පුවත්

කිරි පිටි ආනයන සමාගම් දූෂිතයි : බුද්ධික පතිරණ කියයි !
අප රටට කිරි පිටි ආනයනය කරන සමාගම් දූෂිත ක්‍රියාවල නිරතවන බව හිටපු පාරිභෝගික කටයුතු අමාත්‍යය බුද්ධික පතිරණ පවසයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන පාම් තෙල් මිශ්‍ර බාල කිරි පිටි දිය කර ව්‍යාජ ලෙස සකස් කළ යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවට ඔහු චෝදනා කරයි.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ක්‍රියාව මගින් පාරිභොගිකයන් විශේෂයෙන්ම කුඩා දරුවන් රැවටීමට ලක් කරන බවයි.
ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බවයි.

ආණ්ඩුවේ අත්තනෝමතික වැඩ නිසා : ජපානයෙන් දඬුවමක් !
ජපානයෙන් ලංකාවට ලැබෙන ආධාර 2019 ට සාපේක්ෂව, 2020 වසරේදී 94%කින් අඩු වී ඇති බව දැනගන්නට ඇත.
ඊට අනුව 2019 වසරේදී යෙන් බිලියන 42.7 ක මුදලක් ලංකාවට ලැබී ඇති අතර, 2020 දී ලැබී ඇත්තේ යෙන් බිලියන 1.4 කි.
ජයිකා ආයතනයේ දත්ත මත පදනම් වී මාධ්‍ය මෙම කරුණු හෙළි කර තිබේ.
මෙරටට ලැබෙන ජපන් ආධාර මෙසේ දැවැන්ත ලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව,ජපන් ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබුණු සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමීම බවද දැනගන්නට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඕන නෑ : මහ බැංකු නිවේදනයක් !
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ණය ගෙවීම දුෂ්කර වී ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා ප්‍රතිකේෂ්ප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.
එය පහත දැක්වෙයි.
ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම
ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කනගාටුවට කරුණකි. එබැවින්, සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.
2022 වසරේ ජනවාරි මාසයේදී කල් පිරුණු එ.ජ. ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථක ලෙස පියවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එවැනි පියවීමක් කළ නොහැකි වනු ඇති බවට සමහර පාර්ශ්වයන් අතර ඍණාත්මක අනුමාන කිරීම් තිබියදීය. 2020 වසරේ ජනවාරි මස පටන් එ.ජ. ඩොලර් බිලියන 2.5ක මුළු වටිනාකමක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම් සමඟ දැනට නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී ඇති අතර, එය 2022 වසරේ ජුලි මාසයේදී එ.ජ. ඩොලර් බිලියන 11.55ක් දක්වා තවදුරටත් අඩු වනු ඇත. එය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් දක්වා පමණ ක්‍රමානුකුලව අඩු කර ගැනීමේ රජයේ අරමුණ සමඟ පුළුල්ව අනුකූල වේ. මෙම අරමුණු වෙනුවෙන්, 2022 වසරේ ජුලි මාසයේදී කල් පිරෙන එ.ජ. ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයද ඇතුළු, ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සැලසුම් ගණනාවක් හරහා විකල්ප විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කර ගැනීමට රජය සහ මහ බැංකුව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.
මෙම පසුබිම තුළ, අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කරගැනීම් සහ එමඟින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් (මෙම මාධ්‍ය වාර්තාවල දක්වා ඇති ආකාරයට) මේ මොහොතේදී මතු නොවේ.
ඒ අනුව, අනාගත ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන් දුර්මත පතුරුවා හරින ඇතැම් පාර්ශ්වකරුවන්ගේ සාවද්‍ය කරුණු, නොමඟ යවන සුලු මත සහ වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස මහජනතාව සහ ආයෝජක ප්‍රජාව වෙත මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.

කෝටි 3ක හඬපටයක් ලීක් වෙලා : කවුද ඒ ලොක්කා ?
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවටද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම ලක්ෂ පහළොව හා හතර හමාර බැගින් අවස්ථා දෙකකදී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.
රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.
මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
-lankadeepa

මරික්කාර් අගමැතිගෙන් ගේම ඉල්ලයි : සල්ගාදු පිටියේ රැළියක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (9) පැවැති ජනරැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝගය බාර ගනිමින් තම පක්ෂයද ලබන මාසයේදී එම ක්‍රීඩාංගණයේදීම ජනරැලියක් පවත්වන බව සමඟි ජනබල වේගය පක්ෂය පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව සදහන් කර සිටියි.
ඔහු පවසන්නේ රජය විසින් කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තම පක්ෂය රජයට අභියෝග කරන බවය.
එවිට සැබෑ ජනරැල්ල ඇත්තේ කාටද යන්න සෑබෑවටම දැකගත හැකිවනු ඇතැයිද මන්ත්‍රීවරයා පවසයි.
සමඟි ජනබලවේගයට කුඹුර, මහපාර, වැල්ල මෙන්ම ඕනෑම ජන්දයක්ද ඔට්ටු යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

enews මාධ්‍යවේදී කීර්තිට ඇප !
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඊ නිවුස් මාධ්‍ය වේදී කීර්ති රත්නායක ඊයේ (09) ඇප පිට මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් නියම කර ඇති බව වාර්තා වෙයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණ.
නමුත් රැපියල් 50000ක පුද්ගලික ඇපයක් මත ඔහුව මුදාහැරීමට අධිකරණය නියෝග කල බව සඳහන් වෙයි.
මේ වනවිට කීර්ති රත්නායක තමාට එරෙහිව සිදුකල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිළිබඳව කෝටි 10ක් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න .ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන් , පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර ඇතුළු 20 දෙනෙකුට විරැද්ධව නමින්ම නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.
තවද තව නොබෝ දිනකින් මාධ්‍ය හමුවක් පවත්වා තමාට එරෙහිව සිදුකල අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම සහ වෙනත් ආන්දෝලනාත්මක කරැණු රාශියක් හෙළිදරව් කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

පොහොර ඇතුව හෝ නැතුව ගොවියාගේ ආදායම 100% න් වැඩි කරනවා - ජනාධිපති
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්විණ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.
රැස්වීම් භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් විසින් පිළිගනු ලැබිණ.
මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙයි. එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වේ. පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, කේ.පී.එස්. කුමාරසිරි යන අය උත්සව සභාව ඇමතූහ.
මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමා, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මැති ඇමතිවරු, නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය

පොදුජන පෙරමුණේ තිස්ස කුට්ටිආරච්චි හොර බැංකුවක් !
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන තිස්ස කුට්ටිආරච්චි නීත්‍යානුකූල නොවන ලෙස ජනතා මුදල් තැන්පත් කරගනිමින් බැංකුවක් පවත්වාගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේදී මේ පිළිබද අදහස් දක්වමින් විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය මුදල් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන එකක් බවයි.
ඊට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කර සිටියේ ඒ පිළිබදව සොයා බැලීමට පියවර ගන්නා බවය.
තිස්ස කුට්ටි ගේ ප්‍රතිචාරය !
කෙසේ වුවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා සිටියේ , තමන් විසින් ව්‍යාජ බැංකු පද්ධතියක් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
මෙරට බැංකු නීතිය පිළිබඳව හෝ සමුපකාර නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තමන්ට චෝදනා එල්ල කළ බවත් මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව ප්‍රකාශයක් කරන බවද හෙතෙම පවසා ඇත.
තමන් විසින් රැකියා විරහිත උසස් පෙළ සමතුන් සඳහා ප්‍රාග්ධන සමුපකාර සමිතියක් දිස්ත්‍රික් නවයක් ආවරණය වන පරිදි ආරම්භ කරන තිබෙන බව එහිදී පිළිගෙන ඇති තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙම සමුපකාර සමිතිය මහ බැංකුවේ ලියාපදිංචි කර ඇති බවත් තමන් දේශපාලන පැමිණි පසු අදාළ සමිතියෙ කිසිදු තනතුරක කටයුතු නොකළ බවත් පවසයි.

සජබ ගින්නට පිදුරු දයාන්ගෙන් : මහා බෙදීමක් අත ළඟ !
මහින්ද සුළඟ පළමු වේදිකාවේ කථිකයෙකු වූ ආචාර්ය දයාන් ජයතිලක කේන්ද්‍රීයව සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තරයේ දැවැන්ත ගැටුමක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වසරේ සජබ පළමු කලමනාකරණ රැස්වීමේ දී ප්‍රධානම මාතෘකාව වූවේ දයාන් ජයතිලක බව හර්ෂ ද සිල්වා මීමැස්සෝ සමඟ සාකච්ඡාවේ දී පැවසුවේ මේ නිසාය.
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව සජබ තුල සිදුවන සියළු සාකච්ඡා පැය කිහිපයකින් වෙබ් අඩවි සහ වට්ස්අප් ගෘෘප්වලට යන තත්ත්වයක් මතුවෙලා.
එකී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් මේ තුළ සැකසංකා මතුකරන්නේ ආචාර්ය දයාන් ජයතිලක සම්බන්ධයෙන් ය.
දයාන් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා පුවත්පත්වල ලිවීමට පටන් ගත් පසුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දැන් පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ හෝ නිදහසේ අදහස් දක්වන්නේ හෝ නැති බවත් පැවසෙනවා.
ඒ තුළ ජනපති ප්‍රේමදාස සමයේ එජපය තුල ලලිත් ගාමිණී කේන්ද්‍රගතව බෙදීම හා සමාන කැරැල්ලක් සජබ හරහා හමා යමින් ඇත. එහි න්‍යයාචාර්යවරයා සජිත් ප්‍රේමදාස ගේ උපදේශක දයාන් ජයතිලක බව සජබ මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර අදහසයි.
දයාන් ජයතිලකගේ දේශපාලන ආගමනය !
ඊපීආර්එල්එෆ් සංවිධානයෙන් ක්‍රියාකාරී දේශපාලනය ඇරඹි දයාන්, ඊපීආර්එල්එෆ් සංවිධානය ප්‍රමුඛව හැදූ උතුරු නැගෙනහිර පළමු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු බවට පත් විය.
දයාන්ගේ පළමු නායක පද්මනාභ ඝතානය වූ අතර, මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ට ඉන්දියාවේ සරණාගත තත්වය ලබා ගැනීමට සිදු විය.
වර්ධරාජා ඊලම ප්‍රකාශ කරන්නේ දයාන්ගේ උපදේශයක් අනුවයි. දයාන් කලක් විජය කුමාරතුංග ගේද උපදේශකවරයා වෙලා හිටියා. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සමඟ එකට හිටගන්නට විජයට අවශ්‍ය කතා කියා දුන්නේ දයාන්. එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකරන්නට පෙර විජය කුමාරතුංග ද ඝාතනයට ලක් වෙනවා.
ඊලඟට දයාන් ලංකර ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති. ප්‍රේමදාස ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ට වැඩි බලයක් පාස්කරලිංගම්, පොලිස් අධිකාරි ලෝරන්ස්, කැසිනෝ ජෝ සිම් හා දයාන් ජයතිකට තිබුණ බව ඉතිහාසයේ සඳහන් තවත් ප්‍රසිද්ධ රහසක්.
රණසිංහ ප්‍රේමදාස ගේ අභාවයෙන් පස්සේ දයාන් ගියේ මහජන පක්ෂ නායක ඔසී අබේගුණසේකර ලඟට. ඔහු තොටලඟ බෝම්බයෙන් ඝාතනය වෙනවා.
පස්සේ, එජාප හිටපු මහ ලේකම්වරයකු වූ සිරිසේන කුරේ ගේ ප්‍රේමදාස කේන්ද්‍රයේ කාමරයකට ගිය දයාන් රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ කුමන්ත්‍රණයට එක් වෙනවා.
ටික කලක් නිහඩව සිටි දයාන්, ඊලඟට මහින්ද රාජපක්ෂ ට කිට්ටු වෙනවා. 2014 නොවැම්බර් උදේ වරුවේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි දයාන්, සවස නැවත මහින්ද ලඟට ගිය අතර , යහපාලනය හිමිවීමෙන් පසුව නුගේගොඩ පැවති පළමු මහින්ද සුළඟ රැළියේ ප්‍රමුඛ කතිකයා වූවේ ද දයාන් .
නැවතත්, දයාන් උඩට ගේන්නේ එවකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගේ උපදේශක වුනු ශිරාල් ලක්තිලක. ඒ =ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක දේශනයක් පැවැත්වීම සඳහා. පසුව දයාන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත සමීපව ශිරාල් සමග සීතල යුද්ධයක් අරඹනවා. මේ තත්ත්වය සමනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඇඟ බේරගන්නේ දයාන්ව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කිරීමෙන්.
දයාන් ලංකර ගත් පත්මනාභ, වර්ධරාජා, විජය, ප්‍රේමදාස, ඔසී, සිරිසේන කුරේ දේශපාලනික ලෙස විනාශ වූ බව රහසක් නෙවෙයි.
ඒ ඉතිහාසය දන්න නිසා, දේශපාලන ඉවක් තිබූ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වැන්නන් දයාන්ව අතේ දුරින් තියා, කරදරයේ නොවැටී බේරුණා.
නායකයින්ගේ දුර්වල දුබලතාවයන් ස්පර්ශ කරන දයාන් ඒ හරහා තම සිතැඟි අනුව නායකයන් මෙහෙයවන බවත් ප්‍රසිද්ධ රහසක්.
ඉතිං සජබ පිපිරීම නියත තත්ත්වය නිර්මාණය වීමත් මේ ඉතිහාසය අනුව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
දයාන් ජයතිලක දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ උපදේශක. පත්මනාභ-විජය-ප්‍රේමදාස-ඔසී-කුරේ ගේ දේශපාලනික අරාජිකත්වයෙන් මාවතට සජිත් රැගෙන යන්නට දයාන් ට කෙටි කලක දී ම හැකිවී තියෙනවා.
චම්පික, සරත් ෆොන්සේකා, හරීන්, හර්ෂ, තලතා, එරාන්, මනූෂ වැනි සජබ ක්‍රියාකාරීන්ට පමණක් නොව කබීර් හෂිම්, රාජිත වැනි දැවැන්තයින් දැන් රැස්වීමකට එන්නේ කලාතුරකින්.
කටක් අරින්නේ කේක් කන්න පමණයි. මේ දුරස්වීම හෙට දවසේ දේශපාලන පිපිරීමක් සජබ තුළ දැනට තහවුරු කර තිබෙනවා.
ප්‍රශ්නය වන්නේ , දැනට සමගි ජනබලවේගය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අති බහුතරයක් දන්න මේ කරුණ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක නොදැන සිටීමයි. ඒ නිසා එය ඔහුගේ දේශපාලන අවාසනාවක් වීම කොහෙත්ම විය නොහැක්කක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ අදහස බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි

පාස්කු ප්‍රහාරය ගැන රතුඉර : තවත් ඩ්‍රාමා එකක් ?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 07 ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ රතු ඉර දේශපාලන විවාදය , පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා ගෙනයන අරගලය මොටකළ රංගනයක්ද යන්න කෙරෙහි , සිවිල් සමාජ සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන්ගෙ අවධානය යොමුවෙලා.
විශේෂයෙන් වතිකානුවේ ශුද්ධ වූ අති උතුම් පාප් වහන්සේ පවා මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන අරගලය සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටින පසුබිමක, සහ එළැඹෙන අප්‍රේල් 21 ජාත්‍යන්තර අවධානය ගනිමින් මේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට කටයුතු සූදානම් වෙමින් ඇති පසුබිමේ , පසුගිය 07 වෙනිදා විවාදය ඒ සියල්ල දියත්කර හැරීමේ ප්‍රයත්නයක් ද යන සැකය මේ පිරිස් මතුකරනවා.
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර. විපක්ෂය පාර්ශ්වයෙන් මේ විවාදය සඳහා එක්වෙන්නේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යි.
මේ දෙන්නා මීට සූදානම් වෙලා තියෙන්නේ , කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ වෙනම කාමරයක් පවා වෙන්කර ගනිමින්.
ඉතිං මේ විවාදයට සූදානම් වෙන දෙදෙනාට අවශ්‍ය වැඩිදුර ලිපි ලේඛන ඇතුළු තර්ක , සාක්ෂි විශ්ලේෂණ ආදී තොරතුරු දෙන්න විවිධ පුද්ගලයන් ජයික් හිල්ටන් වෙත 7 වෙනිදා ඇවිත් තියෙනවා. විශේෂයෙන් සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර ඇතුළු පිරිසක් ඒ වෙත ගිහින් තියෙනවා.
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ පෙබරවාරි 07 වෙනිදා පස්වරු 12.30 ට විතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ත් මේ ස්ථානයට ගිහින් තිබීම.
මහින්දානන්ද අලුත්ගමගේ ඇමති ගේ මේ හදිසි ජයික් හිල්ටන් පැමිණීමත්, ස්වර්ණවාහිනී රතුඉර සංවාදය පැවැත්වුණ ස්වරූපයත් විමර්ශනය කරමින් තමයි, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් මැදිහත්වී සිටින පාර්ශ්ව, මේ 7 වෙනිදා විවාදය ඩ්‍රාමා එකක්ද කියලා ප්‍රශ්නය යොමුකරන්නේ .
ඔවුන් වැඩිදුරටත් කියන්නේ , මේක ප්‍රසිද්ධියේ විවාද කරන්න පුළුවන් කරුණක් නෙවෙයි. ආගමික සංස්ථාව, රාජ්‍ය රහස්, ජාතික ආරක්ෂාව , හමුදාව සහ පොලිසිය , බුද්ධි අංශ, දේශපාලනයේ ඉහළම තන්ත්‍රය , ඇතුළු සංකීර්ණ සාධක රැසක් හරහා යන්න වෙන යුක්තිය සොයන ගමනක්.
එවැනි තත්ත්වයක් යටතේ විපක්ෂය පාර්ලිමේන්තු වරප්‍රසාද පවා නොමැති ප්‍රසිද්ධ නාලිකාවක විවාදයක් සඳහා යනවා කියන්නේ , දැලිපිහියෙන් කිරි කෑමට වඩා අවධානම් වැඩක්.
ඉතිං විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට නිදහසේ තමන් දන්න දේවල් අනාවරණය කරන්න ඉඩක් එතන නැති බව දැන දැන මේ වගේ විවාදයක් සඳහා ගියේ මොකද කියලත් මේ පිරිස් ප්‍රශ්න කරනවා.
ඒ වගේම ඔවුන් කියන්නේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න ගෙනියන සටන මේ වගේ ජනප්‍රිය විගඩම් නිසා අවුල් වෙනවා කියලා. මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබාගන්න සටන ජාත්‍යන්තර අවධානයක් දිනාගෙන තියෙන්නේ. ඒ පසුබිමේ විපක්ෂය නියෝජනය කරන , යම් දැනුම් තේරුමක් ඇති හරීන්ලා, මනූෂලාත් මේ දන්න කරුණු ටිකවත් ප්‍රසිද්ධියේ කියන්න බැරි , නාඩගම් මඩුවක, නාඩගම්කාරයන් වෙන්න යාමත් ප්‍රශ්නයක් බව ඔවුන් ප්‍රශ්න කරනවා.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කරන්න : මෛත්‍රී රටින් යයි !
දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(08) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වෙයි.
මෙම සමුළුව දකුණු කොරියාවේ දී අනිද්දා (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බවත් වාර්තා වෙයි.
රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , හිටපු ජනාධිපති මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ගේ ආරාධනයකට අනුවය .

අද, කොවිඩ් මරණ 36ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,692ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 36 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තා වී ඇත්තේ, පිරිමි ආසාදිතයින් 27 දෙනෙක් සහ කාන්තාවන් 09 දෙනෙකු ලෙසයි.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් තිදෙනෙකු ද වේ.
අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 08 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 25 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (09) වාර්තා කරන ලද මෙම මරණ 36 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

බොරැල්ල දෙව් මැදුරේ බෝම්බය : මුනිත් නිදහස් !
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා වූ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අය නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (09) නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දි ඇති බවත් වාර්තා වෙයි.

කබ්‍රාල් ජනාධිපතිවත් අන්දනවා - හර්ෂ
රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී , ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය වාර්තා කර තිබෙන පුවත්පත් වලම ඔහුට උපහාසයට මෙන් “වරායේ හිරවූ කන්ටේනර් මුදාගන්න ඩොලර් නෑ“, “ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ“, “එදාවේල පිරිමහගන්න මහ බැංකුව රන් සංචිත විකුණයි“, වැනි ප්‍රවෘත්තිද වාර්තා කර තිබෙන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බවත් නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
“නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියනවා. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ.“
“අපි නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න කියලා.“
පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
– media unit

මන්ත්‍රී රිෂාඩ්ට - බිරිඳට විදෙස්ගත වෙන්න අවසර
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09) අවසර ලබාදුන්නාය.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව........
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් , සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වූයේ, දෙවැනි දිනටයි.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
ඊට වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.

අද, කොවිඩ් මරණ 35ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,656ක් දක්වා ඉහළට
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,656 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 28 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 22 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර දූෂණ මඩින්න අලුත් අංකයක් !
බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට බන්ධනාගාර රැඳවියන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.
එවැනි තොරතුරු 011 267 8600 දුකරථන අංකයට අමතා එම තොරතුරු ලබාදිය හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ ක්‍රියා සහ සිරකරුවන්ට වධහිංසා කිරිම් සිදුකරන නිලධාරින් වැඩ තහනමට ලක්වූ පසු ඔවුන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් නැවත සේවයේ පිහිටුවිම පිළිබඳව සලකා නොබැලීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසන්නේ එවැනි නිලධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරින් සිදුකරන විශිෂ්ට සේවයට ද හානිකර වන බැවින් මේ තීරණයට එළැඹි බවයි.
එවැනි නිලධාරීන් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරීමට හෝ දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද එහි සඳහන් ය.
මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සියලු අධිකාරිවරු වෙත දන්වා නිලධාරින් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
Page 370 of 464