V2025

පුවත්

නාමල් අගමැති කරන්න ජනපතිට බලපෑම් : අගමැති කතාව නාමල්ගේ කටිනුත් පනියි !

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂකයත්වය සඳහා පොදුජන පෙරමුණේ සහාය අවශ්‍ය නම් අගමැති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලබාදිය යුතු බවට රාජපක්ෂවරුන් වෙතින් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු වෙතින් ද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වෙත ඉදිරිපත් වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ද සිදුකර ඇත.

එහිදී ඔහු පවසා සිටින්නේ , අපේක්ෂකයා එළියෙන් එනවා නම් තම පක්ෂයට අගමැති ධූරය ලැබිය යුතු බවය.

එසේම අගමැති ධූරය ලබාදීම ද තමන් සමඟ නොව පක්ෂය සමඟ සාකච්ඡා කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අදහස වන්නේ තමන්ට සහාය දෙන සන්ධානයේ වැඩිම මන්ත්‍රී පිරිස තෝරාපත් වන පක්ෂයට අගමැති ධූරය ලබාදීමට බවය. එහිදී ධූරය ලබාදෙන්නේ කාටද යන්න තීරණය කිරීම එම පක්ෂය තීන්දු කළ යුතු බව ජනාධිපතිවරයාගේ වැඩිදුර ස්ථාවරය බවද සඳහන් වේ.

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා - ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද සඳහන් කළේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම විසින් මහත් හරසරින් පිළිගත් අතර විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකාය විසින් ජනාධිපති උත්තමාචාරයක්ද පිරිනමන ලදී.

විද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා එක් විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 106 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන “X-ban” 2024 අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා වෙළද ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරාය අතිනි.

විදුහල්පති කසුන් ගුණරත්න මහතා විසින් X-ban” 2024 සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මා අවසන් වරට මෙම විද්‍යාලයට පැමිණියේ 1992 වසරේදීයි. ඊට පෙර මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස මෙම විද්‍යලයට පැමිණ විද්‍යාලයට අවශ්‍ය ගොඩනැඟිලි ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉන්පසු 1992 වසරේ දී මෙම විද්‍යාලයට මා පැමිණියේ කර්මාන්ත සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙසයි. එදා අපි කථා කළේ තාක්ෂණ දියුණුව ඇති කිරීම පිළිබඳවයි.

අද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එය සිදුව තිබෙනවා. එය මෙම ප්‍රදර්ශනයෙන් පිළිඹිබු වෙනවා. ගෙවි ගිය වසර 30 තුළ මේ රට සීග්‍ර ලෙස වෙනස් වී තිබෙනවා. නමුත් මීට වසර 04කට පෙර කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඉතා අසීරු තත්ත්වකට මුහුණ දීමට සිදු වුණා. සියලු ජනතාව ඒ අසීරුතාවට මුහුණ දුන්නා. ඉන්ධන, ඖෂධ, ආහාර ලබා ගැනීමට පෝලිම්වල සිටීමට සිදු වුණා. කිසාගෝතමිය අඹ මිටක් සොයා ගියා වගේම අපට එවන් දුෂ්කරතාවට මුහුණ නොදුන් නිවසක් සොයා ගැනීමට නොහැකි වුණා. කෙසේ හෝ අප මේ වන විට එම දුෂ්කර තත්ත්වයෙන් මිදී තිබෙනවා. බංකොලෝත් භාවය අවසන් වීමත් සමඟ ළඟදීම අපට විදේශ ආධාර මුදල් නැවත හිමි වෙනවා. නමුත් තවත් අසීරුතා තිබෙනවා. ඒ නිසා අප නිසි සැලැස්මක් ඔස්සේ ඉදිරියට යා යුතුයි. ඒ අනුව ක්‍රමානුකූලව ඉදිරි වසර දෙක, තුන තුළ මෙම ආර්ථික බර අඩු කරගෙන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වෙනවා. ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට හැකි වෙනවා.

ඒ වගේම පසුගිය වසර 04ක් අප අධ්‍යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා. ඒ නිසා අපට දැන් අධ්‍යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා. අද අපි මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යන්ත්‍ර දුටුවා. ඒ වගේම පාසල්වල කෘත්‍රීම බුද්ධි (AI) සමාජය ඇති කරගෙන යනවා. මෙම කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගත යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අපට වසර 04ක් රැකියා ලබා දීමට නොහැකි වුණා. ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා. ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි. මෙම ප්‍රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇතිවිය හැකියි. එවිට ජාත්‍යන්තරය එය දකිනවා. එසේනම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා.

අපි 1977 දී මුහුණ දුන්නේ ද එවන් තත්ත්වයකටයි. අපි ඊට මුහුණ දුන්නා. එදා ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත තිබුණේ නැහැ. අපි කටුනායක සහ බියගම වෙළෙඳ කලාප ආරම්භ කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අත්තනගල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලා අරම්භ කළා. දැන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ලබන වසරේ කෑරගල ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කිරිමට අප සැලසුම් කර තිබෙනවා. තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන ගිය විට විශාල කර්මාන්ත පුරයක් සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටුවීමට ඉඩ ලැබෙනවා. නව රැකියා උත්පාදනය වෙනුවෙන් නව අයෝජන ලබාගත යුතුයි. ඒවා නැවතුනහොත් රැකියා ලබාදීමට හැකියවක් ලැබෙන්නේ නැහැ. එවිට රට තුළ විරෝධතා ඇතිවිය හැකියි.

ඒ වගේම රට තුළ කෘෂිකර්ම දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. එසේම සංචාරක ව්‍යාපාරය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමටත්, විශාල තාක්ෂණ ආර්ථිකයක් ඇති කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා. එහිදී නව තාක්ෂණික දැනුම ඇති තරුණ පරපුරක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් නව තාක්ෂණ විශ්වවිද්‍යාල 04ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම සෑම අංශයකම විශාල පෙරළියක් සිදු කර රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කැපවී සිටිනවා. එම අලුත් ආර්ථිකය නිර්මාණය නොකළහොත් මේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ.

අද අපේ තරුණ තරුණියන් රැකියා සොයා ගෙන ඇමරිකාව, ඩුබායි, සිංගප්පූරුව වැනි රටවලට යනවා. එම රටවල තිබෙන තත්ත්වය අප ලංකාවේ ඇති කරන්නේ නැත්තේ ඇයි කියා ඇසිය යුතුයි. ඉදිරි වසර 10 තුළ අප කැපවිය යුත්තේ මෙම ප්‍රශ්නය විසඳිම සඳහායි. රට දියුණු කර නව රැකියා අවස්ථා ඇති කළ යුතුයි. නැත්නම් මෙම ලබාදෙන අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් රටට ලැබෙන්නේ නැහැ. එසේ වු විට අපට හැමදාමත් දුප්පත් රටක් ලෙස සිටීමට සිදු වෙනවා.

ඉදිරි වසර 10 තුළ අප සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමට රජය කටයුතු කර තිබෙනවා. අපනයන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළෙඳපොළ ජයග්‍රහණය කළයුතුයි. ථෙරවාද බුදු දහම පවතින ප්‍රධාන රටවල් වන්නේ ලංකාව, බුරුමය සහ තායිලන්තයයි. පැරණි ක්‍රමය තුළ මියන්මාරය සිර වී සිටිනවා. නමුත් නව ක්‍රමය අනුව ඉදිරියට යාම නිසා තායිලන්තය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. එසේනම් ථෙරවාද බුදු දහම ආරක්ෂා කළ අප රට යා යුත්තේ කුමන මාර්ගයේද කියා තීරණය කළයුතුයි. අපත් තායිලන්තයේ වගේ බෞද්ධ පරිසරයක් යටතේ ලෝක වෙළෙඳපොළ ජයග්‍රහණය කළ යුතුයි. අප සියලුදෙනා අනාගතය දෙස බලා වැඩ කරමු. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ විට රැකියා ප්‍රශ්නයට විසදුම් ලැබී ලංකාවේ රැදි සිටිය හැකි පරිසරයක් ඇති වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වරුණ රාජපක්ෂ යන මහත්වරුන් සහ ආචාර්ය මණ්ඩලය , සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

X ban 2024 09

ගොවියාව දේශපාලන අතකොලුවක් කරගත් කාලය අවසන් කළා - අමරවීර

දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

යල හා මහ කන්න ආශ්‍රිතව වෙල් ඉපනැල්ලේ මුං ඇට වගාකර මෙට්‍රික් ටොන් 18,828ක අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ යටතේ එක් ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා බීජ මුං ඇට කිලෝ ග්‍රෑම් 25ක් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

2023 වසරේ ලැබුණු වාර්තාගත වී අස්වැන්න සමඟ සහල් මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකි වූ බවත් ඒ හමුවේ රට තුළ සහල් අතිරික්තයක් පවත්වා ගැනීමට හැකිවී තිබෙන බවත් මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

2021 වසරේ මහ කන්නයේ ඇති වූ පොහොර අර්බුදය හේතුවෙන් වී නිෂ්පාදනය අඩාල වුණා. එම නිසා 2022 වර්ෂයේදී මෙරට ජනතාවට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් නිෂ්පාදනය වුණේ නැහැ. ඒ සමඟ සහල් කිලෝවක මිල රුපියල් 500 ඉක්මවනු ඇතැයි ඇතැමුන් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව රට ගොඩ නැගීමේ වගකීම බාර ගැනීමත් සමඟ දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබුවා. 2022 යල කන්නය වෙනුවෙන් අවශ්‍ය යූරියා පොහොර ගොවීන්ට ලබා දුන්නා. ඒ වගේම මහ කන්නයේදී වී වගාව සඳහා පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයක් සඳහා රුපියල් 20,000ක මුල්‍ය සහනාධාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 වර්ෂයේදී සහල් ඇටයක් හෝ ආනයනය කිරීමට ආණ්ඩුවට සිදු වුණේ නැහැ.

2023 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5යි. අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. 2023 වසරේ අපට ලැබුණු වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. ඒ අනුව පසුගිය වසරේ සහල් අතිරික්තයක් අප රටේ ඇති වුණා. ගොවි ජනතාව විශ්වාස කර අප ලබා දුන් උපදෙස් අනුව වැඩ කළා. මේ වන විටත් මෙරට සහල් අතිරික්තයක් තිබෙන්නේ ඒ නිසයි.

ඒ වගේම පසුගිය කාලයේ බඩඉරිඟු හිඟයක් පැවති නිසා සත්ව ආහාර නිෂ්පාදනයටත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ අප ලබා දුන්නා. ගවයින්ට සහ කුකළන්ට සත්ව ආහාර වශයෙන් සහල් ලබා දීම නිසා බඩඉරිඟු ආනයනයට වැයවන විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණා.

අපගේ ඉලක්කය වගා කන්න 05ක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීමයි. ඒ අනුව වී වගාව සඳහා නව කෘෂි තාක්ෂණය හඳුන්වා දී හෙක්ටයාරයකට ලැබෙන අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 09ක් දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. ඒ සඳහා අප තාක්ෂණික පැකේජයක් ද හඳුන්වා දීමට නියමිත බව පැවසිය යුතුයි.

ඒ වගේම ඉදිරි වගා කන්න 05ක් තුළ වී අස්වැන්න දෙගුණ කිරීමේ වැඩසටහන අප අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල සහ මහනුවර යන කෘෂිකාර්මික බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා.

එමෙන්ම මෙවර යල කන්නය අවසන් වූ වහාම තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නය වගා කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ වැඩපිළිවෙල අපි 2024 යල කන්නයේ අස්වනු නෙළා අවසන් කළ වහාම ආරම්භ කරනවා. 2024 වසරේ යල කන්නයේ මේ වනවිට හෙක්ටයාර් 4464ක මුං වගා කර තිබෙනවා. ඉන් අපේක්ෂිත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6500ක්.

තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයේදී හෙක්ටයාර් 8943ක අපි මුං ඇට වගා කරනවා. එමඟින් මුං ඇට මෙට්‍රික් ටොන් 6707ක අස්වැන්නක් අපේක්ෂිතයි. මේ අනුව මෙවර යල කන්නයේ හෙක්ටයාර 13,407ක මුං ඇට වගා කිරීමට නියමිතයි. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,207ක්. වාර්ෂික මුං ඇට අවශ්‍යතාවයෙන් 75%ක් යල කන්නයේදී ලබා ගැනීම අරමුණයි.

මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000යි. යල සහ මහ කන්නය දෙකම මුං ඇට වගා කිරීම තුළින් මෙට්‍රික් ටොන් 18,828ක අස්වැන්නක් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අතරමැදි කන්නය සඳහා හෙක්ටයාර 01කට බීජ මුං ඇට කිලෝග්‍රෑම් 25ක් බැගින් අපි නොමිලයේ ලබා දෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට හෙක්ටයාර 01කට මුං වගාව සඳහා රුපියල් 25,000ක් වටිනා මුං බීජ ලබා දීමට නියමිතයි. ඒ වගේම මුං ඇට ආනයනය සීමා කිරීම සඳහා ආනයන බද්දක් පැනවීමටත් අපේක්ෂා කරනවා. එය දේශීය මුං ඇට ගොවියා ආරක්ෂා කිරීමක් ද වනවා.

තවද රජයට අයත් පොහොර සමාගම් දෙක අප විසින් එක් සමාගමක් බවට පත් කළා. ඒ අනුව එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට හැකි වී තිබෙනවා. මේ අනුව රජයේ පොහොර සමාගම (State Fertilizer Company) විසින් පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 1500 සිට 2000 දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම සහනය කුරුඳු සහ පොල් වගාව සඳහා ලබා දීමට සමගාමීව තේ සඳහාත් ලබා දෙන පොහොරවල මිල අඩු කිරීමට ද තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයක් පුරාවට ගොවි ජනතාව පැවති ගැටළු දේශපාලන සටන් පාඨ බවට පත් කර ගත්තා. ඔවුන්ව විවිධ උද්ඝෝෂණවලට හා විරෝධතාවලට පෙළඹුවා. නමුත් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි.

මොන අභියෝග ආවත් බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යන වගකීම අත් හරින්නේ නැහැ !

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අද (24) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක තවත් ශිෂ්‍යත්ව වැඩසටහනක් ලෙස දිවයිනම ආවරණ වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මේ යටතේ සිදු කෙරෙන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ අද දිනයේම මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමට කටයුතු කෙරුණු අතර ඉදිරියේදී රුපියල් 3000/-බැගින් මාසිකව ගෙවීම් සිදු කෙරේ.

එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවති අද දිනම මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු කෙරිණි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ අලුත් අදියරක් අද අපි ආරම්භ කරනවා. ඒ අනුව පැවැදි සිසුන්ටත් මෙම ශිෂ්‍යත්ව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අප මේ වන විට ශිෂ්‍යත්වලාභීන් සියුලදෙනාගේ හිඟ මුදල් තමන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට පසුබිමක් තිබෙනවා. පසුගිය වසර 04 දී මේ රටේ ජනතාව විඳි දුක මම අමුතුවෙන් කිවයුතු නැහැ. ආර්ථිකය බංකොලොත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට ලක් වුණා. දැන් රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමඟ ජනතාවට සහන ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අස්වැසුම, උරුමය වැනි විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබාදීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදල හරහා ශිෂ්‍යත්ව වැඩසටහන් කිහිපයක් හඳුන්වා දුන්නා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලා ද දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කුමන හේතුවක් නිසාවත් භික්ෂු අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් ද අප මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. බුද්ධ ශාසනය පිළිබඳ අවධානය යොමු කරන විට නව භික්ෂු පරපුර ගොඩනැගීමට අවශ්‍ය පසුබිම අප විසින් රට තුළ සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් සිදු කළ හැකි වැදගත් කටයුත්තක් ලෙස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය හැදින්විය හැකියි.

රටේ බෞද්ධ අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම එය දියුණු කළ යුතුයි. පිරිවෙන් ක්‍රමය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් ආධාර උපකාර කිරීමට මට එදා අවස්ථාව ලැබුණා. රටේ ප්‍රශ්න තිබුණත් කිසිවිටෙකත් එම යුතුකම අප අත් හරින්නේ නැති බව කිවයුතුයි.

Presidential Scholarship Program 05

1-6-10 ශ්‍රේණි සඳහා නව මොඩ්‍යුලර් පොත්

පසුගිය 2019-2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේ දී ය.

රජයෙන් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ දෙනු ලබන පෙළපොත් ඉදිරි 2025 වර්ෂයේ දීත් නිසි කලට අඛණ්ඩ ව ලබා දීමේ අරමුණින් එම ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ කටයුතු මෙසේ ඇරඹුණ බව ද සුසිල් ප්‍රේමජයන්ත  මෙහි දී කියා සිටියේ ය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශේණි ශිෂ්‍යත්ව විභාග උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ගේ දීමනා සියල්ල ද වැඩි කර ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් මාසය වන විට පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කී ය. එසේ ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් හෙතෙම පැවසී ය.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම ආරම්භ කළ උසස් පෙළ පන්ති අධ්‍යයන කටයුතු මේ වන විට සාර්ථක ව සිදු කෙරීගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණ, ඉංග්‍රීසි ඇතුළු විදේශ භාෂා යන විෂයන්ට අදාළ ගුරු පත්වීම් 2,300ක් මීට සති දෙකකට පෙර ලබා දුන් බවත් පළාත් මට්ටමින් ද විභාග පවත්වා ගුරු පත්වීම් 16,000ක් පමණ ලබා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා උසාවි නියෝග මත වසරකට අධික කාලයක් ඇණහිට තිබූ සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ දී එකඟතාවකට පැමිණ 23,000ක් වූ එම පිරිසගෙන් විභාග ප්‍රතිඵල මත ගුරුපත්වීම් ලැබූ 6,000ක ප්‍රමාණය හැර ඉදිරි සති දෙක තුළ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන නඩු කටයුතු අවසන් කර ඉතිරි පිරිස සම්මුඛ පරීක්ෂණයකින් අනතුරු ව අභ්‍යාසලාභීන් ලෙස ස්ථානගත කිරීම් සිදු කරන බවත් සඳහන් කළේ ය. ඒ අනුව විෂය වර්ග කිහිපයක හැර ඉතිරි සමස්ත ගුරු පුරප්පාඩු ප්‍රමාණය ම පුරවා අවසන් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එසේ ම 2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන් ම සිසුන්ට ලබා දී අවසන් කර ඇති බවත් ඒවා ලබාගත්තේ ද මෙරට ආර්ථිකයට බරක් නොවන ලෙස 80%ක චීන ප්‍රදානයක් වශයෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසී ය. ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව කී අමාත්‍යවරයා 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත් ද දරුවන්ට නිසි කලට ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසී ය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය අනුව 2025 වර්ෂයේ සිට 1-6-10 ශ්‍රේණිවල මොඩ්‍යුලර් ක්‍රමයට පන්ති කාමරය තුළ ඉගැන්වීම් සිදු කිරීමට අවශ්‍ය පොත් නිර්මාණය කර ඇති අතර 2025 ජනවාරි මස එම පොත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේ ය.

පොලිස්පතිට අතුරු තහනමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් , පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 08දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට අවසර දෙමිනි.

පෙත්සම් විභාගට අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවීය.

පෙත්සම් විභාගය දින 06ක් සිදු කළ අතර අද දින පෙත්සම් පසුගිය බ්‍රහස්පතින්දා දින අවසන් වරට පෙත්සම් විභාගය පැය 8කට ආසන්න කාලයක් සිදු කෙරුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නිතීඥ තිශ්‍ය වේරගොඩ ඇතුළු නීතීඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දැක්විය.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබුණි.

පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ, එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

කාංචන රනිල් නම් කරයි : නාමල් විරුද්ධයි !

එළැඹෙන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඊට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීමත් සමඟ ඔහුට සහාය ලබාදීම වෙනුවෙන් පොදුජන පෙරමුණ තුළ කටයුතු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් 2019 දී මෙන් ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව, පක්ෂයේ බහුතර එකඟතාව අනුව තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ අද (23) කොකොළඹ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

එකඟවිය නොහැකි අපේක්ෂකයකු වෙනුවෙන් සහාය දැක්වීමට නොහැකි බවත් එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තවත් අවුරුදු 5ක කාලයක් සඳහා සහාය දිය යුතුය යන්න තමන්ගේ පෞද්ගලික ස්ථාවරය බවත් අමාත්‍යවරයා පැවසීය .

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මෙම දේශපාලන මණ්ඩල හමුවට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක සිට අදහස් දැක්වීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ තම පක්ෂය තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ගැන තීරණයක් ගෙන නොනොමැති බවයි. එය ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව ගන්නා බවත් ඔහු ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇති බවයි.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඊයේ (22) රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොදුජන පෙරමුණේ නායකයින් සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කලහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පලකිරීමටය.

ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි .

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධකරගෙන අදාල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජවිපෙ මාලිමාවේ ලාල් සහ වසන්ත රටම රවට්ටලා : ගුරු සංගමේ ස්ටාලින් හෙළිකරයි !

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයද සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කර සිටියේ ගුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

සමස්ත රටේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හෝ වැඩ වර්ජන නතර කිරීමේ හැකියාවක් ලාල්කාන්තට හෝ වෙන කිසිවෙකුට තීන්දු කළ නොහැකි බවත් එය තීන්දු කරනු ලබන්නේ අදාළ වෘත්තිය සමිති පමණක් බවත් ඔහු පැවසයි.

එසේම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට සමාජවාදය එනතුරු බලා සිටි නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් පසුගියදා ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් මෙන්ම ජවිපෙ වෘත්තීය සමිති නායකයන් වන කේ.ඩී. ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ සඳහන් කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණය අවසන් වන තුරු තම වෘත්තීය සමිති සියලු වෘත්තීය ක්‍රියාමාර්ග වලින් බැහැරව සිටින බවය.

ජනාධිපති RW වෙනුවෙන් RK ගෙන් සහතිකයක් !

ජනාධිපතිවරණය කල් දැමීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවූ ඇතමුන් සබඳතා පවත්වන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි මේ වන විට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු සමඟ බවත් එම කටයුත්ත දියත්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ චරිතය ඝාතනය කිරීම සඳහා බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසීය.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාගේ කිසිදු සූදානමක් නැති බවත් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පළමු අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාටද දැනුම්දුන් බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

වැඩක් කරන මනුස්සයන්ගේ චරිත ඝාතනය කිරීම මෙරට අලුත් දෙයක් නොවන බව සඳහන් කළ රවි කරුණානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවද පැවසීය.

තමන් නියෝජනය කරන්නේ එම ජනාධිපති මැතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ කර්තව්‍යය බවද ඒ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණ දිනය තීන්දු කරන්න : මැකොස අනිද්දා (25) රැස්වේ !

එළැඹෙන ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා  (25) රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිත ය.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම , ඇප තැන්පත් මුදල් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අදාළ කැසට් නිවේදනය මේ සති අන්තයේ නිකුත් කෙරෙනු ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වනදා හෝ 28 වනදා යන සෙනසුරාදා දිනයකදී පැවැත්වෙනු ඇත.

කෙසේ වුවත් මීට පෙර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබුණේ ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වනදා පැවැත්වීමට නියමිත බවයි.

තවත් මන්ත්‍රීවරුන් 30ක් සමඟ සජබ සන්ධානය අගෝස්තු 08 කරළියට !

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එසේම තවත් මන්ත්‍රීවරුන් 30කට අධික ප්‍රමාණයක් එම සන්ධානය සමඟ එක්වීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

 ‘‘මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. ලබන මාසයේදී මැතිවරණ පනත අනුව නාම යෝජනා භාරගත යුතුව තිබෙනවා. සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩි මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන සියලුම කණ්ඩායම් සමඟ එකතුවී සමගි ජන සන්ධානය නිර්මාණය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒක රාශි කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්න කටයුතු සිදුකරගෙන යනවා.

ඒ අනුව අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා.

රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාවත් එළි දක්වන්න කටයුතු කරනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනසන්ධායේ ජනාධිපතිධූර අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින්. සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර , අද්දැකිම් තිබෙන විශාල නායකයින් පිරිසක් සහ දමිල , මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි. මන්ත්‍රීවරු 30 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි.

ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව : චාමර වේලාසනින් කිය

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී ආසාර්ථකව තිබූ රට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ අනුව යමින් අප අමාත්‍යාංශය ද එතෙක් පැවති පාඩු ලබන තත්ත්වය වලක්වා ගෙන ලාබ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා.

දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් රටවල් මෙතරම් කෙටි කලක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන නැහැ. මෙම ස්ථාවරත්වය රැක ගනිමින් ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් සියළු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතුයි.

ඒ වගේම පසුගිය සමයේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් බදු සංශෝධන සම්බන්ධව ජනතාව තුළ යම් විරෝධයක් තිබුණා. නමුත් එම තීන්දු තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විට එම විරෝධය නැති වනවා. ලෝකයේ වෙනත් රටවල අපේ රටට වඩා බදු ප්‍රතිශතයක් අයකරන බව ද සිහිපත් කළ යුතුයි.

ඉකුත් අර්බුද සමයේ ජනතාව සතුව මුදල් තිබුණත් මිල දී ගැනීම සඳහා භාණ්ඩවල හිඟතාවයක් පැවතුණා. නමුත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ. කෙසේ වුවත් මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය අප කාටත් අමතක නැහැ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා. ඒ වගේම පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ජනතාව ද තීන්දු කර තිබෙනවා.

තව ද දේශපාලනඥයන් විවිධ පක්ෂ මත විසුරුණු පමණින් ඡන්ද දායකයින් වෙනස් නොවන බව ද පැවසිය යුතුයි. ඡන්ද දායකයින් එළැඹෙන මැතිවරණයේ දී හැසිරෙන්නේ පුද්ගලයා මත නොව වැඩපිළිවෙළ මත බව ද සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඊළඟ මැතිරණයේදී බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්දය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප රටේ ජනතාව කළගුණ දන්නා, හොඳින් හිතාමතා වැඩ කරන පිරිසක් බව ද සිහිපත් කළ යුතුයි

පිරිවෙන් සිසු සිසුවියන්ට හෙට (24) ජනපති ශිෂ්‍යත්ව !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (24) පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

මෙතෙක් මෙරට කිසිඳු අවස්ථාවක පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවු අතර ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිවයිනම ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.

පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු වන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ හෙට දින මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමටත් එතැන් සිට මසකට රුපියල් 3000/-බැගින් ගෙවීම් කිරීමටත් කටයුතු කෙරේ.

එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවැත්වෙන දින මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිවයිනේ 10126ක් වන සියලුම පාසල් ආවරණය වන පරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 106000ක් තෝරාගෙන උසස්පෙළ හදාරන සිසුන් සඳහා මාසිකව රුපියල් 6000/- බැගින් මාස 24 කාලයක් හා 1ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මසකට රුපියල් 3000 /-බැගින් මාස 12ක කාලයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියර ද මේ වන විට අවසන් වෙමින් පවතී.

සහන අවැසි කිසිවකු මෙම අවස්ථාවේදී අත්නොහැරිය යුතුය යන ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට පත් කළ කමිටුව යෝජනා කැඳවීම අරඹයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.

අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතුය.

යෝජනා කරන තනතුර හැර වෙනත් තනතුරු සඳහා ද යෝජනා ගෙන එන්නේ නම් වෙන වෙනම ආකෘති පත්‍ර සම්පූර්ණ කොට ඒ සඳහා වන සාධාරණීකරණ වාර්තා ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගන්නා ඇමුණුම් 01 ආකෘතියට අනුව සම්පූර්ණ කළ යුතු වේ.

අදාළ තොරතුරුවල මෘදු පිටපත් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යම් හෙයකින් දෘඩ පිටපතක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් පමණක් “ලේකම්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ විශේෂඥ කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01” ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදීම කළ හැකිය.

මෙම සියලු යෝජනා විශේෂඥ කමිටුව මඟින් විශ්ලේෂණය කොට ඉල්ලුම්කරු නියෝජනය කරන ආයතනය/ වෘත්තීය සමිති/ සිවිල් සංවිධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් සති දෙකක් තුළදි ඉල්ලුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස් ඇප් (WhatsApp) මඟින් දැනුම් දෙනු ඇත.

මෙම යෝජනා සහ සාධාරණීකරණ වාර්තා පිටුවකට පමණක් සීමා කරන මෙන් විශේෂඥ කමිටුව ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන් තියනවා : ජනපති සහතික වෙයි !

මෙවර අයවැයෙන් මුදල් වෙන් කරනු ලැබුවේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ, ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා, මේවනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පවසා ඇත.

තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන් බවද වාර්තා වෙයි.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ පොලී රහිත ණයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති විසින් එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ඒ අනුව ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරයේ දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26හි කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවන අදියරයේදී රුපියල් මිලියන 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් 30% කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබන අතර ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස රජය විසින් ලබාදෙන දායකත්වය කෘෂි නවීකරණ ණය යෝජනා ක්‍රමය යටතේ පොළී රහිත ණයක් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් මගින් නැවත අයකර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ නමින් වන ගිණුමක තැන්පත් කර ඇති අරමුදලින් තෝරාගත් හා අනුමැතිය ලද ව්‍යාපෘති සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ත්‍රිත්වය අතරින් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් හරහා කෘෂි ව්‍යවසායකයින් වෙත පොලී රහිත ණයක් ලෙස මෙම මුදල් ලබා දීම සිදුවේ.

ණය සහන කාල සීමාව උපරිම මාස 06ක් වන අතර, ණය සහන කාල සීමාව ද ඇතුලත්ව ණය මුදල ආපසු ගෙවිය යුතු උපරිම කාල සීමාව වසර 05කි. එසේම ණය සහන කාල සීමාව හා ණය මුදල ආපසු ගෙවිය යුතු කාල සීමාව ගොවීන් හෝ කෘෂි ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා ලද ණය මුදලේ ප්‍රමාණය හා ව්‍යාපෘතියේ ස්වභාවය මත කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන මගින් තීරණය කෙරේ.

සංචාරක ව්‍යාපාරය නංවන්න එක්වන්න : විදෙස් රැකියා ඒජන්සි හිමියන්ටත් ආරාධනා !

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල එපිටොම් හෝටල් පරිශ්‍රයේ ඊයේ (21) පැවති “අභිමන් 2024” උත්සවයට එක්වෙමිනි .
මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මම ජනාධිපති ධූරය භාරගෙන වසර දෙකක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ ඔබට ස්තූති කළ යුතුයි. එදා ඔබ රටට මුදල් උපයා දුන්නේ නැත්නම් අද රට මෙවන් තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබෙන්නේ නැහැ. වසර දෙකකට පෙර අප සිටියේ අසීරු තත්ත්වයකයි. පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි වනු ඇතැයි කිසිවෙකු විශ්වාස කළේ නැහැ. නමුත් ජනතාව සමඟ එක්ව මේ රට ගොඩගැනීමට හැකි බව මම විශ්වාස කළා. වෙනත් රටවල්වල මෙන් නොව වසර දෙකක් ගතවීමට පෙර අප එම වැඩ කටයුත්ත අවසන් කර තිබෙනවා.

අප පැමිණියේ දුෂ්කර ගමනක් බව ඔබ දන්නවා. බොහෝ දෙනෙක් සිතුවේ අපේ රටට අනාගතයක් නැහැ කියලයි. කර්මන්ශාලා පවත්වාගෙන යාමට ඉන්ධන තිබුණේ නැහැ. රටට සංචාරකයන් පැමිණියේ නැහැ. අපි විදේශ ශ්‍රමිකයන් එවු මුදල් වලින් තමයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ.

අනාගතයට මුහුණ දිය හැකි බවට විශ්වාසයක් දැන් අප තුළ තිබෙනවා. ලොව බොහෝ රටවල් අපෙන් අහනවා මේ දේ කළේ කොහොමද කියලා. අපි බංග්ලාදේශයේ ණය ආපසු ගෙවා තිබෙනවා. අද වන විට බංග්ලාදේශය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපට අපට දුෂ්කර අවස්ථාවේ සහාය වූ එම රට තුළ නැවත සාමය සහ ස්ථාවරත්වය ඇති වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අප දැන් ඉදිරිගමන ගැන සිතිය යුතුයි. අපේ රට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කළයුතුයි. ඒ වගේම විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිපුණතාවන් වර්ධනය කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි. එවිට ඔවුන්ට හොද රැකියා අවස්ථා සඳහා යොමු වී වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවෙනවා. එය එම පුද්ගලයන්ට මෙන්ම රටටත් හොඳ තත්ත්වයක් බව කිව යුතුයි.

වසර 02ක් අප දුක් වින්දා. වසර දෙකක් ඔබේ සහාය ඇතිව මම මේ රට ඉදිරියට ගෙන ආවා. එහි ප්‍රතිලාභ ඔබට හිමි විය යුතුයි. එසේනම් අප සියලුදෙනා එක්ව අලුත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එක්වී කැපවී කටයුතු කරමු.

අපේ ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල තිබෙන ව්‍යාපාර අවස්ථා ඇතැම් විට ඔබට ලංකාවට ගෙන ඒමට හැකි වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. අද එම අවස්ථාව විශාල වශයෙන් හිමිව ඇත්තේ මැද පෙරදිග රටවලයි. ලංකාවේ ශ්‍රමිකයින් එම රටවලට යැවීමට හැකිනම් එම රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනිමට අපට හැකි විය යුතුයි. සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව ඔබට ඒ සඳහා කටයුතු කළ හැකියි. එවිට ඔබේ ව්‍යාපාර තවදුරටත් පුළුල් වෙනවා. එම කටයුතු සඳහා ඔබට රජයේ සහයෝගය ලබාදීමට අපට පුළුවන්.

ඒ වගේම එම රටවලට අවශ්‍ය ආහාර සැපයීමට අපට හැකියාවක් තිබේනම් ඒ සඳහා ද රජයේ සහයෝගය ලබාදිය හැකි බව දැනුම්දීමට කැමතියි. අපි අලුතින් සිතා අලුත් ගමන යා යුතුයි. එක තැන සිර වෙන්න බැහැ. ඒ වගේම රටේ ඉදිරි න්‍යාය පත්‍රය සකස් කරන්නේ දේශපාලනඥයන් නොවන බව ද සිහිපත් කරමින් ඔබේ ඉදිරි කටයුතු වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර :

ඇතැමුන් බලය ලබා ගැනීමේ කෑදරකමින් ජනතාව පීඩාවට ලක් කරමින් සිටින මොහොතක කිසිම කොන්දේසියක් නොදමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව දුකෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණා. එතුමාගේ රාජතාන්ත්‍රික භාවය මීට වසර දෙකකට පෙර පැවති දරුණු ආර්ථික අර්බුදයේදී පැහැදිලිව පෙන්නුම් කළා. වසර දෙකක් ඇතුළත පීඩාවට පත් ජනතාව ජීවත්වීමේ හැකියාවක් ඇති ආර්ථිකයක් ගොඩනැඟීමට එතුමාට පුළුවන් වුණා.එතුමාගේ ආර්ථික දැක්මට සහයෝගය දැක්වීම සඳහා විගමනික ශ්‍රමිකයින් තමන් උපයා ගත් ධනය බැංකු හරහා ලංකාවට එවීමට කටයුතු කළා. ඒ අනුව මේ වසරේදි පමණක් ඩොලර් බිලියන 12ක විදේශ විනිමයක් ලබාගැනීමට හැකි වුණා.

2022 වසරේදී මූලික අවශ්‍යතා ලබා ගැනීමටවත් විදේශ විනිමය නොතිබූ රටක් අද වන විට සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම නිසා හැකි වුණා. ඒ සඳහා ඔබ විදේශ රැකියා නියෝජිත ආයතන වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ වෙනුවෙන් සිදු කරන ඇගයීම “අභිමන් 2024” ලෙස ඔබට පුද කරනවා.ඔබේ ශක්තිය එදා රටට නොලැබුණා නම් අද රට තිබෙන තැන හිතාගන්නවත් බැහැ. ඒ නිසා ඉදිරියටත් ඔබේ ශක්තිය අප රටට ලබාදෙමින් රටේ දියුණුවට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන්වන ජගත් පුෂ්ප කුමාර, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත් , හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදේශ රැකියා බලපත්‍ර ලාභීන්ගේ දේශපාලන සංසදයේ සභාපති ලංකා විජිත කුමාර, ලේකම් ජී. ගනේෂවරන්, භාණ්ඩාගාරික නිශාන්ත ජයකොඩි යන මහත්වරුන් සහ විදේශ රැකියා නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sri Lanka Red Cross Society Colombo 02

ඩෙංගු සහ ගංවතුර මඩින්නටත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වෙනවා - සාගල

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  පැවසීය.

පුරවැසියන් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ශ්‍රී ලංකා රතු කුරුස සමාජය – කොළඹ ශාඛාව විසින් පැවැත්වීමට නියමිත, ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ගංවතුර උවදුර සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා  මෙසේද පැවසීය,

ව්‍යසනයක් ඇතිවූ අවස්ථාවන්වලදී රජය වගේම විවිධ සංගම් හා රටවල් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරනවා. ගංවතුර තත්ත්වයක් ඇති වීමට පෙර එය අවම කරන්න අප කටයුතු කළා නම් අපට ගංවතුර තත්ත්වයකදී වියදම් කරනවාට වඩා විශාල මුදලක් අඩු කර ගත හැකියි.

ඒ වගේම ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට වැය වන මුදල ඩෙංගු නිසා සෞඛ්‍ය සේවයට දරන්න සිදු වන වියදමට වඩා බොහෝ අඩු වනු ඇති බව පැවසිය යුතුයි. මෙහිදී සිදු වන ජීවිත හානි, පවුලේ සාමාජිකයන් මුහුණ දෙන ගැටළු මුදල් වලින් තක්සේරු කළ නොහැකි බව තේරුම් ගත යුතුයි.

මේ සියලු දේ පිළිබඳ නිසියාකාරව තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට කාලය දැන් පැමිණ තිබෙනවා. මේ තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවෙන්න පුලුවන්. ජනප්‍රිය නොවූවත් අපට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. අප ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේද ජනප්‍රිය නොවන; ඒත් නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසයි. එවැනි තීන්දු තීරණවල ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ අවුරුදු කීපයකට පසුවයි.

අප ඇති කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා ව්‍යාපාර ,කර්මාන්ත, ආයෝජන ඉදිරියට කර ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. වංචාව දූෂණය අවම කිරීම සම්බන්ධයෙනුත් වත්මන් රජය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙනවා. මෙම කටයුතු සිදු කරන විටදීද ගනු ලැබූ තීන්දු තීරණ ජනප්‍රියා ඒවා වුනේ නැහැ. නමුත් ලංකාවේ අප පුරුදු වී තිබෙන්නේ මැතිවරණයක් සමීප වන විට ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමටයි.

නමුත් මේ ගංවතුර හා ඩෙංගු වැනි ප්‍රශ්නවලදීත් අපට ජනප්‍රිය නොවන දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා.

පසුගිය ගංවතුර තත්ත්වයේදී අප දුටු දෙයක් තමයි අපේ රටේ යාන්ත්‍රණය, පුරවැසියෝ වගේම රාජ්‍ය සේවකයන් ගේ ක්‍රියා කලාපය එම ව්‍යසනයන්ට බොහෝ සේ බලපා තිබෙන බව. එහිදී අප දුටු දෙයක් තමයි වැරදි තැනක නිවසක් හදලා, කාණුවක් වහලා, සමහරු කුඹුරක් ගොඩ කර තමන්ගේ නිවසට යන්න පාරවල් හදා ගෙන තියෙනවා.

නගරයේ එකතුවන ජලය බැස යාමට නොහැකි වන ලෙස කාණු වහලා දාලා තියෙනවා. නැතිනම් ගඟක් අවහිර කරලා, නැත්නම් පහත් බිමක් ගොඩ කර ඉඩමක් හදා ගන්නවා. එහෙමත් නැත්නම් වැරදි අනුමැතියක් අරගෙන, නැත්නම් හොරෙන් හෝ වගුරුබිම් ගොඩ කරනවා. එසේත් නැත්නම් බලය අවභාවිත කර ගොඩකිරීම් සිදු කරනවා.

මේ වැරදි වැඩ බොහොමයක් නිසා අද අප මේ සිටින තැනට පැමිණ තිබෙනවා. එහෙමනම් මේ වැරැදි දැන් හරි නිවැරදි කරගන්න අවශ්‍යයි.

ඩෙංගු රෝගයත් ඒ වගේ තත්ත්වයකට පත්ව තිබෙනවා. පුරවැසියන් ලෙස අප අපගේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත වන්නේ නැහැ. එසේ නම් මේ තත්ත්වය පාලනයට අපට නීති සම්පාදනය කිරීමට සිදු වෙනවා. එය සිදු නොකළහොත් මේ රට හදා ගන්න බැරි වෙනවා.

කොළඹ වේගයෙන් දියුණු වෙන්න සූදානම් වුවත් දියුණු වූ පසුවත් ජලයෙන් යට වෙනවා නම් ඒ දියුණුවෙන් වැඩක් නැහැ.අප යට වෙන්නේ නැතුව දියුණු වෙන්න අවශ්‍යයයි. මහජනතාවට වගේම රාජ්‍ය නිලධාරීන්ට හිරිහැරයක් නොවන ලෙස මහජන මුදල් යොදවන්න අවශ්‍යයයි.

පැරණි දත්ත මත නව තාක්ෂණය යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධිය භාවිතා කර ඕනෑම ක්ෂේත්‍රයක තීන්දු තීරණ ගත හැකියි. එහිදී වැරදි අඩුපාඩු බොහෝ දුරට අඩු කර ගත හැකියි. කාලගුණ රටාවන්, භූ විද්‍යාත්මක දත්ත, චන්ද්‍රිකා ඡායාරූප, පාරිසරික සාධක ආදිය විශ්ලේෂණය කර ව්‍යසනයන්හි සම්භාවිතාවන් පුරෝකතනය කළ හැකියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් රතු කුරුස සංගමයත් එක්ව මේ සඳහා නායකත්වය ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුනසේකර යන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය ආයතන නියෝජන කරන නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Page 45 of 457