ලංකා බැංකුවේ මහ කළමණාකරු හා මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමට විරෝධය දක්වා මාර්තු 06 දින ලංකා බැංකු සේවකයන් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
මාර්තු 05 දින මරදාන පන්සල පාරේ පිහිටි ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වැඩ වර්ජන තීරණය දැනුම් දෙනු ලැබීය. ඊට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටේගොඩවිතාන හා ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති පාලිත ඇටම්පාවිල සහභාගි වූහ.
එසේම මාර්තු 06 දින මහජන බැංකු ඉදිරිපිට පිකට් උද්ඝෝෂණයක නිරත වීමටද තීරණය කර ඇත.
ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ එම තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම මෙතෙක් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව පිළිගත් අභ්‍යන්තර ක්‍රියාවලියක් මගින් කළ බවත් එය කඩකරමින් වත්මන් ආණ්ඩුව එම තනතුරුවල කටයුතු කළ නිලධාරීන් ඉවත් කර වෙනත් දෙදෙනෙකු එම තනතුරවලට ලක්කර ඇති බවත් ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග මාර්තු 02 වැනිදා සාකච්ඡා කළ බවත් එම දිනට පසුව පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව සාකස්ඡා කර විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළද එය සිදු නොවූ බවත් ලංකා සේවක සංගමය ප්‍රකාශ කරයි.
ලංකා බැංකුවේ මහ කළමනාකරු ලෙස සෙනරත් බණ්ඩාර මහතා කටයුතු කළ අතර මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස රසිත ගුණවර්ධන මහතා කටයුතු කළේය. ඔවුන් එම තනතුරුවලින් ඉවත් කර මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරුවලට පත්කරන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වුවද එම නිලධාරීන් එම උපදේශක තනතුරු බාරගෙන නැතැයි වාර්තා වේ.
ලංකා බැංකුවේ මහ කළමණාකරු ලෙස සුදත් ගුණසේකර මහතාද මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස කේ.ඩී. රාජපක්ෂ මහතාද ආණ්ඩුව පත්කර ඇත.
ලංකා බැංකුවේ සේවක සංගමයේ අවධාරණය කරන්නේ ඉවත් කරන ලද නිලධාරීන් දෙදෙනා සම්බන්ධ චෝදනා ඇත්නම් එ් පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවය. බැංකුවේ අභ්‍යන්තර පත්කිරීම් ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම් කිසිසේත්ම සිදු නොවිය යුතු බවය.  

