V2025

පුවත්

විවෘත විශ්වවිද්‍යාලයේ නීති සිසුන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ ඊයේ (06) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක් විය.

ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවල‍ට ද පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට ද කටයුතු කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති නීති උපදේශක බිම්බා තිලකරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය එම පක්ෂයේ උත්තරීතර නායක, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ මුලස්ථානයේදී සිදුවිය.

එහිදී නාමල් රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබුවේ ඔහුගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

නාමල් රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත්කිරීමට අදාල හේතු පාඨය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ප්‍රකාශයට කරනු ලැබිය.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික සාගරට යවපු ලියුම මෙන්න : දිනේෂ් බෑ කියලා : ඉල්ලුම බැසිල් නැත්නම් නාමල්ට !

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයේ තේරීම වූ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත.

එම ලිපිය පහත දැක්වෙයි.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම

පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.

නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.''

ස්තූතියි මෙයට හිතවත්
ධම්මික පෙරේරා (පා.ම.)

IMG 20240806 WA0012

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්ෂයේ නාමල් පාර්ශ්වය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙතින් ඉල්ලා ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ලෙස ඉල්ලමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇත.

බංග්ලාදේශය ඉක්මනින් යථා තත්ත්වයට පත්වේවා : ඩොලර් මිලියන 200 සිහිකර ජනපති කියයි !

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත්, වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව අද දිනය පුරා පැවැත්වෙන අතර පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටී.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා,හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

පසුගිය අවුරුදු තුන පුරා විවිධ සමුළු පවත්වමින් පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ කතා කිරීම සම්බන්ධව මම පළමුවෙන්ම ඔබට ස්තූති කළ යුතුයි. විශේෂයෙන්ම පුද්ගලික අංශය ලෝකය වෙනස් වන ආකාරය පිළිබඳ සහ ආර්ථික, සමාජීය සහ පාලනය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බැවින් එය වැදගත් බව මම විශ්වාස කරනවා. අප එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් එසේ කළ හැකි හොඳම රට වන්නේ අප රට බව පැවසිය යුතුයි. මාලදිවයින අප හා සමාන නමුත් එය තරමක් කුඩා රටක්. මම හිතන්නේ අනෙක් රටවල් එයට සූදානම් නැහැ. ඒ නිසා අප මෙහි පළමුවැන්නා විය යුතුයි.

මෙහි දී පෞද්ගලික අංශයේ දායකත්වය පිළිබඳ මා ප්‍රශංසා කරනවා. අද ලෝකයේ භූ දේශපාලනික තත්ත්වය ඉන් විරුද්ධ දිශාවට ගමන් කරන බව ද ඔබ මතක තබා ගත යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක, පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගොව් සමුළුවේ එකඟතාවන් අතරමඟ නතරවී තිබෙනවා. එතැන් සිට අප එතරම් දියුණුවක් ලබා නැහැ.

ලෝකය තවමත් COVID-19 වසංගත තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. චීනයේ ආර්ථිකය තවමත් උපරිමයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයක් පිළිබඳ කතා කළ නමුත් ඔවුන් දැන් සඳහන් කර තිබෙන්නේ රැකියා වෙළඳපොළ අතුරුදහන් වී ඇති බවයි. ඒ නිසා අප ලෝකයේ ප්‍රධාන ආර්ථිකය දෙක දෙස අවධානය යොමුකළ යුතුයි. යුරෝපය ඉදිරියට ගමන් කරන නමුත් එහි ද ගැටළු තිබෙනවා. අප තිරසාර සංවර්ධන ඉලක්ක දෙස අවධානය යොමු කරන්නේ මෙවන් පසුබිමක් තුළයි.

අප තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගන්නේ කෙසේද, අප ඒ සඳහා අරමුදල් සපයා ගන්නේ කොහොමද, රටවල් කොපමණ ප්‍රමාණයකට මේ සඳහා මුදල් වියදම් කළ හැකිද? ඔබ පෙරළියක් අපේක්ෂා කරනවා නම් “පරිසර, සමාජීය හා පාලනය (ESG)” පිළිබඳ කටයුතු කරන්නේ කෙසේද? ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වුවහොත් එය විවෘත ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

නමුත් වඩාත් කණගාටුවට කරුණ වූයේ එක්සත් රාජධානියේ සිදු වූ දෙයයි.බොරිස් ජොන්සන් මහතා යටතේ, ග්ලාස්ගෝව් සමුළුව සහ එහිදී එකඟවූ මූලධර්ම සියලු දෙනා විසින් පිළිගනු ලැබුවා. වසර දෙකක් ඇතුළත, ඔහුගේම අනුප්‍රාප්තිකයා බවට පත්වූ රිෂි සුනක් මහතා, අසාර්ථක වූ ප්‍රතිසංස්කරණවලින් දක්ෂිණාංශික ඡන්දය ලබා ගැනීම සඳහා ඒ සෑම දෙයක්ම ආපසු හැරවූවා. අද අප එක්සත් රාජධානිය තුළ නව රජයක් පවතින බව දකිනවා. එය ආපසු හැරවීමට ඔවුන්ට අවශ්‍ය නමුත් එක්සත් රාජධානියට ඒ සඳහා තවදුරටත් මුදල් නොමැති බව අප මතක තබා ගත යුතුයි.

අපට ලැබෙන්න තිබෙන සියලුම අරමුදල් පිළිබඳ අප සාකච්ඡා කර තිබනෙවා. අප COP 27, 28, 29 සමුළු වලදී මේ පිළිබඳ සාකච්ඡා කළා. අප කොපමණ ප්‍රමාණයක් අරමුදල් ලබා දෙනවාද? අප ණය පිළිබඳ සමුළුව සඳහා පැරිස් නුවර දී හමුවූ නමුත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ලැබී නැහැ. එය නරක අතට හැරෙමින් පවතිනවා. මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනය සහ ඊශ්‍රායලය සඳහා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා.

එම අරමුදල් අපිට මේ වෙනුවෙන් යෙදවිය යුතුව තිබුණා යැයි මා සිතනවා. යුරෝපය මේ සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දෙස බලන්න. ඒ වගේම රුසියාව කොපමණ මුදලක් වියදම් කළාද කියා අපි දන්නේ නැහැ. ඒ අරමුදල් සියල්ලම මේ සඳහා යෙදවිය හැකිව තිබුණා. නමුත් එය සිදුවන්නේ නැහැ. දෙවනුව, මැදපෙරදිග තත්ත්වයත් ඒ හා සමානයි. ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පෙනෙන්ට තිබෙනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මඟින් ශ්‍රී ලංකාව ඇතුළු සියලු රටවලට අයහපත් ප්‍රතිවිපාක එල්ල වෙනවා.

අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළයුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ.කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංගලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා.

ලෝකය තුළ පවතින තත්ත්වයන් යහපත් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම කටයුතුවලින් ඉවත් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මෙම ගෝලීය සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ අක්කර 600ක ප්‍රදේශයක ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුල වන විට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. වාණිජ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් කාබන් අවශෝෂණය සඳහා නිවර්තන කලාප සහ ඉන්දියන් සාගරය යොදාගැනීම සඳහා නිවර්තන කලාප මුලපිරීම ඉදිරිපත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සහ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.

මේ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට අප බලපොරොත්තු වෙනවා. වැවිලි කර්මාන්තයේ පවතින වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය වීම, තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ තුළ ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා. මීට අමතරව, තාක්ෂණික අධ්‍යාපනය සහ නවෝත්පාදනය සඳහා සහාය වීම සඳහා නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමට ද කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන HSBCහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් (Mark Surgenor) යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, ව්‍යාපාරිකයින්, පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරයි : නාමලුත් ඉල්ලා අස්වෙයි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවීමට පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයේ තේරීම වූ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර ඇත.

ඔහු මේ බව සඳහන් කරමින් පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ට ලිපියක් යොමු කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව යැයිද දැනගන්නට ඇත.

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වය ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් නම් කිරීමට නියමිතව තිබුණේ හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙනි.

එම උත්සවය පැවැත්වීම සඳහා පළමුව කොළඹ නෙළුම් පොකුණ ශාලා පරිශ්‍රය තෝරගෙන සිටියත් පසුව එය පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ.

එසේම ඒ වෙනුවෙන් අද කොළඹ පුරා පෝස්ටරයක් ද අලවා තිබූ අතර එය පහත දැක්වෙයි.

IMG 20240806 WA0015

නාමලුත් ඉල්ලා අස්වෙයි !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

ඒ අනුව පුරප්පාඩුවූ එම සාමාජික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත නම් කර ඇති බවද කතානායකවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයද මේ අනුව පුරප්පාඩුව ඇත.

අනුරත් ඇප තියයි : සේරම 18 යි : මැතිවරණ පැමිණිලි 99 යි !

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් අද (06) වන විට 18 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ද අද එම පක්ෂයේ පිරිසක් ඇප තැම්පත් කිරීම සිදුවිණ.

මේ අතර මැතිවරණ කොමිසම පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බවයි.

ජූලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

රවීට අපහාස කළාට කෝකිලා කොන්දේසි විරහිතව සමාව ගනියි !

තමන්ට අපහාසයක් කර ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින්, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන ට එරෙහිව ගොනු කළ නඩුවක් අද ( 06) කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් විය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී සිටියේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා වෙතින් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවද මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළාය.

ඒ අනුව අදාළ නඩුවේ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙස පාර්ශව කරුවන්ට නියෝග කරන ලදී.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ.

රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇත.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක  සඳහන් කර ඇත්තේ, අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

WhatsApp Image 2024 08 05 at 9.18.11 PM

හරි තීන්දුව නොගත්තොත් පොහොට්ටුවේ ඉරණම ප්‍රසන්න කියයි !

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක,තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දුව නොගතහොත් පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි වනු ඇති බවයි.

දිවුලපිටිය ආසනයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

ප්‍රශ්නය- ඔබතුමාව ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්කර තිබෙනවා?

පිලිතුර- මම දන්න විදියට මාව දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුමෙන් ඉවත්කර තිබෙනවා.ඒක සාධාරණයි. මොකද අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්න නෑ. මම රට ගැන හිතල තීන්දුවක් ගත්තා. මම මගේ තීන්දුවේ ඉන්නවා.

ප්‍රශ්නය- ඒ කියන්නේ පක්ෂය රට ගැන හිතන්නෙ නැද්ද?

පිලිතුර- තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන කොට රට ගැන හිතන්න බැහැ.අද පක්ෂයට වෙලා තියෙන්නේ එහෙම දෙයක්. රට ගැන කැක්කුමක් තිබුණනම් 2022දි පක්ෂයේ නායකත්වය වෙන කෙනෙක්ට දෙන්න තිබුණා. ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනකොට අපේ නායකයෝ එයාට සහය දුන්නේ නෑ. මොකද ඔහුට ඒ අත්දැකීම නැති නිසා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න තීරණය කළේ අපේ නායකයන්.ඒක නිවැරදි තීරණයක්. ජනාධිපතිතුමා රට අමාරුවෙන් ගොඩ ගත්තම අයිතිවාසිකම් කියන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි අත්හදාබැලීම් කරන්න ගියොත් ආපහු ජනතාව පාරට බහිනවා. ඒ නිසා කයිවාරු නොගහ වැඩක් කරල පෙන්නපු මනුස්සයට ආපහු ර⁣ට බාරදෙමු කියල අපි කියන්නේ.

ප්‍රශ්නය- ඔබ ඇතුළු පිරිසක් පක්ෂයෙන් අයින්කළේ ජනාධිපතිතුමා ප්‍රවර්ධනය කරන්න ගිහිල්ලා නේද?

පිලිතුර- නිදහස් පක්ෂය 2015 අපිට මේ විදියටම සැලකුවා.අද ඒ පක්ෂයට මොකද වෙලා තියෙන්නේ.බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ඒකමයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරෙයි. ඒ ආදරය නිසාමයි පක්ෂය රැකිල තියෙන්නේ. එතුමා නැතිවුණ දවසට මේ පක්ෂය ඉවරයි.

ප්‍රශ්නය- දැන් පොහොට්ටුවට මොකද වෙන්නෙ?

පිලිතුර- විනාශයක් වෙන්න යන්නේ.මේ වෙන්නෙ තමන්ගේ අපේක්ෂකයෙක් දාල ඩීල් එකක්. පක්ෂයේ අපේක්ෂකයාට දිනන්න බෑ. තරඟය තියෙන්නේ සජිත් – රනිල් අතර. අපිට ඩීල් නෑ. සල්ලිවලට පක්ෂය විකුණන්න දෙන්න බෑ. මේක මිනිස්සු හදපු පක්ෂයක්.

ප්‍රශ්නය- තනතුරු නැතුව ඔබ ඇතුළු පිරිසට මැතිවරණවලට යන්න පුළුවන්ද?

පිලිතුර- පක්ෂය දෙන තනතුරු දේශපාලන මණ්ඩලය වගේ තමයි. ඒකෙ ඉන්නෙ ගෙදර වැඩ කරන අය, තමන්ගේ සිකියුරිටි එක. නමුත් මහ⁣ පොළොව ඉල්ලන්නේ ආර්ථික අර්බුධයෙන් රට බේරාගත්තු නායකයා. අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ. මිනිස්සු තමයි ඒ පත්වීම දුන්නේ.බලෙන් දෙන නායකකම් මිනිස්සු කොයිතරම් දුරකට පිලිගනීද කියල බලමු.

ප්‍රශ්නය- පක්ෂයකුත් නැතුව මේ පවතින තත්ත්වය ඔබට ඉදිරිය අභියෝගයක් නෙමෙයිද?

පිලිතුර- නෑ… රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගතවෙනවා. දැන් මේ රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. සියලුම දේශපාලන පක්ෂ,නායකයෝ,සියලුම ජාතීන් එකට එකතුවෙලා ඉන්නෙ අපේ වේදිකාවේ.මිනිස්සු බළාපොරොත්තු වෙන සිස්ටම් චෙන්ජ් එක අපේ පැත්තෙ තියෙනවා.

ප්‍රශ්නය- පක්ෂය ගත්තු තීරණය පිටුපස ඉන්නෙ කවුද? නාමල් රාජපක්ෂද?

පිලිතුර- බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය එකට තියාගෙන ආවා. තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.

අත්දැකීම් නැති අය රට බාරගෙන 2022දි රටට සිදු වුණු දේම තමයි අද පක්ෂයට වෙමින් තිබෙන්නේ.

ප්‍රශ්නය – පොහොට්ටුවෙ බෙදාදීම ආණ්ඩුවට තර්ජනයක් නෙමෙයිද?

පිලිතුර- මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහුගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක,තුන තුළ මේ ගමන යන්න පුළුවන්.අපිට සරල බහුතරය තියෙනවා.

ප්‍රශ්නය- අන්තිමට පොහොට්ටුවට කී දෙනෙක් ඉතුරු වෙයිද?

පිලිතුර- හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි.

ප්‍රශ්නය- පොහොට්ටුවේ ඉන්න අය ජනාධිපතිවරයාට සහය දක්වන්න එකතු වෙන්න ඔබතුමන්ලා සමඟ සාකච්ඡා කරනවද?

පිලිතුර- අපි අපේ මතය කියනවා. එච්චරයි. පක්ෂයේ මතය එක්ක හිටපු ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ කීම අහල අපිත් එක්ක එකතු වුණා. මහින්ද මහත්තයට ශක්තියක් වුණ එස්.එම් චන්ද්‍රසේන වගේ අත්දැකීම් තියෙන නායකයන් අද අපේ පැත්තට එනවා.

මහනුවර පොහොට්ටු රැස්වීම හිස් : රංජිගේ මහන්සිය සහ ඉන්දිකගේ තෙල් අපරාදේ !

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණ මහනුවර රැජිණ හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමක් අතරමග නතර කර දැමීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි.

ඒ එම රැස්වීම සඳහා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ පරිදි සහභාගී නොවීම මතයි.

පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර, ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වුවත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පමණක් ඊට සහභාගි ව සිට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට බලාපොරොත්තු වූ පරිදි ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී නොවීම මත මෙම රැස්වීම වේලාසනම අවසන් කිරීමටද කටයුතු කර ඇත.

ෆොනී සහ අමරේත් ඇප තියයි ; දැනට අපේක්ෂකයන් 17 යි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (05) සිදුවිය.

ඒ අනුව ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.

සරත් ෆොන්සේකා 2010 වසරේ ද එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූවත් එහිදී පරාජයට පත්විය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ ද එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද ඇප මුදල් තැන්පත් කළේය.

සිරිපාල අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ඒ අනුව මේ වන විට 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

විචාරකයන් පවසන්නේ මෙවර ජනාධිපතිවරණය වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ මැතිවරණය විය හැකි බවයි.

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

එහි දැක්වෙන්නේ, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අද (අගෝ. 5) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමට වැඩි හැකියාවක් පවතින බව ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.

ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ පියවර පහතින් දැක්වේ.weather agu 5 768x1086

බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර යයි

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.

ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී ඇති බව ද වාර්තා වෙයි

විදෙස් මාධ්‍ය පවසන්නේ, ධූරයෙන් ඉල්ලා අස්වූ අගමැතිනිය හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමග ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව ය.

බංගලාදේශයේ පොලිසිය සහ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයන් 90 දෙනෙකු ඊයේ (ජූලි 04) මිය ගොස් තිබේ.

මෙම නොසන්සුන්තාවයට හේතු වී ඇත්තේ, අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධූරයෙන් ඉවත් විය යුතු යැයි බල කරමින් ශිෂ්‍ය නායකයින් පිරිසක් සිවිල් අණ නොපිළිපැදීමේ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය.

සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජූලි මාසයේදී මෙම ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වූ අතර එය මේ වන විට පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත් ව ඇත.

ළපටි නාමල් ඉතිහාසය දන්නෙ නෑ : එස්.එම් චන්ද්‍රසේනගෙන් හැඟීම්බර ප්‍රකාශයක් !

තම නිවාස ගිනිබත් වුණෙත් අතුකෝරළ මන්ත්‍රීවරයාට සිය ජිවිත පුජා කිරිමට සිදු වුවේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසේ වැරදි වැඩ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ පක්ෂයේ නියෝජිත හමුවකදී ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉතිහාසය දන්නේ නැහැනේ.2005 ජනාධිපතිවරණයට එතුමාගේ පියාට ජනාධිපති අපේක්ෂකත්වය නොදි ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සුදානම් වුණ අවස්ථාවේදි මම තමයි ඉස්සරලාම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම.”

“ඒ වේලාවේ මම දැඩි අපහසුතාවයකට පත්වුණා.චන්ද්‍රිකා මැතිනිය මට ජනාධිපති මන්දිරයට එන්න කියලා දැඩිලෙස දෝෂාරෝපණය කළා. ඒ විතරක් නෙමෙයි. එතුමාගේ බාප්පා ජනාධිපති කරන්නත් මම උපරිම උදව් කළා.

ශේහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රිවරැන්ගේ ගෙවල් ගිනි ගත්ත එක හොදයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි අහගෙන හිටියා. එයාලගේ වැරදි වැඩ නිසා තමයි අපිට ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නාමල් රාජපක්ෂ මහත්තයලගේ වැරදි වැඩ නිසා තමයි අතුකෝරළ මන්ත්‍රී තුමා වැනි අයට ඒදා ජිවිතය පුජාකරන්න සිද්ධ වුනේ. ඒදා අරගලය දවසේම රැස්විම් පවත්වලා ඒ කරපු කටයුත්ත නිසයි අපට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුනේ.”

“ මම කියනවා නාමල් රාජපක්ෂ මහත්තයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ පුරප්පාඩුව නම් පුරවන්න හම්බ වෙන්නේ නැහැ.” තමාගේ පුරප්පාඩුව පිරවිමට තමාම සිටිය යුතු බවද පර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි පැවසිය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රි තුමා මට අභියෝග කරන්න රැස්විමක් තියලා තිබුණා.මන්ත්‍රිවරැ දහයක් විතර හිටියා.මේක දේශපාලනය නෙමෙයි.නැවත කල්පනා කරලා බලලා තියපු කකුල ආපස්සට අරන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමත් එක්ක එකතු වෙලා ඊලග මැතිවරණය ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න”.

පුත්තලමේ පොහොට්ටු බහුතරයත් රනිල්ගේ සහායට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම සදහා කටයුතු කලයුතු බවට වන යෝජනාව පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී අද(4) ඒකමතිකව සම්මතව ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩලය නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ගේ මාදම්පේ පිහිටි නිවසේදී පැවැත්විණි.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි රහිම් ද එක්ව සිටි අතර අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා විදේශ ගතව සිටින බැවින් මේ සදහා සහභාගී නොවීය. පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුද මෙම තීන්දුව සඳහා එකඟතාව පළකර ඇති බවය.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා අතරින් සිව් දෙනෙකු මෙම බල මණ්ඩලය නියෝජනය කිරීමද විශේෂත්වයක්.

ඊට අමතරව වයඹ පලාත් සභාව නියෝජනය කල හිටපු පලාත් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ඇතුළු පිරිසක්ද පලාත් පාලන ආයතන නියෝජිතයින් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මාතලේ පොහොට්ටුව හෝදලාම අරගෙන රනිල්ගේ සහායට !

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය අද (04) දඹුල්ලෙදි රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පලකිරීමට ඒකමතිකව තීරණය කරන ලැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී , දිස්ත්‍රික් නායක ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් , ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකොන් ගේ සහභාගිත්වයෙන් එම අවස්ථාව සංවිධානය කර තිබිණ.

මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජණය කරන සියලු ආසන සංවිධායකයන් සහ කැඳවුම්කරුවන්, හිටපු පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු පලාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියහ.

පොහොට්ටුව අපේක්ෂකයෙක් දැම්මේ ඇයි ? ප්‍රසන්න සියල්ල හෙළිකරයි !

පරදින බව දැනගෙනම පොදුජන පෙරමුණෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ඩීල් එකකට බවත් පොදුජන පෙරමුණ දෙකඩ කළේ ජනාධිපතිරයාට සහාය පළ කරන පිරිස නොව පාක්ෂිකයන් පිළිබඳව කිසිදු තැකීමක් නැති සිය පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්ම පෙනී සිටින සුළු පිරිසක් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාක්ෂිකයන් ගැන නොසලකන මේ සුළු පිරිස පක්ෂය මුදලට පාවා දුන් බවයි‍.

රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඔබතුමා පක්ෂය කැඩුවා කියලා. පක්ෂය කැඩුවේ ඇයි?

පිළිතුර – මම තමයි පක්ෂය ඒකරාශී කරගෙන මේ ගමන යන්න උත්සාහ කරන්නේ. එහෙම කැඩුවා නම් කැඩෙන්නේ 2022 රනිල්ව පත් කර ගන්නේ නැතිව ඩලස්ව පත් කරගන්න තිබුනා. එහෙම කරේ නැත්තේ රට ගැන හිතලා පක්ෂය ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් තමයි යෝජනා කරන්නේ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහට කඩේ යනවද?

පිළිතුර – එතුමට කඩේ යන්න අවශ්‍ය නෑ. එතුමා අභියෝග භාරගත්තා. සජිත් ප්‍රේමදාස, හර්ෂ මන්ත්‍රීතුමා එහෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ක කතා කරලා රට තියෙන්නේ අවධානම් තත්ත්වයක බාරගන්න බෑ කියලා කිව්වා. මතක ඇති Twitter එකෙත් දැම්මා. එහෙම කියපු වෙලාවක රට බේරගත්ත නායකයාට කඩේ ගියාට වැරැද්දක් නෑ. එහෙම යන්න මිනිස්සු කැමති නිසයි ඒකමතිකව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය – ඔබතුමාට ආසන සංවිධායකකම නැති වෙනවා. ඒ ගැන දුකක් නැද්ද? ඔබතුමාලා අවදානමක් නේද ගන්නේ. රනිල් වික්‍රමසිංහ පැරදුනොත් ?

පිළිතුර – මම ඒ අවදානම ගත්තේ අද ඊයේ නෙවෙයි. එදා මහින්ද සුළගෙදිත් ශ්‍රී.ල.නි.ප ට විරුද්ධව මම ඔය තීන්දුව ගත්තා. අදත් මම ඒ තීන්දුව ගන්නවා. මොකද රට වෙනුවෙන් ගන්න තීන්දුවක් නරක් වෙන්නෑ.

ප්‍රශ්නය – ඔබතුමා දිස්ත්‍රික් නායකකමින් අයින් කරනවා කියලත් කිව්වා. ඇත්තටම උදයංග වීරතුංග කියන්නේ කවුද?

පිළිතුර – මෙහෙමයි, මාධ්‍ය මිනිහා උස්සලා ගද්දී මිනිහා වීරයා වෙනවා. නාමල් රාජපක්ෂලත් කියනවා ඔහු බොරු කියන්නේ කියලා. චමල් ඇමතිතුමා කියනවා ඔහු පිස්සෙක් කියලා. ඉතින් මම මොකටද ඕක ගැන කතා කරන්නේ. පවුලේ අයම කියනවා ඒ කාරණා. මම ඕවට උත්තර දෙන්න ඕන නෑ. දිස්ත්‍රික් නායකකමින් මාව ඉවත් කරනවා කියලා කියනවා. කවදාවත් මට දිස්ත්‍රික් නායකත්වයවත් ආසන සංවිධායකකමවත් දීලා තිබ්බේ නෑ. දීලා තිබුනේ කැඳවුම්කරු කියලා. මහ ඇමති තනතුර අතෑරපු මට ඕවා අතාරින එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අන්තිම මොහොතේ දැම්මේ කොහොමද?

පිළිතුර – ඒක දාපු අයගෙන් අහන්න ඕන. එතැන වෙන ඩීල් යනවා. සමහරු හිතනවා එයා ඉදිරිපත් වෙනවා කියලා. ජනාධිපතිතුමා පරද්දන්න පරදින බව දැන දැන පොහොට්ටුවෙන් කෙනෙක් එවනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී යනවා සජිත් ගේ පිලට. ගිහින් ඇමතිකම් ගන්නවා. මොකද රනිල් පැරැද්දුවේ එයා කියලා හිතලා. රට ගැන හිතලා නෙවේ හැමෝම වැඩ කරන්නේ පුද්ගලවාදී දේශපාලනයක් තුලයි. එතනයි මේ රටට වරදින තැන.

ප්‍රශ්නය – මේ පරම්පරා ගත දේශපාලනය ඉවර කරලා මේ රට ඔබතුමාලා අතට ගන්න බැරිද?

පිළිතුර – හැමදාම මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් අද තත්ත්වය වෙනස්. ආර්ථික අර්බුදයෙන් රට බේරගත්ත නායකයාට දේශපාලන වේදිකාවක් හැදිලා තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය අපි වෙනස් කරලා තියෙනවා. UNP, ශ්‍රී.ල.නි.ප, මුස්ලිම් නායකයෝ මේ වේදිකාවට එකතු වෙනවා. මේ රටේ 77න් විශේෂයෙන්ම 94 න් පස්සේ මැතිවරණ තියද්දි සන්ධානගත දේශපාලන නායකයෝ තමා මේ රටේ බලය ගත්තේ. ඉතින් අද ඒ බලය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. රට ජාතිය ගැන හිතලා භේදයකින් තොරව වැඩ කරන්න තැනක් හැදිලා තියෙනවා.

ප්‍රශ්නය – පුළුල් සංන්ධානයකින්ද එන්නේ

පිලිතුර – මෙතුමා ස්වාධීන අපේක්ෂකයෙක් අනෙකුත් දේශපාලන පක්ෂ ඔහුවටා එකතු වෙනවා.

ප්‍රශ්නය – අද මේ රැස්වීමට සහභාගී වෙලා මේ තීරණ ගන්නේ කවුද?

පිලිතුර – මෙතනට ආවේ පළාත් පාලන මන්ත්‍රීවරු පමණයි. ඔවුන් එක හඬින් කිව්වේ මැතිවරණයේදී රනිල්ට සහය දෙන්න කියලා.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ තව එකතු වෙන්න අය ඉන්නවද?

පිලිතුර – සංඛ්‍යාත්මකව කියන්න බෑ. හෙට අනිද්දට නොහිතන අයත් එකතු වෙනවා අපිත් එක්ක.

– ප්‍රදීප් අනුර කුමාර

Page 57 of 473