“අනාගත පොළොන්නරුව – පස් අවුරුදු සංවර්ධන සැලස්ම ( 2020-2025)” වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණු අතර ඊට හිටපු ජනාධිපති සිරිසේනට ආරාධනා කර තිබුණේ නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරි පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගොඩ නගන ආකාරය පිළිබඳව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ වැඩපිළිවෙළ මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබිණ.
එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.
මේ දිස්ත්‍රික්කය කෙරෙහි විශේෂ අවධානයක් හැමදාම අපේ ආණ්ඩුවලට තිබුණා. විශේෂයෙන්ම රොෂාන් තමන්ගේ දිස්ත්‍රික්කය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව අනාගතයේ අලුත් ආණ්ඩුවක් එක්ක කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. අපි දන්නවා ජනාධිපතිවරණය අපි දිනුම්. අපිට ජනාධිපතිවරයෙක් ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ. අද නම් තවම පාර්ලිමේන්තුව තියෙනවා. හෙට කොහොම වෙයිද කියන්න මම දන්නේ නෑ. අද තියෙන තත්ත්වය යටතේත් අපි ආණ්ඩුව කරන්නේ සුළුතරයක් හැටියට. අපි ඔබේ අවශ්‍යතාවලට මුදල් ලබා දෙන්න මුදල් පනතක් ගෙනාවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ණය වෙච්ච මුදල් ලබා දෙන්න අපි පියවර ගන්න හැදුවා. ඒක පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපිව පරද්දනවා කියලා දන්න නිසා අපි පනත ගේන්නේ නැතිව නිකන් හිටියාග විපක්ෂය බලාගෙන හිටියේ ඒ පනත පරද්දලා ජනතාවට ආණ්ඩුව පැරැද්දුවා කියලා සතුටු වෙන්න. අපි ඒකට අවස්ථාව දුන්නේ නෑ. ඒ නිසා සල්ලි හිර වුණා. ආණ්ඩුව විසිරෙව්වාට පස්සේ ජනාධිපතිවරයාගේ බලතල අනුව එතුමට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ.
ශ්‍රීලනිප - සිරිසේන කැපිල්ල දිගටම !
ඊයේ උත්සවයේදී අගමැති විසින් පොළොන්නරුව දියුණු කිරීම සම්බන්ධව අදහස් දැක්වීමේදී හිටපු ජනාධිපති සම්බන්ධව කිසිඳු අදහසක් නොදැක්වීම ඉදිරි මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවස්ථාවේ උද්ගතවිය හැකි දේශපාලන තත්ත්වය සම්බන්ධව පෙර නිමිති සපයන්නක් බව දේශපාලන විචාරකයන් පවසයි.
ඒ තුළ ඉතා පැහැදිළිව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීට වඩා මනාප රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට ලබාදීම වෙනුවෙන් පසුබිම සැකසීම මහින්ද අගමැතිගේ මේ හැසිරීමේ අපේක්ෂාව බවත් ඔවුන් පවසයි.
එසේම රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් පරාජය කරවීම හරහා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථා අවම කිරීමත් පෙන්නුම් කරන බව විචාරක මතය වී ඇත.
එහිදී ඔවුන් සිහිපත් කරන්නේ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එම වේදිකාවට ගොඩවූ ශ්‍රීලනිප නායකයන්ට "හූ " තබවා වේදිකාවෙන් පළවා හැරීමට කටයුතු සළස්වා තිබූ ආකාරයය.