පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා මියයන විට 75වන වියේ පසුවිය.
අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
80 දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ වික්ටර් අයිවන් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.
මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සුවිශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.
ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් අතර 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත විය.
අද දෙරණ

පොලිසියට අලුතින් 9,000ක්
ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නය.
එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටි.
ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

උත්තර පත්‍ර අගැයීම් කරන්න ගුරුවරියන්ට සාරිය අනිවාර්යයි ද?
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ උත්තර පත්‍ර අගැයීම් කරනු ලබන ගුරුවරියන් සාරියක් හෝ ඔසරියකින් සැරසී නොපැමිණීම හේතුවෙන් කොළඹට නුදුරු ප්‍රධාන පාසලකට ඇතුළු වීම තහනම් කර තිබේ.
උසස් පෙළ සංයුක්ත ගණිතය උත්තර පත්‍ර අගැයීමට පෙරේදා (ජනවාරි 16) වැනි දා පන්නිපිටිය ධර්මපාල විදුහලේ පිහිටා ඇති මධ්‍යස්ථානයට ගිය ගුරුවරියන් මෙලෙස එම පාසලෙන් හරවා යවා ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවයට පැවසීය.
අදාළ සිදුවීම වූ අවස්ථාවේදී එම ස්ථානයට පොලිසිය කැඳවා ඇති අතර මෙම සිදුවීම තමන්ට අදාළ නැති බව පොලිසිය පවසා තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඇති අගැයීම් මධ්‍යස්ථානයට ගිය ගුරුවරියන් මෙලෙස එම පාසලෙන් හරවා යවා ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය
'ගුරුවරියන්ට නිල ඇඳුමක් නෑ'
"ගුරුවරියන්ට කොහෙවත් නිල ඇඳුමක් දීලා නැහැ සාරි අඳින්න කියලා. කැමති අය සාරි අඳිනවා වෙනත් සුදුසු ඇඳුමක් අඳින්න කියලා පහුගිය කාලේ ඉඳන් ම තිබුණේ. නමුත් අගැයීම් මධ්‍යස්ථානවලට යනකොට ඒවා වෙනත් රාජකාරි, ඉගැන්වීමේ කාර්යයක් නෙමෙයි. මේ මධ්‍යස්ථානයේ, මේ ශාලාවේ එක ෆෑන් එකයි තිබුණේ. එතන ඔක්කොට ම ඉන්න බෑ, සංයුක්ත ගණිතය කියන්නේ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයක් ඒක නිවැරදි මානසිකත්වයෙන් කරන්න ඕනේ. දැන් උත්තර පත්‍ර අගැයීම් කරන්න දෙන දීමනාවත් ප්‍රමණාවත් නැහැ ගුරුවරුන්ට, නමුත් ළමයි වෙනුවෙන් මේ කටයුත්ත කරන්නේ. එහෙම තියෙද්දි මේ ආකාරයෙන් පීඩාවට පත් කිරීම වැරදියි."
වෙළෙඳ දැන්වීමක්
ගුරුවරියන්ට සාරි ඇඳීම අනිවාර්ය කර නොමැති පසුබිමක පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිවරයා විභාග මධ්‍යස්ථානයේ ගුරුවරුන් හරවා යැවීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා අවධාරණය කළේ ය.
අදාළ සිදුවීම වූ අවස්ථාවේදී එම ස්ථානයට පොලිසිය කැඳවා තිබිණි
කිංස්වුඩ් විදුහලෙත් මෙවැනි ම සිදුවීමක්
පසුගිය සතිඅන්ත නිවාඩු දිනවලදී මහනුවර කිංස්වුඩ් විදුහලේ පිහිටා ඇති උත්තර පත්‍ර අගැයීම් මධ්‍යස්ථානයේ ගුරුවරියන් ද මෙවැනි ම සිදුවීමකට මුහුණ දී ඇතැයි ජෝසෆ් ස්ටාලීන් සඳහන් කළේය.
"මහනුවර කිංස්වුඩ් එකෙත් ඔහොම වුණා. ඒ සතිඅන්තයේ සාරි ඇඳන් ගියේ නෑ කියලා. සතිඅන්තයෙත් සාරි පටලවන් යන්න ඕනේ කියලා නේ කියන්නේ."
"කිංස්වුඩ් එකේ ගේට්ටුවෙන් ඇතුළට අරන් නැහැ. සාරි ඇඳන් එන්න කියලා."
ගුරුවරුන්ගේ ඇඳුම කෙසේ විය යුතු ද?
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද 2012/37 අංක දරන 'ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව' නම් චක්‍රලේඛයෙහි ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත;
"සැමවිට ම විනීත හා සංවරභාවය රැකෙන පරිදි සංස්කෘතියට අනුකූල වූ, පිරිසිදු, චාම්, මනා පිළිවෙලට සැකසූ ඇඳුමින් සැරසී සිටීම."
"සාමාන්‍යයෙන් උත්තර පත්‍ර අගැයීම් කටයුතු පහුගිය කාලෙම කළේ ඉස්කෝලේ නිවාඩු දීලා. උත්තර පත්‍ර අගැයීම් මධ්‍යස්ථානය තියෙන ඉස්කෝල නිවාඩු දෙනවා. ඉස්කෝලෙත් පවත්ගෙන මේ කටයුතු කරන නිසා තමයි මේ ඔක්කොම ගැටලු එන්නේ. අනිත් එක ගුරුවරියන්ට නිල ඇඳුමක් නෑ. සම්ප්‍රාදායිකව තමයි මේක එන්නේ."
සාරි අඳින ලෙස බලපෑම් කරන බවට චෝදනා
මේ වනවිට විභාග දෙපාර්තුමේන්තුව විසින් පන්නිපිටිය ධර්මපාල විදුහලේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ අගැයීම් කටයුතු තාවකාලිකව නැවතීමට පියවර ගනු ලැබ ඇත.
විභාග දෙපාර්තුමේන්තුව මෙලෙස අගැයීම් කටයුතු නවතා දැමීම හරහා ඔවුන්ගේ "කුහකත්වය" සහ "දීන මානසිකත්වය" පෙන්නුම් කරන බවට ද වෘත්තීය සමිති නායකයා චෝදනා කළේ ය.
විභාග කෙමසාරිස් ජනරාල්වරයාගෙන් මෙන් ම අධ්‍යාපන ලේකම්වරයාගෙන් මෙම ගැටලුව සඳහා දිනයක් ඇතුළත විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව ජෝසෆ් ස්ටාලින් බීබීසි සිංහල වෙත පැවසීය.
"අද දවස ඇතුළත මේ ගැන තීන්දුවක් ගන්න ගමන් වටින් යම් යම් විදිහට ගුරුවරුන්ට බලපෑම් කරවනවා සාරි ඇඳන් එන්න කියලා. මොකට ද මෙහෙම කරන්නේ, මොකද්ද බලාපොරොත්තු වෙන සාදාචාරය මේකෙන්."
අද සිට අගැයීම් කටයුතු විභාග දෙපාර්තුමේන්තුවේ
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ අදාළ කණ්ඩායම් දෙක විභාග දෙපාර්තුමේන්තුවේ ස්ථාපනය කර ඇති අගැයීම් මධ්‍යස්ථානයට කැඳවා ජනවාරි 18 සිට යළි උත්තර පත්‍ර අගැයීම් කටයුතු ආරම්භ කරන බව ය.
"ඒ පැනල්ස් දෙක හෙට ඉඳලා පටන් ගන්නවා මම විභාග දෙපාර්තුමේන්තුවේ. එතනින් ඒ ප්‍රශ්නය ඉවරයි. මම හිතනවා මාධ්‍යයෙන් මේ ප්‍රශ්නය වැඩිය ම හයිලයිට් වෙන්න ඕනේ නැහැ කියලා."
මෙම සිදුවීමට අදාළ විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි අප විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ විමසනු ලැබීය.
"විදුහල්පතිනිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න මට පුළුවන් කමකුත් නැහැ. මට අවශ්‍යතාවයකුත් නැහැ නේ. විදුහල්පතිනිය පාසල් පාලනය කරගෙන යන කෙනෙක් නේ. මම දකින්නේ නැහැ එයා කරපු වැරැද්දක් සම්බන්ධයෙන්," යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් පැවසීය.
| BBC සිංහල සේවය

අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති
නව රජයේ ප්‍රතිපත්ති සමඟ සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමවුකට ඊයේ (17) එක්වෙමිනි.
විදෙස් රටවල සිටින අපරාධකරුවන් පිළිබඳව රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මණින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.
අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බවද අවධාරණය කළ ඒ මහතා අපරාධ මර්දනය පිළිබඳව පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම හේතුවෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බවද සඳහන් කළේය.
මේ අතර මේ දිනවල අපරාධ වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි එම අපරාධ මෙහෙයවන බවයි.
“ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් ද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට UNOPS සහාය
එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ චාල්ස් කැලනන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ඇත.
මෙහිදී ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල UNOPS සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු ඇත.
මෙරට තීරණාත්මක සහ වැදගත් අංශ ගණනාවක් ඩිජිටල්කරණයට ලක් කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ පාරිසරික හා සැපයුම් අභියෝගවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
ප්‍රවේශ්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අවශ්‍යතාවයයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇත.
සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් මෙම මුලපිරීම සඳහා UNOPS හි සහය ලබා දෙන බවට කැලනන් මහතා මෙහිදී සහතික වී ඇත.
ශ්‍රී ලංකා රජයේ විවිධ ව්‍යාපෘති සඳහා UNOPS හි දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආචාර්ය අමරසූරිය සිය කෘතවේදීත්වය පළ කර තිබේ.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුභාෂිනි සිල්වා ද මෙම හමුවට එක් ව ඇත.

දුම්රිය ආසන වෙන් කිරීමේ නව කොන්දේසි
දුම්රිය ආසන වෙන් කිරීමේ දී දුම්රියේ ගමන් කිරීමට නියමිත මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ දී හා දුම්රිය තුළ දී ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීමේ දී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරීක්ෂා කර තහවුරු කර ගත යුතු බවයි සඳහන් වෙයි.
එමෙන්ම, 2025.01.01 දින සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේ දී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මඟියාගේ ජාතික හැඳුනුම්පතෙ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සියයට 20ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.
මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

චීන සංචාරයෙන් ඩො.බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදුවිය.
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇත.
චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වන අතර, ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවිමට නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති CID යයි
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසීය.
පසුගිය සති කිහිපයක සිට මෙලෙස අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත්, එය නිවැරදි ව තීන්දු තීරණ ගැනීමට මෙන් ම ක්‍රියාකිරීමට ද මහත් බාධාවක් බවත් පැවසු ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා රජයේ සෞඛ්‍ය සේවාවන් බිද වැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකය මතුවී ඇති බැවින් මෙම කරුණූ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.

ජනපති අනුර චීන ජනාධිපති හමුවෙයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණ.
චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකව චීන ජනාධිපති ෂී ජින් පිං විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි.
අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇත.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන ද මෙම අවස්ථාවට එක්ව ඇත.

වෙලේ සුදාට සහ බිරිඳට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 08 බැගින් සිරදඬුවම් අද(15) නියම කර තිබේ.
ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරුවන් කරමිනි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ය.
ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල් ද නියම කෙරුණු අතර නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය නියම කළේ ය.

නව සංචාරක කලාප 13ක්
නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි.
යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව ද සභාපතිවරයා සදහන් කළේ ය.
බුද්ධික හේවාවසම් තවදුරටත් සඳහන් කළේ මේ වන විට හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රමාණ නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර එය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සංචාරක ක්ෂේත්‍රයේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් ඉස්මතු කරන බවයි.
සංචාරක ව්‍යාපරයේ හොඳම වසර ඉදිරියෙන් ඇති බවත් මේ වසරේ ශීත සෘතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ 2029 වසර වන විට මීට පෙර ළඟා කර ගැනීමට අපොහොසත්වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.
බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි.

බීජිං නුවරදී ජනපතිව හරසරින් පිළිගනියි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.
එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබුණු අතර, මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.
තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

'clean sri lanka' වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ සහය
clean sri lanka වැඩසටහන සදහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් පසුගිය 10 වැනිදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන්, “ක්ලීන් ශ්‍රී ලංකා” සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණි.
වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුළිල් වටගල ද එක් වූ අතර clean sri lanka වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරිණි.
එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, එහෙත් වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් විසින් දන්වන ලදී.
රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා හෙට (14) දිනයේ විශේෂ අවස්ථාවක් සලසා දී තිබේ.
ඒ, තෛපොංගල් උත්සවය නිමිත්තෙනි.
එමෙන්ම, එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමටද අවස්ථාව සලසා දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පවසයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව මෙම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා පොලීසියට ‘Speed Gun’’
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේග මාපක උපකරණ 30ක් බෙදාදීම සිදු විය.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ ඊයේ(11) පැවති උත්සවයකදීය.
එහි පළමු අදියරේ කොටසක් ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් සඳහා මෙම උපකරණ බෙදා දී තිබේ.
අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද වේග මාපක උපකරණ සඳහා ලේසර් තාක්ෂණය භාවිත කරන අතර රාත්‍රී මෙහෙයුම් සඳහා එම වේග මාපක උපකරණ ඵලදායී බව පැවසේ.
2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් වාර්තා වී ඇත.
ඉන් 2,242ක් මාරක අනතුරුවන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.
අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බව පොලිසිය පවසයි.
මෙම නව ක්‍රියාමාර්ග හරහා එවැනි සිදුවීම් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ.

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ප්‍රවර්ධනයට සැලසුම්
ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යරයා මෙම අදහස් දැක්වූයේ රජයට අයත් එකම හෝමියෝපති රෝහල වන වැලිසර හෝමියෝපති රෝහලේ සිදු කළ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය සහ හෝමියෝපති වෛද්‍ය සභාවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමක් අමතමිනි.
වැලිසර රජයේ හෝමියෝපති රෝහල සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම දැක්ම කර ගනිමින් සියලුම ළමා හා කාන්තා රෝග, ඇදුම හා ස්වසන ආබාධ, සමේ රෝග, ආමාශගත රෝග, ස්නායු රෝග, දීර්ඝ කාලින හිසරදය, ගලගණ්ඩය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තත්ත්ව, සන්ධි ආබාධ සහ ආතරයිටිස් රෝග සදහා දිනපතා ප්‍රතිකාර ලබාදෙනු ලබයි. මෙරට සියළු ජනතාවට අඩු වියදමකින් යුතුව රෝග සමනය හා රෝග වලක්වා ගැනීමට පහසු හා ලාභදායි වෛද්‍ය ක්‍රමයක් ලෙස හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සදහා ද ක්‍රියාකාරි වැඩසටහන් රැසක් රෝහල මගින් ජනතාව අතරට ගෙනයනු ලබයි.
වසර 200 කටත් වඩා ඉපැරණි ඉතිහාසයක් සහිත වෛද්‍ය ක්‍රමයක් වන සහ බටහිර වෛද්‍ය ක්‍රමය හැරුණුවිට ලොව වැඩිපුරම ප්‍රචලිත වෛද්‍ය ක්‍රමයක් වූ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරයන් හි මෙරට ප්‍රතිකාර සේවාවන්වල වත්මන් තත්ත්වය සහ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් හි මෙරට ඉදිරි ඉලක්ක පිළිබඳව සොයාබැලීමට මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනු ලැබූ අතර, වැලිසර හෝමියෝපති රෝහලේ බාහිර රෝගී අංශය, නේවාසික ප්‍රතිකාර වාට්ටු, ඖෂධ ගබඩාව ඇතුළු ප්‍රතිකාර සේවා කටයුතු ද ඇමැතිවරයා නිරීක්ෂණය කළේය.
වැලිසර පිහිටි හෝමියෝපති රෝහලේ බාහිර රෝගී අංශය මගින් දිනකට රෝගීන් 200 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා අතර, පැය 24 පුරා නේවාසික රෝගී අංශය ක්‍රියාත්මක වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතුරු ආබාධවලින් තොරව රෝග නිට්ටාවටම සුව කිරීමේ හැකියාව ඇති මෙම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මෙරට ප්‍රවර්ධනයට අදාල සැලසුම් සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද සෑම අංශයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබා ගැනීම බව ද අමාත්‍යවරයා මෙහිදී හෝමියෝපති රෝහලේ කාර්ය මණ්ඩලයට හා හෝමියෝපති වෛද්‍ය සභාවට අවධාරණය කළේය.
කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ප්‍රමාණවත් ඖෂධ තොග වෛද්‍ය සායන සහ ජංගම සායන සදහා සැපයීම, රසායනාගාර සේවාව ස්ථාපිත කිරීම, බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, අභ්‍යන්තර රෝගී අංශය ඇඳන් 50 කින් යුතු නේවාසික අංශයක් ලෙස වැඩිදියුණු කිරීම, පරිපුරක වෛද්‍ය සේවාවන් වන වෛද්‍ය රසායනාගාර සේවාව, එක්ස් කිරණ හා භෞතචිකිත්සක සේවා සහ උපදේශන අංශ ස්ථාපිත කිරීම, ශික්ෂණ රෝහලක් දක්වා වැඩිදියුණූ කිරීම ආදී කරුණු රැසක් ඉලක්කගතව මෙම වසරේ ඉදිරි සැළසුම් සකස් කිරීමට මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය හා අමාත්‍යවරයා අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් සිදු විය.
හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු නිලධාරීන් විසින් සිය අනාගත අරමුණු ලෙස මෙරට හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම, හෝමියෝපති ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීම, සෑම පළාතක්ම ආවරණය වන පරිදි හෝමියෝපති රෝහල් ආරම්භ කිරීම, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ හෝමියෝපති සායන ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ මානව සම්පත සංවර්ධනය යන කරුණූ පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී හෝමියෝපති වෛද්‍ය පාඨමාලාව හැදීරීම සදහා මෙරට ශිෂ්‍යයින් වැඩි පිරිසක් ඉන්දියාවේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාල වෙත යැවීමේ හැකියාව සොයා බලන ලෙස මෙහිදී අමාත්‍යවරයා වෛද්‍ය සභාවට උපදෙස් ලබාදෙන ලදි.
සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙරටට ම අනන්‍ය වූ සාධක වැඩිදියුණූ කරමින් වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ හොමියෝපති ප්‍රතිකාර වැනි සෞඛ්‍ය වෛද්‍ය ක්‍රම මගින් ද සංචාරකයින් ආකර්ශණය කර ගත හැකි බවත්, අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලබාදෙන යෝජනා ක්‍රියාත්මක කරමින් ජාතික සැලැස්මක් යටතේ මෙවැනි වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍ර වර්ධනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට වැලිසර හෝමියෝපති රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී චාන්දනී හේරත් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය, හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් නිලංක දුණුකාර ඇතුලු එම වෛද්‍ය සභාවේ සාමාජිකයන් සහ හෝමියෝපති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතරක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්.එස්.කේ.බී.විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Page 30 of 473