Language Switcher

V2025

බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නෑ : ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා - අනුර කුමාර

ආණ්ඩුව ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප‍්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමාලෝචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ 11 වනදා පැවති මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මෙම අදහස් පළකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ 2015 ජනවාරි 08 දා ජනතාව විසින් අපේක්ෂා කළ කාර්යයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය වසර 3ක කාලය පැමිණ ඇති බව මෙන්ම ආණ්ඩුව අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග ප‍්‍රතික්ෂේප කිරීමත් ජනවාරි 8 ජනතාවගේ අපේක්ෂා සියල්ල ඉටුකිරීමට අසමත් වූ ආණ්ඩුව සම්බන්ධ ජනතාවගේ ප‍්‍රතිචාරයත් මෙම ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කර ඇති බවය.

එසේම ජනවාරි 08 දා පරාජයට පත්කරන ලද දුෂ්ට බලවේග නැවත හිස එසවීමක් මෙම මැතිවරණ ප්‍රතිඵලය හරහා පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කරයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ නායකයා මෙසේද පැවසීය.

දුෂ්ට බලවේගය හිස ඔසවලා

"එම දුෂ්ට බලවේගය මහජනයාගේ ධනය තමන්ට රිසිසේ කොල්ලකන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරුන් නෙරපා දැමූ, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසූ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, බලය වෙනුවෙන් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමට නොපැකිලූණු බලවේගයක් බවත් මේ රටේ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ කරන ලද කණ්ඩායමක්. තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් සියල්ල පාවිච්චි කරන ලද බලවේගයක්. ඔවුන්ට නැවත හිස එසවීමට හැකි වාතාවරණයක් මෙම පළාත් පාලන මැතිවරණයෙන් ලැබී තිබෙනවා."

මේ පළාත් පාලන මැතිවරණය පැමිණෙන විට රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟී තිබුණා. ආණ්ඩුවේ පරිපාලනයට එරෙහිව, සහනාධාර කප්පාදුවට එරෙහිව ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒ වගේම වංචා-දුෂණවලට එරෙහිව හඬක් නැගෙමින් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට මේ ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධයට සාපේක්ෂව ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කළා. මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ, පක්ෂයක් ලෙස අපි අපේක්ෂා කරන ලද බලය මෙම ප‍්‍රතිඵලය තුළ නොමැති බවයි.

කෙසේ වුවත් 2011 පළාත් පාලන මැතිවරණ සමග සංසන්දනය කර බලන විට, මන්තී‍්‍ර සංඛ්‍යාවේත්, ඡන්ද ප‍්‍රමාණයේත් සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. 2015 මැතිවරණයට සාපේක්ෂව බැලූවොත් ජවිපෙ ඡන්ද ප‍්‍රතිශතයේත්, ඡන්ද ප‍්‍රමාණයේත් වර්ධනයක් ඇතිකර ගැනීමට අප සමත්වී තිබෙනවා.

මෙම ප‍්‍රතිඵලය ලබා ගැනීමේදී අපේ රටේ බොහෝ පිරිස් ඊට දායකත්වය දැක්වුවා. විශේෂයෙන් කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබාදීමට විශාල කාර්යභාරයක් කළා. අප පක්ෂයක් ලෙස ඔවුන්ටත්, අපට ඡන්දය ලබාදුන් ජනතාවටත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ජවිපෙ සහය කාටදැයි තීරණයක් නෑ

පළාත් පාලන පනත අනුව සභාවකට සභාපති හෝ ප‍්‍රධාන තනතුරට පත්වීම සඳහා මන්තී‍්‍රවරුන්ගේ ඡන්දය අවශ්‍ය වෙනවා. අපි කිසිවෙකුට සහායදීම පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා අපේ මහජන නියෝජිතයාට පැවරී තිබෙන්නේ, ප‍්‍රදේශයේ පොදු ජනතාවට යුතුකම් ඉටුකිරීම බව. එම කටයුත්ත පළාත් පාලන ආයතන තුළ කිසිසේත් අවතක්සේරු වීමට ඉඩ නොතබා මහජනතාවට ඉටුවිය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට අපේ මහජන නියෝජිතයන් කැපවී සිටිනවා. එසේ නොමැතිව පළාත් පාලන ආයතනවල ආණ්ඩුව හදන්නේ කවුද? එය කවරාකාරද? යන්න පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කවුරුන් ආණ්ඩුව හැදුවත් එහි ප‍්‍රතිඵලය කුමක්දැයි අපි දන්නේ නැහැ.

ඉදිරියේදී අරාජික තත්ත්වය වර්ධනය වේවි- ටිල්වින්

එහිදී ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද අදහස් දැක්වූ අතර පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවා තව වසරක් පමණ ගතවන විට ඒවායේ ජීවත්වන ජනතාවට මහින්ද පාලනය විසින් තමන්ට අහිමිකර ඇත්තේ මොනවාදැයි දැනගැනීමට හැකිවනු ඇති බවත් පළාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් සිදුකර ගැනීමට තිබූ අවස්ථාව ජනතාවට අහිමිවී තිබෙන බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙසේ සිය අදහස් දැක්වීය.

"මෙම මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පක්ෂයක් ලෙස අපට නොව මෙම ආයතනවලින් සේවය ලබාගැනීමට සිටි ජනතාවට විශාල පාඩුවක් වී තිබෙනවා. මීට වසර 04කට කලින් මේවායේ පාලනයේ සිටියේත් ඔවුන්මයි. නැවත පැමිණෙන්නේත් ඔවුන්මයි. එමනිසා ජනතාවට නැවත වරක් එම අත්දැකීමම විඳගන්නට සිදුවේවි. තමන්ට දිනාගන්නට තිබූ යමක් අහිමි වූ බව ජනතාවට අවසානයේ තේරුම් යාවි.

පසුගිය අවුරුදු දෙක තුළත් අපේ රට දේශපාලනය තුළ අරාජිකත්වයක් තිබුණා. ජනපති හා අගමැති අතර ගැටුම්කාරී තත්වයක් තිබුණා. ඔවුන් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා, ජනතාවගේ උවමනාවන් ඉටුකිරීම සම්පූර්ණයෙන් පසෙකට ගියා. ලැබූ ජනවරම මුළුමනින්ම පසෙකට දැමුවා. ඒ නිසාම තමයි පරාජයට පත්වූ බලවේගයන්ට හිස ඔසවන්නට අවස්තාව ලැබුණේ. මෙම අරාජිකත්වය ඉදිරියේදීද නිමා වන්නේ නැහැ. එවැනි අරාජික තත්වයක් ජනතාවට වාසිදායක ආකාරයට කළමනාකරණය කරගැනීමට අපි කටයුතු කරනවා. මේ තාවකාලිකව බලය ගත්ත අයට මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න කිසිවක් විසඳන්න බැහැ. ඒ අනුව මේ රටේ ප‍්‍රශ්න විසඳන්න සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. ඒ විශ්වාසය මත අප ඉදිරියට යනවා.