කොරෝනා ආසාදිතයන් 28 දක්වා ඉහළට : ආණ්ඩුව අමානුෂික මැතිවරණයකට සූදානම් !

කොරෝනා ආසාදිතයන් 28 දක්වා ඉහළට : ආණ්ඩුව අමානුෂික මැතිවරණයකට සූදානම් !

කොවිඩ් 19 නොහොත් නව  කොරෝනා වෛරසය  ආසාදිත පුද්ගලයන් 06 දෙනෙකු අද (16) අලුතින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතවූවන් ප්‍රමාණය 28 දක්වා ඉහල ගොස් ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහද  මේ බව තහවුරු කර තිබේ.

එසේම මේ  වන විට රටවල් රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

එක් අයෙකුට බරපතලයි !

මෙරට කොරෝනා වෛරස ආසාදන පුද්ගලයන් සියළු දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ IDH  රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩසඳහන් කරයි.

දැනට එම රෝගීන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් අයෙකු පමණක් යැයිද ඔහු පැවසූ අතර ඒ  සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්ය.

අද වනවිට කොළඹ ජාතික රෝහලට වෙනත් කිසිදු රෝගියෙක් බාරගනී නොගන්නා බවත් කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් පමණක් බාර ගැනීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නිවාඩු දීර්ඝ කරන්න - GOMA 

මේ අතර රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා ලබාදී ඇති නිවාඩුව සතියක කාලයකට ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම සියලුම වරායවල් ගුවන් තොටුපොළවල් දෙසතියක කාලයක් වසා දමන්නැයිද ඔවුන් ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂගෙන් මෙම ඉල්ලීම කල බව GOMA  ෆේස්බුක් පිටුවේ  සඳහන් කර ඇති අතර ඒ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගන්නා ලෙස ද එමගින් දන්වා ඇත.

කාලගුණය වෙනස් වෙයි !

අද (16) සිට ලංකාවේ පළාත් කිහිපයකට තද වැසි සහිත කාලගුණයක් ඇතිවි ඇති අතර  කාලගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුව ‌පෙන්වා ‌දෙන්නේ බස්නාහිර ඇතුලු පළාත් කිහිපයකම වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

බීබීසී කාලගුණ වාර්තාව මගින් අනාවරණය ‌කොට ඇත්තේද  අද සිට ‌සතියක් පුරා ‌කොළඹ ආශ්‍රීත ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දක්නට හැකි බව වන අතර මෙසේ වැසි තත්ත්වයේ වර්ධනය ඉදිරියට පැවතිය හැකි බව විදෙස් මාධ්‍ය විසින්ද සඳහන් කර ඇත.

වැසි තත්ත්වයේ වර්ධනයත් සමඟ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද පහළ යාම අනිවාර්යයකි.

එවැනි තත්ත්වයක් මතුවීම කියාපාන්නේ වියළි සහ උණුසුම් කාලගුණය හේතුවෙන් ස්වාභාවික ලෙස පාලනය වූ කොරෝනා වෛරස් තත්ත්වය සිසිල් සහ වැසි සහිත කාලගුණය යටතේ වර්ධනයවීමේ වැඩි ඉඩක් පැවතීමයි.

දෛනික කටයුතු අඩාලයි !

මේ වන විට අධිකරණ කටයුතු සීමා කර ඇති අතර රියදුරු බලපත්‍ර, හැඳුනුම්පත් නිකුත් කිරීම, සංචාර, සිනක්මා ශාලා වසා දැමීම, ජන සහභාගීත්වය වැඩි උත්සව අත්හිටුවීම, විවාහ මංගල අවස්ථා වල පවා ආරාධිතයන් සීමා කිරීම ඇතුළුව ජන සහභාගීත්වය එක්රොක්වන අවස්ථා සීමා කර ඇත.

රෙදි ගන්නවත් යන්න එපා - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් !

එමෙන්ම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද පවසා ඇත.

ඒ  රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බවත් ඔහු පැවසු අතර ඇඳුම් අලෙවි කරන ස්ථානයන්හි ඇති ඇඳුම් විවිධ පුද්ගලයින්  විසින් ඇල්ලීම මෙන්ම ඇඳ බලා තබායාම ආදිය සිදුවන බැවින් අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම මෙවර මග හැරීම සුදුසු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම ගමන් බිමන් යාම හා ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් හැකිතාක් ඈත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

ආණ්ඩුවේ මැතිවරණ මාන්දම !

මේ ආකාරයට රටේ සියලු දෛනික කටයුතු සීමා කරමින් සහ ඇතැම් කටයුතු අත්හැර දමන තත්ත්වයක් මතුව තිබුණත් එළඹෙන අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කෙසේහෝ පැවැත්වීමේ සූදානමක ආණ්ඩුව පසුවෙයි.

ඒ බව පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනකදී අවධාරණය කල අතර ඊයේ (15) නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ මාර්ග සිතියමක් අරමුණු කර ගනිමින් සාර්ක් රටවල නායකයන් පැවැත්වූ වීඩියෝ සාකච්ඡාවේදී මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම පැවතියත් නියමිත දිනයේ මැතිවරණය පවත්වන බවය.

ඒ අනුව මේ සියලු ප්‍රකාශ පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තවී රටේ මොන තත්ත්වයක් ඇතිවුවත් කෙසේ හෝ මහ මැතිවරණය පවත්වා 2019 ජයග්‍රහණය ස්ථාවර කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවය.

නායකයන් පමණක් රැකීමේ පොහොට්ටු න්‍යාය !

මේ අතර පොදුජන පෙරමුණේ නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත  විශේෂ ජනාතා එක්රැස්  කිරීමකින් තොරව නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදු කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ දිස්ත‍්‍රික් නායකයින්ට දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති උපදෙස් අනුව ඊට අවශ්‍ය නීත්‍යානූකූල පුද්ගලයින් පමණක් සහභාගී කරගනිමින් නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදුකරන ලෙස ද එහිදී  වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගෙන යන විධිමත් වැඩසටහනට අනුකූලව ඊට අවශ්‍ය සහය ලබාදෙමින් නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන පක්ෂ මූලස්ථානය 2020 මාර්තු මස 17,18 සහ 19 යන තෙදිනයන් හී පූර්ණ වශයෙන් වසා තැබීමට තීරණය කොට ඇත.

පොහොට්ටු පාක්ෂිකයන්ට අවධානමක් නැද්ද ?

මෙයින්ද පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් පොහොට්ටු මුලස්ථානය වසා ඇති බව මිස අන් යමක් නොවේ. එහෙත් මැතිවරණ කටයුතු වලදී පාක්ෂික දැනුවත් කිරීම් වෙනුවෙන් ගෙයින් ගෙට යාම, කුඩා රැස්වීම් පැවැත්වීම ඇතුළු කටයුතු ගණනාවක් හමුවේ ඒ පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ද වෛරස් ආසාදනයට ලක්වීමට සහ වෛරසය පැතිරවීමේ කාර්යයට දායකවීම වලක්වා ලිය නොහැකිය.

එහිදී අපේක්ෂකයන්, විශේෂයෙන් ජනප්‍රිය අපේක්ෂකයන්ට ගෙයින් ගෙට නොයාම අර්බුදයක් නොවන නමුත් ප්‍රසිද්ධ නොමැති සහ නවක අපේක්ෂකයන්ට දැඩි අවාසියක් සිදුවේ. ඒ තමන්ගේ දේශපාලන ප්‍රවේශයේ පණිවිඩය නියම ලෙස බිම් මට්ටමේ ජන්ද දායකයන් වෙත ගෙන යාමට අවස්ථාව අහිමිවීම තුළය.

එම තත්ත්වය පොදුජන පෙරමුණට පමණක් නොව මහ මැතිවරණයට ඉදිරිපත්වන අනෙක් පක්ෂ සහ අපේක්ෂකයන්ටද පොදු ඉරණමකි.

විපක්ෂයේ ඉල්ලීම !

විපක්ෂයේ සියලුම පක්ෂ මේ වන විට මහ මැතිවරණය කල් දැමීමට ඉල්ලමින් සිටියි. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණක් නොව සිවිල් සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෛද්‍ය සංගම් පවා ඒ අතර වෙයි. එහෙත් ආණ්ඩුව එය නොතකයි. ඔවුන්ට අවශ්‍ය මේ ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම නොව ඒ වෙනුවට ව්‍යසනය අස්සේ බලය තවත් වටයකින් තහවුරු කරගැනීමය. 

අමානුෂික ජන්දයකට ආණ්ඩුව සූදානම් !

ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට පුද්ගල මරණ 6,531 ක් වාර්තා වී ඇති අතර ඉතාලියෙන් පමණක් ගෙවුණු පැය 24 තුළ වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 368 ක් වෙයි.

ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ඇති නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 6,531 ඉක්මවයි.

මෙවැනි පසුබිමක මෙරට තුළද නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ පැහැදිළි අවකාශයක් පෙන්නුම් කරන අතර දූපතක් ලෙස පිහිටි භෞතික පිහිටීමේ වාසිය පවා අහිමිව එය ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිළිව පෙනෙන්නට ඇත.

එවැනි පසුබිමක ලෝකයම පෙළගැසී සිටින්නේ කොරෝනා වෛරසයෙන් තම රට ජනතාව ආරක්ෂා කිරීමේ සාර්ථක විසඳුමක්, පාලනය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සෙවීම කෙරෙහිය. එහෙත් අපේ රට ඊට හුඟක් වෙනස් අතර අප රට සූදානම් වන්නේ  පක්ෂ විපක්ෂ ලෙස දෙකට බෙදී පාර්ලිමේන්තු බලය ලබා ගැනීම වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීමටය. ලෝකයේ සියලු රටවල් හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක අපේ රට ඇත්තේ මැතිවරණ තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින්ය.

ඇතැමුන් බිය නිසාත්, තවත් ඇතැමුන් වෛරසයේ අවධානම නොදැන සිටීම නිසාත්, තවත් පිරිසක් වෛරසයේ අවධානම දැන සිටියත් නරුම ලෙස තමන්ගේ කඳවුරට මැතිවරණය කල්යාම අවාසියක් වේ යයි සිතා අවධානම නොතකා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් පෙන්නුම් කරයි.

සැබවින්ම ආණ්ඩුව කෙසේ හෝ මැතිවරණය නියමිත දිනයට පැවැත්වීම යන්නේ අවිවාදිත තත්ත්වය වන්නේ කිසියම් ආකාරයට මැතිවරණය කල් දැමීමක් සිදුකල හොත් ආණ්ඩුව තව දුරටත් ජනතා අප්‍රසාදයට පත්ව අපේක්ෂිත ජයග්‍රහණය නොලැබේ යන ගණන් තැබීමය.

නමුත් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත සමඟය, සුඛෝපභෝගී සහ අධි ආරක්‍ෂිත ලෙස ජීවත්වන ආණ්ඩුවේ කෙරුමන්ට කොරෝනා අවධානමක් නොමැති බව ඇත්තය. කැස්සට හෙම්බිරිස්සාවට විදෙස් රෝහල් වලට යන ඔවුන් වැරදීමකින් හෝ කොරෝනා වැළඳුනත්  ඒ ආකාරයට සුව කරගනු ඇත. ඒ වෙනුවෙන් කවර මිලක් වුවත් ගෙවීමේ හැකියාව ඔවුන් සතුය. නමුත් අසරණ මහ ජනතාවට එහෙම නැත.

කොරෝනා වෛරසය ආසානයවීමට අදාළව මෙතෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන පවා නැත. ඖෂධයක් සොයා ගැනුනත් එය භාවිතයට ගන්න අවම වශයෙන් මේ වසර අග වනතුරු නොහැකි වන බව විශේෂඥ මතය වී ඇත.

එවැනි පසුබිමක අවශ්‍ය වන්නේ වෛරසය ව්‍යාප්තවීම හැකි උපරිමයෙන් පාලනය කරගැනීම වෙනුවෙන් සියලු හැකියාවන්, ශක්තීන් ඒ වෙත යොමුකර කටයුතු කිරීම නොවේද ? නැතිනම් සිදුවන්නේ දැන් කොරෝනා ආසාදිතයන් ගනින ආකාරයට එහි වර්ධනය තුළ මියගිය ප්‍රමාණය ගැනීමට නොවේද ? එකයි දෙකයි, පහයි , දහයයි, කියමින් මිනී ගණින හෙටක් ඔබට අවශ්‍ය ද? ඔබ පතන්නේ එවැනි හෙටක්ද ? නියම පුරවැසි සිතීම මේ ගැන වියයුතු නැද්ද ?

 මේ මහ මැතිවරණය කල් නොදැමීම හේතුවෙන් අමානුෂික මැතිවරණයක් වන්නේ ඒ පදනමින්ය. 

 

newstube.lk  සංස්කාරක 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න