පුවත්

බංකොලොත් ව්‍යාපාර ගැන කටයුතු කරන්න නව පනතක් ළඟදීම !
තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විධිවිධාන අන්තර්ගත වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ආධාර සහ උපකාර ලබාදීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය (Ceylon Federation of MSME) විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගන්වන තීරණාත්මක ඇරඹුම” යන වැඩසටහනට එක්වෙමිනි.
මේ වන විටත් කෙටුම්පත් කර තිබෙන මෙම නව පනතෙහි පිටපතක් ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය වෙත ලබාදීමට හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට ද කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ සභාපති සශිකා ද සිල්වා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
“පසුගිය කාලය පුරා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන ඔබ සියලු දෙනාගේම සිත තුළ බොහෝ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න මොදවාදැයි ඔබ මතු කිරීමට පෙර ඊට හේතු වුණු පසුබිම පිළිබඳ සඳහන් කිරීමට මම අදහස් කළා. ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදුවන්නේ එම පසුබිම තුළයි.
පසුගිය සමයේ රටේ ආර්ථිකය කඩා වැටුනා. ආර්ථිකය කඩාවැටීමත් සමඟ විශේෂයෙන්ම සුළු ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර සියල්ල ද කඩා වැටීමට ලක්වුණා. ක්ෂුද්‍ර ව්‍යාපාර සියල්ලම සම්පූර්ණයෙන්ම නැතිව ගියා. බැංකු පද්ධතිය ද අවදානමට ලක්වුණා. ඒ නිසා ආණ්ඩුව භාරගත් පසු අපගේ පළමු වගකීම වුණේ ස්ථාවරභාවයක් ඇතිකරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර බංකොලොත්භාවයෙන් මිදීම සඳහා කටයුතු කිරීමයි.
ඒ අවස්ථාවේදී අපට ණය දුන් රටවල් සියල්ලම සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යොමුවන ලෙසයි. එවිට එකඟතාවකට පැමිණ ඉදිරි කටයුතු සිදුකළ හැකි බවත් ප්‍රකාශ කළා. නිල ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසුව එම රාමුව සමඟ කටයුතු කල හැකි බව පුද්ගලික ණය හිමියන්ද අපට ප්‍රකාශ කළා. මුදල් සහ ආධාර ලැබෙන්නේ නැතිනම් අපට කිසිවක් සිදු කළ නොහැකියි.
ඒ අවස්ථාවේදී අපට මූලික කාරණා කිහිපයකට එකඟවීමට සිදුවුණා. ඒ අනුව අනාගතයේ මුදල් මුද්‍රණය නොකිරීමටත්, බැංකුවලින් ණය ලබා නොගැනීමටත් අපට තීරණය කරන්න සිදු වුණා. බැංකුවල ද බොහෝ ප්‍රශ්න තිබුණා. අපගේ ප්‍රධාන ආදායම් බවට පත්ව තිබුණේ ද මේ ක්‍රමවේදයන් දෙකයි. අප ගමන් කළ මෙම වැරදි මාර්ගයෙන් ඉවත් වන ලෙසත්, අලුත් මාර්ගයකට අවතීර්ණ වන ලෙසත් ඔවුන් වැඩිදුරටත් දැනුම්දුන්නා.
ඒ අනුව අප නිවැරදි මාර්ගයට අවතීර්ණ වුණා. එහිදී ආදායම් උපයාගැනීම සඳහා සමහර සංස්ථාවලට දෙනු ලබන සහනාධාර ඉවත් කිරීමට සිදුවුණා. ඇතැම් සංස්ථාවලට අප වසරකට රුපියල් මිලියන 700ත් 800ත් අතර අගයකින් සහනාධාර ලබාදී තිබුණා. ඒ සහනාධාර සඳහා මුදල් ගෙවනු ලැබුවේ මේ රටේ ජනතාවයි. ඒ නිසා අපට එය නතර කිරීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී ඉන්ධන ඇතුළු මේ භාණ්ඩ මිල ඉහළ යාමට පටන් ගත්තා.
එයින් ලැබුණු ආදායම ද ප්‍රමාණවත් නොවූ නිසා අපට වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවුණා. මේ වන විට රටේ ආර්ථිකය අපගේම මුදලින් පවත්වාගෙන යනු ලබනවා. අප වෙත බරක් පැටවුණු තිබුණ නමුත් අපට එය දැරීමට සිදුවුණා. ඔවුන් අපගේ බර භාරගැනීමට පෙර අප අපගේ බර භාරගනිමින් වගකීමක් ගත හැකි බව පෙන්වන ලෙස ලෝකය අපට දැනුම් දුන්නා. අප ආරම්භ කලේ එතැන් සිටයි.
අවසානයේ අපට අපගේම මුදලින් රාජ්‍ය සංස්ථා සියල්ලම නිසි අයුරින් කළමනාකරණය කිරීමට කටයුතු කළා. ඒ නිසා ලෝකයේ සිදුවන ආකාරයට අඩු වැඩි වන ඉන්ධන මිලක් අපට ලැබී තිබෙනවා. සමහර වියදම් ඉවත් කිරීම මඟින් ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතිනවා. බලශක්ති මිල ද එසේමයි. වෙළෙඳපොළ හා සම්බන්ධව තවත් දේ තිබෙනවා. අකාර්යක්ෂමතාවන් (Inefficiencies) සියල්ලම ලබන වසරේදී ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ආර්ථිකය සකස් කල පසු ඉදිරියට යාමට හැකිවෙනවා. නමුත් බැංකු පද්ධතිය ද ආරක්ෂා කළ යුතුයි. බැංකු අතරින් රජයේ බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු බැංකු සඳහා යළිත් ප්‍රාග්ධනය ලබාදීමට අපට සිදුවුණා. ඒ සඳහා අප සතු මුදල්වලින් කොටසක් යෙදවීමට සිදුවුණා. පුද්ගලික බැංකුවලට ද එසේ කිරීමට සිදුවුණා. අපට ඉදිරියට යා හැක්කේ බැංකු ක්‍රමය ආරක්ෂා කිරීමෙන් පමණයි.
ඒ වගේම අප ලබාදෙන සහනාධාර ප්‍රමාණවත් නොවන බවත්, නිවැරදි පුද්ගලයින් අතට සහනාධාර ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ප්‍රකාශ කළා. ඒ අනුව අප අස්වැසුම වැඩසටහන ආරම්භ කළා.
අස්වැසුම හරහා සමෘද්ධි ව්‍යාපාරය මඟින් ලබාදුන් මුදල මෙන් තුන්ගුණයක මුදලක් ලබාදෙනවා. ප්‍රතිලාභීන් ලක්ෂ 18කට ලබාදුන් සමෘද්ධිය වෙනුවට අප දියත් කළ අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 24කට ප්‍රතිලාභ ලබාදෙනවා.
අඩු ආදායම්ලාභීන්ට ආධාර ලබාදීමේ මූලික වැඩසටහන වූයේ එයයි.
මම ක්‍රියා කරන්නේ අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරමින්, විශාල ව්‍යාපාර ඉදිරියට ගෙන යන අතරම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ද ශක්තිමත් කිරීමටයි. පළමුවෙන්ම උරුමය වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවකට සින්නක්කර ඔප්පු ලබාදීම මඟින් ඉඩම් අයිතිය ලබාදීමට අප ක්‍රියා කරමින් සිටිනවා. එම වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් වීමට වසර තුනක් හෝ හතරක් ගතවිය හැකියි. එමඟින් ඉඩම් අයිතිකරුවන් ලක්ෂ 20ක් ඇතිවෙනවා. 200,000කට පමණ නිවාස අයිතිය ලබාදීම ද අප ආරම්භ කර තිබෙනවා. වතුකරයේ ගම්මාන ඇති කරනවා. ඒ සඳහා ද අප ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙනවා. මේ යටතේ ලක්ෂ 20ත් 25ත් අතර ජනතාවකට අලුතින් “අයිතිය” හිමිවෙනවා. මේ ආකාරයට සෑමවිටම ජනතාවට අයිතිය ලබාදීමට අප ක්‍රියාකරමින් සිටිනවා.
පළමුවරට අප බිම් මට්ටමේ අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මේ ඉඩම් ලබාදීමේදී කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම් තිබෙනවා. නමුත් දුප්පත්කම පවතින්නේ ගම්මාන තුළයි. ඒ නිසා කෘෂි නවීකරණය ගමට ගෙන යනවා. ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශවල මුදල් සංසරණය වැඩිවෙනවා. “අයිතිය” වැඩිවෙනවා, බැංකු ගිණුම් ප්‍රමාණය ද වැඩිවෙනවා, එක් එක් පුද්ගලයා සතු මුදල් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පිරිසට අධාර උපකාර කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන් සමඟ ඉදිරියට යාමට හැකියි. පවතින රාමුව තුළ අපට මේ වැඩකටයුතු සිදු කිරීමට තිබෙනවා.
මේ වන විට අප පරාටේ නීතිය අත්හිටුවා තිබෙනවා. නමුත් එය හැමදාටම අත්හිටුවා තැබීමට නොහැකියි. ඒනිසා අප බංකොළොත්භාවය (Insolvency) පිළිබඳ පනත් කෙටුම්පතක් අලුතින් හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා. අප දැන් එය ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔබට එහි පිටපතක් ලබා දීමට හැකියි. පළමුව ඔබ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න. එහි ප්‍රතිව්‍යුහගතකරණ පිළිබඳව කොටසක් ද අන්තර්ගත වෙනවා.
ඒ වගේම අප අපනයනය සඳහා ද යොමු විය යුතුයි. ඒ සඳහා අප “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබනවා. එයින් ඔබට අවශ්‍ය ආධාර සහ උපකාර ලබා දෙනු ඇතියි. ඒවගේම අප ජාතික සංවර්ධන බැංකුවක් ද පිහිටුවනවා. මේ සියල්ල එකවර සිදු කළ නොහැකියි. ආර්ථිකය දියුණු වීමේදී අප මෙම කටයුතු ද ක්‍රමානුකූලව සිදුකරනවා. මේ පසුබිම තුළ ඔබේ ප්‍රශ්න ද සාකච්ඡා කළ හැකියි. එහිදී ඔබ මේ සම්බන්ධව විශේෂඥ දැනුම් ඇති පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සූදානම් වනවා නම් මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මා අවස්ථාව සලසා දිය හැකියි.
පළමුවෙන්ම මේ සියල්ල ගෙන ඔබ අතර සාකච්ඡා කරන්න. නීතියෙන් ලැබෙන සහන මොනවාද? කෙටුම්පතෙහි දැක්වෙන සහනවලට අමතරව තවත් සහන අවශ්‍ය ද? වැනි මේ සියලු කාරණා පිළිබඳ සාකච්ඡා කර ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. නීතිය පිළිබඳ රජය සමඟ සාකච්ඡා කළ හැකියි. නමුත් ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාව සිදු කරමු. ඔබට සහාය වීමට මම අමාත්‍යාංශයේ වෙනම නිලධාරීන් කිහිපදෙනෙකු ද පත් කරන්නම්. අප ඔබට උපකාර කිරීමට සූදානම්.”
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නෙරන්ජන් දේව් ආධිත්‍ය, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා යන මහත්වරුන් ද, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සභාපතිවරුන් සහ නියෝජිතයින්, ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනයෙහි නිලධාරී මණ්ඩලය ඇතුළු ව්‍යවසායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කිසිම සැකයක් එපා : ජන්දය දිනනවා : හිටපු පළාත් පාලන ප්‍රධානීන්ට ජනපති කියයි !
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී අද (20) පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමිනි.
දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබිණ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
මීට වසර දෙකකට පෙර මම රට බාර ගන්නා අවස්ථාව වන විට රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටියා. එදා ආර්ථික කඩා වැටීමක් පමණක් නොව, නීතිය හා දේශපාලනයද කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් මේ ඡන්දෙදී පක්ෂ කඩා වැටීමකුත් සිදුව තිබෙනවා.
එදා මට අගමැතිධුරය භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේ මා එය නොබියව භාර ගත්තා. නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට සහ අනෙකුත් පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් කිසිවෙක් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. නමුත් මා අභියෝගය භාර ගැනීමෙන් පසුව රට ගොඩ නැඟීම සඳහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළා.
ඒ අනුව ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සමඟ සාකච්ඡා කරන්න සූදානම් වුණා. නමුත් එම පක්ෂයේ සභාපතිවරයා ඊට එකඟ වුණේ නැහැ. අනතුරුන මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා.ඒ අවස්ථාවේ එතුමා කියා සිටියේ තම පක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය මා හට දැනුම් දෙන බවයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා.
සමගි ජනබලවේගයේ සහයෝගය ලබා ගැනීමටද එදා මා උත්සාහ කළා. නමුත් ඒ අවස්ථාවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ද ජනාධිපතිනරවකු තෝරා පත් කර ගැනීමට පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවයි. කෙසේ හෝ අවසානයේ ඔහු ඊට ඉදිරිපත් නොවී ඩලස් අලහප්පෙරුම මහතාව ඉදිරිපත් කළා. කෙසේ හෝ ඒ අවස්ථාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ අනෙක් පක්ෂ සමඟත් මා සාකච්ඡා කළා. ඒ අයගේද සහයෝගය මට ලැබුණා.
ඒ අනුව මා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. ආර්ථිකය මුළුමණින්ම කඩා වැටී තිබුණා. බිම් මට්ටමේ පාලන යාන්ත්‍රණය වගේම දේශපාලන යාන්ත්‍රණයද කඩා වැටීමට ලක්ව තිබුණා.
මහජන නියෝජිතයින්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ නිවාස ගිනි තබා ඔවුන්ව බිය වද්දා පාරට බහින්නවත් පුලුවන් වාතාවරණයක් ග්‍රාමීය මට්ටමේ තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි, අනෙක් පක්ෂවල උදවියටත් පාරට බහින්න පුලුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් කලහාකාරීන් ගමේ බලය සියතට ගන්නවා. ඔවුන් උත්සාහ කළේ බිම් මට්ටමේ බලය අල්ලා ගැනීමටයි.
මේ අභියෝග පරාජය කරමින් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ඒමට මට හැකි වුණා. මේ ගමනේදී විරෝධතා මෙන්ම උද්ඝෝෂණවලට ද අපට මුහුණ දීමට සිදු වුණා.
මේ පසුබිම තුළ පළාත් පාලන මැතිවරණය පැමිණියා. නමුත් ඒ සඳහා එදා මුදල් වෙන්කර දීමට ශක්තියක් තිබුණේ නැහැ. එදා ඒ ඡන්දයට වඩා මුදල් වෙන් කරමින් ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබුණා. ඖෂධ, ඉන්ධන ආදිය ආනයනය සඳහා මුදල් වැය කිරීමට සිදුව තිබුණා.
ඒ අවස්ථාවේ එවකට පැවති මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සම්බන්ධව නීතිපතිතුමාගෙන් උපදෙස් නොගෙන සාලිය පීරිස් මහතාගෙන් උපදෙස් ලබා ගත්තා. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. කෙසේ හෝ පසුව එහි සාමාජිකයින් ඉල්ලා අස් වුණා. අලුත් කණ්ඩායමක් පත් වුණා. ඒ අවස්ථාවේදීද මා සත්‍ය ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රටේ මුදල් නැති බව මා නැවත ප්‍රකාශ කළා.
මේ ආකාරයට ක්‍රියා නොකර, ආර්ථිකය ගොඩ නැඟීම පසක තබා ඡන්දය පැවැත්වීමට මා ක්‍රියාකළා නම්, අද මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම කළා නම් එදා රට තිබූණ තැනින් ගොඩ ඒමට හැකි වෙයිද? අස්වැසුමට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් වෙන් කරන්න පුළුවන් වෙයිද? උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වෙයිද? එහෙම වුනා නම් මේ එකක්වත් අපට කරන්න හැකි වෙන්නේ නැහැ.
කෙසේ හෝ මේ අභියෝග මතින් ඉදිරියට පැමිණ රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ නිසාම අද ජනතාව අතේ මුදල් තිබෙනවා. මේ රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලබා දීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව ඔවුන්ට අස්වැසුම ලබා දීමට කටයුතු කළා. සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලැබුණා. මහල් නිවාසවල ජීවත් වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා.
විමධ්‍යගත අයවැය මඟින් බිම් මට්ටමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කර දීමට අපට හැකි වුණා. මෙම ක්‍රියා මාර්ග නිසා ජනතාවට අද සහනයක් ලැබී තිබෙනවා.
එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙන බවයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ අය අද වන විට හොයා ගන්නත් නැහැ. තවත් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන බව ප්‍රකාශ කළා. අද ඔවුන්ද නිහඬයි. අප දියත් කළ ශක්තිමත් වැඩපිළිවෙල නිසා ඔවුන්ට ජනතාව අතරට යාමට නොහැකි වී තිබෙනවා. අප ඇතිකර තිබෙන බලවේගයට ඔවුන්ට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා.
ඊට ඔවුන් ළඟ පිළිතුරු නැහැ. නමුත් අපේ ව්‍යාපාරය තාම ආරම්භ කළා පමණයි.
අද මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාට අසාධාරණයක් සිදුව තිබෙන බව අප පිළිගන්නවා. මේ සම්බන්ධව නීතිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කෙසේ හෝ එළඹෙන ඡන්දයෙන් පසු දැනට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අප පියවර ගන්නවා. නාම යෝජනා භාර දී අවුරුද්දක් ගත වූ පසු නැවත ඡන්දය පැවැත්විය නොහැකියි. අලුත් අයටද තරග කිරීමට අවස්ථාව දිය යුතුයි. 1988 ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා නාමයෝජනා භාරගත් අයුරු මට මතකයි. නමුත් ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා එම නාම යෝජනා සියල්ල අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවනු ලැබුවා.
මේ අනුව අලුතින් ක්‍රියාකර ඔබ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ජනතාව අතරට යෑමට ඔබට අද හොඳ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ජනතාව අතරට ගොස් ඒ අය සමඟ සත්‍ය කතා කරන්න. අප පැමිණි කටුක ගමන ගැන ජනතාව තුළ තිබෙන අවබෝධය තවත් වැඩි කරන්න පියවර ගන්න. ඔබට එය කළ හැකියි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ සමඟි ජනබලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩ නඟා දීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. දේශපාලන ක්‍රමය රටට සුදුසු ආකාරයට ගොඩ නැඟිය යුතුයි. පක්ෂ කිහිපයක් තිබිය හැකියි. එහෙත් අරමුණ එකක් විය යුතුයි.
දේශපාලන පක්ෂ එකට වැඩ කරන අවස්ථා මෙන්ම වෙන්ව වැඩ කරන අවස්ථා තිබිය හැකියි. නමුත් එක රාමුවක එකට එකතු වී වැඩ කිරීමටද හැකි විය යුතුයි.
අද මේ රටේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කර දීමයි. එම කටයුතු අතර 25%ක් පමණ වන රටේ දිළිඳු ජනතාවද අමතක කළ නොහැකියි. ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා විවිධ ආර්ථික වැඩසටහන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කර ග්‍රාමීය මට්ටමේ තිබෙන දිළිඳු ජන සංඛ්‍යාව අඩු කිරිම සඳහා අප සැලසුම් සහගතව ක්‍රියා කළ යුතුයි.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අප මේ වන විට සම්මත කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමටද අප පියවර ගනු ලැබුවා. ඒ වගේම පළාත් සභා පැරණි ක්‍රමයට යා යුතු බවට එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා මගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. නමුත් එහිදීද කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බව අප දැනුම් දී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජනබලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.
අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, නීතීඥ මධුර විතානගේ, වජිර අබේවර්ධන , එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, හිටපු නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු තවත් පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල හිටපු නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොහොට්ටුවේ අපේක්ෂකයාගේ හැඩය නාමල් කියයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැති බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
එසේම තමාද පක්ෂයට එවැන්නක් දැනුම්දී නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය කළ විමසුමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවත් ය.
අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමිනි.
සමරු ඵලකය නිරාවරණය කර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
මෙහිදී විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සහ මෙරට උසස් අධ්‍යාපන ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිදු කෙරිණි.
එසේම විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීමට සමගාමීව සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙනවා. මෙහි තාක්ෂණයට හා විද්‍යාවට මුල් තැන ලබාදී තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබා දෙන්නයි.
රජයේ අරමුණ වී තිබෙන්නෙත් අප රටේ විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීමයි. තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිස් අපේ රටට අවශ්‍යයි. මෙම විශ්වවිද්‍යාලය රටට වැදගත් වන්නේ ඒ නිසයි.
අපේ රටේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබාදීමට ගන්නා උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එතුමා මේ ප්‍රදේශයට කර තිබෙන්නේ විශාල සේවයක්. මේ විශ්වවිද්‍යාලයත් සමඟ නැගෙනහිර පළාතට දැන් විශ්වවිද්‍යාල තුනක් තිබෙනවා.
මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් නෙමෙයි. මේ ආයතනයටත් ලැබෙන අරමුදලින් ඉතිරි වුණොත් ආයතනයේ දියුණුව උදෙසා යොදා ගන්න. අප රටේ පමණක් නොවෙයි ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෝකයේ තිබෙනවා.
හාවඩ්, ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්න පුළුවන්.
කොතලාවල විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය ද ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල බව කිව යුතුයි.
ඇතැමුන් මේවා උපාධි කඩ වශයෙන් හදුන්වා දෙනවා. එතකොට කේම්බ්‍රිජ්, හාවඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩද? ඔය ආකල්පය අරගෙන ඇවිත් තමයි මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කළේ. කෙසේ නමුත් අපි මේවා තව තවත් දියුණු කළ යුතුයි. එදා තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තිබෙන්නේ. අද විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන කණ්ඩායම් සිටිනවා. එම කණ්ඩායම් ඒකාධිපති පාලනයක් වගේ සිසු සිසුවියන්ව හසුරවනවා. එවන් වූ වාතාවරණයක් තුළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්ට මම ප්‍රශංසා කරනවා.
විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසභ්‍ය කතාවලට අප ඇහුම්කන් දිය යුතු නැහැ. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළදී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.
මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙනුවෙන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන හතරක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවද පැවසිය යුතුයි.
මඩකලපුව විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ , නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා,
මෙම විශ්වවිද්‍යාලය විවෘත කිරීමට පැමිණීම සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙය ඉදිකිරීමට සුදුසු ස්ථානයක් මම හැමතැනම හෙව්වා. නමුත් අවසානයේදී අඩු ආදායම්ලාභී බහුතරයක් ජීවත් වන ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන මේ ස්ථානයේ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට කටයුතු කළා. මේ ඉදිකිරීම තුළින් ඒ පළාත් තුනේම ජීවත්වන ජනතාවට ප්‍රයෝජනයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. මේ වනවිට මෙහි රටේ සෑම පළාතකම පාහේ වෙසෙන සිසු සිසුවියන් 1200ක් පමණ ඉගෙනීම් කටයුතු සිදු කරනවා.
මෙම විශ්වවිද්‍යාලය එක ජාතියකට හෝ ආගමකට වෙන් වූ ආයතනයක් නොවෙයි. මෙහි ආගම් භේදයෙන් තොරව ඕනෑම දරුවකුට ඉගෙන ගැනීමට අවස්ථාව තිබෙනවා.
අපට අවශ්‍ය හොඳ ශ්‍රී ලාංකිකයෙක් බිහිකිරීමයි. එදා අපේ රට දරුණු අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපති ධුරය භාරගෙන රට නැවත ගොඩනැගීමට කටයුතු කළා. එතුමා රට යළි ගොඩනැගූ නිසා අපට ශ්‍රී ලාංකිකයෙක් යනුවෙන් අභිමානයෙන් ලෝකයට කියන්න හැකියාව ලැබුණා.
මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම්, අලී සහීර් මවුලානා, ෆයිසාල් කාසීම්, ජගත් සමරවික්‍රම, හිටපු අමාත්‍ය රවී කරුණානායක, විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය කේ. එම්. මුබාරක්, ලේඛකාධිකාරී පී. ටී. ඒ. හසන්, විද්‍යා හා තාක්ෂණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සභාපති හිරාස් හිස්බුල්ලා යන මහත්ම මහත්මීන්, සෞදි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සරසවි අනධ්‍යන සේවක හිඟ වැටුප් ගෙවන්න බිලියන 4ක්
වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වූ බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේය,
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය දිනවල දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත විය.
මේ හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑම්ය.

බංග්ලාදේශ සිසු විරෝධතාවක් : ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර
බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට පුරා පැතිර ගිය නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග හමුදා භට කණ්ඩායම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැඳවා ඇති නමුත් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.
විරෝධතාකරුවන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.
ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබේ.
විරෝධතා හමුවේ එරට පොලීසිය විසින් ඩකා අගනුවර මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබුණි.
විරෝධතා ආරම්භ වුණේ, රජයේ රැකියා දීමේ විශේෂ කෝටා ක්‍රමයක් අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන්ය.
ලාංකික සිසුන්ගේ තත්ත්වය
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දී තිබේ.
බංග්ලාදේශයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවී පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.

ව්‍යවස්ථා සංශෝධන වලට බය වෙන්න එපා - ජනපති
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දෙන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බවත් ඒ අනුව එවැනි කටයුතු සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමිනි.
ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600 ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ගාල්ල නීතිඥ ප්‍රජාව විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේදී මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක්ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක් ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි.
මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා.
එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා.
ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා.
1931 වසරේදී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි.
යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ.
මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.
ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා.
අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි.
2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා.

මේ ගෙවන්නේ මීට අවුරුදු 40 කට කළින් රනිල්ට එකඟ නොවීමේ ප්‍රතිඵලයි - ප්‍රසන්න
මීට වසර 40 ට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකග නොවීමේ ප්‍රතිඵල අද අප භුක්ති විදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන” යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි.
මෙම උත්සවය ගම්පහ නයිවල ජයසිංහ සිටි සෙන්ටර් උත්සව ශාලාවේදී පැවැත්වුණි.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3,600ක ප්‍රතිපාදන වෙන් කර ඇත. 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් රුපියල් 3000 බැගින් වසරක් ශිෂ්‍යත්ව ලබා දෙන අතර උසස් පෙළ දරුවන් සඳහා රුපියල් 6000 බැගින් වසර දෙකක් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් 6490 ක් මේ සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙම උත්සවයේදී මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් 1,377ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දුන්හ. මීට අමතරව දරුවන්ට රුපියල් 1000ක් වටිනා පොත් කට්ටලයක්ද මෙහිදී ප්‍රදානය කෙරුණි.
සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.
“අපි දන්නවා ආර්ථික අර්බුධය පහුගිය කාලෙදි මේ රටේ ඉතාමත් බරපතල විදියට පැවතුණා. එහෙම තියෙද්දිත් මේ රට සහ දරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා අනාගතය භාරගන්න ඉන්න දරුවන්ගේ පවුල් වලට ආර්ථිකමය වශයෙන් ශක්තියක් වෙන්න අවශ්‍යතාවය තියෙන අය හදුනාගෙන ළමයි වෙනුවෙන් මෙවැනි කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. මේ සදහා මැදිහත් වීම වෙන්නෙ අපේ පළාත් කාර්යාල නිලධාරීන්, විදුහල්පතිවරු ඔවුන් තමා මේ තෝරාගැනීම කරලා තියෙන්නෙ. කිසිම කෙනෙක්ගේ දේශපාලන මැදිහත්වීම් නෑ. දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙනුයි මේ කටයුතු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.
මීට අවුරුදු 40 කට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න ජනාධිපතිතුමා උත්සහ කරල තියෙනවා. එදා උත්සාහ කරද්දි යම් යම් කණ්ඩායම් ඒකට විරුද්ධ අරගල කරලා විරෝධතා දක්වලා ඒ ප්‍රතිසංස්කරණය ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා නෑ. අවුරුදු 40 කට පස්සේ ලංකාවේ ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට නව මුහුණූවරක් ලබාදෙමින් එදා විරුද්ධව ගිය කණ්ඩායම අද ඒක පිළිගන්න තත්ත්වෙට ඇවිල්ලා ඉන්නවා. එහෙම වෙන්න හේතුව තමයි ජනාධිපතිතුමා අනාගතය දැකලා කටයුතු කරන නායකයෙක් හැටියට අපේ දරුවන් වෙනුවෙන් මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා ආරම්භ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල කරානම් අපිත් මේ රටත් ලෝකයේ දියුණු අධ්‍යාපන ක්ෂේත්‍රක් පවතින රටවල් මට්ටමට අද පත්කරගන්න තිබුණා. අවුරුදු 40 ක් අපි ප්‍රමාදයි. කවුද මේකට වගකියන්න ඕන.
එදා වගකීම ගතයුතු අය අද රටට ඇවිල්ලා ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ වැඩපිලිවෙලේ කොටස් අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ අවුරුදු 40 අපිට වෙච්ච පාඩුව නැවත යාවත්කාලීන කරන්න නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකතු වෙන්න ඕන.
සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්වන ගුරුවරු ගෙන්නලා රටේ අනාගතය ලෝකයට ගෙනයන්න පුලුවන් වැඩපිලිවෙලක් අපේ කලාප තුළ අපි කරන්න ඕන. අපිට ලොකු වගකීමක් තියෙනවා. මේවා කරද්දි රජයක් විදියට අපි බංකොලොත් කියලා ආර්ථිකය කඩාවැටිච්ච රටක් විදියට මෙහෙම කරන්නෙ කොහොමද කියලා සමහරු අහනවා. ඇමරිකාව වගේ රටවල් නිෂ්පාදන අතිරික්තයක් උනාම අප්‍රිකාව වගේ දුප්පත් රටවල්වලට ලබාදෙන්න කටයුතු කරන්නෙ නෑ අතිරික්තය ගෙනල්ල මුහුදට දානවා. අපි විශ්වාස කරනවා ඒ මුහුදට දාන ටික දුප්පත් රටවල්වලට ලබාදුන්නා නම් කොච්චර හොදද.
ඒ වගේම තමයි ආර්ථික අර්බුධය වෙලාවෙ ජනාධිපතිතුමා පසුගිය කාලේ වෙලදපොළ පාලනය කරන්න ඕන නිසා ගොවීන්ට හොදමිලක් ලබාදෙන්න ඕන හින්දා ඇති හාල් බෙදා දෙන වැඩපිලිවෙල ක්‍රියාත්මක කළා. ඒ බෙදාදෙන්න හදනකොටත් විවේචනය කරා.මම හිතන්නේ වැඩිපුර තියෙනවනම්, නැති අයට දෙනවනම්, මිල පාලනයක් වෙනවනම්, හැමෝටම හොදක් වෙනවනම් ඒක හොද දෙයක්. ඒක සුබවාදීව දකින්න බැරි අය ඉන්නවා .
දරුවන්ට යම්කිසි දෙයක් කරනකොට අපිට 100% ක් සාර්ථක වෙන්න බැරිවෙයි. හැබැයි ඒවා සුබවාදීව දකින්න බැරි අය ඉන්නවා. රටේ ආර්ථික අර්බුධයක් තියෙද්දිත් අපි මේ රටේ ජනතාවට රටේ ආර්ථික අර්බුදයට මුහුණදීලා ඒ අභියෝග භාරගත්තා. අපි අභියෝග භාරගන්න ඕන වෙනකොට 2022 අපි අභියෝගවලට මුහුණ දෙනකොට ඒවා භාරගන්න කවුරුවත් නැතිවෙනකොට තිබිච්ච අර්බුධයට විසදුමක් ලබාදුන්නෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දරුවෝ තමයි අනාගතය කියල හිතලා අවශ්‍ය කරන සම්පත් දෙන්න ඕන කියලා එතුමා හිතනවා. ඒ යටතේ තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. තාක්ෂණය පාසලට ගෙනියන්න ඕන පංතිකාමරයට ගෙනියන්න ඕන. තව අවුරුදු 5 ක් 10 ක් යනකොට අපේ දරුවන් මේ තැනට යයි.
මට මතකයි රෙජී රණතුංග මැතිතුමා 1989 දී පත් වුණාම එතුමාට ලැබුණු වැටුප් ප්‍රතිපාදන සියයට හැටක් හැත්තෑවක් වියදම් කළේ අධ්‍යාපනයට. එතුමා පාසල්වලට ගියාම විදුහල්පතිවරුන්ට කීයක් හරි දීලා එනවා. රෙජී රණතුංග ශිෂ්‍යත්ව අරමුදල අපි ආරම්භ කරනකොට මගේ මව කිව්වා අවිධිමත් විදියට ඔය මුදල් ලබා නොදී විධිමත් විදියට මුදල් ලබාදෙන්න කියලා. අපි ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරලා පවුලේ සාමාජිකයෝ එකතු වෙලා පාසල්වලට විධිමත්ව ශිෂ්‍යත්ව ලබාදුන්නා. අපි අධ්‍යාපනයට තියෙන කැමැත්තට. මම අවුරුදු 23ක් පළාත් සභා ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනවා. පළාත් සභාවේ තිබුණ සියලුම විෂයයන් භාරව මම වැඩ කරලා තියෙනවා. මම ආසාවෙන්ම වැඩ කරපු විෂය තමයි අධ්‍යාපන විෂය. වැහිල ගිය පාසල් ඇරලා වැහෙන්න ගිය පාසල් හොද තත්ත්වයකට අරගෙන අපි දරුවන්ට ආදර්ශ පාසල් හදලා දරුවන්ට පහසුකම් ලබාදුන්නා. ගුරුවරු බදවාගෙන උපාධිධාරීන්ට අවස්ථාව දීලා රැකියා ලබාදුන්නා. අපේ අධ්‍යාපන වැඩපිළිවෙලට හැමෝම උනන්දු වෙලා තියෙනවා. මෙතන ඉන්න හැමෝටම වගකීමක් තියෙනවා. රැකියා දියව් කියලා පාර දිගේ ඇවිදින දරුවෝ ටිකක් නෙවෙයි අපිට ඕන.”
– ප්‍රදීප් අනුර කුමාර

මේ වෙලාවේ රනිල් තමයි : ප්‍රවාහන සංගම් එකට එක්කර රවි කියයි !
විදෙස් සංචාරකයන් ඇතුළු මගී ප්‍රවාහනය හරහා රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන ත්‍රීරෝද රියදුරන් ගේ වෘත්තීය භාවය උසස් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ඉදිරි දින කිහිපය තුළ එළිදැක්වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසීය.
මීට වසර දෙකකට පෙර අඳුරුව තිබූ රට නිවැරැදි දිශාවට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවත් එම තත්ත්වය ඉදිරියට පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මේ මොහොතේ රනිල් බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
මගී ප්‍රවාහනය ඇතුළු රජයට බරක් නොවී රටේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන ත්‍රීරෝද රථ හිමියන් ඇතුළු මගී ප්‍රවාහන සංගම් මුහුණදී සිටින ප්‍රශ්න පිළිබඳව සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීම සම්බන්ධයෙන් එහි පැමිණ සිටි නියෝජිතයෝ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ට සිය කෘතඥතාව පලකළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මෙසේද පැවසීය.
අද රට නිසි මාර්ගයක ගමන් කරමින් සිටින නිසා වෘත්තීය රියැදුරන් වශයෙන් ඔබ සංගම් කිහිපයක් එකතුව නව ප්‍රවාහන සංගමයක් ද පිහිටුවනු ලැබුවා. එය වැදගත් පියවරක්.
එක් ආර්ථික ප්‍රතිපත්තියක් මත මේ රට ඉදිරියට ගෙන යාමට දැන් අපට අවශ්‍යයි. එදා මේ රටේ පෝළිම් යුගයක් පැවතුණා. එක පිරිසක් උදෑසන පෝලිම්වල හිටියා. තවත් පිරිසක් සවස පෝලිම්වලට එකතු වුණා. තවත් කිහිප දෙනෙක් පෝලිම්වල සිටියදී මියගියා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් භාර ගනු ලැබුවේ එවන් වූ අඳුරු රටක් බව සිහිපත් කළ යුතුයි. අද එතුමා රට නිවැරදි දිශාවකට ගෙන යමින් සිටිනවා. එම තත්ත්වය තවදුරටත් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් මේ වෙලාවේ සුදුසුම රනිල් වික්‍රමසිංහ යළිත් ජනාධිපති කරවීමයි.
ලක්ෂ 8කට වැඩි පිරිසක් ත්‍රිරෝද රථ වෘත්තියේ නිරතව සිටිනවා. රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ඔබ පසුගිය කාලයේ විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ත්‍රිරෝද රථ වෘත්තීය නියාමනය කළ යුතුව තිබෙනවා. රටේ පවතින ස්ථාවරත්වය නිසා නැවතත් විදෙස් සංචාරකයන් අප රටට පැමිණෙමින් සිටිනවා. රටේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ත්‍රිරෝද රථ රියැදුරන් විශාල සේවයක් ඉටු කරනවා. ත්‍රීරෝද රථ රියදුරන් ගේ වෘත්තීය භාවය උසස් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිරෝද රථ වෙනුවෙන් නව ජංගම යෙදුමක් ද ඉදිරි දින කිහිපය තුළ එළිදැක්වීමට ද අප බලාපොරොත්තු වෙනවා.

යළි ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටත් : ජනපති සහතික වෙයි !
යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අදහස් හා යෝජනා ඇතුළත් සංදේශයක් ප්‍රවාහන සංගම්හි නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම ද සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයි. එක පැත්තකින් ගොවිතැන් කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් ආදායම් උපයා ගන්නවා. 2022 – 2023 යල කන්නවලදි අපට හොඳ අස්වැන්නක් ලැබුණා. ඊට පසුව මහ කන්නයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. 2023-2024 වසරවලදිත් හොඳ අස්වැන්නක් හිමි වුණා. ඒ අනුව ගොවි ජනතාවගේ අතේ මුදල් ගැවෙසන්න පටන් ගත්තා. ගොවීන්ගේ වෙළෙඳාම දියුණු වීමත් සමඟ ගමනාගමනය වැඩි වුණා.
2023 වසරේදී විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්න පටන් ගත්තා. සංචාරකයන් පැමිණෙන නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. එක පැත්තකින් ගොවීන් ආහාර වගා කරන්න උදව් කරනවා, අනික් පැත්තකින් ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබනවා. මේ අංශ දෙක තුළින් රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට පටන් ගත්තා. මෙම ආර්ථික දියුණුව නිසා තමයි වසර දෙකක් අවසන් වීමට පෙර අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබුණේ. වෙන කිසිඳු රටක් මෙවැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මිදී නැහැ. නමුත් බංකොලොත් භාවයෙන් නිදහස් වන අතරම ඩොලර් බිලියන 08ක පමණ ණය සහනයක් ලබා ගැනීමට අපට හැකි වුණා.
අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි.
විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තීය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බවට අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ යුතුයි.
අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදා බැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළයුතුයි.
ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ආයෝජකයන් අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට මෙන්ම අපනයන ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ආර්ථික දියුණුව ඇති වන විට පසුගිය අර්බුදය හමුවේ දුක් විඳි ජනතාව අප අමතක නොකළ යුතුයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙම ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ලබාදිමට මගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව කිවයුතුයි. එම ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදි මෙතෙක් සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහළ නැංවිමට කටයුතු කළා.
පසුගිය අලුත් අවුරුදු සමයේ එම ජනතාව වෙනුවෙන් මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. නගරයේ මහල් නිවාසවල ජිවත්වන ජනාතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ගම්මාන ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කාර්යයන් ඉටු කළේ මේ රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීමේ අරමුණ ඇතිවයි.
රටේ නව ආයෝජන සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට අප ආරාධනා කරනවා. එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව කිවයුතුයි.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ද අමතක කර නැහැ. අපි මේ ගෙන යන ආර්ථික ක්‍රමවේදය නතර කළහොත් කුමක්ද සිදුවන්නේ? ණය දෙන කොන්දේසි කැඩුවොත් මොකද වෙන්නේ ? මේ ගැනද සිතා බැලිය යුතුයි. අපි අද වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපි ආර්ථික වශයෙන් දියුණුවක් ලැබීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රේගුවේ මහා හොරකමක් : දැනට 4 ක් ගෙදර !
රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබෙන බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩ තහනම් කළ නිලධාරීන් අතර සිටින බවද වාර්තා වෙයි.
මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද ආරංචි මාර්ග පවසයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති අතර එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැකිව ඇත.
එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බවද වාර්තා වෙයි.
එසේම චෝදනා ලද පිරිස රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව ද වාර්තා වෙයි.
රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.
සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක ද නිරත විය.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තළිණයක්ද පිළිගැන්වීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යා පීඨ භූමියෙහි පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
මෙම සම සෞඛ්‍ය පීඨය විවෘත කිරීම වෙනුවෙන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කැපවී කටයුතු කළා. මෙම ගොඩනැඟිල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව වැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල මෙවැනි ගොඩනැඟිලිවලින් පැය 24ම ප්‍රයෝජන ලබා ගන්නවා. රජයේ මුදල් අධ්‍යාපනය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මෙම පංති කඩාකප්පල් වුවහොත් එහි හානිය ඔබට වගේම රටටත් සිදු වෙනවා.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ එම සංස්ථාවලට බිලියන 700ක් වියදම් කළ බව මෙහිදී සඳහන් කෙරුණා. නමුත් එය නිවැරදි විය යුතුයි. එම බිලියන 700 ය තවත් දස ගුණයකින් වැඩි කළයුතුයි. මෙවන් විශාල මුදලක් වැය කිරීමේ ප්‍රතිඵලය වුයේ රජයන් තුනක් යටතේ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ හේතුවෙන් අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණා.
රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ අපට පළමුව සිදු වූයේ ණය ලබා ගැනීම නවතා දැමීමටයි. එය අසීරු කාර්යයක්. නමුත් එය සිදු කළ යුතු වුණා. ඒ වෙනුවට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ වියදම තමන් උපයාගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආයතනයකටම දැනුම් දුන්නා.
මෙම තත්ත්වය සෑම ක්ෂේත්‍රයකටම බලපානු ලැබුවා. එහිදී මට දැඩි දෝෂාරෝපණයට ලක්වීමට සිදු වණා. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙනවද, බැණුම් අහනවද කියලා මට තීරණය කිරීමට සිදු වුණා. නමුත් මේ වගකීමෙන් බැහැර වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. සියලු අමාත්‍යවරුන් අපට එම කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දුන්නා.
එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. අද විදුලිබිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පවතිනවා. අපි ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථාවලටත් මුදල් ලබාදීම නතර කළා. අපට දැනට මුදල් ගෙවීමට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණයි. මෙම වසර අවසන් වන විට එම ගෙවීම් කටයුතුවලිනුත් නිදහස් වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රටට ඉතිරිවන මුදල් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා යෙදවීමේ හැකියාව ලැබෙනවා.
මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට විශාල විවේචනයක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්නයයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පරපුර ද කියා මම විමසුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කරනවා ද, අධ්‍යාපනයට , සෞඛ්‍යට මුදල් ලබා දෙනවාද කියා තීරණය කළ යුතුයි. මෙම අලුත් වැඩසටහන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,
අතිශය කාර්යබහුල අවස්ථාවක අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම අතිශය තීරණාත්මක අවධියක මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කිරීම හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට ඉතා සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් හිමි වුණා. එතුමා 2024 අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. එය රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් සාධනීය පියවරක් බව කිවයුතුයි. ඒ වගේම අද විවෘත කෙරුණු මෙම නව විද්‍යාපීඨය දකුණු පළාතට ආඩම්බරයක් බව කිවයුතුයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග,
මේ අවස්ථාවට සහභාගි වීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිය පුදකර සිටිනවා. දින 75ක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයන් එළඹෙන සඳුදා සිට යළි රාජකාරියට වාර්තා කරනවා. ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිය පුද කළ යුතුයි.
ඔවුන්ගේ හිග වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4.2ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර තිබෙනවා. කිසිම වැඩ වර්ජනයක් නොමැති තත්ත්වයකට අපේ රට ගෙන යා හැකිනම් රටේ සංවර්ධනයයි එය බව මා විශ්වාස කරනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජකවරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල යන මහත්වරුන් සහ හිටපු උප කුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනවිත් තිබේ.
කෙසේ නමුත්, ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (ජූලි 18) උපදෙස් ලබා දී තිබිණි.

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක් !
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේ ද පැවති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබා දීම සිදු කෙරේ.
ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කරනු ඇත.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර තිබේ.
අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස වසර 5ක කාල සීමාවකට යටත්ව 8%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05කි.
ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සීමාසහිත සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව සහභාගිත්ව මූල්‍ය ආයතන වෙයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.
පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ වැඩිම පීඩාවකට ලක් වූයේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත නඟා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවද සඳහන් කළේය. ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුව ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩි වශයෙන් රටට විදේශ ආයෝජන ලබා ගනිමින් මහා පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ද පැහැදිළි කළේය.
මෙම නව ණය යෝජනා ක්‍රමය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාස ඇතුළු ව්‍යාපාර මෙහෙයුම් පරිසරයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් හටගන්නා අවදානම් තත්ත්වයන්හි කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අනුවර්තන හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.
කෘෂිකර්ම, සංචාරක, නිෂ්පාදන, තාක්ෂණික සහ අපනයන ඉලක්ක කළ අංශ මෙන්ම කාරක ප්‍රාග්ධන මූල්‍ය අවශ්‍යතා සහිත කාන්තාවන් විසින් මෙහෙයවන ඕනෑම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (වෙළඳාම, බදු දීම සහ ව්‍යාපාර කුලියට දීම හැර) මෙම ණය යොජනා ක්‍රමයේදී සුවිශේෂි අවධානයක් යොමු වේ.
විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකය, ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටද මෙය උපකාරී වේ.
සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විජේදාස 22 කල්දායි !
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවරගත් බවයි.
ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.
කෙසේ වුවත් විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය.

නිලන්ත ජයවර්ධන අනිවාර්යය නිවාඩු යවයි !
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
මෙම තීරණය අද (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගෙන තිබේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
නිලන්ත ජයවර්ධන දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති යළි ඇරඹෙයි !
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ (Dr. IZUMI Hiroto) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බව ද ඔහු සඳහන් කළේය.
මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹ අවසන් වීම පිළිබඳ මෙම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී තුළදී ණය හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය, කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද පැවසීය. ඒ සඳහා දැනට අතර මඟ නැවතී ඇති ජපාන සහයෝගීතාව මත ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීම වැදගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම කොළඹ නැව් තටාකාංගනය ශ්‍රී ලංකාවට වටිනා ආයතනයක් බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බව මෙහිදී ජපාන දූත පිරිස විසින් සඳහන් කළහ.
පසුගිය රජය විසින් අතරමඟ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ අනෙකුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ (PPP) වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ. ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර එකඟතාවන්ට අනුකූලව පරිසර හිතකාමී ව්‍යාපෘති සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රෙය් ශ්‍රී ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවද ජපාන දූත පිරිස ජනාධිපතිවරයා දැනුවත් කළේය. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව විමෝචනය අවම කිරීම සඳහා උසස් මට්ටමේ ජපන් තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති ඇතුළත් ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) පිළිබඳව ද මෙහිදී ජපාන දූත පිරිස විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (H.E. MIZUKOSHI Hideaki), ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ බැංකුවේ (JBIC) සභාපති මයෙදා තදෂි (MAEDA Tadashi), ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය. ආර්. එච්. එස්. සමරතුංග, කොළඹ නැව් තටාකාංගනයේ කළමනාකාර අධ්‍යක්ෂ තිමිර එස්. ගොඩකුඹුර යන මහත්වරැ ඇතුළු ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති වෙනුවෙන් විවාදයට සියඹලාපිටිය සූදානම් !
ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හා පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සිදු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන්ට, සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.
ඒ වගේම ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩ ගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ සිදුකරන ලද සාධනීය කාරණා තුළින් රට නිවැරදි මාවතට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන් සිදු කරනු ලබන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරනවා.
පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි.
එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.
මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි. ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා.
එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.
ඒ වගේම වාහන ආනයනයේ දී බලපා තිබෙන සියලූම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ජූලි මස මුල් සතියේ දී ඔවුන් රැස්වුණා. ඒ අනුව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් තිබෙනවා.
තව ද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ ජූලි මස 26 සහ 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම බඳවා ගැනීම විනිවිද භාවයෙන් යුක්තව සිදු කෙරෙන බව කිවයුතුයි.
Page 48 of 458