V2025

පුවත්

රට ඉදිරියට ගෙන යෑමට ජනපතිට ශක්තිය දීමට භික්ෂූන්වහන්සේලා පෙරමුණ ගත යුතුයි - දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

වෛරය, ක්‍රෝධය ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනපතිට අවස්ථාව ලබාදීම සඳහා භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතු යැයි දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතරින් රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, වෛරය, ක්‍රෝධය, ඉවතලා මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට එතුමාට නියත වශයෙන්ම අවස්ථාව ලබාදිය යුතු බවත් මේ සඳහා භික්ෂූන් වහන්සේ පෙරමුණ ගෙන ඉදිරියට පැමිණිය යුතු වුවත්, ඇතැම් භික්ෂූන් වහන්සේ ගෙන යන වැඩපිළිවෙළ මේ රටේ බුද්ධ ශාසනය විනාශයට හේතුවන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද පතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල, උළුවිටිකේ කාර්යාල භූමියේ පෙරේදා (14) පැවැති විශේෂ සඝ සමුළුවකට හා ජය පිරිත් සජ්ඣායනයකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ මෙසේ ද පැවසූහ.

“මෙම සංඝ සමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතායි. එතුමාගේ සිරිතක් තිබෙනවා. ඒ රටේ වටිනා කාර්යයක් සිද්ධ කෙරෙනකොට විශේෂයෙන්ම එතුමා දේශපාලන වශයෙන් තීරණාත්මක වැඩ කටයුත්තක් සිද්ධ කරනවිට පින්වත් මහ සඟරුවන දහස් නමක් මේ නි‍ෙවසට වඩමවලා සඟ සතු මහා දානමය පින්කමක් ඉෂ්ට සිද්ධ කරලා තමන්ටත්, රටේ සියලු නායකයන්ටත් ආශීර්වාදය ලබා ගන්නවා. එය විශේෂත්වයක් හැටියටයි මම දකින්නේ. ඒ විතරක් නෙමෙයි එතුමා නිරන්තරයෙන්ම මේ මහ සඟවන සමඟ ගැවසෙනවා. මම හිතන්නේ එහි ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා.

මෙවන් මොහොතක අපේ නායක හාමුදුරුවන් වහන්සේලා නිර්භීතව වැඩමවීම සම්බන්ධයෙන් මම ඔබවහන්සේලාට පළමු කොට ස්තූතිවන්ත වෙනවා. මේ මොහොත අංශ කිහිපයකින් අපිට බොහෝම වැදගත්. මම හදිසියේ කියවන්නට යෙදුණා බුදුන්ගේ සමාජවාදය කියලා පොතක්. ඒ පොත රචනා කරලා තියෙන්නේ කැනඩාවේ පදිංචි සුනීතා කියලා නෝනා මහත්මියක්. එතුමිය කැනඩාවේ දහම් පාසල් එහෙමත් කරනවා. ලංකාවට පැමිණි විටත් විශේෂයෙන්ම ‘චරිත භික්ඛවේ චාරිකං’ යන පාඨය මුල් කරගෙන එතුමිය විවිධ විග්‍රහ ඉදිරිපත් කරනවා.

අපි මහණ කරන්න ඇබිත්ත දරුවකු හොයා ගන්නේ බොහොම අමාරුවෙන්. ඒ දරුවා පන්සලට ගෙනවිත් අධ්‍යාපනය ලබාදීලා ඒ දරුවගේ කරට සිවුරු පටිය පලන්දවලා මහණභාවයට පත් කරලා අපේ පිරිවෙන් තුළ හොඳ ශික්ෂණයක් ඇතිව අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ දරුවා පැවිදි කරලා කුඩා නමක් හැටියට අධ්‍යාපනය දීලා ඉහළට ගේන්න හැම කැපවීමක්ම කරනවා. අවසානයේදී නායක හාමුදුරුවනේ ඉහළ අධ්‍යාපනයකට යොමුවුණු තැන, මගේ හාමුදුරුවන්ට ඒ ගෝල නම ඉන්නව ද? මගේ හාමුදුරුවන්ගේ මතවාදයට ඒ ගෝලයා අනුකූලයි ද? ඔබවහන්සේලාගේ රත්තරං දායකාදීන් අපේ පුංචි හාමුදුරුවෝ කිය කියා තමන්ට වළඳන්න තිබෙන දේට වඩා දහ දොළොස් ගුණයකින් ඒ දානය පිළියෙල කරගෙන ඇවිල්ලා මේ පොඩි හාමුදුරුවන්ට වළඳවනවා. පොඩි හාමුදුරුවෝ ශක්තිමත් කරලා, මගේ ගම බාරගන්න, අපේ සතර පේරුව භාරගන්න, මගේ හාමුදුරුවෝ වඩින්න ඕන කියලා ඉහළ අධ්‍යාපනයට යවන පොඩි හාමුදුරුවන් වෙසක් පෝයටවත් ගමට වඩිනව ද? ලොකු හාමුදුරුවන්ගේ ලියුම් කැබැල්ලට පිළිතුරක් තිබෙනවද? මට අසනීපයි කියලා කෝල් එකක් දුන්නම උන් වහන්සේ වඩියි ද?

හාමුදුරුවනේ ඒ වෙනස සිද්ධ කළේ කොතැනදි ද? ඉතිහාසය පුරාවට වාම දේශපාලනය ඉතාමත් නරක පැතිකඩකට ගිහිල්ලා. එහි ප්‍රතිඵලයක් හැටියට අපි හදාගන්න අපේ පුංචි හාමුදුරුවෝ අපට අවනත නොවන තැනකට ගෙනවිත් තිබෙනවා.

පහුගිය කාලයේ භික්ෂුව වෙනුවෙන් අපේ රටේ තිබුණු ප්‍රබලතම ආයතන, රත්තරන් හාමුදුරුවනේ ඔබ වහන්සේලා සමහරක් වෙලාවට හැදුණා වැඩුණා විතරක් නෙමෙයි, පරිවේණාධිපති තනතුරු ගොඩනගන්නට මූලික වුණු පිරිවේණාධිපති වහන්සේලා නිර්මාණය කළ අධ්‍යාපන ආයතනය අද කෝ? මේ රටේ අපේ භික්ෂූන් වහන්සේලා මහ රහතන් වහන්සේ නමක් කරනවා කියලා ගොඩනගපු අපේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්ම කැප වුණු අනුරාධපුරයේ බුද්ධ ශ්‍රාවක ආයතනය අද මේ මොහොතේත් වසා දමන්න ස්ට්‍රයික් කරනවා. අපි උත්සාහ කළේ එතැනට යන භික්ෂූන් වහන්සේ, රහතන් වහන්සේ නමක් කරන්නයි. නමුත් කොතනින් ද මේ දරුවන්ගේ හිත් වෙනස් කරන්නේ?

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මොනතරම් අපේ තරුණ හාමුදුරුවරුන් වෙනස් වුණා ද? උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය තුළ අපේ උපකුලපතීන් වහන්සේ පින්වත් ආචාර්ය ස්වාමීන් වහන්සේලා කියන දේට අවනත වුණා ද? කොතනින් ද මේක සිද්ධ කළේ? අපේ විනය පිටකයෙන් ද? අපේ සූත්‍ර පිටකයෙන්ද? අපේ අභිධර්ම පිටකයෙන් ද එහෙමත් නැතිනම් වෙනත් තැනකින් ද? මගේ ශ්‍රී ලංකා දේශය තුළ වැඩ ඉන්න මගේ ශ්‍රීමත් නායක ස්වාමීන් වහන්සේලා මෙහෙම නිදිමත ඇතිව වැඩ කරලා බෑ. ‘දැන් අපි තැනකට ආවා, අපිට ඕවා නෑ, අපි ඕවට නෑ” කියලා ඉන්නවට වඩා අපේ මේ රත්තරන් තරුණ හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්නට අවශ්‍යයි.

1986, 87, 88, 89 කාලය තුළ තරුණ හාමුදුරුවන් වහන්සේලා අපවත් වුණු ප්‍රමාණය මට මතකයි. මම එදා ඒ පින්තූර එකතු කරමින්, එක්තරා සංවිධානයක් හරහා උන් වහන්සේලාගේ මානව අයිතීන් පිළිබඳව කටයුතු කරන්නට කැපවුණා. ඒ කැපවීමට 1336 නමකගේ නම් එකතු වුණා. ඒ දේවල් කවුරු කළත් එතැනට මේ රට ගෙන ගියේ කවුද? එතැනට මිනිස්සුන්ගේ මනස් විකෘතිය ගෙන ආවේ කවුද? මේවා ගැන අපි බොහොම ගැඹුරින් හිතන්න අවශ්‍යයි.

ඒ නිසා නායක හාමුදුරුවනේ, සිවුරු හැර ගිය අපේ ස්වාමීන් වහන්සේලාගේ සංඛ්‍යාව ගැන ඔබවහන්සේලා හිතුව ද? මේ සංඝ සමාජය තුළ අපේ ස්වාමීන් වහන්සේලා අතළොස්සක් වැඩ ඉන්නවා. නමුත් කොයි තරම් සංඛ්‍යාවක් සිවුරෙන් ගියා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි තැන බුද්ධාගම ගැන සඳහන් වෙලා තිබෙනවා. සඳහන් වෙලා නම් තියනවා තමයි, නමුත් සිවුරක්වත් හම්බවෙන්නේ නැහැ. ඒ දේ අපේ රජයෙන් සැබෑවටම සිද්ධ වෙන්න ඕන. ඒ ක්‍රියාත්මකභාවය අපි ඉදිරියට හදාගන්න අවශ්‍යයි. එය බලවත් කරගන්නට අවශ්‍යයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබෙනවා, නමුත් එහි සිටින අය හාමුදුරුවන් වහන්සේලා දන් වළඳන වේලාව දන්නේ නැහැ. නමුත් අධිකරණ සංඝනායක හාමුදුරුවන් වහන්සේ නමක් අපවත් වුණාම මල් වඩමක් දෙන්න වැඩපිළිවෙළක් නම් තියෙනවා. ඒක පෙට්ටිය ගත්තම මල් ශාලාවෙන් නිකං දෙනවා. ඒකට අමාත්‍යාංශයක් ඕන නැහැ.

මෙවැනි වෙලාවක තමයි අපේ දහම් පාසල්වලටත් මම අර ඉහතින් සඳහන් කළ කාරණා ගෙනවිත් අපේ දහම් පාසල් දරුවන්ගේ හිතුත් දූෂණය කරන්න හදන්නේ. මේ සමාජය තුළ ගොඩනැ‍ඟෙන ඇතැම් වාමවාදී මත, සමාජවාද මත, බුදුහාමුදුරුවන්ගේ සාංඝික න්‍යාය තුළ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි. දෙපයක් තිබෙන මනුස්සයෙක් එක කකුළක් තිබෙන මනුෂ්‍යයෙක් එක්ක සමාන කරන්නේ කොහොමද? කවදාවත් කාල් මාක්ස්, ලෙනින්ලාගේ, පසුකාලීනව ස්ටාරිලින්වාද හරහා එහෙමත් නැත්නම් අපේ ඔය කිසිම කෘතියකින්වත් ගේන මත ගැළපෙන්නේ නැහැ. බෞද්ධ දර්ශනය ඊට එහා තියෙන්නේ. අපේ ජීවිතය ලෝකෝත්තර ධර්මය වගේම බෞද්ධ සංකල්පයක් එක්ක තියෙන්නේ. මේ නිසයි අපි මේ මොහොතේ මේ කාර්යයන් ගැන හිතන්නේ. එතැනදි අවනත වීම සහ අනාගමික යන කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.

අපේ රට හරිම වාසනාවන්තයි. ඇයි ඒ? අපේ රටේ කවර ජාතිකයෙක් උපත ලැබුවත් ඒ උපදින කෙනාට උපදිනකොටම ආගමක් තිබෙනවා. දකුණු කොරියාවට ගියාම අපිට පේනවා අම්මා අප්පච්චිගෙන් ඇහුවොත් කියන්නේ අපේ දරුවන්ට ආගමක් නැහැ කියලයි. අපේ ළමයි ආගම් අදහන්නේ නැහැ. අපිට නම් ආගම් තිබෙනවා. නමුත් මේගොල්ලන්ට නැහැ. නීතියයි ආගමයි හින්දා තමයි මේ ඩිංගහරි මේ රටවල් මෙහෙම පවතින්නේ. මේ ආගමත් දහමත් දෙක නැති වූ කල මිනිසා තරම් නරක සත්ත්වයෙක් මේ ලෝක ධාතුව තුළ නැති වේවි. ඒ නිසයි අවබෝධය තිබෙන්නට ඕන.

ඒ නිසයි අපි මේක අත්හරින්නේ නැත්තේ. ඒ නිසයි අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට මුල්තැන දී තිබෙන්නේ. නමුත් ඒ කාලේ නොතිබූ දේවල් දැන් වෙන්න යනවා. යටත්විජිත කරගෙන, කරන්න බැරි වෙච්චි දේ අපේම අය ලවා සිද්ධ කරන්න යනවා. ගහපු කොළ කෑලි අරන් ගෙන්ගෙට යාම නෙමෙයි, “චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තායතාව සුඛාය දේව මනුස්සානං“ කියන්නේ. හැබැයි අන්න අර සුනීතා මැඩම්ලා ලියපු පොත්වල තියෙන්නේ අපේ තරුණ හාමුදුරුවරුන්ට එවැනි අදහසක්.

ඒ නිසා පින්බර අම්මේ, ඔබ තවම නිවෙසේ උකස ගෙවාගන්න බැරිව දුක් වෙනවා. දරුවා රැවුල කොණ්ඩය වවාගෙන පාරේ විමුක්තිවාදියෙක් ලෙස යන්න යනවා. හිතන්න, ඒ නිසයි මගේ රත්තරන් හාමුදුරුවනේ අපි පෙරමගට වැඩම කළ යුත්තේ. ඒ නිසා මේ මොහොතේ මේ උතුම් පරිත්‍රාණ ධර්මානුශාසනා සමඟ අපි මේ රටට අවශ්‍ය කරන ආරක්ෂකභාවය වෙනුවෙන් ශක්තිය ලබාදෙන්නට අවශ්‍යයි.

පින්වත් හාමුදුරුවනේ, දැනටමත් මෝටර් සයිකල් එනවා. තැනක කොතැනක හරි කාර්යාලයක් ආරම්භ කරනවා නම් ඒ තැන්වලට ඇවිල්ලා, අක්කේ, අයියේ මේ බලාගමු 21 වෙනිදයින් පස්සේ බලමු, කියලා කියනවා. මේ විතරක් නෙමෙයි ආක්‍රමණශීලී පහරදීම් සිද්ධ වෙනවා. සමාජය තුළ මහා කෲරත්වයක් ඇති කරමින් තිබෙනවා. අද අපේ රටේ යමක් උපයා සපයා ගන්නා මිනිහා බිය ගැන්වෙලා. ඒ මනුස්සායා මේ රටින් එළියට යන්න හදනවා”

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ගොඩනගන බව සජිත් කියයි

තමා ළඟ සිටින සියලු දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැගීමට එකතු වූ පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) යාපනය මනිපායී හි දී පැවති ජන රැලියක දී ය.

එම ජන රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

කැකෑරෙන ප්‍රශ්න අවසන් කරනවා

උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට විසදුම් ලබා දී සංහිඳියා ක්‍රියාවලිය තුළ මේ ගැටලු අවසන් කළ යුතු යි. හැමදාමත්ම කැකෑරෙන ප්‍රශ්න තියාගන්න බෑ. එය රටේ ම එකමුතුභාවයට හානියක් බැවින් සංහිඳියාව කේන්ද්‍ර කර ගනිමින් තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් ශක්තියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එක රටක් තුළ උපරිම බලය බෙදීමත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් පළාත් සභා සතු බලය මධ්‍යම ආණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම යන ප්‍රතිපත්ති පදනම් කර ගෙන උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රීයව යුද්ධය නිසා සිදු වු හානියෙන් පසු ජන ජිවිත ශක්තිමත් කරන්නට අපි කැපවෙනවා.

නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා

තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසඳුමක් ලෙස නව කර්මාන්තශාලා ආරම්භ කර විරැකියාව නිසා පීඩනයට පත් තරුණ ප්‍රජාව එම පීඩනයෙන් මුදවා ගන්නට අපි කැපවෙනවා. මම නිවාස ඇමතිවරයා විදියට රටේ සෑම තැනම නිවාස මෙන්ම උදා ගම්මාන හැදුව ද ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු එම නිවාස ව්‍යාපෘති සහ උදා ගම්මාන හදන එක නවත්වා දැමුවා. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රතිපත්ති අනුගමනය කරපු නිසා ඒවා ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ. එම නිසා මම බලයට පත් වුනාට පස්සෙ එම නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා.

ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන

උතුරු නැගෙනහිර පළාත් මෙන්ම සෙසු පළාත් වල විශාල තරුණ පරපුරක් සිටින නිසා මේ අයට නවීන තාක්ෂණය උසස් අධ්‍යාපනය ලබා දිය හැකි ජාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කර, ඒ හරහා පරිගණක විද්‍යාව, භාෂා හැකියාව, තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී තරුණයන් සවිබල ගැන්වීම හරහා ඔවුන්ව ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එම්. සුමන්තිරන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥානම්, උතුරු පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී -කේසවන් සයන්තන් යන අය ද මෙම ජන හමුව සදහා එක්වූහ.

මේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න - රනිල්

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි.

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"දැන් කියනවා සජබෙන් මම දැන් ඉල්ලලා අස් වෙනවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕනේ මම ඉල්ලලා අස්වෙන මිහිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ලෝ වාගේ රනින් සූෂ් දාගෙන දුවන මිනිහෙක් නෙමෙයි කියලා.

මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේ එකතු වෙන්න. යූ.එන්.පී හැම එක්කෙනාටම මම කියනවා එන්න මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කියනවා මට උගන්වන්න බැරිවුණ එකක් උගන්වන්නම් දුවන්නේ නැතිව ඉන්න.

මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න. 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. මම පාර්ලිමේන්තු බලය එක්ක රට ස්ථාවර කළා. මම ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න.

අවුරුදු 5යි ඉල්ලන්නේ සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා"

ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 40ක් ඇතුළත......

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අද (15) පැවැත්විය. ඒ, දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක දීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 323,879 කි.

මුහුණු පොතේ භීෂණය අද ගමට ඇවිත් - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

මෙතෙක් කලක් මුහුණු පොතේ භීෂණය රජකරවපු ජේවීපී අවතාර අද ගමට, විශ්වවිද්‍යාලයට, රජයේ කාර්‍යාලවලට සංක්‍රමණය වී ඇති බව සමගි ජන බලවේගය හාලිඇල ප්‍රධාන සංවිධායක මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

ඔහු ‍ මේ බව පැවසූවේ බණ්ඩාරවෙල දී පැවති සමගි ජන බලවේගය ජන රැළියේ දී ය.

එම ජන රැලියේ දි වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ...

වෙනස් මත දරන්නන්ට ප්‍රහාර

‘‘කොළඹ මහජන පුස්තකාලය දී, ජපුර විශ්වවිද්‍යාලයේ දී ජවිපෙ මැර දේශපාලනය දැක්ක වගේ ම අද හයෙන් පස්සෙ ගමක පාරක, රජයේ කාර්‍යාලයවලට ටියුෂන් පංතිවලට ජේවීපේ අවතාර භීෂණය අරන් ඇවිත් තිබෙනවා. අද ජේවීපීයට එරෙහි වෙනස් මත දරන්නන්ට, කතා කරන්න, නිදහසේ ඇවිදින්න, පන්සලට කෝවිල්ට යන්න ඉඩ දෙන්නෙ නැහැ. අසු අට - අසූ නවය භීෂණ යුගයේ රූපවාහිනී බලපු දෙසිය පනස් හයක්, පත්තර විකුණපු පනස් හතක් ජේවීපීය විසින් ඝාතනය කරා.

බලයට පැමිණියහොත් මාධ්‍යට දම්වැල්

ජේවීපී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවා ජනමාධ්‍ය රජයේ මැදිහත් වීමෙන් පවත්වාගෙන යනවා කියලා. ඒ කියන්නෙ ජේවීපී බලයට ආවොත් අසු අට - අසූ නවය කාලෙදි වගේ අපිට රූපවාහිනී ය බලන්න වෙන්නෙ නැහ. ආණ්ඩුවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය  ජේවීපී එකේ හොරණෑව බවට පත්වෙනවා. ජේවීපී එකේ ආණ්ඩුවක් තුළ මුහුණු පොතට මුකවාඩම් වැටෙනවා. ඒ නිසා අද අපිට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස  ශක්තිමත් කරන පරිවර්තනීය නායකයෙක් ඕනෙ කරනවා. ඒ පරිවර්තනීය නායකයා සජිත් ප්‍රේමදාස. එම නිසා අද ජනතාවට තෝරාගන්න වෙලා තියෙන්නෙ නරක ද, යහපත ද, එළිය ද අඳුර ද කියන දෙකෙන් එකක්.’’

(සටහන - ජයසිරි අලවත්ත)

මාලිමාවට 'චාන්ස් එකක්' දුන්නොත් ජනතාවගේ 'චාන්ස් එක' නැතිවෙනවා - ජනාධිපති

"චාන්ස් එකක්' දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ "චාන්ස් එක" ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෑගල්ලේදී අද (14) පැවසීය.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන් ඉදිරිපත් කරන අයවැය මගින් අයි.එම්.එෆ් කොන්දේසි සියල්ල කැඩී ගොස් ජනතාවගේ ස්ථිර අනාගතය විනාශ වී යන බවද ජනාධිපතිවරයා කීය.

මාලිමාවට චාන්ස් එකක් දී අනාගතය නැති කරගන්නවාද? නැතිනම් රට ශක්තිමත් ස්ථිර අනාගතයකට ගෙන යනවාද? යන කාරණය ජනතාව විසින් තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

"ජනාධිපතිවරණයේ අන්තිම සතියට ඇතුළු වී තිබෙනවා. මං රට බාර ගනිද්දි කවුරුවත් හිටියේ නැති වුනත් අද තිස් අට දෙනෙක් ජනාධිපති ධුරය ගන්න ඉදිරිපත් වී සිටිනවා.

එදා එක්කෙනෙකුට වත් ඔබ විඳින දුක තේරුනේ නෑ. ගෑස් නැති දුක, ආහාර නැති දුක, ඩීසල් නැති දුක, බෙහෙත් නැති දුක, දරුවන්ගේ දුක, පාසල් යන්න බැරි දුක, ඒ එක්කෙනෙකුටවත් තේරුනේ නෑ. අද ඇවිල්ලා ජනතාව ඇන්දුවාට ඔවුන් එදා හැංගිලා හිටියේ කෙහෙද?ඇඳ යටද? පැනලා ගියාද?

හරි නම් ජනතාව දුකේ සිටියදී අතහැර දමා පලා ගිය සියලු ජනාධිපති අපේක්ෂකයන් පැමිණ පලායන්නට හේතු කියා ජනතාවගෙන් සමාව ගත යුතුයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

දහම් ගුරු දීමනාව රුපියල් 2,500කින් වැඩි කරයි

සියලුම ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2025 වසරේ දී එලෙස දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිව ඇත.

දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් දිරි ගැන්වීම සඳහා මේ වනවිට රුපියල් 5,000ක වාර්ෂික ගුරු දීමනාවක් ලබා දීම සිදු කරනු ලබයි.

ඒ අනුව නිල ඇඳුම් දීමනාව සමග 2025 වර්ෂයේ දී එම ගුරුවරුන් සඳහා වාර්ෂිකව රුපියල් 7,500ක දීමනාවක් හිමිවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔක්කොම එකතු වෙමු - අනුර

එළැඹෙන මැතිවරණය යනු සියලු දෙනා එක්වී රට ගොඩනගන මැතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක  පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට ඊයේ (13) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක,

"බණ්ඩි පොහොර ඕන වෙනකොට රනිල් ගෙදර. කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඔක්කොම එකතුවෙලා මේ රට හදමු. ඒ නිසා ඡන්දෙ කියන්නේ අපි ඔක්කොම එකතුවෙලා මේ රට හදන ඡන්දෙ."

දෙරණ

අනුරගේ යෝජනා ක්‍රියාත්මක කළොත් ඩොලරය රු. 500 කට නගීවි - ජනපති

මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ යෝජනා ක්‍රියාත්මක කළොත් 2022 මැයි මාසයට වඩා අමාරු තත්ත්වයක් ඇතිවී ඩොලරයට රුපියල් 500 ක් ගෙවීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, බේරුවල දී අඊයේ  (13) පැවැති 'පුළුවන් ශ්‍රී ලංකා' ජනරැලිය අමතමිනි.

අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තියට අනුව රුපියල බාල්දු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.

 අනුර කුමාරගෙන් ගෝඨාභය පරද්දන වාර්තාවක්..

මාලිමාව ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් අනුර කුමාර ගෝඨාභය පරද්දන වාර්තාවක් තබනු ඇති බවද ජනාධිපතිවරයා කීය.

"විදේශ සංචිත ගොඩනැගී තිබෙන නිසා වාහන ආනයන තහනම අප ඉවත් කර තිබෙනවා. මේ අනුව ලබන වසරේ සිට ලංකාවට වාහන ගේන්න පුළුවන්. මේ දියුණුව නැවත කඩාකප්පල් කරන්න අප සූදානම් නැහැ. මේ ආර්ථිකය නැවත කැඩෙන්න දෙන්න එපා. මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් රුපියලේ වටිනාකම තවත් වැටෙනවා. අඩු ගණනේ ඩොලරය රුපියල් 400ට පමණ ඉහල යාවි.

එහෙම වුනොත් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් පරද්දන වාර්තාවක් දාන්න වේවි.එවිට අයි.එම්.එෆ් ගිවිසුම කඩාකප්පල් වෙනවා. එම සහයෝගය නැති උනොත් ඩොලරයට සාපේක්ෂව රුපියල 500 දක්වා කඩා වැටෙනවා.

මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කළොත් 2022 මැයි මාසයට වඩා අමාරු තත්ත්වයක් ලංකාවට ඇතිවන බව කිව යුතුයි.

ඔය කතාව කිව්වාම මඩ ගහනවා ලු. මට අවශ්‍ය ඩොලරයට රුපියල් 275 ක් දක්වා පහතට ගෙන ඒමටයි.

අනුරට ඒක කරන්න පුළුවන් නම් මගේ විරුද්ධත්වයක් නෑ.මම සංඛ්‍යා ලේඛන පෙන්නනවා වගේ ඒ අයත් සංඛ්‍යා ලේඛන පෙන්වන්න.රුපියල ආරක්ෂා කිරීමට ඔවුන්ට තිබෙන සැලසුම කියන්නැයි" ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා තව දුරටත් මෙසේද පැවසිය.

 ෙ'' මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කළා."

"හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මහනුවරදී කියලා තියෙනවා මම එතුමාට මඩ ගහන ව්‍යාපාරයක් ගෙනියනවා කියලා. මම එහෙම කළේ නෑ. මම කිව්වේ එක දෙයයි. අනුර කුමාරගේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම්, IMF සංවිධානය සමග තියෙන එකඟත්වයට පටහැනියි. අපි ගිවිසුම කඩනවා. මේ ගිවිසුම කඩාකප්පල් කරාම ඒකෙත් පිහිට නැත්නම් ඩොලරය රුපියල් 500ක් වෙයි. තමන් කැමතිද එහෙම රුපියල බාල්දු වුණොත්. මම ඔච්චරයි ඇහුවේ. තමුන්නාන්සේ ඇයි රුපියල බාල්දු කරන්නේ. දැන් මේ වෙලාවේ රුපියල ආරක්ෂා කරන්න බැරිනම්, ජීවන බර වැඩිකරනවා නම් ඇයි අපි ඒ අයට ඡන්දෙ දෙන්නේ.

තමුන්නාන්සේලාගේ ආර්ථික යෝජනාවලින් ජනතාවට විශාල බරක් එනවා. ඒ බර ගැන කනගාටුවක් නැද්ද ? මඩ ගහන එකක් නෙමෙයි අපි අහන්නේ. මාලිමාවටත් හිටපු ඇමතිතුමාටත් ආර්ථිකය මෙහෙයවන්න ශක්තියක් තියෙනවා ද? කියන එකයි අපි අහන්නේ. මේක අමාරුවෙන් මම කළේ. මට ඕන ජීවන බර සැහැල්ලු කරන්න. අන්න ඒකයි අපි කරන්න බලාපොරොත්තුව. දැන් මොකද්ද තියෙන්නේ තවත් ආර්ථිකය දියුණු වෙනවා. එවිට අපි ඒ සහනය ඔබට දෙනවා. අද අපි තවත් තීරණ දෙකක් ගත්තා. මේ රටේ විදේශ සංචිතය ශක්තිමත් වෙලා නිසා ආපහු මෝටර් රථ ආනයනයට තිබූ තහනම ඉවත් කළා."

දුප්පත්කම තුරන් කරනවා - සජිත්

සමගි ජන බලවේගය රටේ දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනකට මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අද (13) සමෘද්ධි සංවර්ධන නිලධාරින් සමග කොළඹ දී පැවැති සමුළුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 රජය සමෘද්ධිලාභීන්ටත් ණය යි

‘‘ජනසවිය අස්වැසුම ගැමිදිරිය සමෘද්ධි යනාදි වැඩසටහන් හි හොඳ ගුණංග සම්බන්ධ කර ගෙන අඩුපාඩු මග හරිමින් අප රටේ දුප්පත්කම තුරන් කිරීමට මාස විසි හතරක් තුළ දුප්පත් පවුලකට ප්‍රධාන ක්‍රමවේද පහක් හරහා මසකට රු විසි දහසක් බැගින් ලබා දෙනවා. ඊට අමතරව තවත් මුල්‍ය උත්තේජක සමග දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. එහි දී සමෘද්ධි ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය අගය කරන අතර එය ශක්තිමත් කරන්නට කැපවෙනවා. ප්‍රජාමුල බැංකු එක්දහස් අනූහතක්, සමිති සංවිධාන තිස් දහසක් ඇති මෙම ව්‍යාපාරය කොරෝනා කොවිඩ් සමයේ රජයට ණය ලබා දෙන්න පවා කටයුතු කළ ද වත්මන් රජය තවමත් ණය සහ පොලිය ගෙවා නැහැ. රජය බිලියන හතළිස් තුනක් ණය යි.
අපි දුප්පතුන් සවිබල ගන්වනවා

සමෘද්ධි වැඩසටහන කවුරු කඩාකප්පල් කරන්න උත්සාහ කළත් එය විනාශ කරන්න ඉඩ දෙන්නෙ නෑ. සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ අඩුපාඩු ඇති. ඒ අයවෙනුවෙන් ඉටු වියයුතු ප්‍රශ්නවලටමමත්ද විසඳුම් දුන්නා. උසස්වීම් සේවා ඌනතා ආදී ගැටලු ඇති නිසා ඒවාට ස්ථිර විසඳුම් දිය යුතුයි; සමෘද්ධි කප්පාදු වුණ අයට සාධාරණත්වය ඉටු කළ යුතුයි. එසේම සමගි ජනබලවේගයේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන මුදල් බෙදා දෙන වැඩසටහනක් නෙවෙයි. ඒ තුළින් දුප්පතුන් සවිබල ගන්වනවා. ඒ සදහා සමෘද්ධි නිලධාරින්ගේ දායකත්වයත් ඉතා වැදගත්.’’

මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසේ

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි  සදහන් කළේය.

ඡන්ද පෙට්ටි ගැන විශේෂ නිවේදනයක්

ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන් පවතින සැකය දුරුකිරිමට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එවැනි වු ආකාරයේ අක්‍රමිකතාවයන් සිදුනොවන නමුත් සැකය දුරු කිරිම සඳහා අගුලු දැමු ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා රැගෙන එ්මට උපදෙස් දී තිබෙන බවය.

තවද ඡන්ද පෙට්ටි මුද්‍රා තැබිමේදි අහඔු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිතයෙක් හෝ ඡන්ද පොළ නියෝජිතයින් විසින් අත්සන් කරන ලද මුල්පිටපත එහි අලවා එක් පිටපතක් ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙතද අනෙක් පිටපත ඡන්ද පොළ නියෝජිතයින්ය නිකුත් කරන බව පවසයි.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාවද ලබාදී තිබෙන බව සඳහන්ය.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාරව පත් කර තිබේ.

සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත.

ආගම් පිළිබඳ කතා දේශපාලන වේදිකාවට එපා - අනුර

දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡා නොකළ යුතු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.

ඔහු මේ බව  පැවසුවේ පෙරේදා (11) මහනුවර පැවති ජන රැලිය අමතමිනි.

ආගම පිළිබඳ NPP මතය

‘‘මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්‍රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ අපි කතාබහට ලක් කරන්නේ නැහැ. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්‍රමාණයටයි; දේශපාලනය හා පටලවා නොගන්නා ප්‍රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අපි ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.

22න් පස්සෙ...

තිස්ස අත්තනායක කිවුවා අපි නුවර පෙරහැර නතර කරනවා කියලා. මතක තබා ගන්න තිස්ස අත්තනායක දෙදහස් පහළවේ දි කූට ලේඛන හදලා, මාස හත අටක් හිරේ ලැග්ග කෙනෙක්. අනිවාර්යයෙන් අපි දානවා නඩු. ඔයා අධිකරණයේදී හමුවෙන්න ඕනෑ. ඒ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරදියි. ඒ වගේම චරිත හේරත් කුරුණෑගල දි කිවුවා අපි ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. මොකක්ද මේ කරමින් ඉන්නේ. කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූලව ගේන්න නොමැති වූ විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තිබෙන එකම දේ තමයි අවලාද, අසත්‍ය තොරතුරු පතුරුවාලීම. දැන් ගෙනැවිත් තිබෙන අලුත්ම සාකච්ඡාව මොකක්ද? ඡන්ද ව්‍යාපරය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපිට තියෙන්නේ සියයට තුනයි. කතාව පටන් ගත්තේ එතැනින්. කොහොමද සියයට තුන සියයට පනහ වෙන්නේ කියලා. ඒක මහා හාස්කමක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉවරයි කියලා. දැන් කියනවා දිනුවොත් මෙහෙම වෙයි කියලා. තව අය කියනවා දිනුවොත් මාස හයක්වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ටවිසි එක්වැනිදා වෙනකල් දිනුවොත් කිය කියා ඉන්න පුළුවන්. විසි දෙකෙන් පස්සේ අපි දිනුවා. එච්චරයි.

අසත්‍ය තොරතුරු නැවත නැවතත්

‘‘අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට පත්වී තිබෙනවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත්වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නගමින් ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම බුදු දහම මේ දක්වා ඉෂ්ට කරන ලද කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. නමුත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ. හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් එකතුකරගෙන අපිට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරු වන්නට පටන්ගෙන තිබෙනවා.

රට වැසියනි... බිය නොවන්න

දැන් ඊළඟට සමාජ ඇතුළෙ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම විසි දෙවෙනිදා කලබල ඇතිවෙයිලු; ගැටුම් ඇතිවෙයිලු; අපි එහෙම කුමන්ත්‍රණයක ඉන්නවාලු. නැහැ. අපේ රටේ දේශපාලනයේ වෙනසක් ඕනෑ. හැමදේකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශපාලනයේ තිබුණේ මොකක්ද? ජයග්‍රහණය කළාම පරාජිතයට පහර දෙනවා. පරාජිතයාට වෙඩි තියනවා. පරාජිතයව හිංසාවලට ලක්කරන ඉතිහාසයක්. ඒක ඇති තරම අපි අත්විඳ තිබෙනවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවාද? මේ දේවල්වල ඉඳන් වෙනසක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් විසි දෙක ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇතිවී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා. ඔබට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, අපිට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැමදෙනාම අපි ආරක්ෂා කරනවා, අපි ආරම්භයේදී ම අලුත් දේශපාලන සංස්කෘතියක් මේරට තුළ නිර්මාණය කරනවා. ඉන්පසු පියවරෙන් පියවර මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වෙනවා.

පිරිසිදු කළ යුතු ම ය

මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති ධුරය වෙනස් කිරීම පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. ජනතාවට දීපු බෙහෙත්වලින් හොරා කාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිරකරුවන්ට වෙඩි තබන්න උත්සාහ දරපු රත්වත්තෙලා වගේ අය මේකෙ ඉන්නවා. මිරිස් කුඩු ගෙනාපු අය ඉන්නවා. පිහි ගෙනාපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ මැද, පුටුවලින් සටන් කරලා ගහගත්ත අය ඉන්නවා. මහින්දානන්දලා වගේ වංචනිකයන්, දූෂිතයන් ඉන්නවා. රෝහිතලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ප්‍රසන්නලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න,මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ජනාධිපතිවරණය දිනුව ගමන් අපිට ඒක තාවකාලිකව කරන්න පුළුවන්. මහා මැතිවරණය දිනවලා ඒක සම්පූර්ණයෙන් කරන්න ඔයගොල්ලෝ අපිට සහාය දෙන්න.

ජාත්‍යන්තර සබඳතා

අපේ රටේ ජනතාවට ආදර්ශමත් දේශපාලන භාවිතයක් අවශ්‍යයි. දැනට තිබෙනවා වගේ කැත, පිළිකුල් සහගත දේශපාලනය මේ රටෙන් තුරන්කර දැමීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනා ම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැම දෙනා ම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ඒ වගේම අපිට අහිමි වී තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා අපි ගොඩනගා ගන්න ඕනෑ. අපිට අවස්ථා ගණනාවක දී ම චීනය, ජපානය, ඉන්දියාව යනාදි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණගැසීමේ අවස්ථා ලැබුණා. අපි ඔවුන් සමග, අපේ විදෙස් ප්‍රතිපත්තිය ගැන, විදෙස් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව, ක්‍රියාත්මක කරන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ලෝකයේ හුදකලා වුණු රාජ්‍යයක් ලෙස අපිට ඉදිරියට යන්න බැහැ.

ඇමතිගෙ ලාබ අලාබ

පැවති හැම ආණ්ඩුවකටම වඩා ලෝකයේ පිළිගැනීමට ලක්වෙන, කීර්තිමත් ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොඩනගනවා. නව ශ්‍රී ලංකාවක් අපි ලෝකය ඉදිරියේ ගොඩනගනවා. අපේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ගෙන්වන්නේත් විදෙස්වලින්. ඒකෙනුත් කොමිස් ගහනවා. ඉතිං රටක් බාල්දු නොවී තියේවිද? පොල්තෙල් ගෙන්වන්නේත් පිටරටින්. කොළඹ වරායේ පොල්තෙල් ගබඩාකරන ටැංකි පවා හදලා තිබෙනවා. මේ රටේ බීසීසී වගේ සමාගම් පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරටත් පැටෙව්වා. එදා පොල්තෙල් පිටරට යවන්න පාවිච්චි කරපු ටැංකිවල අද පිටරටින් පොල්තෙල් ගෙනැත් ගබඩා කරනවා. පොල්තෙල් ගේන තරමට මේ රටේ ජාවාරම්කාර දේශපාලුවන්ට ලාබයි. බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොල්තෙල්වලිනුත් කොමිස් ගහනවා. මෙහෙ හැදුවොත් ජනතාවට හොඳයි. රටට හොඳයි. හැබැයි ඇමතියට පාඩුයි. පාසල් නිල ඇඳුම් මෙහෙ නිෂ්පාදනය කළොත් ඇමතිට පාඩුයි. චීනයෙන් ගේන කොට ඇමතිට ලාභයි.

‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකය

ටයිල් ගේන එක නතර කළහම මම දන්න ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 1000ක් යොදවලා ටයිල් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. සමහර දේශීය කර්මාන්ත ශාලා කෝටි සිය ගණන් වියදම් කරලා අලුත් වැඩියා කළා. අලුතින් නිෂ්පාදනය පටන් ගන්න. ඊට පස්සේ සීමාවකින් තොරව නැවත පිටරටින් ටයිල් ගේනන පටන් ගත්තා. අර කර්මාන්ත ශාලා වැහුණා. දේශීය කර්මාන්තකරුවෝ ඇදගෙන වැටුණා. ඇමතිලාට ඕන ‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකයක්. එතකොට තමයි කොමිස්වලින් ඒ ගොල්ලන්ගේ මඩි තරවෙන්නේ. නිෂ්පාදනය ඒ අයට වැඩක් නැහැ. අපේ රටේ සමහර තරුණ ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග, සෞඛ්‍ය මෙවලම් නිෂ්පාදනය කරනවා. ඒවා අප්‍රිකානු රටවලටත් දැනට යවනවා.

දැන් මොකද වෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්නවා බාල බෙහෙත් රටට ගෙන්වන්න. ඇයි ඇමතිලාට ලාභයි. කෙහෙලිය රඹුක්වැල්ල හිරේ යන්නේ ලාභය නිසා. ලාභ වැඩිවෙලා. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම එහෙම වුණේ හදන දේවල් ගැන කල්පනා කරලා. අපේ රටේ පාලකයෝ ඒකේ අනෙක් පැත්ත. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ මහා කර්මාන්ත පුනර්ජීවනයක්, මනා අධ්‍යාපන පිබිදීමක්, මහා ගොවිබිම් අස්වැද්දීමක්, නිෂ්පාදන ආර්ථිකයේ දේශපාලන සංස්කෘතියේ, සමාජයේ නව පිබිදීමක්, නවෝදයක් ඇති කරනවා. අන්න ඒ විදිහට තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට ගොඩනගන්නේ.’’

වාහන ආනයන සීමා ඉවතට

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි  x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීමත් සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දෙමින්ය.

2024 – 2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේ දී BASL හි සභාපති ලෙස නිතරගයෙන් තේරී පත්වීමට ඔහු සමත්වුණි.

මේ අතර, ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය පසුගිය අගෝස්තු 30 වැනිදා ඒකමතිකව තීරණය කරනු ලැබීය.

‘මම දිනුවොත් අගනුවර නිවාස ප්‍රශ්නයට විසඳුමක් දෙනවා’

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් තමා කොළඹ නිවාස ප්‍රශ්නයට මහල් නිවාස හා නගර නිවාස සංකල්පය ඔස්සේ ස්ථිර වශයෙන් ම විසඳුමක් ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිරුලපන පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.

අගනුවර බල ප්‍රදේශයේ නවීනතම සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ත් තමාගේ රාජ්‍ය පාලනයක් යටතේ ඉදිරියේදී සිදු කරන මානව ජනාවාස වැඩසටහන යටතේ මුඩුක්කුවල, වතු නිවාසවල, ජීවත් වන දුක්විඳින ජනතාවට විසඳුම් ලබා දෙන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් පසු අගනුවරට කුඩම්මාගේ සැලකිල්ලක් පමණක් ලැබුණු බව ත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කොළඹ නිවාස ගැටලුවට කිසිදු විසඳුමක් නොදුන් බව ත් ප්‍රේමදාස චෝදනා කළේ ය.

වාර ගණනාවක් අගමැති වී රටේ ජනාධිපති වූ නමුත් නිවාස ප්‍රශ්නයට තිරසර වැඩපිළිවෙලක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර, පාසල් දූ දරුවන්ට දිවා ආහාර ලබා දෙන ලෙස ඉල්ලීම කළ නමුත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තමාට හිනා වූ බව ත් සජිත් ප්‍රේමදාස මහතා ජන රැලියේදී මතු කළේ ය.

දැරියන්ගේ සෞඛ්‍ය ගැන කතා කළ විටදීත් ජනතාවට සහන දෙන්නැයි කී අවස්ථාවේදීත් ඇතැම් අය තමාට විවිධ පද හැදූ බව ත් කී විපක්ෂ නායකවරයා සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ත් වැඩිදුරට ත් කීය.

මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ !

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද

පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක අද (12) පැවසීය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී අද පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක එසේ පැවසීය.

මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් කොමිසමේ සභාපති කීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බව කී කොමිසමේ සභාපතිවරයා, පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බව ද සඳහන් කළේය.

(lankadeepa.lk - යොහාන් භාසුර)

Page 46 of 473