පාර්ලිමේන්තු මැතිවරණය සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු අප්‍රේල් මස පැවැත්වීම ගැන කෙරෙන කතා සමග මැතිවරණ ප්‍රතිපල ගණන් හැදීමත් ඇරඹී ඇත. රාජපක්ෂ ත්‍රිත්වය (ඇත්ටම චමල් හා නාමල් සමග 05 ක්) පෙරමුණ ගන්නා “පොහොට්ටුව” පක්ෂයට මෙවර ආසන 130 ක් පමණ ලැබේ යැයි අයෙකු මා සමග පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේ තමන්ගේ ගණන් හැදීමේ අඩුව වූයේ ගෝඨාභය ඡන්ද ලක්ෂයක් පමණ වැඩියෙන් ගැනීම යැයි උදම් ඇනූ ඔහු මා සමග කියූවේ, සජිත්ගේ නායකත්වයෙන් තරග වදින සන්ධානයෙහි එ.ජා.පට ලැබෙන්නේ ආසන 58 ක් පමණක් බව ය.
ඔහුගේ ගණන් හැදීමට අනුව රාජපක්ෂලා කතා කරන තුනෙන් දෙක නැතැයි මා කියූ විට ඔහු සිනහ විය. ස්ථාවර බහුතර ආණ්ඩුවක් රාජපක්ෂලා පිහිටුවීම, එ.ජා.පට පැහැදිලි පණිවුඩයක් දෙනු ඇතැයි ඔහු කීවේ, ඉදිරි දසකයකට වැඩි කලක් එ.ජා.පය විපක්ෂයේම සිටිනු ඇතැයි කීමෙනි. එයම රාජපක්ෂලාට තුනෙන් දෙක හදා ගැනීමට ප්‍රමාණවත් වන්නේ යැයි ඔහුගේ තර්කය විය. එහි සත්‍යයක් ඇත. අපහාසාත්මක හා උපහාසාත්මක වචන වලින් හැඳින්වෙන ජාවාරම්කාර “පක්ෂ මාරු කිරීම්” සමග එය අද සාමාන්‍ය පුරුද්දක් බවට පත් වූවකි. තමන්ගේ පක්ෂය එළෙසින් ආණ්ඩු හැදීම අනුමත කරන සහ වෙනත් පක්ෂයක් නම් කෑ කොස්සන් ගසා නිහඬවන සමාජයක එය, ඊළග මැතිවරණයේදීත් සිදුවිය හැක්කකි.
පක්ෂ මාරු කිරීම් බුරුතු පිටින් සිදුවීමට මුල පිරුවේ රෝහිත බෝගොල්ලාගම 2004 නොවැම්බරයේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක දිවුරුම් දීමත් සමගය. විපක්ෂයේ එ.ජා.ප මන්ත්‍රීවරයෙකු වූ ඔහු පිල් මාරු කිරීම හේතුවෙන් එ.ජා.පයෙන් අස්කරනු ලැබිණ. එය පක්ෂයේ මහ ලේකම් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් වෙත අවශ්‍ය පියවර සඳහා දැනුම් දෙනු ලැබීය. ව්‍යවස්ථාවට අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු වූ අතර, කුරුණැගල දිස්ත්‍රික්කයේ එ.ජා.ප ලේඛනයේ ඊළගට වැඩි මනාප ගෙන තිබූ අපේක්ෂකයා මන්ත්‍රී ලෙස පත් කළ යුතුව තිබිණ. එහෙත් පක්ෂයෙන් අස් කිරීමට එරෙහිව බෝගොල්ලාගම ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී. එස් විජේසිංහගේ පැහැදිලි කිරීම වූයේ ඔහුගේ සේවාදායකයා හැම විටම බහු පක්ෂ ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටි බවත්, එවැනි ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව මල්වතු අස්ගිරි මහ නායකයින් පවා අනුමත කර ඇතැයි යන්න ය. එවගේම ඔහු එ.ජා.පයෙන් ඉවත්ව නැතැයිද ජනාධිපති නීතිඥ විජේසිංහ අධිකරණයට පැවසීය. ඔහු තව දුරටත් පැවසූයේ විපක්ෂයේ එ.ජා.ප මන්ත්‍රීවරුන්ට මහජන සේවා නිලයක් දැරීමේ කිසිදු තහනමක් නැති බවත් ඒ අනුව ඇමති ධූරයක් දැරීමටද තහනමක් නැති බවය. එවගේම බෝගොල්ලාගමට එරෙහිව නිසි විනය පරීක්ෂණයක් නොවූ බවද ජනාධිපති නීතිඥ විජේසිංහ දැන්වීය.
ජයවර්ධන ජනාධිපතිගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පක්ෂයෙන් අස්කිරීම හේතුවෙන් මන්ත්‍රී ධූරය අහිමිවීම සම්බන්ධ එවැනි පළමු අභියෝගය කරනු ලැබූයේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී තිලක් කරුණාරත්නය. ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී.ල.නි.ප නායිකා බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ඔහු 1993 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය. ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේද ජනාධිපති නීතිඥ විජේසිංහ ය. එහි සාකච්ඡාවට ගැණුනු මූලික සංකල්ප දෙකක් විය. එකක් “නිදහස් වරම” සම්බන්ධ සංකල්පය විය. අනෙක “නියත වරම” පිළිබඳව විය. “නිදහස් වරම” සමග මන්ත්‍රීවරුන්ට ජාතික වැදගත් කමක් ඇති කාරණා වලදී තම “හෘදය සාක්ෂියට” අනුව පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමේ වරමක් ඇතැයි පිළිගනු ලැබේ. එනිසා ඔහු හෝ ඇය පක්ෂයේ මතයට යටත් වූ හුදෙක් පක්ෂයේ ප්‍රකාශනයක්ම නොවේ යැයි පිළිගනු ලැබේ. ඒ වෙනුවෙන් බොහෝ විට උපුටා දැක්වෙන්නේ බිරතාන්‍ය සටන්කාමී ලිබරල්වාදී මන්ත්‍රීවරයෙකු වූ ජෝන් බ්‍රයිට් වරක් 1888 දී කියූ “මට මගේ හෘදය සාක්ෂිය මත මම එළඹෙන තීරණයක සිටීමේ අයිතිය තිබිය යුතුයි. පක්ෂ නායකයින්ගේ කට හඬ වන්නට මට නොහැක” යන ප්‍රකාශය වේ.
ඊට වෙනස්ව “නියත වරම” සංකල්පය ජයවර්ධන ජනාධිපතිගේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික පදනම වන්නේය. මැතිවරණ ක්‍රමය හා නීතියද ඒ අනුව ඔහු වෙනස් කෙරුවේය. අනුපාත ඡන්ද ක්‍රමයෙහි පක්ෂය ප්‍රධාන තේරීම ලෙස තැබුවේද ඒ වෙනුවෙනි. ඒ සමග එය සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඳුරා වෙනස් විය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දේශපාලන පක්ෂ විසින් අපේක්ෂකයින් ඉදිරිපත් කළද, ජනතාව ඡන්දය දුන්නේ ඔවුන්ගේ තේරීම අනුවය. එහි 24(1)(අ) සිට (ඉ) දක්වා වන ව්‍යවස්ථා වගන්ති කිසිවක ආසනය අහිමිවීමට හේතුවක් ලෙස “පක්ෂයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම” ගැන සඳහනක් නැත. එබැවින් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “නිදහස් වරම්” ලබන මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට සිය “හෘදය සාක්ෂිය” මත පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කිරීමේ අයිතිය තිබිණ. පක්ෂ හෝ පැති මාරුකිරීමද ඒ අනුව ආසනය අහිමිවීමට හේතු නොවුනි. 1951 දී බණ්ඩාරනායක සමග විපක්ෂයට ගිය ඩී.ඒ. රාජපක්ෂට එ.ජා.පයේ සාමාජිකත්වය අත හැරි පමණින් ආසන අහිමි නොවුනේ එබැවිනි. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකු වූ සී.පී. ද සිල්වා 1964 දී තවත් මන්ත්‍රීවරුන් 14 ක් සමග ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දී විපක්ෂයේ අසුන් ගත් පමණින් ඔවුන්ගේ ආසන අහිමි නොවුනි.
සෝල්බරි ව්‍යවස්ථාවේ 24(1) යටතේ ඇති ප්‍රතිපාදන වලට පූර්ණ වශයෙන් වෙනස් අයුරින් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වන්නේ මන්ත්‍රීවරයෙකු තරග කළ “දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක” ඔහු විසින් ඊට විරුද්ධව මාසයක කාලයක් ඇතුළත අධිකරණයට නොගියේ නම්, “ඔහුගේ අසුන හිස් වන්නේ ය” යනුවෙනි. [1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) (අ)] ඒ අනුව නියත වශයෙන්ම මන්ත්‍රී ධූරය පිළිබඳ මූලික අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂ වලටය. මන්ත්‍රීවරයෙකු අස්කිරීමෙන් හිස්වන ආසනය සඳහා අතුරු මැතිවරණයක් නොමැතිව තම අපේක්ෂක ලැයිස්තුවෙන් පුරප්පාඩුව පිරවීමේ ව්‍යවස්ථානුකූල අයිතිය ඇත්තේ අදාල දේශපාලන පක්ෂයට ය.
බෝගොල්ලාගමගෙන් පසුව එවැනි තවත් නඩු කිහිපයක් විය. අමීර් අලි එරෙහි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස, කෙහෙළිය රඹුක්වැල්ල එරෙහි එ.ජා.පය, මහින්ද සමරසිංහ එරෙහි එ.ජා.පය පෙත්සම් විභාගයන්හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධූරය අහෝසි නොකළ නඩු කිහිපයකි. මන්ත්‍රීවරයෙකු පක්ෂයේ හුදු ප්‍රකාශකයෙකු නොවේය යන සාධකය මේවායේ සැළකිල්ලට ගත් කාරණාවකි.
මා දකින හැටියට මෙහි වැදගත්ම කාරණාව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන පක්ෂය තීරණාත්මක සාධකය ලෙස ඇති පිළිගැනීම සමග මැතිවරණ නීති ඒ මත සකසා ඇති විටෙක, “නිදහස් වරම” සංකල්පය සහ “නියත වරම” සංකල්පය යන දෙකට සහජීවනයක් නීතිය හමුවේ තිබිය හැකිද යන්නය. එවැන්නකට ඉඩ ඇතැයි මම විශ්වාස කරමි. එහෙත් එවැනි සහජීවනයක් තිබිය හැක්කේ “නිදහස් වරම” සමග ලැබෙන “හෘදය සාක්ෂිය” මත ජාතික වැදගත්කමක් ඇති කාරණාවකදී මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට තම ඡන්දය පාවිච්චි කරන්නට ඇති අයිතිය, ඉන් ඔබ්බට වලංගු නොවන තාක් පමණි. මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට හෘදය සාක්ෂිය මත සිය ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස දේශපාලන පක්ෂ විසින් තම පක්ෂ සංවිධානයන්හි සහ පාර්ලිමේන්තුවේදී පිළිගත යුතුය. එළෙසින් විසම්මුතියකට මුල පුරන මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට සිය මතය පක්ෂයෙහි සාකච්ඡා කිරීමටත් අවකාශ තිබිය යුතුය. එවැනි සංවාදයක් ආරම්භ කිරීමේ වගකීමද එවැනි මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක් බාර ගත යුතුය. එහෙත් එය දේශපාලන පක්ෂ මාරු කරන්නට හෝ ජනතාවගේ ඡන්දයේ පරමාධිපත්‍ය විකෘතිවන ආකාරයේ පැති මාරුවකට ලැබෙන වරමක් නොවන බවද තේරුම් ගත යුත්තකි.
එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා සම්ප්‍රදායක් අපේ රටේ නැත. එහෙත් පාර්ලිමේන්තුවෙහි හෘදය සාක්ෂිය මත ඡන්දය පාවිච්චි කරන්නට ඇති අයිතිය මත දේශපාලන ලැදිකම් වෙනස් කරමින් තවදුරටත් මන්ත්‍රී ධූරයේ සිටින්නට අයිතියක් නැති බැව් පැහැදිලිව තේරුම් ගත යුත්තකි. ඒ කාරණා දෙකකි. ජාතික වැදගත්කමක් ඇති කාරණාවකදී හෘදය සාක්ෂිය මත තීන්දුවක් ගැනීම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පෞද්ගලික අයිතියකි. එහෙත් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවට එන්නේ ජනතාව විසින් තීන්දු කරන්නාවූ දේශපාලන වගකීමක් සහිත නියෝජනය වෙනුවෙනි. ජනතාවගේ ඡන්දය මත ඔහු හෝ ඇය විපක්ෂ මන්තීවරයෙකු ලෙස ඒ ජනතාව නියෝජනය කිරීමට තේරී පත් වූ විට, ඔහුගේ හෝ ඇයගේ තනි හිතුවක්කාර තීන්දුවක් මත ඡන්දදායකයාගේ නියෝජනය අත හරින්නට ඔහුට හෝ ඇයට අයිතියක් වගකීමක් නැත. එය අනුපාත ඡන්ද ක්‍රමය යටතේ “නියත වරමට” යටත් වන්නකි. ඡන්දදායකයා පළමුව තෝරා ගන්නේ දේශපාලන පක්ෂය වන බැවින් ය.
“නිදහස් වරම” මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීම දක්වා දිගු කිරීමෙන් පාර්ලිමේන්තු නියෝජනයේ සංයුතිය ජනතා පරමාධිපත්‍ය අහෝසි කෙරෙන ඉතා දූෂිත ක්‍රියාවලියක් බවට පත්වීම පසුගිය දසක දෙකක පමණ කාලයේ අප ලද අසික්කිත අත්දැකීමකි. ඒ හේතුවෙන් ජනතාවගේ ඡන්දයකින් තොරව ආණ්ඩු හදා ගැනීමටත් සුළුතර ආණ්ඩු වලට බහුතර බලයක් පාර්ලිමේන්තුවේ තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබිණ. 2006 දී කරු ජයසූරියගේ නායකත්වයෙන් විපක්ෂයේ එ.ජා.ප මන්ත්‍රීවරුන් 17 ක් රාජපක්ෂ ආණ්ඩුවට එකතු වීමත් 2015 ජනවාරියේ ජනාධිපතිවරණයෙන් පසු මන්ත්‍රීවරුන් 43 කින් එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවීමත් එවැනි අසික්කිත දේශපාලන පෙරැළිය. 2018 ඔක්තෝම්බරයේදී ජනාධිපති සිරිසේන ඔහුගේ මනාපයට ආණ්ඩු මාරුකර අගමැතිවරයෙකු පත් කිරීමත් ඒ සමග එ.ජා.ප මන්ත්‍රී වසන්ත සේනානායක ඇමති ධුර සඳහා කිහිප වර වැට පැනීමත් අපි දුටුවෙමු. රාජපක්ෂ ආණ්ඩුව තහවුරු කර ගැනීමට තවත් විපක්ෂ මන්තීවරුන්ට ඇමති ධූර ලබා දීමට ගත් උත්සාහ ගැනද අපි ඇසූවෙමු.
පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයෙන් පසු දැන් ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂ ආණ්ඩුවකි. එයද ජනතා ඡන්දයකින් පත් කෙරුණු ආණ්ඩුවක් නොවේ. රනිල් වික්‍රමසිංහගේ එ.ජා.පය ප්‍රමුඛ ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් ගණනාවක් වත්මන් අගමැති රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිකම් දරන්නේ ජනතාවගේ තීන්දුවක් මත නොවේ.
මේ දේශපාලන අච්චාරුවෙහි ශ්‍රී ලංකා පොදුජන පක්ෂ ආණ්ඩුවක් හැදෙන්නේ කෙසේද? මේ පාර්ලිමේන්තුව ජනතා ඡන්දයෙන් පත් කෙරුණු 2015 අගෝස්තු මැතිවරණය සමයේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය යැයි පක්ෂයක් මේ රටේ නොවුනි. ඒ මැතිවරණයට ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ අතුරින් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබූයේ එ.ජා.ප නායකත්වය ගත් යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී.ල.නි.ප නායකත්වය දැරූ එක්සත් ජනතා නිදහස් පෙරමුණත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් ජ.වි.පෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ දේවානන්දගේ ඊ.පි.ඩී.පියත් පමණි. මේ දේශපාලන පක්ෂ හා සන්ධාන ආණ්ඩුවේ සහ විපක්ෂයේ දැන් ඉන්නේ කොතැනදැයි කිව හැක්කේ කාටද? ඔවුන් කොතැන සිටියත් ඒ කිසිවකට ජනතාවගෙන් ඡන්ද වරමක් නොලැබුණි.
පාර්ලිමේන්තුවේ එවැනි පිණුම් ගැසීම් සඳහා පොදු අවසරයක් තහවුරු කිරීම සමග අප දැන් පැමිණ ඇත්තේ ජනතාව විසින් තෝරා පත්කරන පාර්ලිමේන්තුවේ බල තුලනය හඩු ජාවාරම්කාරයින්ට සහමුලින් වෙනස් කළ හැකි ඉතා අශීලාචාර, අවිචාර යුගයකටය. මේ පිණුම් ගැසීම් පිළිබඳව අප අලුතින් සළකා බැලිය යුතුව ඇත. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට “නිදහස් වරම” සමග කෙතරම් දුර යාමට ඉඩ දෙන්නේද යන්න සහ ජනතාවගේ පරමාධිපත්‍ය සමග ඡන්දයේ වටිනාකම තහවුරු කිරීමේදී “නියත වරම” කෙතරම් ස්ථාවර වරමක් විය යුතුද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි කියවිය යුතුව ඇත. කෙටියෙන්ම කියන්නේ නම්, ඊළග මැතිවරණයෙන් පසු ජනතාව තෝරා පත් කරන පාර්ලිමේන්තුවේ බලතුලනය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම වෙනුවෙන් “මන්ත්‍රී අලෙවිය” නැවත ව්‍යවස්ථානුකූලව අර්ථ ගැන්විය යුතුව ඇත.
කුසල් පෙරේරා
2020 පෙබරවාරි 24 වන දින

