V2025

පුවත්

ස්වයංක්‍රියව මුහුණු හඳුනාගැනිමේ පද්ධතියක්

බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ.

අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව සඳහන්ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

වියදම් කරන්න සල්ලි නැත්නම් පළාත් සභා මොකට ද?

අද වන විට තමන්ගේ වියදම තමන්ට ම සපයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග පසුගිය දා (ජන. 4) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

අනෙකුත් සියලු පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වන බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් පළාත් සභා දියුණු කිරීමට අවශ්‍ය නම් එම පළාත් තුළින් ම ශක්තිමත් වී පෙන්වන ලෙසට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, කොළඹින් මුදල් එනතුරු බලා නොසිට පළාත් සභාවල සියලු දෙනා පළාතේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගත යුතු බව පැවසූ හෙතෙම, දේශපාලනඥයන් බලය බෙදීම ගැන කතා කරන ආකාරයට ම එම බලතල පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදා ගත යුතු බව ද ප්‍රකාශ කළේ ය.

විවිධ පාර්ශව දේශපාලනික වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරන බව පැවැසූ ජනාධිපතිවරයා, නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකි නමුත් පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එම බලතලවල ඇති වටිනාකම කුමක්දැයි ප්‍රශ්න කළේ ය.

උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙන බව පැවසූ හෙතෙම ඊට අවශ්‍ය සියලු සම්පත් එම පළාත තුළ තිබෙන බව ද කීය.

උතුර පමණක් නොව රටේ ම සංවර්ධනයට ඊට දායක කරගත හැකි බවත්, ඒ සඳහා දැනට ම ත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා දහතුන් වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතුවලට ප්‍රමාණවත් බව සඳහන් කළේ ය.

උදාහරණයක් වශයෙන් පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් ඊට රජය මුදල් ලබාදෙන තුරු බලා නොසිට පළාත් සභාව මුදල් සම්පාදනය කර ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනපති අපේක්ෂකයකුවීමට සුදුසුකම් ඇතත් සල්ලි නෑ - වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයෙකු විම සඳහා තමන්ට සියලු සුදුසුකම් ඇති නමුත් ඒ සඳහා දැන් මුදල් නැතැයි සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

පසුගිය අරගල සමයේ තමන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ගැනීමට කෝටි දෙකක පමණ මුදලක් වියදම් වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එනිසා ජනාධිපතිවරණයකට වියදම් කිරීමට තමන්ට මුදල් නැති බවද රටේ ආර්ථිකයට මෙන්ම අද තමන්ගේ ආර්ථිකයට ද අසීරු බවද ඔහු පැවසීය.

අද මන්ත්‍රීවරුන් සත පහකට ගණන් නොගන්නා බවද බවත් වෙනදා මළගෙදරකට ගොඩ වූ විට නැගිටින්නේ නැත්තේ මිනිය පමණක් වුවත් අද කිසිවකු නැගිටින්නේ නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට !

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 4 වැනිදා නිකුත් කර තිබිණ.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචිවීමට පිරිවැටුමේ සීමාව පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට බලාත්මක වන පරිදි කෝටි 12 සිට කෝටි 6 දක්වා අඩු කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සලසා ඇති බවත් වාර්තා වෙයි.

කොට්ටාව දිවි නසාගැනීම් පොකුරට හේතුව ආගමික විශ්වාසයක් ද?

මරණින් මතු ආත්මයක දී සැපවත් ජීවිතයක් ගත කිරීම උදෙසා සියදිවි නසාගැනීම්, මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීම් මෙන් ම, ආගමික හෝ දේශපාලනික විශ්වාසයක් වෙනුවෙන් එලෙස සියදිවි නසාගැනීම් හෝ අන් අය ඝාතනය කිරීමේ කණගාටුදායක සිදුවීම් ලෝක ඉතිහාසයට කළු පැල්ලම් එකතු කරමින් විවිධ කාලවල දී අසන්නට ලැබේ.

ලෝක ඉතිහාසයේ කළු පැල්ලම්

දකුණු ඇමරිකානු මහද්වීපයේ ගයනාවේ ජෝන්ස්ටවුන්හි එක්සත් ජනපද පුරවැසියන් 900කට ආසන්න ප්‍රමාණයක් 1974 වසරේ දී මියයාමේ සිද්ධිය එලෙස ලෝකයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමක් ය.

මෑතක දී තවත් එවැනි සිදුවීමක් පසුගිය වසරේ වාර්තා වූයේ අප්‍රිකානු මහද්වීපයේ යි.

2023 අප්‍රේල් මාසයේ දි එක්තරා ආගමික විශ්වාසයක් විශ්වාස කරන අනුගාමිකයන් කණ්ඩායමක් ආහාර නොගෙන උපවාසයක යෙදී සිටිය දී කෙන්යා පොලිසිය විසින් සොයාගන්නා ලද අතර, එලෙස සොයාගන්නා විටත් හතරදෙනෙකු කුසගින්නේ සිට මියගොස් තිබුණි.

දරුණු ලෙස රෝගී වි සිටි අනෙකුත් 11 දෙනා ද රෝහල්ගත කිරීමෙන් පසුව ද ආහාර ප්‍රතික්ෂේප කර තිබුණේ එලෙස මියයාමෙන් ඔවුන්ට ස්වර්ගය වෙත පහසුවෙන් යා හැකි බව පවසමින් ය.

ඉහත ලෝක ඉතිහාසයේ සිදු වූ ආගමික ඇදහීම් හෝ විශ්වාස නාමයෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියකට සමානයැ යි සැක පළකෙරෙන කණගාටුදායක සිදුවීමක් කොට්ටාව, හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

දිවි නසාගැනීමට හේතුව ආගමික විශ්වාසයක් ද?

කොට්ටාව, මාකුඹුර මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයෙක් වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය විසින් 2023 දෙසැම්බර් 28 දින සොයාගත් අතර, ඉන් දින දෙකකට පසු එම 46 හැවිරිදි පුද්ගලයාගේ අවමඟුල් අවසන් කටයුතු සිදුකර තිබුණි.

එදින රාත්‍රියේ, එනම් දෙසැම්බර් 30 වනදා, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ඔහුගේ ඥාතියෙකුගේ නිවසක් තුළ වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට සොයාගෙන තිබුණි.

පොලිසිය විසින් මුලින් සැක පළ කළේ යම්කිසි පවුල් ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් සියදිවි නසාගන්නට ඇති බව යි. කෙසේ නමුත්, මෙම අවස්ථා දෙකේදීම භාවිත කර තිබූ විෂ වර්ගවල සමානකමක් සහ ඒවා බහා තිබූ කවරයේ සමානකමක් පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබුණි.

මේ අතර යක්කල ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියක ඉහත පිරිස ආකාරයටම වස වර්ගයක් පානය කර සියදිවි නසාගෙන තිබූ අතර, අම්බලන්ගොඩ පදිංචි 34 හැවිරිදි තරුණයෙකු ද ඊට සමාන ආකරයෙන් ම සියදිවි නසාගෙන තිබුණේ මහරගම ලැගුම්හලක් තුළ දී ය.

මෙම සිදුවීම් දාමයේ සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.

පළමුව සියදිවි නසාගත් පුද්ගලයා රටපුරා විවිධ ආගමික දේශනා පවත්වා ඇති අයෙකු වන අතර, නිවන හා මාර්ගඵල ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු සිදු කළ දේශනයක වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයන්හි හුවමාරු වෙමින් තිබේ.

පසුව සියදිවි නසාගත් තරුණයා සහ තරුණිය ඔහුගේ දේශනවලට සම්බන්ධ වී ඇති අතර, ඔවුන් දෙදෙනා ඔහුගේ අවමඟුලට ද සහභාගී වී තිබේ.

අම්බලන්ගොඩ පදිංචි තරුණයාගෙන් පොලිසිය විසින් අවමඟුල් දිනයේ දී ප්‍රකාශයක් ද සටහන් කරහෙන ඇති අතර, එහි දී ඔහු පවසා ඇත්තේ තමා මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙකු බව යි.

මේ ඔස්සේ විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇත්තේ, මෙම පුද්ගලයා විවිධ ස්ථානවල සහ සමාජ මාධ්‍ය හරහා යම් අන්තවාදී ආගමික ප්‍රචාරයන් සිදුකර ඇති බව ය.

ඔහු අවසන් වරට දේශනයක් පවත්වා ඇත්තේ 2023 දෙසැම්බර් 26, එනම් උඳුවප් පොහොය යෙදී තිබූ දින ගාල්ල, හබරාදූවේ දී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව විසින් 2024 ජනවාරි 04 කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලින් අනාවරණය වූයේ මොහු විවිධ පන්සල් ද කේන්ද්‍ර කරගනිමින් දේශන පවත්වා ඇති බව යි.

'කාගේ හෝ ජීවිතයට හානි කරන විශ්වාස ඇදහීම වරදක්'

මේ වන විට සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන් ම මෙම මරණ හතේ දී ම භාවිතා කර ඇති විෂ වර්ගය මොනවාදැ යි හඳුනාගැනීමට සහ ඒවා සමානදැ යි හඳුනාගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද ඔහු පැවසුවේ ය.

"ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය ආගමක් හෝ විශ්වාසයක් හෝ දැරීමේ නිදහස තියෙනවා. නමුත් කවුරුන් හෝ කෙනෙක් අනෙක් අයගේ ජීවිතයට හෝ තමාගේ ජීවිතයට හානියක් එමඟින් කරන්න උත්සහ කරනවා නම් අපි ඒ ගැන විමසිලිමත් වෙනවා. එවැනි දෙයක් සිදුවෙනවා නම් පොලිසිය දැනුවත් කිරීම ජනතාවගේ වහකීමක්," ඔහු පැවසුවේ ය.

මේ අතර මෙම දේශන පැවැත්වූ පුද්ගලයාගේ අනුගාමිකයන්යැ යි පැවසෙන කණ්ඩායමක් ජනවාරි 04 දින මාළඹේ පොලිසියට ද කැඳවා තිබුණි.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ දේශනවලට සහභාගී වූ යම් අයෙක් හඳුනන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ය.

මෙවැනි සියදිවි නසාගැනීම් සිදුවන්නේ ඇයි?

ආගමික විශ්වාසයක් මත සිදුකරන ලදැ යි දැනට පොලිසිය විසින් සැක පළ කරනු ලබන මෙම සියදිවි නසාගැනීමේ සිදුවීම්වල මනෝ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරගැනීමට බීබීසී සිංහල විසින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අසංක බුලත්වත්තගෙන් විමසීමක් සිදු කරන ලදී.

එහි දී ආචාර්යවරයා ප්‍රකාශ කළේ මෙම හුදෙකලා සිදුවීමට අදාළව අධ්‍යයනයක් නොකර නිශ්චිත හේතු පැහැදිලි කිරීමක් සිදු කරන්නට නොහැකි නමුත්, මෙම සියදිවි නසාගත් පුද්ගලයන් විෂාදයට ගොදුරු වී සිටියේ නම් ඔවුන් සියදිවි නසාගැනීමට එය ද හේතුවක් වන්නට ඇති බව යි.

"යම් ආගමික හෝ විශ්වාසයක් සම්බන්ධයෙන් අනුගාමිකයන් අතර අන්ධ භක්තියක් තබාගන්න දේශන පවත්වන කෙනා යම් යම් ආකල්ප සහ කරුණු උගන්වලා තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දි විෂාදයට ගොදුරු වුණ අය සිටියොත් ඒ අය මේ වගේ දෙයක් අහලා සියදිවි නසාගැනීමකට පෙළැඹෙන්න ඉඩක් තිබෙනවා."

කෙසේ නමුත් ආචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ මනෝභාවයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමෙන් ඒ සඳහා ආගමික විශ්වාසයක් බලපා තිබේ ද යන්න සොයාබැලීම සිදු කළ යුතු බව යි.

'මෙය විශේෂ පෞරුෂත්ව ප්‍රශ්නයක්'

මෙවැනි සිදුවීම් බොහෝවිට සිදුවන්නේ පෞරුෂත්ව ප්‍රශ්නයක් මත බව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝචිකිත්සක වෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

"ලෝකයේ හැමතැනකම වගේ මෙවැනි අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් සිටිය හැකියි. මෙවැනි සිදුවීම් දෙආකාරයකට සිදුවෙනවා. එකක්, පුද්ගලික මනෝභාවයන් මත මෙවැනි දේට යොමුවීම. අනෙක් කාරණය, සමාජයෙන් එල්ල වන පීඩනය නිසා මෙවැනි දේට යොමු වීම. මෙවැනි දේට යොමුවෙන හෝ ගොදුරු වෙන පුද්ගලයන් බොහෝ වෙලාවට විෂාදය වගේ විවිධ මානසික රෝගවලින් පෙළෙන, සමාජයට වෛර කරන, ළමා කාලයේ දි හෝ තමාගේ ජීවිත කාලය තුළ මුහුණදුන් යම් කම්පනසහගත අත්දැකීමක් නිසා පීඩාවෙන් ඉන්න අය," වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

එවැනි පුද්ගලයන්ගේ පෞරුෂත්ව ලක්ෂණ සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙසේ පැහැදිලි කළේ ය: "මේ විදිහට අන්තවාදී දේශන මඟින් සියදිවි නසාගැනීම්වලට අනුබල දෙන අයට තිබෙන පෞරුෂත්වය අපි හඳුන්වන්නේ 'පරපීඩා මායාකාරී පෞරුෂත්ව ලක්ෂණ' (Paranoid schizoid personality) හැටියට යි."

"මෙවැනි මානසික තත්ත්වයක සිටින පුද්ගලයන්ට තමාට සියදිවි නසාගන්න හෝ තමා සියදිවි නසාගන්න ගමන් අනෙකුත් අයගේත් දිවිතොර කරන්න අදහසක් එන්න පුළුවන්. නමුත් ඒ අදහස ඔවුන් පිළිගන්න සාරධර්මවලට හෝ ආගමික විශ්වාසවලට පටහැණියි. එතකොට මේ අයට තමාගෙ අදහස් සහ තමා විශ්වාස කරන දේවල් අතර පරස්පරයක් ඇතිවෙනවා. මනෝවිද්‍යාවේ දී එය 'සංජානන පරස්පරය' (Cognitive dissonance) කියා හඳුන්වනවා. එතැනදි මේ අය සියදිවි නසාගැනීම හෝ ඝාතනය හෝ සාධාරණීකරණය කරන නව මතවාදයක් ගොඩනගාගැනීම සිදුකරනවා."

සියදිවි නසාගතහොත් මීළඟ ආත්මය යහපත් වන්නේයැ යි හෝ එලෙස සිදුකිරීමෙන් මීළඟ ආත්මයේ දී සැපවත් ජීවිතයක් ගත කරන්නට ලැබේයැ යි විශ්වාස කරන මතවාදයන් එවැනි ඒවා බව වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

"බොහෝවිට මේ අය ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් විදිහට. එවැනි කණ්ඩායම්වල නායකයන්ට අනෙක් අය ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට කතා කරන්න වගේ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ මානසික පීඩනයන්ගෙන් ඉන්න අයව එවැනි අය පහසුවෙන් පොළඹවා ගන්නවා. අවසානයෙ දී සිදුවෙන්නේ තමාගේ වගේම අනෙක් අයගෙත් ජීවිත නැතිවෙන එක. එවැනි සිදුවීම් තමයි ලෝකයේ විවිධ කාලවලදී සමූහ දිවිනසාගැනීම් විදිහට බොහෝවිට වාර්තා වෙන්නේ."

වෛද්‍යවරයා පවසන්නේ මෙවැනි කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් දන්නේ නම් වහාම පොලිසියට දැනුම් දීම හා මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

"මෙවැනි මතවාදයන්වලට ගොදුරු වුණ මුල් අදියරේ අයට අපි ප්‍රතිකාර කරලා තිබෙනවා. නමුත් කණගාටුවට කාරණය තමයි ඒවගේ දේවල් හෙළිවෙන්නෙත් මේ මෙවැනි ව්‍යයසනයක් වුණාට පස්සෙයි."

අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909

බීබීසී සිංහල

ලංකාවේ නිල සංචිත තවදුරටත් ශක්තිමත් !

2023 වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඊට අනුව ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ.

චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද මෙයට ඇතුළත් වූ අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වෙන බව ද මහ බැංකුව නිවේදනය සඳහන් කරයි.

පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා !

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

2023 වසරේ දී අප විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට කටයුතු කළා. පැවති විදුලිබල පනතේ අඩුපාඩු සකස් කර පාරිභෝගිකයන්හට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයේ නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාව සහ නියාමනයට අදාළ කරුණු නව පනතට ඇතුලත් කරමින් තිබෙනවා.

ඒ වගේම විදුලිබල උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 70%ක විදුලිබලයක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ඉලක්ක කරමින් ජනන සැලැස්ම සකසා තිබෙනවා. එම සැලැස්මට අනුව 2024 වසරේ දී අප මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම සූර්ය පැනල ඉදිකිරීම අප අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා කඩිනම් සැලැසුමක් ක්‍රි යාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා. මන්නාරම, පුනරීන් සහ හම්බන්තොට ප්‍රදේශ සඳහා විශාල ව්‍යාපෘති රැසක් ජනන සැලැස්මට එක් කර තිබෙනවා.

එමෙන්ම ජලවිදුලිය, සූර්ය බලය සහ සුළං බලය භාවිතා කරමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර විදුලි බිල තවත් අඩු කිරීම අපගේ අරමුණයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබෙනවා. මේ මාසය අවසන් වීමට පෙර හෝ ලබන මස මුල් සතියට පෙර විදුලි බිල අඩුකිරීමට කටයුතු කරනවා. ඒ වගේම 2024 වර්ෂයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක සඳහා ගමන් කිරීම අපගේ අරමුණයි.

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙනවා.ඒ වගේම සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිතයි. විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මකයි.

ජනාධිපති අරමුදලින් දෙන වෛද්‍යාධාර දීමනා 100%කින් ඉහළට !

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මකය.

දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ. එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ.

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර හා පසු පිටතින් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

මේ අතර 2023 වසරේදී ද ජනතාව වෙනුවෙන් කඩිනම් සහ පුළුල් සේවාවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල කටයුතු කළ බව එහි ලේකම් සරත් කුමාර පැවසීය.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා ගෙවන ලද මුදල රුපියල් මිලියන 844.7කි.

එසේම 2022 වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා සහනයක් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 30 දෙනෙකු බැගින් දිවයින පුරා අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් තෝරාගෙන මසකට රුපියල් 5000 බැගින් මාස 24ක් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඒ අනුව සෑම මසකම රාජකාරී සිදු කරන පළමු දින දෙක තුළ එම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඒ බව කෙටි පණිවිඩයක් (SMS) මගින් දැනුම් දීමට පියවර ගෙන තිබේ. දැනට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මාසික වාරික 10ක් ලබාදී ඇත.

එසේම මෙවර අ.පො.ස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 50 දෙනෙකු බැගින් අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන මසකට රුපියල් 6000 බැගින් මාස 24ක් පුරාවට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

මේ අතර පසුගිය වර්ෂ දෙකෙහි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ දිවයිනේ ඉහළ සමාර්ථ ලබාගත් සිසුන් දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් තෝරාගෙන එම සිසුන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 31.5ක මූල්‍යමය ආධාර ලබාදී තිබේ.

දිළිඳු බවෙන් පෙළෙන එහෙත් ස්වයං රැකියාවක් සිදු කළ හැකි පවුල් ඒකක නගා සිටුවීම සඳහා ජනාධිපති අරමුදල විසින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය. එසේම දිළිදු බවෙන් පෙළෙන එහෙත් ස්වයං රැකියාවක් හෝ වෙනත් කාර්යයක් සිදු කළ නොහැකි පවුල් ඒකක හඳුනාගෙන ඔවුන් සඳහා මාසිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන් 2023 වසරේදී සාර්ථකව ක්‍රියාවට නංවන ලදී. ආගමික සහජීවනය පවත්වාගෙන යාම සඳහා මෙන්ම ආගමික කටයුතු සහ වෙනත් සමාජීය ක්‍රියාකාරකම් වෙනුවෙන් ද මූල්‍යමය දායකත්වයක් සපයා තිබේ.

තවද වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද අතර නිසි පරිදි සම්පූර්ණ කර අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත භාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකව පවතී.

එමෙන්ම සැත්කම්/ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ. ඒ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල්වලින් පිටව යාමේදී අරමුදල විසින් ගෙවීමට එකඟ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් අඩු කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව රෝගියෙකු/ අයදුම්කරුවෙක් මෙම කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එක් වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම ප්‍රමාණවත් වන අතර කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට ආශිර්වාද පළ කරමින් පිරිත් සජ්ජායනාවක්ද පසුගියදා එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවා සිදු කළ කෙටි අනුශාසනාවෙන් අනතුරුව ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය ආරම්භ විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල රුවන් වීරකෝන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (4) පැවසීය.

ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගයට එක්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පත්කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (03) ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයට රැස්වුණු සියලු දිස්ත්‍රික් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් තම සහය තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් ලබා දෙන බව ප්‍රකාශ කොට සිටි අතර අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන බවට ඒකමතිකව තීන්දු කර තිබේ.

ඊට අමතරව ගාලු දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප නායකයා ලෙස සජින් ද වාස් ගුණවර්ධන පත්කර ඇත.

 

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් මහජන පැමිණිලි කවුළුවක්

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් මහජන පැමිණිලි කවුළුවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකිය.

එසේම, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑලෙන් සහ දුරකථන 0112 444 444 ඔස්සේ ඕනෑම අයෙකුට පහසුවෙන් පැමිණිලි කිරීමට ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කර ඇත.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර කඩිනමින් සිදු කරයි.

ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය, ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කර ඒවා වැලැක්වීමට ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය කටයුතු කරයි.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ මහජන පැමිණිලි කවුළුව ස්ථාපිත කිරීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙන්ම, වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ද එක්ව සිටියේය.

2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා 

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.   
 
පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    
 
ඉන්දියාව ලූනූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටට ද බලපා  තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුළ ඉන්දියාව සිය ලූණු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග එම ගැටලුව විසදෙන බවත් සඳහන් කර සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙසේද පැවසීය. 
 
2024 වර්ෂය අප ආරම්භ කරන්නේ ධන ආර්ථික වර්ධන වේගයක් සමගයි. ඒ සමග මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව සඳහන් කළ යුතුයි. පවතින බදු ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදී ජනතාවට තවත් සහන රැසක් ලැබෙන බවට ද අපට සහතික විය හැකියි. 
 
ඒ වගේම රාජ්‍ය ආදයම ඉහළ නංවාගැනීම වෙනුවෙන් බදු අයකිරීම වැරදි බව ඇතැමුන් පවසනවා. නමුත් එවැනි ප්‍රකාශ සිදුකරන්නන් රටේ ආර්ථිකය වර්ධනය වනවාට එරෙහි වන්නන් බව පැවසිය යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන කරන්නේ රජයට ලැබෙන බදු ආදායමෙන් නම් ඒ සඳහා සහයෝගය දැක්වීම සමස්ත ජනතාවගේම වගකීමක් වනවා.  
 
තවද ඇතැමුන් බදුබර වැඩි බව පවසමින් රට හැර යනවා. නමුත් මෙරට බදු අය කිරීම සිදු කෙරෙන්නේ 12% ක මට්ටමකින්. එහෙත් රට හැර යන පිරිස් ආකර්ශනය වී ඇති රටවල බදු ප්‍රතිශතය 38% සිට 43%ක පමණ මට්ටමක ඉහළ අගයක පවතිනවා. එම රටවල්වල් සංවර්ධනය වී තිබෙන්නේ එවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසයි. 
 
ඉන්දියාව ලූනු අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය අපේ රටට ද බලපා  තිබෙනවා. නමුත් ඉන්දියාව ඊළඟ සති දෙක තුළ ලූනු අපනයන සීමා ලිහිල් කිරීමෙන් පසු එම ගැටළුව විසදෙන බව ද සඳහන් කළ යුතුයි.   
 
කෙසේ වෙතත් අපට සිදුව ඇති හානිය වන්නේ, වැට් ඇතුළු බදු සංශෝධන සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොකොට ඇතැම් පාර්ශ්ව විවිධ ක්‍රම ඔස්සේ අනිසි ප්‍රචාරයක් ලබාදීමයි. මේ තත්ත්වය තුළ අතරමැදියන් සහ ඇතැම් සමාගම් හිතුමතේ මිල ගණන් ඉහළ දමා ජනතාවට පීඩනයක් එල්ල කර  තිබෙනවා. 
 
2024 වසරේ මුල් කාර්තුව  තුළ ලංකා සතොසට නවතම මෙගා (mega) අලෙවිසැල් 05ක් හා සාමාන්‍ය ලංකා සතොස අලෙවිසැල් 10ක් ආරම්භ කිරීමට යෝජිතයි. ඒ වගේම මෙම වසර අවසාන වන විට  ලංකා සතොස අලෙවිසල් ජාලය අලෙවිසල් 500ක් දක්වා පුළුල් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
 
සමස්ත අලෙවිසැල් ජාලය අලෙවිසැල් 500 දක්වා වර්ධනය කිරීම තුළින් පාරිභෝගිකයන් සඳහා හිඟයකින් තොරව රජයේ සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම මෙම අලෙවිසල් ජාලය ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛ පරමාර්ථය වනවා. 
 
තවද, 2024 වසරේදී ලංකා සතොස සමාගමේ මුළු ආදායම  රුපියල් බිලියන 70ක ආසන්නයකට ගෙන ඒමටත්, එමගින් සමස්ත මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ගෙන ඒමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ ආයතනයේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 500ක් දක්වා සුරක්ෂිත කර ගැනීමට ද සැලසුම් කොට තිබෙනවා.
 
2024 වර්ෂය තුළ පාරිභෝගික අධිකාරිය සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීමට ද බලාපොරොත්තු වනවා.
 එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පරිගණක ගතකර ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීම මෙම වසරේ පළමු මාස හතර තුළ සිදුකරන බව ද සඳහන් කළ යුතුයි. 
 
 
 

ශාන්ගේ පිමට කුලයත් ගෑවෙයි !

ශාන් විජයලාල් සිල්වා සමගි ජනබලවේගයට එක්වීම, ගාල්ල දේශපාලනයේ චිත්‍රය මුළුමනින්ම වෙනස් කිරීමට හේතු වන්නේය.

2020 මහා මැතිවරණයේ දී ගාල්ලේ වෙරළබඩ කලාපයේ එකම ආසනයකින්වත් (අම්බලන්ගොඩ, රත්ගම, බලපිටිය, හබරාදූව, බෙන්තර හා කරන්දෙණිය) සජබට 18% ඉක්මන ඡන්ද ප්‍රමාණයක් ලැබී නැත. අමු සිංහලෙන් කියන්නේ නම් ගාල්ලේ කරාව සහ සලාගම කුල ඡන්දයක් සජබට තිබුණේම නැති තරම්ය.

පොහොට්ටුවෙන් ඡන්දය දිනා සජබයට ගිය ගාල්ලේ දෙවැනියා ශාන් ය. පළමුවැනියා චන්දිම වීරක්කොඩි ය. මනාප ලැයිස්තුවේ ඊලඟට ඉන්න හබරාදූවේ දිල්ශාන් ගුණසේකර ට පාර්ලිමේන්තු යන්න වැඩි උනන්දුවක් නැති නිසා පක්ෂ මාරුව ගැන තවම අධිකරණයේ නඩු පවරා නැත.

ගාල්ලේ සජබ දේශපාලනය බලය තිබුණේ ගොවිගමට ය. මනූෂ නානායක්කාර සජබ හැර දමා යාම නිසා දැන් ගයන්න කරුණාතිලක එහි එකම සජබ මන්ත්‍රීවරයා ය. පක්ෂයේ ඊලඟ ප්‍රබලම සංවිධායකවරුන් තිදෙනා මඟුලට මරණයට හැමදා සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ සහ විජේපාල හෙට්ටිආරච්චි ය. දැන් මේ සජබ ප්‍රධාන චරිත හතරට අමතරව ශාන් ද, චන්දිම ද සිටී. බද්දේගමින් ආනන්ද අබේවික්‍රම හා කනිෂ්ක ලැනරෝල් වන බැවින්, තරඟකරුවන් අටකි.

ලංකා දේශපාලනයේ කුලය තරම් බලවත් සාධකයක් තවත් නැත. 1946 සීමා නිර්ණයේ දී අම්බන්ගොඩ, බලපිටිය ආසන දෙක හැදුණේම කරාව - සලාගම කුල පදනමිනි. සරළව ම, සිල්වා ලා සහ සොයිසා ලා දෙන්නෙකුට පාර්ලිමේන්තු එන්නට ය. රත්ගම හා 1976 දී කරන්දෙණිය ආසනය ඇතිකරන්නේම කුල පදනමිනි. ගොවිගම කුලය පැත්තකට කළ විට, කරාව හා සලාගම කුල දෙක ගාල්ලේ හරි හරියට සිටී. වහුම්පුර කුලයට දැන් ගාල්ලේ නායකයෙකු දැන් නැති තරම්ය. මොහාන් සිල්වා සලාගම කුල ඡන්ද පදනමට බලපිටිය, රත්ගම, හබරාදූව හා කරන්දෙණියේ දී බලපැම් කරයි.

ගාල්ලේ කරාවේ නායකයින් අතර ශාන් විජයලාල් සිල්වාට දෙවන පෙල විකල්පයක් හෝ විය හැකිවන්නේ අම්බලන්ගොඩ අනුර ප්‍රදීප් හා පුෂ්පලාල් කුමාරසිංහ ය. කරාව - සලාව (අම්බලන්ගොඩ - බලපිටිය) කුල නිර්ණායකයට විලියම් සිල්වා හා ආතර් සොයිසා (1947), ඉයන් ද සොයිසා හා විලියම් සිල්වා (1952), ඇම්.පී. ද සොයිසා හා විලියම් ද සිල්වා (1956), 1960 මාර්තු ලක්ෂ්මන් ද සිල්වා (බලපිටිය) හා විලියම් ද සිල්වා (අම්බලන්ගොඩ) උදාහරණය.

අම්බලන්ගොඩ පී. ද ඇස්.කුලරත්න 1960 ජූනි මැතිවරණයෙන් ද, ඇම්.එච්.සද්ධාසේන (1965), අජිත් සිල්වා ගේ මව වූ ඇල්.සී.ද සිල්වා (1970), රයිටර් තිලකසේකර (1977), බුද්ධික කුරුකුලරත්න (1989) සජින් වාස් ගුණවර්ධන (2010) හා ශාන් විජයලාල් ද සිල්වා (2020) කරාව කුලයෙන් පාර්ලිමේන්තු ආවේය.

මනාප ක්‍රමය යටතේ 1989 සිට මේ දක්වාම කරාව කුලයෙන් ගාල්ලෙන් එජාපයට තේරී පත් වූවේ බුද්ධික කුරුකුලරත්න පමණී. 89 ජවිපෙ වෙඩි ප්‍රහාර මැද ඡන්දය කළ අම්බලන්ගොඩ බුද්ධික කරාවේ ඡන්ද ටික තමාට වැටෙන තැනට කළේ ඉතිහාසයේ ශුරතම කුල ඡන්ද මෙහෙයුමකි. 2010 දිනන්නට සජින් වාස් ගුණවර්ධන දිනන්නට මහින්ද රාජපක්ෂගේ බලය ද, යහමින් මුදල් ද තිබුනේ ය. වසර විස්සක් ශාන් ගාල්ල දේශපාලනයේ රැදෙන්නේ මෙවැනි පරිසරයක ය. (එවැනි බලයක් තිබූ අනෙක් පුද්ගලයා මෑතක දී නැසී ගිය විනී කාරියවසම් ය)

මේ තත්වයට ඓතිහාසික වූ හේතුවක් තිබේ. කරාව සහ සලාගම ඡන්ද ඉතිහාසය පුරා වැඩිපුරම වැටුනේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂවලට ය. නගර සභාවක පළමු සභාපතිනිය එල්.සී ද සිල්වා (ල.ස.ස.ප. 1969), ශ්‍රීලකොප යේ එම්.ජී.මෙන්ඩිස්, පාර්ලිමේන්තුවට පත් නොවූ විනී කාරියවසම් මෙයට උදාහරණ ය. ඉතිහාසය පුරාම කරාව නායකයින් සජබ/එජාපයෙන් ඉදිරිපත් කළ නමුත් මනාප ක්‍රමය යටතේ ඔවුන් දිනා නැත! මාගේ මතකය නිවැරදි නම්, එජාපයේ නන්දිමිත්‍ර ද සොයියා ගෙන් පසුව සලාගම අයෙකු ද සජබ/එජාප මනාපයෙන් ගාල්ලෙන් පාර්ලිමේන්තු ආවේ නැත!!
මේ සියළු කතා කිවේ, ඊලඟ මහා මැතිවරණයේ ගාල්ලේ මනාප ප්‍රතිඑලය ගැන චිත්‍රයක් මවා ගැනීමට ය.

මෙය දේශපාලන කතාවක් මිස කුල කතාවක් නොවේ. සීමා නිර්ණය ගැන අශෝක පීරිස් අනු කමිටුව සමඟ මාගේ අත්දැකීම නැම්, ජාතිය ආගම තරමටම කුල සාධකය ද, ඡන්ද මැෂින් ය. ලංකාවේ දිස්ත්‍රික්ක නවයක (9) කුලය තීරණාත්මක දේශපාලන සාධකයයි. එයට කොළඹ දිස්ත්‍රික්කය ද ඇතුලත් ය. වහුම්පුර කුලයට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් තිබූ බවත්, එහි සලකුණ පවා එම කුල රස්සාවට සෘජුව බැඳී ඇත.

1977 දක්වා කේවල ඡන්ද ක්‍රමය යටතේ ගාල්ලේ ආසන 10 න් පහක් ගොවිගම වන විට ආසන පහක් ගොවිගම නොවන කුලයේ ය. සමානුපාතික ක්‍රමයේ දී ආසන 8 ක් ගොවිගම කුලයට ලැබෙන විට ආසන දෙකක් පමණක් ගොවිගම නොවන කුලයට ලැබෙන්නේය. ගාල්ලේ කුල බලපෑමේ පරිමාව පරිනාමය වී ඇත්තේ එලෙසය! (අශෝක පීරිස් සීමා නිර්ණය කමිටුවේ රජයේ හෝ දේශපාලන නියෝජිතයින් අතර එකම ගොවිගම නියෝජනයක් හෝ තිබුණේ නැත. ගාල්ලේ සීමා නිර්ණයේ දී තමන්ට ගොවිගම කුලයෙන් සිදුවන පීඩා සිදුව ඇතැයි ග්‍රාමීය ප්‍රජා නායකයින් කරුණු ඉදිරිපත් කර තිබූ ආකාරය මා පුදුමයට පත් කළේය!)

චන්ද්‍රිකා සමයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දුන්නේ ද කුලය අනුවය. අජන්ත සොයිසා, මහින්ද අමරවීර, ලොකු අතුල හා ශාන් විජයලාල් සිල්වා පළමු ලැයිස්තුවේ සිටියේ ය. දෙවැනි ලැයිස්තුවෙන් ශාන් ගේ නම වෙනුවට වී.පුත්‍රසිගාමනී ගේ නම ගැසට් විය.

ගීතා, රමේෂ්, ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකෝරල, මොහාන් සිල්වා දැන් එක කඳවුරකය. එජාපයේ වජිර අබේවර්ධන හා මනූෂ නානායක්කාර දෙදෙනා ද ඒ කඳවුරේමය. චන්දිම හා ශාන් දැන් ගයන්ත කරුණාතිලක සමඟ අනෙක් කඳවුරේ ය.
පොහොට්ටුවට ගාල්ලේ එකම මන්ත්‍රීවරයෙකු හෝ ඉතිරි නොවන්නේ නම් එය ද පුදුම විය යුතු නැත.

ගාල්ල දිස්ත්‍රික්යේ මේ වසරේ පැවැත්වෙන මහා මැතිවරණයකින් තේරීපත්වන මන්ත්‍රීවරුන් නවය (9) කි. සජබ ජයගන්නා මැතිවරණයක වු ව සජබට බෝනස් ආසනයද ඇතුළුව ආසන හතකරට වඩා ලැබිය නොහැකිය. ගයන්ත, හෙට්ටිආරච්චි, බන්දුලාල්, පියසේන ගමගේ, චන්දිම, අබේවික්‍රම හා ශාන්අතරින් හතරකි. ඉහළම සම්භාවිතාවය ඇත්තේ ආසන තුන (3) කි. ප්‍රශ්නය ඇත්තේ මෙයින් කැපී යන්නේ කවුද කියන එකය! ඔවුන්ගේ දේශපාලනය නතර වන්නේ කොතැනද කියන එකය!! (මෙම ගණනය ඔබට රුචි නොවේ නම්, ජනතා විමුක්ති පෙරමුණ ගාල්ලේ ලැබෙන ආසන සංඛ්‍යාව ට නිසි බර තබා ඉතිරිය පක්ෂ අනුව බෙදීම අනුමාන කර ගණනයක් කමෙන්ට් කළ හැකිය)
අනෙක් අතට, මුස්ලිම් ඡන්ද පදනමට වඩා ගාල්ලේ කුලයට බර තැබීමේ තාර්කික බවක් තිබේ ද? යන්න ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක දී තීරණාත්මක වේ.

කුලය මත ම නොවන නමුත්, පක්ෂ මාරුව නිසා කුරුණෑගල, මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර, අනුරාධපුර, මාතර දිස්ත්‍රික්කවල ද දේශපාලන චිත්‍රය වෙනස් විය හැකිය. කුල සාධකය මත පක්ෂ මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමටම කොළඹ ද ඇතුළුව දිස්ත්‍රික්ක නවයක පිල් මාරුවීම් සිදුවන්නේය.

ශාන් විජයලාල් සිල්වා පක්ෂ මාරුවෙන් දිනා ඇත. ජයග්‍රාහකයෙක් ඇති තැන පරාජිතයෙක්ද සිටිය යුතුය. පරදින්නේ කවුද යන්න දකින්නට මහා මැතිවරණය එන තුරුම සිටිය යුතු නැත!

රජිත් කීර්ති තෙන්නකෝන් ගේ ෆේස්බුක් පිටුවෙනි

බදු අංකයක් නැත්නම් පනස් දාහක් ලෑස්ති කරගෙන ඉන්න වෙයි !

බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්යය කිරීමට රජය පියවර ගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

"රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ."

"බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුණත් ඒ සියලුදෙනා බදු ගෙවිය යුතුයි යන්න ඉන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. දැනට මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණයි බද්දක් ගෙවන්න වෙන්නේ."

පකිස්ථාන ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම් ජනපති හමු වෙයි !

මෙරටට පැමිණ සිටින පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී අද (03) පැවැත්වුණු ශ්‍රී ලංකා - පාකිස්ථාන සිව්වන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගි වීමට ඒ මහතා දිවයිනට පැමිණියේය.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමග කෙටි සාකච්ඡාවකට එක් විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද හමුවී සාකච්ඡාවක නිරත විය.

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බවත්, දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

අසීරුතා හමුවේ ද ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදීමට ඉදිරියේද කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්විණි.

මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31ක් යටතේ අනු ක්ෂේත්‍ර 66ක් නියෝජනය කරමින් මෙම තරගය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ලැබුණ නිර්මාණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරා ගනු ලැබිණි.

මෙම ජයග්‍රාහකයන් ස්වර්ණ සහ රජත සම්මානවලින් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන වෙත කුසලතා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

ලෝක ශිල්ප සභා තරගාවලිය 2023හි ජයග්‍රාහී ශිල්පීන් දෙදෙනා වෙත සහ ස්වර්ණ සම්මාන ලාභීන් දෙදෙනා වෙත ත්‍යාග මුදල්, සහතික පත් හා කුසලාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද මෙහිදී විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

මේ අතර “ශිල්ප අභිමානී 2023” නිර්මාණ තරගයේ දී ජයග්‍රහණය කළ නිර්මාණ නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ජයග්‍රාහී කලාශිල්පීන් අගයනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

2023 වසරේදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූවන් හදුනාගෙන ඔවුන් සම්මානයෙක් පිදුම් ලැබීම මෙහිදී සිදු කරනු ලැබුවා. පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති තත්ත්වයන් හේතුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුණා. කෙසේ හෝ අද මෙම ප්‍රදර්ශනය පුරාවට දක්නට ලැබෙන්නේ අපේ ශිල්පින්ගේ දක්ෂතා බව කිවයුතුයි.

මෙම දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි. අපට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මෝස්තර පමණක් නොවෙයි, බටහිර මෝස්තරවලින්ද අප ප්‍රයෝජන ලබාගත යුතුයි. ඉන්දියාව දැනටමත් එම කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඒ පිළිබඳ අපද අවධානය යොමු කළයුතුයි. මෙම සියලු වැඩසටහන් තුළින් අපේක්ෂා කරන්නේ රටේ ආදායම ඉහළ නංවා ගැනීමයි.

මෙහිදී අප අපනයන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළයුතුව තිබෙනවා. අපනයන කර්මාන්තයෙන් ඈත්වී කටයුතු කිරීම අද අපට රටක් ලෙස අසිරු කාර්යයක්. ඒ වෙනුවෙන් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉදිරියේ දී අවශ්‍ය නම් විදේශ තාක්ෂණ දැනුම ලබා ගැනීමට වගේම තම හැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටින බව කිවයුතුයි.

අප පසුකළේ ඉතා අසීරු කාලයක්. එම අසීරු කාලය තුළද කෙසේ හෝ රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඒ පිළිබඳ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. 2022 වර්ෂයේ අපේ රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටිලයි තිබුණේ. සංචාරකයින් ලංකාවට පැමිණිම නතර වී තිබුණා. මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය රදා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි.

රටේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව අපේ ආර්ථිකය නැවත සකස් කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා.
2022 වසරේ ණය ගෙවීමට නොහැකි බව අප කියා සිටියා. ඒ අනුව ඉදිරියට යාම සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමට අපට සිදු වුණා. ඒ නිසා තමයි අලාභ ලබන අංශ සියල්ලම ලාභ ලබන අංශ බවට පත්කිරීමටත්, ඇතැම් සහන අඩු කිරීමටත් අපට සිදු වුණේ.


ඒ අනුව පසුගිය වසරේ තුන්වන සහ හතරවන කාර්තුවලදී තරමක ආර්ථික දියුණුවක් ලබා ගැනීමට අපට හැකි වුණා. අප දැන් පසුගිය වසරේ අවසන් කාර්තු 02හි ප්‍රගතිය සහ මෙම වසරේ කාර්තු 04හි ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කර මෙම වසරේ 2% ධන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගතහොත් එය ඊළග වසරේදී 5%ක් දක්වා ඉහළ නංවාගත හැකියි. එසේනම් මෙම ආර්ථික වර්ධනය සමඟ අප ඉදිරියට යා යුතුයි. එහිදී අප එකඟත්වයක් ඇතිව කටයුතු කිරීමට අවශ්‍යයි.

අපට තිබු විශාලම ප්‍රශ්නයක් තමයි අප සෑමවිටම මුදල් මුද්‍රණය කිරීම. ඒ වගේම බැංකුවලින් ණය ලබා ගැනීම. එයින් සිදු වුණේ රුපියලේ අගය පහළ යාමයි. රජයේ අවශ්‍යතාවලට බැංකුවලින් ණය අරගෙන රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුණා. ඒ නිසා බැංකුවලින් ණය ලබා නොගන්න බවට සහ මුදල් මුද්‍රණය නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවිමට අපට සිදු වුණා.

එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනිමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්. දළ ජාතික නිෂ්පාදනයෙන් 15%ක ආදායමක් ලබා ගත හැකිනම් අපට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ශක්තියක් තිබෙනවා.

මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නම් සහ බැංකුවලින් ණය ලබාගත නොහැකි නම් අපට තිබෙන එකම මාර්ගය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමයි. එහිදි වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. ඒ අනුව 15%ක්ව තිබු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කළා. ඒ වගේම වැට් බදුවලින් ඉවත්ව තිබු භාණ්ඩ ගණනාවක් වැට් බදු යටතට පත් කළා. එමඟින් දැන් අපට අවශ්‍ය ආදායම ලැබෙනවා. එම නිසා රුපියල ශක්තිමත් වෙනවා. අසීරුවෙන් වුවත් එම බර දරා ගැනීමට අප සියලුදෙනාට සිදුවී තිබෙනවා. අමාරුවෙන් හරි අපි යා යුත්තේ මෙම මාර්ගයෙයි. එයින් ඉවත්වුණොත් අපට අනාගතයක් නැහැ.

ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම සැලසීමට අප කටයුතු කර තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දිමනාවක් ලබාදීම, අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීම, ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වැනි සහන ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් සහන ලබාදීමට කටයුතු කරනවා.

මෙම මාර්ගය හැර අපට වෙනත් මාර්ගයක් නැහැ. ඇතැම් අය කියනවා මුදල් මුද්‍රණය කරන්න, බැංකු ණය ලබා ගන්න කියලා. එය සිදු කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැහැ. මේ යන මාර්ගයේ දුෂ්කරතා තිබුණත් වසර අවසානයේ රුපියල ශක්තිමත් වෙනවා. වසරින් වසර එම අගය ඉහළ යනවා.

තමන්ට එම වටිනාකම ලැබෙනවා. නමුත් ඉන් බැහැරව කටයුතු කළහොත් රුපියලේ අගය නැවත පහළ යනවා. සහන දෙනවා කියන්නේ රුපියල අවප්‍රමාණය කිරීම නොවෙයි. එය අපට කරන්න බැහැ.

ඒ නිසා මෙය ජනප්‍රිය වැඩපිළිවෙළක් නොවෙයි. මේ හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හැර රට ගොඩගැනීමේ වෙනත් වැඩපිළිවෙළක් යමෙකුට තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නේ කෙසේද කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. අපට ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටිණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ.

අසීරුකම් මධ්‍යයේ වුවද දැන් රට දියුණු වෙමින් පවතිනවා. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් ඇති වුණා. ඒ අනුව එම ක්ෂේත්‍රයේ කටයුතු කරන අයගේ ගැටළු විසඳෙමින් තිබෙනවා. මේ අන්දමට ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්‍රවලද ගැටලු නිරාකරණය වෙනවා.

කෙසේ හෝ මෙම අවස්ථාවේ රුපියල අවප්‍රමාණය කිරීමට මම කැමති නැහැ. යුක්‍රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි.

දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.

රුපියල ශක්තිමත් කරගෙන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ අප ඉදිරියට ගියහොත් අපට ඉක්මණින් දියුණුවක් ලබා ගැනිමට හැකියාව තිබෙනවා. එහිදී මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයත් විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත්කළ යුතු අතර ඊට අවශ්‍ය සහය ලබාදිමට රජය කටයුතු කරන බව ද මම සිහිපත් කිරීමට කැමතියි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

වසර විස්සක් තිස්සේ මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයේ නිරතව සිටින පිරිස් ඇගයීමට මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලැබුවා. රට අර්බුදයකට ලක්ව තිබූ පසුබිමක වුවද නව වසරේ නැවුම් බලාපොරොත්තු සහිතව මේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම මහත් භාග්‍යයක් කොට සලකනවා. රජයේ සහ සම්ප්‍රදායික කර්මාන්ත කේෂ්ත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම මත හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය අද වන විට යම් පිබිදීමකට ලක්ව තිබෙනවා.
රට අර්බුදයකට ලක්ව තිබුණත් මේ කේෂ්ත්‍රයේ නිරතව සිටින කලාකරුවන් ඇගයීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම අපට මහත් ශක්තියක් බව කිවයුතුයි. පසුගිය අයවැයෙන් සාම්ප්‍රදායික කලාශිල්පීන්ට අවශ්‍ය කරන ණය පහසුකම් පවා ලබා දුන්නා. හස්ත කර්මාන්තයට ලෝකයේ මහත් ඉල්ලුමක් තිබෙනවා. 2024- 2025 වසර වන විට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රයෙන් රුපියල් බිලියනයක් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම කර්මාන්තකරුවන් පසුගිය කාලයේ අර්බුද රැසකට මුහුණ දී තිබුණා. ඔවුන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම බාධාවක් වී තිබුණා. නමුත් අපි කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සොයා දීමට කටයුතු කළා. අද වන විට සාම්ප්‍රදායික කර්මාන්තය නව ප්‍රබෝධයකින් යුතුව ඉදිරියට යමින් තිබෙනවා. අප සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුව තිබෙනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ද, විදෙස් මහකොමසාරිස්වරු, තානාපතිවරු සහ අදාළ රේඛීය ආයතනවල සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාප සාමාජිකත්වය අරගෙන !

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල්.ආර් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන හමු වූ ඔහු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ ට සහාය පළ කරමින් මෙම දේශපාලන තීන්දුව ගත් බව සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි .

නිමල් ආර්. පීරිස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වෙයි.

ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක්

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේද සහාය ඇතිව බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාව, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු Zoom තාක්ෂණය ඔස්සේ මීට එක්ව සිටියහ.

Page 40 of 386