පුවත්

අරුන්දික ස්වාධීන වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.
පාර්ලිමේන්තුවේ දී අද (04)විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසය.
වැඩිදුරටත් අදහස් දැක්වු අරුන්දික ප්‍රනාන්දු,
“අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හෝදලා. රාජ්‍ය සේවකයින් ළඟ බොරුව වපුරලා. මේ රටේ කැරලි දෙකක් නිසා 1971 සහ 1989 දී. විශේෂයෙන් 89 දී 60,000ක් තරුණයින් විනාශ වුණා. උතුරෙත් එහෙමයි. ආදරණීය උතුරේ තරුණ පිරිසක් එල්.ටීටී.ඊ එක එක්ක රට විනාශකාරී තැනකට අරන් යන්න යද්දි විශාල තරුණ සංහාරයක් වුණා. දැන් ඉලක්කය තරුණයින්. සමාජ මාධ්‍ය ජාලා හරහා මේ විදියට තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට මේක අරගෙන යනවා.
අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන්න බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජයට පත්කරන්න පුළුවන්, අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් මම සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සත්භාවයෙන්. මේ විනාශයෙන් වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා.”

වාහනවල මැතිවරණ පෝස්ටර් ගලවයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
හෙට (04) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වේ.
ඒ අනුව දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට පත් කර තිබේ.
මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී තිබේ.
පුද්ගලයින් 22 දෙදෙනකු ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇතිබව පැවසීය.
මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතිබව පැවසීය.
මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් වැනි ප්‍රචාරණ පුවරු වාහනය නවතා ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතිබව පැවසීය.
මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

දුරකථනය ඡන්ද හොරකමේ යන විට මාලිමාවට අතීතය අමතක වෙලා :ජනපති ශ්‍රීලනිප සංවත්සරය අමතයි !
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාජ් ඉම්පීරියල් හෝටලයේ අද (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.
පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය ඇමතීමේ ගෞරවය මට ලැබී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එහි ආරම්භක සාමාජිකයෙක් වුණා. පසුව එතුමා ඉන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. ඒ වන විට මා වයස අවුරුදු 10යේ පසුවූ අතර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාව දැනගෙන හිටියා. ඒ වගේම අවස්ථා කිහිපයකදී එතුමාව හමුවීමට ද මට අවස්ථාව ලැබුණා.
අපි පක්ෂ දෙක දෙපැත්තක සිට රට දියුණු කිරීමට කටයුතු කළා වගේම අප අතර බෙදීමක් ද තිබුණා. එහිදී හොඳ හා නරක අප වෙතින් සිදු වුණා. අද අතැමුන් අපෙන් අහනවා ගතවූ වසර 75ක කාලය තුළ මොනවද කළේ කියලා. අප කළ කී දේ පිළිබඳ ලැයිස්තුවක්ම අප සතුව තිබෙනවා. ඒ ගැන පසුවට කියන්නම්. එදා පැවති රජයන් මේ රටේ සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය දියුණු කළා. අප කළ හොද වගේම නරකත් භාර ගැනීමට සූදානම්. සමහරුන්ට වාගේ අපට අතීතය අමතක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසය හිස් වෙන්නේත් නැහැ.
අපට විවිධ මත තිබුණා. නමුත් අප නිරතුරුවම රට ගැන හිතුවා. 2022 වසරේදී ද රට ගැන හිතන්න සිදුවුණා. සාම්ප්‍රදායික දේශපාලනය අනුව නායකයන් නැති වුණා. එක පැත්තකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණා. ඊට පසුව කුමක්ද සිදුවුණේ? විපක්ෂ නායකවරයා වගේම අනුර දිසානායක ද අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තේ නැහැ. ඒ අය පැනලා ගියා. නමුත් අපි කෙසේ හෝ එක්ව ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා. 2022 ජූලි 09 වැනිදා ගෝඨාභය ජනාධිපතිතුමා තනතුරෙන් ඉවත් වුණා. එතැන් සිට රටට නායකයෙක් හිටියේ නැහැ. රට අරාජිකව තිබුණා. එහිදී රට ගැන සිතා අප සියලුම දෙනා එකතු වුණා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.
අප එක්ව රට සහ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත් නිසා තමයි අද වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. අපට රට ගොඩනඟන්න, ආර්ථිකය නඟාසිටුවන්න පුළුවන් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ. මාසයක් දෙකක් ඇතුළත අවශ්‍ය වර්ධනය ඇති කරන්න අපට පුළුවන්කම ලැබුණා. ශ්‍රීලනිපයේ සාමාජිකයන්ට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්න වෙනවා. ඔබ සියලුම දෙනා පක්ෂයත් බේරා ගෙන, එක්සත්ව තබාගෙන මා හට සහාය ලබා දුන්නා.
ගත වූ වසර දෙකක කාලය තුළ අප සිදුකළ වැඩසටහන ගැන මෙම අවස්ථාවේ කතා කළ යුතු නැහැ. අපි කෙසේ හෝ රට තුළ ආර්ථිකය ස්ථාවරයත්වයක් ඇති කළා. අපට ඒ ආර්ථික ස්ථාවරයත්වය තහවුරු කිරීමට අවශ්‍යයි. ඒ වගේම මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ද අවශ්‍යයි. තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ලබාදීමට අවශ්‍යයි. අප කැපවී සිටින්නේ රට වෙනුවෙන්. ඇතැමුන් රට ගැන කතා කරලා හිතන්නේ තමන් ගැන විතරයි. අපි රට ගැන කතා කර, හිතන්නේ ද රට ගැන පමණයි. මේ වන විට අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි.
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව අප පෙන්වා දී තිබෙනවා. අපි අරගල කරන්නේ එම වෙනස සහ දියුණුව සඳහායි. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කිරීම වෙනුවෙන් ඒ අරගලය අප සිදු කරනවා. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බැහැ. හැමදාමත් රටවල්වලින් විදේශ විනිමය ඉල්ලන්න බැහැ. අපට අවශ්‍ය මුදල් අප සෙවිය යුතුයි. රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ ආර්ථිකය තුළින් මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් හිමිකර දිය යුතුයි.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ගම්මාන වෙත පැමිණ තිබෙනවා. දැනටමත් මහින්ද අමරවීර අමාත්‍යතුමා ඊට අදාළ අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ගමට එනවා. සංචාරකයන්ගේ පැමිණීම ද දෙගුණයක් කරනවා. මේ සෑම දෙයකින්ම ගමට මුදල් ගලා එනවා. සූර්ය බලශක්තිය ගම්මානවලට ගෙන එනවා. අලුතින් ආයෝජන කලාප ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා.
අප සියලුම දෙනාම එක්ව වෙලා ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස අයිතිය ද ලබා දෙනවා. වතු නිවාසවලට ගම්මාන සමඟ නිවාස ලබාදීමට ද කටයුතු කරනවා. මෙම කටයුතු මේ රට තුළ පළමු වතාවට අප කළ විප්ලව බව කිව යුතුයි. අස්වැසුම ලබා දීමත් විප්ලවයක් නොවෙයිද කියා මා අහනවා.
දුරකථනය සහ මාලිමාව රටට මොනවද කළේ? සමගි ජන බලවේගය දෙමළ පක්ෂවලින් ඡන්දය හොරකම් කරන්න ගිහින් ඒ මොහොතේම අහුවුණා. අද ඔවුන්ට යාපනයටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙනවා. දේශපාලන පක්ෂ එවැනි තත්ත්වයකට වැටිය යුතු නැහැ. ඒ වගේම මාලිමාව අතීතය අමතක වූ පක්ෂයක්. අතීතය ගැන නොදැන අනාගතයට යන්න බැහැ. තමන් කුමක්ද කළේ කියා ඔවුන්ට අමතක වෙලා. ඔවුන්ගේ කැලැන්ඩරයේ 1971 කියන වසර නැහැ. 1971 කියන වසරක් ඔවුන්ට තිබෙනවාද කියා පුළුවන් නම් පෙන්වන්න. අපට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ මෙවැනි පිරිසක් සමඟයි.
අප සියලුම දෙනාම එකතු වෙලා ගම දියුණු කරමු. ඇතැමුන් පක්ෂ ගැන කතා කරන නමුත් තරුණ තරුණියන් ගැන කතා කරන්නේ නැහැ. නමුත් අප තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගන්නවා. ස්වයං රැකියා අවස්ථා බිහි කරනවා. නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන එනවා. එපමණක් නොව තවත් තරුණ තරුණියන් 50000කට වෘත්තීය පුහුණුව ලැබීම සඳහා මුදල් ලබා දෙනවා. ඔවුන්ට කැමති වෘත්තියක පුහුණුව ලැබිය හැකියි. විදෙස් රටවලට වුවද යෑමට අවස්ථාව තිබෙනවා. විදෙස් රටවල ද සෞඛ්‍ය අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවස්ථා හඳුනාගෙන ඒ සඳහා තරුණ තරුණියන් යොමු කිරීමට අප උදව් කරනවා.
අපි මෙතැන සිටින්නේ ජනතාවගේ ජීවිතය තව තවත් දියුණු කිරීමටයි. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි. අද ගෑස්, ඉන්ධන, ඖෂධ පෝලිම් නැහැ. නමුත් මම එක පෝලිමක් ඇති කරන බව සඳහන් කරනවා. ඒ සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළට යන පෝලිමයි. ඒක නවත්වන්න මම ඉඩ තියන්නේ නැහැ.
මේ ගමන යන අවස්ථාවේදී මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්තුති කරනවා. එදා අපි දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් අප අතර මිත්‍රකම තිබුණා. මේ සෑම කෙනෙක් ගැනම දැනගෙන හිටියා. සියනෑ කෝරළේ අයගෙන් පාර්ලිමේන්තුවට එන්න කලිනුත් දැනගෙන හිටියා. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ද වගකීම් සහගත නායකයෙක් බව පැවසිය යුතුයි. එතුමා වරායත්, ගුවන් තොටුපළත් සංවර්ධනය කරා ගෙන යමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක එම ආයතන ඉදිරියට ගෙන යෑම දක්ෂතාවක් බව කිව යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයෙන් ඉහළට ආ පක්ෂයක්. මේ කාලය වන විට දේශපාලන කේෂත්‍රයේ විප්ලව ඇතිව තිබෙනවා. ගත වූ වසර දෙක තුළ නායකයන් පක්ෂ අත්හැර ගියා. ඔවුන් අලුත් මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඔබ ලබා දුන් සහයෝගය මම කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. අප ඉදිරියට ගිහින් ප්‍රතිඵල රටට පෙන්වමු. අපි කිසි දිනෙක පැනලා ගියේ නැහැ. එක තැනක සිට ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අනාගතයේදී ද ප්‍රශ්නවලට මුහුණ දී රට හදන්න එකතු වෙමු. අපි ජයග්‍රහණය කරමු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව හඳුනා ගත්තේ 1989 වසරේදීයි. අපගේ දේශපාලන මත පිළිබඳ වෙනස්කම් තිබුණා. එදා පැවති ගතානුගතික දේශපාලන මත අනුව මමත් එතුමාව බොහෝම තදින් විවේචනය කර තිබෙනවා. නමුත් රට වැටෙන අවස්ථාවේදී මට එතුමාව පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අසලදි හමුවුණා. අපි සර්ව පාක්ෂික සම්මේලනයක් පවත්වා රට වැටුණු වෙලාවේ නායකත්වය භාර ගන්න සුදුසු කෙනෙක් හොයන බව කිව්වා. ඔබතුමා ඒ සර්වපාක්ෂික සමුළුවට නිහතමානීව පැමිණියා. ඔබතුමා තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. ඒ වගේම එතුමා පවුල් හදන දේශපාලනඥයෙක්ද නොවෙයි.
අද මේ පෙරළිය සිදුව තිබෙන්නේ එදා අපිව පක්ෂයෙන් ඉවත් කළ නිසා බව පැවසිය යුතුයි. නමුත් අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒ සැමට අවස්ථාවක් ලබා දෙනවා. වැදගත් දේශපාලනය කළ හැකි තරුණ තරුණියන්ට අපේ පක්ෂය විවෘත කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් ලෙස ඔබ විශාල වශයෙන් කැප කිරීම් කරනවා. ඔබ අප සියලුම දෙනාටම එක අරමුණක් තිබෙනවා. ඒ අප ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව ගිය වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා.
රට වෙනුවෙන් අපි අපේ තීරණ ගත යුතුයි. මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ප්‍රකාශ වුණා. නමුත් ඊට ඉඩ නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවට අප ඉතා ප්‍රායෝගික තීන්දුවක් අරගත්තා. ජනාධිපති අපේක්ෂකත්වයට මා ඉදිරිපත් විය යුතු බවටත් ඇතැමුන් යෝජනා කළා. නමුත් අප යථාර්ථවාදීව ඒ දෙස බලා දැනට තරග බිමේ සිටින අපේක්ෂකයෙක් තෝරාගත යුතු බවට තීන්දුවක් ගත්තා. අනුර කුමාර දිසානායක සමග අපේ ගනුදෙනුවක් නැහැ. ඔහුට රට වෙනුවෙන් වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ගේ පාක්ෂිකයන් බලා සිටින්නේ අනිකුත් පාක්ෂිකයන්ගේ නිවාස ගිනි තියන්නයි. ඒ තත්ත්වය ඇති කරන්න අප ඉඩදිය යුතු නැහැ. සජිත් ගිරවෙක් වගේ කියනවා පමණයි. බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව රවටමින් රට වටේ යනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර -
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒ වගේම සෑමවිටම රට වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක්. මෑත යුගය ගතහොත් මීට වසර දෙකකට පෙර අරගලය අවස්ථාවේදී අප රට වෙනුවෙන් පෙනී සිටියා. අපට අවශ්‍ය වුණේ රටත් ජනතාවත් ආරක්ෂා කර ගෙන ඉදිරියට යෑමටයි.
අද කෑගහන ආර්ථික විශේෂඥයන් එදා කිව්වේ ඩොලර් නොමැතිව රටක් ගෙනි යන්න බැහැ කියලයි. එම අභියෝගාත්මක අවස්ථාවේ විපක්ෂයේ කණ්ඩායම් ඒ වගකීම භාර ගත්තෙ නැහැ. ඒ අවස්ථාවේ අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ තනි පුද්ගලයකුව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළා. අප සමඟ පක්ෂ රැසක් එතුමාට සහාය ලබාදීමට එකඟ වුණා.
පොහොර නොමැතිව පාරට පැමිණ උද්ඝෝෂණ කළ ගොවීන් යළි ගොවි බිමට යැවීමේ වැඩපිළිවෙළ සකස් කිරීමේ අභියෝගය ජනාධිපතිතුමා මට භාර දුන්නා. විපක්ෂයේ කණ්ඩායම් එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තා. නමුත් පළමු වැඩසටහන ලෙස ගොවි ජනතාවට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ ගෙන ආවා. රජයේ වැඩපිළිවෙළ විශ්වාස කරමින් ගොවි ජනතාව අද රටට සහල් අතිරික්තයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහි ගෞරවය ගොවි ජනතාවට හිමි වෙනවා.
තෙල් පෝලිම්, ගෑස් පෝලිම් යුගය අවසන් කර අද රට සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා එම තීන්දුව නොගත්තා නම් අද රටේ ජනතාව මිය යන්නේ ඖෂධ නැතුවයි. කිරිපිටි නොමැතිව දරුවන් මිය යන්න ඉඩ තිබුණා.
එදා තෙල් පෝලිම්වල සිටි පිරිස්වලට වැඩි මිලට තෙල් විකිණූ පිරිස් අද මාලිමාවට සහාය දෙනවා. ඔවුන්ට ඒ නායකයන් හොඳයි. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. මාලිමා පාලනයක් ආවොත් නැවත අරගලයක් එනවා. නැවත තෙල් පෝලිම් එනවා. එතකොට වැඩි මිලට තෙල් විකුණන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ නිසා තවදුරටත් අත්හදාබැලීම් කරන්න බැහැ. එල්ටීටීඊ සංවිධානයයි, ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටට කළ විනාශය නොවෙන්න අද මේ රට සංවර්ධිත රටක්. රටක් ලෙස ණය ලබා ගැනීමට සිදු වුණේ ඔවුන් එදා කළ විනාශය නිසයි.
අනුර කුමාර දිසානායක එදා ඇමැති මණ්ඩලය නියෝජනය කළා. වැව් දසදහසක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ඔහුට භාර දුන්නා. අඩුම තරමින් වැව් දහයක්වත් හැදුවේ නැහැ. නමුත් පෝස්ටර්, බැනර්වලින් විශාල ප්‍රචාරණයක් ලබා දුන්නා. සංදර්ශන විතරයි. කරපු දෙයක් නැහැ. එදා ඩබල් කැබ්වල ගිය ඔවුන් අද යන්නේ සුපිරි වාහනවලයි. මේ අය ඇමැති වගකීම් දන්නේ නැහැ. ඒ කාලයේ කළ දේවල් හොයාගෙන ගියොත් අනුර දිසානායක කියන්නේ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයායි. ඒ වගේ අසාර්ථක වූ නිවාස අමාත්‍යවරයෙකුට රට භාරදීලා රට යළිත් විනාශ කරන්න අවශ්‍යද? අපේ ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අමතක කිරීමට තරම් මේ රටේ ජනතාව ගුණමකුවන් නොවන බව කිව යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න :
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරය අප ඉතා අභිමානයෙන් යුතුව අද සමරනු ලබනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්බව කිව යුතුයි. පක්ෂයේ නිර්මාතෘවරයා වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනයට ලක් වුණා. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කෙරුණා. මේ ගමන් මඟ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාධක කම්කටොලු රැසකට මුහුණ දුන්නා.
නමුත් ඒ සෑම අභියෝගයක්ම සාර්ථකව ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. මෑත කාලයේදීත් ශ්‍රීලනිපය යම් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නා. නමුත් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සියලු අර්බුදයන් සමනය කර ගැනීමට සමත්ව සිටිනවා. ඒ වගේම අපෙන් වෙන්වූ සියලු පාර්ශ්වයන් පක්ෂය වටා යළිත් ඒකරාශී වෙමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ඉතිහාසයේ සිට යුගයේ අවශ්‍යතාවය ඉටු කළ පක්ෂයක්. ජාතික ප්‍රශ්නවලදී පක්ෂ පාට පසෙකලා අපේ යුතුකම අප ඉටු කර තිබෙනවා.
පක්ෂය තුළ විවිධ මතවාද තිබුණත් රට ගොඩ නැඟීම වෙනුවෙන් පක්ෂ භේද සියල්ල අමතක කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දුවක් ගනු ලැබුවා. ඒ සහාය ලබාදීමේ තීරණය නිවැරදි බව අද අපේ රට තිබෙන තත්ත්වය අනුව පෙනී යනවා. අපගේ මේ සහාය ලබාදීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඊට අනුකූලව බවද පැවසිය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාවට සිදුකළ කාර්යභාරය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් මේ රට වෙනුවෙන් සිදු කළ විශිෂ්ඨ සේවයද මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. වසර 73ක ඉතිහාසය තුළ මේ රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ කාර්යභාරය පිළිබඳව අප ආඩම්බර වෙනවා.
එවන් අභිමානවත් ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තවත් ඓතිහාසික තීන්දුවක් ගනු ලැබුවා. ඒ මීට වසර දෙකකට පෙර මේ රට ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටි අභියෝගාත්මක අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. අපි එදා පෙනී සිටියේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් නොවෙයි. ඉතිහාසයේ සිටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව වෙනුවෙන් බව කිව යුතුයි.
දේශපාලනය කියන්නේ ඉන්ධන, පොහොර, ඖෂධ නැති වන විට ‘කෝ ඒවා නැහැනෙ’ කියන එක නොවෙයි. සමස්ත ශ්‍රී ලංකා කාරයන්ට අවශ්‍ය වුණේ රට නැවත ගොඩ නැඟීම පමණයි. එහිදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමන්න, විකුණන්න උත්සාහ කළා. රටට ආදරය කරන ශ්‍රී ලංකාකාරයන් නිසා පක්ෂය බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ගෞරවය මේ රටේ සිටින සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හිමි වෙනවා.
මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර, නියෝජ්‍ය ලේකම් ජගත් පුෂ්පකුමාර, හිටපු ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, දේශපාලන මණ්ඩල සභික වීරකුමාර දිසානායක යන මහත්වරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන්, විධායක සභිකයන්, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, සියලු වෘත්තීය සමිතිවල සාමාජිකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සංධානයේ නියෝජිතයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
අද දිනයේද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට එලෙස තද වැසි ඇති වූ බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මීට අමතරව, ඉදිරියේදී ද බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට හා ගාල්ල, මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුමන්තිරන් සජිත්ව අගමැති කරන්න යෝජනා කළත් ඔහු පලා ගියා !
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉවත් වූ අවස්ථාවේද තමන්ට ජනාධිපතිධූරය භාර නොගන්නා ලෙස සජිත් ප්‍රේමදාම පැවසුවත් ඔහුද ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා තමන් රටේ වගකීම භාර ගෙන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු නොකළා නම් මේ රට තවත් බංග්ලාදේශයක් වන බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
දොම්පේ මට අලුත් තැනක් නොවෙයි. සුරනිමල රාජපක්ෂ අපිත් එක්ක දේශපාලනය කළා . සරච්චන්ද්‍ර රාජකරුණා, 1975 දී පමණ එක්සත් ජාතික පක්ෂයට බැඳුණා. ඔහු දොම්පේ ආසනය මෙහෙයවූවා . මම බියගම ආසනයේ වැඩ කළා. කවුරුත් හිතුවේ නැහැ අපි දෙන්නා දිනයි කියලා.සරච්චන්ද්‍ර රාජකරුණා මැතිතුමාගේ අභාවයෙන් පස්සේ මම හර්ෂණ රාජකරුණාව පළාත් සභා මන්ත්‍රී කළා.
ඔබ සියළු දෙනා මීට අවුරුදු දෙකට කලින් සිටියේ ඉන්ධන , ගෑස් , ඖෂධ , පෝලිම් වලයි . එදා පෝලීමේ ඉඳලා එපා වුණා. ඇතැමුන් පෝලීම් වල මියගියා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වුණා. සම්ප්‍රදායේ හැටියට ඊළඟට අගමැති විය යුත්තේ විපක්ෂ නායකතුමායි . ඊට කලින් සතියේ අපි අතර සාකච්ඡාවක් තිබුණා . එහිදී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා අගමැති අයින් වුණොත් ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාට අගමැති වෙන්න ඉඩ දෙන්න ඕන කිව්වා . අපට ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඒ කාළේ මට කවුරුත් හිටියේ නෑ . මම විතරයි. සජබේ සමහර අය මා සමඟ කතා කරන්නත් බයයි.
ආණ්ඩුවේ අය එක්ක කතා කළා. අඟහරුවාදා වන විට මමත් හිතුවා සජිත් අගමැති ධූරය භාරගනියි, ඊට උදව් කරන්නම් කියලා. නමුත් එදින සවස් වෙනකොට විපක්ෂ නායකතුමා අගමැති ධූරය භාර ගන්න බිය වී පලා ගිය බව දැනගන්න ලැබුණා . ඊළඟ දවසේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අගමැති ධූරය භාරගන්න ගියාත් එතුමාත් බැහැ කිව්වා. අනුර කුමාර කතා කළේවත් නැහැ.
ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුණා අගමැති ධූරය භාරගන්න කියලා . මා එක්ක යන්න මට අත්පොළසන් දෙන්නවත් කවුරුත් නෑ . මම තනියම ගිහින් දිවුරුම් දීලා ආවා. එතකොට තමයි මෙතුමන්ලා සියලු දෙනා ආණ්ඩුවට එකතු වුණේ.
ආපසු ජුලි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. මම ජනාපතිධූරයේ වැඩ බලන්න හිටියත්, සජිත් කිව්වා ඔබතුමා වැඩබලන ජනාධිපති ධූරය භාරගන්න එපා කියලා. මම ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා? නැහැ කිව්වා. අනුරගෙන් ඇහුවා ඔබතුමා ගන්නවා ද කියලා. ඔහුත් ගන්නේ නැහැ කිව්වා. කථානායකතුමාව යෝජනා කළා . එතුමා කිව්වා මම ගන්නේ නැහැ, මට මේක කරන්න බැහැ කියලා . ඒ අය වාද කරන අතරේ පාර්ලිමේන්තුව වටලන්න ආවා . ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි සියලු නායකයන් පලා ගියා. මම හමුදාපතිට කිව්වා මේක නවත්වන්න. මම එදා පාර්ලිමේන්තුව වටලන එක නවැත්තුවේ නැත්නම් අද ලංකාවත් බංග්ලාදේශයක් වෙනවා . එහෙනම් බංග්ලාදේශයේ වගේ මෙහෙත් පාර්ලිමේන්තුවක් නැහැ. එදා ඒ විදිහට ආණ්ඩුව අරගෙන තමයි අපි මේ රට දියුණු කළේ .
අපට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි . අපි ඇති කළ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යයි. ජීවන බර තවත් සැහැල්ලු කළ යුතුයි . රුපියල ශක්තිමත් වන විට ගතවූ අවුරුදු දෙක තුළ බඩු මිළ අඩුවුණා. මම ඉන්නේ රුපියල තවත් ශක්තිමත් කරන්නයි . දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ යුතුයි. බදු බර, ජීවන බර සැහැල්ලු කරන්න එම කටයුතු සිදුකල යුතුයි .
අනුර සහ සජිත් කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රාජ්‍ය ආදායම අඩු වෙනවා . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කලෙත් ඒ කටයුත්තයි . ඔහුත් බදු අඩු කළා, ජනතාව පෝලීමේ හිටියා. ආපසු ඩොලරයට සාපේක්ෂව රුපියල 370 යවන්න අවශ්‍යද ? හාරසියයට යවන්න අවශ්‍යද ? මම ඔවුන්ට කියනවා , නිකන් බොරු කියන්න එපා කියලා.
දැන් අපට තිබෙන්නේ රුපියල තවත් ශක්තිමත් කිරීමයි . රැකියා ලබාදීමට අවශ්‍යයි . පසුගිය අවුරුදු හතරක් තිස්සේ රැකියා ලබාදීමක් සිදුවුණේ නෑ . නමුත් එන අවුරුද්දේ රැකියා ලක්ෂයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා . පුද්ගලික අංශයේ සහ ස්වයං රැකියා සඳහා යොමුකරනවා . පුද්ගලික අංශයට පිරිස් යොමු කර පුහුණු වැටුප් ලබාදෙනවා . ඒ පිරිස් රැකියා වල ස්ථිර කරන්න ඒ සමාගම්වලට දිරිගැන්වීමක් ලෙස අපි එම කටයුතු සිදුකරනවා .
ඒ වගේම සුහුරු කෘෂිකර්මය ආශ්‍රිත රැකියා සඳහා ද පිරිස් යොමුකරනවා . මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට මට අවශ්‍යයි . මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයන් බවට පත්කළ යුතුයි . සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි . අපනයන වෙළෙදාම ඇති කරන්න අලුත් ආයෝජන කැඳවිය යුතුයි . ඒ වෙනුවෙන් විශේෂ වැඩසහනක් තිබෙනවා. මේ වන විට බියගම A සහ B ආයෝජන කලාප තිබෙනවා . දෙවන අදියර තුළ කෑරගල C කලාපය ලෙස ගෙන එනවා . එහි අක්කර 120ක් පමණ තිබෙනවා . ගනේකන්ද වත්ත තුළ අක්කර 60- 70 ක් තිබෙනවා . එහි සුහුරු කෘෂි කර්මාන්තය ආරම්භ කිරීමට සමාගම්වලට වෙන් කර දෙනවා. ඒ තුළත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා . ඒ අනුව නිෂ්පාදන කලාපයක් සහ නිෂ්පාදන නවීකරණ කලාපයක් නිර්මාණය වෙනවා .
ගම්පහ දිස්ත්‍රික්කය දියුණු කරන්න අපට වැඩපිළිවෙලක් තිබෙනවා . මේ පණිවිඩය ඔබ සියලු දෙනා ඉදිරි දිනවල ගෙයින් ගෙට ගොස් කියන්න . ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද යමක් කිව යුතුයි . දැන් මෙතන සජබ සමඟ බෙදීමක් තියෙනවා . නමුත් සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිව යුතුයි . එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න මට ජන්දය දෙන්න කියලා. ඒ සඳහා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න . නැත්නම් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා .

ලබන ජනවාරි සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්නගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.
ඒ අනුව,
- කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා.
- රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා.
- සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා.
- කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා.
- සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා.
- මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා.
- විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා.
- හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා.
- විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා.
- ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා.
- පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා.
- ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා.
- පරිපාලන සේවය සඳහා රු.28,885 ක්.
- නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්.
- ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්.
- වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා.
- වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර.
- රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ.
මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් හෙට (සැප්. 3) සිට නිවෙස් වෙත බෙදා හැරීමට කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.
අද (සැප්. 2) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිස්ත්‍රික්ක 25 ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බව ය.
ඒ අනුව, සැප්තැම්බර් 14 වන දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව සභාපතිවරයා පැවසීය.
එමෙන් ම, සැප්තැම්බර් 8 වන දා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
“නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දිස්ත්‍රික්ක 25ම මැතිවරණ කාර්යාල මගින් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කරනවා. ඒ අනුව, හෙට සිට ඔවුන් සියලු ම නිවෙස්වලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ කරනු ඇත. ඒ වගේ ම, 14 වෙනිදා දක්වා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු වෙනවා. මේ මාසේ 8 වෙනිදා ඉරිදා දිනයේ විශේෂ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ දිනයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ සතියේ 4 වෙනිදා සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිස් ස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙනවා. 5,6 දිනවල සෙසු රාජ්‍ය ආයතනවල ඒ වගේ ම, පාසල්, අනෙකුත් ආරක්ෂක ස්ථානවල තැපැල් ඡන්ද ලකුණු කිරීම සිද්ධ වෙනවා. “

රට හදලා පෙන්නන්න අවුරුදු 5ක් දෙන්න !
තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 වනදා අමතක නොකර නියමිත තැන ලබා දෙන ලෙසද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) පෙරවරුවේ වව්නියාව Young Star ක්‍රීඩාංගණයේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ සජිත් සහ අනුරගේ ප්‍රතිපත්තිය වන්නේ බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කළ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය බවත් තම ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදනය වැඩි කර රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
කාදර් මස්තාන් මහතාට වගකීමක් භාර දුන්නොත් ඔහු එය සාර්ථකව සිදු කරනවා. දිලිපන් මන්ත්‍රීතුමා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ජයග්‍රහණයකින් එය අවසන් කරනවා. මෙහි සිටින සියළුම දෙනා සංවිධාන ශක්තියෙන් ඉහළයි. කාලයක් අපි එකිනෙකාට විරැද්ධව තරග කළා. දැන් අපි සියළු දෙනා එකට එක්ව සිටිනවා. මීට අවුරුදු දෙකකට පෙර ආහාර තිබුණේ නැහැ. ඉන්ධන නෑ. විදුලිබලය නෑ. අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා. සජිත් ප්‍රේමදාස රට භාර ගනියි කියා අපි හිතුවා. “ මට බැහැ” කියා ඔහු රට භාර නොගන්නා බව අඟහරුවාදා රාත්‍රිය වන විට අපට ආරංචි වුණා.
බදාදා දිනයේදී සරත් ෆොන්සේකා මහතා අගමැති වීමට සූදානම් බවත් දැන ගන්නට ලැබුණා. මං කිව්වා කවුරු අගමැති වුනත් අපි උදව් කරන්නම් කියලා. නමුත් බදාදා හැන්දෑව වන විට එතුමාත් අත හැරලා.
බ්‍රහස්පතින්දා ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා අගමැතිකම භාර ගෙන දිවුරුම් දෙන්න කියලා. එදා මම ගියේ මා පිටුපස කවුරුවත් නැතිව තනි පුද්ගලයෙක් ලෙසයි. අත්පුඩි ගහන්නවත් කවුරුවත් නෑ.
නමුත් මේ මන්ත්‍රීවරුන් කිව්වා ඔබතුමා වගකීම භාර ගන්න අපි උදව් කරන්නම් කියලා. ජුලි 09 වනදා හිටපු ජනාධිපතිතුමාටත් ධුරය හැර යන්න සිදු වුණා. ජනාධිපතිධුරය මට භාර ගන්න සිදු වුණා. විපක්ෂය කිව්වා මට භාර ගන්න එපා කියලා. මම ඇහුවා කවුද භාර ගන්නේ කියලා.සජිත් සහ අනුර කිව්වා ඔවුන් කවුරුත් භාර ගන්නේ නැහැ කියලා. කථානායකතුමාට රට භාර ගන්න කිව්වා. ඔවුන් ඒ අභියෝගය භාර නොගෙන ඒ වතාවෙත් පැනලා ගියා.
එදා පාර්ලිමේන්තුව වට කරන්න ආපු වෙලාවේ මේ පිරිස පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටියා . කට්ටිය එනවා කිව්වාම සියළු දෙනා පැනලා ගියා. මම හමුදාවට කිව්වා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා. කථානායකතුමා මට කිව්වා, මම පාර්ලිමේන්තුව පාලනය කරන්නම්, ඔබතුමා රට පාලනය කරන්න, ජනාධිපතිධූරය භාර ගන්න කියලා. මං ඒ පියවර ගත්තේ නැත්නම් අද මේ රට බංගලිදේශය වගේ වෙනවා. නමුත් සජිත් සහ අනුර රට වටේ ගිහින් කිව්වේ මම රනිල් රාජපක්ෂ කියලයි. නමුත් දැන් රාජපක්ෂලා පිටව ගිහින්. දැන් ඔවුන්ට කියන්න දෙයක් නැහැ.
නමුත් මේ අවුරුදු දෙක තුළ අප 70% ට තිබූ උද්ධමනය 2%ට අඩු කළා. රතු පරිප්පු මිල 40%කින් අඩු වුණා. තිරිඟු පිටි මිල 29%කින් අඩු වුණා. කුකුළු මස් මිල 11%කින් අඩු වුණා. ඩීසල් මිල 28%කින් අඩු වුණා. ගෑස් මිල 31%කින් අඩු වුණා. දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට ඩොලර් බිලියන 76යක් ලෙස තිබුණත් 2023 වසරේදී එය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය වුණා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහයෝගය ලබා ගත්තා. රට භාර ගෙන වසරක් ගත වන විට භාණ්ඩ මිල අඩුවුණා පමණක් නොවෙයි රාජ්‍ය සේවකයන්ගේ දීමනා පලමුව රු.5000/= කින්ද, අනතුරුව රු.10000/=කින්ද මාසික වැටුපට එක් කළා.
උදය සෙනෙවිරත්න වාර්තාව අනුව වැටුප් වැඩි කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාමික හා ආබාධිත ප්‍රජාවට සිදු කරන ගෙවීම් වැඩි කරල තිබෙනවා. ගැබිණි මව්වරුන්ගේ දීමනාද වැඩි කර තිබෙනවා. සමෘද්ධි ප්‍රතිලාභය මෙන් තුන් ගුණයක් අප අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. එසේම එම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කරනවා. අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමටද අප කටයුතු කළා. පොහොර මිළ අඩු කළා. උරුමය වැඩසටහන හරහා ජනතාවට සින්නක්ර ඉඩම් ඔප්පු ලබා දුන්නා. ඒ වගේම කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ලබා දෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් නව ගම්මාන ඇති කරනවා.
මේ ආකාරයට අද රටේ ස්ථාවරභාවයක් තියෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අපි බංගලිදේශය වගේ නොවෙයි. මේ රට එම තත්ත්වයට පත් වීම මං බේරගත්තා. මේ වන විට එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. මන්ත්‍රීවරුන් 29ක් ඝාතනය කරලා. අග්‍ර විනිශ්චයකාරවරයාව ගෙදර යවලා. මේ වන විට එරට ඡන්දයක් පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. නමුත් අපි සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය පවත්වනවා.
දැන් තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය දකින්නේ. එහෙනම් මට ඡන්දය ඉල්ලන්න අයිතියක් තිබෙනවා. එහෙනම් පැනලා ගිය අයට මොකද කරන්නේ. ඔවුන්ව අමතක කරන්න එපා. ඔවුන්ට දෙවෙනි සහ තුන්වන තැන දෙන්න. අපි මේ ආර්ථිකය හැදුවා. ජනාධිපතිවරණයට මම එන්නේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න. අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බැහැ. මෙරටට විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඒ නිසා අපි අපනයන ආර්ථිකයක් ඇති කර විදේශ විනිමය අතිරික්තයන් ලබා ගත යුතුයි.
ඔබේ නිවස කඩා වැටුනොත් මොකද කරන්නේ? එය ශක්තිමත් පදනමක් මත ආපසු ගොඩ නැඟිය යුතුයි. අත්තිවාරමේ අඩුපාඩු ඇත්නම් එය සැලසිය යුතුයි. මේ ඡන්දයට මම ඉදිරිපත් වුනේ ඒ ආකාරයට රටේ වැඩ කටයුතු සිදු කිරීමටයි. මේ වන විටත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව, චීන එක්සිම් බැංකුව ඇතුළු තවත් රටවල් 17ක සහයෝගය ලබාගෙන තිබෙනවා. ඒනිසා තමයි විශේෂයෙන්ම ඇමරිකාව, ඉන්දියාව, ජපානය, යුරෝපය ඇතුළු සියලු රටවල් අපට උදව් කළේ. මේ රට ස්ථාවර කරන්න මම ඉල්ලන්නේ අවුරුදු පහයි. එම වැඩ කටයුත්ත මම අවුරුදු 4න් අවසන් කරනවා. මගේ පරමාර්ථය ජීවන බර අඩු කිරීම, ගෙවන බදු වෙනුවෙන් සහනයක් ලබා දී සහ බදු බර සැහැල්ලු කිරීමයි. ඉහළ වැටුප් සහිත රැකියා වැඩි ප්‍රමාණයක් ඇති කිරීමයි. ඒ වගේම ආර්ථිකය අපනයන ආර්ථිකයක් පරිවර්තනය කිරීමයි. ඒ වගේම උරුමය සහ අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.
මම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි. රුපියල ශක්තිමත් කරන්නේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙන්. 2022 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76යි. 2023 වසරේදී එය ඩොලර් බිලියන 84ක් දක්වා ගෙන ඒමට හැකි වුණා. ඒ අතර අස්වැසුම සහ පොහොර ලබා දීමටද සිදුව තිබුණා. අප යල මහ කන්න සාර්ථක කර ගනිමින් නිෂ්පාදනය වැඩි කර ගත්තා. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගියා. 2024 වන විට නිෂ්පාදනය තවත් වැඩිවෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල 370 සිට 300 දක්වා ශක්තිමත් වී තිබෙනවා.
සජිත් සහ අනුර කියන්නේ බදු අඩු කර රටේ ආදායම අඩු කරනවා කියලයි. ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේදී ඔය ආකාරයට බදු අඩු කිරීම නිසා තමයි අපි මේ කරදරයේ වැටුණේ. ඔහු රටේ ආදායම අඩු කළා. ජනතාව ගෑස් පෝලිමට හිටියා. පෙට්‍රල් පෝලිමේ හිටියා. පොහොර නැති වුණා. ඒ තත්ත්වයට ආපසු යන්න ඕනද? අනුර නැතත් සජිත් නැතත්පොහොර තියෙනවා. නිෂ්පාදනය වැඩි වන විට රජයේ ආදායම වැඩි වෙනවා. රජයේ ආදායම වැඩි වූ විට බදු බර සැහැල්ලු කළ හැකියි. මම 2025- 2026 සිදු කිරීමට යන කටයුත්ත එයයි. මෙය තවත් සීග්‍රයෙන් ඉදිරියට ගෙන යා යුතුයි.
තරුණයන්හට රැකියා අවස්ථා ලක්ෂයක් ලබන අවුරුද්දේ රාජ්‍ය හා පෞද්ගලික අංශය ආශ්‍රිතව ලබා දෙනවා. පෞද්ගලික අංශයේ වසරක පුහුණුව ලබා දී ස්ථිර රැකියා සඳහා යොමු කරනවා. ස්වයං රැකියා සඳහා අපි ආධාර දෙනවා. තවත් 50000කට වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. මේ ආකාරයට රටේ විශාල දියුණුවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අනෙක් පක්ෂ ප්‍රතිපත්තිවල රැකියා සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වී නැහැ. ඔවුන් ඒ පිළිබඳව නිශ්ශබ්දයි. නමුත් සැප්තැම්බර් 22 සිට ආරම්භ කිරීමට අපට සැලස්මක් තිබෙනවා.
ඒ වගේම මේ ප්‍රදේශය දියුණු කිරීමටද කටයුතු කරනවා. කෘෂි නවිකරණය මෙම ප්‍රදේයට ගෙන එනවා. මල්වතුඔය ව්‍යාපාරය හරහා ජල සැපයීම විධිමත් කරනවා. වව්නියාව, මුලතිවු, මන්නාරම යන ප්‍රදේශ දියුණු කළ යුතුයි. සංචාරක පැමිණීම ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා වැඩි කළ විට මේ ප්‍රදේශවලටත් සංචාරකයන් පැමිණෙනවා.
යාපනය, කිලිනොච්චි, මාන්කුලම් ප්‍රදේශ ආශ්‍රිතව ආයෝජන කලාප ඇති කරනවා. සූර්ය බලය මෙම ප්‍රදේශයට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කළ හැකියි. ත්‍රී රෝද රථ සඳහා ණය ගත් පිරිසට ඉදිරියේදී සහන ලබා දීමට කටයුතු කරනවා. මට අවශ්‍ය මේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. මෙම ප්‍රදේශයේ ඇති ඉඩම් ප්‍රශ්නයද විසඳීමට කටයුතු කරනවා. මධ්‍යම පන්තියේ අඩු ආදායම්ලාභීන්ට නිවසක් ඉදි කර ගැනීමට සහන ණයක් ලබා දෙනවා. අපි සජිත්ගේ නිවාසවලටත් ඒ සහනය දෙනවා. එවිට එම ජනතාවටත් ශක්තිමත් පදනමක් සහිත හොඳ නිවසක් ඉදි කර ගත හැකියි. මේ වැඩ අනුරට පුළුවන්ද?සජිත්ට පුළුවන්ද? ඔබට අවශ්‍යය මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමටද? නැද්ද ? ඔබට අවශ්‍ය වන්නේ හොඳ හ්‍රී ලංකාවක ජීවත් වීමටද? නැත්නම් තවත් බංග්ලාදේශයකට යන්නද? ඒ තීරණය සැප්තැම්බර් 21 තීරණය වෙනවා. එදාට ගෑස් සිලින්ඩරයට කතිරය ළකුණු කරන්න. එසේ නොකළහොත් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා.
අමාත්‍ය අලි සබ්‍රි
මේ රටේ සියළුම ජනතාවට බියෙන් සැකෙන් තොරව, එක මවකගේ දරුවන් මෙන් ජීවත් වීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන නායකයෙක් ඉන්නවා නම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විශ්වාසයයෙන් යුතුව පැවසිය හැකියි. ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව ඔබ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ එතුමා විසින් සිදු කළ කාරණා කිහිපයක් පමණක් මම සඳහන් කිරීමට කැමතියි. අද වන විට මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ එතුමා පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම අස්වැසුම තුන් ගුණයකින් වැඩි කිරීමද සිදු කළා. උරුමය වැඩ සටහන තුළින් මේ වන විට ලක්ෂයකට තමන්ගේම කියා භූමියකට සින්නක්කර අයිතිය ලබා දෙනු ලැබුවා. තවත් 19 ලක්ෂයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමට නියමිතයි. එසේ නම් තමන්ටම කියා ඉඩමක සින්නක්කර අයිතිය අවශ්‍ය නම් ඔබ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියටත් සිටිය යුතු වෙනවා. ඒ වගේම දුෂ්කරතා රැසක් හමුවේ රට ගොඩගත් එතුමාට ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමේ අවස්ථාවද ලබා දිය යුතුයි.
අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්
මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන මැතිවරණයක් බව කිව යුතුයි. මෙතෙක් අපේ රටේ සිටි නායකයින් රටේ ආදායමට වඩා වියදම් කර තිබෙනවා. මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වුණේ ඒ නිසයි.
ඒ වගේම අපේ රටේ ජනතාව මැතිවරණයකදී ඡන්දය ලබා දෙන්නේ ප්‍රතිපත්ති මත නොව හැඟීම් මත බව කිව යුතුයි. ජනාධිපති අපේක්ෂකයෙකුගේ මූල්‍ය ප්‍රතිපත්තිය කුමක්ද? ඔහුගේ න්‍යාය පත්‍රය කුමක්ද? ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වේදැයි බොහෝ විට අපි සිතන්නේ නැහැ .
ඒ වගේම කිසිවෙක් අපි මේ තිත්ත ඇත්ත කියනවට කැමතිත් නැහැ. මා මිහිරි බොරුවක් කියනවා නම් ඔබ කැමති වන්නේ එයටයි.
පසුගිය ආර්ථික අර්බුදය තුළ කාන්තා ස්ත්‍රීබේදයකින් තොරව තම පවුල් නඩත්තු කිරීමට නොහැකි වුණා. දරුවන්ට තුන්වේල ලබා දීමට නොහැකි වුණා. ඒ අර්බුදයෙන් රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ලබාදිය යුතුයි කියා මම විශ්වාස කරනවා.
ඉඩම් හිමිකම්, වැටුප් ගැටලු විසඳීම ඇතුළු කඳුරට ජනතාවට විවිධ ප්‍රතිලාභ ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වවුනියාව ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය වැනි විවිධ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව මට විශ්වාසයි. මේ මැතිවරණයේදී ඔබ ඡන්දය ලබා දෙන්නේ පක්ෂයක් වෙනුවෙන් නොවෙයි ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව මතක තබා ගන්න.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
ඉතිහාසයේ ප්‍රථම වතාවට අප සිටි කඳවුරෙන් පිටතට ඇවිත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට තීරණය කළා. ඒ සුවිශේෂ කරුණු කිහිපයක් නිසයි. මේ රටේ ප්‍රශ්න වැලක අප සියලුදෙනා මිරිකී සිටියදීත්, ඒ පීඩාවෙන් අප මුදවා ගැනීමට ගැලවුම් කාරයෙක් ඉදිරිපත් වුණා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අපි එතුමා තෝරා ගත්තා. ඒ විපක්ෂ නායකයා සහ අනුර කුමාර අපේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බවද සිහිපත් කළ යුතුයි. නායකත්වය කියන්නේ නොබියව ප්‍රශ්නවලට මුහුණ දෙන එක බව එතුමා පෙන්නුවා. ප්‍රශ්නවලින් පැන ගිය අයට නායකයන් කියන්න බැහැ.
ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටිද්දී සමහර පක්ෂ දේශපාලනය කළා. වැඩ වර්ජන, උද්ඝෝෂණ කරමින් ජනතාව තව තවත් පීඩාවට පත් කළා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව අද වන විට මාස 6ක් තිස්සේ වැඩ වර්ජනයක් කරනවා. ඔබේ ඉඩමේ අයිතිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන ‘උරුමය’ වැඩ සටහන කඩාකප්පල් කර, ඒ අයිතිය ඔබට අහිමි කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය එයයි. දේශපාලන න්‍යාය පත්‍රවලට හසුව වැඩ වර්ජන කරන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. මෙවන් බාධා කිරීම් රැසක් හමුවේ මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කර ඔබේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජන නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට අප කැප විය යුතුයි.
රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්
මගේ මව්බිම වැටුණ වෙලාවේ එය බේරා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රට නැවත වැටුණත් බේර ගන්න පුළුවන් මෙම ජනාධිපතිවරයාටම බව කිව යුතුයි. 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දීම පිළිබඳව දෙමළ ජනතාව සමාව ඉල්ලන බව ඊයේ දිනයේ මට මුණ ගැහුණ විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් පැවසුවා. එදා ඔබතුමා පරාජයට පත් කළේ බෙදුම්වාදී ත්‍රස්තවාදයයි. ඒ ශක්තියෙන්ම මෙවර උතුරේ, වන්නි ප්‍රදේශයේ මෙන්ම නැගෙනනහිර ජනතාව 70%ක් ඡන්දය ලබා දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවන බවද ඔහු පැවසුවා.
ලෙබනනය අද තිබෙන තත්ත්වයට මේ රට ඇද වැටෙන්න තිබුණ අවස්ථාවට ඔබතුමා ඉදිරිපත් වීම නිසා 87%ක් ව තිබූ ආහාර උද්ධමනය 3%ක් බවට පත් වී තිබෙනවා. 33%ක් වූ පොලී අනුපාතය අද තනි ඉලක්කමකට පහත වැටී තිබෙනවා. රුපියල් 60,000 කට මිලදී ගන්නත් පොහොර තිබුණේ නැහැ. ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න දවස් 4ක් පෝලිමේ හිටියා. ඒ හිස් වූ සිලින්ඩරය පුරවා දුන්නා පමණක් නොවෙයි, හිස් වීමට ගිය මගේ මව්බිම රැක ගත්තේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අපේ යුතුකම වන්නේ මේ දේශය ගොඩ නැඟූ මේ ජාත්‍යන්තර නායකයාව නැවතත් ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා සැප්තැම්බර් 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහ සහ ගැස් සිලින්ඩරය ඉදිරියේ කතිරය සටහන් කිරීමයි.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්
රට මේ ආකාරයට දියුණු විය යුතුද? එසේත් නැත්නම් ආපස්සට යනවාද යන්න තීරණය කරන මැතිවරණය මෙයයි. අද ඔබ මෙතැනට රැස්ව සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක තුළ ඔබ වෙනුවෙන් සිදු කළ සේවයට කෘතවේදීත්වය දැක්වීමටයි. සමහර අය එදා අපෙන් ඇහුවා අපි මේ මැතිවරණයේදී තෝරගන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ද කියලා. නමුත් අපි බය නැතුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරා ගත්තේ අන් කවරදාටවත් වඩා ජනතාව එතුමාව පිළි ගන්නා කාලයකයි.
එතුමා ලෝකයම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වී හමාරයි. ඒ වගේම එතුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි යථාර්ථවාදී දේශපාලනඥයෙක්. එතුමා විසින් රජය බාරයේ පැවති මේ ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා හැර තිබෙනවා. නමුත් විපක්ෂය බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. විපක්ෂයේ කාර්යභාරය දිගින් දිගටම ජනතාව මුළා කිරීමද කියා මා ප්‍රශ්න කරනවා.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්,හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී. සුමතිපාල, වවුනියාව දිස්ත්‍රික් එජාප සංවිධායක මයුරන් ,පොදු ජන එක්සත් පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ඊ. පී.ඩී.පී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට රිට් ආඥාවක්
ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වී තිබුණි.

සජිත්ට ඡන්දයක් ලබා දීම යනු අනුරට ඡන්දය දීමක්
සජිත්ට ඡන්දයක් ලබා දීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඔහු මේ බව පැවසූවේ හලාවතදී පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
සජිත් ප්‍රේමදාසට දැන් කිසිවිටෙකත් ජයග්‍රහණය කළ නොහැකි බව කී ජනාධිපතිවරයා සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායකට බව පැවසීය.
එම කාරණය එක්සත් ජාතික පාක්ෂකයන්ට අවධාරණය කරන බවද ජනාධිතිවරයා සදහන් කළේය. එම නිසා රට ජයග්‍රහණය කිරීම සදහා එක්ව කටයුතු කරමු යැයි සියලු එජාප පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
තවද, උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බව කී ජනාධිපතිවරයා රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවද සදහන් කළේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ටද?
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ITAK ජ්‍යෙෂ්ඨ උප සභාපති සී වී කේ සිවඥානම් ඉදිරිපත් කළ යෝජනාව බෙදීමකින් තොරව සම්මත වූ බවයි දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට දිගින් දිගටම විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාධ්‍යවේදීන් ට පැවසුවේ.
කෙසේවෙතත් ITAK වැඩබලන සභාපති මාවෙයි සේනාධිරාජා පවසන්නේ මෙය තමන් ඇතුලු මුල් පෙලේ නායකයන් කිහිප පලක් නොමැති සභාවක දෙතුන් දෙනකු ගත් තීරණයක් මිස පක්ෂයේ නිල මතය නොවන බවයි.
මධ්‍යම කාරක සභාව පවත්වා ඇත්තේ, දෙමළ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම ඉන්නා පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ද විදේශගතව සිටින අවස්ථාවකය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට
අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේක් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 12 කින් ය. එහි නව මිල, රුපියල් 332 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දැමීමත් සමග එහි මිල රුපියල් 377 ක් දක්වා පහළ යනු ඇති.
ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින් ය. එහි නව මිල රුපියල් 307 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමගයි.
එසේ වුවද භූමිතෙල් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවන බව වාර්තා වෙයි.

'මට අවශ්‍ය තනතුරු නොවේ, තවත් ගෝඨා කෙනෙකුගෙන් රට බේරා ගැනීමයි' - තලතාගෙන් නිවේදනයක්
තමාට අවශ්‍ය වී ඇත්තේ තනතුරු හෝ වරප්‍රසාද නොව, තවත් ගෝඨාභය කෙනෙකුගෙන් රට බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසන්නීය.
තමා එදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බව යයි ද ඇය කියා සිටියි.
මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික ගැටළුවක් නැතත්, ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී එම භයානක සත්‍යය අවබෝධ වූබව මන්ත්‍රීවරිය පවසයි.
තලතා අතුකෝරළ එබව සඳහන් කර ඇත්තේ, ඊයේ (30) පස්වරුවේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති තමා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවන බවත්, ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම බවත් ඇය සිය නිවේදනයෙන් කියා සිටියි. එය ඛෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක කාරණයක් බවද හිටපු මන්ත්‍රීවරිය අවධාරණය කරයි.
''තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට රට යළිත් පත්විය යුතු නැත''
තලතා අතුකෝරළ විසින් නිකුත්කර ඇති නිවේදනය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළවේ.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැඛෙනවාද යන්න පිලිබඳ සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ.
එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළව මුලූ රටේම අවධානය යොමු වියයුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිලිබඳ සිද්ධියක් නොවේ.
මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීමය. එය ඛෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි.
එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳව සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහා ය.
මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බවය. එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත්‍රී ධූරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහා ය.
මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය. ඒ බව මා වහා ජනතාවට කිවයුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීමය.
එහෙයින් මෙම ජනාධිපතිවරණයේදී ඔබ හුදු ප්‍රචාරක රැළිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේකෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ.
එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත. අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලූ දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාකෂි කොතෙකුත් ඇත.
එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී හුදු සන්ධානවාදී ප්‍රචාරක ක්‍රමවලින් රටත් ජනතාවත් මුලා කරන කිසිවකුට අසුනොවී සමාජ ආර්ථීක හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔඛෙන් ඉල්ලමි.
තලතා අතුකෝරළ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි

මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉගියක්
ජනාධිපතිවරණයෙන් දින 66කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි ඉඩක් පවතින අතර, එසේ වුවහොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැදවා දින 66ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක කීය.

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000ක්
එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතව තිබේ .
මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි.
මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණෙදි ඡන්දෙ දාන්නෙ මෙහෙමයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසා ඇත්තේ, ඡන්දදායකයන්ට තම පළමු මනාපය එක් අපේක්ෂකයෙකුටත් දෙවැනි සහ තුන්වැනි මනාපය තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුටත් සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි.
ඡන්දදායකයන්ට ද තම පළමු මනාපය පමණක් සලකුණු කිරීමේ තේරීම ඇති බවද සභාපතිවරයා පවසයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ඡන්දදායකයකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රම දෙක පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පහත මාර්ගෝපදේශය නිකුත් කර ඇත.

ජනපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.
මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සඳහන් කළේ , දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පැවසුවේ ය.

‘අනේ අපොයි’ නොකියන්නට නම් මාලිමාව දිනවන්න - අනුර
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිර්මාණය කළ හොත් කිසිදු දිනක ‘අනේ අපොයි’ කියන්නට ජනතාවට සිදුනොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකපැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (29) පොළොන්නරුවේ පැවති ජන රැලිය අමතමිනි.
එම ජන රැලියේ දී අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ අදහස් දැක්විම මතු දැක්වේ.
සතුටු විය හැකි තීන්දුව
‘‘අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.
අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා.
හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව අපේ දරුවෝ ඉගෙන ගන්නවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු. එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.
අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක්
ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටක ම නීතිය ඉදිරියේ හැමෝ ම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා.
අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක් තමයි අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා විසි දහසක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන් එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.
යලට මහට අතර මැද තව කන්නයක්
අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්‍රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.
මෝල් හිමියන් වෙත විශේෂ අවධානය
ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට පොළොන්නරුවෙ ම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක් ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතිය ම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා මධ්‍ය පරිමාණ මෝල් නගා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.
නව පර්යේෂණ සහ නව සොයාගැනීම්
ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්; නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණ ඇති කරනවා. අපි දෙදහස් තිහ වෙනකොට අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.
සෙකන්ඩ් ක්ලාස් වැඩ ඉවරයි
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර: අපේ රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දෙදහස් හතළිස් අටේ දී ආර්ථිකය හදනවාලු. හතළිස් අටේ දී ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් ගන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් දහදාහක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාම ද? හැමදාම ඕන ද?
අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත් වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ දහයක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව දහදාහක දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.
සුළං බලයෙන් විදුලිය
ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල තුනෙන් එකක් අඩු කරන්න පුළුවන්. අනාගතයේ සියයට අසු පහක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් හතළිහකට වැඩිය නිපදවන්න පුළුවන්. දෙදහස් හතළිහ වෙන විට අපේ රටට මුළු ඉල්ලුම ම ගිගාවොට් අටයි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් හතළිස් දාහක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත අටයි දශම දෙකයි දෙකක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත හතරට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.
විධිමත් සුව සේවයක්
අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.
ස්කූටි ඕනෙ ම ද...?
ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය; දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට තිස්පන් දහසක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලා ම ගන්නේ ස්කූටියක්. පඩිය හතළිස් දාහයි; ස්කූටියට මාසෙකට කැපෙනවා තිස්පන් දහසක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා. තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.
පොර බැදුවොත් හොඳ රටක්
අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ රට ඉතාම දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් විසි එක්වෙනිදාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.’’
Page 49 of 473