නලින් ද සිල්වා කියන : ගෝඨාගේ බල බිඳින පොහොට්ටු නායකයා කවුද ?

නලින් ද සිල්වා කියන : ගෝඨාගේ බල බිඳින පොහොට්ටු නායකයා කවුද ?

නැවත වරක් සිරිසේන හා ශ්‍රීලනිප පක්‍ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලි යැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට ජාතිවාදී සංවිධාන මෙහෙයවූ මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

 පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරන බවත් මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට බවත්  ඔහු ඒ බව කෙළින් නොකියන අතර ගෝඨාභය ජනාධිපතිට විරුද්ධ අයෙකු බවත් මහාචාර්ය වරයා අවධාරණය කර ඇත.

නලින් ද සිල්වා මේ බව සඳහන් කර ඇත්තේ ඔහුගේ මතය එළිදක්වන "කාලය- (kalaya)" ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. 

ඇතැම් ජනමාධ්‍ය ප්‍රධානියකුට අනුව නම් ඉහත කී තැනැත්තාට අවශ්‍ය ගෝඨාභය රාජපක්‍ෂට අවුරුදු දහයක් ජනාධිපති ධුරය හෙබවීමට අවස්ථාව ලබා දීමට. මා එය විශ්වාස කරන්නේ නැහැ. ඔහු අකමැති ගෝඨාභය රාජපක්‍ෂ අවුරුදු පහක් හරි දහයක් හරි ජනාධිපති පුටුවේ සිටියහොත් ඔහුගේ බලාපොරොත්තුව තමා ඊළඟ ජනාධිපති වීමට. ජනමාධ්‍ය ප්‍රධානියාට එය නොතේරෙනවා කියා හිතන්න බැහැ. එහෙත් ඔහු උඩින් පෙන්වන්නේ එසේ නොවේය කියා.

සිරිසේනව සජිත් වෙත තල්ලු කරනවා !

අද සිදුවන දේ ඉතා පැහැදිලියි. 2015 දී සිරිසේන යහපාලනයට යැවූ පුද්ගලයන් අද ඔහු හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු සජිත් වෙතට යැවීමට කටයුතු කරනවා. ඒ පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිරිසේන විවේචනය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පොදුජන පෙරමුණේ කිහිප දෙනකු සිරිසේනට විරුද්ධ ව විවිධ ප්‍රකාශ කිරීමට යොදවනවා. මේ පුද්ගලයන් එක්තරා ආකාරයකින් මා සම්බන්ධයෙන් ද ක්‍රියා කරන්නේ එලෙසින්. මා ඔවුන් කෙතරම් විවේචනය කළත් ඔවුන් සෘජු ව මට දොස් කියන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට කරන්නේ තම හෙංචයයින් ලවා මට පහර දීමට සැලැස්වීමයි.

සිරිසේනට නැවත ජනාධිපති වීමට බැහැ. ඔහු විශ්වාස කටයුතු පුද්ගලයකු නො වෙයි. එහෙත් දේශපාලනයේ විශ්වාස කටයුතු පුද්ගලයන් අතළොස්සකට වඩා නැහැ. සිරිසේනට මෙවර තමා සමග විශාල පිරිසක් ගෙන යන්න බැහැ. 2015 දී සිරිසේන ඊනියා යහපාලනයට ගියේ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් යම් පිරිසක් රැගෙන. 2020 දී ඔහුට ඒ හරඹය නැවත කරන්න බැහැ. අද ඔහු එ ජා පක්‍ෂයට ගියත් ඔහු සමග දෙතුන් දෙනකුට වඩා යන එකක් නැහැ.

එහෙත් සිරිසේන වෙනත් අය සමග එකතු වී ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන ම ඉල්ලුවොත් උද්ධච්ඡයන් හා ඔවුන්ගේ ගුරුවරුන් උද්දාමයට පත් වේවි. ඒ තම කෙණෙහිළි ක්‍රියා මාර්ගය සාර්ථක වීම නිසා. ඔවුන් එවිට ද 2015 දී මෙන් ම සියළු වරද සිරිසේන පිට පටවාවි. එහෙත් සිරිසේන එදා රනිල් වෙත යැවුවේත් අද සජිත් වෙත යැවුණොත් එසේ කරන්නේත් එකම පිරිසක්.

පොහොට්ටු උද්ධච්චයන්ට මතක නෑ !

සිරිසේන විශ්වාස කරන්න බැරි වීම වෙනත් කරුණක්. සිරිසේන කියාවි ඔහුට ඇතැම් රාජපක්‍ෂලා විශ්වාස නැහැ කියා. එයත් ඇත්තක්. එහෙත් සිරිසේන දින පනහේ ආණ්ඩුවේ මහින්ද අගමැති කෙරුවා. එය සුළු වැඩක් නොවෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය මහින්දගේ අගමැති ධුරය රැක ගන්න ක්‍රියා කෙළේ නැහැ. ඔවුන්ට බද්‍යුද්දීන්ගේ පක්‍ෂයේ සමගිය වඩා වැදගත් වූවා. අද ඔවුන්ගෙන් ඇතැමකු කියනවා එදා මහින්ද අගමැති කළ එක වැරදියි කියා. එහෙත් යහපාලන ආණ්ඩුවේ ඉරිතැලීම් වැඩි කිරීමට සිරිසේන ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය හේතු වුණා. අදත් එ ජා පක්‍ෂයට ඒ ක්‍රියාදාමය බලපාන බව පැහැදිලියි. ඒ ක්‍රියාදාමය ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණයටත් අවසානයේ හේතු වුණා.

උද්ධච්ඡයන් පිරිසක් එදා මහින්ද අගමැති කිරීම පසුව වැරදි යැයි කිවුවත් ඔවුන් උඩඟු කමෙන් මත් වී පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් විට ඔවුන්ගේ මන්ත්‍රීකම් රැකුණේ සිරිසේනගේ කීමට මහින්ද අමරවීර ඒ සාමාජිකත්වය ගත් පුද්ගලයන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීන් බවට කතානායකට යැවූ ලිපියක් නිසා. පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන්ට මේ කිසිවක් මතක නැහැ. මේ උද්ධච්ඡයන් යහපාලනය සමග ගෑවී සිටිය බවත් නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩ නොවූ බවත් බොහෝ දෙනාට මතක ඇති.

එක් එක් දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්න නිසා ඇති වන තත්වය බොරදියේ මාළු බෑමට පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු ක්‍රියා කරනවා. ශ්‍රී ල නි පක්‍ෂය පොදු ජන පෙරමුණ සමග එකතු වී මීළඟ මැතිවරණය තරග කළත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම අසීරුයි. එය කළ හැකි වන්නේ ඉතා තදබල ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පමණයි. එහෙත් පොදු ජන පෙරමුණට ජාතිකත්වයක් නැහැ.

පොහොට්ටු නායකයන්ට වෙනම න්‍යාය පත්‍රයක් !

අද පොදු ජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන් ජාතිකත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ වෙන ම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ ජාතිකත්වය යන්න ගෑවිලාවත් නැහැ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ලෙස තරග කර තුනෙන් දෙකක් ලබා ගැනීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය කෙසේ හෝ සජිත් වෙතට යවා තුනෙන් දෙක ලබා නොගැනීමට! ඔවුන් ඉන්පසු එ ජා ප මන්ත්‍රීන් පිරිසක් හකීම් බද්‍යුුද්දීන් ආදීන් සමග එක් වී තුනෙන් දෙක ලබා ගැනීමට උත්සාහ කරාවි. ඒ ගණුදෙනු දේශපාලනය වෙතට නැවත යෑමක්.

ඒ තුනෙන් දෙක සමග දහනවය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරාවි. එ සමග ද්විත්ව රටවැසියන්ට ඇති බාධකත් අහිමි වේවි. අප දහනවයට විරුද්ධ වුණත් මේ ද්විත්ව රටවැසි වගන්තිය අහෝසි නොකළ යුතු යැයි යෝජනා කරනවා. මා ඊයේ ලිපියෙන් පෙන්වීමට උත්සාහ කෙළේ එයයි. මගේ ලිපිය නිසා වැඩ වරදීවි යැයි සිතෙන පොදු ජන පෙරමුණේ ධන කුවේරයන් තම හෙංචයියන් ලවා මට පහර දෙනවා. එහෙත් ඔවුන්ට මා දක්‍ෂිණාංශික පිළට ගියේ යැයි කිසි දිනෙක කියන්න බැරි වේවි.

මේ හදන්නේ ගෝඨාභය දුර්වල කරන්න !

අද කළ යුත්තේ සිරිසේන හා සුළු පිරිසක්වත් සජිත් වෙතට යැවීම නොව ඔවුන් ශ්‍රී ලංකා නිිදහස් පොදු ජන සංධානයේ රඳවා ගෙන තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොකරන්නන් අවසානයේ දී කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ දුර්වල කිරීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න