Language Switcher

V2025

රනිල්ගේ නායකත්වයෙන් එජාප තනි ආණ්ඩුවක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි අද (12) පැවති එජාප අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී යෝජනා වී ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉරිදා (පෙබරවාරි 11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා තිබේ.

80053 1

"ජනාධිපතිතුමා ඔබතුමන්ලට කියන්න කිව්වා දැනෙන වෙනසක් කරනවා කියලා," යනුවෙන් අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේය.

ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති තනතුරට පත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම සාකච්ඡාවට එක්වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ සිදුකරනු ඇතැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සඳහන් කළහ.

 පරාජයට මුලික හේතුව ?

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් හා අගමැතිවරයා අතර හමුවක් ද ඊයේ සවස අරළිය ගහ මැදුරේ පැවැත්විණි.

එහිදී අගමැතිවරයා ඉවත්වීම ගැන කිසිවක් සාකච්ඡා නොකෙරුන බව එයට එක් වූ අමාත්‍යවරයෙක් බීබීසියට පැවසීය.

පරාජයට හේතු වූ කරුණු අතර ජනාධිපතිවරයා මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ වාග් ප්‍රහාර මූලික හේතුවක් වූ බව එහිදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීම ද පරාජයට එක් හේතුවක් බව අවධානයට ලක් වී තිබෙන අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව එහිදී ඉදිරිපත් වී තිබෙන එක් යෝජනාවකි.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කරන ඉල්ලීම් අනුව අගමැති ධුරය හෝ එක්සත් ජාතික පක්ෂ ඇමතිකම් වෙනස් කිරීමට යෝජනා කළහොත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි යෝජනා කිරීමට එහිදී තීරණය කෙරුණු බව සාකච්ඡාවට සම්බන්ධ වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

එජාප නායකත්වයේ අර්බුදයක් !

watermark 99661

සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී

මේ අතර මැතිවරණ ප්‍රතිඵලය සමග එක්සත් ජාතික පක්ෂය තුළ ද නැවත නායකත්වයේ අර්බුදයක් හට ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව එම පිරිසේ මතය වී තිබේ.

ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් බීබීසියට තහවුරු කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී කතානායක කරු ජයසූරිය මහතා තාවකාලිකව පක්ෂ නායකයා ලෙසින් පත් කළ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබීර් හෂීම් යෝජනා කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

එම පුවත සත්‍යයක් දැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය කියා සිටියේ වෙබ් අඩවියේ එවැනි වාර්තාවක් පළ වී තිබෙන දුටු නමුත් කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීමක් තමන්ට පැවරී තිබෙන බැවින් පක්ෂයේ කටයුතු පිළිබඳ කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවූ බවය.

ජාතික ආණ්ඩුවේ අනාගතය ?

මේ තත්වය යටතේ ඉරිදා (පෙබරවාරි 11) සවස ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා වූයේ කුමක් දැයි තවමත් වාර්තා වී නැත.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඉරිදා බීබීසියට පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තමන් පැහැදිලි කර දුන් බවය.

මෙම ඡන්දයේ ජාතික ආණ්ඩුවේ බලවේගවල ජන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ පාර්ශවයට වඩා වැඩි බව ඔහුගේ තර්කය වී තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ජන්ද ලක්ෂ 50කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්විය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදියුද්දීන්ගේ පක්ෂය ලබාගත් ජන්ද සංඛ්‍යාවේ එකතුව එයට වඩා වැඩි බව ඇමතිවරයා පැවසීය.

2015 ජනවාරි 8 බලවේග වන දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද එකතුකළහොත් එම ප්‍රමාණය ජන්ද ලක්ෂ 10කට වැඩි නිසා ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට මෙවර ප්‍රතිඵලය බාධාවක් නොවන බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

ඉදිරි ගමන ගැන තීරණාත්මක තීන්දුවලට:

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තීරණාත්මක තීන්දුවලට එළඹීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණවලට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන්නේ නම් ඔවුන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 105ක් සිටින අතර අවශ්‍ය අවස්ථාවල දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මතය වී තිබේ.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)