ශ්‍රී ලංකා රේගුවේ මුල් පුටුවත් හමුදා නිලධාරියෙකුට : වෘත්තීය සමිති කෝ සද්දේ ?

ශ්‍රී ලංකා රේගුවේ මුල් පුටුවත්  හමුදා නිලධාරියෙකුට : වෘත්තීය සමිති කෝ සද්දේ ?

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවීප්‍රිය පත් කර ඇත. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය යුද හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ තනතුරු රාශියක් හොබවා තිබේ.

මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අවසන් වරට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති තනතුර ද හොබවා ඇත.

රටේ ප්‍රධාන ආයතන රාශියකට හිටපු හමුදාපතිවරුන් පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (19) පැවසිය. ඒ, විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව, ජනතාව හමුවේ තමා කියාසිටි “සුරක්‍ෂිත රට” බිහි කිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එහිදී අවධාරණය කළේය.

මංගල එදා හමුදා නිලධාරියෙක් පත්කළ අවස්ථාවේ  තිබූ වර්ජන කෝ ?

කෙසේවුවද යහපාලන ආණ්ඩු සමයේදී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය වෙනුවට විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු පත්කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන ලෙස එම රජයට බලකරමින් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිය.

රේගුවේ වෘත්තීය සමිති දින ගණනාවක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එයින් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සඳහන් කරමින්, පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් වසා දමමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවා රජයට විරෝධය පළකළේය.

ඒ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමර්ගවලට එළඹීමට පියවර ගන්නා බව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ද රජයට බලපෑම් කරනු ලැබිය. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ වී ඇති බව පවසමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද නිවේදන පිට නිවේදනය නිකුත් කළේය.

එම විරෝධතා හමුවේ සිය තීරණය හකුලා ගනිමින්, චාල්ස් මහත්මිය නැවත එම ධූරයට පත්කිරිමට මුදල් ඇමතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න