔහු සදහන් කර සිටියි.නාමල් කරුණාරත්න මේ බව පැවසූවේ ඊයේ (18) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් ඔහු පැවසූවේ රජය සතුව අඩුම තරමේ එළවළු කිලෝ පහක් කල් තබාගැනීමට හැකි ගබඩා පහසුකම් සහිත සීතාගාරයක් නොමැති බවය. 

පසුගිය මාස කිහිපයකට පෙර එළවළු විකුණාගැනීමට නොහැකිව දන්සැල් දෙන තත්වයක් උදාවූ බවත් මේ වනවිට එළවළු ගිණි ගණන් ගියත් ඉදිරියේ තවත් මාස කිහිපයක් යන විට එළවළු විකුණාගැනීමට නොහැකිව යළිත් කොරටු අතහරින තත්වයට, එළවළු දන්සැල් දෙන තත්වයට පත්වන බවය.

මෙය විකෘතියක් බවත් අපේ රටේ එළවළු සහ පළතුරුවලින් 40%ක් විනාශවන බවත් නාමල් කරුණාරත්න අවධාරණය කළේ ය.

වගාවන් පිළිබඳව කිසිම නියාමනයක්, මගපෙන්වීමන් නැති බවත් ගොවියා තමන්ට හිතෙන ආකාරයට වගා කරන බවත් පෙන්වා දෙන ඔහු වැඩිදුරටත්   සඳහන් කරන්නේ ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂාවන ආකාරයට මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා එළවළු සහ පළතුරු කල් තබාගැනීම, අතුරු නිෂ්පාදන ආදිය සිදු කළ යුතු බවය.