V2025

පුවත්

ජනාධිපති අපේක්ෂකත්වය : ධම්මික සහ පොහොට්ටුව අතර එකඟතාවක් නෑ -ප්‍රසන්න

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව  ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවත්  එවැනි සාකච්ඡාවක් සිදුවූ බවට දැනුවත් නොමැති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට  ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බවයි.

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ඩොලරයේ ගැනුම් මිල පහළට : විකුණුම් මිල ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.92ක් දක්වා පහළ ගොස් ඇති අතර  විකුණුම් මිල රුපියල් 326.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහත දැක්වෙයි.

මහජන බැංකුව - රු. 315.30 - රු. 326.28

ලංකා බැංකුව - රු. 317.25 - රු. 325.25

කොමර්ෂල් බැංකුවේ - රු. 314.92 - රු. 325.00

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 316.00 - රු. 325.00

සෙලාන් බැංකුව - රු. 314.00 - රු. 326.00

ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.314.50 - රු. 326.50

එන්.ඩී.බී. (NDB) - රු. 312.75 - රු. 325.75

අමානා බැංකුව - රු. 318.00 - රු.324.00

 

හිටපු ලොක්කෙකුගේ අමුතුම පරිස්සමක් !

පසුගිය දවසක මැතිසබා ලොබියෙ ආණ්ඩුවටත් විපක්ෂයටත් සම්බන්ධ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රසකතා කිය කියා හිටියලු.

මෙහෙම ඉන්නකොට පසුගිය කාලෙ රට පාලනය කරපු එක්තරා පක්ෂ නායකයකුත් එතැනින් යන්න ගියේ මේ අයට පොඩි හිනාවක් එහෙම දාගෙන. ඈත රජරටටත් එහා පළාතකින් ආපු මේ නායකය එතැනින් ගියාම කතා කරමින් හිටපු තරුණ කටකාර මන්ත්‍රී කෙනෙක් අපූරු කතාවක් කිව්ව...

''දන්නවද වැඩක්. ඔය පරණ ලොක්ක පසුගිය දවස්වල තමන්ගෙ පක්ෂයට බදවාගත්ත දෙන්නෙක් ගැන අමුතුම ප්‍රතිපත්තියක් අනුගමනය කරනවය කියල.''

''මොකද්ද බං ඒ කතාව?'' තවත් මන්ත්‍රී කෙනෙක් ඇහුව.

''මේකයි වැඩේ. කලින් මහින්ද ලොක්කගෙ ළඟම ඉඳල දේශපාලන කරණමක් ගහපු දෙන්නෙක් ඉන්නව. එක් කෙනෙක් බොහොම ගුණය වර්ධනය කරපු කෙනෙක්... අනෙක... හුඟක් ලොකුම ලොකු - ඩාර කෙනෙක්.''

ඔය දෙන්නම ළඟදි හිටපු ලොක්ක තමන්ගෙ ළඟට ගත්ත...
ඒ වුණත් දවසක් උන්නැහේ මේ දෙන්න එයාගෙ
කන්තෝරුවට එනකොට තමන්ගෙ ගෝලයන්ට
කතා කරල කියනවලු, මේ අරගොල්ල එනකොට
ඔය වටින කියන දේවල් ඇතුළෙන් තියන්න කියල.
එහෙම කියල උන්නැහේ මහ හයියෙන්
හිනා වෙනවලු...
ඒකට හේතුව මොකද්ද කියල කාටවත්
කියන්නෙත් නැතිලු. ඒත් හැමදාම ඔයගොල්ලො
එනකොට අර විදියටම කියනවලු...

Deshaya - gossip

කැරට් අල කතාවලට අහුවුනොත් අනාගතයක් නෑ - අකිල

කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප කරන ආකාරය නොකියන බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි .

සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතු බවද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව ද සඳහන් කළේය.

ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවද සඳහන් කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත් ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද පැවසීය.

ජාතික රෝහලේ ආහාර ටෙන්ඩරය හිල්ටන් හෝටලයට දුන්නා නම් මීට හොඳයි !

ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි.

එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පවසයි .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සඳහන් කළ අතර මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද පැවසීය .

රියදුරු බලපත්‍ර අවුල ඔක්තෝබර් වන විට විසඳනවා !

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණ වනවා. ඒ වෙනුවෙන් දැනටමත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.

එමෙන්ම රිය අනතුරකදී අවශ්‍ය ප්‍රථමාධාර පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී රියදුරු බලපත්‍ර පරීක්ෂණයේදී ප්‍රථමාධාර සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

අප රටේ වාහන මිලියන 8.9ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.

ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ජනපති ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට පහදයි !

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේ, සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බවයි .

ශ්‍රී ලංකාව සිය වෙළඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තුළින් ගෝලීය ආර්ථික ඒකාබද්ධතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.

වෙරළාසන්නයේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර බලශක්ති විසඳුම් සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවයෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා එකඟතාවක් පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉන්දියාව සමඟ භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳාම, රේගු සහයෝගිතාව මෙන්ම වෙළඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තාක්ෂණික සහයෝගිතාවය මෙන්ම වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාජීය වශයෙන් ද දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මෙම වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

විවිධ ආයෝජන සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ස්ථානගත වූ අතර ඩිජිටල් තාක්ෂණය තුළ පවතින වැදගත් අවස්ථා මෙන්ම, යටිතල පහසුකම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

IMG 20240117 WA0010

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව 260000 කින් වැඩිවිය යුතුයි - GMOA

නිවැරදි ලෙස ගෙවන්නේ නම් වෛද්‍යවරුන් සඳහා DAT දීමනාව රුපියල් 260,000කින් වැඩි විය යුතු බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වැඩිවීම හරහා ලබා දී ඇත්තේ ලැබිය යුතු මුදලින් 15%ක් පමණක් බවත් ඉන් ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ දීමනාව අවසාන වරට යාවත්කාලීන වුණේ 2015දී. එහිදී රු. 25,000ක දීමනාව රු. 35,000 දක්වා වැඩිවුණා. 2015න් පසුව අපි විටින් විට මතක් කළා කාලානුරූපව මෙය යාවත්කාලීන විය යුතු බව. සෞඛ්‍ය අමාත්‍යාංශය 2018දී ඒ ඉල්ලීම් සලකා බලලා මෙය නැවත ගණනය කිරීම කළා. මෙතැනදී ආපු ඉලක්කම තමයි රුපියල් 120,000. 2023 මුල අපි නැවත ගණනය කිරීම් කරන විට හඳුනා ගත්තේ එම දීමනාව 260 000ක මුදලක් බවයි. මේ මොහොතේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය ගැන සලකා බලලා ආණ්ඩුව රුපියල් 35,000ක පමණ දීමනාවක් දීමට පොරොන්දු වුණා. මේ ලබාදීම අපේ ඉල්ලීමෙන් 15%ක ප්‍රතිශතයක් විරතයි. නිවැරදි විදිහට අපිට DAT දීමනාව ලැබෙනවා නම් රුපියල් 260 000ක මුදලක් විය යුුතුයි”

දේශගුණික සෞභාග්‍ය සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන්න : ජනාධිපති ලෝක බලවතුන්ගෙන් ඉල්ලයි !

දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංසදය විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමිනි.

පසුගියදා ඩුබායිහි පැවති COP-28 සමුළුවේදී, දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් 20ක් විසින් සිය දේශගුණික සෞභාග්‍ය සැලසුම් එළිදක්වන ලදී.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍යවන රටවලට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික තත්ත්වය සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා දියුණු ආර්ථිකයක් ඇති රටවලින්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

දේශගුණික අවදානමට ලක්විය හැකි වූවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම හමුවට එක් වන ලෙස මෙහි අභිනව මහලේකම් ලෙස පත්වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ් මහතා කළ ආරාධනය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික ක්‍රියාකාරකම් තුළින් සමෘද්ධිමත් සංවර්ධනයක් කරා ළඟාවීම වෙනුවෙන් වූ අපගේ සාමූහික ඉල්ලීම, නවෝත්පාදන විසඳුම් මගින් මෙහෙයවනු ලබන තිරසාර ලෝකයක් සඳහා වූ අපගේ දැක්ම තුළ අන්තර්ගත වෙනවා.

දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමේදී පවතින සංකීර්ණ අසමානතාවයන් පිළිබඳ අපි සෑම කෙනෙකුම දැනුවත්. ගෝලීය කාබන් විමෝචනයට සුළු හෝ දායකත්වයක් ලබා නොදෙන, ගෝලීය දකුණේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට මුහුණ දෙනවා.

මේ හමුවේ සමතුලිතතාවය නැවත ඇති කරවීම සඳහා වූ බහුපාර්ශ්වික ප්‍රයත්නයන්හි කැපවීම් ඉහළ මට්ටමක පවතින නමුත් එහි ප්‍රතිඵල අඩු මට්ටමක පවතිනවා.

ඩුබායි හි පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් "නිවර්තන කලාපීය මුලපිරීම" දියත් කරන ලද්දේ දේශගුණික යුක්තිය පිළිබඳ මෙම ගැටලුව මත පදනම්වයි. මෙම මුලපිරීම මගින් නිවර්තන කලාපයේ තීරණාත්මක දේශගුණික සම්පත් තිරසාරව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අරමුදල් ආයෝජනය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලබා දීමට අදහස් කරනවා.

මේ සඳහා අපේ වනාන්තර, කඩොලාන, සාගර, පුනර්ජනනීය බලශක්ති සම්පත් ඇතුළු අනෙකුත් දේ ඇතුළත් වෙනවා. එවැනි ආයෝජන වෙනුවෙන් පවතින ක්‍රම හඳුනා ගැනීම සඳහා, සංවර්ධනය වෙමින් පවතින රටවල් ශක්තිමත් සැලසුම් මෙන්ම ප්‍රාග්ධනය සැපයීම සඳහා ආයෝජකයාගේ අවශ්‍යතා සපුරාලිය හැකි ව්‍යාපෘති හඳුනාගත යුතුයි.

ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සකස් කිරීමේ අභියෝගාත්මක පියවර ගෙන ඇති අතර එමඟින් අපගේ දේශගුණික හා ජෛව විවිධත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වන අතරම ශ්‍රි ලාංකිකයින්ට තිරසාර සමෘද්ධියක් ද හිමිකර දෙනවා.
ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මඟින් අපගේ කර්මාන්ත සහ සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා සම්පත් මත පදනම් වූ අංශ ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල ආයෝජනය සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කෙරෙනවා.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් යෝජනා කර ඇති ඉලක්කගත මැදිහත්වීම්, අපගේ ජාතික තත්වයන් මත පදනම් වී ඇති අතර 2025 වන විට ශුද්ධ බලශක්ති අපනයනකරුවෙකු බවට පත්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය මගින් දේශීය බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම අරමුණු වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් ඉදිරිපත් කර ඇති ආයෝජන අවස්ථා සපුරා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇති අතර 2040 වන විට දේශීය බලශක්ති අවශ්‍යතාවයෙන් 100% ඉක්මවනු ඇතියි.

අපගේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මෙහි ඇතැම් ව්‍යාපෘති මගින් අඩු කාබන් විමෝචනයක් සිදු කරමින් සහ වඩා ඵලදායී වීමට අපේක්ෂා කරන කෘෂිකාර්මික ව්‍යාපෘති මෙන්ම දේශීය නිෂ්පාදන සහිත වෙරළාසන්න සුළං බලය පිළිබඳ ව්‍යාපෘති ද ඇතුළත් වෙනවා.

ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයන් සහ දේශීය නිෂ්පාදන වටිනාකම් දාමයන් ඒකාබද්ධ කරන එවැනි ආයෝජන සතු බලපෑම මෙමඟින් සහතික කෙරෙනවා.
මෙම දේශගුණික සෞභාග්‍ය සැලැස්මේ සඳහන් ආයෝජන අවස්ථා සාක්ෂාත් කර ගැනීමට අප කැපවී සිටින අතර මූල්‍ය පහසුකම් සලසා, ආයෝජනය කළ හැකි ව්‍යාපෘති සඳහා ආයෝජන පත්‍රිකා සැකසීම වැනි තීරණාත්මක ඉදිරි පියවර ගනිමින් සිටිනවා.

කෙසේ වෙතත්, මෙම බලාපොරොත්තු සහගත ව්‍යාපෘති මගින් රැකියා උත්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වන පුහුණුව, කුසලතා සහ ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන ඉල්ලා සිටිනවා. තිරසර සහ දේශගුණික සුරක්ෂිත පරිවර්තනයක් තුළ උපරිමයෙන් රැකියා ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙමගින් හැකියාව ලැබෙනවා.

අවදානමට ලක්විය හැකි 20 දෙනාගේ කණ්ඩායම විසින් (V20) එක්ව ඉදිරිපත් කරන ලද දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොවෙයි. මෙම සැලසුම්, ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීම සඳහා අපගේ න්‍යාය පත්‍රය බවට ද පත්වෙනවා.

අපේ ධනවත් සහ ප්‍රධාන ආර්ථික සගයන් සතුව පවතින සම්පත් අප සතුව නැහැ.දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවකාශය නිරන්තර පීඩනයට ලක්ව තිබෙනවා. එසේම මේ වෙනුවෙන් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය අයට එය ළඟා කර ගත නොහැකි තත්ත්වයක් ගෝලීය ආර්ථික පසුබිම සහ ඉහළ යන ණය බර විසින් නිර්මාණ කර තිබෙනවා.

එබැවින් දේශගුණික සෞභාග්‍ය සැලසුම්වල පාර්ශ්වකරුවන් බවට පත්වෙමින් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට අපට උපකාර කරන ලෙස අපගේ සංවර්ධන හවුල්කරුවන්ගෙන්, පුද්ගලික අංශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවෙන් අප ඉල්ලා සිටිනවා.

IMG 20240117 WA0004

IMG 20240117 WA0005

පිරිමි රිලවු වන්ද්‍යකරණයට !

පිරිමි රිලවුන් වඳ බවට පත්කරන නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වෙන්කර ඇති බවත් වාර්තා වෙයි .

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රිලා ගහනය වැඩිවීමත් සමඟ දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන කෘෂිකර්ම ගැටළුවට විසඳුමක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලීකකරණයට !

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.

රජය ව්‍යාපාර කටයුතු කිරීමෙන් ඉවත්ව සිටීමට ගෙන ඇති රජයේ ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් !

රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ඊයේ (16) කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

2023 දෙසැම්බර් මස 30 වනදා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු වූ අතර එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාළ පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදු විය.
මේ අතර මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජූලි 04 වනදා ද සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ.

විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගයන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙම සාමූහික ප්‍රයත්නය රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වන ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබේ.

රුසියානු සමූහාණ්ඩුවේ මෙරට තානාපති ලෙවන් එස්. ඩගයරාන් මහතාද, ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙලෝ මහතා ඇතුළු එහි නිලධාරීන් සහ ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමීර් අජ්වාඩ්, කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශ්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240117 WA0002

තෙවන පාසල් වාරය ඇරඹීම 05 ‍වැනිදා දක්වා කල් යයි

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමගයි.

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කළේ ය.

අවලංගු කළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයම පෙබ.01 දා නැවතත්

මෙවර උසස්පෙළ විභාගයේ, කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් අවලංගු කර තිබේ.

ඒ , එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ද විභාගයට පෙර පිටවී ඇති බවට අනාවරණය වීමත් සමගයි.

මේ හේතුවෙන් කෘෂි විද්‍යාව 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු කොටස පෙබරවාරි 01 වැනිදාම පස්වරු 01.00 සිට 3.00 දක්වා පැවැත්වෙනු ඇත.

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය පසුගිය 12 වැනිදා අවලංගු කෙරුණි.

 

හිටපු ජනපති දුමින්දට දුන් පොදු සමාව අහෝසියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ලබා දුන් පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ, ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මව සහ නීතිඥ ගසාලි හුසේන් යන තිදෙනා විසින් ගොනු කරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා  ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණි.

පසුව එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මහාධිකරණ තීන්දුව නැවත තහවුරු කර තිබුණි.

ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ විසින් විත්තිකරුවන් 05 දෙනා අතර සිටි දුමින්ද සිල්වාට පමණක් ජනාධිපති පොදු සමාව ලබා දීමට කටයුතු කළේ ය.

ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ඉදිරිපත් වුණේ එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමිනි.

ප්‍රිති පද්මන් සුරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද සිදු කළ අතර විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වී තිබුණේ දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවයි.

ස්විස් ගිය ජනාධිපති එරට ව්‍යාපාරිකයන්ට කියපු කතාව !

අනාගතවාදී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ඊයේ (15) ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.

ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ සැලකිය යුතු කාර්ය සාධනයක් අත් කර ගෙන ඇති බවට පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේ දී සිදු කළ ප්‍රකාශයද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීතාවයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත්, ණය හිමියන් සමග කටයුතු කිරීමේදි එවැනි සහයෝගීතාවක් අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදේශීය සෘජු ආයෝජන ඇතුළු ආයෝජන, අපනයන සහ සේවා හරහා රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර, කුඩා ව්‍යවසායන් මෙන්ම සමස්ත ජනතාව කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ඇතිවු බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සඳහා ඇති බාධක මෙන්ම විදුලිය සහ ඉන්ධන සැපයුම සඳහා ඇති බාධක ඉවත් කිරිම සඳහා 2022 සහ 2023 වර්ෂවලදී සිදුකළ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළේය.

එමෙන්ම, ආනයන සීමා ලිහිල් කිරීම, විදේශ ප්‍රේෂණවල ද්‍රවශිලතාව නැවත යාථා තත්ත්වයට පත් කිරීම මෙන්ම 1977 වසරෙන් පසුව ප්‍රථම වරට ප්‍රාථමික ගෙවුම් ශේෂයේ අතිරික්තයත් වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

2023 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට මුල්‍ය ස්ථාවරත්වය ඇතිවීම, උද්ධමනය සැලකිය යුතු ලෙස පහළයාම සහ සෘණ ආර්ථික වර්ධනය ආපසු හැරවීම වැනි ධනාත්මක දර්ශක පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන් අතර 2023 වර්ෂයේදී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් අත්කර ගැනීම කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමක් බව ද ප්‍රකාශ කළේය.

සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව සහ චීනය සමඟ අවසන් වූ සහ ඉදිරියේදී එළැඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ පවතින වෙළෙඳ අවස්ථා පුළුල් කර ගැනීමේ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

කලාපීය විස්තිරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව සිදු කර ඇති මුලපිරීම මෙන්ම යුරෝපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා GSP+ මඟින් සැලසෙන ප්‍රතිලාභ සම්බන්ධවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික නවීකරණය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම තුළින් ආයෝජනය කිරීමේ අවස්ථා පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තරඟකාරිත්වය සහතික කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත නීති සහ කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආයෝජන සඳහා සීමාවන් ඉවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තමා අඛණ්ඩව කැප වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය ආයෝජකයන්ට සහතික විය.

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක , ආර්ථික සහ රාජ්‍ය යන දෙඅංශයම ඇතුළත් වූ පුළුල් ප්‍රවේශයක් තුළ පවතින වැදගත්කම අවධාරණය කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණවලට සමගාමීව රජය පුළුල් වෙනස්කම් රාශියක් ආරම්භ කළ බව ද එහිදී සාගල රත්නායක සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආරම්භ කරන ලද විනිශ්චය ක්‍රියාදාමයක ශ්‍රී ලංකා රජය නිරත වූ බවත් එම විනිශ්චය ක්‍රියාවලිය අවසන් කරන තුරු බලා නොසිටිමින් ලංකා රජය ඊට පෙර විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් පැවසීය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම වැනි වැදගත් ක්‍රියාමාර්ග පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වූ බව ද සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මූලික පියවරයන්ගෙන් පසුව, පාලන විනිශ්චය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් දියත් කෙරුණු අතර එහිදී දූෂණ විරෝධී නීතිය වැනි තීරණාත්මක නීති හඳුන්වාදීමේ වැදගත්කම සාගල රත්නායක අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත දූෂණ විරෝධී කොමිසම සඳහා පත් කළ යුතු කොමසාරිස්වරුන් නිර්දේශ කරන ක්‍රියාවලිය පිළිබඳව ද ඒ මහතා පැහැදිලි කළේය. මේ පිළිබඳ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන බව ද සාගල රත්නායක අවධාරණය කළේය.

පාලන තන්ත්‍රය සඳහා සැලකිය යුතු නීති ප්‍රමාණයක් හඳුන්වාදිය යුතු බවත්, දැනටමත් ආසන්න වශයෙන් ඉන් 20ක් පමණ සම්පූර්ණ කර ඇති බවත් සාගල රත්නායක සඳහන් කළේය.

අනාගතය දෙස බලමින්, කම්කරු නීති ද ඇතුළත් වන පිරිදි නව නීති 40 ක් හෝ 50 ක් සම්පාදනය කිරීමත්, දැනට පවතින නීති 40 සිට 50ක ප්‍රමාණයක් නවීන සහ ඉදිරි දැක්ම සහිත රාමුවක් තුළට ඒකාබද්ධ කිරීමත් සිදු කෙරෙන බව ද සදහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිලෂාන් වීරසේකර, ජනශක්ති රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සම සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන, ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂ්ණන් බාලේන්ද්‍ර, ගොල්ෆේස් සමූහයේ සභාපති සංජීව් ගාඩිනර්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, කොමර්ෂල් බැංකුව පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.

මීට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේවන් වික්‍රමසූරිය, ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක යන මහත්ම මහත්මීහු ද මෙම වටමේස සාකච්ඡාවට සහභාගී වූහ.

IMG 20240116 WA0004

IMG 20240116 WA0006

භේද අවසන් : නායකත්ව මණ්ඩලය සමග අලි වැඩ අල්ලයි !

අලි පාටියේ හිරු සඳු වගේ බලවත් දෙන්නෙක් කාලයක ඉඳලා වැඩිය හිත හොඳ නෑලු. එක්කෙනෙක් කොළඹ කරුණාවට බර නායකයෙක්ලු. අනික් කෙනා දෙණි-යායකින් ආපු දැන් රජ ගෙදර වැඩ කරන කෙනෙක්.

මේ දෙන්නා පක්ෂයේ වැඩ නිසාම වැඩිය ඇයි හොඳයියක් නැතුවලු හිටියේ. ඒත් මේ ළඟදී රටේ ලොකු තැන කොළඹ කෙනාට කතා කරලා කිව්වලු අද අමුත්තෙක් එක්ක ඒ පැත්තේ එනවා කියලා. කවුද කියලා කිව්වේ නෑලු.

කොහොම හරි කිව්ව විදිහට ලොකු තැන ගියාලු ඒ ගෙදර. ගියේ කාලයක් නෝක්කාඩුවෙලා හිටිය දකුණෙ එක්කෙනා එක්කලු.

ලොක්කා අමුත්තා කියලා එක්කන් ආවේ එයාලු.

කොහොම හරි මෙතැන ලොකූ කපුකමක් වෙලා මේ කාලයක් වෙන්වෙලා හිටිය දෙන්නම යාළු කෙරුවලු. ඒ ඉස්සරහට ලොකු වැඩ වගයකට දෙන්නවම සූදානම් කරන්නලු.

ඔය කතාව තිබුනේ ඉරිදා දේශය පත්තරේ..

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් , එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අද හෙටම කරන්න යන වෙනසක් පිළිබඳව , දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තියනවා.. ඒ අනුව පක්ෂයේ තීරණාත්මක නායකත්වයේ බලතල නායකත්ව මණ්ඩලයකට පවරන්න ලු යන්නේ.

දැනට තියන තොරතුරුවලට අනුව , ඔය UNP එකෙන් පත්කරන්න යන නායකත්ව මණ්ඩලේ 8 දෙනා යාලු කරන්න ජනාධිපති රනිල් සැහෙන ට්‍රයි එකක් දෙනවා කියලයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් ආරංචි වෙන්නේ.

රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන , රවී කරුණානායක, අඛිල කාරියවසම් , සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර සහ නවින් දිසානායක තමයි ලු ඔය කියන නායකත්ව මණ්ඩලේට පත්කරන්න යනවා කියන්නේ. ඒ අටදෙනාට නිශ්චිත වගකීම් පවරන්නත් පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කරලලු.

ඒ ආරංචිවල හැටියට එජාපෙ මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු රුවන්නට බාරදෙන්න ලු හදන්නේ.. රවිට සන්ධානේ ගොඩනැගීමට අදාළ වගකීම් පවරන්නත් කතාබහ වෙලා. කැම්පේන් එක බාරදෙන්න යන්නේ හරින් ට ලු.

ජනාධිපති රනිල් 23 වෙනිදා ආයෙත් ලංකාවට ආපු ගමන් නායකත්ව මණ්ඩලේ ප්‍රකාශයට පත්කරලා, ඒ හැමෝටම නිශ්චිත වගකීම් බාරදෙන්න යනවා කියලයි ජනාධිපති මාධ්‍ය අංශයේ වගකිව යුත්තෝ කියන්නේ..

මේ ලංකාවේ ආයෝජනයට සුදුසුම කාලයයි : ස්විට්සර්ලන්තයේදී ජනපති කියයි !

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 2 තුළ රජය විසින් ගත් පියවර ද අනාවරණය කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය .

මෙම දේශනය සිදු කිරීම සඳහා මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්විට්සර්ලන්ත - ආසියානු වාණිජ මණ්ඩලයට සහ මෙම උත්සවය සංවිධානය කළ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. මේ සඳහා විවිධ අයුරින් කැපවීම් සිදු කර ඇති ගෝලීය සංසද කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග ගැනීම අවම මට්ටමක පවතින බව කිවයුතුයි.
ගෝලීය නායකත්වය තුළ පවතින මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දුරට ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරීමට සිදුවී තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා.
බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන් ද කඩාකප්පල් කරනවා.සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි.

මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළ යුතුයි. ඩුබායි හි පැවති COP28 සමුළුවේදී අප “නිවර්තන කලාපීය මුලපිරීම” ද ආරම්භ කළා. මෙමඟින් නිවර්තන කලාපයේ රටවල වනාන්තර, බලශක්තිය, සාගර, කඩොලාන පරිසර පද්ධතින් තුළ පෞද්ගලික ආයෝජන සඳහා උත්ප්‍රේරණයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා.

එවැනි ප්‍රයත්නයන්හි එක් ප්‍රධාන අංගයක් වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි.
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. එය ජලාශ හතරකින් සමන්විත වෙනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා ඉන් පසුව අපි මහවැලි සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කළා. එමඟින් ප්‍රධාන ජලාශ පහක් නිර්මාණය කෙරුණු අතර වලවේ ගඟ ව්‍යාපෘතිය හයවන ජලාශය ලෙස එක් කෙරුණා.

මහවැලි ගඟ ව්‍යාපෘතියේ අවසන් අදියර සම්පූර්ණ වුණේ මීට වසර හතකට පෙරයි. මේ අනුව ජල විදුලිය සඳහා අප සතුව ප්‍රවතින ප්‍රභවයන් භාවිතාවට ගෙන තිබෙනවා.

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යෙදා ගෙන ඇති නිසා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ.
පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මූල්‍ය ප්‍රතිසංස්කරණ

එහි පළමු පියවර පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමයක් ඇති කිරීමයි. 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නැහැ. මෙය ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් ගලා ඒම පිළිබඳ ගැටළු ඇති කිරීමට හේතු වූ අතර ඇතැම් අවස්ථාවන්හිදී විදුලි සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමටද හේතු වුණා.

කෙසේ වෙතත් 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පිළිබිඹු කරන මිල සුත්‍රයකට මාරු වුණා. ඒ අනුව, අනාගතයේ විදුලි උත්පාදනය සඳහා පවතින පිරිවැය පිළිබිඹු කරමින් සෑම කාර්තුවකටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනවා.

දිගු කලක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වසරේ දී ලාභ ලබන ආයතනයක් බවට පත් වූ අතර, එමඟින් අතීතයේ සිට පවතින ණය සැලකිය යුතු මට්ටමකින් පියවා ගැනීමට ද හැකි වුණා.

මෙම ආයතනයට දැන් ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම වඩා ශක්තිමත් මුදල් ප්‍රවාහ තත්වයක් සහ මූල්‍ය ද්‍රවශීලතාවය සහතික කරනු ලබන ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. සමවර්ත ගාස්තුව නම්‍යශීලී නොවීම ආයෝජකයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට අමතරව හරිත මූල්‍යකරණය ආකර්ෂණය කර ගැනීමේ රාමුව ද අපි සකස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තිරසාර මූල්‍යකරණය සඳහා වන මාර්ග සිතියම, හරිත මූල්‍ය වර්ගීකරණය, තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා වන ආයෝජක සිතියම සකස් කර ඇති අතර දැනට සකස් කරමින් පවතින හරිත බැඳුම්කර රාමුව සඳහා වන මාර්ග සිතියම යන පියවර මඟින් ශ්‍රී ලංකාවට දේශගුණික මූල්‍යකරණයේ ශක්තිමත් නියැලීමක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා. තිරසර මූල්‍ය පහසුකම් සැපයීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අමතර ශක්තියක් වනු ඇතියි.

නෛතික ප්‍රතිසංස්කරණ

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ මහා පරිමාණ ආයෝජන සඳහා නීතිමය බාධක තිබෙනවා. 2022 වසරේදී හඳුන්වා දුන් විදුලිබල පනතේ සංශෝධන මඟින් එම නීතිමය බාධා ද ඉවත් කිරීමට කටයුතු කිරීම එහි දෙවන පියවරයි.

ආයතනික ප්‍රතිසංස්කරණ

තුන්වැන්න, රජය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගතකිරීමේ අවසන් අදියරේ සිටීමයි. මෙමගින් විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම, උත්පාදනය සහ සම්ප්‍රේෂණය සඳහා වැඩි මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධිපත්‍යයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වය සහ විනිවිදභාවය ඇති වෙනවා.

විදුලිය උත්පාදනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම දැනටමත් සිදුවන අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා පුද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථාවක් සැලසෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් පාරිභෝගිකයින්ට මෙන්ම වඩාත්ම තරගකාරී හා කාර්යක්ෂම විදුලි නිෂ්පාදකයින්ට වඩා ඵලදායී අවස්ථා නිර්මාණය වෙනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව එමගින් සහතික කෙරෙනවා. මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන නීති කෙටුම්පත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

විශේෂයෙන් 2026 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වෙනවා. එසේම ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අවශ්‍යයි. 2030 දක්වා මෙම ඒකාබද්ධ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාගත දැක්ම

පසුගිය වසර දෙක තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

Page 34 of 386