තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා පෙත්සම් හි වගඋත්තරකරුවන් වන නීතිපති, වැඩබලන පොලිස්පති ඇතුළු හය දෙනෙකුට නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එදින දහවල්ම අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදි ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම හෙටට කල් තැබිණි.
නීතිපති වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට ලැබුණු හෙයින් තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
පෙත්සම්කාර රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුව නිතීයට පටහැනි ලෙස නිකුත් කර ඇති හෙයින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර සිය සේවාදායකයාට වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් සළකා බැලීම හෙටට කල් තැබිණි.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් , මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් අද (10) මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , එම අධිකරණයේ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , නවීන් මාරපන , ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න යන පෙනී සිටියහ.

