V2025

පුවත්

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාප සාමාජිකත්වය අරගෙන !

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල්.ආර් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන හමු වූ ඔහු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ ට සහාය පළ කරමින් මෙම දේශපාලන තීන්දුව ගත් බව සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

නිමල් ආර්. පීරිස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වෙයි.

ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක්

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේද සහාය ඇතිව බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාව, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු Zoom තාක්ෂණය ඔස්සේ මීට එක්ව සිටියහ.

කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට රජයෙන් ඉඩම් අක්කර දෙකක්

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (1) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව විදේශයන් හී කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාල ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාලව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවද දකුණු කොරියාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමට අනුගමනය කළ පියවරයන් ආදර්ශයක් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, එරට විගමනික ශ්‍රමකයින් යලි සිය රටට පැමිණිමෙන් පසුව ව්‍යවාසයකින් බවට පත් වූ ආකාරයෙන්ම මෙරට විගමනික ශ්‍රමයින්ද යලි දිවයිනට පැමිණීමෙන් පසුව ව්‍යවසායකින් බවට පත් කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යවාසයයින් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයන වැඩපිළිවෙලේ කොටස් කරුවෙකු බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද පත්විය යුතු බවත් එහිදී මෙරට ජනගහනයෙන් සියයට 10ක් ව්‍යවසායකින් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම වසර තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩි අවධානයක් මෙරට තුල නව ව්‍යවසායකයින් බිහි කිරීම කෙරෙහි යොමු කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෝට් සිටියට රෝහලක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

රජය සඳහන් කළේ, 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය නියෝගවල 2 (ආ) යටතේ එම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති බව ය.

ආසිරි පෝට් සිටි හොස්පිටල් පුද්ගලික සමාගම විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එකී විධිවිධාන යටතේ අදාළ නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්‍ර මෝපාය වැගත්කම්ක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.C1

කනබොන මිනිහෙක් ජනපති කරමු - රනිල් නැත්නම් මම : දිලිත් එන්නේ මොකාටද ?

'' කනබොන මිනිහෙක් ජනපති කරමු '' ඒක තමයි , දිලිත් ජයවීරගේ ජනාධිපතිවරන කැම්පේන් එකේ ලයින් එක. ඒ ආරංචිය එන්නේ ට්‍රයඩ් advertising ඒජන්සිය පැත්තෙන්.

ට්‍රයඩ් එක අයිති දිලිත්ට. 2005 ඉඳලා මේ රටේ ප්‍රධාන මැතිවරණ කැම්පේන්වලදී දැනෙන යමක් කරපු ඒජන්සියක්.

'' ජනාධිපති අපේක්ෂකයින් අතර ප්‍රසිද්ධියේ කන බොන අපේක්ෂකයෝ ඉන්නේ දෙන්නයි .. එක්කෙනෙක් රනිල් , අනිත් කෙනා මම. සජිත් වගේම අනුරව ත් , ඔය වෙනින් කිසිම අපේක්ෂකයෙක් වත් අරක්කු ෂොට් එකක්, වයින් වීදුරුවක්, බියර් ග්ලාස් එකක්වත් ප්‍රසිද්ධියේ කටේ තියන්නේ නැති මහත්තුරු...

මෙරටේ චන්ද දායකයින් ගෙන් සියයට 70 විතර ඉන්නේ සතුටින් ඉන්න කැමති කට්ටිය. එයාලා තමයි මගේ ඕඩියන්ස් එක.. රනිල් චන්දෙට එන්නේ නැති නිසා ඒ සේරගේම පොදු අපේක්ෂකයා මම.. ''

දිලිත් ඔය කතාව කියල තිබුනේ අද උදේ.. , ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා උදේ එයාගේ පක්ෂ කාර්‍යාලයේදී , අරගලේ හිටපු කොල්ලෝ සෙට් එකක් එක්ක..

''රනිල් ඉල්ලුවේ නැත්තන් මම නිතරඟයෙන් ම ජනාධිපති. - දිලිත් එහෙම කතාවකුත් කියලා .

ඒ එක්කම ඉතිං ඒකෙන් දිලිත් තවත් මැසේජ් එකක් දීලද මන්දා ? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලුවොත් දිනන්නත් ඉඩ තියෙනවා වගේ පොඩි ලයින් එකක් . ඒවා මේවා සේරම තීන්දු වෙන වසර තමයි 2024 කියන්නේ . පෙරහර පටන් ගෙන කස ගහන්න පටන් ගත්තා විතරයි නිසා , බලාගෙන ඉමුකෝ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු  නිරාකරණයට පත් කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනපතිට !

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (01) ජනාධිපති කාර්යාලයේදී බාර දෙනු ලැබීය.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කර මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ වේගවත් ක්‍රියාවලියක් හරහා මෙම වාර්තාව අවසන් කිරීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් 06 වෙනි දින ගනු ලැබූ කැබිනට් තීරණයට අනුව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබූහ .

එහි ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කරනු ලැබූ ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් කටයුතු කළ අතර අදාළ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට එම කමිටුව කඩිනම් පියවර ගනු ලැබීය.

ඒ අනුව

  1. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සංයුතිය හා ව්‍යුහය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා
  2. ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 19 න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම සඳහා වන රාමුව
  3. ටෙස්ට් ක්‍රීඩාවේ නියුතු රටවල මනා ලෙස ක්‍රියාත්මක වන සංසන්දනාත්මක පද්ධති සමඟ පද්ධති මිණුම් සළකුණු කිරීමේදී විනිවදභාවය, වෘත්තීයභාවය සහ වගවීම සහතික කිරීම පිණිස අනුගමනය කළ හැකි සුදුසු යහපාලනය සහ යහ භාවිතයන්
  4. කුසලතාව, සමානාත්මතාව සහ සාධාරණතාව වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම

යන ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කෙ‍රිණි.

එහිදී වත්මන් අර්බුදයට පාදක වූ සැබෑ හේතූන් විශ්ලේෂණය කිරීම සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු , හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් (කාන්තා/ පිරිමි) පුහුණුකරුවන්, විනිසුරුවරුන්, ක්‍රිකට් තේරීම් කමිටුව, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, තාක්ෂණ උපදේශක කමිටුව, වනිදු හසරංග ඇතුළු වත්මන් ක්‍රිකට් කණ්ඩා‍යමේ සාමාජිකයින් , ශ්‍රී ලංකා විනිසුරු සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විගණන හා ගණකාධිකරණ ආයතන, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චිත්‍රසිරි කමිටුව, විගණාකාධිපති, ආදි පාර්ශව රැසක අදහස් විමර්ශනය කරමින් මෙම වාර්තාවේ නිර්දේශ සකස් කර ඇත.

මේ සම්බන්ධයෙන් සිදු කෙරුණ පර්යේෂණ කටයුතු සඳහා නීතීඥ ෂමිර් සවහිර් සහ නීතිඥ සම්හන් මුන්සිර් යන මහත්වරුන්ගේ සහාය හිමි වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් වාර්තාව සකස් කරනු ලැබීය.

‍මෙම වාර්තාව බාර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් ක‍ළේ මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

තවද ඉතා කෙටි කලක් තුළ මෙම වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳ ජනපතිවරයා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත සිය ප්‍රශංසාව පළ කර සිටියේය.

ජනාධිපති සහකාර ලේකම් සමිත් තලකිරියාව ද මේ අවස්ථාවට එක් විය.

රේගුවේ වාර්තාගත ආදායමක් !

ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ දී වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක සීවලී අරුක්ගොඩ පවසයි.

ඒ අනුව, එම වසරේ දී ශ්‍රී ලංකා රේගුව විසින් උපයා ඇති මුදල රුපියල් බිලියන 970කි.

පසුගිය වසර මුලදී මුදල් අමාත්‍යාංශය මගින් රේගුව සඳහා රුපියල් බිලියන 1,217ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර රටේ පැවති අයහපත් මූල්‍යමය වාතාවරණය සැළකිල්ලට ගෙන එය රුපියල් බිලියන 893ක් දක්වා සංශෝධනය කරනු ලැබීය.

ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 138ක අදායම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේය.

මීට පෙර 2018 වසරේ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 923ක ආදායමක් උපයා තිබුණි.

උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමේ වැදගත්කම ෂෙහාන් පවසයි !

මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.

මෙරට ආර්ථික වර්ධනය 2023 වසරේ තුන් වැනි කාර්තුවේදී 1.7% ක් වනවා. ඒ අනුව 2023 වසරේ සමස්ත ආර්ථික වර්ධනය -3%ක් පමණ වනු ඇතියි. නමුත් 2022 වසරේ දී සමස්ත ආර්ථික වර්ධනය පැවතියේ -11% ක් ලෙස බව ද පැවසිය යුතුයි. එමෙන්ම ප්‍රාථමික ගිණුමේ ශේෂය තව දුරටත් ධන අගයක පවතිනවා. එහෙත් එය 2022 වසරේ දී පැවතියේ රුපියල් බිලියන 895ක ඍණ අගයකයි. එය 2023 නොවැම්බර් මස වන විට රුපියල් බිලියන 333ක ධන අගයක් වනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් අනතුරුව මෙරට විදෙස් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්ම වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 337ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 220ක් සහ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ලෙස එය සටහන් වනවා.

එමෙන්ම උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. 2022 වසරේ උද්ධමනය 70%ක මට්ටමේ පැවතුණා. එය 2024 වසරේ 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිතයි. එය මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

ඒ වගේම රාජ්‍ය ආදායම 2023 වසරේ දී රුපියල් බිලියන 3110ක් වනවා. ඒ අනුව 2023 වසරේ සංශෝධිත ඇස්තමේන්තුව බිලියන 2850ක් වනවා. මේ අනුව 2023 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 11.2%ක් වනවා. 2026 වසරේ දී එය 15% වර්ධනයක් දක්වා රැගෙන යාම අපගේ අපේක්ෂාවයි.

මෙරට බදු ගොනු සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව තිබෙනවා. 2019 වසරේ සමස්ත ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 1,705,233ක් වනවා. විවිධ ප්‍රතිපත්තිමය තීන්දු නිසා එය 2020 වසරේ දී 677,613 දක්වා අඩු වුණා. 2021 වසරේ දී 507,085ක් වුණා. 2022 වසරේ දී 437,547ක් වූ බදු ගොනු සංඛ්‍යාව අද වන විට මිලියනය දක්වා ඉහළ නංවා ගැනීමට අප සමත් වී තිබෙනවා.

වත්මන් රජය බලයට පත් වන විට අතැතිව තිබූ රුපියල් බිලියන 350ක වටිනාකම ඉක්ම වූ නොගෙවූ බිල්පත් ප්‍රමාණයක් පැවතුණා. ඒ සියල්ල මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. 2023 වසරේ දෙසැම්බර් 15 වන විට සියලු අනුමත ව්‍යාපෘති සඳහා වන බිල්පත් ගෙවා අවසන් කිරීමට ද අප සමත් වුණා. 2024 වසරේ සිට මසකට වඩා වැඩි කාලයක් ගෙවීම් ප්‍රමාද නොකර සිටීමට රජය ප්‍රතිපත්තිමය එකඟතාවකින් කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම 2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරනවා.

1,410,064 ක අස්වැසුම දෙසැම්බර් මස වාරික මුදලත් ගෙවා අවසන් කිරීමට අපට හැකිවුණා. අපගේ ඉලක්කය ලක්ෂ 20ක් සඳහා මෙම ප්‍රතිලාභ ලබා දීමටයි. 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩුකම් මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරනවා.

සුරා බද්දත් ඉහළට !

වහාම ක්‍රියාත්මක වන පරිදි සුරාබදු අද (1) සිට ඉහළ නංවමින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව මෙරට බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට ප්‍රතිචාර දක්වමින් මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන්නේ සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා !

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.

ඒ සමඟ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරමින් ජනාධිපතිවරයා වෙත උත්තමාචාර පුද කිරීමද සිදු කෙරිණි.

අනතුරුව ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සුහද කථා බහකට ද එක්වූ ජනාධිපතිවරයා උදා වූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් පළ කළේය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

ගුවන් හමුදාවට අද විශේෂ දවසක්. වසර 73 ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහාලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට කළ මෙහෙවර අසීමිතයි. ගුවන් හමුදාවට නවීන තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් හමුදා මූලස්ථානයක් අද ලැබී තිබෙනවා. අනාගතයේදී ඇතිවිය හැකි අභියෝග සම්බන්ධයෙන්ද මෙහෙයුම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට මෙමඟින් හැකි වෙනවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආරක්ෂක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේදී ගුවන් හමුදාවට පැවරෙන කාර්යභාරය අති මහත් බව කිවයුතුයි. ඒ වගේම නව දැනුම සහ නව තාක්ෂණය සමඟ අපේ හමුදාවන් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තරයේදී මතුවිය හැකි ගැටලු කලින් හඳුනාගෙන ඊට පිළියම් සෙවීමට එම නවීන ආරක්ෂක දැනුම මගින් හැකියාව ලැබෙනවා.

අද මෙම හමුදා මූලස්ථානය තුළ ගුවන් හමුදා මූලස්ථානය ආරම්භ කිරීම එහි නවීකරණය උදෙසා වන පළමු පියවරක් ලෙස මම දකිනවා. මීට පෙර පැවති ගුවන් හමුදා මූලස්ථාන කාර්යාලය පොලිස් මූලස්ථානයට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය තිබූ ගොඩනැගිල්ල මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල ඉන් ඉවත් කර සංචාරක කලාපයක් බවට එම ප්‍රදේශය පත්කිරීමට ද සැලසුම් කර තිබෙනවා

අද රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තිබෙනවා. එය අප සියලුදෙනාගේ වගකීමක් බවට පත්ව තිබෙනවා. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලයි තබුණේ. ඒ අනුව රටේ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මට භාර කෙරුණා. මෙහීදී දේශපාලනය කරනවාද, එසේ නොමැතිනම් රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සෘජුව කටයුතු කරනවාද යන්න පිළිබඳ මට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා.

ලෙබනනය ආර්ථික වැඩපිළිවෙළ වසර දෙකකින් කල් දැමීම නිසා විශාල අර්බුදයකට මුහුණ දුන්නා. දේශපාලන අස්ථාවර භාවය නිසා ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර දහතුනක් ගත වුණා. ඔවුන් රාජ්‍ය සේවයේ වැටුප් 50%කින් කප්පාදු කළා. නමුත් එම තත්ත්වයට පත්වීමට මට අවශ්‍ය වුණේ නැහැ. අපේ දළ දේශීය නිෂ්පාදනය පහත වැටිලා තිබුණා. අප සෘජු තීන්දු තීරණ සමඟ ඉදිරියට ගියා. 2023 වසර අවසන් වන විට අප යම් තරමක ආර්ථික ශක්තිමත් භාවයක සිටිනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ නිවැරදි වෙලාවට ගත යුතුයි. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වන විට ආර්ථක වර්ධන වේගය 5%ක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට අප සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. ඉන්පසුව තවත් සීග්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අපට සහය වීමට රටවල් බොහොමයක් මේ වන විට එකඟ වී තිබෙනවා. ඒවගේම ඔවුන් ඊළඟට අහන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මේ ණය ගෙවීමට හැකියාව තිබේද යන්නයි. ඒ සඳහා අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.

අප පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 3.1ක රාජ්‍ය ආදායමක් උපයා ගත්තා. එම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 12%යි. අපි 2026 වන විට එය දළ දේශීය නිෂ්පාදනයෙන් 15%කට ගෙන ආ යුතුයි. මෙම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4.2ක් රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපට තිබෙනවා. වැට් බදු නැවත සංශෝධනය කිරිමට සිදු වුණේ ද ඒ සඳහායි.

ඒ වගේම ප්‍රාථමික අතිරික්තය බලාපොරොත්තු වෙන්න පුළුවන් දශම 8ක්. නමුත් 2025 වන තෙක් එය 2.3කට පවත්වාගෙන යා යුතුයි. මෙම ඉලක්ක සමග අපට ඉදිරියට යාමට තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා. මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා. දුෂ්කරතා තිබෙනවා. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා. ඔවුනුත් ඊට එකඟ වුණා. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා.

ඒ වගේම බදු එකතු කිරීම පිළිබඳ අඩු පාඩු ගණනාවක් තිබෙනවා. ඒ සඳහා නව ආදායම් අධිකාරියක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහය ලබා දී තිබෙනවා. මෙම කටයුතු තුළින් 2025- 2026 වන විට රටේ ආර්ථිකය 5%ක පමණ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

නමුත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් අප 8%-9%ක ඉලක්කයක් වෙත ළඟා විය යුතුයි. එම වර්ධනය ඇති කරගන්නේ කෙසේද කියා අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=720#sigProIdfb6c7a8863

ලිට්‍රෝ ගෑස් මිලත් සංශෝධනය වෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.

එහි සභාපති මුදිත පීරිස් අද (ජන. 1) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කෙරෙන බව ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,250ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් දක්වා ඉහළ යනු ඇත.

ඊට අමතරව, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127කින් ඉහළ ගොස් දමා තිබේ.

ඒ අනුව, එහි නව මිල රුපියල් 795ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්ධන මිල සංශෝධනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

අද (ජන. 1) උදෑසන 5:00 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366ක් ලෙස ය.

තව ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ, රුපියල් 464ක් ලෙස ය.

ලංකා ඔටෝ ඩීසල් මිල ද රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475කි.

කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් ලෙස සටහන් වෙයි.

මේ අතර, ලංකා අයිඕසී සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

මේ අතර, සයිනොපෙක් සමාගම ද අද උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත්, එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දෙනු ලැබ ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

තව ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ලංකා අයිඕසී සමාගමේ මිල ගණන් පරිදි ම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙස ය.

පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

උදා වූ 2024 වසර ලක් වාසි සියළු දෙනාගේ සිතුම් පැතුම්, ප්‍රාර්ථනා ඉටුවන, සියළු ලෝක වාසීන්ට යස ඉසුරෙන් පිරුණු, නිරෝගීමත් සුබම සුබ නව වසරක් වේවායි නිවුස් ටියුබ් පාඨක ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු !!!!!!!.

යුක්තිය දින 14ට 20797ක් අත්අඩංගුවට අරගෙන !

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා දියත්කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ.

එහි දී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6ක් අයිස් කිලෝග්‍රෑම් 8.3ක් සහ මත්පෙති 72,272ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන අතර ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

මාලඹේ පවුලක්ම වස බී නසියි !

එකම පවුලේ තිදෙනෙකු වස පානයකර සියදිවි නසාගෙන තිබෙන බව වාර්තා වෙයි .

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසක මව, පුතා හා දියණියකගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් මෙම මළසිරැරු සොයා ගෙන ඇත.

මියගිය මවගේ වයස අවුරුදු තිස්පහක් වන අතර පුතා ගේ වයස අවුරුදු දහයක් හා දියණියගේ වයස අවුරුදු නවයකි.

ඔවුනගේ පියා දැනට දින කිහිපයකට පෙර වස පානය කර දිය සියදිවි නසාගෙන තිබෙන බවත් වාර්තා වෙයි .

ඔහුගේ හත් දවසේ දානමය පින්කම ඊයේ සිදුකිරීමෙන් අනතුරුව මෙම තිදෙනාද සියදිවි නසා ගන්නට ඇති බව පොලිසිය සැක කරයි

මාතරට වේලාසනින් අවුරුදු ඇවිත් !

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපතේ උතුරු මුහුදු සීමාවට ඔබ්බෙන් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් කියලා , සෙනසුරාද ඒ කියන්නේ 30 වෙනිදා උදේ පාන්දර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මැසේජ් එකක් ඈවිත් තිබුනා. ඒ කියන්නේ සුනාමි ඇලට් එකක්.

වෙරල ආසන්නයේ ගැවසෙන්න එපා කියලා , SMS එන්න පටන් ගත්තා .

ඔය මැසේජ්වලින් වැඩියෙන්ම කලබලේට පත්වෙලා හිටියේ මාතර කට්ටිය. මොකද “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් ඊයේ (30) මාලිමවේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුවට මාතර ආසන හතෙන් ම කාන්තාවෝ මාතර ටවුන් එකට එන්න පටන් අරගෙනයි තිබුනේ.. සමුළුව සංවිධානය කරලා තිබුනේ මාතර කොටුවේ වෙරල තීරය ඉස්සරහා.

ඒ වෙනකොටත් කාන්තාවෝ දහස් ගණනක් ඇවිත් ඉඳලා . කොහොම වුනත් ටිකක් දවල් වෙද්දී ඔන්න තවත් ඇලට් එකක් ආවා. සුනාමි අවධානමක් නෑ කියලා . මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිතයි කියලා .

''නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා '' කියලා සමුළුව පටන් ගන්ද්දීම අනුර කිව්වා. අපේක්ෂා පිරුණු සතුටු පිරුණු මුහුනු දකිනවිට 2024 වසරේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහනය පිළිබඳව සැකයක් නෑ කියලත් අනුර කිව්වා.

''අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට බලපෑ හැකි සුනාමි අනතුරු ඇඟවීමේ ප්‍රවෘත්තියක් විකාශය කළා. දහවල් වනවිට එම අනතුරක් නැති බව ප්‍රචාරය කලා.. ඒත් රට වෙනස් කිරීමේ මහා සුනාමියක් මාතරින් ආරම්භ වුනා '' - කියලත් අනුර කිව්වා.

ඔහු පසුගිය මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට තිබූ රැල්ලට වඩා මේ වනවිට සුවිශාල සංවිධාන ශක්තියකින් ඉදිරියට පැමිණ සිටින බවත් අනුර කියනවා.

විශ්‍රාමික ත්‍රිවිද හමුදා සාමූහිකය ඇතුළු නව සංවිධාන ගණනාවක් ගොඩනගා ගනිමින් 2023 වසරේ තිබූ ශක්තිය අභිබවා ගිය මහා ජනතා ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ තිබෙන බවත්, එය හුදු ඡන්දය ලබා ගැනීමේ අරමුණ ඉක්මවා ගිය මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්වයෙන් ගොඩ ගැනීමේ මහා බලවේගයක් වෙලා කියලත් අනුර කියනවා.

මෙම බලවේගය තුළ ධෛර්යවන්ත ගැහැනුන් සුවිශාල වහයෙන් අත්වැල් බැඳගෙන ඇති බවත් 2024 වර්ශයේ පවත්වන ඕනෑම මැතිවරණයෙකදී ජාතික ජන බලවේගය ජය ගැනීම පිළිබඳව කිසියම් කුකුසක් පැවතියේනම් මෙම කාන්තා සමුළුව මගින් එම කුකුස මුළුමනින්ම අහවර කර ඇති බවත් අනුර කියනවා.

  • දේශපාලන වාර්තාකරු

සජබ සජිත්ගේ මිත්‍ර සමාගම යටතට !

2023 වසර අවසන් වී 2024 එළැඹෙන්නේ දේශපාලන වේදිකා රත් කිරීමට අවශ්‍ය වටපිටාව ද සකසමින් බව කියන්න දෙයක් නෑ . ලබන වසර, ඒ කියන්නේ 2024 මැතිවරණ වර්ෂයක් බවට ප්‍රකාශ වීම තමයි එකට ප්‍රධාන හේතුව වෙන්නේ.

සීතල නත්තල් සමය අවසන් වී නව වසරට උදා වෙන්නේ දේශපාලන ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් කරමින් ..

ලැබෙන ආරංචිවල හැටියට මේ දවස්වල තියන පාටිවලත් ප්‍රධාන ම මාතෘකාව වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ තියන්න යන ජනාධිපතිවරණෙ ගැන .. මල ගෙවල්, දානේ ගෙවල්වල පවා කතාව ඒ ගැන.

සජිත් ප්‍රේමදාස ගේ අගසව් විදියට සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාගේ ඒකල ෆැක්ටරියේ 29 සිකුරාදා රෑ බණ පින්කමක් තිබිලා. . ඒ මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මිය පරලොව ගිය ලකීගේ මෑණියන් සිහිපත් කරලා. ඒක බණක් කිව්වට මොකද, දේශපාලනඥයින්ගේ විශේෂ හමුවක් වුණා .

සජිත් ප්‍රේමදාස වගේම, සජිත්ගේ යාලු මිත්‍රයොත් සැහෙන්න ඇවිත් ඉඳලා. ඇමති ටිරාන් ට වගේම හිටපු ඇමති ගම්මන්පිලට ඒ අය අතර ඉඳලා තියනවා.

හැබැයි මෙතනදී විශේෂ ම අවධානයක් යොමුවෙලා තියෙන්නේ , ඩලස්ගේ කණ්ඩායමෙන් සජබට එකතුවෙන්න ආපු කට්ටියට. එතන GL , චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා, කළුතර අඛිල එල්ලාවල ට.. නාලක ගොඩහේවා ඉඳලා නෑ .. නාලක, මේ දවස්වල තරමක අසනීප තත්වයෙන් පසුවෙනවා කියලයි ආරංචිය .

සජබේ කීපදෙනෙකුත් බණට ඇවිත් හිටියා ලු. ඒ සේරම ලකීගේ හිතවත්තු.

ඒ අතර හමුදාවල හිටපු මේජර් ජෙනරාල් ලා, වයිස් අද්මිරාල් ලා, දෙතුන් දෙනෙකුත් ඇවිත් හිටියා කියලයි ආරංචි. එයාලා සජිත් එක්ක සෑහෙන වෙලාවක් කතාබහ කර කර ඉඳලා තියනවා.

'' අපිත් ළඟදීම දිස්ත්‍රීක් මට්ටමෙන් හමුදාවේ හිටපු ලොක්කන්ගේ සංවිධාන හදනවා. ' - සජිත්ගේ කැම්පේන් මැනේජර් සුජීව සේනසිංහ කට්ටියට කියලා තියෙන්නේ එහෙම.

වංචා දුෂණ චෝදනා නැති හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එකතුකර ගනිමින් මාලිමාව මේ වෙනකොටත් දිස්ත්‍රීක් මට්ටමින් සංවිධාන ජාලයක් හදලයි තියන්නේ.

සුජිවත් දැන් එකම කරන්න යන පාටක් තමයි තියෙන්නේ .

ඒ කියන්නේ මාලිමාව අභියෝගයක් බව සජබ පිළිඅරගෙන කියන එක ද ? නැත්නම් සජබ, ජවිපෙ අනුරලා මාලිමාව අරගෙන ගිය ප්‍රචාරක මෙහෙයුම බයි පාස් කරන්න යනවද ?

  • දේශපාලන වාර්තාකරු

හෙට සිට දු.ක මිල ඉහළට !

සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මේ බව සඳහන් කර සිටියේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇත.

Page 41 of 386