පුවත්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව කාර්ය සාධක බලකායක්..
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේගේ සභාපතීත්වයෙනි.
කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයින් 05 දෙනෙකු ද ඇතුළත් වේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර , කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම එම කාර්ය සාධක බලකායේ ඇතුළත්.
මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලුමනී දවුලගල සහ මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර එම කාර්ය සාධක බලකායට ඇතුළත් වේ.

විදුලි කප්පාදුව අද සහ හෙට
හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට
අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු විය.
ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ නගරය, කළුතර,කොළොන්නාව, කැලණිය,පන්නිපිටිය, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර තිබේ.

වෙරළ ‘Clean’ කිරීමේ වැඩපිළිවෙල අද සිට
Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන හෙට(09) පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එය මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණයවන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08)පැවැත්වුණි.
රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.
ඒ් අනුව මෙම වැඩසටහන ඔස්සේ වෙරළ පිරිසිදුකම, සංරක්ෂණය, ආරක්ෂාව සහ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සුගීෂ්වර මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයන්ගෙන් වටවී තිබුණද, ධීවර ජනගහනය ඇතුළු දේශීය ප්‍රජාවන්ට ඒවායෙන් එන සැලකිය යුතු ප්‍රතිලාභ තිබියදීත්, ඒවායේ පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදුකම බොහෝ විට නොසලකා හැර ඇති බව ඔහු පැවසීය.

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් ආධාර
Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර ලැබී තිබේ.
මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන නවතම කම්පැක්ටර් රථ 28ක් මේ යටතේ දිවයිනට ලැබී ඇති බවයි.
ඒවා බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට යොදවනු ඇති.
මීට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තැබීම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.
ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරයි.
“Govpay ” වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.
ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූයේ කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.
මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින බවත්, අද ඩිජිටල්කරණය නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.
මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.
ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක්
ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන තුළ සම්පූර්ණ කළ යුතු බවද විජේසූරිය සදහන් කළේය .
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.
මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.
මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.
කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්නගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.
පසුගිය වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,435 දෙනෙකු ස්ථිර කර ඇති ඇතැයි ද කාරක සභාවේදී අනාවරණ වී ඇත.

රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක විසිනි.
යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ.
එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ, යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.
මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතාතත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.
මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ."
''යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා''
විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබු අගමැතිනී හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.
''මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා. යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා.

ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නවා - අගමැතිනී
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි.
අහිංසාගේ කනස්සල්ල සහ ඇයට මේ මොහොතේ දැනෙන වේදනාව මට හොඳින් තේරෙනවා, මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා, අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපි අපේ උපරිමයෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා.
මේ පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොණු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අවශ්‍ය නම් අලුතින් නඩු පවරන්නත් කටයුතු කරනවා විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි.
පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ, නීතිපතිවරයා විසින් ලබාදුන් නිර්දේශය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවය.
ඒ අනුව අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි.
පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්ය.
අහිම්සා වික්‍රමතුංග අගමැතිනියට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්

ඩයනාට වරෙන්තු
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය නිකුත් කළාය.
ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනාවලට ඩයනා ගමගේ ට එරෙහිව ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ(04) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රි ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පළ කළ අතර මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩ පිළිවෙළ ඇගයීමට ලක් කළේය.
සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන අංශ නවයක් කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, වත්මන් සහ ඉදිරියේදී පැනනගින අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම පිළිබඳව දෙපාර්ශවයම අදහස් හුවමාරු කර ගත්හ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේදී දේශපාලන බලමුලු ගැන්වීමේ කාර්යභාරය අවධාරණය කරමින් අපේක්ෂකයින් ලෙස පමණක් නොව ක්‍රියාකාරී ඡන්ද දායකයින් ලෙසද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දෙපාර්ශවයේ අවධානය යොමුවිය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු මෙරට නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මත්තල ගුවන්තොටේ වාර්ෂික පාඩුව රු. බිලියන 3.2යි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේය.
ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන යානා ගොඩබැස්වීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
නව තීරණයක් සමග ගුවන් සමාගම් 06ක් මත්තල ගුවන්තොටුපොළට සිය යානා ගොඩබැස්වීමට එකඟතාව පළ කර තිබෙන අතර මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10 කි.
එහෙත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර
එම සංඛ්‍යාව මේ වසරේදී ලක්ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
රුවන් කොඩිතුවක්කු මහතා පැවසුවේ, මත්තල ගුවන්තොටුපොළ වටා ඇති 17 KM ක් දිග ආරක්ෂිත වැටද අබලන් වී ඇති බවයි.
එය නවීකරණය කර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

දිනකට පාස්පෝට් 4,000ක් : පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ඒ ඔස්සේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමට නියමිත බව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.
ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මඟින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

පොල් මද ආනයනයට කැබිනට් අනුමැතිය
මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව සොයා බලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට හට නියෝග කර ඇත.
ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළව මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබේ.
එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

පැමිණිලි ප්‍රතික්ෂේප කරන පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග
පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන අයගෙන් පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකි බව වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයකින් දන්වා තිබේ.
මෙලෙස පැමිණිලි ප්‍රතික්ෂේප කරන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව තොරතුරු ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියත්න වීරසුරීය පවසයි.
ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවද සිය චක්‍රලේඛයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් බව ද එහි සඳහන් ය.
මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිඳු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවැනියා වූ ඉෂාදි දිවයිනට
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගෙන එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි අමන්දා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය ඉකුත් 01/30 දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
ඉෂාදි අමන්දා ගේ දෙමාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.
ඉෂාදි අමන්දා සහභාගී වූ මෙම තරගාවලිය පිළිබඳ ඇයට අමතරව , ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා , එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

77 වැනි නිදහස් දිනය අදයි : නිදහසේ සිහිනය එක්ව දකිමු...එක්ව සැබෑ කරගමු - ජනපති
ශ්‍රී ලාංකේය ජාතිය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදුණු අභිමානවත් නිදහසේ හැත්තෑ හත් වැනි සංවත්සරය අදට (04) යෙදී තිබේ.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත් විණි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙන බවයි. එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.
77වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ කතාව…..
“ මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.
1948 පෙබරවාරි 4 වන දා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නෙ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.
මේ දවස උදා කිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාගයන් කළ සියලු වීරෝධාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝධාර මිනිසුන් කඳුපල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වනවා.
අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්‍රයේ මේ අභිමාවනවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන ඒ ඓතිහාසික බර දරා ගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරා ගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.
අපට අපේ ආර්ථික නිදහස වෙනුවෙන්, අපට අපේ සමාජ සංස්කෘතික නිදහස වෙනුවෙන්, කොටින්ම නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය ගැනීම වෙනුවෙන්, එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික බේද, ආගමික බේද, කුල බේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, ආයතන ප්‍රධානීන් හා ආයතන කාර්ය මණ්ඩල අතර, මගීන් සහ පොදු ප්‍රවාහනය මෙහෙයවන්නන් අතර, රජයේ සේවකයන් සහ තම වුවමනා ඉටු කිරීමට එන පොදුජනයා අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර මේ ආදී මේ සෑම තැනකම මුල් බැස ගෙන ඇති අගතීන් සෝදා හැර මේ සමාජය පවිත්‍ර කර කළ යුතුව තිබෙනවා සේම නූතන ලෝකයට උරුම මානව ගරුත්වය, ආදරය සහ දයාව සියලු මිනිස් සබඳතාවන්ගේ පදනම බව අප අපටම අවධාරණය කර ගත යුතුව තිබෙනවා. එසේම මේ රටේ පුරවැසියන් ලෙස මනුෂ්‍යයෙකුට හිමි වන ගෞරවය හෝ ආදරය ආබාධිතබව නිසා, වයෝවෘධබව නිසා, රෝගී බව නිසා හෝ එවැනි කිසිදු නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ.
යටත්විජිතවාදයෙන් මිදී වසර 77ක් සපිරෙන විට රටක් ලෙස නිදහස ගැන අපට අලුතෙන් සිතිය හැකි වන්නේ එවිටයි.
මේ නිසා අප මතක තබා ගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගලබිමක අරගලකරුවන් වන බව. අප සියලු දෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.
මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් සහ ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා, අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ ජාතියේ නිරෝගීබව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලිසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා, අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන, අපේ රට කාර්මීකරණය කරා ගෙන යන, අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාට එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේදලු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට, අපෙන් දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට, තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉහළට ගෙන යාමට වෙර දරන, සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්නට වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා.
ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක් ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතු ව තිබෙනවා. ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලය තුළ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැහැ.
ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්නට ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක්. එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා.
එසේම මේ රටේ අනාගත පරපුර හදා-වඩා ගන්නා සුවහසක් ආදරණීය මව්වරුන් ලෙස ආදරණීය පියවරුන් ලෙස ඔබටත් එහි ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක්.
ඒ වගේම හෙට දින මේ රට භාරගැනීමට සූදානමින් අද දින සිප්සතර හදාරන දුවා-දරුවන් ලෙස ඔබට එහි අද්විතීය භූමිකාවක් තිබෙනවා.
මේ රටට අසීමිත ලෙස ආදරය කළ මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්, ලේ කඳුළු දහදිය මතින් මේ රට අනාගතය වෙත ගෙන යන වගකීමේ යෂ්ටිය අප වෙත භාර වූ පරිද්දෙන් අප විසින් ඒ ගෞරවනීය වගකිීම මතු දිනයකදී ඔබට භාර කරනු ලබනවා. එහෙත්, 2025 පෙබරවාරි 4 වන දා, යටත් විජිතකරණයෙන් නිදහස් වී වසර 77 කට පසු ජාතික නිදහස සමරන අද දිනයේ ඔබට මා එක දෙයක් සපථ කර කිව යුතු ව තිබෙනවා. ඔබට අප විසින් බාර දෙනු ලබන ඒ රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව ඔබ විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ආසා කරන, ඔබේ පුරවැසි අභිමානය ගරු කරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් වන බවයි. එසේම මානව ශිෂ්ටාචාරය මේ වන විට අත් කර ගෙන ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ චින්තනමය ජයග්‍රහණ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුරවැසියෙකු ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කරනු ලැබූ රටක් වන බවයි.
මා ස්ථිරසාර ලෙස අද ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නොමැති වන නිසයි. අප එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරනු ඇති. එසේම අප විසින් ඔබ හට බාර දෙන අපේ මේ ආදරණීය මාතෘභූමිය අපටත් වඩා වැඩි සෙනෙහසකින්, අපටත් වඩා වැඩි ජවයකින් ඔබ විසින් අනාගතය වෙත ගෙන යන බව මට විශ්වාසයි.
මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත් හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමයි. එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමයි. නිදහස වෙනුවෙන් වන අරගලය බැඳී ඇත්තේ මෙන්න මේ උත්තුංග අරමුණ සමගයි.
මේ නිසා ඒ නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු.
සමහර විට ඔබ සහ මම, අපි සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවද මතක තබා ගන්න. අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකියි.”
Page 26 of 473