පුවත්

දළදා මාළිගාවේ ඇසළ පෙරහර අතිසාර්ථකව අවසන් : ඊළඟට වෙන්න යනදේ මෙන්න !
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
ඉන් අනතුරව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.
“ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ඉතිහාසයේ ලබාදුන් වැඩිම මුදල වන රුපියල් මිලියන 10.5ක මුදලක් පෙරහර භාරය විසින් මෙවර ලබාදීම විශේෂත්වක් විය.
මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දීම මෙහිදී සිදුවිය.
ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය
ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි.
පෙරහර සංවිධානය කිරීමට කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ආගමික මෙන්ම ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෝකය හමුවට ගෙන යන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් වූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාම සියලුදෙනාගේ වගකීම බවද අවධාරණය කළේය.
මහනුවර නගරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් බවට පත්කරමින් පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
ඉතා සාර්ථක සහ උසස් මට්ටමින් පැවති පෙරහරක් අප මෙවර නැරඹුවා. මෙවන් පෙරහරක් පැවැත්වීම පහසු කාර්යයක් නොවෙයි. ලෝකයේ විවිධ පෙරහර පැවැත්වෙනවා. එක් එක් ආගම්වලට අයත් විශේෂ සංස්කෘතික ලක්ෂණ සහිත පෙරහර පැවැත්වෙනවා. නමුත් ඒ පෙරහර අතරින් අද ඓතිහාසික දළදා පෙරහරට විශේෂ ස්ථානයක් හිමිවන බව කිවයුතුයි. ඒ අනුව මෙම පෙරහර මංගල්‍යය මෙරට උසස්ම සංස්කෘතික පෙරහර මංගල්‍යය ලෙස සැලකෙනවා.
ඒ වෙනුවෙන් මේ සම්බන්ධව කැපවී කටයුතු කරන ශ්‍රී දළදා මාළගාවට සහ ඊට සම්බන්ධව කටයුතු කරන සියලු දේවාලවලට ස්තූතිවන්ත වනවා. මේ පෙරහර දියුණු මට්ටමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු සහාය ආණ්ඩුවක් ලෙස දියවඩන නිළමේතුමා ඇතුළු ඒ සියලුදෙනාට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්වය ලෙස ලෝකය හමුවට ගෙන එමින් සංචාරක ව්‍යාපාරයේ කොටසක් බවට ද පත් කිරීමට අප අපේක්ෂා කරනවා.
මධ්‍යම රජය, පළාත් සභාව සහ මහනුවර නගර සභාව එක්ව එම කටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. දියවඩන නිළමේතුමා ඇතුළු සියලු දේවාලවල නිලමේවරුන්ගේ දායකත්වයෙන් එම කටයුතු ඉදිරියට ගෙන යනවා.
ඒ වගේම කලාකරුවන් පුහුණු කරන සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහයෝගය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අප කටයුතු කරනවා. මීට දශක 04කට පෙර ආරම්භ කළ බෙල්වුඩ් ආයතනය තරුණ සේවා සභාවේ කලා ආයතනයක් ලෙස දියුණු කර මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම ලබාදීමට හා මෙම කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු කළයුතුයි. මේ පෙරහර මංගල්‍ය සමඟ මහනුවර කලා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා. ඒ වගේම මේ නගරය දියුණු කිරීමට අප තවත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා.
බෝගම්බර ගොඩනැඟිල්ලේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් ඇති කිරීමට අප මේ වන විට සාකච්ඡා කරගෙන යනවා. පැරණි තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමඟ සම්බන්ධකර ගනිමින් නව හෝටලයක් ඇති කිරීමට ද සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් සංචාරක හෝටල් සඳහා යොදා ගැනීමටත්, මහුනවර දකුණ ලංගම ඩිපෝව ද ඒ සඳහා යොදා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.
දැනට තිබෙන මහනුවර පොදු වෙළෙඳපොළ නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිගන සහ කුණ්ඩසාලේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගය ගලගෙදරින් අවසන් නොකර කටුගස්තොට දක්වා ඉදිකිරීමට මම ජපාන රජයෙන් ඉල්ලීක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශය විශාල නාගරික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය වෙනවා.
පේරාදෙණිය උද්‍යානය වගේම අපි උඩවත්ත කැලය ගැන ද අවධානය යොමු කළ යුතුයි. දළදා මාළිගාවට වගේම සතර මහ දේවාල වෙතත් සංචාරකයන් ගෙන්වා ගනිමින් ආගමික වැඩකටයුතු සමඟ සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබනෙවා.
කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට ද අප බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුළු තවත් උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තැපැල් ඡන්දය දැමීමට සුදුසුකම් ලත් පිරිස
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,321ක් සුදුසුකම් ලබා ඇත.
මේ අතර එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක කියා සිටියේය.
සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවේ,
“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා. මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා.” යනුවෙනි.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියි.

තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් !
කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම අද (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අක්ෂේ කුමාර් සිං යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය.
මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ වූ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට විදුලි බලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
පසුගිය දෙවසර තුළ විදුලි බිලට අදාළව රජයට අසීරු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට සිදු වුවද අද විදුලිබල මණ්ඩලය ණය බරින් නිදහස් ශක්තිමත් ආයතනයක් බවට පත්ව ඇති බවත් ඒ නිසාම දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගන්වමින් මෙවැනි නව එකඟතාවන්ට එළැඹීමට අවස්ථාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
LTL Holdings Limited සහ Petronet LNG Limited යන සමාගම් අතර සහයෝගීතා හවුල්කාරිත්වය මගින් සොබාධනවි විදුලි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස, ඉන්දියාවේ කොචි ප්‍රදේශයේ පිහිටා ඇති පෙට්‍රොනෙට් සමාගමේ පර්යන්තයෙන් අධිශීතකරණමය පහසුකම් සහිත බහාලුම් (cryogenic ISO Containers) හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමට හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සකස් කර තිබේ. කොළඹ වරායට පැමිණීමෙන් පසුව, සෝබාධනවි බලාගාරයට යාබදව ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය ගබඩා සහ ප්‍රතිවායුකරණ පර්යන්තය වෙත ISO බහාලුම්වල LNG ප්‍රවාහනය කෙරේ.
සෝබාධනවි බලාගාරයේ පළමු අදියර 2024 අගෝස්තු මාසයේදී සහ දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේදී ආරම්භ කිරීමත් සමඟ මෙම කටයුතු ක්‍රියාත්මක වන අතර එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමෙහි බලශක්ති සංවර්ධන අංශය වන ලක්ධනවි සමාගම (Lakdhanavi Limited) විසින් සංවර්ධනය කරමින්, එහි හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන මෙම බලාගාරය මඟින් වඩාත් තිරසර සහ ආර්ථික විභවයක් සහිත බලශක්ති අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන රජයේ දැක්ම අනුව කටයුතු කරමින් රටේ බලශක්ති උත්පාදන හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සිදුකිරීමට කටයුතු කර තිබේ.
පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වන LNG භාවිතය මගින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කර ශ්‍රී ලංකාව ළඟාවීමට අපේක්ෂා කරන පාරිසරික ඉලක්ක කරා ළඟා වීමට දායක වනු ඇත.
තවද, LNG හි පිරිවැය කාර්යක්ෂමතාව මගින් විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමටත්, පාරිභෝගිකයින්ට ආර්ථිකමට වශයෙන් සහනයක් ලබා දීමට සහ පුළුල් ආර්ථික වර්ධනයට සහාය වීමට මෙමඟින් හැකි වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර :
පසුගිය බලශක්ති අර්බුදය ඇති වූ අවස්ථාවේ මෙරට විදුලිබල අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන විවිධ යෝජනා විමසා බැලු මොහොතේ ස්වභාවික ද්‍රව වායු මගින් බලශක්ති අර්බුදයට විසඳුමක් ලබාදිමටත්, පිරිවැය අඩු කර ගැනීමටත් අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දියානු රජයේ ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩාමයක් මෙරටට පැමිණි අවස්ථාවේ මෙම ව්‍යාපෘතිය සඳහා මුලික යෝජනාව ලබා දුන්නා.
එම යෝජනාවෙන් අනතුරුව පසුගිය මාස කිහිපය තුළ සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස අද මෙම ගිවිසුමට අත්සන් තැබුණා. අද සිට මාස 18ක් තුළ දැනටමත් ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබෙන එල්ටීඑල් සමුහයේ පවතින බලාගාර පද්ධතියට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායුව සැපයීමේ කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සමඟ එම ප්‍රතිලාභය මෙරට ජනතාවට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.
ද්‍රවිකෘත ස්වභාවික වායුව තුළින් විදුලිබල උත්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙරට විදුලි පිරිවැය අඩු කර ගැනිමට හැකියාව ලැබෙනවා.
විදුලි බලාගාර LNG වලින් ක්‍රියාත්මක වන විට, අවම වශයෙන් වියදම 40% සිට 50% දක්වා අඩු කර ගත හැකියි. එම වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති වියදම අඩු කර ගැනීමට අප මෙමඟින් අපේක්ෂා කරනවා. මෙය පහසු කාර්යයක් නොවන බවද සඳහන් කළයුතුයි.
විශේෂයෙන්ම යුගධනවි සහ සොබාධනවි බලාගාර දෙකෙහි 2026 වසර මුලදී මෙම විදුලි ජනන කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නමුත් අගෝස්තු මස 28 වනදා සොබාධනවි බලාගාරය විවෘත කිරීමට අපේක්ෂා කරනවා. පළමු වසර ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් එම බලාගාර ධාවනය කර ඉන් පසුව ස්වභාවික ද්‍රව වායුවෙන් එම ජනන කටයුතු සිදු කිරීම අවශ්‍යවීම ඊට හේතුවයි. ඒ නිසා අද මෙම අත්සන් තබන ගිවිසුම් මගින් ඉදිරි කාලයේදී විශාල වාසියක් මෙරටට විදුලි පාරිභෝගිකයන්ට ලැබීමට නියමිතව තිබෙනවා. මුල්‍යම වාසි ලබා ගැනීමට වගේම පාරිසරික හානිය අවම කර ගැනීමටද මෙමඟින් අවස්ථාව ලැබෙනවා.
ඩීසල්, දැවිතෙල්, නැප්තා භාවිතයෙන් ඉවත්විමේ ප්‍රතිපත්තියක් අප සකස් කර තිබෙනවා. මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට සැලසුම් කර තිබෙනවා වගේම ඉතිරි 30% ස්වභාවික ද්‍රව වායුව භාවිතා කරමින් සපුරා ගැනීමටත්, එය පුනර්ජනනිය විදුලි බලශක්තිය සමඟ ඒකාබද්ධ කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරමින් ඉදිරියට යාමටත් අප බලාපොරොත්තු වෙනවා.
විදුලි බිල වැඩි කිරීම වැනි කරුණු සමඟ පසුගිය වසර දෙකේදි අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. එහිදී පැය 16 ක වැනි කාලයක් විදුලිය කප්පාදු කරමින් තිබු කාලයක අඩු පිරිවැයක් යටතේ, කප්පාදු කරමින් විදුලිය ලබා දෙනවාද, නැත්නම් පිරිවැය පාලනය කරමින් අඛණ්ඩව විදුලිය ලබා දෙනවාද යන්න තීරණය කිරීමට අපට සිදු වුණා.
පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවුවත් එයින් ආර්ථිකයට සිදු වන හානිය සහ ජන ජීවිතයට වන අඩාලවීම් අප සියලුදෙනා අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම 2022 වසර වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 300ක පාඩුවක් ලබා තිබුණා. මෙරට රාජ්‍ය බැංකු දෙකෙන් ලබා ගත් ණය සහ සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු මුදල් ඒ අතර තිබුණා. එම පිරිවැය නිරූපණය වන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම තුළින් අපි අද වන විට බැංකු ණය වලින් විශාල කොටසක් ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම බලාගාර ක්‍රියාත්මක කරන සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු සියලු මදුල් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට තිබු සියලු ණය ද ගෙවා අවසන් කිරිමට අපට හැකි වුණේ එම අපහසු නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා බව කිවයුතුයි.
ඒ නිසා මෙවැනි ආකාරයේ එකඟතාවලට එළැඹීමටත්, නව ආයෝජන සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමටත් අද හැකියාව ලැබී තිබෙනවා. ඒ තුළින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කරමින් අවම පිරිවැයක් යටතේ මේ රටේ ජනතාවට විදුලිය ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වු සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ :
විශ්වාසනීය, පිරිසිදු සහ තිරසර බලශක්ති සැපයුමක් පැවතීම සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වෙනවා. අපගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියා කරන බලශක්ති පිරිවැය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඉන්දියාව සමඟ නැඟී එන කලාපීය සහ ගෝලීය බලශක්ති ජාල වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම මගින් ප්‍රධාන බලශක්ති හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු දැවැන්ත හරිත බලශක්ති විභවය සැබෑ කර ගැනීමටත්, අතිරේක ආදායමක් උත්පාදනය කිරීමටත්, එමගින් ශ්‍රී ලංකාවට ප්‍රධාන බලශක්ති අපනයනකරුවෙකු බවට පත් කිරීමටත් අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උපකාරී වෙනවා.
අපගේ වර්තමාන වැඩසටහන්වලට බලශක්ති ජාල සම්බන්ධ කිරීම, යටිතල පහසුකම් සම්බන්ධතා සහ බහු-නිෂ්පාදන නල මාර්ගයක් ස්ථාපනය කිරීම ඇතුළත් වන අතර, ඒ සඳහා වන සාකච්ඡා අඛණ්ඩව සිදුකෙරෙමින් පවතිනවා. අප සාම්පූර්හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහාත් ආයෝජනය කරනවා. මෙම හවුල් අභිලාෂයන් ඉක්මනින් යථාර්ථයක් බවට පත් කිරීමට දෙරටේ රජයන් සමීපව කටයුතු කරමින් සිටිනවා. අපගේ බලශක්ති අවශ්‍යතා සහ අපගේ ජනතාවගේ අනාගත සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවයෙන් යුතුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන්හී ශක්තිමත් පදනමක් මත ගොඩනැඟීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම, අද අප අත්සන් තබන මෙම අවබෝධතා ගිවිසුම මගින් පෙන්නුම් කෙරෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, එල්ටීඑල් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති යූ.ඩී.ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයින්, සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලොව දීර්ඝතම මුද්දරය ලංකාවෙන්
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි.
එය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.

කරුමෙට හරි සජිත් ජනාධිපති වුණොත් අවුරුද්දෙන් පැනලා යනවා - ෆොනී
රටේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් වසරක් යාමට පෙර ඔහු තනතුර දාලා පැනලා යනවා යැයි, ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් ල්මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කෙළේය.
තමන් මීට පෙර දී ප්‍රකාශ කළ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද වසර දෙකකින් තනතුර දමා පැන ගිය බවද ඔහු පවසයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති මංගල ජනහමුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේද පැවසීය.
‘එදා ගෝල්ෆේස් පිටියේ අරගලය කළේ නිර්පාක්ෂික නායකයෙක් ඕනෙ කියලයි. දැන් මම ඒ අයට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරනවා.
ඒ නිසා නිර්පාක්ෂික නායකයෙක් රටට පත් කර ගන්න ජනතාවට දැන් අවස්ථාව තිබෙනවා.මම 2019 දී කිව්වා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් පැනලා යනවා කියලා. මම එහෙම කිව්වේ එයාගේ පැටිකිරිය දන්න හින්දයි. ඒ කිව්වා වගේම ඔහු අවුරුදු දෙකකින් පැනලා ගියා.
ඒ වගේම තමයි රටේ කරුමෙට හරි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අවුරුද්දකින් ඔහු පැනලා යනවා. මං මේක කිව්වයි කියලා තමුන්නාන්සේලා රන් අකුරෙන් ලියලා තියාගන්න.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා.ඒක විසඳන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් රටේ හිටියත් ඔවුන් මෙහෙය වන්න හොඳ නායකත්වයක් නෑ. මේ රටේ ආදායම වැඩි කරලා ජනතාවෙගේ අතමිට සරු කරන එක රජයේ වගකීමක්. ඒවා කරන්න අපිට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරන්නේ මගෙත් එක්ක එකතු වෙන්න කියලයි’

ලක්ෂ 70 ක් ජන්ද අරගෙන ජනාධිපති වෙනවා - අනුර
ඉදිරි ජනාධිපතිවරණයේදී ජන්ද ලක්ෂ 70 ඉලක්කය වෙත යාමට ජාතික ජනබලවේගය පක්ෂයට හැකියාව ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.
පක්ෂවලට සම්ප්‍රදායිකව ගොනුවී සිටි ජන්ද හිමියන්ගේ කාලය අවසන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂයේ පැලවත්ත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
පක්‍ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ලක්‍ෂ හැටනවයක ඡන්දවලින් ලක්‍ෂ පණහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්‍ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවටම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්‍ෂ පණස්පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නොවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියකු ගොඩනැඟෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා. ඔහුට ලබාදුන් ඡන්ද ලක්‍ෂ පණස්පහෙන් ලක්‍ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්‍ෂ ඡන්ද නොවෙයි. එහෙම ගත්තාම පක්‍ෂවලට ලියැවී නැති ලක්‍ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්‍ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්‍ෂ එකසියහැත්තෑවක ඡන්දවලින් පක්‍ෂවලට ලියැවී තිබෙන්නේ ලක්‍ෂ තිහ-හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්‍ෂ එකසියතිහක් පමණ පක්‍ෂවලට නොලියැවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්‍ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා.
ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි. උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙළකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පණස්එක ඉක්මැවිය හැකියි. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.
■ නාමයෝජනා බාරදුන් අවස්ථාවේදී නාමල් රාජපක්‍ෂ සමඟ සුහද කතාබහක යෙදුණේ මොනවාද කියලා කියන්න පුළුවන්ද?
විශේෂ කතාවක් නම් කළේ නැහැ. නමුත්, මට ඕනෑ නම්, එයා ඉදිරියේම එයාගේ තාත්තා සහ පවුලේ අය මහජන දේපොළ හොරකම් කළා කියලා කියන්න පුළුවන්. මට ඕනෑ නම්, එයාට අතට අත දීලා හිනා වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ කඳවුරේ දේශපාලන ප්‍රතිපත්ති අතර තිබෙන වෙනසට ඒ සාකච්ඡා කිරීම්වලින් බාධාවක් නැහැ.

හරීන් හා මනූෂට උපදේශක තනතුරු
හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී ඇත.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය.
මේ අනුව හරීන් ප්‍රනාන්දු හට ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබද උපදේශක තනතුරත්, මනූෂ නානායක්කාර සදහා කම්කරු හා විදේශ රැකියා උපදේශක තතනතුර සදහා පත් කර ඇත.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත අහෝසි වීමෙන් පසු ඔවුන්ට එම අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සිදු විය.

පසුගිය දෙවසර තුළ සිසුන් 35,000ක් ජනාධිපති මන්දිරය නරඹලා
පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණසේවා සභාව ද අත්වැල් බැඳ ගනු ලැබීය.
මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළදී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඓතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදාවූ අතර ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සමඟ මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ ද නිරතුරුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.
කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක්ව තිබෙන අතර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකය.
එසේම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබෙන අතර රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම එහි අරමුණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සැසිවාර සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එක්වු අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, පාර්ලිමේන්තුව හා පුරවැසියා අතර සම්න්ධතාව, පරිපාලනය හා කාර්යභාරය යන තේමාවන් යටතේ එහිදී සිසු දරුවන් දැනුවත් කිරීමේ දේශනද පැවැත්විණි.

මැතිවරණ ප්‍රචාරණයට ජාතික කොඩිය සහ ආගමික සංකේත තහනම්
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි .
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි.
ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කර තිබේ.
තවද ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වතුකරය ඒකජන්දයෙන් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මේ බව සඳහන් කෙරුණේ අද (18) හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සභාවේ හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ය.
එහිදී එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසා සිටියේ , තම පක්ෂයේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනුලැබූ බවයි.
ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි රට ගොඩනඟමින් දියත් කළ වැඩපිළිවෙළ මෙන්ම වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට කටයුතු කිරීම සහ වතු යටිතල ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සැලකිල්ලට ගෙන ඒකජන්දයෙන් මෙම තීන්දුව ගැනීම සිදුවූ බවද ඔහු පැවසීය.

ජන්ද වියදම් සඳහා සීමාවක් : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ !
ජනාධිපතිවරණයට අසීමිත ලෙස මුදල් වැය කිරීම තහනම් කෙරෙන නව ක්‍රමවේදය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම ක්‍රමවේදය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරටය. ඒ අනුව නාම යෝජනා දිනයෙන් දින පහකට පසු සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන් කැඳවා ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල් ප්‍රමාණය දැනුම් දීමට නියමිතය.
එකී සීමාව තුළ අපේක්ෂකයන් ජන්දයට මුදල් වැය කළ යුතුය. එලෙස ඔවුන් සිදුකරන වියදම් ලැයිස්තුව ඡන්දය හමාරවී දින 21 තුළ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය.
අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම වියදම් ලැයිස්තුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඉන් පසු ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිෂමට හෝ පොලිසියට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
ඉන් පසු එම පැමිණිලි විමර්ශනය කොට නීතිපතිවරයා මාර්ගයෙන් වැරදි කළ අයට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ජන්ද නීති කැඩුවොත් පොලිස් ඇප නෑ !
ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට පොලීසිය තීරණය කර ඇත.
පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පැවසීය.
විශේෂයෙන් ඡන්ද නීතී රීති උල්ලංඝණය කරන අය සඳහා දැඩි දඬුවම් දීමට පොලීසිය තීරණය කර තිබේ.
මූලාශ්‍රය - දේශය

සජිත්ට හිරුනිකාට වඩා මාධ්‍ය ආයතන ලොක්කා ලොකු වෙලා !
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී පුරප්පාඩුව වෙනුවෙන් තරුණ හා කාන්තා නායකත්වයක් ලබා දිය හැකි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කරන ලෙසට සමගි ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන විසින් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුර අහිමි වීමෙන් හරින් ප්‍රනාන්දු දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වා පුරප්පාඩුව පවතී.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ , සමගි ජන සන්ධානය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් ලබාදී කටයුතු කරන මාධ්‍ය ආයතන හිමිකරුවෙකුගේ බලපෑම මත එකී මන්ත්‍රී පුරප්පාඩුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට නොදීමට තීරණය වී ඇති බවය.

ජපානයේ සිට ඉන්දියාව දක්වා රටවල් සමඟ රනිල් ලංකාවට කරන්න යනදේ මෙන්න !
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (17) ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.
“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර එවන් තත්ත්වයක් තුළ ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීය බවයි.
ගෝලීය දකුණේ හඩ සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරත්වයකට පැමිණිමට උපකාරී වන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් “දැක්ම” ප්‍රකාශය දෙරට අතර පවතින ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරන බවත්, එය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා දෙරට අතර ශක්තිමත් ඒකාබද්ධතාවයකට හේතු වනු ඇති බවත් පැවසීය.
එසේම ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.
ගෝලීය දකුණේ හඬ සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,
“ගෝලීය දකුණේ හඬ පිළිබඳ තුන්වන මාර්ගගත සමුළුව පැවැත්වීම පිළිබඳව මා සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. මෙම සමුළු මාලාව මඟින් අපට අපගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම එකිනෙකා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මෙම සමුළුව ගෝලීය දකුණ මුහුණ දෙන බොහෝ ගැටලු සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට පැමිණීමට අපට උපකාර කරනවා. බටහිරට තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට නොහැකි තැනකට ළඟා වී ඇති අතර, ඔවුන් මේ වන විට ගැටලුවේ කොටසක් බවට පත්ව සිටිනවා. යුක්‍රේනය සහ ගාසා තීරය ඒ පිළිබඳ ප්‍රධාන උදාහරණ බවට පත්වෙනවා.
ඒ පිළිබඳ පෙර කථිකයන් විසින් අදහස් දැක්වු නිසා මා ඒ පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. මෙම සන්දර්භය තුළ, ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය අප අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාව සිය ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට මේ වන විට ගෙන ඇති පියවරද මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව නිල ණයහිමි රටවල් සහ, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹ සිටිනවා.
ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බවද මම මෙම අවස්ථාවෙහිදී සඳහන් කළ යුතුයි.
අපගේ රටවල් දෙක විසින් එකඟ වූ “දැක්ම” ප්‍රකාශය අප දෙරට අතර වසර 2000කට අධික කාලයක් පුරා පවතින සහයෝගීතාව සිහිපත් කරන අතරම අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කර තිබෙනවා. මෙය අවසානයේ බොහෝ ක්ෂේත්‍ර හරහා අපගේ රටවල් දෙක අතර ගැඹුරු ඒකාබද්ධතාවයකට හේතු වනු ඇතියි.
මේ වන විට අප විස්තීරණ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹීමේ අවසන් අදියරට ළඟා වී සිටිනවා. විදුලිය, ප්‍රවාහන සහ ගොඩබිම් සම්බන්ධතාව ඇති කිරීම ආරම්භ කරන අතර, අප එකඟ වූ අනෙකුත් ව්‍යාපෘති මෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. මෙම ව්‍යාපෘති අපගේ දැනුම හා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට ද ශ්‍රී ලංකාවට හැකිවෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව ලබා දෙන සහය පිළිබඳවද මාගේ කෘතඥතාව පළ කරනවා.
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය පිළිබඳව ද මා යමක් සඳහන් කළ යුතුයි. අප මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් සිටිනවා. එනිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. බිම්ස්ටෙක් සංගමයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම අරමුණු කරගනිමින් කලාපීය විස්තීරණ ආරථික හවුල්කාරීත්වයෙහි (RCEP) සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරනවා. බෙංගාල බොක්ක කලාපය අපේ ආර්ථිකයේ දියුණුවට අත්‍යවශ්‍ය බව අප පිළිගන්නවා.
මා කථා කිරීමට අදහස් කළ බොහෝ මාතෘකා පිළිබඳ දැනටමත් පෙර කථිකයන් බොහෝ දේ සඳහන් කළා. නමුත් මා මෙහිදී යමක් සඳහන් කිරීමට කැමතියි. සෝවියට් දේශයේ බිඳවැටීම, ශිෂ්ටාචාර ගැටුම, ඉතිහාසයේ අවසානය වැනි අදහස්වලින් හැඩගැසුණු බටහිර ආධිපත්‍යය පෙන්නුම් කළ 1989 වසරෙන් පසු යුගය දැන් අවසන් වෙමින් පවතිනවා.
මෙම සමුළුව හා මේ සමාන රැස්වීම්, බ්‍රික්ස් සංවිධානයේ සහ G20 කණ්ඩායමේ ව්‍යාප්තිය මඟින් ගෝලීය දකුණට උරුමයක් ලබා දෙන නව පිළිවෙලකට මඟ සලසනවා. නිදහස ලැබූ දා සිට අප්‍රිකානු-ආසියාතික රටවල් එකතු කිරීමට පියවර ගත් ඉන්දියාවට, අප සියලු දෙනා අතර සමීප සමගිය ඇති කිරීම සඳහා මේ වන විට ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.”

අපේ ජයග්‍රහණයෙන් පස්සෙ සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම ආරක්ෂා කළ යුතුයි - AKD
ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ල බස් නැවතුම් පොළෙහි පැවති ජාතික ජන බලවේගයේ රැලිය අමතමිනි.
එම රැලියේ දී අනුර කුමාර දිසානායක මෙසේද පැවසිය.
සැප්තැම්බර් විසි එක කියන්නේ මේ රට වෙනස් කරන දිනය
‘‘මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් විසි එකවැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් විසි එක කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනය. අද මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවා ද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනගන මාවතක යනව ද කියලා දැන් ඔබ තීන්දු කළ යුතුයි. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා.
අපිට අවශ්‍ය ලෝකය සමග ඉදිරියට යන්න පුළුවන් රටක්
පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා මතයට ඉඩ දිය යුතුයි. කෙසේ වෙතත් රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණ ඉටුකිරීමට අපි බැඳී සිටිනවා. අපි, අපරාධකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා; ඒක සහතිකයි. සියලු අපරාධවලට අදාළ පරීක්ෂණ නිසි පරිදි පවත්වලා, අපරාධකරුවන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත් රටක්; නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන රටක්. වංචනිකයන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ට දේශපාලන බලය පාවිච්චි කරලා, වෙට්ටු දාලා, පැනලා යන්න පුළුවන් රටක් නොවෙයි. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ නතර කර ගැනීමට ජනතාව තුළ තිබෙන දැඩි අපේක්ෂාව ඉටුකරන මේ රටේ එක ම බලවේගය ජාතික ජන බලවේගය. අපිට අවශ්‍යයි ලෝකය සමග ඉදිරියට යන්න පුළුවන් රටක්. අද අපේ රට මේ පාලකයෝ විසින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කරලා ඉවරයි.
රටක් දියුණු වෙන්න නම් ගොවියගේ, ධීවරයාගේ, ව්‍යවසායකයාගේ, කර්මාන්තකරුවාගේ, අපනයනකරුවාගේ ආදායම වැඩිදියුණු විය යුතුයි. ඔවුන්ගේ ඉපයීම් මාර්ග ශක්තිමත් විය යුතුයි. නියත වශයෙන්ම අප එය ඉටුකරනවා. එය ඉටුකිරීමට සැලසුම් පමණක් නොවෙයි, ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාව, දැනුම, අත්දැකීම් තිබෙන විවිධ ක්ෂේත්‍රවල නිපුණතා තිබෙන, ශක්තිමත් විද්වත් මඬුල්ලක් ද අපට සිටිනවා. අපේ රටේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළෙන් පංගුවක් සොයා දීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ද නවීකරණය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් අපි ලබාදෙන බවට සහතික වෙනවා.
ඉගෙන ගැනීම සඳහා දරුවන් බදු ගෙවිය යුතු ද...?
ලෝකයේ නව දැනුම අපේ රටේ දරුවන්ට, ලබාදීමේ අවස්ථා අපි අනිවාර්ය ලෙසම විවෘත කරනවා. ජනතාව ගුණාත්මක ඖෂධ ලබාදීමේ සැලැස්මක් අපි සතුව තිබෙනවා. ගුණාත්මක මෙන්ම, පහසු මිලට ඖෂධ මිලදී ගැනීමේ වාතාවරණයක් අපි රටේ ජනතාවට සලසා දෙනවා. නැවත කිසි දිනෙක රටේ ඖෂධ මාෆියා, ඖෂධ වංචා ඇතිවීමට අපි ඉඩ තබන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ආ පළමු මොහොතේම අපි අපේ රටේ දූ දරුවන්ගේ පාසල් පොත් සහ සියලු උපකරණවලට පනවා තිබෙන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. දරුවෙක් ඉගෙන ගැනීමට බද්දක් ගෙවිය යුතු ද? ඉගෙන ගැනීම කියන්නේ රටේ ආයෝජනයක්. රෝග පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අයකරන වැට් බද්ද අපි අපේ පළමු අයවැයෙන්ම ඉවත් කරනවා. අවුරුදු හතරක් පහක් අප එකට පොරබදලා මේ රට වෙනස් කරමු. අපි, පළමු වරට රට පොහොසත් වෙන, ජනතාවට සතුටින් ජීවත් වෙන ඉඩ සලසන ආණ්ඩුවක් හදනවා. මෙතෙක් විවිධ පක්ෂවලට ඡන්දය දීපු රටේ ජනතාවට ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ගෞරවයක් ඇතිව සිටිය හැකි තැන මෙතනයි. ඒක ගෞරවනීය ආරාධනයක්. මේ බිඳ වැටුණු රට ගොඩගැනීම අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉටුකළ යුතු කර්තව්‍යයක්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. පෙරට එන්න කියලා මම තංගල්ලේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවට ම ආරාධනා කරනවා.
දැන් රනිල් ළඟ ඉන්නෙ කවුද...?
මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසිය.
මෙතෙක් කල් ඡන්දයක් එනකල් බලන් හිටියෙ පාලකයෝ. හැබැයි මේ සැරේ ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ ජනතාව. ඇයි ඒ? සැප්තැම්බර් විසි එක්වැනිදාට මේ දූෂිත පාලන ක්‍රමය පළවා හැරලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න ජනතාවට අවශ්‍යයි. අපේ විජේවීර සහෝදරයා උපන් ගම තංගල්ල. අපිට අනූ හතරෙන් පස්සේ පළමු මන්ත්‍රීවරයා දිනලා දුන්නෙත් මේ හම්බන්තොට ජනතාව. එළඹෙන ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා දෙන්නෙත් හම්බන්තොට ජනතාව බව විශ්වාසයි.
මේ සැරේ ජනාධිපතිවරණය අමුතුම එකක්. එක පැත්තක් හොඳටම පැහැදිලියි. ඒ පැත්තේ මුහුණු ජනතාවට හොඳට පැහැදිලියි. ඒ තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව පැත්ත. අනෙක් පැත්ත ගන්නකෝ. නටුව ඉතිරි වුණු පොහොට්ටුව කියලා එකක් තියෙනවා. පෙති නැහැ; හැළිලා. අනෙක් පැත්තෙ ඉන්නවා රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභයට ඡන්දෙ දෙන්න කියපු පස්සේ ඒ රනිල්ව ම ජනාධිපතිවරයා කරපු පොහොට්ටුවේ හොරු ටික. රනිල්ගෙන් රට බේරා ගන්න ආපු ලොකුම කට්ටිය දැන් ඉන්නේ රනිල් ළඟ. රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සුද කියලා අහපු පිරිසත් දැන් රනිල් ළඟ. මහා බැංකුව කඩපු රනිල් හිරේ දානකල් මට නින්ද යන්නේ නෑ කියලා කියපු මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් ළඟ. රනිල් හොරා කියපු දිනේෂ් ගුණවර්ධනත් දැන් එතන.
මාලිමාව කියන්නේ මහා ජනතා බලයක්
නායක හොරු එක පැත්තකින් එකට එක්වෙනකොට අද අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී හමාරයි. වට්ටපු රට ගොඩගැනීම අපිට තිබෙන එක වගකීමක්. අනෙක් වගකීම තමයි ඒ රට ගොඩනැගීම. අනෙක් එක අපේ රට ලෝක අවමානයෙන් ගලවා ගන්න ඕනෑ. ‘පොහොසත් රටක්. ලස්සන ජීවිතයක්’. ඒක තමයි අපේ සටන් පාඨය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයෝ අපිට උරුම කර දී තිබෙන්නේ මිනිස්කම නැති, සහකම්පනයක් නැති රටක්. ඒ නිසා අපි ඔක්කෝම එකතුවෙලා හදමු දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන් ඇතුළු අපි හැමෝටම ආදරයෙන්, ආරක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්. දැන් මාලිමාව කියන්නේ තවත් එක් දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; මහා ජනතා බලයක්; මහා ජනතා ව්‍යාපාරයක්. මුළු රටම පුනරුදය කරා ගෙනයන මහා සාගරයක් බඳු දේශපාලන බලවේගයක්.
රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා මොන අවලාද, මඩ බොරු, ප්‍රචාර අපට එරෙහිව දියත් කළත් ජාතික ජන බලවේගය ආපසු හැරවිය නොහැකියි. මෙය ජයග්‍රහණය දක්වා ඉදිරියටම යනවා. අපි ඔක්කෝම එකතුවෙලා මේ රට හදමු; ගොඩනගමු. අපේ රටේ හිටියේ ජනාධිපති උතුමාණන්ලා, ජනාධිපති ශ්‍රීමතානන්ලා. අපිව වහල්ලු කරන උතුමාණන්ලා, ශ්‍රීමතානන්ලා අපිට එපා. අපිට ඕන නම කියලා නැතිනම් සහෝදරයා කියලා අමතන්න පුළුවන් නායකයෙක්. ඒ තමයි අපේ අනුර සහෝදරයා. අපි ගෙයින් ගෙන යමු. කතා කරමු. ජනතාව අතර වැඩ කරමු. ජයග්‍රහණය කරා පෙරට යමු.
අපි ජාතික ජන බලවේගය වටා එකතු වුණ හේතුව
සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය,
මේ මංගල රැලිය ඇමතීම තරම් මට මේ ජීවිතයේ තවත් ඉහළ ගෞරවයක් නැහැ. මේක හුදු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. මේ රට ගොඩගන්න හැදූ දැවැන්ත ම ජාතික ව්‍යාපාරය. කලාකරුවන් හැටියට අපිට හුස්ම දෙන්නෙ මේ රටේ දුක් විඳින මිනිස්සු. ඔවුන්ගේ දුක, වේදනාව නිවා දැමීමට අපි පෙනී නොසිටියහොත්, අපි කලාකරුවන් වෙන්නේ නැහැ. එක්දහස් නවසිය හැත්තෑ හතෙන් පස්සේ ඇති වූ මජර දේශපාලන ක්‍රමය අපේ ජීවිත උඩු යටිකුරු කළා. කලා නිර්මාණවලට ඉන් දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. කලා රසඥතාවය මරා දැම්මා. මිනිස්සු තුළ මිනිස්කම දියවී ගියා.
මේ විනාශය තවදුරටත් අපට බලා ඉන්න බැරි නිසා තමයි අපි ජාතික ජන බලවේගය වටා ඒකරාශී වුණේ. ආර්ථික වශයෙන් පිරිහුණු සමාජයක මිනිස්සු මුලින් ම අතහරින්නේ රසාස්වාදය සඳහා තිබෙන මාධ්‍ය අවස්ථා. මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා අපිට සැබෑ මාවත පෙන්වා දී ඇත්තේ ජාතික ජන බලවේගය පමණයි; ඒ මාවත අපේ රට සුභ දිසාවට හරවනු නියතයි. කලාකරුවන් ඇතුළු මේ රටේ සියලු ජනතාවට ඒ වටා රොද බැඳගෙන යහපත් රටක් නිර්මාණය කරන්න පෙරට එන්නැයි ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.
(සටහන - ජයසිරි අලවත්ත)

ග්‍රාම නිලධාරී වර්ජනය අවසන් !
ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කරන ලද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ඒ අනුව ආරම්භ කර තිබු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද මධ්‍ය රාත්‍රියෙන් අවසන් කරන අතර, මැතිවරණය නිමාවට පත්වන තුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබා දීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.

''සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න''
ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේදී අද (17) සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට අභියෝගයක් කෙළේය.
රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා, ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද සඳහන් කළේය.
ඉන්ධන , ගෑස් , විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය.
අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා, තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.
රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් - අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා , ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජනරැළිය අමතමිනි.
පිළිතුරු නැතිනම් මගේ වේදිකාවට එන්න ...
අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සංගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැක ගත හැකි විය.
හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජනරැළියට සහභාගී වූහ.
(ජේ . මුණසිංහ සහ සී. ඇල්ලදෙණිය අනුරාධපුරයේ සිට)

ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (16) පැවැති වැඩමුළුවකදීය.
අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බව සඳහන් කල කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බව ද පැවසිය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,
"අපි පටන් ගත්තු තැන සිතපු දේවල්... සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා."
"මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ."
"මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි."

සජබ දොර වැහුණු තැන : සිරිසේන ස්වාධීන වෙයි !
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
අද (16) නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන අතර එය පහත දැක්වෙයි .
කෙසේ වුවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් ද අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බවයි .
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී අවධාරණය කර තිබිණ .
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ , පළමුව විජේදාස රාජපක්ෂ වෙත සහාය දීමට ඉදිරිපත්වූ හිටපු ජනාධිපති සිරිසේන පසුව සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට සූදානමක් පැවති බවයි . ඒ සම්බන්ධව ඔහු පොලොන්නරුව ආසන බල මණ්ඩලය කැඳවා වැඩි ජන්දයෙන් යෝජනා සම්මතයක් සිදුකර ගෙන ඇති බව මෙන්ම ඔහුගේ පුත් දහම් සිරිසේන ද කොළඹ දී ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය කැඳවා යෝජනාවක් සම්මත කර ගැනීමක් සිදුකර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .
Page 53 of 473