V2025

පුවත්

චම්පික අතීරණයක !

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සම්බන්ධයෙන් වන ප පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රීලනිපයෙන් ජන්දයට එන්න ඉල්ලා අස්වූ විජේදාසගේ වාරණය දීර්ඝ කෙරේ !

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (29) නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉල්ලා අස්වූ විජේදාසට වාරණයක් !

මේ අතර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් අද දිර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.

නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් මස 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට එහිදී නියෝග කෙරුණි.

2024 පළමු කාර්තුවේ කොළඹ වරාය ලොව හොඳම වර්ධක වරාය වෙලා !

කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  පැවසීය.

එසේම 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මෙසේද පැවසීය.

කොළඹ වරායේ මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව මම මුලින්ම සඳහන් කිරීමට කැමතියි. 2024 වසර තුළ කොළඹ වරාය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප මේ ප්‍රගතිය ලබා ගත්තේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුවන අතරතුරයි. නමුත් ඒවා අපගේ කටයුතු සඳහා කිසිදු බාධාවක් වූයේ නැහැ. 2023 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ලාභයක් වාර්තා කළ අතර 2024 වසරේ පළමු කාර්තුවේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ලබා තිබෙනවා.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්ත හතරම දායක වී තිබෙන බව කිව යුතුයි. මෙම පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා. ඒ අනුව ECT හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 2025 පෙබරවාරියේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම නැගෙනහිර පර්යන්තය සහ උතුරු වරාය සංවර්ධන කටයුතුද සිදු කෙරෙනවා.

එසේම ත්‍රිකුණාමලය, ගාල්ල, කන්කසන්තුරය යන වරායවල සංවර්ධන කටයුතු ද සිදු කරමින් තිබෙනවා. ඒ වගේම කන්කසන්තුරය වරායේ අලුතින් ඉදිකරන ලද පර්යන්ත ගොඩනැඟිල්ල තොටුපළ මෙහෙයුම් සඳහා යොදා ගනිමින් සෑම සිකුරාදාවකම ඉන්දියාවේ සිට මගී යාත්‍රා සේවයක් ක්‍රියාත්මක වේ.

එසේම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වසරට සාපේක්ෂව 25%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. මෙහිදී මගී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර 2023 වසරේ 36ක් වූ ගුවන් සේවා පැමිණීම් 2024 වසරේ ජූලි මාසය වන විට 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් : රාජපක්ෂවරුන් තීන්දුව ගනියි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට අද (29) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී බහුතර ජන්දයෙන් තීරණය වූ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙම සාකච්ඡාව අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ විජේරාම නිල නිවසේ පැවති අතර එහිදී එළැඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්විය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් එය බහුතර මතය නොවූ බවද සාගර කාරියවසම් සඳහන් කළේය.

ඒ අනුව එළැඹෙන අගෝස්තු 15 වනදාට පෙර පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව තීන්දුවක් ගන්නා බවත්, ඉදිරියට පක්ෂයේ තීන්දුවට පිටින් කටයුතු කරන ඕනෑම අයෙකු සම්බන්ධව දැඩි විනය පියවර ගැනීමටද අද පැවති සාකච්ඡාවේදී තීන්දු කළ බවද ඔහු පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන බහුතර පිරිසක් මේ වන විට වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන බැවින් ඔවුන් මේ අවස්ථාවට එක්ව සිටියේද කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ ලේකම්වරයා පවසා සිටියේ එම පාර්ශ්වය නියෝජනය කරන පිරිසක්ද අද පැවති සාකච්ඡාවට පැමිණ සිටි අතර ඔවුන් කිහිපදෙනෙකු ද පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට සහාය දක්වමින් ජන්දය ප්‍රකාශ කළ බවයි.

සජිත්ගේ සක්වලට වාරණයක් !

විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ මැතිවරණයක් කැඳවා තිබියදී භාණ්ඩ බෙදීම් වැනි කටයුතු මැතිවරණ නීතිය අනුව තහනම් පදනමින් බවද වාර්තා වෙයි.

ඒ අනුව පාසල් නවයක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදෙන සක්වල වැඩසටහන නවයක් මෙසේ අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බවත් දැනගන්නට ඇත.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ජන රැලි සඳහා මැතිවරණ කොමිසම නිහඬව සිටියද සජිත් ප්‍රේමදාස ගේ වැඩසටහන් මෙසේ අත්‍හිටුවීම අසාධාරණ බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ සක්වල වැඩසටහන් හැත්තෑවක් සංවිධානය කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

විජයදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඔහු අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ,

"කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ."

පොහොට්ටුවේ අපේක්ෂක ධම්මික - උදයංග කියයි : මහින්දගෙනුත් ඉඟියක් !

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ධම්මික පෙරේරා ව ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන බව රාජපක්ෂ පවුලේ නිල නොලත් ප්‍රකාශක ලෙස කටයුතු කරන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

මේ වන විටත් බැසිල් රාජපක්ෂ විසින් එම තීරණය ගෙන අවසන් බවත් හෙට (29) දිනයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් ඔහු පවසයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදයංග වීරතුංග මේ බව සඳහන් කළේය.

ධම්මික පෙරේරා  ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරවන බවද එහිදී පැවසූ ඔහු කිසිසේත්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අපේක්‍ෂකත්වය ලබා නොදෙන බවද පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව අස්ථාවර නොකර පවත්වාගෙන යෑම සඳහා පක්ෂයක් ලෙස තවදුරටත් සහාය ලබාදීමට තීන්දු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 මහින්දගේ ඉඟිය !

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද (28) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

එහිදී ඔහු ස්ථිරවම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බවයි.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ප්‍රශ්නය - කොහොමද අපේක්ෂකතුමාගේ තත්ත්වය ?

අපි සඳුදාට තීන්දු කරනවා. සඳුදා වෙනකම් ඉවසන්න.

ප්‍රශ්නය - ධම්මික පෙරේරා මහතා අපි දැක්කා ඔබතුමාලා එක්ක ඉන්නවා ?

එකට වාඩිවෙනවා. අපේ මන්ත්‍රීතුමානේ.

ප්‍රශ්නය - ජනාධිපති ගාල්ලේදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ?

ඔව් බොහොම හොඳයි.

ප්‍රශ්නය - එතුමාට සහාය ලබාදෙනවද ?

නෑ... අපේ පක්ෂයෙන් දාන කෙනාට සහාය දෙනවා. අපේ පක්ෂයෙන් තීන්දු කරන්න ඕනේ ඒක. මම අපේ පක්ෂය කියන එක තමයි අහන්නේ. එයාට සහාය දෙන්න කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ. හැබැයි පක්ෂය කිව්වොත් එයාට විරුද්ධව වෙන කෙනෙක් දාමූ කියලා ඒකට එකඟවෙනවා.

පොහොට්ටුව බෙදෙනවාද නැද්ද : තීන්දුව හෙට (29) !

එළැඹෙන ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අති බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහය ජනාධිපතිවරයාට ලබාදෙන බවට මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ.

එසේම ඊයේ (27) ගාල්ලේ පැවැත්වුණු " එක්ව ජයගමු - අපි ගාල්ල " රැලිය සඳහා ද පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. එසේම ඊට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ පොදුජන පෙරමුණේ 30 කට ආසන්න මැති ඇමතිවරුන් පිරිසක් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇති බැවින් පක්ෂයේ බහුතර මතයට කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

පොලිස්පති අර්බුදය විසඳන හැටි ජනපති කියයි !

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසු ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී අද (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද අප මෙතන සිටින්නේ විගමන ශ්‍රමිකයන් එවු මුදල්වලින් සහ 2022, 2023 යල කන්නය වගා කළ ගොවින් නිසා බව කිවයුතුයි. ඒ කණ්ඩායම් දෙක නොවන්නට අද අපට රටක් ලෙස මෙතරම් සාර්ථකව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප මේ රට භාර ගනිද්දි රටේ තිබු තත්ත්වය අප සියලු දෙනා දන්නවා. අපි එක් පක්ෂයකට අයත් ආණ්ඩුවක් නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනා එක් කර ගනිමින් අලුත් ආණ්ඩුවක් ගොඩනැඟුවා. ඒ නිසා මෙම ආණ්ඩුව අභියෝග භාර ගැනීමට ශක්තියක් තිබෙන ආණ්ඩුවක්. අපි ලෝකයේ රටවල සහ මූල්‍ය සංවිධානවල සහාය ඇතිව මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම ආරම්භ කළා. එහිදී රටට ඩොලර් ලබා දුන් විගමණික ප්‍රජාව කිසිසේත් අමතක කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත විය යුතුයි.

මේ අයුරින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ නැතිනම් අද ජනතාවට මෙවන් සහන හිමි වන්නේ නැහැ.

විදේශගතව සිට නැවත මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට රැකියා ආරම්භ කිරීමට සහාය වීමට අපට යුතුකමක් තිබෙනවා. එදා ඔබ සිදු කළ සේවය නිසා තමයි අද රටේ ජනතාවට මෙවන් සහනයක් ලබාදීමට හැකිවී තිබෙන්නේ.

දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ණය දෙන රටවල් සහ බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම නිසා අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. අප මෙම ගිවිසුම්වලට අත්සන් තැබීමත් සමඟ ජපන් රජයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණ සෑම ව්‍යාපෘතියවක්ම නැවත ආරම්භ කරන බව ජපානය ප්‍රකාශ කළා.

ඒ වගේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය ඇතුළු විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමඟ එකඟ වී තිබෙනවා. ඒ වගේම බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා දැන් ජපානය සහ ඉන්දියාව සමඟ අප මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා.

ඒ වගේම මම චීනයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස. මේ සමඟ මෙරට ඉදිරිකිරීම් අංශය විශාල දියුණුවක් ලබනවා.

ඇතැම් අය හිතුවා අපට රටක් ලෙස නැවත හිස එසවීමට නොහැකි වනු ඇතියි කියලා. මැතිවරණයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් අපි මැතිවරණය පවත්වනවා. තවත් සමහර අය කිව්වා මම මැතිවරණය කල් දාන්න යනවා කියලා.

නමුත් මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම සඳහා මම පළමුවෙන්ම ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

ඇතැම් අය මගෙන් අහනවා මෙම අර්බුදය නිසා මොකක් වෙයිද කියලා. පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා. ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.

ඉන් පසු දින විපක්ෂනායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ.

කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා

ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා. මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.

ඒ නිසා මම මේ පිළිබඳ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. තවත් නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සියලුදෙනා කිව්වේ අප මේකට විසඳුමක් සෙවිය යුතුයි කියලා. එසේ නොවන්නට එයින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.

මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්. පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ. මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.

මනුෂ නානායක්කාර මැතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන. නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි. පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.

එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ. මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ. කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා. ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.

දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි. මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.

මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.

මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නව ව්‍යාපාරයක් මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය ආරම්භ විය යුතුයි. ඒ නිසා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා සැප්තැම්බර් 21 දින මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි අන්දමින් කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

වතු වැටුප වෙනුවෙන් වතුකරයේ කළු කොඩි

වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.

දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

මේ සඳහා වතුකම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ප්‍රදේශයේ වෙළඳසැල් හා රථවාහනවල කළු කොඩි ඔසවා තිබූ බව ද වාර්තා විය.

වතු කම්කරු වැටුප වැඩිකළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හරහා රජය වතුසේවක ප්‍රජාව මුලාවට ලක් කළ බව උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී පවසා ඇත.

පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යයයි

ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවසීය.

 පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල අනිවාර්යෙන්ම වෙළඳසැලේ ප්‍රදර්ශනය කළ යුතු බව ද ඔහු පැවසීය.

අඩු කළ පාන් මිල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් අද (27) සිට දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා - ජනපති

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.

කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත්, රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කළේය.

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද ඇතුළුව අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් මෙන්ම හිටපු මැති ඇමතිවරු සහ ගාල්ල දිස්ත්‍රික් ජනතාව 15,000කට අධික පිරිසක් එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවූහු සපථ වූහ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ජනාධිපතිවරයා අවධාණය කළේය.

තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත් සියලු දේශපාලන භේද පසෙකලා තරුණ පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වන ලෙස සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වෛද්‍ය රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් යන  ද ජන හමුව ඇමතුහ.

ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් වෙයි

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු දැන් අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩ්‍යුලර් හදා අවසන් කර ඇති අතර එම මොඩ්‍යුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දීමට නියමිත බවත් ය. එසේ ම ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන් ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජයගත යුතු ව ඇතැයි ද කී අමාත්‍යවරයා මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් ම වනු ඇතැයි ද කී ය.

ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය. වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසි සේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් සාවද්‍ය මත පැතිර යන බව කී අමාත්‍යවරයා කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවත් එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100ක ක්‍රියාත්මක ව ඇති බවත් ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවත් එම ගුරුවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ රට හැර නොයන ලෙස බවත් පැවසී ය.

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක් !

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අභියෝග කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේ පැවසීය.

"මේ ජනාධිපතිවරයා මේ මැතිවරණයට ටිකක් අර බල්ලා නාවන්න අරගෙන යනවා වගේ තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් තිබුණා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා. සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට කලින් කිව්වා ඡන්දයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා. ඒ වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. මේ රනිල් වික්‍රමසිංහ මඟ හැරීම සඳහා කරන උත්සාහයට තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න.

ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පුළුවන් නම් ඒක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා දිය රත් වෙනකම් තමයි කකුළුවා නටන්නේ කියලා. වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ."

පොලිස්පති අවුල පාර්ලිමේන්තුවෙන් අධිකරණයට

ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදුව නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කළේය.

එසේ පත්කරන ලද පුද්ගලයෙකු එම ධුරයෙන් ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියමිත ක්‍රියා පටිපාටියක් ඇති බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.

එම ක්‍රියාවලියෙන් තොරව ව්‍යවස්ථා සභාවෙන් විධායකයින් නිර්දේශ මත පත්කරන ලද පුද්ගලයෙකු ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

 කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

 එමෙන්ම ජනාධිපතිවරයාද මැතිවරණ තත්ත්වය තුළ පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් කිසිවක් සිදුකළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් තමන්ද පෙර ස්ථාවරයේම සිටින බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකුට අධිකරණයට ගොස් කරුණු විමසීමක් යළි සිදු කළ හැකි බවද කතානායකවරයා සඳහන් කර සිටියේය.

ජනාධිපති ස්ථාවරය මෙන්න !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ සති දෙකකට වරක් වැඩ දෙන බලන පොලිස්පතිවකු පත් කිරීමට සිදුවුවහොත් එම කරුණු මත පදනම තමන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි යයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබෙන බවයි.

ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටි බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර පොලිස්පති ධුරයේ තනතුරු පුරප්පාඩුවක් සිදුවී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙයි.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් නිසා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැති බවටත් වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවත් වාර්තා වෙයි.

අධිකරණ තීන්දුව අනුව සිදුව ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරී කරගෙන යාමේ බාධාවක් පමණක් යයිද එම නීති උපදේශකයන් ගේ අදහස බවත් දැනගන්නට ඇත

සමහර මාධ්‍යවලට මාලිමාවේ ලාල් අනතුරු අඟවයි !

අද බලයේ ඉන්න අය පැරදුණු පසුව සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂයේ ජන හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය .

‘දැන් අප මේ කතා කරන වේලාවේ බලයේ ඉන්නෙ පරදින අය. සමහර ජනමාධ්‍යයත් ඒගොල්ලන්ගෙයි. පරදින්න ඉන්න අයගෙයි. ඒගොල්ල පැරදුනාට පස්සෙ මේ සමහර ජනමාධ්‍ය ජනතාවගෙ ඒවා බවට පත් වෙනවා. සමහර ඒවට මොනව වෙයිද දන්නෙ නැහැ. වහල දායිද මොකක් වෙයිද දන්නෙ නැහැ. ජනමාධ්‍ය ආයෙ නොකර ඉඳියි ද දන්නෙ නැහැ. ඒ තරම් පච කියන්නෙ සමහර ජනමාධ්‍ය මඟින්. එක මාධ්‍යයක් තිබෙනවා අකුරු දෙකයි තිබෙන්නේ. එකට මඩ ටී.වී. කියන්නත් පුළුවන්. උදේ හිටන් රෑ වෙනකල් මඩ’

තරුණ ඉල්ලීමට සැපයුම දෙන්න ෆොනී එයි : දිලිත්ලාගේ අපේක්ෂකයා අගෝස්තු 4 එළියට !

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

" ජන පීඩන පාලනයට එරෙහිව " යන තේමාව යටතේ යක්කල නගරයේ දී අද (26) සවස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

" මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි පිරිසක් ඉදිරිපත් වෙනවා.ඒ වගේම රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. අපේක්ෂකයින් කිසිවෙකුටත් සියයට පනස් එකක් ලබාගැනීමට නොහැකි වේවි. මම හිතනවා ලක්ෂ තිස් පහක් පමණ ගන්නා කෙනෙක් ඉදිරියෙන් ඉදීවි. මේ රටේ පාවෙන ඡන්ද ලක්ෂ හැත්තෑවක් විතර තියෙනවා.

මැති ඇමතිවරුන් රටේ පවතින තත්ත්වය තේරුම් ගත යුතුයි. කාගෙන්වත් ආරාධනා ලැබෙන තෙක් නොසිට රටේ තත්ත්වය සහ පක්ෂ දේශපාලනයෙන් සිදුවූ හානිය සහ පක්ෂ මෙහෙයවන අයගේ වැඩපිළිවෙල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. රටේ ජනතාව පසුගිය කාලයේ වෙනසක් ඉල්ලුවා. තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළා. ජනාධිපති මන්දිර කුඩු කළා. ඒ වෙනස දෙන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නෙ.රටේ වැඩිහිටියො තේරුම්ගන්න ඕනෙ , මෙතෙක් කල් කරපු වැරදි නොකර සියලු දෙනාට පෙළ ගැසීමට හැකි තැනක් අපි හදනවා.

දිලිත්ලා ගේ අපේක්ෂකයා 4 වෙනිදා එළියට !

මේ අතර "සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එම සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද දැනගන්නට ඇත.

මුලින්ම ඇප තිබ්බ ජනපති රනිල් : ගාල්ලෙන් වැඩ අරඹයි !

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (26) උදෑසන ඇප මුදල් තැන්පත් කළා.

ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

ඔන්න ඒත් එක්කම හෙට 27, ඒ කියන්නේ සෙනසුරාදා ගාල්ලේ තියන ජන රැලියේදී රනිල් සුබ ආරංචිය කියන්න යනවා කියලත් ආරංචියි.

එක්ව ජයගමු - අපි ගාල්ල මැයෙන් පැවැත්වෙන මේ ජනරැලිය සංවිධානය කරන්නේ රමේෂ් - මනුෂ කියන අමාත්‍යවරුන් සහ එජාප සභාපති වජිර මන්ත්‍රීවරයා ගේ මුලිකත්වයෙන්.. එදාට ආණ්ඩුවේ මැති ඇමතිවරු සෑහෙන පිරිසක් ගාලු එන්න ඉන්න බවත් ආරංචියි.

ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඇප මුදල් තියලා හා හාපුරා කියලා ජනාධිපති රනිල් දකුණෙන් වැඩ අල්ලන්න යන්නේ. ඒ වගේම ජනාධිපතිවරණය කල් දාන්න යනවා කියලා විපක්ෂය කරේ තියාගෙන දිව්වට රනිල් ජනාධිපති හීනියට තමන්ගේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගෙනිහින් විතරක් නෙවෙයි , මුලින්ම ඇප මුදල් බඳින්න පවා සැලසුම් කරලා. ජනාධිපති ගේ ගැටේකට විපක්ෂයේ ඇත්තෝ අහුවුණාද කියලත් හිතුනට වැරදි නෑ වගේ.

  • දේශපාලන වාර්තාකරු

Page 60 of 473