සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් යුතු සමගි ජන ලබවේගය සමග එක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට සුදානම් බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමට කැමැත්ත පළකර ඇති බවය. ඒ බව සමගි ජන බලවේගය වෙත දැනුම් දෙන්නට කටයුතු කළ බවත් ඒ අනුව දෙපාර්ශ්වයම එකතුවී සමගි ජන බලවේගය යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන්නට සූදානම් බවත් ඔහු කීය.
මේ පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රධානියෙකු වන කබීර් හෂීම් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ එවැනි තීන්දුවක් පිළිබඳව තවම නිල දැනුම් දීමක් තම පාර්ශ්වය වෙත ලැබී නැති බවයි. එහෙත් පසු ගිය මාර්තු 4වැනි දින සිරිකොතදී රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එවැනි තීන්දුවකට කැමැත්ත පළකර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම පාර්ශ්වයට කිසිවෙකු අතහැර දමා ඡන්දයකට යන්නට අවශ්‍ය නොවන බවය. ඒ නිසා අවබෝධතා ගිවිසුමක් පිළිබඳව යම් දැනුම් දීමක් එම පාර්ශ්වය කළහොත් ඒ පිළිබඳව සලකා බැලීමට තම පාර්ශ්වය සුදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

