V2025

පුවත්

තරුණ ජීවිත ව්‍යාකූල නොකර අනධ්‍යයන සේවකයින් වැඩට එන්න !

රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්  සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙනකු දවස් 65 ක් පුරා නිරත වැඩ වර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.

2019 වසරේ කොවිඩ් වසංගතයත්, 2020 වසරේ ආර්ථික අර්බුදයත්, 2021 අරගලයත් හමුවේ මානසිකව වඩාත් පීඩාවට පත් මේ දරුවන් ඒ සියලු අභියෝග හමුවේ විශ්වවිද්‍යාලයට තේරී පත් වන 18% අතරට එක් වුනත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ව තව දුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්වීම ජාතික ඛේදවාචකයක් බව කිව යුතුයි.

මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා ‍මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කණගාටුයි. ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවුයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සළකා බලා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා.

ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ( FUTA) එළි බැස තිබෙනවා. 2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කර ගත් ඔවුන්, අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා. විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්‍රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩ නගා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.

අනධ්‍යන සේවකයින් ගේ මෙම ඉල්ලීම් සාධාරණයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී උදය සෙනවිරත්න කමිටුවට යොමු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරහා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව මා පොරොන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා කිරීමට අප කටයුතු කරනවා. සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා !

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.

රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.

තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන්නේ රටට බත සපයන ගොවි ජනතාවයි. නමුත් ඔවුන්ට මෙතෙක් තම ඉඩම්වල අයිතිය හිමිව තිබුණේ නැහැ. තමන් ජීවත්වන බිමේ නීත්‍යානුකූල අයිතිය හිමි නොවූ ලක්ෂ ගණනක් ජනතාව අද මේ රටේ සිටිනවා. ඔවුන්ට අයිතිය ලබාදීම වෙනුවෙන් අප උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා.

මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.

මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.

ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.

ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.

මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.

ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.

අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.

මේ රටේ ගොවි ජනතාව 2022 – 2023 කන්නවල ලබාදුන් අස්වැන්න නිසා තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණේ. ඒ සමඟම සංචාරක ව්‍යාපාරය දියුණු වුණා. මේ සියල්ල සමඟ අද අපි ඩොලර් බිලියන 08ක සහනයක් ලබාගෙන ණය බරින් නිදහස් වීමට මාර්ගය සකස් කරගෙන තිබෙනවා.

ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.

අනිත් අය සමාජවාදය ගැන කථා කරනවා. නමුත් නියම සමාජවාදය මෙයයි. ඉඩම් ජනතා අයිතියට ලබා දීම මේ හරහා සිදු වෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ලෝකයේ රටවල් දෙකක් පමණයි. ඒ ජපනය සහ දකුණු කොරියාවයි. නමුත් එම රටවල් දෙකේම සිදු වුණේ අඩු මුදලකට ඉඩම් ලබාදීමයි. නමුත් අප මේ ඉඩම් ලබා දෙන්නේ නොමිලේ බව කිවයුතුයි. මෙම වැඩසටහන මඟින් මේ රටේ අයිතිය තිබෙන ජනතාව තවත් ලක්ෂ 20කින් වැඩි කර තිබෙනවා.

ඒ වගේම සමෘද්ධි වැඩසටහනේ ප්‍රතිලාභ මෙන් තෙගුණයක් ජනතාවට ලබාදෙමින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ බංකොලොත් වූ රටකයි. කෙතරම් අසිරුතා තිබුණත් රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. වැටුප් වැඩි කිරීම පිළිබඳ ඉදිරි වසරේදී අවධානය යොමු කළ හැකියි. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ද සිදු වුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් ඉහළ ගියා. අද නවීන සංචාරක ව්‍යාපරයක් රටේ ක්‍රියාත්මක වෙනවා. මේ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පෙසොන් පොහොයට රට පුරා දන්සැල් විශාල ප්‍රමාණයක් පැවත්වුණා. මීට දෙවසරකට පෙර ජනතාවට කන්න නැතිවයි සිටියේ. අද ඔබේ දහඩිය මහන්සියෙන් නෙළාගත් අස්වැන්නෙන් පොසොන් පොහොයට ලංකා ඉතිහාසයේ මෙතෙක් නොපැත්වුණු දන්සැල් ප්‍රමාණයක් පසුගිය පොසොන් පොහොය සමයේ පැවැත්වුණා. මේ පිළිබඳ විදෙස් තානාපතිවරුන් මා සමඟ පුදුමය පළ කළා. මේ අපේ ශක්තියයි.මේ අනුව ජනතාවට උපකාර කළ හැකි සෑම අන්දමකින්ම එම සහන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ සමඟම රට දියුණුව කරා ගෙන යනවා.

ඒ වගේම මේ වන විට මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සීග්‍රයෙන් දියුණුවෙමින් පවතිනවා. ගම්පහ සහ කොළඹින් පසුව වැඩිම ජනගහණයක් ජිවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පළාත සැලැස්මක් අනුව දියුණු කිරීම අපේ අරමුණයි. ඒ නිසා බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි.

ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.

760071b0 7115 447d 975e 778eed425151

පොලිස් නිල සුනඛ අංශයට නව සුනඛයින් 35 දෙනෙක්

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ .

මෙම සුනඛයන් අතරට බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඇතුළත් වෙයි.

මෙම සුනඛයන්  නෙදර්ලන්තයේ K.- 10 Working Dog නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .

මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .

මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .

මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .

මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 07/05 දින අලුයම 02.05 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණි.

මෙම සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .

මෙම සුනඛයන් එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

මෙම සුනඛයන් මෙරටට රැගෙන ඒමට පෙර පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් නෙදර්ලන්තයේ එම ගොවිපළ වෙත ගොස් පෞද්ගලිකව එම සතුන්ගේ අස්ථි , ජාන ආදිය පරීක්ෂා කිරීම ද සිදු කර තිබුණි .

මෙම අවස්ථාවේ සිය අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙම සුනඛයන් මාස 08 ත් 12 ත් අතර වයස් වල පසු වන බවත් , ඔවුන් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .

''ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක්''

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  සඳහන් කළේය.

රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පසුගිය අර්බුද සමයේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක්ම අතරමඟ ඇනහිටියා. නමුත් මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ නිසා විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම රටේ පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීමට මහත් පිටුවහලක් වන බව කිව යුතුයි.

ඒ වගේම වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමත්‍යාංශය එක්ව අදාළ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මිල ගණන් පහළ දැමීමට හැකි වී තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉකුත් සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව අඩු මිලකින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට අපට හැකි වී තිබෙනවා. මෙවැනි පියවර ගැනීම හමුවේ විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වී තිබෙනවා.

තව ද අදානි ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් සහ පරිසර වාර්තා මෙන්ම ඊට අදාළ වැඩිදුර කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. අනතුරුව පවතින මිල ගණන් අනුව කටයුතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බවක් පෙන්නුම් කෙරෙනවා. ඔවුන් උමාඔය සහ සාම්පූර් වැනි විදුලි බලාගාර නිර්මාණය කිරීමේ දී ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළා.

ජනපති, ඊශ්‍රායල තානාපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි - ජනපති

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරය වේ.

 ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියි.

තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරයයි.

2024 ,අයවැය යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අවසන් කිරීමට අවසන් දිනයක් දැනුම්දෙයි !

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

 මේ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත කෙටි පණිවිඩයක් නිකුත්කර ඇත.

 ඊට  අනුව අද (03)   MF/02/2023-(iv) චක්‍රලේඛය ම‍ඟින් මෙම  උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක්  ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. "යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ "2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි" යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

  • බීබීසී සිංහල

සම්බන්න්ද ගේ අභාවයෙන් හිස්වූ අසුන කුගදාසන්ට !  

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටින කදිරවේලු සම්මුගම් කුගදාසන් නම් කිරීමට  මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇත.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පසුගියදා  (02) නිකුත් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරන අතර කලක් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධයෙන් ගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

සජිත්ගේ නොදැනුවත්කම ඇමති සිරිපාල හෙළිකරයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්විය ණය නොවන බවත් ඔහු කරුණු නොදැන විවිධ අදහස් දක්වමින් සිටින බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

 වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන හේතූන් මත විපක්ෂය එය අසුබවාදී යැයි පැවසුවත් රට ගැන හිතනවා නම් ඒ හරහා ඉතා සුබදායී පණිවිඩයක් ලැබුණු බව කිව යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නීති, රෙගුලාසි හා නිර්ණායක මත පදනම්ව මිස කාගේවත් මුහුණු බලා ගෙන නොවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොවෙයි. ඒ වාණිජ ණය ( Commercial Loans) සඳහායි. මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතිනවා. ඔහු නොදැනුවත්කම හේතුවෙන් මේ කියන්නේ තවමත් තීරණයක් ලැබී නැති සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් ගැනයි. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය තක්සේරු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව මෙම නිර්ණායක වෙනස් වෙනවා. මෙවැනි ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද පැවසිය යුතුයි.

මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.

මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නෙවෙයි.

ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.

මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.

තවද අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා. ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා.

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ඊයේ (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.

 ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.

පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වේ.

ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත.

විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැක - ජනපති

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය,

පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.

අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.

ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.

රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.

ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.

අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.

පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා,

බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.

අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.

දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.

ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.

ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.

ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.

අධ්‍යාපනය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,

මේ ආකාරයට ගුරු පත්වීම් ලබාදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ආර්ථිකය අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් මෙම ගුරු පත්වීම් ලබාදීමේ අභියෝගය අප භාරගත්තා. අද 2000කට ආසන්න ප්‍රමාණයකට ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයන් රට මුදවා ගෙන ආර්ථික ස්ථාවරයක් ඇතිකර මෙවැනි පත්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ අද වන විට සාර්ථක වී තිබෙනවා. රට බංකොලොත් වී තිබූ මොහොතක වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස මුදල් වෙන් කිරීම නිසා ඔබට පත්වීම් ලබා දීමට හැකි වුණා . නමුත් මේ පත්වීම අරගෙන වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු වී දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා. ඔබ උපාධිධාරීයකු ලෙස අධ්‍යාපන ගමනක් ගියේ ඔබට ගුරුවරුන් ලබාදුන් අධ්‍යාපනය නිසයි. නමුත් ඔබ දරුවන්ට අධ්‍යාපනය නොදී වෘත්තිය ක්‍රියා මාර්ගවලට ගියොත් අඳුරු වන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.

අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එදා සිටි ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීම තුළින්. ඒවා ආදර්ශයට ගනියි කියා මා විශ්වාසස කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ශක්තියක් ඇතිකිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතායි. විද්‍යා පීඨ බිහිකළෙත් වතමන් ජනාධිපතිවරයා යි. එයින් වසරකට පන්දහසක් පමණ ගුරුවරුන් බිහිවෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ කෙනෙක් අද ජනාධිපතිවරයා වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාසනාවක්. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියෙකුට කිසි කෙනෙකුට අත නොපා රැකියා අවස්ථා ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. ඉදිරියේදී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් රැකියාවන්ට ගැලපෙන උපාධිධාරීන් බිහි කිරීමට කටයුතු කරනවා. මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකියි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර් යන  ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර  ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1224#sigProIdcd2a747830

සම්බන්දන් මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන අයද මෙහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

Hon. Sampanthans Funeral 6

Hon. Sampanthans Funeral 12

අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? : රනිල් සජිත්ව හාන්සි කරයි !

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

එසේම රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? කියා පෙරළා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.

එය අසුබයි.

අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නේත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.

දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා.

දුප්පත්කම අසුබයි.

ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ.

මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?
ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා.

විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි.
මම තව එකක් අහන්න කැමතියි.

රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?

හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට මෙම ගිවිසුම් දෙක ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ දැන්ම හෙළි නොකරන ලෙස ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දැනුම් දී තිබෙනවා. ඒ අනිත් පාර්ශ්ව සමඟ ඇති කරගත් කොන්දේසි පිළිබඳව ඒ අය දැන ගන්නා නිසයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගිවිසුම් තුනම එකවර ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. නමුත් ඝානාව තවම එම කොන්දේසිවත් පිටතට ලබා දී නැහැ.

විශේෂයෙන්ම මෙම කරුණු සියල්ලම හර්ෂ ද සිල්වා මහතාගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙනවා. එහිදී සියලු දෙනා සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්න. ඔබතුමා හර්ෂ ද සිල්වා මහත්මයාට ඊර්ෂ්‍යා කරනවද? ඔහු මෙය සිදු කරනවාට අකමැතිද? දැන් මෙතනට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට අප දෙපාර්ශ්වයම එකඟයි. ඒ කමිටුව මොන අන්දමේ වාර්තාවක් සකස් කරයිද කියා අප දන්නේ නැහැ. අපට පක්ෂව එම වාර්තාව සකස් කරයිද, විරුද්ධව කරයිද කියා අප දන්නේ නැහැ. දැන් විවාද නොකර ඒ වාර්තාවට අනුව කටයුතු කරමු. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැනත් විවාදයක් අවශ්‍යද? ඒ වගේම විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා පත් කරගෙන එක සැරයක් වැටුණු වලේ ආයෙත් වැටෙනවද කියා ඇසිය යුතුයි.

ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  සඳහන් කළේය.

ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.

නමුත් මේ වන විට පැහැදිලි වන කරුණක් වන්නේ එම ප්‍රකාශ දේශපාලන කුහකත්වය හේතුවෙන් සිදු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන විට විපක්ෂය වෙතින් ඒ බව මනාව පෙන්නුම් කෙරුණා. එබැවින් දේශපාලනයත්,ආර්ථිකයත් මිශ්‍ර කර ගනිමින් රටේ ඉදිරි ගමනට අකුල් හෙළන ව්‍යාපාරවල තරම ජනතාවට පැහැදිලි විය යුතුයි.

ඔවුන් ඝානාව, ඉක්වදෝරය සහ ආජන්ටිනාව වැනි රටවල තත්ත්වය පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදු කළා. නමුත් අඩු ආදායම් ලබන රටවල් සහ මැදි ආදායම් ලබන රටවල්වල සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තිබෙන වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. අඩු අදායම්ලාභී රටක සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා මැදි ආදායම්ලාභී රටක් වන අප රටට අදාළව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත සංකීර්ණ වන බව පැවසිය යුතුයි. නමුත් මැදි ආදායම් රටවලට සාපේක්ෂව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි.

තව ද ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන කරුණු 03ක් අප විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව අපගේ ණය හිමියන් විසින් ණය ගෙවීම සඳහා 2024 සිට 2027 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ අපට ලැබෙන ඩොලර් බිලියන 05ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට අවකාශය ලබාදී තිබෙනවා.

ඒ වගේම 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුව තිබෙනවා. 2027 සහ 2032 කාල රාමුව තුළ දළ මූල්‍යණ අවශ්‍යතාව 13% දක්වා අඩුකරගත යුතුයි. විදේශීය ණය සේවාකරණය 2027 – 2032 කාල පරිච්ඡේදය තුළ 4.5% දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුයි.

මෙම ඉලක්ක 03 සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අප මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙරටට ණය තිරසරභාවය ලඟා කර ගැනීම වෙනුවෙන් පැවැති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත් වී තිබෙනවා.

මේ ආකාරයට සිදුකළ ආර්ථික කළමණාකරණය තුළ අද වන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය 70% සිට 1.7%ක් දක්වා අඩුවී තිබෙනවා. රටේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ වසරක භාණ්ඩාගාර බිලපත්වල පොලී අනුපාතය 10% මට්ටමකට පැමිණ තිබෙනවා.

ආර්. සම්බන්ධන් මහතා සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා

දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි බවත්, බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ ඔහුට ඔහුගේම වූ මතයක් තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් අපට කළ හැකි ඉහළම කර්යය වන්නේ ඒ වෙනුවෙන් වු වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්බන්ධන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ සිය ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුවේ අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

ගරු කථානායකතුමනි, මම මේ කතාව සිදු කරන අවස්ථාව වන විට එදා මා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි අයගෙන් ඉතිරිව සිටි සගයෙකු වන සම්බන්ධන් මන්ත්‍රීතුමා තවදුරටත් අප අතර නැහැ.

ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයන් තුළ එතුමා සමඟ එකට වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණු අතර ඔහු එහිදී ලබා දුන් දායකත්වය මම කෘතවේදීව සිහිපත් කරනවා. එතුමා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) සහ දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කළ ද සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා.

වරෙක ඔහු මා සමඟ මෙසේ ප්‍රකාශ කළා. “රනිල් මම රට බෙදනවා කියලා ඔබ හිතනවද? මම කුඩා දරුවෙක් විදියට 1948 දී රටට නිදහස ලැබෙනවා බලන්න ගියා.” කියලා.

අපි කවුරුවත් ඒ අවස්ථාව දැක නැහැ. අප අතරින් බොහෝ දෙනෙකු ඒ වන විට ඉපදිලාවත් නෑ. ඒත් බලය බෙදිය යුතු ආකාරය ගැන ඔහුට ඔහුගේම මතයක් තිබුණා. ඒ ගැන විවාද කරන්න කිසිම හේතුවක් නැහැ වගේම මම සිතන ආකාරයට ඒ පිළිබඳ ඔහු ප්‍රමාණවත් තරම් වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩකටයුතු වලින් අපට තව සුළු ප්‍රමාණයක් අවසන් කිරීමට තිබෙනවා. ඒ වගේම ඔහු වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්යය වන්නේ එම වැඩකටයතු අවසන් කිරීම බව ද කිවයුතුයි.

කවුරු බලයට ආවත් ආපසු හැරීමක් නැහැ : ණය ප්‍රතිව්‍යුහකරණයේ ඇත්ත කතාව ජනපති පාර්ලිමේන්තුවට කියයි !

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙම සුබ ආරංචිය අනාගතය දක්වා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන සාර්ථක කර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගාත්මක ව්‍යායාමට පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාට යළි ආරාධනා කළේය.

තමා පසුගිය අවුරුදු දෙක පුරා දේශපාලනය නොකළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සෑම විටම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පුර්ණ කථාව මෙසේය,

2022 වසරේ ණය ගෙවාගන්නට බැරිවුණු රටකට යළිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංධිස්ථානයකට අපට ගිය සතියේ එළැඹෙන්නට හැකි වුණා.

පසුගිය ජූනි 26 වැනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළැඹීමට අපට පුළුවන් වුණා. කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් අපේ රට නියෝජනය කරමින් මෙම එකඟතාවන්ට සහ ගිවිසුම්වලට අත්සන් කළා. එදිනම රාත්‍රියේ මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජාතියටම ඒ පිළිබඳ කරුණු පෙන්වා දුන්නා.

ආර්ථිකය යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ගමන ආරම්භ වූ දවසේ පටන් මම විටින් විට පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කළා. මුලින්ම අප අනුගමනය කරන සැලසුම් ගැන පාර්ලිමේන්තුව හමුවේ විස්තර කළා. ඉන් පසුව අප ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු පැහැදිලි කළා.

ඒ අනුවම යමින් මම අද මේ සභාව හමුවේ වර්තමාන තත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නට කැමතියි.

ගරු කතානායකතුමෙනි,

මීට අවුරුදු දෙකකට පමණ කලින්, රටේ ආර්ථිකය යළි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සෙ අපේ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා.

1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමග එක්වී අයිඑම්එෆ් සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම. රටේ ආර්ථිකය ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම

4. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණය බරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත දේශයක් බවට පත්වීම එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනකට මුල පිරුවා. අනාගතය සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 සහ 2024 අයවැය ලේඛන මගින් මේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළා.

2023 මාර්තු මාසය වෙද්දී අයි.එම්.එෆ් විස්තීරණ ණය පහසුකම සඳහා එකඟත්වය ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වැනි දා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබා ගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වැනිදාත්, තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වැනිදාත් අපට ලැබුණා.

අයි.එම්.එෆ් වැඩපිළිවෙල පටන් ගත් දා සිටම අප ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතනවල සහය අප දිගින් දිගටම ලබා ගත්තා.

අපේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37 යි. එයින් ඩොලර් බිලියන 10.6 ක් ද්විපාර්ශවීය ණය. ඩොලර් බිලියන 11.7 ක් බහු පාර්ශවීය ණය. ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර.

ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හෙවත් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත්, ඉන් පිටතදීත් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ සමහර කරුණු සත්‍යතාවයෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි.

මොනවද මේ විදේශ ණය කියන්නෙ. ඒ ඒ රටවල් ණය දෙන්න සල්ලි කොහෙන්ද ලබා ගන්නෙ?

අපිට ඔවුන් ණයට දෙන්නෙ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේම ඒ රටවල ජනතාවගේ ඉතුරුම්.

අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන්නේ අපි කිසිම කැපවීමක් නොකර, විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නෑ. එය ප්‍රායෝගික නෑ. ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල ජනතාවගේ බදු මුදල් වගේම, ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම්, ඒ රටවල ජනතාව අප වෙනුවන් කැපවීමක් කරන්නෙත් නෑ.
ඒ විතරක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු සහ

වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණයගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත් කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්.

නිල ද්විපාර්ශවික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු කරන්නේ නෑ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමා, පොලී අනුපාතය අඩු කිරීම් ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ.
නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කළේ නෑ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා ඔවුන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් සියයට පණහක් කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශවයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගත යුතුයි. අප කියන දේම කරන්න ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශවලින් පේන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි.

ණය ප්‍රතිව්‍යූහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාටවත්, ණය ගැතියාටවත් නෙවෙයි. ඒ පිළිබඳ තීරණය ගන්නේ අයිඑම්එෆ් සංවිධානයයි. රටක ණය තිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යූහගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුවකින් පසු ඔවුන් ඒ තීරණය ගන්නවා.

අපේ රටේ ණය තිරසරභාවයක් නොමැති බව අයිඑම්එෆ් සංවිධානය අපට දැන්වූයේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නට බොහෝ කාලයකට කලින්. ඒ වගේම අයිඑම්එෆ් සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවලට තවත් ක්‍රමයක්.

මම එක් උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර, ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම් ලබන රටවල් අතරින් එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 කට වඩා අඩු කර ගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ඝානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම මීට වෙනස්. ඒ සැලසුම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණයෙහි වර්තමාන වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 කට වඩා අඩු කර ගත යුතුයි. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. ඝානා ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් තබා අපි වගේම එම වැඩසටහන ඉදිරියට කරගෙන යනවා.ඒ අනුව අයි.එම්.එෆ් ගිවිසුම සාර්ථකව ඉදිරියට කරගෙන යන්නේ අපේ රටවල් දෙක පමණයි.

අඩු ආදායම් ලබන රටවල් සඳහා පොදු ක්‍රියා රාමුවක් තියෙනවා. පොදු ක්‍රියා රාමුවට අයත් රටවලට තමන්ගේ ණය හිමියන් සියල්ල එක වේදිකාවට කැඳවා තීරණ ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒත් අපට එය අදාළ නැහැ. ඊට හේතුව වෙන්නේත් අප මැදි ආදායම් රටක් වීමයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සංකීර්ණ ක්‍රියාවලියක්.

මේ පසුබිම මත අපට නිල ණය හිමි කමිටුවේ සාමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමඟත්, චීනයේ එක්සිම් බැංකුව සමඟත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශවයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශවයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි, අප ඉදිරියේ තිබුණු දැවැන්තම අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්නා භූ දේශපාලනික ප්‍රවණතා මධ්‍යයේ. ඒ නිසා අපේ ඉලක්කය වෙත ගමන් කිරීම ලේසි පහසු වුණේ නෑ.

නමුත් අපි මේ සියළු දුෂ්කරතා සහ අභියෝග මැද අයිඑම්එෆ් වැඩසටහන ආරම්භ වී මාස 15 ක පමණ කෙටි කාලයක් තුළ විදේශීය ද්විපාර්ශවික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. සුබ ආරංචියක්.

ගරු කතානායකතුමෙනි,

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි.

• මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා.

• පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා.

• ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී.

• ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.

• මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

ගරු කතානායකතුමෙනි,

2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතාම පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මුල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පතුකරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි, අප දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සිදු කළේ.

දැන් අප අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යූහගතකරණ කාර්යයන් සාර්ථක කරගත්තා.

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව බහුපාර්ශවීය ණය මේ වැඩ පිළිවෙලට අදාළ නැහැ.

ඊළඟට අපට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා.

තව නොබෝ දිනෙකින් මේ සියළු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්‍ෂා කරනවා. ඉන් පසු ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සියළු ගිවිසුම් හා ලියැවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නටය කියා මම රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් සිදු කරන ලෙස මම හර්ෂ ද සිල්වා මහත්මයට කියන්න කැමතියි.

ගරු කතානායකතුමෙනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගමන් මග නිසා කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. දැනට අප ලබා ගෙන ඇති සාර්ථක ප්‍රතිඵල නිසා රටට ලැබෙන ප්‍රතිලාභ ගැනත් මම මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වන්නට කැමතියි.

ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නෑ. නීත්‍යානුකූලව ඔවුන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ.

මේ අවස්ථාවේ මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ බංග්ලාදේශය අපට කෙටි කාලීන ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරුණු විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝ කාලීන ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නෑ.

සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතුරවනවා. මේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා.

“ආරංචිය සුබයි. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71 යි. දැන් 100 යි.”

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කරලා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න.
මම මේ පෝස්ටුවෙන්ම ඊට අදාළ කරුණු ගෙනහැර දක්වන්නම්.

අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා එය බිලියන 71 ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අප ණය ගත් බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටකට අපට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබේ අනුගාමිකයන් කිසියම් දවසක ඔබේ පක්‍ෂය බලයට පත්කරන්න හදන්නේ බොරුවෙන්ද? ඒ ගැන සිතා බලන්න.

ගරු කතානායකතුමෙනි,

මේ අවබෝධතා ගිවිසුමෙන් පසුව අපට ද්විපාර්ශවීය විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යළිත් උදා වී තියෙනවා. අපේ නිල ණය හිමියන්, පැරිස් සමාජය, චීනයේ එක්සිම් බැංකුව ආදියෙන් යළිත් ණය ආධාර ලබා ගැනීමට අපට අවස්ථාව සැලසෙනවා.

ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමග නැවතුණ ව්‍යාපෘති ගණනාවක් යළිත් ආරම්භ කරන්න හැකි වෙනවා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස නම් කෙරුණු නිසා, ඒ ඒ රටවල් ලබා දුන් මුදල් නැතිවීමෙන් අපේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අතර මග නැවතුණා. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘති. ඒ සියල්ල යළි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. මෙය අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් වෙනවා. ඒ නිසාම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. රැකියා ආදායම් මාර්ග වැඩි වෙනවා. නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි.

විදේශ ව්‍යාපෘති අතරමග නැවතීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ අපේ ආර්ථික සංවර්ධන වේගය පහළ වැටීමයි. මේ වන විට අප ප්‍රගතියක් ලබා තිබෙනවා. යළිත් ලෝක ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී සංවර්ධන වේගය තව තවත් ඉහළ නංවා ගැනීමට අපට හැකි වෙනවා.

ගරු කතානායකතුමෙනි, විදේශ ණය සම්බන්ධයෙන් සමාජයේ පතුරවන මිථ්‍යාවන් පිළිබඳවත් කරුණු කීපයක් මම අවධාරණය කරන්න කැමතියි.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටකට තනිව යැපෙන්නට බැහැ. තනිව යැපෙන්නට තරම් ආදායමක් අප තවම උපදවා ගන්නේ නෑ. ඒ නිසා අපට ණය සහ ආධාර ලබා ගන්න සිද්ධ වෙනවා.

හැබැයි ඒ ණය සහ ආධාර අප ආයෝජනය කළ යුත්තේ එදිනෙදා කන්න බොන්න, පඩි වැඩි කරගන්න වගේ කාර්යයන් සඳහා නෙවෙයි. නිදහසෙන් පස්සේ අපේ රට වරද්දා ගත් ප්‍රධාන දෙයක් තමයි ඒ.

පඩි වැඩි කරන්න ණය යොදා ගත්තා. ආණ්ඩුවේ රස්සා දෙන්න ණය යොදා ගත්තා. ආහාර නොමිලයේ දෙන්න ණය යොදා ගත්තා.

ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, විදුලි බලය වගේ දේ අඩුවට දෙන්න ණය යොදා ගත්තා. රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්න ණය යොදා ගත්තා.

නමුත් අපි ණය ගන්නේ නැතිව අස්වැසුම, උරුමය සින්නක්කර ඔප්පු, අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා.

සමහර දේශපාලන කණ්ඩායම් ඉදිරියටත් මේ ආකාරයටම ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. අපි ආවාම පඩි වැඩි කරනවා. අපි ආවාම බදු අඩු කරනවා. අපි ආවාම සහන දෙනවා. ඒ වගේ දහසකුත් එකක් පොරොන්දු. හැබැයි ඒ සඳහා මුදල් උපදවා ගන්නා ක්‍රමය ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නෑ.

හැබැයි, මම මේ වගකීම් බාර ගත්තාට පස්සෙ ආණ්ඩු ගණනාවක් කළ ඒ වැරදි වැඩේ නැවැත්තුවා.

මීළඟට මම පෙන්වා දෙන්න යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය නිසා අපට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ පිළිබඳවයි.

2022 වන විට විදේශ මුදලින් නාමනය කළ ණය ගෙවීම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.2 ක් අප වැය කළ යුතුව තිබුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 4.5 දක්වා අඩු කරගත යුතුයි. 2022 වෙද්දී දළ මූල්‍යයන අවශ්‍යතා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6 ක්. 2027 සිට 2032 දක්වා කාලය තුළ එය සියයට 13 කට අඩුවෙන් පවත්වාගත යුතුයි. මෙමගින් රාජ්‍ය සේවාවන් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අවකාශය සැලසෙනවා. ඒ වගේම දේශීය පොලී අනුපාතිකයන් තවදුරටත් පහළ හෙළීමටත් ඉඩ කඩ ලැබෙනවා.

ගරු කතානායකතුමෙනි,

අගාධයකට වැටී තිබුණු අපේ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වෑයමට පක්‍ෂ භේදයකින් තොරව සහය දක්වන්න කියා මම මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා.

දීර්ඝ කාලයක් තිස්සේ මට දේශපාලන වශයෙන් එරෙහිව කටයුතු කළ අය පවා රට ගැන හිතලා මේ කාර්යයට ප්‍රසිද්ධියේම සහය දැක්වූවා. තවත් සමහරු නිහඬව සහය දැක්වූවා. තවත් පිරිසක් දිගින් දිගටම බාධා කළා. විවේචනය කළා.

මේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ මම දැරූ ස්ථාවරය වුණේ වහාම අයිඑම්එෆ් සහය ලබා ගත යුතු බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කැඳවූ සර්ව පාක්‍ෂික සාකච්ඡාව විපක්‍ෂයේ යම් යම් කණ්ඩායම් වර්ජනය කරද්දී මම තනි මන්ත්‍රිවරයෙක් ලෙස ඊට සහභාගී වුණා. මගේ මතය මම පැහැදිලිවම ප්‍රකාශ කළා. අපට යන්න තියෙන එකම මාර්ගය අයිඑම්එෆ් සහය ලබා ගැනීම බව මම කිව්වා.

ඊට මාස කීපයකට පස්සෙ රටේ ආර්ථිකය ගොඩනැංවීමේ අභියෝගය කිසිවෙකුත් බාර නොගත් පසුබිමක මම මේකට බෙල්ල තිබ්බා. ඒ අනතුරුදායක අභියෝගය මම බාර ගත්තේ මගේ රට වෙනුවෙන්. මගේ මව්බිම වෙනුවෙන්. ලක් මාතාව වෙනුවෙන්.

ලක් මාතාව අනතුරුදායක වැල් පාලමෙන් කෙසේ හෝ එගොඩ කරන බව ජනතාව ඉදිරියේ සපථ කරමින් මම මේ අභියෝගය බාර ගත්තා. සියළු ජන කොටස් මේ වැඩපිළිවෙලට සහය දුන්නා. ඒ අයට මගේ ස්තුතිය මම යළිත් පුද කරන්නට කැමතියි.

විවිධ දුෂ්කරතා මැද අයිඑම්එෆ් සාකච්ඡා අප ඉදිරියට ගෙන ගියා.ඒ අවස්ථාවේ විවේචකයන් කිව්වේ කිසි දිනෙක අයිඑම්එෆ් සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකි වෙන්නේ නෑ කියලයි. හැබැයි අපි ඒ සාකච්ඡා සාර්ථක කරගත්තා.

එතකොට විවේචකයන් පීල්ල මාරු කළා. අයිඑම්එෆ් සහයෝගයෙන් ගොඩ ගිය කිසිම රටක් නැති බව එක කණ්ඩායමක් කිව්වා. තමන් බලයට පත්වුණාම අයිඑම්එෆ් එකඟතාවලට ගරු කරන්නේ නැති බව තවත් අය කිව්වා.හැබැයි අපි සාර්ථකව ඉදිරියටම ගියා.

විවේචකයන් ආයෙම පීලි මාරු කරා. අයිඑම්එෆ් කොන්දේසි සපුරන්න අපට බැරිවෙලා තියෙන බව සමීක්‍ෂණ වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දුන්නා. ඒ නිසා අපේ වැඩපිළිවෙල අසාර්ථක බව කිව්වා. පළමු වාරිකය ලැබුණාට දෙවැනි එක ලැබෙන්නේ නෑ කියලා කිව්වා. හැබැයි දෙවැනි වාරිකයත් අපට ලැබුණා.

ඒ පාර ආපහු විවේචකයන්ගේ පීලි මාරු වුණා. අයිඑම්එෆ් කොන්දේසිවලින් සියයට අච්චරක් මෙච්චරක් සපුරන්න අපි අසමත් වෙලා කියලා අහවල් සමීක්‍ෂණ ආයතනය කියා තිබෙනවා. දැන් ඉතින් තුන්වැනි වාරිකය ගැන බලාපොරොත්තු තියන්න බෑ කියමින් ඒ අය රටම බය කරන්න උත්සාහ කළා.හැබැයි තුන්වැනි වාරිකයත් අපට ලැබුණා.

පීල්ල නැවතත් මාරු වුණා. තුන්වැනි වාරිකය ලැබුණත් කිසි ලෙසකින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කරගන්නට අපට ලැබෙන්නේ නෑ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රතිව්‍යූහගතකරණයට එකඟ වෙන්න එපා කියලා අපේ ණය හිමි රටවලට විවිධාකාරයේ බලපෑම් කරන්නටත් උත්සාහ කළා.හැබැයි ණය ප්‍රතිව්‍යූහගතකරණයත් අප සාර්ථක කර ගත්තා.

ඒ පාර ආයෙම පීලි මාරු කළා. දැන් කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිලා නැති නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් පලක් නෑ කියලා. ඒ නිසා තාමත් අපි බංකොලොත් රටක් කියලා. මම ඒ ගැනත් යමක් කියන්නට කැමතියි.

2019 වෙද්දී අප හිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල බී මට්ටමේ. 2020 දී ශ්‍රී ලංකාව සී මට්ටමට පහත දැම්මා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින්. අපි පහළම මට්ටමට වැටුණේ ණය ගෙවන්න බැරි වුණාට පස්සෙ නෙවෙයි. එයින් අපට පැහැදිලි වෙන්නේ ශ්‍රේණිගත කිරීම් සඳහා පදනම් කරගන්නා වෙනත් නිර්ණායක ගණනාවක් තියෙන බව.

දැන් අප සාර්ථක ප්‍රතිඵල ගණනාවක් පෙන්වා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථකව නිම කළා. විදේශීය ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක කර ගත්තා. ඉතිරිව ඇති වාණිජ ණය ප්‍රතිව්‍යූහගතකරණද කඩිනමින්ම නිම කර ගැනීමට අපට හැකි වේවි.

මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට ජාත්‍යන්තර මුල්‍ය ආයතන කටයුතු කරාවි. අපේ විවේචකයන්ට ආපහු පීලි මාරු කරන්න සිද්ධ වෙන්නේ අන්න එතකොටයි.

ගරු කතානායකතුමෙනි, ආණ්ඩුවේ අපි සහ මේ විවේචකයන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ කයිවාරුකරුවන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ පම්පෝරිකරුවන් අතර වෙනසක් තියෙනවා.අපි රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක, නිවැරදි මාර්ගයක ඉදිරියට යනවා. ඔවුන් බලය වෙනුවෙන් දවසින් දවස එක එක කතා කියනවා.

මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ඔවුන් මේ සියල්ල ස්වාධීනව සහ අපක්‍ෂපාතීව නිරීක්‍ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවන්තව මේ සියල්ල බලා සිටිනවා. පක්‍ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවාද, එහෙමත් නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න ගැන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තියෙනවා.

ගරු කතානායකතුමෙනි, මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තත්වය මොකද්ද? අපට ඒ තත්වය අමතක කරන්න පුළුවන්ද? ආර්ථික පැත්තෙන් පමණක් නෙවෙයි. සමාජයීය, දේශපාලනික පැතිවලින් පවා.

ඒ තත්වය වෙනස් වී, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සුබ ආරංචිය එද්දී සමහරු කලබල වුණු විදිය අප දැක්කා. භූමිතෙල් ගෑවුණු ගැරඬියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ?

අයිඑම්එෆ් වැඩ පිළිවෙල සාර්ථක වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන එක අවසන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

සියයට තිහකට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොළිය සියයට 9 ක් පමණ දක්වා පහළ වැටීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

සියයට 70 ක් වගේ ඉහළ අගයකට ගිය උද්ධමනය පසුගිය මාසයේ අවසානයේදී සියයට 1.7 ක් දක්වා අඩු වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

එක දිගට කාර්තු 6 ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

2022 මැයි මාසය වෙද්දී පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5410 ක් දක්වා ඉහළ නැංවීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

රුපියල ශක්තිමත් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

ප්‍රාථමික ගිණුමේ හිඟය, අතිරික්තයක් ලෙස පරිවර්තනය වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

සල්ලි අච්චු ගහන්නේ නැතිව අයවැය හිඟය පියවා ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

ගාලූ මුවෙදාර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නොතිබුණු පක්‍ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

පාර්ලිමේන්තුවට එන්නට තියා තම තමන්ගේ ගෙවල්වල ඉන්නවත් බැරි තරම් භීෂණයක් තිබුණු රටක්, කිසිවෙකුට බයක් හැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට ගෙන ඒම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද? රටට යහපතක් වෙන එක සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

ගරු කතානායකතුමෙනි, මෙතැනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි. මේ සුබ ආරංචිය අනාගතය දක්වා රැගෙන යන්නට හැකි එකම මාර්ගය මෙයයි. පසුගිය කාලය තුළ අප ලැබූ ජයග්‍රහණ මගින් එය යළි යළිත් තහවුරු වී තියෙනවා. වැල් පාලමේ අසීරු ගමන අප ඉදිරියටම යා යුතුයි. කවුරු බලයට ආවත් ආපසු හැරීමක් අපට නෑ.

ආපසු හැරී වෙන පාරක ගියොත් මාසයක් දෙකක් යන්න කලින් ඉන්ධන නෑ. ගෑස් නෑ. විදුලි බලය නෑ. මහා ව්‍යසනයකට රට ඇද වැටෙනවා. වසර 25 කට තිහකට යළි ගොඩ එන්නට බැරි ඛේදවාචකයකට මේ රට ඇද වැටෙනවා.

හුණුවටයේ කතාව නාට්‍යයේ ගෲෂා දරුවා වඩාගෙන වැල්පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නෑ. ඒ වෙලාවෙ ළඟ ඉන්න කෙනෙක් ගෲෂා ගෙන් මෙහෙම අහනවා.

‘මැරෙන්න හදනවද? පේනවද හෙළ..! පාතාල ලෝකෙ වගේ….!!’

ඒත් ගෲෂා අවදානම් තීරණය ගන්නවා.ඇය දරුවත් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා.හැබැයි හුඟක් දෙනා බලන් ඉන්නෙ ගෲෂා වැල් පාලමෙන් පහළට වැටෙයි කියලා.

ඒත් අන්තිමේදි ඇය දරුවාවත් රැගෙන ආරක්‍ෂිතව වැල් පාලමෙන් එගොඩ වෙනවා.බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම.‘මං උන්නෙම වැටෙයි කියලා…. අපරාදෙ….’

අන්න එහෙම කාලකන්නි සිතිවිලි තියෙන අය අදත් මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයටත් කියන්නේ, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතිවිල්ල වෙනස් කරගන්න කියලයි. වැටෙන තුරු බලා නොසිට අපි රට ගොඩනංවන විදිය ගැන හිතමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු.

මට කැමති, අකමැති – මට ගරු කරන, මට නිගරු කරන මේ ගරු සභාවේ සියළු සාමාජිකයන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න කියායි.එකක් මතක තියා ගන්න. මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රියතාවය වෙනුවෙන් නෙවෙයි. මම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කළේ නෑ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දු ගත්තේ නෑ.

මේ ගරු සභාවේ මම වගේම රටට ආදරය කරන තවත් බොහෝ අය ඉන්නවා. තම තමන්ගේ පුද්ගලික ලාබ ප්‍රයෝජනවලට වඩා රට ගැන හිතන බොහෝ අය ඉන්නවා.

ඒ සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැංවීමේ අභියෝගාත්මක ව්‍යායාමයට එක් වෙන ලෙසයි. මේ මල් වට්ටියට අතගසන ලෙසයි.

එන්න. අපි එකට එක්වී අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු.

ඉන්දියාවෙන් යාපනයට ජල ටැංකි

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබේ.

වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 - 10 - 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කෙරිණි.

ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී චැසි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල්වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන් ය.

Page 69 of 473