Language Switcher

V2025

ජනාධිපති නියෝගය කඩා : රෝයල්-තෝමියන් බිග් මැච් ගැස්සුවේ කවුද ?

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා හැකිතාක් ඒකරාශී වීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මුල් දින කිහිපයේදීමය. නමුත් එම ඉල්ලීම ඒ ආකාරයෙන්ම පිළිගැනීමට ජනතාව කටයුතු කළාදැයි යන සැකය මතු වන්නේ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ සිදුවීම් සලකා බැලීමේදීය. ඒ අතරින් වැඩි දෙනාගේ අවධානය යොමු වූ ප්‍රධාන සිදුවීමක් වූයේ පසුගිය 12 වැනිදා සිට 14 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වුණු රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමය. තරගය අවසන් වීමෙන් අනතුරුව අනාවරණය වූයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එක් කොරෝනා ආසාදිතයකු එම මහා ක්‍රිකට් තරගය නරඹා ඇති බවය. ඒ පිළිබඳව ජනතාවගේ අවධානය තවත් වැඩි වූයේ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නවත්වන ලෙස ඉල්ලූ නමුත් එය නොසලකා තරගය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කිරීමත් සමඟය. එතැන් පටන් ජනතාවගේ ප්‍රශ්නය වූයේ ජනාධිපතිවරයාගේ නියෝග නොසලකා හරින්නට තරම් රාජකීය සහ ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරග සංවිධායකයන් බලවත් වූයේ කෙසේද යන්නය.

සාමාන්‍යයෙන් සෑම වසරකම පෙබරවාරි, මාර්තු යනු දිවයින පුරා විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග පැවැත්වෙන යුගය බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මාර්තු මාසයේ සෑම සති අන්තයකම විශේෂයෙන් කොළඹ නගරය අවට විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග එකක් හෝ ඊට වැඩි ගණනක් පැවැත්වීම සාමාන්‍ය කරුණක් බවට පත්වූයේ මීට දශක කිහිපයකට පෙර සිටය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයෙන් ඇතිවූ කොරෝනා වෛරසය හේතුවෙන් ඒ සියල්ල උඩු යටිකුරු විය. කොරෝනා ව්‍යාප්තිය සලකා බලා වහාම අප්‍රේල් මාසය අවසන් වන තෙක් සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කළේය. ඒ සමඟම ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරග බොහොමයක් කල් දැමීමට ඒ ඒ විදුහල්වල පාලනාධිකාරිය කටයුතු කළේය. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම වයස් කාණ්ඩයන්හි පාසල් ක්‍රිකට් තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය තීරණය කළේය. ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායමටද තරගාවලිය අතරමඟ නවත්වා නැවත තම ගම් බිම් බලා පිටත්ව යෑමට සිදු විය. නමුත් ඒ සියල්ල මධ්‍යයේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වෙනදා මෙන්ම උත්කර්ෂවත් අයුරින් රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම බාධාවකින් තොරව අවසන් විය.

 කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටන නමින් විරුදාවලිය ලත් මහා ක්‍රිකට් ගැටුම මෙවර පැවැත්වූයේ 141 වැනි වතාවටය. ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දුන් එම මහා ක්‍රිකට් ගැටුම සැලකෙන්නේ ලොව දෙවැනියට පැරැණිතම පාසල් මහා ක්‍රිකට් ගැටුම ලෙසටය. කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, එම ක්‍රිකට් තරගය කල් දැමීමට තරග සංවිධායකයන් අකැමැති වූයේ ඒ හේතුව නිසාද විය හැක. නමුත් කොරෝනාවට ඒ කිසිවක් අදාළ නොමැති බව මේ වන විට පැහැදිලි වී ඇත. කොරෝනා ආසාදනයට ලක් වූ පුද්ගලයා තරගය අතරතුර විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති අතර ඔහු වෙනත් පුද්ගලයන් සිප වැලඳ ගන්නා ආකාරයද එම වීඩියෝ දර්ශනවල දක්නට ඇත. අදාළ පුද්ගලයාට අමතරව තරගය අතරතුරදී වෛරසය ආසාදනය වූ කිසිවකු මේ වන තුර වාර්තා වී නැතත්, එම පුද්ගලයා ගැවසුණු තරග නරඹන අට්ටාලයේ සිටි සියලු දෙනාට ස්වයං නිරෝධායනයකට ලක් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇත. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන එලෙස කටයුතු කිරීමට ඔවුන් සියලු දෙනා කටයුතු කරන්නේ නම් එය සැබවින්ම රටේ වාසනාව බවද පැවසිය යුතුය. එම මහා ක්‍රිකට් තරගයේ ගීත ගායනය සඳහා සහභාගි වූ බැවින් තමන් ස්වයං නිරෝධායනයට ලක් වන බව ජනප්‍රිය ගායන ශිල්පිනී කොරින් අල්මේදා මහත්මියද ප්‍රකාශ කර ඇත. මහා ක්‍රිකට් තරග සියල්ල කල් දමා තිබියදී රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම සුපුරුදු ආකාරයෙන් පැවැත්වීම, එම දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් විය. එම විවේචනයන්ට එරෙහිව අදහස් පළ කළ පිරිස්ද, දක්නට ලැබුණු මුත් ඔවුන් සියලු දෙනාට නිහඬ වීමට සිදු වූයේ කොරෝනා ආසාදිතයා තරගය නරඹා ඇති බව වාර්තා වීමත් සමඟය. වැඩි දුර නොසිතා තරගය නැරඹීමට ගිය බොහෝ දෙනාගේ ඉහ මොළ රත් කිරීමට එම ප්‍රවෘත්තිය හේතු සාධක වූවාට සැකයක් නැත. එතැන් පටන් තරගය පැවැත්වීමට එරෙහිව පැවැති විවේචන දෙගුණ තෙගුණ වූ අතර ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක එවැනි තරගයක් පැවැත්වීමට අවසර ලබා දීම බලවත් වැරැද්දක් බවද බොහෝ දෙනාගේ අදහස විය.

කොරෝනා වෛරසය හමුවේ රට මුහුණ පා ඇති අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ජාතිය ඇමතූ අවස්ථාවේ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වන තරම්ම එම විවේචන බලවත් විය. අදාළ ක්‍රිකට් ගැටුම සම්බන්ධයෙන් ජාතිය අමතන අවස්ථාවේ ජනාධිපතිවරයා අදහස් පළ කළේ මෙසේය.

“මේ කොච්චර කිව්වත් රෝයල් තෝමියන් ගැහුවා. මම කිව්වා මේක නවත්වන්න කියලා. නමුත් ඒ අය කිව්වා රෝයල් තෝමියන් ගහන්න ඕනෑ කියලා ගැහුවා.” ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ අවඥාසහගත සිනහවක්ද සමඟය. රට තුළ මහා ව්‍යසනයක් ඇති වී තිබෙන මොහොතක කොයි ලෙසකින් හෝ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම පැවැත්වූයේ දේශපාලනය අත පෙවීමක් හරහා බවටද මතයක් ජනතාව අතර ඇත. ජනාධිපතිවරයාගේ තීරණයක් නොසලකා හැර එලෙස කටයුතු කිරීමට නම් එම අතපෙවීම ඉතා බලවත් එකක් විය යුතුය. එමෙන්ම තරගය නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ කාටදැයි යන්නද ජනතාවගේ ප්‍රශ්න කිරීමට බඳුන් වී ඇත. තමන් දුන් නියෝගයක් නොසලකා හැර මේ ආකාරයෙන් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයි දැයි යන්නද ජනතාවගේ සැකයට බඳුන් වී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමකදී කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේ එම තරගය පැවැත්වීමට ඉඩ ලබා නොදෙන මෙන් හෝ තරගය අවලංගු කරන මෙන් තමන්ට කිසිම උපදෙසක් නොලැබුණු බවය. තරගය සඳහා තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා තිබූ බවත් ඒ අනුව තරගය පුරාවට නිසි පරිදි ආරක්ෂාව ලබා දීමට පොලිසිය ක්‍රියා කළ බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය. ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබියදීත්, මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට කටයුතු කළේ ඇයි දැයි යන්න දැන ගැනීම සඳහා රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන පියතුමාගෙන් අදහස් දැන ගැනීමට අප උත්සාහ කළ නමුත් පාසල් නිවාඩු ලබා දී තිබීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.

(මව්රට -  චන්දන ‌පොන්නම්පෙරුම )