එජාප නායකයා වෙනස් කරන්න ශ්‍රීලනිපයට බෑ : යන අයට යන්න කියන්න - එජාප ඇමතිවරු දුම්මල වරම අතට ගනී

එජාප නායකයා වෙනස් කරන්න ශ්‍රීලනිපයට බෑ : යන අයට යන්න කියන්න - එජාප ඇමතිවරු දුම්මල වරම අතට ගනී

රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයාව පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින බවත් එම පහත් උත්සාහය නැවත්වූයේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම වැළක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු newstube.lk වෙත පැවසීය.

පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ newstube.lk සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා ඒ බව පැවසූ අතර අදාළ කුමන්ත්‍රණයට සහය දක්වන අයෙකු අද (11) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍යධූරය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බව තහවුරුව ඇති බවද එජාප ප්‍රබලයා පැවසීය.

තනි කොළ ආණ්ඩුවකට සුදානම්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් ගැන සාකච්ඡාවක් හෝ ඉදිරියේ මතු කළ හොත් තම පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍යධූරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය තුළ පොදු එකඟතාවක් ඇති බවය.

එසේම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මුලස්ථානයට රැස්ව සිටින එජාප ප්‍රබලයින් රැසක් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම සහ "තනි කොළ ආණ්ඩුවක්" පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් ඊට අදාළ එකඟතා සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

අගමැති රකින්න ජ්‍යෙෂ්ඨයින් සඵත වෙයි

එහිදී සිය සාකච්ඡාවේ තීන්දු තීරණ රැගෙන අග්‍රාමාත්‍යවරයා හමුවූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍යධූරය ආරක්ෂාකරදීම වෙනුවෙන් සමස්ථ පක්ෂයම පෙළගැස්සවීමට කටයුතු කරවන බවය.

එසේම ශ්‍රීලනිපය තුළ සිටිමින් හිටපු ජනාධිපති සමඟ රහස් සම්බන්ධතා පවත්වන පාර්ශව වල අවශ්‍යතාව අනුව ජනාධිපතිවරයා හසුරවන තත්ත්වයක් පසුගිය සමය තුළ පෙනෙන්නට ලැබුණු බවත් ජනාධිපතිවරයාද එම උපදෙස් අනුව හැසිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල අවාසියක් සිදුවූ බවද එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට එජාප ප්‍රබලයින් කටයුතු කර ඇත.

ආය ආණ්ඩුවේ ඉන්න ගමන් අගමැතිට ගැහිලි බෑ

එහිදී වැඩිදුරටත් එජාප ප්‍රබලයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇත්තේ ඉදිරියේ දී ආණ්ඩුවේ කිසිවකු අග්‍රාමාත්‍යවරයාව ප්‍රසිද්ධියේ විවේචනය නොකළ යුතු බවත් කිසියම් හෝ ප්‍රශ්නයක් ඇත්නම් කැබිනට් මණ්ඩලය තුළ එම ප්‍රශ්න සාකච්ඡාකර විසඳාගත යුතු බවය. එසේම කිසිවකු හෝ එවැනි කැබිනට් සාමුහිඛත්වය තුළ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ට එරෙහිව තදින් ක්‍රියා කළ යුතු බවත් පක්ෂය වෙනස් වූ පමණින් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයාට ගරු නොකරන කිසිවකු ආණ්ඩුවේ තබා ගැනීම පාක්ෂිකයන් නොයිවසන බවද ඔවුන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

ඉන්න බැරි අයට යන්න කියන්න

තවද පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිප - සන්ධාන ගිවිසුම දීර්ඝ නොකළ යුතු බවත් රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධ කටයුතු වලදී ද එජාප ප්‍රතිපත්තියට ශ්‍රීලනිප පාර්ශව විරුද්ධ නම් ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස දැන්විය යුතු බවද එජාප ප්‍රබලයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇත.

එසේම ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවන අවස්ථාවේදී තම සූදානම පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙසත් ආණ්ඩුව සමඟ ඉදිරියේදී කටයුතු කරනවා නම් එක් ආණ්ඩුවක් ලෙස වගකීමකින් යුතුව හැසිරිය යුතු බව එහිදී එකඟතාවකට පැමිණිය යුතු බවද එජාප ප්‍රබලයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට ඇති බවද වාර්තා වෙයි.

වගකීමෙන් වැඩකරන්න : ජනාධිපතිටත් කියන්න

පසුගිය මැතිවරණ අවස්ථාවේ ජනාධිපතිවරයා පවා එජාප නායකත්වය විවේචනය කළත් යහපාලන සම්මුති ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම පාර්ශවය දැඩි කැපවීමක් කරමින් ජනාධිපතිවරයා විවේචනය නොකළ බවත් ඉදිරියේදීවත් එකට ආණ්ඩු කරනවා නම් 2015 ජනවාරි 08 ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් කැපවිය යුතු බවට ජනාධිපතිවරයාවද දැනුවත් කළ යුතුව ඇති බව එජාප ප්‍රබලයින් අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න