ලංකාව Lockdown කළ හැකිද ?

ලංකාව Lockdown කළ හැකිද ?

නව කොරෝනාවෛරස් ආසාදනය [COVID -19] ශ්‍රී ලංකාව තුළ වසංගතයක් වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ප්‍රමුඛ පියවර සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් පළ කරමින් සිටින අතරවාරයේ බදාදා (මාර්තු 18) මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ගුවන්තොටුපළට මගී ප්‍රවාහන ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව නතර කොට තිබේ.

මේ අතර ''රට දින කිහිපයකට ලොක්ඩවුන් කළ යුතු බවට'' ඉදිරිපත් වී ඇති අදහස ගැන සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන අය මෙන්ම, වෙනත් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම්වල මෙම අදහස මතු කරද්දී එම අදහස තවදුරටත් සමාජගත වූයේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එවැනි ඉල්ලීමක් කිරීමත් සමගය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ, අවම වශයෙන් රටේ සංචරණයන් සතියකට හෝ සීමා කළ යුතු බවය. ''Why GMOA requested a LOCKDOWN'' යන සිරස්තලය යටතේ ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

''අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට වහාම රට පුරා සිද්ධ කරන සංචරණ කටයුතු සතියකට නතර කරන්න. අපි දන්නවා පිරිස් වන්දනාවේ යනවා මේ මොහොතෙත්. මේ නිවාඩු අරගෙන තවදුරටත් රෝගය ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක් හැටියට පාවිච්චි කරනවා. සතියකින් පස්සේ සංචරණයේ සීමා ලිහිල් කරනව ද නැද්ද තීරණය කළ හැකියි,'' යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

එහෙත් "රට ලොක්ඩවුන් කිරීමට යෝජනා කරන්නේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය ගැන අවබෝධයක් නොමැති අය" බව සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

''ඕන සමාජ ක්‍රමයක ප්‍රධාන ආර්ථික ක්‍රියාවන් තුනක් තියෙනවා. ඒ, නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරුව. පරිභෝජනය නැතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් පිටරටින් ගෙන්නන්න ඕනා. වරාය වැහුවොත් අපිට කන්න නැති වෙනවා. පිටකොටුව වැහුවොත් රට පුරා අත්‍යවශ්‍ය දේ බෙදාහැරීම නතර වෙනවා. සංවර්ධිත රටවල් කරන සියලු ක්‍රියා අපිට කරන්න බෑ,'' යනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේය.

නව කොරෝනාවෛරසයේ පැතිරීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව 2020.03.16 දින වන විට ලොව පුරා රටවල් 151කින් වාර්තා වී ඇති, පරීක්ෂණවලින් තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 167,511 දෙනෙකි. ඉන් 81,077ක් වාර්තා වී තිබෙන්නේ චීනයෙනි. ලොව පුර සිදුව ඇති මරණ සංඛ්‍යාව 6606ක් වන අතර ඉන් මරණ 3218ක් වාර්තා වී තිබෙන්නේ චීනයෙනි.

අඟහරුවාදා [මාර්තු 17] පෙරවරු 10.00 වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනාවෛරසය ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ශ්‍රී ලංකාවේදී හඳුනා ගැනුණු චීන ජාතික කාන්තාව හැරුණු විට සෙසු රෝගීන් 42 දෙනාම ශ්‍රී ලාංකිකයන්ය. ඒ අතර කටුනායක ගුවන්තොටුපළේ රාජකාරි කළ හමුදා නිලධාරියෙකු ද සිටී.

කොවිඩ් - 19 බවට සැකපිට, වෛද්‍ය අධීක්ෂණය යටතේ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 18ක සිටින පුද්ගලයන් සංඛ්‍යාව 204 දෙනෙකි.

කටුනායකට මගී ගුවන් යානා ගොඩබෑම අත්හිටුවයි
නව කොරෝනාවෛරස් ආසාදනය [COVID -19] වළක්වා ගැනීම සඳහා රටවල් විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. එහි එක් පියවරක් වන්නේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන රටවල් සමඟ හෝ සියලු රටවල් සමඟ ගුවන් ගමන් අත්හිටුවීමයි. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළට මගී ප්‍රවාහන ගුවන් යානා ගොඩබැස්සවීම සති දෙකක කාලයකට අත්හිටුවීමට අඟහරුවාදා පස්වරුවේ තීරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අඟහරුවාදා දහවල් වන විට තීරණය කර තිබුණේ මධ්‍යම රාත්‍රියේ සිට කටාර්, බහරේන් හා කැනඩාවෙන් ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමටය. බ්‍රිතාන්‍යය, බෙල්ජියම, නෝර්වේ යන රටවල් සමග මාර්තු 16 වන දා සිට ගුවන් ගමන් අතිහිටුවා තිබිණි. එමෙන්ම මාර්තු 15 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන් අත්හිටුවන ලදි.

මේ වන විට ඇමරිකාව, සෞදි අරාබිය ඇතුළු ඇතැම් රටවල් ද සියලු ගුවන් ගමන් සේවා අත්හිටුවා තිබේ. ප්‍රංශය දින 15ක කාලයකට රට වසා දමා ඇත. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට නොයන ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ. මැයි මාසය තෙක් විදේශිකයන්ට රටට ඇතුළු වීම රුසියාව තහනම් කර ඇති අතර කැනඩාව, ග්වාතමාලාව සහ සුඩානය දේශසීමා වසා දමා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, මැලේසියාව, ඉතාලිය ආදී රටවල් කිහිපයක් සම්පූර්ණයෙන් ආවරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ''ලොක්ඩවුන්' කිරීම

 111329854 31115532 2d19 4679 8b3a bfdee15f52ff

 111329856 5d153ec5 6da7 4bc3 a2d6 6585286922ff

sri lanka 51931111

කොරෝනාවෛරස් ආසාදනය වුවන් වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම සහ ආසාදිතයන් රට තුළ සංචරණය වීම සීමා කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරමින් සිටී. ඒ යටතේ ජනතාව එක්රැස්වීම පාලනය, ගුවන් තොටුපළ හා වරායයන් හරහා ආසාදිතයන් ලංකාවට පැමිණිම වැළැක්වීම හා රට තුළ සිටින රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනාවෛරස් අවදානම අතර ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ සූදානමක් ද පවතී. අප්‍රේල් 25 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇති මහ මැතිවරණය කල් දමන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් ම මේ වන විට රජයෙන් හා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කාංචනා බුළුමුල්ල කියා සිටියේ, මේ මෙහොතේදී රටේ සංචරණයන් සීමා කිරීමෙන් වන ආර්ථික පාඩුවට වඩා ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

''අන්තර් කටයුතු නවත්වා දැමීමක් 'ලොක් ඩවුන්' කිරීමේදී සිද්ධ වෙනවා. සති දෙකකට සංචරණය සීමා කිරීමෙන් වන ආර්ථික අවාසියට වඩා මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතන්න ඕනා. අපි සෞඛ්‍යමය අභියෝගයක ඉන්න වෙලාවේ ඇතැම් අය හදනවා බොර දියේ මාළු බාන්න. මානසික සෞඛ්‍ය ආර්ථිකයට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා සති දෙකක පාඩුව ගොඩ නගා ගන්න පුළුවන්,'' යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

''අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම''

රටක් ''ලොක්ඩවුන්'' කිරීමේදී විදේශ රටවල් සමග සම්බන්ධතා අවහිර කිරීම සිදුවන බැවින් ලංකාව වැනි රටකට හොඳම විකල්පය එය නොවන බව තමන්ට පෙනී යන්නේ යැයි රජරට විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානි බුලංකුලම පවසන්නීය.

''ලොක් ඩවුන් කිරීම විකල්පයක් තමයි. නමුත් අපි තෝර ගන්න ඕනා අපිට දරන්න පුළුවන් හොඳ ම විකල්පය. අපි වගේ ආර්ථිකයක් තියෙන, අත්‍යවශ්‍ය දේවල් සඳහා වෙනත් රටවල නිෂ්පාදන මත යැපෙන රටකට සියලු විදේශ සම්බන්ධතා අත්හිටුවලා කොච්චර දවසක් ඉන්න ද? අනික මේක රටවල් 151කට බලපාන ප්‍රශ්නයක්. මම හිතන්නේ අපිට දැඩිව කරන්න තිබුණ දේ තමයි ගුවන්තොටුපළේදී හරිහැටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම. නිරෝධායනයට තිබුණු බාධක හමුදාව, පොලිසිය දාල දැඩි පියවර අරන් මුලදී ඉවත් කළා නම් මේ තත්ත්වයට පත් වෙන්නේ නෑ. අශ්වයා ගිය පසු ඉස්තාලය වහලා වැඩක් නෑ',' යනුවෙන් මහාචාර්යවරිය පැවසුවාය.

''රට අකර්මණ්‍ය වීමට ඉඩදිය නොහැකියි''

 111329858 c146b856 8641 4a15 adb9 af2150851725

මේ අතර කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රශ්නය ජය ගැනීමට අවශ්‍ය සියලු දේ කළ යුතු වුව ද රට අකර්මණය වීමට ඉඩදිය නොහැකි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී කියා සිටියේය.

කොරෝනාවෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ දැනුම් දීමත් සමග වෛරසය රට තුළ පැතිරීම පාලනයට ඉවහල් වන සෑම පියවරක් ම ගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.

වන්දනාව සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 300ක් පමණ ස්ථාන කිහිපයක රැඳී සිටින අතර, ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යැවීමට පියවර ගෙන තිබේ.

"උද්ගතව ඇති තත්ත්වය පටු දේශපාලන අරමුණු උදෙසා ප්‍රයෝජනයට ගත යුතු නෑ. පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ අවශ්‍යතාවක් නොපවතී. මහ මැතිවරණය කල් දැමිය යුතු නම් මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය තිබේ,'' යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න