V2025

පුවත්

1-6-10 ශ්‍රේණි සඳහා නව මොඩ්‍යුලර් පොත්

පසුගිය 2019-2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේ දී ය.

රජයෙන් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ දෙනු ලබන පෙළපොත් ඉදිරි 2025 වර්ෂයේ දීත් නිසි කලට අඛණ්ඩ ව ලබා දීමේ අරමුණින් එම ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ කටයුතු මෙසේ ඇරඹුණ බව ද සුසිල් ප්‍රේමජයන්ත  මෙහි දී කියා සිටියේ ය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශේණි ශිෂ්‍යත්ව විභාග උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ගේ දීමනා සියල්ල ද වැඩි කර ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා ලබන සැප්තැම්බර් මාසය වන විට පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව ද කී ය. එසේ ම 2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් හෙතෙම පැවසී ය.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම ආරම්භ කළ උසස් පෙළ පන්ති අධ්‍යයන කටයුතු මේ වන විට සාර්ථක ව සිදු කෙරීගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණ, ඉංග්‍රීසි ඇතුළු විදේශ භාෂා යන විෂයන්ට අදාළ ගුරු පත්වීම් 2,300ක් මීට සති දෙකකට පෙර ලබා දුන් බවත් පළාත් මට්ටමින් ද විභාග පවත්වා ගුරු පත්වීම් 16,000ක් පමණ ලබා දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා උසාවි නියෝග මත වසරකට අධික කාලයක් ඇණහිට තිබූ සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ දී එකඟතාවකට පැමිණ 23,000ක් වූ එම පිරිසගෙන් විභාග ප්‍රතිඵල මත ගුරුපත්වීම් ලැබූ 6,000ක ප්‍රමාණය හැර ඉදිරි සති දෙක තුළ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන නඩු කටයුතු අවසන් කර ඉතිරි පිරිස සම්මුඛ පරීක්ෂණයකින් අනතුරු ව අභ්‍යාසලාභීන් ලෙස ස්ථානගත කිරීම් සිදු කරන බවත් සඳහන් කළේ ය. ඒ අනුව විෂය වර්ග කිහිපයක හැර ඉතිරි සමස්ත ගුරු පුරප්පාඩු ප්‍රමාණය ම පුරවා අවසන් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එසේ ම 2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන් ම සිසුන්ට ලබා දී අවසන් කර ඇති බවත් ඒවා ලබාගත්තේ ද මෙරට ආර්ථිකයට බරක් නොවන ලෙස 80%ක චීන ප්‍රදානයක් වශයෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසී ය. ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව කී අමාත්‍යවරයා 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත් ද දරුවන්ට නිසි කලට ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසී ය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය අනුව 2025 වර්ෂයේ සිට 1-6-10 ශ්‍රේණිවල මොඩ්‍යුලර් ක්‍රමයට පන්ති කාමරය තුළ ඉගැන්වීම් සිදු කිරීමට අවශ්‍ය පොත් නිර්මාණය කර ඇති අතර 2025 ජනවාරි මස එම පොත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේ ය.

පොලිස්පතිට අතුරු තහනමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් , පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 08දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට අවසර දෙමිනි.

පෙත්සම් විභාගට අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවීය.

පෙත්සම් විභාගය දින 06ක් සිදු කළ අතර අද දින පෙත්සම් පසුගිය බ්‍රහස්පතින්දා දින අවසන් වරට පෙත්සම් විභාගය පැය 8කට ආසන්න කාලයක් සිදු කෙරුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නිතීඥ තිශ්‍ය වේරගොඩ ඇතුළු නීතීඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දැක්විය.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබුණි.

පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ, එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

කාංචන රනිල් නම් කරයි : නාමල් විරුද්ධයි !

එළැඹෙන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඊට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීමත් සමඟ ඔහුට සහාය ලබාදීම වෙනුවෙන් පොදුජන පෙරමුණ තුළ කටයුතු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

පොදුජන පෙරමුණ තවමත් ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් 2019 දී මෙන් ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව, පක්ෂයේ බහුතර එකඟතාව අනුව තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ අද (23) කොකොළඹ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

එකඟවිය නොහැකි අපේක්ෂකයකු වෙනුවෙන් සහාය දැක්වීමට නොහැකි බවත් එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තවත් අවුරුදු 5ක කාලයක් සඳහා සහාය දිය යුතුය යන්න තමන්ගේ පෞද්ගලික ස්ථාවරය බවත් අමාත්‍යවරයා පැවසීය .

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ මෙම දේශපාලන මණ්ඩල හමුවට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක සිට අදහස් දැක්වීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ තම පක්ෂය තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ගැන තීරණයක් ගෙන නොනොමැති බවයි. එය ජනාධිපතිවරණය කැඳවීමෙන් පසුව ගන්නා බවත් ඔහු ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇති බවයි.

එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඊයේ (22) රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොදුජන පෙරමුණේ නායකයින් සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් යමින් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කලහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පලකිරීමටය.

ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි .

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධකරගෙන අදාල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජවිපෙ මාලිමාවේ ලාල් සහ වසන්ත රටම රවට්ටලා : ගුරු සංගමේ ස්ටාලින් හෙළිකරයි !

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයද සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කර සිටියේ ගුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

සමස්ත රටේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හෝ වැඩ වර්ජන නතර කිරීමේ හැකියාවක් ලාල්කාන්තට හෝ වෙන කිසිවෙකුට තීන්දු කළ නොහැකි බවත් එය තීන්දු කරනු ලබන්නේ අදාළ වෘත්තිය සමිති පමණක් බවත් ඔහු පැවසයි.

එසේම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට සමාජවාදය එනතුරු බලා සිටි නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වුවත් පසුගියදා ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් මෙන්ම ජවිපෙ වෘත්තීය සමිති නායකයන් වන කේ.ඩී. ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ සඳහන් කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණය අවසන් වන තුරු තම වෘත්තීය සමිති සියලු වෘත්තීය ක්‍රියාමාර්ග වලින් බැහැරව සිටින බවය.

ජනාධිපති RW වෙනුවෙන් RK ගෙන් සහතිකයක් !

ජනාධිපතිවරණය කල් දැමීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවූ ඇතමුන් සබඳතා පවත්වන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි මේ වන විට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු සමඟ බවත් එම කටයුත්ත දියත්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ චරිතය ඝාතනය කිරීම සඳහා බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසීය.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාගේ කිසිදු සූදානමක් නැති බවත් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පළමු අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාටද දැනුම්දුන් බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

වැඩක් කරන මනුස්සයන්ගේ චරිත ඝාතනය කිරීම මෙරට අලුත් දෙයක් නොවන බව සඳහන් කළ රවි කරුණානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බවද පැවසීය.

තමන් නියෝජනය කරන්නේ එම ජනාධිපති මැතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ කර්තව්‍යය බවද ඒ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණ දිනය තීන්දු කරන්න : මැකොස අනිද්දා (25) රැස්වේ !

එළැඹෙන ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා  (25) රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිත ය.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම , ඇප තැන්පත් මුදල් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අදාළ කැසට් නිවේදනය මේ සති අන්තයේ නිකුත් කෙරෙනු ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වනදා හෝ 28 වනදා යන සෙනසුරාදා දිනයකදී පැවැත්වෙනු ඇත.

කෙසේ වුවත් මීට පෙර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබුණේ ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 වනදා පැවැත්වීමට නියමිත බවයි.

තවත් මන්ත්‍රීවරුන් 30ක් සමඟ සජබ සන්ධානය අගෝස්තු 08 කරළියට !

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනඟන සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එසේම තවත් මන්ත්‍රීවරුන් 30කට අධික ප්‍රමාණයක් එම සන්ධානය සමඟ එක්වීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

 ‘‘මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. ලබන මාසයේදී මැතිවරණ පනත අනුව නාම යෝජනා භාරගත යුතුව තිබෙනවා. සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩි මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන සියලුම කණ්ඩායම් සමඟ එකතුවී සමගි ජන සන්ධානය නිර්මාණය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒක රාශි කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්න කටයුතු සිදුකරගෙන යනවා.

ඒ අනුව අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා.

රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාවත් එළි දක්වන්න කටයුතු කරනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනසන්ධායේ ජනාධිපතිධූර අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින්. සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර , අද්දැකිම් තිබෙන විශාල නායකයින් පිරිසක් සහ දමිල , මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි. මන්ත්‍රීවරු 30 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි.

ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව : චාමර වේලාසනින් කිය

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී ආසාර්ථකව තිබූ රට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ අනුව යමින් අප අමාත්‍යාංශය ද එතෙක් පැවති පාඩු ලබන තත්ත්වය වලක්වා ගෙන ලාබ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා.

දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් රටවල් මෙතරම් කෙටි කලක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන නැහැ. මෙම ස්ථාවරත්වය රැක ගනිමින් ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් සියළු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතුයි.

ඒ වගේම පසුගිය සමයේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් බදු සංශෝධන සම්බන්ධව ජනතාව තුළ යම් විරෝධයක් තිබුණා. නමුත් එම තීන්දු තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විට එම විරෝධය නැති වනවා. ලෝකයේ වෙනත් රටවල අපේ රටට වඩා බදු ප්‍රතිශතයක් අයකරන බව ද සිහිපත් කළ යුතුයි.

ඉකුත් අර්බුද සමයේ ජනතාව සතුව මුදල් තිබුණත් මිල දී ගැනීම සඳහා භාණ්ඩවල හිඟතාවයක් පැවතුණා. නමුත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ. කෙසේ වුවත් මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය අප කාටත් අමතක නැහැ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා. ඒ වගේම පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ජනතාව ද තීන්දු කර තිබෙනවා.

තව ද දේශපාලනඥයන් විවිධ පක්ෂ මත විසුරුණු පමණින් ඡන්ද දායකයින් වෙනස් නොවන බව ද පැවසිය යුතුයි. ඡන්ද දායකයින් එළැඹෙන මැතිවරණයේ දී හැසිරෙන්නේ පුද්ගලයා මත නොව වැඩපිළිවෙළ මත බව ද සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඊළඟ මැතිරණයේදී බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්දය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප රටේ ජනතාව කළගුණ දන්නා, හොඳින් හිතාමතා වැඩ කරන පිරිසක් බව ද සිහිපත් කළ යුතුයි

පිරිවෙන් සිසු සිසුවියන්ට හෙට (24) ජනපති ශිෂ්‍යත්ව !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (24) පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

මෙතෙක් මෙරට කිසිඳු අවස්ථාවක පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවු අතර ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිවයිනම ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.

පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු වන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ හෙට දින මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමටත් එතැන් සිට මසකට රුපියල් 3000/-බැගින් ගෙවීම් කිරීමටත් කටයුතු කෙරේ.

එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවැත්වෙන දින මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිවයිනේ 10126ක් වන සියලුම පාසල් ආවරණය වන පරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 106000ක් තෝරාගෙන උසස්පෙළ හදාරන සිසුන් සඳහා මාසිකව රුපියල් 6000/- බැගින් මාස 24 කාලයක් හා 1ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මසකට රුපියල් 3000 /-බැගින් මාස 12ක කාලයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියර ද මේ වන විට අවසන් වෙමින් පවතී.

සහන අවැසි කිසිවකු මෙම අවස්ථාවේදී අත්නොහැරිය යුතුය යන ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට පත් කළ කමිටුව යෝජනා කැඳවීම අරඹයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.

අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතුය.

යෝජනා කරන තනතුර හැර වෙනත් තනතුරු සඳහා ද යෝජනා ගෙන එන්නේ නම් වෙන වෙනම ආකෘති පත්‍ර සම්පූර්ණ කොට ඒ සඳහා වන සාධාරණීකරණ වාර්තා ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගන්නා ඇමුණුම් 01 ආකෘතියට අනුව සම්පූර්ණ කළ යුතු වේ.

අදාළ තොරතුරුවල මෘදු පිටපත් පමණක් ලබා දීම ප්‍රමාණවත් වන අතර යම් හෙයකින් දෘඩ පිටපතක් ලබා දීමට අවශ්‍ය වන්නේ නම් පමණක් “ලේකම්, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කළ විශේෂඥ කමිටුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01” ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාරදීම කළ හැකිය.

මෙම සියලු යෝජනා විශේෂඥ කමිටුව මඟින් විශ්ලේෂණය කොට ඉල්ලුම්කරු නියෝජනය කරන ආයතනය/ වෘත්තීය සමිති/ සිවිල් සංවිධානය සමඟ සාකච්ඡා කිරීම සඳහා දිනයක් සහ වේලාවක් සති දෙකක් තුළදි ඉල්ලුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස් ඇප් (WhatsApp) මඟින් දැනුම් දෙනු ඇත.

මෙම යෝජනා සහ සාධාරණීකරණ වාර්තා පිටුවකට පමණක් සීමා කරන මෙන් විශේෂඥ කමිටුව ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන් තියනවා : ජනපති සහතික වෙයි !

මෙවර අයවැයෙන් මුදල් වෙන් කරනු ලැබුවේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කර ඇත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ, ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා, මේවනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පවසා ඇත.

තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන් බවද වාර්තා වෙයි.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ පොලී රහිත ණයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

පළමු අදියරේදී මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති විසින් එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

ඒ අනුව ඉදිරියේ දී මහජන බැංකුව සමඟද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

කෘෂි නවීකරණ වැඩසටහනෙහි පළමු අදියරයේ දී නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26හි කෘෂි නවීකරණ කේන්ද්‍රස්ථාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 25 බැගින් රුපියල් මිලියන 650 ක මුදලක් වෙන් කර ඇති අතර, දෙවන අදියරයේදී රුපියල් මිලියන 10ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් හඳුනාගෙන ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී, අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් 30% කට වැඩි දායකත්වයක් කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් විසින් දරනු ලබන අතර ඉතිරි 70% සඳහා රජය දායකත්වය දරයි.

චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස රජය විසින් ලබාදෙන දායකත්වය කෘෂි නවීකරණ ණය යෝජනා ක්‍රමය යටතේ පොළී රහිත ණයක් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙන් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් මගින් නැවත අයකර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ නමින් වන ගිණුමක තැන්පත් කර ඇති අරමුදලින් තෝරාගත් හා අනුමැතිය ලද ව්‍යාපෘති සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ත්‍රිත්වය අතරින් ප්‍රතිලාභියාගේ ස්වකැමැත්ත අනුව තෝරා ගන්නා ලද බැංකුවක් හරහා කෘෂි ව්‍යවසායකයින් වෙත පොලී රහිත ණයක් ලෙස මෙම මුදල් ලබා දීම සිදුවේ.

ණය සහන කාල සීමාව උපරිම මාස 06ක් වන අතර, ණය සහන කාල සීමාව ද ඇතුලත්ව ණය මුදල ආපසු ගෙවිය යුතු උපරිම කාල සීමාව වසර 05කි. එසේම ණය සහන කාල සීමාව හා ණය මුදල ආපසු ගෙවිය යුතු කාල සීමාව ගොවීන් හෝ කෘෂි ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා ලද ණය මුදලේ ප්‍රමාණය හා ව්‍යාපෘතියේ ස්වභාවය මත කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන මගින් තීරණය කෙරේ.

සංචාරක ව්‍යාපාරය නංවන්න එක්වන්න : විදෙස් රැකියා ඒජන්සි හිමියන්ටත් ආරාධනා !

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල එපිටොම් හෝටල් පරිශ්‍රයේ ඊයේ (21) පැවති “අභිමන් 2024” උත්සවයට එක්වෙමිනි .
මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මම ජනාධිපති ධූරය භාරගෙන වසර දෙකක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ ඔබට ස්තූති කළ යුතුයි. එදා ඔබ රටට මුදල් උපයා දුන්නේ නැත්නම් අද රට මෙවන් තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබෙන්නේ නැහැ. වසර දෙකකට පෙර අප සිටියේ අසීරු තත්ත්වයකයි. පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි වනු ඇතැයි කිසිවෙකු විශ්වාස කළේ නැහැ. නමුත් ජනතාව සමඟ එක්ව මේ රට ගොඩගැනීමට හැකි බව මම විශ්වාස කළා. වෙනත් රටවල්වල මෙන් නොව වසර දෙකක් ගතවීමට පෙර අප එම වැඩ කටයුත්ත අවසන් කර තිබෙනවා.

අප පැමිණියේ දුෂ්කර ගමනක් බව ඔබ දන්නවා. බොහෝ දෙනෙක් සිතුවේ අපේ රටට අනාගතයක් නැහැ කියලයි. කර්මන්ශාලා පවත්වාගෙන යාමට ඉන්ධන තිබුණේ නැහැ. රටට සංචාරකයන් පැමිණියේ නැහැ. අපි විදේශ ශ්‍රමිකයන් එවු මුදල් වලින් තමයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ.

අනාගතයට මුහුණ දිය හැකි බවට විශ්වාසයක් දැන් අප තුළ තිබෙනවා. ලොව බොහෝ රටවල් අපෙන් අහනවා මේ දේ කළේ කොහොමද කියලා. අපි බංග්ලාදේශයේ ණය ආපසු ගෙවා තිබෙනවා. අද වන විට බංග්ලාදේශය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපට අපට දුෂ්කර අවස්ථාවේ සහාය වූ එම රට තුළ නැවත සාමය සහ ස්ථාවරත්වය ඇති වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අප දැන් ඉදිරිගමන ගැන සිතිය යුතුයි. අපේ රට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කළයුතුයි. ඒ වගේම විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිපුණතාවන් වර්ධනය කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි. එවිට ඔවුන්ට හොද රැකියා අවස්ථා සඳහා යොමු වී වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවෙනවා. එය එම පුද්ගලයන්ට මෙන්ම රටටත් හොඳ තත්ත්වයක් බව කිව යුතුයි.

වසර 02ක් අප දුක් වින්දා. වසර දෙකක් ඔබේ සහාය ඇතිව මම මේ රට ඉදිරියට ගෙන ආවා. එහි ප්‍රතිලාභ ඔබට හිමි විය යුතුයි. එසේනම් අප සියලුදෙනා එක්ව අලුත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එක්වී කැපවී කටයුතු කරමු.

අපේ ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල තිබෙන ව්‍යාපාර අවස්ථා ඇතැම් විට ඔබට ලංකාවට ගෙන ඒමට හැකි වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. අද එම අවස්ථාව විශාල වශයෙන් හිමිව ඇත්තේ මැද පෙරදිග රටවලයි. ලංකාවේ ශ්‍රමිකයින් එම රටවලට යැවීමට හැකිනම් එම රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනිමට අපට හැකි විය යුතුයි. සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව ඔබට ඒ සඳහා කටයුතු කළ හැකියි. එවිට ඔබේ ව්‍යාපාර තවදුරටත් පුළුල් වෙනවා. එම කටයුතු සඳහා ඔබට රජයේ සහයෝගය ලබාදීමට අපට පුළුවන්.

ඒ වගේම එම රටවලට අවශ්‍ය ආහාර සැපයීමට අපට හැකියාවක් තිබේනම් ඒ සඳහා ද රජයේ සහයෝගය ලබාදිය හැකි බව දැනුම්දීමට කැමතියි. අපි අලුතින් සිතා අලුත් ගමන යා යුතුයි. එක තැන සිර වෙන්න බැහැ. ඒ වගේම රටේ ඉදිරි න්‍යාය පත්‍රය සකස් කරන්නේ දේශපාලනඥයන් නොවන බව ද සිහිපත් කරමින් ඔබේ ඉදිරි කටයුතු වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර :

ඇතැමුන් බලය ලබා ගැනීමේ කෑදරකමින් ජනතාව පීඩාවට ලක් කරමින් සිටින මොහොතක කිසිම කොන්දේසියක් නොදමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව දුකෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණා. එතුමාගේ රාජතාන්ත්‍රික භාවය මීට වසර දෙකකට පෙර පැවති දරුණු ආර්ථික අර්බුදයේදී පැහැදිලිව පෙන්නුම් කළා. වසර දෙකක් ඇතුළත පීඩාවට පත් ජනතාව ජීවත්වීමේ හැකියාවක් ඇති ආර්ථිකයක් ගොඩනැඟීමට එතුමාට පුළුවන් වුණා.එතුමාගේ ආර්ථික දැක්මට සහයෝගය දැක්වීම සඳහා විගමනික ශ්‍රමිකයින් තමන් උපයා ගත් ධනය බැංකු හරහා ලංකාවට එවීමට කටයුතු කළා. ඒ අනුව මේ වසරේදි පමණක් ඩොලර් බිලියන 12ක විදේශ විනිමයක් ලබාගැනීමට හැකි වුණා.

2022 වසරේදී මූලික අවශ්‍යතා ලබා ගැනීමටවත් විදේශ විනිමය නොතිබූ රටක් අද වන විට සාමාන්‍ය පරිදි ක්‍රියා කරවීමට ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම නිසා හැකි වුණා. ඒ සඳහා ඔබ විදේශ රැකියා නියෝජිත ආයතන වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ වෙනුවෙන් සිදු කරන ඇගයීම “අභිමන් 2024” ලෙස ඔබට පුද කරනවා.ඔබේ ශක්තිය එදා රටට නොලැබුණා නම් අද රට තිබෙන තැන හිතාගන්නවත් බැහැ. ඒ නිසා ඉදිරියටත් ඔබේ ශක්තිය අප රටට ලබාදෙමින් රටේ දියුණුවට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන්වන ජගත් පුෂ්ප කුමාර, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත් , හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදේශ රැකියා බලපත්‍ර ලාභීන්ගේ දේශපාලන සංසදයේ සභාපති ලංකා විජිත කුමාර, ලේකම් ජී. ගනේෂවරන්, භාණ්ඩාගාරික නිශාන්ත ජයකොඩි යන මහත්වරුන් සහ විදේශ රැකියා නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sri Lanka Red Cross Society Colombo 02

ඩෙංගු සහ ගංවතුර මඩින්නටත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වෙනවා - සාගල

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  පැවසීය.

පුරවැසියන් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක  මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ශ්‍රී ලංකා රතු කුරුස සමාජය – කොළඹ ශාඛාව විසින් පැවැත්වීමට නියමිත, ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ගංවතුර උවදුර සඳහා ප්‍රතිචාර දැක්වීම සහ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා  මෙසේද පැවසීය,

ව්‍යසනයක් ඇතිවූ අවස්ථාවන්වලදී රජය වගේම විවිධ සංගම් හා රටවල් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරනවා. ගංවතුර තත්ත්වයක් ඇති වීමට පෙර එය අවම කරන්න අප කටයුතු කළා නම් අපට ගංවතුර තත්ත්වයකදී වියදම් කරනවාට වඩා විශාල මුදලක් අඩු කර ගත හැකියි.

ඒ වගේම ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට වැය වන මුදල ඩෙංගු නිසා සෞඛ්‍ය සේවයට දරන්න සිදු වන වියදමට වඩා බොහෝ අඩු වනු ඇති බව පැවසිය යුතුයි. මෙහිදී සිදු වන ජීවිත හානි, පවුලේ සාමාජිකයන් මුහුණ දෙන ගැටළු මුදල් වලින් තක්සේරු කළ නොහැකි බව තේරුම් ගත යුතුයි.

මේ සියලු දේ පිළිබඳ නිසියාකාරව තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට කාලය දැන් පැමිණ තිබෙනවා. මේ තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවෙන්න පුලුවන්. ජනප්‍රිය නොවූවත් අපට නිවැරදි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. අප ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේද ජනප්‍රිය නොවන; ඒත් නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසයි. එවැනි තීන්දු තීරණවල ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ අවුරුදු කීපයකට පසුවයි.

අප ඇති කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසා ව්‍යාපාර ,කර්මාන්ත, ආයෝජන ඉදිරියට කර ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. වංචාව දූෂණය අවම කිරීම සම්බන්ධයෙනුත් වත්මන් රජය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙනවා. මෙම කටයුතු සිදු කරන විටදීද ගනු ලැබූ තීන්දු තීරණ ජනප්‍රියා ඒවා වුනේ නැහැ. නමුත් ලංකාවේ අප පුරුදු වී තිබෙන්නේ මැතිවරණයක් සමීප වන විට ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමටයි.

නමුත් මේ ගංවතුර හා ඩෙංගු වැනි ප්‍රශ්නවලදීත් අපට ජනප්‍රිය නොවන දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා.

පසුගිය ගංවතුර තත්ත්වයේදී අප දුටු දෙයක් තමයි අපේ රටේ යාන්ත්‍රණය, පුරවැසියෝ වගේම රාජ්‍ය සේවකයන් ගේ ක්‍රියා කලාපය එම ව්‍යසනයන්ට බොහෝ සේ බලපා තිබෙන බව. එහිදී අප දුටු දෙයක් තමයි වැරදි තැනක නිවසක් හදලා, කාණුවක් වහලා, සමහරු කුඹුරක් ගොඩ කර තමන්ගේ නිවසට යන්න පාරවල් හදා ගෙන තියෙනවා.

නගරයේ එකතුවන ජලය බැස යාමට නොහැකි වන ලෙස කාණු වහලා දාලා තියෙනවා. නැතිනම් ගඟක් අවහිර කරලා, නැත්නම් පහත් බිමක් ගොඩ කර ඉඩමක් හදා ගන්නවා. එහෙමත් නැත්නම් වැරදි අනුමැතියක් අරගෙන, නැත්නම් හොරෙන් හෝ වගුරුබිම් ගොඩ කරනවා. එසේත් නැත්නම් බලය අවභාවිත කර ගොඩකිරීම් සිදු කරනවා.

මේ වැරදි වැඩ බොහොමයක් නිසා අද අප මේ සිටින තැනට පැමිණ තිබෙනවා. එහෙමනම් මේ වැරැදි දැන් හරි නිවැරදි කරගන්න අවශ්‍යයි.

ඩෙංගු රෝගයත් ඒ වගේ තත්ත්වයකට පත්ව තිබෙනවා. පුරවැසියන් ලෙස අප අපගේ වගකීම නිසි ලෙස ඉටු කරනවා නම් ඩෙංගු රෝගය මේ තරම් ව්‍යාප්ත වන්නේ නැහැ. එසේ නම් මේ තත්ත්වය පාලනයට අපට නීති සම්පාදනය කිරීමට සිදු වෙනවා. එය සිදු නොකළහොත් මේ රට හදා ගන්න බැරි වෙනවා.

කොළඹ වේගයෙන් දියුණු වෙන්න සූදානම් වුවත් දියුණු වූ පසුවත් ජලයෙන් යට වෙනවා නම් ඒ දියුණුවෙන් වැඩක් නැහැ.අප යට වෙන්නේ නැතුව දියුණු වෙන්න අවශ්‍යයයි. මහජනතාවට වගේම රාජ්‍ය නිලධාරීන්ට හිරිහැරයක් නොවන ලෙස මහජන මුදල් යොදවන්න අවශ්‍යයයි.

පැරණි දත්ත මත නව තාක්ෂණය යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධිය භාවිතා කර ඕනෑම ක්ෂේත්‍රයක තීන්දු තීරණ ගත හැකියි. එහිදී වැරදි අඩුපාඩු බොහෝ දුරට අඩු කර ගත හැකියි. කාලගුණ රටාවන්, භූ විද්‍යාත්මක දත්ත, චන්ද්‍රිකා ඡායාරූප, පාරිසරික සාධක ආදිය විශ්ලේෂණය කර ව්‍යසනයන්හි සම්භාවිතාවන් පුරෝකතනය කළ හැකියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් රතු කුරුස සංගමයත් එක්ව මේ සඳහා නායකත්වය ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුනසේකර යන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය ආයතන නියෝජන කරන නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඥානසාර හිමිට මහාධිකරණයෙන් ඇප

වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කර තිබේ.

සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කර තිබුණි.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද (22) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හැර ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරණය ගැන තවත් දිනයක් එළියට !

ඉදිරි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 28 සෙනසුරාදා පැවැත්වීමට ඉඩ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර නිකුත් කළ යුතු ජනාධිපතිවරණය පිළිබඳ මූලික නිල ප්‍රකාශය මැතිවරණ කොමිසම විසින් ඉදිරි සතියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද සඳහන්ය.

පවත්නා නීතිමය තත්ත්වය අනුව ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 දා සහ ඔක්තෝබර් මස 16 දා අතර දිනයක පවත්වා හමාර කළ යුතුය.

ඒ අතර පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ ඔක්තෝබර් මස 16 දාට අඩුම වශයෙන් දෙසතියකට පෙර ඡන්දයට දින නියම කරන බවය. ඊට හේතු ලෙස සඳහන් කළේ යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වීමේදී කිසියම් දූෂණයක් හෝ වෙනත් නීති උල්ලංඝනයක් නිසා යම් යම් ඡන්දපොළවල මැතිවරණය අවලංගු කිරීමට සිදුවුවහොත් නැවත එම ඡන්දපොළවල මැතිවරණය පවත්වා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට දෙසතියක පමණ කාලයක් අවශ්‍ය වීම බවයි.

ඒ ආකාරයට ගණනය කළහොත් ඔක්තෝබර් මස 10 දා සිට දින 14ක් (සති දෙකක්) පසුපසට ගත්විට යෙදෙන්නේ ඔක්තෝබර් මස 02 දිනයි. නීතිමය වශයෙන් සඳහන්ව නැතත් මෙතෙක් කල් සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ සෙනසුරාදා දිනයක වන බැවින් ඔක්තෝබර් මස 2 දාට පෙර එළඹෙන සෙනසුරාදා සැප්තැම්බර් 28 දිනය වන බැවින් ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 28 දින පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

  • Deshaya

ජනපති අපේක්ෂක රනිල් : ප්‍රසන්නගේ යෝජනාව ඒකමතිකව සම්මතයි !

රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායකට ආරාධනා කරන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කඩවත බස් නැවතුම්පොළ අසළදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළිය අමතමිනි.

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ගම්පහ දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර රජයේ වැඩපිළිවෙළට එම ජනතාවගේ සහාය පළ කරමින් ඔවුන් මෙහිදී උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙහිදී ඉදිරිපත් කළ අතර ඒ වනවිට වේදිකාවේ රැඳී සිටි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 26 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 250 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ 15,000කට අධික ජනතාව දෑත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසරේ ජූලි 21 දින තමා භාරගත්තේ ආර්ථිකයක් සහ ආණ්ඩුවක් නැති රටක් බවයි. තමා වෙත භාරදුන් එම වගකීම තමා නිසි ලෙසම ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා තමා සැම විටම කටයුතු කළේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද පැවසීය.

ඒ සමඟම අපට ආධාර ලබාදුන් ව්‍යාපෘතිවලට නැවත මුදල් ලැබෙනවා. සියලු තහංචි ඉවත් වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු ආරම්භ කෙරනවා.

එදා මේ රටේ ඉන්ධන, විදුලිය, පොහොර තිබුණේ නැහැ. රෝහල්, පාසල් වසා දමා තිබුණා. නුවර පාරේත් රටේ අනෙකුත් ප්‍රදේශවලත් දිගටම පෝළිම් තිබුණා. අපි නැවත එම තත්ත්වය ඇති කරගත යුතු නැහැ. අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි. වසර 04ක් මේ රටේ තරුණයන්ට රැකියා ලැබුණේ නැහැ. අප තරුණයන්ට රැකියා ලබා දියු යුතුයි. ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කළයුතුයි. මේ ගමනේදී අප කිසිවිටෙකත් දුප්පත් ජනතාව අමතක කළේ නැහැ. ඔවුන් වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. අද රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ ප්‍රමාණවත් පරිදි තිබෙනවා. අපි කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ගමට ගෙනාවා. අවුරුදු 75 ක් මේ රටේ සිදු නොකළ වැඩ කොටසක් අප මෙම කෙටි කාලය තුළ සිදු කර තිබෙනවා.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් අපි මෙම විප්ලවය ගෙන යනවා. මෙය ඔබ වෙනුවෙන් ගෙන යන විප්ලවයක් බව කිවයුතුයි. එය ඉදිරියට ගෙන යා යුතුයි. අපි ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. තව වසර 20කින් අපේ දළ දේශීය නිෂ්පාදන පස් ගුණයකින් වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනටමත් අධ්‍යාපනයේ පුළුල් නවීකරණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන අතරම විශ්වවිද්‍යාල ඇති කර රටම ඩිජිටල්කරණයට ලක් කරනවා.

එදා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එහි විශාල විප්ලවයක් සිදු කළා. වෙළද කලාප දෙකක් සහිත ලංකාවේ විශාලම කර්මාන්ත පුරයක් ලෙස මෙම ප්‍රදේශය ගොඩනැඟුවා.. මෙහි ඊළග පියවර ලෙස කෑරගල අක්කර 160ක තුන්වන වෙළද කලාපය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. තෙල් පිරිපහදුව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු තව විශාල වෙළඳ කලාපයක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. අපි රටේ අනෙකුත් ප්‍රදේශවලත් මෙම සංවර්ධනය ඇති කළ යුතුයි. එම වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ.

දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළයුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු.

මේ ගම්පහ පුරවරය එක්සත් ජාතික පක්ෂයේ හදවතයි. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙන්ම මම ද දේශපාලනය ආරම්භ කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්විය යුතුයි. රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් බන්ඩාරනායක මැතිතුමා ඩී.එස්. සේනානායක මැතිතුමා සමග එක්ව වැඩ කළා.

ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බන්ඩාරනායක එකට වැඩ කළා. 71 කැරැල්ලේදී සිරිමාවෝ මැතිණියට සහාය ලබාදෙන බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 89 කැරැල්ලේ දී බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා එකට සාකච්ඡා කරමින් කටයුතු කළා. එදා අප රට ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කර තිබෙනවා. එය සියලුදෙනා එය මතක තබා ගත යුතුයි.

1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණදා සිට අප දේශපාලනය කර තිබෙනවා. නමුත් මැතිවරණය අවසන් වූ පසු බලය මාරු කරගෙන තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇගිල ගසන්නේ නැහැ. වෙන කිසිම රටක එවන් තත්ත්වයක් නැහැ. අපි මෙම ක්‍රමය ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යමු. අපට නැවත පෝළිම් යුගයට යන්න බැහැ. අප සියලු දෙනා එක්ව හොදින් ජීවත්විය හැකි රටක් ගොඩ නඟමු.ආරාධනයක් කළ විට පිළිතුරු ලබා දිය යුතුයි. එම පිළිතුර සුදුසු කාලයේ දී ලබා දෙනවා.

අමාත්‍යවරුන් වන, ප්‍රසන්න රණතුංග , කංචන විජේසේකර, රමේෂ් පතිරණ , හරීන් ප්‍රනාන්දු , රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ලොහාන් රත්වත්තේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගීතා කුමාරසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අකිල එල්ලාවල, රජිකා වික්‍රමසිංහ, ප්‍රදීප් උදුගොඩ, මධුර විතානගේ, ප්‍රේමනාත් දොලවත්ත, ජයන්ත වීරසිංහ, සහන් ප්‍රදීප්, උපුල් මහේන්ද්‍ර, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ප්‍රේමනාත් සී දොලවත්ත, මහින්දානන්ද අලුත්ගමගේ , හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොදු ජන පෙරමුණේ දේශපාලන නියෝජිතයන් රැසක් ජන හමුවට එක්ව සිටියහ.

ෆොනී ජනපති සටනට එයි : කබීර් සැක නිසා සභාපති ධූරය ඉම්තියාස් ට !

සමගි ජන බලවේගයේ සභාපති වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තනිව තරග කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඔහුගේ ඉදිරිපත් වීම ගැන අගෝස්තු මස මුල් සතියේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට සමගි ජනබලවේගය තමන්ට නිසි ආකාරයෙන් නොසැලකූ බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ගේ ප්‍රධාන චෝදනාව වී තිබේ.

දිගින් දිගටම ෆොන්සේකා මන්ත්‍රීවරයා සජබ නායක සජිත් ඇතුළු පක්ෂයේ වැඩපිළිවෙළ විවේචනය කළත් ඔහුව සමගි ජනබලවේගයෙන් නෙරපීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පක්ෂයෙන් එළියට ගොස් ප්‍රහාර එල්ල කිරීමෙන් පක්ෂයට හානියක් වේ යැයි සජබ නායකයා සිතීම බවත් වාර්තා වෙයි.

2010 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුනු ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙවර තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන වරන්වර කියා තිබිණ .

කබීර් ගැන සැකයක් : ඉමිතියාස්ට චාන්ස් එක !

මේ අතර සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වෙනුවට සජබ සභාපති ධූරය සඳහා කබීර් හෂීම් මන්ත්‍රීවරයා පත්කිරීමට සූදානමක් පැවතියත් ඒ සම්බන්ධයෙන් ද සජබ නායක සජිත් අතීරණයක සිටින බවයි. ඊට හේතුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකර එක්වනු ඇති බවට වන සැකසංකාවක් බවත් එම ආරංචි මාර්ග පවසයි .

එබැවින් සජබ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්‍තියාස් බාකිර් මාකර් වෙත ලබාදීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

Page 62 of 473