කොරෝනා ආසාදිතයින් 107 යි: ආසාදිත ප්‍රභූන් සඳහා කොතලාවල ආරක්ෂා රෝහල සුදානම් කෙරේ !

කොරෝනා ආසාදිතයින් 107 යි: ආසාදිත ප්‍රභූන් සඳහා කොතලාවල ආරක්ෂා රෝහල සුදානම් කෙරේ !

ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහල, කොරෝනා ආසාදිත ප්‍රභූන් වෙනුවෙන් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේවනවිට කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ සටනට එක්ව සිටින ඉහල දේශපාලනඥයින් හා ඉහල නිලධාරීන් ද බරපතල අනතුරකට මුහුණදී සිටින බැවින් මෙවැනි තීන්දුවක් ගෙන ඇතැයි පැවසේ.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැවසුයේ, එවැනි රාවයක් පැතිර ඇතත් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

කොරෝනා ආසාදිතයින් ඇතුලත් කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් මෙම රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) විශේෂිත ඇඳන් හා කොරෝනා රෝගීන් සඳහා වන ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේර්ස්) යොදා වහාම නවීකරණය කිරීම එවැනි රාවයක් පැතිරයාමට හේතුවන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු මෙන්ම එරට අගමැති බොරිස් ජොන්සන් වැනි රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුට ද මේවනවිට කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇත.

 රෝහල් කිහිපයක් ම සුදානම් කරලා !

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන ගර්භනී මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ බොරැල්ල කාසල් වීදියේ රෝහල භාවිතා කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා උපුටා දක්වමින් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගර්භනී මව්වරුන් සඳහා වන සියලුම ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව වෛද්‍ය ජාසිංහ ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරස් ආසාදිතයන් රැකබලා ගැනීම සඳහා හෝමාගම මූලික රෝහල ද සූදානම් කර ඇති අතර, වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිලි සංකීර්ණය ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කර රෝගීන් රැකබලා ගැනීමට සූදානම් කර ඇත.

එසේම, මුල්ලේරියාව රෝහලද ප්‍රතිසංස්කරණය කර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇත.

 ආසාදිතයන් 9ක් සුවය ලබා පිටව ගිහින් !

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු අද(28) වන විට සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

එමෙන්ම මේ වනවිට පුද්ගලයින් 97 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද එම කාර්යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව මේවනවිට 107 කි.

කෙසේ නමුත් මේ වන විට රෝහල් ගතවී සිටින මුළු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 199කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.

theleader.lk 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න