පුවත්

පොහොට්ටුවේ රජ රටින් සටන අරඹලා : හැබැයි ෂෙහාන්ව හළලා !
පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව පහුගිය 26 වෙනිදා අනුරාධපුර තලාව නගරයේදී පැවැත්වුණු නමුත් ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වෙත ආරාධනා කර නොමැති බව වාර්තා වෙයි.
” සටන අරඹමු රජ රටින් ” යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පවත්වනු ලැබුවේ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වෙතින් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ රැස්වීමේ සංවිධායකයන් තමන්ට ඒ සඳහා ආරාධනා නොකළ හෙයින් තමා ඊට සහභාගී නොවූ බවය.
අවමගුල් උත්සවයකට ආරාධනයක් නැතිව යා හැකි වුවත් රැස්වීමකට එසේ යා නොහැකි බව ද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වූවත් ඔහු එහිදී කිසිඳු අදහස් දැක්වීමක් සිදුකර නොමැති වීමද විශේෂත්වයකි.

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයන්ට : ප්‍රසන්නගෙන් බර අවි ප්‍රහාරයක් !
උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් උද්ඝෝෂණය කරන්නේ කීයක් හරි සොයා ගැනීමට බවයි.
“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් නෙළුම් පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
අද (28) පෙරවරුවේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ රට වනසන පනත් සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරුද්ධ විය යුතු බව පවසමිනි.
“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සඳහන් විරෝධතා පුවරු රැගෙන මෙලෙස විරෝධතා පා ගමනේ පැමිණ ඇත්තේ “මගෙන් රටට සංවිධානයේ” නියෝජිත සංජය මහවත්ත, කාමන්ත තුෂාර, අජන්තා පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිප දෙනෙකි.
මේ අවස්ථාව වන විට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද පක්ෂ කාර්යාලයේ සිටියේය.
අමාත්‍යවරයා පක්ෂ කාර්යාලය තුළට ඇතුළු වනවිට එම ස්ථානයේ විරෝධතාවක් නොපැවැත්විණි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග පක්ෂ කාර්යාලයේ සිය කටයුතු අවසන් කර පිටතට පැමිණෙන විට එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරියකු අමාත්‍යවරයාට පැවසුවේ විරෝධතාවක් පැවැත්වෙන නිසා එම මාර්ගයේ ගමන් කිරීමෙන් වලකින ලෙසයි.
එහෙත් අමාත්‍යවරයා පැවසුවේ එම විරෝධතාවය තමන්ට කිසිඳු ප්‍රශ්නයක් නොවන බැවින් තමන් එම මාර්ගයෙන්ම ගමන් කරන බවයි. විරෝධතාකරුවන් මාර්ගයේ ඉඩදෙන තුරු එම ස්ථානයේම මදක් නතර වී සිටීමට ඇමතිවරයාට සිදු විය. ඒ මොහොතේ එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඇමතිවරයා අසලට පැමිණ උද්ඝෝෂණය පිළිබඳව ඇමතිවරයාගෙන් විමසූවේය.
එහිදී ඇමතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,
ප්‍රශ්නය – උද්ඝෝෂකයින්ට කියන්න තියෙන පණිවිඩය මොකක්ද ආණ්ඩුවේ ප්‍රබලයෙක් විදියට?
පිළිතුර – මේ රට අරාජික කරන්න හදන කණ්ඩායමක්. සල්ලිවලට කීයක් හරි හොයන්න හදන කණ්ඩායමක්. ඔන්න ඕහේ කෑ ගහපුදෙන්. ඒ අයට අයිතියක් තියෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා.
ප්‍රශ්නය – මේවාට ආණ්ඩුව සැලෙනවද?
පිළිතුර – අනේ පස් හය දෙනෙක් කෑ ගැහුවට. රටේ බහුතර මතය තියෙන්නේ මේ ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙනවා කියලා. කෑ ගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද?ඔය එක එක්කෙනාගේ ගොට්ටොනේ වැඩ කරන්නේ. කෑ ගහන්න අයිතියක් තියෙනවනේ.
ප්‍රශ්නය – ඔබතුමා හිතන්නේ කාගේ ගොට්ටෝ කියලද?
පිළිතුර – කාගේ ගොට්ටෝ වුනත් ඔය එන්නේ කාගෙද කියලා ඔයාලා දන්නවනේ. නොදන්නවා නෙමෙයිනේ මාධ්‍ය ආයතන.
ප්‍රශ්නය – පොහොට්ටුවේ කොහොමද ඉදිරි සැලැස්ම
පිළිතුර – අපි අපේ දේශපාලන වැඩපිළිවෙල අපි කරගෙන යනවා. අපිට එහෙම ගැටළුවක් නෑ.
ප්‍රශ්නය – වර්තමාන ජනාධිපතිතුමාද එන්නේ ජනාධිපති අපේක්ෂකයා විදියට
පිළිතුර – කියන්න බෑනේ තව කල් තියෙනවනේ. නිවේදනයට ලක් කරාට පස්සේ ඒ ගැන කතා කරන්න පුළුවන්.
ප්‍රශ්නය – ඔබතුමාට හිතෙන්නේ නැද්ද පොහොට්ටුවේ අපේක්ෂකයා ප්‍රමාදයි කියලා
පිළිතුර – අපි ගෝඨාභය මහත්තයා ගෙනල්ලා දින 45කින් ජනාධිපති කළේ. සංවිධාන ශක්තියක් තියෙනවා නම් මාසයකිනුත් අපිට කරන්න පුළුවන්.
ප්‍රශ්නය – ළග ගෙනාවොත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? ගෝඨාභය මහත්තයාටත් ඒක නේද වුනේ.
පිළිතුර – දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙකුයි දේශපාලන අත්දැකීම් නැති කෙනෙකුයි අතර වෙනසනේ තියෙන්නේ. ඒකයි ඒ.
ප්‍රශ්නය – තාම පොහොට්ටුවේ තීරණයක් නැද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟම ඉදිරි ගමන යමු කියලා.
පිළිතුර – නෑ එහෙම නෑ. ඉදිරියේදී ජනාධිපතිවරණය නිවේදනය කළාට පස්සේ ඒක කියන්න පුළුවන් වෙයි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමතිවරයා, ඇමතිවරයාගේ රථයෙන් එම ස්ථානයෙන් පිටව යද්දි විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ ගමනට බාධා කරමින් රථයේ දොර ඇරීමට උත්සාහ ගත්හ. එහෙත් විරෝධතාකරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ විය.
අනතුරුව විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් සඳහන් කරමින් පොල් ගෙඩි දෙකක් පොලෙවේ ගසා විසිර ගියහ.
ප්‍රදීප් අනුර කුමාර

යුක්‍රේන - රුසියා යුද්ධයට මැදිව අසරණවුවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරන්න එපා !
යුක්‍රේන - රුසියා යුද්ධය ට එක්වී අසරණ වී ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්නය සමහර පුද්ගලයන් දේශපාලනීකරණය කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර එය නොකළ යුතු දෙයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
මෙසේ අසරණ වී සිටින පුද්ගලයන් ගෙන්වා ගැනීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර මේ ආකාරයට ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් මේ වන විට විනෝද චාරිකාවකට එක්ව සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියාවට හෝ යුක්‍රේනයට ගිය පුද්ගලයින්ගේ තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් දුරකථන අංකයක් හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ මේ වනවිට පැමිණිලි 451ක් ලැබී ඇති බවත් සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ලැබී ඇති පැමිණිලි වලට අදාළව පොලීසිය විසින් 301 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බවද පැවසීය.

විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීමට කැබිනට් අනුමැතිය
සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබු අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට මේ වන විටත් සේවකයින් 267 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බවය.
ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි අතිරික්ත සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට රජයේ අවධානය !
රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සාගල රත්නායක මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවති සාකච්ඡාවේදීය.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති ගැටළු මෙන්ම වැටුප් තලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙහිදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දුන්නේ ග්‍රාම නිලධාරී සේවයේ උසස් වීම් පිළිබඳව ගැටළු රැසක් මතුවී ඇති බැවින් ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවය.
ඒ අනුව මේ වන විට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිපත් කරන ලෙස සාගල රත්නායක දැනුම් දුන්නේය.
එසේම ග්‍රාම නිලධාරී සේවය ග්‍රාමීය මට්ටම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන වසර හැට එකක් පැරණි සේවාවක් බැවින් ඒ සඳහා සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇති බව ද ඒ සඳහන් කළේය.
විවිධ ගැටළු මධ්‍යයේ වුවද ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය කටයුතු වෙනුවෙන් ලබා දෙන දායකත්වයද සාගල රත්නායකගේ ඇගයීමට ලක් විය.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් සහ ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් !
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
“ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේද පැවසීය,
උත්සව සමරන්න ජනතාවට මානසික නිදහසක් නැති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් වෙසක්, පොසොන් පමණක් නෙවෙයි ඇසළ වගේම නත්තල සැමරීමටත් අවශ්‍ය වාතාවරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් නිර්මාණය කර තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ සම්න්ධයෙන් චෝදනා කරන අයට පසුගිය වසරක කාලය හා සසඳන ලෙස මා ආරාධනා කරනවා. ජනතාවගේ නැති වෙලා තිබුණු මානසික නිදහස මේ වන විට නැවත ඇති කරලා තියෙනවා.
රජයට චෝදනා කරන කිසිවෙකුටත් තවමත් නිෂ්චිත ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. එවැනි වැඩපිළිවෙළක් ඇත්නම් රට හමුවේ කරුණු ඉදිරිපත් කරන්න. අප දැනටමත් රට හමුවේ කියූ දේ ප්‍රායෝගිකව සිදු කරමින් සිටිනවා. අස්වැසුම සහ උරුමය වැනි වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබා දෙමින් සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හිටියත් මීට පෙර ජනාධිපති ධූරයේ කටයුතු කර නැහැ. මෙවර ඔහු පත්වූ පළමු අවස්ථාවේ සිටම රටේ විශාල පරිවර්තනයක් සිදු කළා. 25% ක පමණ මට්ටමක පැවති බැංකු පොළිය අද වන විට 12% සිට 08% දක්වා අඩු කර තිබෙනවා.
ඒ වගේම දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් නියාමන පනත සහ වත්කම් බැරකම් පනතට සංශෝධන ගෙනවිත් තිබෙනවා.
එමෙන්ම ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. මේ සියල්ල හරහා රට ගොඩනඟනවා වගේම, සොරකම් කිරීම අවසන් කිරීමටත් පියවර ගන්නවා.
තව ද විවිධ කර්මාන්තවල යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලුම ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. “ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙන මෙම ක්‍රියාවලියේ නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම අප රජය වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. රජය විසින් නිවේදනය කරන ලද රුපියල් 1700ක දිනක වැටුප ගෙවීමට අපහසු යම් හාම්පුතෙකු සිටී නම් ඔවුන් විසින් බද්දට ගෙන ඇති රජයේ වතු නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරනවා. අනතුරුව පවරා ගන්නා ලද වතු දීර්ඝ කාලීන බදු පදනම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කළ හැකි පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා නීතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් විපතටපත් ජනතාවට කඩිනම් සහන !
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පුද්ගල මරණ 08ක් වාර්තා වී තිබෙන අතර අධික සුළං හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකුද, බෝට්ටුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ද මියගොස් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඔවුන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදලක් ලබාදීමට නියමිත අතර එහි අත්තිකාරම් වශයෙන් මේ වන විටත් රුපියල් විසිපන්දහස බැගින් ලබා දීමට කටයුතු කර තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පවුල් 11,326ක පුද්ගලයන් 42,640ක් පීඩාවට පත්ව සිටී.
ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් දුන්නේය.

වසර දෙකකට ඡන්දෙ කල් දාන්න එජාපයෙන් යෝජනාවක්
ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව ත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ඊට සහය දැක්විය යුතු බවත් ඔහු එහිදී පැවසීය.
මෙම යෝජනාව සම්මත කරගෙන, එය ජනමත විචාරණයකින් තහවුරු කරගැනීම වඩා ත් ප්‍රායෝගික හා ප්‍රජාතන්ත්‍රවාදී බව පැවසූ මහලේකම්වරයා මෙය මැතිවරණ සිතියම අකුලා දැමීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීමක් නොවන බව ද පැවසීය.
තව ද මෙම අවස්ථාව මගහැරීමෙන් වළකින ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කළේ ය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම ඔහු මේ බව කීවේ ය.
මෙම අසීරු අවස්ථාවේදී මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් පරිසරය දූෂණය වීම, රජයේ මුදල් නාස්ති වීම සහ රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට හානියක් වීම සිදුවන බව රංගේ බණ්ඩාර මහතා පැවසීය.
මේ වනවිට ජනාධිපතිවරයා ණය ගෙවීම හා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම ආරම්භ කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමග එකගතාවයන්ට පැමිණෙමින් සිටීම, රනිල් වික්‍රමසිංහට පමණක් එම එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට උවමනාව, හැකියාව හා දැනුම තිබීම යන කරුණු සලකා බලා මෙම ඉල්ලීම කරන බව ද මහලේකම්වරයා සදහන් කළේ ය.
රනිල් වික්‍රමසිංහ යටතේ ජාත්‍යන්තරය දිනා ගැනීම, ජනතාවට ආර්ථිකමය වශයෙන් සැහැල්ලුවක් ලබා දීම, සහනාධාර ලබා දීම, පරිපාලනය විධිමත්වීම, අධ්‍යාපනය යථාවත්වීම සිදුව ඇති මෙවැනි අවස්ථාවක රටේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බව ද ඔහු කීය.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3 දක්වා ඉහළ යා හැකිය.
මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.

විමල්, උදය, තිස්ස, දිලිත් හමුවේ දමනය වෙලා : යහම්පත් වෙන්ඩ ජනාධිපතිට අන්දවලා !
ඔන්න මෙච්චර දවසක් හැංගි හැංගි වෙසමුණු බැන්ද ජාතිකවාදී සෙට් එක ජාතිකවාදී අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නලු යන්නේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පහුගිය දිනවල එච්චර පුවත් මැව්වේ නැති වුණත් ඔවුන් අද දේශපාලන කරලියේ කාගේත් අවධානය දිනා ගත්තා. ඒ 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය එක්ක සන්ධානගතවීම සමඟයි. 'සර්ව ජන බලය' කියලයි, මේ දේශපාලන ව්‍යාපාරය නම් කරලා තියෙන්නේ.
මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය තමයි මේ විදිහට එක සන්ධානයකට අද (27) කොළඹදී ගිවිසුම්ගත වුනේ.
ඔය ගැන අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් කියන්නේ ජාතිවාදී , ජාතිකවාදී , වාමාංශික කියලා බෝර්ඩ් ගහගෙන හිටපු මේ කවුරුත් කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර හමුවේ දමනය වෙලා කියලයි .
ඒ විතරක් නෙමෙයි, ඔය ජාතික කඳවුරේ ජනාධිපති අපේක්ෂිකාව විදියට, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් දාමු කියලත් යෝජනාවක් ඇවිත් ..
අද දිවයින පත්තරේ ඒ ගැන පොඩි ඉඟියක් තිබුනා.
රාජ්‍ය ඇමතිනි විශේඥ වෛද්‍ය සීතා අරඹේපොල ඍජුව ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තාවීමත් සමඟ, දැඩි රාජපක්ෂවාදීනියක වන අනුරාධා යහම්පත් , ජාතිකවාදී නව සන්ධානය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කර ගැනීමට සාකච්ඡා පවත්වන බව දිවයින වාර්තාකර තියනවා.
දේශපාලන වාර්තාකරු

විජේදාසට එරෙහි වාරණය දීර්ඝ වෙයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කළේය.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත්කර සිටියේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේය.
එසේම තමන් මීට සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බවද දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කළේය.
අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණි.
අමාත්‍ය මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම නඩුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ ට එරෙහිව ගොනුකර ඇත.

වස නින්දාවයි : රට්ටු රවට්ටන්න ගිහින් සජිතුත් රැවටිලා !
සමගි ජනබලවේගය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බව පවසමින් ගොඩ වූ පුද්ගලයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් බව අනාවරණය වී තිබේ.
සජිත් ප්‍රේමදාස ට සහාය දෙන බව පවසමින් එසේ වේදිකාවට ගොඩවී ඇති සමන් බණ්ඩාර නම් මේ තැනැත්තා ජවිපෙ පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි පැවසුවත් ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ය.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ද මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ජනාධිපති කිරීමට සෑම දේශපාලන පක්ෂයකම පිරිස එක්වන බව රටට පෙන්වීමට ගොස් අවසානයේ සජිත්ම රැවටී ඇති බව තහවුරු වී ඇති බව යි.

උරුමයේ ප්‍රතිලාභ වව්නියාවටත් !
"උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.
“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බවයි.
කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් තම නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
1935 වසරේ සිට ජනතාවට ගොවිතැන් කිරීමට හා නිවාස ඉදි කිරීමට ඉඩම් සඳහා බලපත්‍ර ලබා දුන්නා. නමුත් ඉඩමේ අයිතිය ලබාදුන්නේ නැහැ. ඒ නිසා ඔබට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට මා තීන්දු කළා. මේ ආකාරයට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම තුළින් ජනතාව ඉඩම් විකිණීමට කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකු පැවසුවා. නමුත් පරම්පරා දෙකක් භුක්ති විඳී ඉඩම විකිණීමට ඔබ කටයුතු නොකරනු ඇතැයි මම විශ්වාස කරනවා.
පසුගිය කාලයේ ජනතාව ගොඩක් දුක් වින්දා. කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියා. එම අර්බුද නිසා මෙරට ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ දේපළ වටිනාකම පහත වැටුණා. අද මේ ලබාදෙන සින්නක්කර ඔප්පුව මඟින් ඔබලාගේ දේපෙළ වල වටිනාකම ඉහළ යනවා.
මෙම ඉඩම් භාවිතා කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට දායකවෙන්න. එමඟින් රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකියි. ආර්ථික අර්බුදයන් රට ගොඩ එන අවස්ථාවේ ඔබට ලබාදිය හැකි ඉහළම දායකත්වය එයයි. මල්වතු ඔය ව්‍යාපෘතිය අවසන් වූ පසු මන්නාරම දිස්ත්‍රික්කයේ වගාකටයුතු මීට වඩා පහසුවෙන් සිදු කරගත හැකි බවද සඳහන් කළයුතුයි.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ,
වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන ස්වර්ණමය දිනය අදයි. කාර්යමණ්ඩලය ප්‍රමාණවත් අයුරින් සිටියානම් අද වැඩි පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමට හැකියාව තිබුණා. නමුත් ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙනවා. ඉදිරියට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් අප එතුමාට සහයෝගය ලබා දිය යුතුයි.
උතුරු පළාත් ආණ්ඩුකාර වී.එම්.එස්.චාල්ස් ,
ජනාධිපතිතුමා විසින් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ක සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය දින තුන තුළ ක්‍රියාවට නංවනු ලැබුවා. ඒ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, ඉඩම් අයිතිය ලබා දීම වැනි වැඩසටහන් රැසක් තිබෙනවා. එසේම මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා වගේම ජනතා නියෝජිතයන්ගේ ඉල්ලීමවලට සවන්දී ඒවා ඉටු කිරීමට පියවර ගනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්,
උතුරේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම පිළිබඳ අප ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම ඔවුන්ට හිමිවන විශාල සහනයක් බව කිවයුතුයි.ලක්ෂ 20ක ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් ඔප්පු ලබාදීම සිදුවුවහොත් වන්නියේ ඉඩම් නොමැති කිසිවෙකු ඉතිරි වන්නේ නැහැ. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට ද ජනාධිපතිතුමා විසඳුම් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සූ. නෝගරාදලිංගම් ,
උතුරේ තෙදින සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරා දෙනු ලැබුවා. මෙම සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට දෙමළ ජතික සන්ධානය ලෙස අප සහයෝගය ලබා දීමට සූදානම්. ඉඩම් බලපත්‍රලාභීන් ලෙස ජීවත් වූ ජනතාවට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීම අගය කළ යුතුයි.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IT විෂය හදාරන සිසුන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහනට ජුනි 7ට පෙර අයදුම් කරන්න !
අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන – 2024/2025 සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර ඇත.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිත බැවින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර එදිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ආචාර්යවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශයද සහිතව ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.
ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අදාළ ශිෂ්‍යත්ව වැඩසටහනේ නම සහ පාසල අයත් අධ්‍යාපන කලාපයේ නමද සඳහන් කළ යුතුය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අයදුම්පත් භාර ගැනීම මැයි මස 22 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් , පසුගිය දින කිහිපය තුළ පැවති විවිධ පරිපාලන ගැටළු සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර තිබේ

බස්නාහිර මෙන් උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ද දියුණු කරනවා - ජනපති
උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත සෞඛ්‍ය පහසුකම් ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම අරමුණ බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, මාන්කුලම් මූලික රෝහලේවෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (26) එක් වෙමිනි.
නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්,ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේදී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළයුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නගා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවති රජය විසින් ආරම්භ කළා.
එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වු නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.
යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවිමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.
ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි
රාගම රෝහල ආරම්භ කළේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස වගේම මානසික ගැටළු තිබූ අය වෙනුවෙන් සත්කාර කිරීමටයි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් රාගම රෝහල වැනි නවීන රෝහලක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.
මෙම උතුරු පළාතට හිමි වූ රෝහල් ඒකක 04 සතුව තිබෙන උපකරණ ලංකාවේ බොහෝ රෝහල්වල නැහැ. මෙම උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් රෝහල් පරිපාලනය සහ රෝහල් කළමනාකරණයේ මූලිකත්වය ගත යුතුයි. කියුබාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවන්වලදී ඉදිරියෙන් සිටින්නේ රෝහල් පරිපාලනය සහ කළමනාකරණය හොඳ මට්ටමක පවතින නිසයි. එම නිසා රෝහල් කළමනාකරණය සහ පරිපාලනය උසස් තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආසියානු සංවර්ධන අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා ගත හැකියි. සුභවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙම සෑම කටයුත්තක් තුළින්ම අප බලාපොරොත්තු වන බව ද කිවයුතුයි.
ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,
නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන හාරදහස් පන්සියයක වියදමින් මාන්කුලම් රෝහලේ ඉදි කළ වෛද්‍ය පුනරුත්තාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් සපුරා ගැනීම සඳහා විශාල පිටිවහලක් වෙනවා. යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් මෙවැනි පහසුකම් සළසා දෙමින් සිදු කරනු ලබන සේවාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපගේ ස්තූතිය පිරිනමනවා.
රට අභියෝග රැසකට මුහුණ පා සිටි අවස්ථාවක එම අභියෝගවලින් රට මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා එදා නොබියව ඉදිරිපත් වුණා. එදා මේ රට පත්ව තිබූ තත්ත්වය ජනතාවට අමතක වී නැතැයි මා විශ්වාස කරනවා. ඒ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා කැප වී කටයුතු කළා. එහි ප්‍රතිඵල අද මේ රටේ ජනතාව භුක්ති විඳිනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්,
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ගත කරන තුන්වන දිනයයි. මේ දින තුන පුරාම උතුරු පළාතේ සංචාරය කරමින් ජනතාව මුහුණ දෙන ගැටළු සියැසින් දැක ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට අප ස්තූති වන්ත වෙනවා. අද එතුමා අතින් විවෘත කෙරෙන මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය DRIVE ව්‍යාපෘතිය යටතේ විවෘත වූ තුන්වන රෝහලයි.
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ගත කරන තුන්වන දිනයයි. මේ දින තුන පුරාම උතුරු පළාතේ සංචාරය කරමින් ජනතාව මුහුණ දෙන ගැටළු සියැසින් දැක ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට අප ස්තූති වන්ත වෙනවා. අද එතුමා අතින් විවෘත කෙරෙන මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය DRIVE ව්‍යාපෘතිය යටතේ විවෘත වූ තුන්වන රෝහලයි.
මෙය උතුරු පළාතේ සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයක් බවට පත් වන බව විශ්වාසයි. මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත් වන්නේ ජනාධිපතිතුමාගේ උනන්දුව, කැපවීම සහ ධෛර්‍යමත් බව නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී මෙම ව්‍යාපෘතිය උතුරු පළාතට ලබා ගත් බව සිහිපත් කළ යුතුයි.
ඒ අනුව මාන්කුලම් රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කර තිබෙනවා. එදා අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ මෙම වැඩකටයුත්ත අද ජනාධිපතිවරයා ලෙස විවෘත කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. එසේම සෞඛ්‍යය ක්ෂේත්‍රය පමණක් නොව අනෙකුත් සියලුම ක්ෂේත්‍ර කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක් වනවා.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නෝගරාදලිංගම්,
මේ ප්‍රදේශයේ තිබෙන රෝහල්වල පැවති පහසුකම් ප්‍රමාණවත් වූයේ නැහැ. එවන් පරිසරයක් යටතේ අද මෙම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම අනෙකුත් රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලිය හැකියි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මා ඉල්ලා සිටිනවා.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,
අද විවෘත වූ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය උතුරු පළාතටත්, වන්නි දිස්ත්‍රික්කයටත් විශාල සම්පතක් වන අතර එය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
මෙම වටිනා සම්පත අප විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මේ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හො බැක් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කටුනායක ගුවන් තොටේ වාහන නැවැත්වීම සහ හැසිරවීම ගැන විශේෂ දැනුම් දීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ වාහන නැවැත්වීම සහ හැසිරවීම පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
එහි සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටත ප්‍රදේශයේ වාහන නවතා තැබීම, තදබදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් කිරීමේ අරමුණින්, කිසිදු විටෙක රියැදුරු නොමැතිව වාහන නවතා තැබීම තහනම් කරන බව ය.
ඊට අමතරව ආගමන ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලු ම වාහන අදාළ රථ ගාල්වල සිට නියමිත වේලාවන්හිදී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතු ය.
රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30කට වඩා වැඩි කාලයක්, වාහන තදබදයක් ඇති වන පරිදි, අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන්, ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී විශේෂ ගාස්තුවකට යටත් කරනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.
මෙම ක්‍රියාවලිය මගින් පහසු සහ ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළින් ගුවන් මගීන්ට හිමි වන අතර, අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනය මගින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය වැඩි දුරටත් සඳහන් කර ඇත.

ජනපති සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් සොයා බලයි
දැනට රෝගාතුරුව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර විග්නේෂ්වරන්ගේ වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.
Page 65 of 459