කරූගෙන් තිස්සට ඇමතුමක් : පක්ෂ ප්‍රතිසංධානයේදී එජාප මහ ලේකම් තිස්ස !

කරූගෙන් තිස්සට ඇමතුමක් : පක්ෂ ප්‍රතිසංධානයේදී එජාප මහ ලේකම් තිස්ස !

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී ලැබූ බරපතල පසුබෑම යළි කනපිට හැරවීමට නම් සමස්ථ පක්ෂ ව්‍යුහයේම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් එහිදී තමන් යළිත් පක්ෂයට එක්ව පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරය ලබාදෙන්නේ නම් යළිත් පක්ෂයට පැමිණීමට සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් පිළිබඳ newstube.lk කළ කරුණු විමසීමේදී ඔහු මේ බව පැවසීය.

දිගටම ආරාධනා ලැබෙනවා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේ මේ වන විට පක්ෂයේ ජේෂ්ට නායකයින් කිහිපදෙනෙකුම තමන්ට නැවත පක්ෂයට පැමිණ මහ ලේකම්ධූරය ලබාගන්නා ලෙස අවස්ථා ගණනකදී ආරාධනා කළ බවත් පසුගිය 10 වනදා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ පක්ෂයට එක්වන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි ඉල්ලීමක් සිදුවෙමින් ඇති බවය.

පක්ෂය කොළඹට සීමා වුණා

කෙසේ වුවත් පක්ෂය මේ වන විට ජනතාව වෙතින් ඈතට ගොස් තිබෙන බවත් පසුගිය සාමය පුරා පක්ෂය කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය කොළඹට පමණක් සීමාවූ පක්ෂයක් ලෙස බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මෙවර පක්ෂය ලැබූ බරපතල පසුබෑමට එම කොළඹ පමණයි මානසිකත්වය දැඩිව බලපෑ බවත් එම තත්ත්වය වෙනස් කරන්නට නම් ඉහළ සිට පහළට පක්ෂ ව්‍යුහය පූර්ණ ප්‍රතිසංවිධානය කළ යුතු බවද ඔහු පැවසීය.

පළිගැනීමට ලක්වූවන් ගැන නොසැලකීම ගැටළුවක්

එසේම දශක ගණනාවක් පුරා එක්සත් ජාතික පාක්ෂිකයින් වීම නිසාම දේශපාලන පළිගැනීමට ලක්වූ ක්‍රියාකාරීන් රැසක් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බිහිකර වසර තුනක් ගතවී ඇතත් ඔවුන්ට කිසියම් හෝ යුක්තියක් ඉටුකිරීමට පක්ෂය කටයුතු කර නොමැති බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

පක්ෂයට නවක සාමාජිකයන් එකතුවන්නේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇද කටයුතු කරන අයට පක්ෂය සළකන ආකාරය දුටුවිට බවත් ඒ හේතුවෙන් පසුගිය සාමය පුරා එක්සත් ජාතික පක්ෂයට නවක සාමාජිකයන් එකතු නොවූ බවක් මෙවර මැතිවරණ ප්‍රතිඵල හරහා ඔප්පුවූ බවද ඔහු සඳහන් කරයි.

පක්ෂ නායකයින් බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් ඈත් වුණා

තවද පක්ෂයේ නායකයින් හට බිම් මට්ටමේ සාමාජිකයන් සමඟ සමීප බවක් සහ ඔවුන්ට සමීපවීමට පහසු වටපිටාවක් පවත්වාගත යුතු බවත් නමුත් පසුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කළ බහුතරයක් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට සමීපවීමට තබා එවැන්නක් ගැන හිතන්නවත් නොහැකි අන්දමේ අය බවද ඔහු පැවසීය.

තිස්ස - කරූ අතර දුරකථන සංවාදයක්

මේ අතර නිල නොලත් ආරංචිමාර්ගයක් newstube.lk වෙත දන්වා සිටියේ මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය සහ තිස්ස අත්තනායක මහතා අතර දීර්ඝ දුරකථන සංවාදයක් සිදුවූ බවය.

එහිදී ආණ්ඩු බලය තිබියදී පවා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජය මෙන්ම පක්ෂයේ ඉදිරිය සම්බන්ධව කරුණු ගණනාවක් සාකච්ඡා වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියේය.

එසේම ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය තුළ බරපතල්ල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවද එම ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න