ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම අමාත්‍ය ධූර ගණනාවක් දැරූ හිටපු පාර්ලිමේන්තු කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුතුව අද (06) (06) නව දේශපාලන පක්ෂයක් පිහිටවූ අතර එය නව ලංකා නිදහස් පක්ෂය (NLFP ) ලෙස නම් කර ඇත.
නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේදී සිදුකෙරුණි.
පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් මැයෙන් උත්සවය සංවිධාන කර තිබු අතර එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම වෙත පිළිගැන්වීමද සිදුවිය.
එහිදී සභාව අමතමින් ඔහු පවසා සිටියේ මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, බණ්ඩාරනායක මහතා විසින් නිර්මාණය කළ පක්ෂය කුමාරතුංග මැතිණිය විසින් රැක දුන් බවත් , 2015 තෙක් පක්ෂය සුරැකුණත් අද වන විට එය වෙනස් වී ගොස් ඇති බවයි.
මෛත්‍රීපාල සිරිසේනගෙන් 2015 දී වෙන්ව ගියේ පක්ෂය පවා දුන් නිසා එයට විරෝධය දැක්වීමට යැයි ද පැවසු ඔහු , චන්ද්‍රිකා මැතිණියගේ ආශිර්වාද මැද අද දිනයේ මෙම නව පක්ෂය පිහිටවනු ලැබු බවත් පැවසීය.
මැතිවරණයේ දී සියලු දෙනාම එකතු විය යුතු බවත් පැවසු ඔහු , ඒ තුළින් ආණ්ඩුව හෙල්ලීමට අවස්ථාව හිමිවෙන බවත් කියා සිටියේය.
ආණ්ඩුව බොහෝ සෙයින් බලවත් යැයි පැවසුවත් පාර්ලිමේන්තුවේ දී එම මතය වෙනස් කළ බවත් ඉදිරියේ දී ආණ්ඩුව දණගැස්වීමට “මහසෝනා“ සමඟ එකතු විය යුතු බවත් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයේ දී ඉදිරිපත් වුවහොත් ඡන්ද යම් ප්‍රමාණයක් හිමි වෙනු ඇතැයි ද පැවසු නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් කියා සිටියේය.
ආණ්ඩුවට රිදවීමට අවශ්‍ය නම් සියලු දෙනා එක්විය යුතු බවත් ඔහු පැවසීය.

