පුවත්

කටුනායක ගුවන් තොටේ සිට නව බස් සේවාවක්
කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 15) මෙම නව බස් රථ සේවාව ආරම්භ කර ඇත.
ලංකාවට පැමිණෙන විදේශීකයන් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් සිය බඩු බාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ කරා ගමන් කළ යුතු ය.
එම නිසා, ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම නව බස් රථ සේවාව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා ළඟා වීමට හැකි ය.
මෙම නව බස් සේවාව ක්‍රියාත්මක කර ඇත්තේ, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශය, පෞද්ගලික බස් රථ සමාගමක් විසිනි.
ඒ අනුව, මෙම නව සේවාව සඳහා සුඛෝපභෝගී බස් රථ 10ක් යොදවා ඇති අතර එක් ගමන් වාරයකට රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කරනු ලබයි.

ජනපතිවරණ සටනට අපේක්ෂකයන් 39 ක් නාමයෝජනා භාර දෙයි
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.
එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 දෙනා අතරින් 39 දෙනෙකු නාමයෝජනා භාර දීම සිදුවිය.
පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දෙනු ලැබීය.
ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ද අද දින නාමයෝජනා භාරම සිදු කළේය.
නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාම යෝජනා භාරදීම සිදුකළේය.
දිලිත් ජයවීර ,විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන අය ද නාමයෝජනා භාරදුන්හ.
නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
මෙහිදී නාමයෝජනා තුනක් වෙනුවෙන් විරෝධතා ප්‍රකාශයට පත් විය.
මේ අතර නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

තවත් පක්ෂ 2ක් ජනපතිගේ සහායට එක්වෙයි !
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක් වෙයි.
ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.
මෙරට ජන වාර්ගික ගැටලුව විසඳීමට නම් රට තුළ ආර්ථික සහ දේශපාලන ගැටලු විසඳීම අත්‍යාවශ්‍ය බව මෙහිදි පෙන්වා දුන් ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ කෙරෙහි තමන් තුළ විශ්වාසයක් ඇති බවත් එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවත් සඳහන් කළේය.
මෙරට ජනවාර්ගික ගැටලුව විසඳීමට අදාළව ජාතික කොංග්‍රසයේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
එසේම එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ද ප්‍රකාශ කරයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ ඇතුළු නියෝජිත පිරිසක් ද අද (14)ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ පිළිබඳ දැනුම් දුන්හ.
බිඳවැටුණු මෙරට ආර්ථිකය, නිතිය හා සාමය ස්ථාපිත කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කරන බවත්, මින් ඉදිරියට ද රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ නායකත්වය අවශ්‍ය බවත් සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ දි තම පක්ෂයේ අනුබද්ධ සංවිධාන සහ සමස්ත සාමාජිකත්වය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැපවි කටයුතුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනකට පක්ෂය දෙන්න අල්ලස් ඉල්ලු නඩේ ඇතුලේ !
සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිදුකළ පැමිණිල්ලකට අනුවය.
තමාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මූල්‍යමය අල්ලසක් ඉල්ලා සිටි බවට ජනක රත්නායක අද (14) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණි.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මත ජනක රත්නායක මහතා ඒ පක්ෂයේ අපේක්ෂකත්වය පිරිනැමීම සඳහා ලබාදෙන ලෙස පැවසූ රුපියල් කෝටි 03ක මුදලක් ද සමගින් අද පස්වරුවේ රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ තිබුණි.
ඒ අනුව වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි කාර්යාලයක් තුළදී ජනක රත්නායක ට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හමුවී තිබේ.
එහිදී අදාල මුදල ඔවුන් වෙත ලබාදීමත් සමග ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පක්ෂයේ ලේකම්වරයා වන සරත්චන්ද්‍ර වීරවර්ධන ඇතුළු පක්ෂයේ සාමාජිකයන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතර එම පක්ෂයෙන් 2015 වර්ෂයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නැමැත්තා ද සිටි බව පැවසෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජනක රත්නායක අද පෙරවරුවේ ඇප තැන්පත් කරනු ලැබුවේ ද එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනි.

රිෂාඩ් ,චම්පික , ඩිල්ෂාන් : තුන් දෙනාම සජිත්ට !
ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසන්නේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්ව මෙම තීන්දුව ගනුලැබූ බවයි.
එසේම එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීම අද (14) සිදුකෙරුණි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී. එම්. ඩිල්ෂාන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට ඉදිරිපත් ව ඇත.
ඔහුව සමගි ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර ඇත.

පුද්ගල ආදායම් බද්දට සහනයක්
පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති යෝජනාවත් සලකා බලමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පරාසය පුළුල් කිරීම සඳහා යෝජනා කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව, විද්වතුන් ඇතුළු මධ්‍යම පාන්තික ප්‍රජාව වෙත ප්‍රතිලාභ ගෙන දෙන බැවින් ඒ පිළිබඳ සිය අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය.
එමෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ “සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පරිවර්තනය කිරීම” යන තේමාව යටතේ ඊයේ (13) පස්වරුවේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.
මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
“මම මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ වැදගත් සාකච්ඡාවකට සභාගී වුණා. එහිදී අනාවරණය වූ ආකාරයට, ඉදිරියේදී ඔබට යම් සුභ ආරංචියක් අසන්නට ලැබෙනු ඇතියි. එය විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට රඳවා ගැනීමටද ඉවහල් වනු ඇති බව සඳහන් කළ යුතුයි.
අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර දෙක ඉතා දුෂ්කර කාල වකවානුවක් වුණා. අපගේ අමාත්‍යවරුන් පෙන්වූ දක්ෂතාව නිසා පළමු වසර තුළ අපට අර්බුදයෙන් මිදීම සඳහා මග සලසා ගැනීමට හැකිවුණා. අර්බුදයට ගොස් තිබු මෙරට ආර්ථිකය අප මුල සිට ගොඩනැගුවා. මේ වන විටත් අප නිල ණය හිමියන්ගේ කමිටුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතව සිටිනවා. එම ගිවිසුම්වල බොහෝ යෝජනා ඇතුළත් වෙනවා. ඒවායේ දැක්වෙන මිණුම් දඬු තුළ අප ක්‍රියා කළ යුතු අතර ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි.
නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු සමස්ත පාර්ශ්වකරුවන් 21ක් සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික මිණුම් දඬු පිළිබඳ සාකච්ඡා සඳහා අපට වසරක පමණ කාලයක් ගතවුණා. මෙම මිණුම් දඬු වෙනස් කළ නොහැකියි.
පළමුවෙන්ම, 2025-2032 වන විට අප 2.3% ක මූලික අයවැය අතිරික්තයක් පවත්වාගත යුතුයි. දැනට, අප සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක බැවින්, 2.3%ක අතිරික්තය ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් අපගේ අයවැය සකස් කළ යුතුයි. 2032 වසර වන විට රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%ක් දක්වා අඩු කළ යුතුයි. මේ වන විට එය පවතින්නේ 111% මටට්මකයි. 2032 වසර වන විට දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13%ක් විය යුතු අතර, එය දැනට 27.8%ක ප්‍රමාණයක පවතිනවා. ඒ අනුව අප එය අඩකින් අඩු කරගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව විදෙස් ණය සේවාකරණය මේ වන විට පවතින 9.2% ට සාපේක්ෂව 1.3%ක් දක්වා අඩු කර ගත යුතුයි. 2025 වසර වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය 14%ක් දක්වා ළඟා විය යුතු අතර, මේ වන විට අප 9.5%ක මට්ටමක සිටිනවා. ඒ වගේම 2028 වසර වන විට අපගේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගත යුතුයි. අප සතුව මේ වන විට තිබෙන්නේ ඩොලර් බිලියන 5.6ක සංචිත ප්‍රමාණයක් පමණයි. තවද උද්ධමනය 5% නොඉක්මවිය යුතු අතර භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණය ද 75% ට වඩා අඩු විය යුතුයි. අප දැනට මෙම ඉලක්ක දෙක ජයගෙන තිබෙනවා.
ඒ වගේම අපට රජයේ ගෙවීම්වල මාස තුනක් ඉක්මවා යන හිඟ මුදල් පවත්වාගත නොහැකියි. මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීම සඳහා ද අවසර නැහැ. විදුලිය සහ ඉන්ධන සඳහා ලාභදායී මිල ගණන් පවත්වා ගත යුතු අතර, ලංකා විදුලිබල මණ්ඩලය හෝ ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙහි සිදුවන ඕනෑම පාඩුවක් භාණ්ඩාගාර වෙත මාරු කිරීම හරහා එම පාඩු පියවීමට කටයුතු කළ යුතුයි. සමාජ ආරක්ෂණය සඳහා යොදවනු ලබන අරමුදල් සඳහා අවම වියදම් සීමාවන් පවත්වා ගත යුතුයි. ඇතිකර ගත් එකඟතා අනුව සමාජ සුබසාධක ප්‍රතිලාභ ලැබිය යුත්තන් ප්‍රමාණය ලක්ෂ 16 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. රට බංකොලොත් ව පැවති කාලය තුළ වූවත්, අප ඉන් පෙර ලබාදුන් සමාජ සුබසාධක ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමට අප කටයුතු කළ අතර, අප එම ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙම නියමයන් නැවත සාකච්ඡා කර වෙනස් කළ නොහැකි බව ද සඳහන් කළ යුතුයි.
අපගේ ණය හිමියන් ඩොලර් බිලියන 10 ක් දක්වා ණය සහන ලබා දීමට එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් අපට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලබා දුන්නා. නමුත් අප ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව ඉදිරියට යා යුතුයි. අප ආර්ථික පරිවර්තන පනත ගෙන ආවේද මේ නිසායි.
ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කරගත් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කය විය යුතුයි. දැන් අප සිටිනුයේ බදු සීමාවන් ගැන සාකච්ඡා කිරීමේ අදියරේයි. අප මේ වසරේ ශක්තිමත් ආර්ථික කාර්ය සාධනයක් ලබා ඇති අතර ලබන වසර තුළත් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා. ඒවගේම බදු ගෙවන්නන්ට සහන සැලසීම සඳහා පුද්ගලික ආදායම් බදු ව්‍යුහයේ ගැලපීම් පිළිබඳව මේ වන විට අප සලකා බලමින් සිටිනවා.
ඒ සම්බන්ධව දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම මහා භාණ්ඩාගාරයෙන් යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. භාණ්ඩාගාරයේ යෝජනාව වන්නේ රුපියල් මිලියන 1.2ක බදු රහිත සීමාවක් පවත්වා ගෙන යමින් බදු පරාසය රුපියල් 500,000 සිට 720,000 දක්වා පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%ක තබා ගැනීමයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ප්‍රති යෝජනාවේ සඳහන් වන්නේ බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2 පරාසයෙහි තබාගනිමින්, නමුත් පළමු බදු පරාසය රුපියල් 500,000 සිට රුපියල් මිලියනය දක්වා පුළුල් කරමින්, සියලු බදු සීමාවන් රුපියල් 500,000 කින් ඉහළ නංවා ආරම්භක සීමාව රුපියල් 500,000ක් ලෙස පවත්වාගෙන යමින් ඉහළම බදු අනුපාතය 36% හි පවත්වා ගැනීමයි. අප එම යෝජනා ඇගයීමට ලක්කරමින් සහන සැලසීමට කටයුතු කරමින් සිටිනවා. මෙහිදී රටට සහ ජනතාවට වඩාත් සුදුසු දේ සලකා අප තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මේ වන විට ආර්ථිකය වර්ධනය වෙමින් ඇති නමුත් අප එම වර්ධනය වේගවත් කළ යුතුයි. අප සතු මානව සම්පතෙහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගැනීමට අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා අපට ඉහළ මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පාසල් පද්ධතිය සහ පශ්චාත් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් සහ පළාත් නියෝජිතායතන නවයක්, වෘත්තීය අධ්‍යාපන විද්‍යාල ලෙස ඒකාබද්ධ කිරීමටද අප සැලසුම් කර තිබෙනවා. “ආශ්‍රිත උපාධි” පිරිනැමීමට හැකි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යායතන ඇති කිරීම පිළිබඳව ද අප සලකා බලමින් සිටිනවා.
රැකියා සොයා ගැනීමට නොහැකි නම් තමන් අධ්‍යාපනය ලැබුවේ ඇයි දැයි කියා බොහෝ සිසුන් විමසනවා. මෙම ගැටළුව විසඳීම සඳහා, උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් පසුව හැදෑරීම සඳහා විකල්පයක් ද සහිතව රැකියා ඉලක්ක කරගත් උපාධියක් හැදැරීම පිළිබඳ අවස්ථාව ලබාදීමට අප සාකච්ඡා කරමින් සිටිනවා.
මෙරට විශ්වවිද්‍යාල උසස් ප්‍රමිතියක් සහිත විශ්වවිද්‍යාල බවට ඉහළ නැංවීම අපගේ අරමුණයි. මේ සඳහා යම් කාලයක් ගතවනු ඇති නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩි වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමෙන් අප එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාල වෙත, තම මුදල් කළමනාකරණය කර ගැනීමටත්, විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමටත් නිදහස තිබිය යුතුයි. විදේශීය සිසුන්ගෙන් මුදල් අය කරන අතර දේශීය සිසුන්ට රජය මගින් අරමුදල් සපයන ආකෘතියක් විශ්වවිද්‍යාල වෙනුවෙන් සලකා බැලිය හැකියි.
අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරමින් සිටින අතර, මේ වන විටත් තිබෙන විශ්වවිද්‍යාල ද පුළුල් කිරීමට කටයුතු කරනවා. නව තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් විශ්ව විද්‍යාල හතරක් ඇති කිරීමටත්, ඒ සඳහා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන සමඟ සහයෝගිතාවක් ඇතිකර ගැනීම සඳහාත් අපට යෝජනා තිබෙනවා. අප මේ ආකාරයට පුළුල් වන විට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟයක් ද ඇති විය හැකියි.
රාජ්‍ය විශ්වවිද්‍යාල තත්ත්වය ලබාදිය හැකි රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන ද මෙරට තුළ තිබෙනවා. අරමුදල් සපයා ගැනීම සහ ඒවා කළමනාකරණ කිරීම සඳහා විකල්ප සහිතව, විශ්වවිද්‍යාල සඳහා නව මාදිලි හඳුන්වා දීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. අනාගතයේ මෙම කලාපය තුළ උසස් අධ්‍යාපනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුමෙහි වැඩිවීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.
අධ්‍යාපනයේ සහ ආර්ථිකයේ වර්ධනය සඳහා අප සතුව බොහෝ සැලසුම් සහ අදහස් තිබෙනවා. අප ආරම්භ කළ ක්‍රියාවලිය මත අඛණ්ඩව ඉදිරියට යමින් සාර්ථකත්වය ළඟාකර ගත යුතුයි.”
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී බලයට පත් වූයේ අධ්‍යාපනයට සහාය දීමට පවා රජයට නොහැකිව තිබූ පසුබිමක බව සඳහන් කළ යුතුයි. එම අවස්ථාවේදී, ජනාධිපතිතුමා, එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන්, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙස මට ආරාධනා කළා.
දින හතරක් පුරා පැවති දිගු පෝලිම්වලට හේතු වූ ඉන්ධන හිඟය, පැය 14ක් පුරා පැවති විදුලි කප්පාදුව, විභාග ප්‍රමාද වීම සහ නිල ඇඳුම් සහ පෙළපොත් වැනි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික සම්පත් හිඟකම සමඟ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර, වසර දෙකක් ඇතුළත අප සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අපගේ අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපවූ වෘත්තිකයන්ගේ සහයෝගය ඇතිව අප ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සමත් වුණා. අද, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට විද්වතුන් සහ වෘත්තිකයන් 750 කට අධික සංඛ්‍යාවක් එක්රැස් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.
සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, නිපුණතා සංවර්ධනය සහ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ පරිවර්තනය කිරීමට අප සැලසුම් සකස් කරන විට මෙම අවස්ථාව තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ජනාධිපතිවරයා මෙන්ම, හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු උපකුලපතිවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ නියෝජිතයින් සහ විද්වතුන් අපේ මෙහෙයුම සඳහා එක්ව සිටිනවා. අපගේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17, රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන 5 සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව, ජනාධිපතිරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ (CVCD) කමිටුවේ සභාපති (CVCD) මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රීසත්කුනරාජා සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගී වූ විද්වත් සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණ.
එහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් මුහුණ දෙන පෝෂණ ඌණතාවය, මානසික ව්‍යාකූල තත්ත්වයන් සහ රෝගාබාධ, නේවාසිකාගාර පහසුකම් ගැටළු, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුලත් කර ගැනීම, නව පාඨමාලා හඳුන්වාදීම මෙන්ම ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමේදී මුණදීමට සිදුවන දුෂ්කරතා සහ විශ්වවිද්‍යාල සඳහා ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීම, පාඨමාලා සඳහා දේශීය සිසුන් ඇතුලත් කරගැනීමේදී සිසුන් තෝරාගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම ඇතුළු ගැටළු රැසක් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර එම ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, රජයේ උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන්, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ (CVCD) සාමාජිකයින් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තැපැල් ඡන්දයට දින නියම වේ
2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4,5 සහ 6 දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (අගෝ. 14) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට සැප්තැම්බර් 4 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.
මැතිවරණ කොමසාරිස්වරයා තවදුරට ත් සඳහන් කළේ, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සැප්තැම්බර් 5 සහ 6 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන බව ය.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලකුණු කිරීම සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින සිදු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40ක් ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ.
ජූලි මස 26වන දින ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) මධ්‍යාහ්න 12.00ට අවසන් විය.
හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරේ.
එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකය.
එමෙන්ම, විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 9.00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.
ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

රාජිතගේ සහයත් රනිල්ට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසයි.
ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.
වෛද්‍ය රාජිත සේනාරත්න අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.

ජල ගාස්තුත් අඩුවෙයි
දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇත.
ඒ අනුව, ගෘහස්ථ කාණ්ඩය සඳහා 7%කින් ද, රජයේ රෝහල් සඳහා 4.5%කින් ද, පාසල් හා ආගමික ස්ථාන සඳහා 6.3%කින් ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව රජය පවසයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023.8.1 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.
එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීමට 2024.7.15 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අනුමැතිය
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.
2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි.
ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර තිබෙයි.
එම වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොහොට්ටුවේ රත්නපුර නායකයා වෙන්න : චොකා මාරුවෙයි !
පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකරමින් එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් නාමල් පාර්ශ්වයට එක්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබාගෙන රාජ්‍ය අමාත්‍යවරයා මෙම පිල් මාරුව සිදුකිරීමට තීරණය ගෙන ඇත.
මෙම යළි සිදුකිරීමට යන පිල් මාරුව පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් හෙට (13) පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවත් එහිදී තමන් පළමුව පක්ෂය අත් හැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට ගියේ, ධම්මික පෙරේරා ට පක්ෂ අපේක්ෂකත්වය දීම නිසා වුවත් මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂ අපේක්ෂකත්වය ලබා ඇති බැවින් ඊට සහාය දෙන බවත් හෘද සාක්ෂිය එය බවත් පැවසීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජනපති රනිල්ගේ පළමු රැලිය 17 අනුරාධපුරේ : පොහොට්ටු බලකොටුවේ !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමෙන් පසුව පවත්වන මංගල මහා ජන රැලිය එළැඹෙන සෙනසුරාදා (17) පස්වරු 2.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබාගැනීමෙන් පසුව පවත්වන පළමු දේශපාලන රැලිය මෙය වන බවයි.
මේ සඳහා බහුතර පක්ෂ නියෝජිතයන් සහ සංවිධාන මේ අවස්ථාවට එක්වීමට නියමිත බවත් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම ජන රැලිය මහත් ජන සහභාගීත්වයක් ඇතිව සංවිධානය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රැලියට සහභාගී වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී මහා බෝධිය වෙත ගොස් ආශීර්වාද ගැනීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් ජන රැලි පවත්වන්නේ පොදුජන පෙරමුණ විසින් වන අතර එය මෙතෙක් එම පක්ෂයේ අනන්‍යතාවයක් වූ බවයි. නමුත් මෙවර එම අනන්‍යතාවය පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙතින් ගිලිහී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානය වෙත අත්පත්ව ඇති බව ද විචාරකයන් පෙන්වා දෙයි.

වතු සේවක දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය
වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ.
වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇතැයි වාර්තා වේ.
ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.
ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.
මේ අතර වැටුප් ප්‍රශ්නය මහාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, සෙන්දිල් තොණ්ඩමන් අධිකරණයේ සඳහන් වැරදි නිවැරදි කර වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට ස්තූතිය පුද කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වතු සේවකයින් සඳහා රුපියල් 1,700ක වැටුපක් යෝජනා කර ඇති බවත් එය ජනතාවගෙන් ලබාගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට පැවරී ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් පැවසීය.

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එහි දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (අගෝ. 12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.
ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලි සබ්‍රිට අධිකරණ ඇමති ධූරයත්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
අලි සබ්‍රි දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.
අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ජූලි 29 වන දා ඉල්ලා අස් විය.
ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා ඔහු මෙලෙස අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබිණි.

ඩිජිටල්කරණය කියන්නෙ කළුලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝර්ඩ් එකක් මාරු කරන එක නෙවෙයි
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති, පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
චිනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක්
‘‘ඩිජිටල්කරණය කියන්නෙ බෙහෙවින් පුළුල් වූ අර්ථයක් සහ දැක්මක් සහිත ක්‍රියාවලියක්. මගේ මැදිහත් වීමෙන් මෙරට සාමාන්‍ය අධ්‍යාපනය පාසල් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විස්සක ප්‍රදානයක් චීන රජයෙන් ලැබිල තියෙනවා. ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙනවා.
ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දිමට කටයුතු කර තිබෙනවා. මේ වෙද්දි ඊට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතිනවා. අපිට විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතුයි.
අධ්‍යාපනයට ඉහළ, ගුණාත්මක සංවර්ධනයක්
චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කරල අවසන්. අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ත්තත්වය කරා ළඟා වීම සඳහා අප මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතුයි. ඒ අනුව අපි 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් අභියෝග මැද මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලි ද අතනොහැර ඉදිරියට රැගෙන ආවා. මේ වන විට මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතිනවා. ඒකෙ අරමුණ තමයි, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම.
පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා ම තොරතුරු තාක්ෂණය සමග ම කෘත්‍රීම බුද්ධි විෂයත් ද උගන්වන්න කියල පාර්ලිමේන්තුවේ දී ඉල්ලීම් ඉදිරිපත් වුණත් ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ ව යුනෙස්කෝ සංවිධානයේ මූලික අධ්‍යාපන නිර්ණායක හා නිර්දේශ කෙරෙහි අවධානය යොමු කරන්න එහි දී අපිට සිද්ද වෙනවා. ඒ නිසා පළමුවෙන් ම අපි මේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුයි.
ගුරුවරුන්ගේ වගකීම
මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වසර තුනක දී මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරාට පස්සෙ ප්‍රවීණයන් කණ්ඩායමක් සමග එක් මධ්‍යස්ථානයක සිට සියලු ම පාසල්වලට දැනුම බෙදා හැරීමේ ඉඩ ප්‍රස්ථා විවර වෙනවා. ඒ වැඩ පිළිවෙළ නිසා හදිසියේ ගුරුවරුන් අසනීප වුනත් අධ්‍යාපන ක්‍රියාවලිය බාධාවකින් තොර ව පවත්වාගෙනයන්න පුළුවන්. එනිසා ගුරුවරුන්ගේ වගකීම වන්නේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට අභිප්‍රේරණයක් වෙන විදියට වේගයෙන් ඉදිරියට යන දරුවන්ට පෙරමග පෙන්වන්න පුළුවන් තාක්ෂණයෙන් නිපුණ, ගුණාත්මක සංවර්ධනයක් ගුරු භූමිකාව තුළ ඇති කරගැනීම යි’’
(සටහන - ජයසිරි අලවත්ත)
Page 37 of 456