V2025

පුවත්

ජනාධිපතිවරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් !

ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වෙන බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (12) විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, වත්මන් කාල රාමුවට අනුව මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදීමට නියමිතය.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපවත්වා සිටින බව ඇතුළු ගෙනගිය සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් මෙවැනි නිශ්චිත නිවේදනයක් නිකුත්කරන්නට ඇති බවය.

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම !

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙසේ ද පැවසීය.

වර්තමානයේ අපට තිබුණු ප්‍රධානම අභියෝගයක් වූයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධ ගැටලුවයි. එහිදී අප අමාත්‍යාංශය සතුව පවතින ආයතන 16 පිළිබඳවම විශේෂ අවධානයක් යොමු කළා. ඉන් බහුතරයක්ම මහා භාණ්ඩාගරය මත යැපෙන තත්ත්වයේ පැවතුණා. ඒ නිසා මෙම ආයතන ස්වාධීනව ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් අප කටයුතු කළා.

විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අප කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කොට වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළඹුණා. එමඟින් ධනාත්මක ප්‍රවේශයන් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනිය (ITN) සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ද විශාල වෙනස්කම් රාශියකට භාජනය කළා. එම ආයතන ද ලබන වසර වන විට ලාභ ලබන ආයතනයන් බවට පත්කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව 2022 වසර වන විට ආදායම රුපියල් මිලියන 9,268ක් පමණයි. නමුත් 2023 වසර වන එමඟින් රුපියල් මිලියන 13,616ක් දක්වා අදායම් ලැබීමට අපට හැකියාව ලැබුණා. මහජනතාව මත බර පැටවීමකින් තොරව සේවාවන් වැඩිකොට කළමානාකාරිත්ව පාර්ශ්වයේ ඇති අඩුපාඩු අවම කොට විධිමත් ලෙස සකස් කිරීමට අපට හැකියාව ලැබුණා. 2021 වර්ෂයේ අලාභය මිලියන 7,173ක් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ 2022 වසරේ අලාභය මිලියන 6,832ක් ලෙස පැවතුණා. නමුත් 2023 වසරේ අලාභය මිලියන 3,222ක් දක්වා අඩු කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 31 වන විට අලාභයෙන් තොර මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ලාභ ලබන ආයතන බවට පත් කරගැනීමට හැකි බව අපගේ අදහසයි.
එමෙන්ම පෞද්ගලික සහ රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක විශේෂ ව්‍යාපෘති වැඩසටහනක් ආරම්භ කිරීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එමඟින් ලෝකයේ ඕනෑම තැනක සිට ඉතා ඉක්මනින් භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාව සම්පූර්ණ කර ගැනීමට අපට පුළුවන් කම ලැබෙනවා. එමෙන්ම මෙම වසර තුළ බස්නාහිර පළාත තුළ ත්‍රීවීලර් 200ක් සහ මෝටර් සයිකල් 50ක් යොදා ගනිමින් භාණ්ඩ හුවමාරු කිරීම සඳහා කුරියර් සේවාවක් ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා.

ඒ වගේම ලංකා බැංකු ශාඛාවක් මඟින් සිදු කර ගන්නා වූ මූලික කටයුතු තැපැල් කාර්යාල 100ක් ආවරණය වන පරිදි සිදු කිරීමටත් අප බලාපොරොත්තු වනවා.
ඒ වගේම විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත බහුතර එකඟතා මත විශාල සංශෝධනයකට භාජන කර තිබෙනවා. අවසන් පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා. එහි මූලික කටයුතු අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. එමඟින් මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් සමඟින් ජාත්‍යන්තරය පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වනවා. එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. එමඟින් මාධ්‍යකරණයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළා නම් වෙන දේ රජිත් කියයි !

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් පැවසීය.

රජිත් කීර්ති ‍තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍යට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගිය (09) දා සහභාගි වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් ඔවුන් ඉල්ලා සිටි සංගීත භාණ්ඩ එම පාසල වෙත ප්‍රදානය කිරීම එම විදුහලේදී සිදු කෙරිණි.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ සිසුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී එම සිසුන් ඉල්ලා සිටි සියලුම සංගීත භාණ්ඩ මෙදින ප්‍රදානය කෙරිණි.

සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති ‍තෙන්නකෝන් මෙසේද පැවසීය.

මෙරට අධ්‍යාපනය වෙනස් මාර්ගයකට යොමු කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන ප්‍රතිපත්තිය ගෙන එනු ලැබුවේ අප පාසල් යන කාලයේ දීයි. මේ කාලයේදී වගේම ඒ අවස්ථාවේදීත් ඊට ‍විශාල විරෝධයක් රට තුළින් පැන නැඟුණා. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් වූ දේ සිදු කළ නොහැකි වුණා. එසේත් නොමැති නම් එහි තිබූ දේ අඩක් පමණයි කළ හැකි වුණේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට මීට වඩා විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව එදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව ගිය පෙළපාළිවලට නායකත්වය දීමට සිදු වූ මට අද අවබෝධ වෙනවා.

කෙසේ වුවත් අහම්බෙන් මෙම පාසලට පැමිණි ගරු ජනාධිපතිතුමා එදා කොළඹ සිට ගමන් කිරීමට නියමිතව තිබුණේ මගේ ගම වැලිමඩටයි. කාලගුණයෙන් බාධාවක් නොවී එතුමා එදා වැලිමඩට ගියා නම් අද මේ සංගීත භාණ්ඩ මේ ආකාරයට හිමි වන්නේ නැහැ. ජනාධිපතිතුමා අහම්බෙන් පැමිණි මේ පාසල ඒ වන විටත් නාට්‍ය හා සංගීත අංශයෙන් විශිෂ්ටතා පෙන්වා තිබුණා. දක්ෂතාව, කැපවීම හා හැකියාව තිබෙන සිසුන් වගේම විදුහල්පතිවරයක් හා ගුරු මණ්ඩලයක් මෙහි සිටිනවා. මේ පරිසරය සැකසී නොතිබෙන්න මේ සංගීත භාණ්ඩ හිමි වන්නේ නැති බව කිව යුතුයි.

මෙයින් අප උගත යුතු පාඩම වන්නේ ජීවිතේ සිදු වන අහම්බයන් යථාර්ථයක් බවට පත්වන්නේත්, ඉන් යහපතක් සිදු වන්නේත් ඔබ සූදානම්ව සිටියහොත් පමණක් බව යි. යම් අහම්බයකට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි. බොහෝ සුවිශේෂ පුද්ගලයන්ගේ ජීවිත මෙවන් අහම්බයන්ගෙන් පිරී තිබෙනවා. එම සුවිශේෂත්වය හා අවස්ථාව ලබා ගැනීමට නම්, ඔබ දැනුමින්, අධ්‍යාපනයෙන්, අත්දැකීම්වලින් වගේම විනය වැනි කරුණුවලින් සන්නද්ධ වී සිටිය යුතුයි.

ඔබේ ජීවිතය ගොඩනඟා ගැනීමට හැකි වන්නේ ඔබටමයි. රටේ ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරයාට, විදුහල්පතිවරයාට හෝ වෙන අයකුට ඔබව ගොඩනැඟිය නොහැකියි. තමන් කරන්න කැමති දේ වෙනුවෙන් අධ්‍යාපනය, දැනුම ලබා ගැනීම, අදාළ විභාග සමත් කර ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍යයි. එසේ නොවන්නට ඔබට ඉදිරි ජීවිතය දුෂ්කර විය හැකියි.

ඒ වගේම බිංදුවෙන් ආරම්භ කරන්න බිය වෙන්න එපා. ඔබට මතක ඇති මීට වසර එකහමාරකට පෙර මේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය රටක් වී තිබුණා. ඒ රට නැවත සක්‍රිය කළේ තණමල්විල හාදයෙක්. ඒ තමයි නන්දලාල් වීරසිංහ. ගරු ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය ගෙන ආවේ ඔහුයි. බිංදුවෙන් පටන් ගන්න බය වෙන්න එපා කියන්න මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්. වාසනාව හිමි වන්නේ බය නැති පුද්ගලයන්ටයි. ඔවුන්ට අවස්ථාවන් හිමි වෙනවා වගේම ඔවුන් ජයග්‍රාහකයන්ද වනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වුණේත් එයයි. මැතිවරණ‍යෙන් පරාජය වී, පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි කර ගෙන සිටින අවස්ථාවක , එතුමා ළඟට ඇවිල්ලා මේ රට බාර ගෙන ගොඩ ගන්න කියා ඉල්ලන්න මිනිස්සුන්ට සිදු වුණා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශික්ෂණයක්, දැනුමක්, හැකියාවක්, මාවතක් නොතිබුණා නම් අද අපට මෙහෙම කතා කරන්න ලැබෙන්නේ නැහැ. එය කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණක් නොවිය හැකි වුවත් කළ හැකියි කිවූ එකම පුද්ගලයා ඔහු පමණයි. ඒ නිසයි අද ඔබට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමට මේ අවස්ථාව හිමි වුණේ.

වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කේ. කේ රවින්ද්‍රා මාලනී, වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්යය විෂය සම්බන්ධීකරණ නිලධාරි වසන්තා රෝහිණි දිසානායක, මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්ම මහත්මීන් , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

IMG 20240213 WA0007

පාරිභෝගික තැම්පත් සඳහා පොලිය ගෙවීමට ලංවීම සූදානම් !

අලුතෙන් සිදුකරන විදුලි සැපයීමක් අවස්ථාවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නේය.

එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.

මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වන දා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ  මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අය කර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොලියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවය.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොලී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

සජබ විශාල පිරිසක් ආණ්ඩුවට එනවා : පොහොට්ටු මූලස්ථානයේදී ප්‍රකාශයක් !

සජිත් ප්‍රේමදාස ගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්‍ෂයට එකතු වන බවත් විපක්‍ෂ නායකවරයා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එකතු වෙමින් සිටින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අද (13) පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය.

සමඟි ජනබලවේගයෙන් හොඳ දේශපාලඥයන් යෑම සජිත් ප්‍රේමදාස ට නතර කළ නොහැකි බවත් රට සහ රටේ ජනතාව පිළිබඳව අවදානය යොමු කරමින් ආදර්ශමත්ව කථා කරන පාඨලි චම්පික රණවක මහතා වැනි වියත් දේශපාලඥයන්ට කථා කිරීමේ අයිතිය නැති කිරීමට ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම නිසා පාර්ලිමේන්තුව තුළ දැවැන්ත පරිවර්ථනයක් වන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සජිත් ප්‍රේමදාස මහතාගේ පටු දේශපාලනයට මෙවැනි සිද්ධීන්වලින් විශාල ප්‍රහාරයක් එල්ල වන බවද පැවසීය .

සජිත් ප්‍රේමදාස සහ කිරිඇල්ල වැනි මහත්වරු නැගිටිලා යන විට සෑබෑ පාර්ලිමේන්තු වගකීම ඉටුකරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වී ඔවුන්ගේ යුතුකම ඉටුකරන බවත් විධායක ජනාධිපති ක්‍රමය රටට ගැලපෙන ආකාරයට අවසන් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ජනතාව ඉහළට ඔසන්න විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන්නේ නම් එහි ගැටලුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වැඩි දුරටත් පැවසීය.

ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ අනුව ඊට අදාළ නත් කෙටුම්පතක් සකස් කිරීමට පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව, මේ වන විට එම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතියි.

එසේ වුව ද එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනා එම කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නොමැත.

ඒ අනුව, අදාළ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හඳුනා ගනු ලැබ ඇති ‌සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කෙරෙනු ඇත.

ජංගම දුරකථන භාවිතා කරන්නන් සිම්පත ලියාපදිංචි කිරීම අනිවාර්යයි

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි.

සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ පැවසුවාය.

අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ  ඒ බව සඳහන් කළාය.

තවද, ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව ඇය පෙන්වා දුනි.

ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව ඇය සඳහන් කළාය.

ලංකාවේ තෙල් බිස්නස් එකට තවත් සමාගමකට ඉඩ : ගිවිසුමත් අත්සන් කරලා !

ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ.

එම ගිවිසුමට එළැඹීම අද (12) කොළොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත.

පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ උපදෙස් මත මෙම ගිවිසුම්ගතවීම සිදුකර ඇත.

මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.

ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම් !

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක් විය.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරිණි. මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය (UPI) හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් හඳුන්වාදීමත් සමඟ LankaQR හරහා UPI ගනුදෙනු හඳුන්වාදීම සිදු කෙරේ. දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වන අතර මෙම වැඩපිළිවෙළ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන්නකි.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීම සඳහා සැලසුම් කර තිබේ.

මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධ වන බවත්, ඒ හරහා මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවත්ය.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම තමන් පසුගියදා පර්ත් නුවරදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා සමඟ ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වූ බවත්, “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අදාළව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්වන බවත් පැවසූ ජනාධිපතිවරයා මොරිෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගීතාව මඟින් නව සම්බන්ධතා ගොඩනැඟීමට දරන ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව සහ මොරිෂස් රාජ්‍යය UPI පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කිරීම සහ දේශීය ආර්ථිකයන්හි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ පියවරක් බව මෙම අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේය.

අප්‍රිකාව සඳහා හඳුන්වාදුන් RuPay කාඩ්පතෙහි පවතින වැදගත්කම පෙන්වා දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවට පැමිණෙන මොරිෂස් සාංචාරකයන්ගේ පහසුව වැඩි කිරීම සහ මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීමේ අවශ්‍යතාව අඩු කිරීම සඳහා එමඟින් සිදුකරනු ලබන කාර්යභාරය අවධාරණය කළේය.

ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සිය අසල්වැසියන් මුහුණදෙන අර්බුදයන්හි දී “අසල්වැසියාට ප්‍රමුඛතාව” යන ප්‍රතිපත්තියට අනුව සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මොරිෂස් අගමැති ප්‍රවින්ද් ජග්නවුත් සිදු කළ කාර්යභාරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ස්තූතිය පළ කළ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රටවල් තුනෙහි මහ බැංකු හා ආයතන විසින් දක්වන ලද දායකත්වය අගය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

මෝදි අගමැතිතුමනි, මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල තවත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. මීට සති කිහිපයකට පෙර ඔබ රාම් මන්දිරය විවෘත විවෘත කළා. ඒ පිළිබඳ මම ඔබට සුබ පතනවා. මෙයින් පිළිබිඹු වන්නේ අප දෙරටේ ආර්ථික හා සංස්කෘතික සබඳතාවයි.
වසර දහස් ගණනක සිටම අපගේ රටවල් දෙක අතර ගෙවීම් කටයුතු සිදු වූණා. ඒ කාලයේ භාවිතා කරන ලද කාසි තවමත් අපගේ කෞතුකාගාරවල පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වසර දහස් ගණනක් පැරණි දකුණු ඉන්දියානු කාසි හමුවී තිබෙනවා.

ඉතින්, අප අද සිදු කරන්නේ එම සබඳතාව තාක්ෂණිකව වැඩිදියුණු කිරීම පමණයි. අපට තවදුරටත් කාසි අවශ්‍ය නැහැ. අප වෙනුවෙන් ලංකා QR සහ NIPL එකතු වී තිබෙනවා.
ඒ වගේම, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයන් පැමි‍ණෙන බැවින් අපේ රටේ සෑම ප්‍රදේශයකම මෙම ක්‍රමය භාවිතා විය යුතුයි.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහ ශ්‍රී ලංකාව සහ මුම්බායි අතර සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉතා විශාල වන අතර විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මම සිතන ආකාරයට ව්‍යාපාරිකයන් 400,000ක් පමණ මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. එබැවින් මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකියි.
මම පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දීය අගමැතිතුමා සහ මම එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා සමඟ මම පසුගියදා පර්ත් නුවරදී සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව එම වැඩපිළිවෙළේදී අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා. එමෙන්ම එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නව සම්බන්ධතා ගොඩනඟා ගත හැකි වෙනත් ක්ෂේත්‍ර ද හඳුනාගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. මට නම් මෙය සතුටට කරුණක්. මේ වැඩසටහන හරහා, අපි මොරිෂස් සමඟත් සම්බන්ධවී තිබෙනවා.

අප දෙරටම දූපත් රාජ්‍යයන් නිසා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටවල් දෙක අතර ඓතිහාසික සම්බන්ධතා තිබෙනවා. ශ්‍රී ලංකාව මොරිෂස් රාජ්‍ය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ පර්ත් නුවරදී නැවතත් සාකච්ඡා කළා. මෙම වැඩසටහන ආරම්භ කිරීමට දැක්වූ සහයෝගය පිළිබඳ මම මෝදි අග්‍රාමාත්‍යවරයාට නැවතත් ස්තූතිවන්ත වෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240212 WA0011

කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති නිරාවරණය කරයි !

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවිය.

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙයට සමගාමීව විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුව සහ සියම් දේශයේ උපාලි මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවණය කිරීම පූජ්‍ය මහරගම නන්ද නා හිමිපාණන් වහන්සේගේ සහ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේට සහ ලුවම් පු සෘෂි කෙත්කෑව් තාපසතුමා වෙනුවෙන් සහ මහාචාර්ය නුවන් කාවින්ද විජේසිංහ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවිය.

මෙහිදී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ඓතිහාසික රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර, කටුනායක බෝධිරත්නාරාමාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ද, වාළුකාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු මෙරට සහ තායිලන්ත ස්වාමීන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240212 WA0008

IMG 20240212 WA0006

අනුර 90%ක් ගන්නවා : චීනය , ජපානය සහ දකුණු කොරියාවටත් ගෙන්වීමට ඉල්ලීමක් !

මෙවර ජනාධිපති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ ඉතිහාසයේ නොවී විරූ වාර්තාවක් තබමින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සඳහන් කරයි.

මෙවර සියයට හැටපහ හැත්තෑ නොව සියයි අසූවක අනූවක දැවැන්ත බලයක් නිර්මාණය වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් බද්දේගම ප්‍රදේශයේදී අමතමිනි.

ඉන්දියාවන් නිකම්ම නිකම් අනුර දිසානායකට ආරාධනා නොකරන බවත් ලංකාවේ දේශපාලනය හැරවුමකට ලක්ව ඇති බව ඉන්දියාව දන්නා බවත් හෙතෙම කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක බව ආසියාවේ බලවතා දන්නා බවත් ජනාධිපතිවරණයෙන් ඔහු පරදින්නේ නම් ඉන්දියාව මේ ආකාරයේ රාජතාන්ත‍්‍රික ගනුදෙනු පවත්වන්නේ නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ වුවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගෙන් එකක් වන ඉන්දියාව එම තත්ත්වය අත්පත් කර ගැනීමට පසුගිය දශක කිහිපය තුළ සිදුකර ඇති වෙනස්කම් ඉන්ද්‍රිය ගෝචරව අවබෝධ කර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ඉන්දියාවේ සංචාරය කිරීම ඉතා හොඳ දෙයක් බව ය.

ඉන්දියාව පමණක් නොව ජපානය, දකුණු කොරියාව, චීනය යන රටවලටද මෙම පක්ෂයේ නියෝජිතයින් කැඳවා ගැනීමට ඉක්මනින්ම එම රටවල සහයෝගය ලබා දෙන්නේ නම් එය ඉතා විශාල වැදගත්කමකින් යුතු බවද අමාත්‍යවරයා පවසයි .

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයන්ද සහභාගී කරවා ගන්නේ නම් ඔවුන්ට ද එම තත්ත්වය අවබෝධ කරගත හැකිවනු ඇතැයිද කියා සිටියේය.

වෛද්‍යවරුන්ට අනුමත දීමනාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් යළි වර්ජනයක !

  වෛද්‍යවරුන් සඳහා ලබාදුන් DAT දීමනාව තමන්ටත් අවශ්‍ය බවට බලකරමින් හෙට (13) පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිතිය හැත්තෑ දෙකක් තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම මත මෙම පියවර ගෙන ඇත.

කෙසේ වුවත් මේ දීමනාව ලැබීමට අදාළ වෘත්තීය සමිති සාමාජිකයන්ට නොහැකි බවත් ඒ ඔවුන් මාණ්ඩලික නිලධාරීන් නොවන නිසා බවත් රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය .

රාජ්‍ය සේවයේ මාණ්ඩලික  නිලධාරීන් වෙත ඔවුන්ගේ ශ්‍රේණිය මත ප්‍රවාහන දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකම ලබාදීමට කටයුතු කරන නමුත් වෛද්‍යවරුන් මාණ්ඩලික නිලධාරීන් කැටගරියේ සිටියත් ඔවුන්ට එය නොලැබෙන බැවින් මේ Dat දීමනාව දෙන බවද ඔහු පැවසීය . ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරියා පවසා සිටියේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72 මේ ඉල්ලා සිටින්නේ ඔවුන්ට කොහෙත්ම අනුමත නොමැති දීමනාවක් බවත් එනිසාම මේ වර්ජනය ද රෝගී ජීවිත ප්‍රාණ ඇපයට ගත් අමානුෂික සහ  අසාධාරණ වර්ජනයක්  බවත් ය.

රනිල් ජයවික්‍රම පෙරේරා බලන්න යයි : සජිත් පුතාව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කරයි !

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ කටුගම්පළ පිහිටි නිවසට ඊයේ (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය.

අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම පුවත වාර්තා වූ වහාම ගාමිණී ජයවික්‍රම ගේ පුත්‍රයා වන අසංක ජයවික්‍රම දැරූ සමගි ජනබලවේගය පක්ෂයේ කටුගම්පොල ආසන සංවිධායක ධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇති බවයි.

මේ වන විට එම ආසන්නයේ සමසංවිධායකවරුන් ලෙස නිලන්ත හේරත් සහ තුෂාර ඉදුනිල් පත්කර තිබෙන බවත් වාර්තා වෙයි .

උමා ඔයට අදාළ කැබිනට් පත්‍රිකාව අනුර ගේ : මහින්දගෙන් නිවේදනයක් !

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි .

2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන අනුර දිසානායක ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මුලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යනුවෙන් බවද හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ "උමා ඔය ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කළ නිවේදනයක ය.

එහි මෙසේද සඳහන් කර ඇත .

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට පසුව රටේ විශාලම ජල විදුලි බලාගාර වලින් එකක් වනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇත. මධ්‍යම කදුකරයේ සිට ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීම ඉලක්ක කරගත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයින් අතර මැලිකමක් ඇතිවීම වැලැක්විය නොහැක.

විධායක ක්‍රමය අහෝසියට සහය දෙනබව මෛත්‍රී කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ''නිදහස වෙනුවෙන් අපි'' යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (10) සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.

කුඩා දරුවන්ගේ අක්මා බද්ධයට හා කර්ණශංඛ සඳහා ජනාධිපති අරමුදලක්

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් දී තිබේ.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් (රු 1,000,000/-ක) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දී තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදු කළයුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියළුදෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොළය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර 02ක් ඇතුළත සිදු කළයුතු බව වෛද්‍ය මතයයි.

මෙම සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ පනහක් හෝ ඊට වැඩි මුදලක් වැය වන බව ලැබෙන ඇස්තමේන්තු අනුව නිරීක්ෂණය වේ. දැනට මෙම සැත්කම සිදු කරන්නේ රජයේ රෝහල් කිහිපයක පමණක් වීම නිසා රජයේ රෝහල්වල මේ සඳහා පොරාත්තු ලේඛනවල සිටීමට රෝගී දරුවන්ට සිදුව ඇත.

මෙම ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන අතර, මේ සඳහා යොදන උපකරණයේ (Implant) වටිනාකම රුපියල් මිලියන 3-4කට ආසන්න මුදලකි. එම උපකරණය (Implant) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දුන්න ද සැත්කම සඳහා වන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රෝගීන් විසින් ගෙවිය යුතුය. එයට පිළියමක් වශයෙන් මෙම උපකරණ (Implant) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන සැත්කම සඳහා යන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් සිදු කරන මෙම සැත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලබයි.

තවද මෙවැනි දරුවන් හට මම සැත්කම සිදු නොකිරීම සමාජයට මෙන්ම සෞඛ්‍ය පද්ධතියටද හානිකර ලෙස බලපායි. කෙසේ වුවද මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවුවද කුඩා දරුවන් වෙත සිදු කරනු ලබන මෙවැනි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීම රටට වන අනාගත ආයෝජනයකි. එබැවින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අනුමැතිය ලබා දී ඇත.

ජනපති යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ ය.

ඒ , ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.

ජනාධිපතිවරයා, පසුගිය 08 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේ ,07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.

මේ වසරේ මැතිවරණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඔහු මේ අදහස් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පවසයි.

Page 28 of 389