Language Switcher

V2025

 මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් :  ජිනීවා වෙතින් ලංකාවට රතු එළියක් !

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව මෙමගින් පෙන්වා දෙයි.

එළඹෙන පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් සකස් කළ මෙම වාර්තාව මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

ශ්‍රී ලංකාව පිළිබඳ එම වාර්තාවේ හැඳින්වීම ඔස්සේ අවධාරණය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වය යටතේ 2015දී සම්මත කරගත් 30/1 යෝජනාවේ සම්මත අරමුණු මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වින්දිතයන්ට දඬුවම් ලබාදීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන්ට නැවත ගමන් නොකරන බවට සහතික වීම සහ සාමකාමී, තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් සඳහා කඩිනමින් යා යුතු බවය.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයි සඳහන් ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳවද අවධානය යොමු කර ඇත. පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පත්කළ (2020 ජනවාරි 09 දින) ජනාධිපති කොමිසම මගින් 2008-2009 වර්ෂවල කොළඹදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාම පිළිබඳව විභාග වන නඩුව (නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව) අත්හිටුවන ලෙස නීතිපතිවරයාට බලපෑම් කර ඇතැයි මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

එසේම වෙනත් ඉහළ පෙළේ නඩු කිහිපයක්ම විභාග කළ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීම සහ මාරු කිරීමද වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. එසේම පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබේනම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපනය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කිරීමද පිළිගත නොහැකි බව වාර්තාව ප්‍රකාශ කරයි.

තවද පසුගිය ජාතික නිදහස් දිනය දා එතෙක් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණු ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම මහකොමසාරිස්වරයාගේ කනගාටුවට හේතු වී ඇතැයිද එහි සඳහන් වේ.

මෙම සිදුවීම් හේතුවෙන් අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත සිදු නොවන බවට ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු සහතිකයක් නොමැති බව මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවේ අවසාන වෙද්දී අවධාරණය කර ඇත.

– aruna