V2025

පුවත්

භේද අවසන් : නායකත්ව මණ්ඩලය සමග අලි වැඩ අල්ලයි !

අලි පාටියේ හිරු සඳු වගේ බලවත් දෙන්නෙක් කාලයක ඉඳලා වැඩිය හිත හොඳ නෑලු. එක්කෙනෙක් කොළඹ කරුණාවට බර නායකයෙක්ලු. අනික් කෙනා දෙණි-යායකින් ආපු දැන් රජ ගෙදර වැඩ කරන කෙනෙක්.

මේ දෙන්නා පක්ෂයේ වැඩ නිසාම වැඩිය ඇයි හොඳයියක් නැතුවලු හිටියේ. ඒත් මේ ළඟදී රටේ ලොකු තැන කොළඹ කෙනාට කතා කරලා කිව්වලු අද අමුත්තෙක් එක්ක ඒ පැත්තේ එනවා කියලා. කවුද කියලා කිව්වේ නෑලු.

කොහොම හරි කිව්ව විදිහට ලොකු තැන ගියාලු ඒ ගෙදර. ගියේ කාලයක් නෝක්කාඩුවෙලා හිටිය දකුණෙ එක්කෙනා එක්කලු.

ලොක්කා අමුත්තා කියලා එක්කන් ආවේ එයාලු.

කොහොම හරි මෙතැන ලොකූ කපුකමක් වෙලා මේ කාලයක් වෙන්වෙලා හිටිය දෙන්නම යාළු කෙරුවලු. ඒ ඉස්සරහට ලොකු වැඩ වගයකට දෙන්නවම සූදානම් කරන්නලු.

ඔය කතාව තිබුනේ ඉරිදා දේශය පත්තරේ..

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් , එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අද හෙටම කරන්න යන වෙනසක් පිළිබඳව , දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තියනවා.. ඒ අනුව පක්ෂයේ තීරණාත්මක නායකත්වයේ බලතල නායකත්ව මණ්ඩලයකට පවරන්න ලු යන්නේ.

දැනට තියන තොරතුරුවලට අනුව , ඔය UNP එකෙන් පත්කරන්න යන නායකත්ව මණ්ඩලේ 8 දෙනා යාලු කරන්න ජනාධිපති රනිල් සැහෙන ට්‍රයි එකක් දෙනවා කියලයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වලින් ආරංචි වෙන්නේ.

රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන , රවී කරුණානායක, අඛිල කාරියවසම් , සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර සහ නවින් දිසානායක තමයි ලු ඔය කියන නායකත්ව මණ්ඩලේට පත්කරන්න යනවා කියන්නේ. ඒ අටදෙනාට නිශ්චිත වගකීම් පවරන්නත් පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීන්දු කරලලු.

ඒ ආරංචිවල හැටියට එජාපෙ මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු රුවන්නට බාරදෙන්න ලු හදන්නේ.. රවිට සන්ධානේ ගොඩනැගීමට අදාළ වගකීම් පවරන්නත් කතාබහ වෙලා. කැම්පේන් එක බාරදෙන්න යන්නේ හරින් ට ලු.

ජනාධිපති රනිල් 23 වෙනිදා ආයෙත් ලංකාවට ආපු ගමන් නායකත්ව මණ්ඩලේ ප්‍රකාශයට පත්කරලා, ඒ හැමෝටම නිශ්චිත වගකීම් බාරදෙන්න යනවා කියලයි ජනාධිපති මාධ්‍ය අංශයේ වගකිව යුත්තෝ කියන්නේ..

මේ ලංකාවේ ආයෝජනයට සුදුසුම කාලයයි : ස්විට්සර්ලන්තයේදී ජනපති කියයි !

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 2 තුළ රජය විසින් ගත් පියවර ද අනාවරණය කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය .

මෙම දේශනය සිදු කිරීම සඳහා මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්විට්සර්ලන්ත - ආසියානු වාණිජ මණ්ඩලයට සහ මෙම උත්සවය සංවිධානය කළ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. මේ සඳහා විවිධ අයුරින් කැපවීම් සිදු කර ඇති ගෝලීය සංසද කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග ගැනීම අවම මට්ටමක පවතින බව කිවයුතුයි.
ගෝලීය නායකත්වය තුළ පවතින මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දුරට ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරීමට සිදුවී තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා.
බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන් ද කඩාකප්පල් කරනවා.සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි.

මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළ යුතුයි. ඩුබායි හි පැවති COP28 සමුළුවේදී අප “නිවර්තන කලාපීය මුලපිරීම” ද ආරම්භ කළා. මෙමඟින් නිවර්තන කලාපයේ රටවල වනාන්තර, බලශක්තිය, සාගර, කඩොලාන පරිසර පද්ධතින් තුළ පෞද්ගලික ආයෝජන සඳහා උත්ප්‍රේරණයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා.

එවැනි ප්‍රයත්නයන්හි එක් ප්‍රධාන අංගයක් වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි.
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. එය ජලාශ හතරකින් සමන්විත වෙනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා ඉන් පසුව අපි මහවැලි සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කළා. එමඟින් ප්‍රධාන ජලාශ පහක් නිර්මාණය කෙරුණු අතර වලවේ ගඟ ව්‍යාපෘතිය හයවන ජලාශය ලෙස එක් කෙරුණා.

මහවැලි ගඟ ව්‍යාපෘතියේ අවසන් අදියර සම්පූර්ණ වුණේ මීට වසර හතකට පෙරයි. මේ අනුව ජල විදුලිය සඳහා අප සතුව ප්‍රවතින ප්‍රභවයන් භාවිතාවට ගෙන තිබෙනවා.

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යෙදා ගෙන ඇති නිසා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ.
පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මූල්‍ය ප්‍රතිසංස්කරණ

එහි පළමු පියවර පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමයක් ඇති කිරීමයි. 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නැහැ. මෙය ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් ගලා ඒම පිළිබඳ ගැටළු ඇති කිරීමට හේතු වූ අතර ඇතැම් අවස්ථාවන්හිදී විදුලි සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමටද හේතු වුණා.

කෙසේ වෙතත් 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පිළිබිඹු කරන මිල සුත්‍රයකට මාරු වුණා. ඒ අනුව, අනාගතයේ විදුලි උත්පාදනය සඳහා පවතින පිරිවැය පිළිබිඹු කරමින් සෑම කාර්තුවකටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනවා.

දිගු කලක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වසරේ දී ලාභ ලබන ආයතනයක් බවට පත් වූ අතර, එමඟින් අතීතයේ සිට පවතින ණය සැලකිය යුතු මට්ටමකින් පියවා ගැනීමට ද හැකි වුණා.

මෙම ආයතනයට දැන් ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම වඩා ශක්තිමත් මුදල් ප්‍රවාහ තත්වයක් සහ මූල්‍ය ද්‍රවශීලතාවය සහතික කරනු ලබන ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. සමවර්ත ගාස්තුව නම්‍යශීලී නොවීම ආයෝජකයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට අමතරව හරිත මූල්‍යකරණය ආකර්ෂණය කර ගැනීමේ රාමුව ද අපි සකස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තිරසාර මූල්‍යකරණය සඳහා වන මාර්ග සිතියම, හරිත මූල්‍ය වර්ගීකරණය, තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා වන ආයෝජක සිතියම සකස් කර ඇති අතර දැනට සකස් කරමින් පවතින හරිත බැඳුම්කර රාමුව සඳහා වන මාර්ග සිතියම යන පියවර මඟින් ශ්‍රී ලංකාවට දේශගුණික මූල්‍යකරණයේ ශක්තිමත් නියැලීමක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා. තිරසර මූල්‍ය පහසුකම් සැපයීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අමතර ශක්තියක් වනු ඇතියි.

නෛතික ප්‍රතිසංස්කරණ

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ මහා පරිමාණ ආයෝජන සඳහා නීතිමය බාධක තිබෙනවා. 2022 වසරේදී හඳුන්වා දුන් විදුලිබල පනතේ සංශෝධන මඟින් එම නීතිමය බාධා ද ඉවත් කිරීමට කටයුතු කිරීම එහි දෙවන පියවරයි.

ආයතනික ප්‍රතිසංස්කරණ

තුන්වැන්න, රජය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගතකිරීමේ අවසන් අදියරේ සිටීමයි. මෙමගින් විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම, උත්පාදනය සහ සම්ප්‍රේෂණය සඳහා වැඩි මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධිපත්‍යයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වය සහ විනිවිදභාවය ඇති වෙනවා.

විදුලිය උත්පාදනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම දැනටමත් සිදුවන අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා පුද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථාවක් සැලසෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් පාරිභෝගිකයින්ට මෙන්ම වඩාත්ම තරගකාරී හා කාර්යක්ෂම විදුලි නිෂ්පාදකයින්ට වඩා ඵලදායී අවස්ථා නිර්මාණය වෙනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව එමගින් සහතික කෙරෙනවා. මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන නීති කෙටුම්පත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

විශේෂයෙන් 2026 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වෙනවා. එසේම ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අවශ්‍යයි. 2030 දක්වා මෙම ඒකාබද්ධ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාගත දැක්ම

පසුගිය වසර දෙක තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

සජිත් අනුරව කොපි කරයි !

අපි පහුගිය කාලයක් තිස්සේ දිගටම කිව්ව දෙයක් තමයි ග්‍රවුන්ඩ් එකේ බැහැලා ඉන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විතරයි . වෙන කවුරුත් නෑ කියලා . 2024 කියන්නේ මැතිවරණ වසරක් බව ඇත්ත. තවම මැතිවරණයක් කැඳවලා නැති එකත් ඇත්ත. මැතිවරණයක් කැඳෙව්වාට පස්සේ ඔය දැන් තියෙන වෝට් බේස් වෙනස් වෙන එකත් ඇත්ත. හැබැයි මේ වෙනකොට නිකුත්වෙන බහුතරයක් සමීක්ෂණ ඇතුලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ ඉහළින් ඉන්න එකත් ඇත්ත.

ඔන්න මේ කියන්න යන්නේ ඒ ගැන තියෙන අලුත්ම අප්ඩේට් එක .

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂණ වාර්තාවක් ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියනවා.

පසුගිය නොවැම්බර් මාසය වන විට ජාජබට සියයට පණහක ප්‍රමාණයක මහජන කැමැත්තක් තිබූ බවයි බිමල් කියන්නේ..ඒ මාලිමාව විසින් පින්ලන්තයේ දී පවත්වන ලද ජන හමුවක් අමතමින් ...

දේශපාලන නායකත්වය වෙනස් නොකර ශ්‍රී ලංකාව වැටී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ගත නොහැකි බවද පැවසූ බිමල්. තම පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ලාංකිකයන්ගේ ද බහුතර විශ්වාසයක් ලැබී ඇති බව සඳහන් කර තියනවා.

ඔන්න දැන් ජවිපෙ ප්‍රමුක මාලිමාවේ කට්ටිය දැන් එක දිගට රැස්වීම සම්මන්ත්‍රණ තියන්න පටන් අරගෙන .. හැම රැස්වීමකටම, කට කපලා සෙනග. වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ.. දැන් දැන් තරුණයොත් සැලකිය යුතු මට්ටමින් එකතුවෙන ගතියක් පේනවා.

රැස්වීම පුරාම තියෙන්නේ මාලිමා ගැම්ම .. අනුර ජනාධිපති කරනවා කියන විස්වාසය.

ඔන්න දැන් ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරත් රැස්වීම තියාගෙන යන්න පටන් අරන්.

MJP පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙදා සැරේ ජනාධිපතිවරනෙට අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්නයි යන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි අනුර රැස්වීම තියපු හැම තැනකම රැස්වීම තියන්න දිලිත් තීන්දු කරලා ..

දිලිත් තමන්ගේ ප්‍රතිවාදියා විදියට දිගටම චැලේන්ජ් කරන්නේ අනුරට..

මාලිමාව නියෝජනය කරන අනුර කියනවා වඩා හොඳ ආර්ථික ප්‍රතිපත්ති එක්කම , ඔන්න දිලිත් මේ වෙනකොට රට ගොඩදාන වැඩපිළිවෙළක් පවා එලියට දාලා .. මේදා සැරේ ජනාධිපතිවරනෙට චන්ද ගන්න වැඩපිළිවෙලක් තාම එලියට දාලා තියෙන්නේ දිලිත් ගේ MJP පක්ෂය විතරයි.

මුලදී මුලදී සජබේ , අනුරලගේ මාලිමාවත් එක්ක ගේම ඉල්ලගෙන ආවට මොකද , මේ වෙනකොට සජබත් ඩවුන් ගිහින්. අලුත් වැඩකට අතගහන්න ලු යන්නේ..

මාලිමාව කරනවා වගේ , දැවැන්ත දේශපාලන රැස්වීම් වෙනුවට ඉදිරි කාලය තුල රටේ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සමගි ජන බල වේගය තීරණය කරලා.

ඒ තුලින් ජනතා ආකර්ෂණය වඩා ලෙහෙසියෙන් දිනා ගත හැකි බවයි ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ .

ආරංචි විදියට, පසුගීයදා පැවති සජබ විශේෂ හමුවකදී ලු ඔය ගැන තීන්දුව අරගෙන තියෙන්නේ .

මෙහිදී බහුතරය පවසා තියෙන්නේ , රැස්වීම් තියන්න ජනතාව එකතු කර ගැනීමේ විශාල ගැටලුවක් තියනවා කියලයි..

එම තත්වය මත රැස්වීම් පවත්වා අපහසුතාවයන්ට පත්වනවාට වඩා උද්ඝෝෂණ මාලාවක් පවත්වා ජනතාව අතරට යෑම වඩා ප්‍රතිඵලදායක බවයි සජබ මතය වෙලා තියෙනවා කියන්නේ .

දේශපාලන වාර්තාකරු

වැටුණු රට කෙළින් කළේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන : දැන්වත් කියවගන්න - වජිර

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැහැ. ඒ අනුවයි අප රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන්නේ. එය රට තුළ අසමගියක් නිර්මාණය කර තිබෙනවා. නිදහසින් පසු මෙරට ඇති වූ බොහෝ විනාශයන්ට ද එම තත්ත්වය හේතු වූවා. මෙම පක්ෂවලට මුදල් ලැබෙන්නේ කෙසේද ? වියදම් කරන්නේ කව්රුන් ද යන්න පිළිබඳව සොයා බැලීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පක්ෂ මැතිවරණවලදී මුදල් වියදම් කරන ආකාරය සොයා බැලීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ වසරකුත් මාස හයක් තුළ අන්තයටම වැටී තිබූ රට යළි සංවර්ධනයේ මාවතට යොමු කළ නිසයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදා ගත් බවද සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මේ වන විට රට ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන්නේ 2020 දී පරාජය වූ අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බව පැවසිය යුතුයි. එසේ නම් ජනතාව මතක තබාගත යුතුව ඇත්තේ අද වන විට හිඟයකින් තොරව ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භුක්ති විදින්නේ ඔවුන් විසින් පරාජය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමෙන් බවයි. අද රට සාමාන්‍ය තත්ත්වය පත්ව තිබෙන්නේ එම ලියවිල්ල නිසා බව ඔබ සිහිතබා ගත යුතුයි.

එදා අප විසින් ටෝකියෝ සම්මේලනයට ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ග්‍රන්ථයේ ඇතුළත් කරුණු අද රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාම එය කියවා ගත යුතුයි.

අප තවදුරටත් එකිනෙකා විවේචනය කර ගැනීමෙන් ඵලක් නැහැ. අන්තයටම පිරිහුණු රට යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ. අද ජනතාව පෝලිම් නැති යහපත් ජීවිතයක් ගත කරමින් සිටින්නේ එම වැඩපිළිවෙළ නිසයි. එබැවින් සියලු පක්ෂ මේ සමඟ එකට සිට ගත යුතුයි. මේ යන ගමන කවුරුන් විසින් හෝ වෙනස් කළොත් එහි වගකීම ඔවුන් විසින් දැරිය යුතුයි. දෙශපාලන වාසි වෙනුවෙන් ඇතැම් අවස්ථාවල සිදු කරන යම් යම් සාවද්‍ය ප්‍රකාශවල වගකීම ද එම පාර්ශ්ව විසින් දැරිය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  2022 වසරේදී වගකීම භාර ගන්නා අවස්ථාව වන විට මේ රට තුළ කිසිවෙකුටත් දේශපාලනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කිසිම සංවර්ධන කාර්යයක් කිරීමට කිසිවෙකුටත් ශක්තියක් තිබුණේ නැහැ. වසර තුනක් අතපසු වූ එම සංවර්ධන ක්‍රියාවලි ලබන පෙබරවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට හැකියාව මේ වනවිට ලැබී තිබෙනවා.

නමුත් මෙම රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ද ඇතැම් පාර්ශ්ව උත්සාහ ගනිමින් සිටිනවා. ඒ පිරිස් මේ දිනවල වැඩ වර්ජන රැල්ලක් දියත් කර තිබෙනවා. එය ලෝකය පුරා ප්‍රචාරය කිරීමෙන් මෙරට පැමිණෙන සංචාරයකයින් ප්‍රමාණය අඩු කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබෙනවා . එමඟින් රටේ ආර්ථිකය බිද දැමිය හැකියි. ඒ හමුවේ රටට හිමි විය යුතු ඩොලර් බිලියන ගණනක් අහිමි වීමේ අවධානමක් පවතිනවා.

තවද ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජපානය මෙන්ම පැරිස් සමාජය ඇතුළු මෙරට ණය හිමි රටවල් සමඟ එක් ගිවිසුමක් ද, චීනය සමඟ තවත් ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි. ඒ සමඟ පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය මෙන්ම මිත්‍ර රටවල සහයෝගය ඇතුව රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වෙනවා. එය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ හැකියි. එවැනි ප්‍රයත්නයන් හඳුනාගෙන ඒවා පරාජය කිරීම ජනතාව සතු වගකීමක් වනවා.

ජනපති ධූරයට සුදුසුම පුද්ගලයා රනිල් : ප්‍රසන්න කෙලින්ම කියයි !

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවයි.

එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද හෙතෙම පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (15) උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.

ගම්පහ සහ මිනුවන්ගොඩ ආසනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.

“ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපතිවෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා.

මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ ‍බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරිවෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ‍ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි.

දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා. පෙට්ටිකඩයක් එහෙමත් නැත්නම් ආයතනයක් පාලනය කරනව වගේ රටක් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් වැඩ කරන්න හැමෝටම බැහැ. ආර්ථික අර්බුධ විසඳලා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඉතාම සීමිත කාලයක්. ඒ නිසා අනිත් අපේක්ෂකයන්ට එක අවස්ථාවක්වත් දෙන්න අවස්ථාවක් අපිට ඉතිරිවෙලා නැහැ. මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපතිධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා යැයිද පැවසීය.

ප්‍රියංකර ජයරත්නට සජබෙන් විශාල කරදරයක් !

කැමති ආසනයක් බාරගෙන සමගි ජන බලවේගය පක්ෂයට එක්වන ලෙස තමන්ට එම පක්‍ෂයෙන් විශාල කරදරයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න පවසයි.

ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තු පැමිණියත් මේ වන විට නිමල් ලන්සා - අනුර යාපා දේශපාලන සන්ධානය සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියි.

ඒ වෙනුවෙන් පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර සජබ ආරාධනය ප්‍රතිකේෂ්ප කළත් ඉදිරි දේශපාලනය තුළ නව ගමනක් ආරම්භ යාමට තමන් සූදානම් බවත් ඒ සඳහා කටයුතු කරමින් ඇති බවත් පැවසීය.

ත්‍රිරෝද රථවල‌ටත් QR කේතයක්

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) පිහිටුවනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ආංශික කමිටු පිහිටුවීමට අදාලව අද පැවති සාකච්ඡාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය.

ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.

දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාලව කිව්ආර් කේථයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේථය හදුන්වා දීමට පියවර ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.

ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමටද පියවර ගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.

එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

'වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් තිබෙනවා' - රවී කරුණානායක

සියයට 15% සිට සියයට 18 % ක් දක්වා වැට් වැඩිකිරීමේදී ජනතාවට කිසියම් අසාධාරණයක් සිදුව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු එබව කියා සිටියේ, රජය වැට් බදු ඉහළදැමීම නිසා ජනතාවට දරාගත නොහැකි පරිදි ජිවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීය.

''මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි.

ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ට ද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.'' යයි රවී කරුණානායක සඳහන් කළේය.

''TIN අංකය ගැන අනියත බියක් එපා''

බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව ද රවී කරුණානායක පැවසිය.

TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායක වලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.

නමුත් අද බලන්න සමාගම් 120,000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18,000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.

''අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි. ''

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන බවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ අනුවය.

ඒ අනුව අදාළ තැනැත්තා පිළිබඳ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණි.

මෙවන් පසුබිමක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ දහවල් පන්නිපිටිය ප්‍රදේශයේදී අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සැකකරු නේවාසිකව රැඳීසිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත සැකකරු රැගෙන ගොස් එම නිවස පරික්ෂා කිරීමටද විමර්ශන නිලධාරින් කටයුතු කළේය.

පසුව ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නෑ !

දැන් දවසින් දවස දේශපාලන පිටිය රත්වෙමින් තියෙන්නේ ..

''ජනාධිපතිවරණය කැඳවන්නේ මැතිවරණ කොමිසමයි'' , මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියනවා.

''මෙම වසරේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කැඳවීමේ නිල ප්‍රකාශය නිකුත් කිරීම සහ මැතිවරණය පවත්වන දින නියම කිරීම සිදුකරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන්. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට හිමිව ඇති බලය අනුව සිදුකෙරෙනවා. '' සමන් ශ්‍රී රත්නායක කියනවා.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සැප්තැම්බර් දෙවැනි සතියත් ඔක්තෝබර් මස දෙවැනි සතියත් අතර කාලය තුළ පැවැත්විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

ඔය කියන විදියට ජනාධිපතිවරණයට තව මාස 8ක් විතර තියනවා. දැනට ඡන්ද සටහනට බැහැලා ඉන්නේ සජිත්- අනුර- දිලිත් සහ ධම්මික.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සංවාදය විටින් විට දේශපාලන කරළිය තුළ ඉස්මතු වෙනවා. ධම්මික පෙරේරාගේ නම නිරන්තරයෙන් කියැවුණු අතර පසුගිය සතිය වන විට නාමල් රාජපක්ෂ නමත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සංවාදයට ලක්වන බවක් පෙනී යනවා.

“කොහොමත් එකයි. නාමල් දැම්මා නම් හරි."

යන අදහස පෙරදැරිව කටයුතු කරන මන්ත්‍රීවරුන් සහ පොහොට්ටු ක්‍රියාකාරීන් පිරිසක් සිටින බව පේන්න තියෙනවා .

“අපි බොහොම පැහැදිලිව කිව්වා, තාමත් කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි නම් කරලා නැහැ."

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මෙලෙස අවධාරණය කළේ මේ අතරවාරයේදී..

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ නම් ඔහුට නිශ්චිත වශයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය ලැබිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සඳහන් කර තියනවා.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මහින්ද මහත්තයාගෙ සහයෝගය ගන්න එක එච්චර අපහසු නෑ." - සමහරු කියනවා.

ඇතැම් දේශපාලන වාර්තාවන්ට අනුව, ජනපති හිතෛශීන් මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

''පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්'' ඔන්න ඒ අස්සේ මහින්ද කියලා .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් තියනවා කියලයි පොහොට්ටු පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ.

මහින්ද හිටපු ජනාධිපති එහෙම කතාවක් කියලා තිබුනේ, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

'' අපි තාම තීරණයක් අරගෙන නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්." - මහින්ද කියනවා.

ඔය කතාව අවට ගියාට කියපු කතාවක් වෙන්න බෑ .. ජනාධිපතිවරණය දිනන්න එජාපය හදන සන්ධානෙට රාජපක්ෂලා ගත්තොත් රනිල්ට ඇපත් නෑ කියලා , නිමල් ලන්සලගේ අලුත් සන්ධානේ කට්ටිය කියනවා.

ඒ අස්සේ රනිල් පහුගිය සතියේ UNP මැනේජ්මන්ට් කමිටි එකේදී කියලා තිබුනේ අමුතු කතාවක් .. '' මම මේ පාර ජනාධිපතිවරනෙට එන්නේ නිපාක්ෂික ස්වාධින අපේක්ෂකයා විදියට. ඉති කව්රුහරි මට උදව් කරනවා කිව්වොත් මම එපා කියන්න ද ? - රනිල් එහෙම කියල තිබුනේ , රාජපක්ෂලා ත් ජනාධිපතිවරණ සටනට එකතුකර ගන්නද කියලා , ඒ රැස්වීමේ හිටපු ව්‍යාපාරික මහත්තයෙක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට.

මහින්ද , අපෙන් අපේක්ෂකයෙක් දන්නේ නෑ වගේ කතාවක් කියන්නේ, රනිල් එක්ක ඇතිකර ගත එකඟත්වයක් අනුව වෙන්න බැරිද ?

මතකද 2015, ජනාධිපතිවරණයේදී ජවිපෙ උදවිය අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර මෛත්‍රී දිනවන්න යටින් දුන්න ගැම්ම ..

ඒ කියන්නේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා යටින් රනිල්ට සප් එකදෙයි කියන එකද. ප්ලීස් මුහුදට හත් ගව්වක් තියෙනකොට සරම් කැහිපට නොගහා ඉමුද.. . තව මාස 8කට වැඩිය තියනවා. මොනවයින් මොනවා වෙන්න බැරිද.. තවත් ටික දොහක් බලන් ඉමු..

දේශපාලන වාර්තාකරු

සජබ භාගයට වැඩි ජනපතිට එකතු වෙනවා : හැරිසන් කැට තියයි !

සමගි ජන බලවේගය පක්ෂයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාගයට වඩා වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වනු ඇති බව හිටපු අමාත්‍ය පී හැරිසන් පවසයි.

ඔවුන් ඉදිරි මැතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවට තමන් කැට තබා පවසන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු අමාත්‍ය පී.හැරිසන් මෙම අදහස් දක්වා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණටද ටිකක් දීලා බලන්නයි එහි නායකයා ඉල්ලා සිටියද එලෙස අත්හදා බැලීමට ගෝඨාභය රාජපක්ෂයට ලක්ෂ හැට නමයක් එකතුවී බලය ලබාදී වසර දෙක හමාරකින් රට කඩා වැටුණු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවලෝකීතේෂ්වර වෙන්ඩ ගිය මහින්ද අත්අඩංගුවට

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකි.

ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් විය.

මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.

ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ  නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

IMF නියෝජිතයන් උතුරේ සංචාරයක

මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් අණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්  හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ඇත.

උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය,ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

චාල්ස් මහත්මිය එහිදි පවසා ඇත්තේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවය.

තෛපොංගල් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම් !!!

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.

අදට යෙදී ඇති තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා ඇති බවයි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බවද, ජනාධිපතිතුමා නිකුත් කළ තෛපොංගල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ස්වභාවධර්මය සමග බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සඳහන් කරනවා.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවයි.

මේ අතර අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමග ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, එකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් , ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ  වෙත ලිපියක් යොමුකර තිබේ.

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව උන්වහන්සේලා අදාළ ලිපිය මඟින් ජනපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

image 067c769bed

image d0f9deb031

TIN එකට බය වෙන්න එපා : හිටපු මුදල් ඇමති රවී කියයි !

බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක් නැතිනම් Taxpayer Identification Number ලබාගැනීම සම්බන්ධව අනියත බියක් මතුව ඇති නමුත් එය කිසිසේත් බියවීමට කාරණයක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

TIN අංකයක් ලබාගත් පමණින් කිසිසේත් බදු ගෙවීමට සිදුනොවන බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ, "රටම බයවෙලා ඉන්න මොකක්ද මේ TIN අංකය?" යනුවෙන් මාධ්‍යවේදියකු නගු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පැවසීය.

TIN අංකය ගැන රටේ බහුතරයක් කතා කරගෙන යනවා. මේ ගැන අනියත බියක්ද මතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන නිවැරදි දිය යුතුයි. TIN එහෙමත් නැත්නම් Taxpayer Identification Number කියන්නේ හැඳුනුම්පත වගේම දෙයක්. බදු ගෙවන්නන් හඳුනාගැනීම සඳහා නිකුත් කරන අංකයක්. ඉතිං මේ TIN අංකය ලබාගත් නිසා බදු ගෙවන්න සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. යම් තැනක ගෙවා තිබෙන බදු නැවත ලැබෙන්නත් පුළුවන්. බදු ගෙවන්න සිදුවන්නේ ඒ නිර්ණායකවලට ඇතුළත් පිරිසට පමණයි. ඒ නිසා මේ අංකය ලබාගැනීම බය වෙන්න දෙයක් නෙවෙයි.

නමුත් අද බලන්න සමාගම් 120000ක් පමණ තිබෙන රටක බදු ගෙවන්නේ සමාගම් 18000යි. මෙය ඉතා ලැජ්ජා සහගත තත්ත්වයක්. ඒ වගේම ලක්ෂ 220ක් ඉන්න රටක බදු ගෙවන්නේ ලක්ෂ 2ක් ලක්ෂ 3ක් වගේ ප්‍රමාණයක් වීමත් ප්‍රශ්නයක්. කොහොම නමුත් ලියා පදිංචි වූ පමණින් 94%කට බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ. නමුත් බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි පරිදි එය සිදුකළ යුතුයි.

අවුරුදු 75ක් තිස්සේ රට ගියේ බොරු කියමින් නිසි වෘත්තීය පදනමක් නැතුවයි. ඒ නිසා තමයි රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මේ හදන්නේ ඒ බංකොලොත් භාවයෙන් රට එලියට ගන්නයි.

මේ වෙනකොට IMF නියෝජිතයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ උපදෙස් මත වැට් වැඩිකර තිබෙනවා. එතනදී ඔවුන් කියන්නේ ආදායමත් වියදමත් සමබරතාවයට ගේන්න කියලයි. 15% සිට 18 % ක් දක්වා වැට් වැඩිවීමේ යම් අසාධාරණයක් ද තිබෙනවා. මොකද මේ 3% වැඩි වෙන්නේ රුපියල් බිලියන 146ක් උපයන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 17 කට වැටුප් ගෙවන්නයි. එය එසේ නම් මේ වැට් වැඩි කිරීමේ ඵලදායිතාවක් තිබේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ නිසා මම නම් හිතන්නේ වැට් වැඩි කිරීම වෙනුවට ඵලදායිතාව ඇතිකරලා, නාස්තිය නැති කිරීමයි අවශ්‍ය වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියන්න ඕන, අපි ආදායම් උපයලා පෙන්නන්නම්.. ඒ සඳහා වන මාර්ගය අපේ අතට දෙන්න කියලා. මෙතැනදී රජයේ නිලධාරීන්ටද වගකීමක් තියෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය විට ඊළඟට යන්න තිබෙන රැකියා ස්ථාන ගැන හිතන්නේ නැතුව, බය නැතුව ඇත්ත කතා කරන්න ඕන. ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕන.

සමගිය ඇතුලේ ට්‍රොයිකාවක් හැදිලා !

සමගි ජනබලවේගය පක්ෂය තුළ දේශපාලන ''ට්‍රොයිකාවක්'' හැදිලය කියලා කතාවක් යනවා .

මේ ''ට්‍රොයිකාවට'' අයිති පක්ෂයෙ ඉන්න ආර්ථික කටයුතු ගැන කතාකරන තුන්දෙනෙක්ලු.

එයාල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො හැටියට කාලයක් කට්ට කාලා, පක්ෂය ගොඩනගන්න මහන්සි වූ අය බවයි එයාලගෙ අදහස.

ඒත් අලුතෙන් පක්ෂයට එන අයට මේ පැරණි අයට වඩා තැනක් ලැබීම ''ට්‍රොයිකාවට'' දිරවන්නෙ නැතිලු.

ඒ වාගේම ''ට්‍රොයිකාව''ට අයිතිය කියන එක්තරා උගතකුට පක්ෂයෙම අය ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කිරීම ගැනත් මේ අය නොසතුටින්ලු ඉන්නෙ. මේ බව දන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයෙක් මේ ට්‍රොයිකාවෙ තුන්දෙනාට දේශපාලන ඇමක් දාගෙන ඉන්නවා කියලත් ආරංචියි.

දේශපාලන වාර්තාකරු

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටකළ ගුරා රිමාන්ඩ් !

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගනුලැබූ අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද (14) නියෝග කළාය.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.

විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

Page 35 of 386