පුවත්

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට සිට...
අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනු ඇත.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර ඇත.
අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා මසකට රු.6000/- බැගින් මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර කලාප කාර්යාල 100ක් අතුරින්, එක් කලාපයකින් සිසුන් 60 බැගින් ශිෂ්‍යත්වලාභීන් 6000ක් දැනටමත් තෝරාගෙන තිබේ. ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී එම සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරෙන අතර හිඟ වාරික මුදල් ද සමඟින් රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ලැබේ.
කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති අවස්ථා නිරීක්ෂණය වී තිබේ.
එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇත.
ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම අසීරු අවස්ථාවේදී කිසිවෙකු අත් නොහැරිය යුතුය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ සංකල්පයයි. දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සඳහාත්, යම් දරුවෙකු ආර්ථික අපහසුතා මත පාසල හැරයාම සිදුවන්නේ නම් එවැනි අවස්ථා වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකල පාසල් සඳහා නැවත අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදෙන අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.
දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකිය.

ඩයනා ට එරෙහිව චෝදනා පත්‍රයක්
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පවරා තිබේ.
ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල දන්වා සිටියේය.
තවද, නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඇඹරෙමින් සිටිය ඩලස් සජිත් සරණ යයි !
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.
නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට පෙර නිදහස සභාවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් ඇතුළු බහුතර මන්ත්‍රී පිරිස ද සමගි ජනබලවේගය පක්ෂයට එක්වූහ .

ලිංගික හිංසන පිටුදකින ජාතික ක්‍රියාකාරී සැලැස්මට කැබිනට් අනුමැතිය !
මෙරට ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණ.
සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටු දැකීම සඳහා සියලු පාර්ශවවල අදහස් ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් !
රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි.
මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.
තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
වසර 200කට පසු අප නැවත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා. ඒ සමඟ දැන් නැවත රට තුළ කුරුඳු වගාව දියුණු කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ කුරුඳු වගාව යළි රට තුළ දියුණු කිරීමයි. එහිදී පළමුව සිදු කළ යුත්තේ කුරුඳු නිෂ්පාදනය වැඩි කිරීමයි. එහිදී සෑම අක්කරයකින්ම උපරිම ඵලදාවක් ලබාගත යුතුයි. ඒ වගේම බාල කුරුඳු නොමැතිව ප්‍රමිතියෙන් යුතු කුරුඳු වර්ග වැඩිපුර වගා කළ යුතුයි.
එසේම කුරුඳු වගා කරන භූමි ප්‍රදේශය ද වැඩි කළ යුතුයි. එහිදී අලුතින් ඉඩම් ලබාදීම වගේම තමන්ගේ ඉඩම්වල වෙනත් වගාවන් සමඟ කුරුඳු වගා කිරීමට රජය යෝජනා කරනවා. මෙම පියවර සමඟ කුරුඳු නිෂ්පාදනය තුන් හතර ගුණයකින් ඉහළ නංවාගත හැකියි.
ඒ වගේම කුරුඳු අළෙවිය දවැඩිකළ යුතුයි. අළෙවියක් නැතිනම් නිෂ්පාදනය වැඩි කර ඵලක් නැහැ. ඒ නිසා අළෙවිය වැඩි කිරීමට අවශ්‍ය දේශීය හා විදේශීය උපදෙස් ලබා දීමට පියවර ගත හැකියි. සමාගම් එම වගකීම භාරගන්නවා නම් ඒ අයට සහාය ලබාදීමට රජය අපේක්ෂා කරනවා.
එබැවින් අප නව වෙළෙඳ පොළ අවස්ථා ලබා ගනිමින් ඉදිරියට යා යුතුයි. මෙම ප්‍රදේශයේ කුරුඳු සංවර්ධන මධ්‍යස්ථානයක් බවට මෙම ආයතනය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පැරණි ක්‍රමය වෙනුවට නවීන ක්‍රමයට එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ අයුරින් බලන විට අප අනාගතය සොයා, අතීතයට පැමිණ තිබෙනවා.
අපේ රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව වූයේ ආනයන ආර්ථිකයක රැඳී සිටීමයි. ආනයනය සඳහා අපි විශාල ලෙස ණය ලබාගත්තා. අප ක්‍රියාත්මක කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සමඟ අද අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපට ගෙවීමට තිබු ණය වලින් ඩොලර් බිලියන 08ක් පමණ අඩු කර තිබෙන අතර ණය ගෙවීමට 2043 දක්වා කාලය ලබා දී තිබෙනවා. අප අපනයන ආර්ථිකයකට ගමන් නොකළහොත් තවත් වසර 15කින් නැවත අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එසේ නම් අප කඩිනමින් නව ආර්ථික ක්‍රමයකට යා යුතුයි. එහිදී අප අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කළයුතුයි.
එදා අප ලෝකයට කුරුඳු ලබා දුන්නා. දැන් අප නැවත ඊට යොමු විය යුතුයි. එදා පුත්තලමේ සිට හම්බන්තොට දක්වා කුරුඳු වගා කළා. අප සැලැස්මක් අනුව එම කටයුතු නැවත ආරම්භ කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් ද අප කටයුතු කරමින් සිටිනවා.
වසර දෙකකට පෙර රටේ තිබු තත්ත්වය මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැම් අය කිව්වා මේ රට ගොඩගන්න බැහැ කියලා. මම බලයට තන්හාවෙන් පැමිණියා කිව්වා. දැන් කෙසේ හෝ අපි රට ගොඩ අරගෙන තිබෙනවා. අප නිවැරදි මාර්ගයේ ගමන් නොකළහොත් මෙම ජයග්‍රහණය අප අතින් ගිලිහි යා හැකියි. අප දැන් මේ රට ඉදිරියට ගෙන යා හැකි මාර්ගය පෙන්වා දී තිබෙනවා. විවිධ පිරිස් විවිධ දේවල් කියනවා. විවිධ දිව්‍යලෝක පොරොන්දු ලබා දෙනවා. නමුත් රට ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අප මෙම නිවැරදි මාර්ගයේ තවත් වසර 10ක් ඉදිරියට ගමන් කළොත් අපට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දියුණු වීමට අවස්ථාව තිබෙනවා.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ
කුරුඳු වැඩිපුර වවන ප්‍රදේශයක කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශේෂ ස්ථානයක් හිමිවී තිබෙනවා. මෙක්සිකෝවේ මෙන්ම ලතින් අමෙරිකානු රටවල ශ්‍රී ලංකාවේ කුරුඳුවලට විශාල ඉල්ලුමක් පවතිනවා. එම කුරුඳු බොහෝමයක්ම ප්‍රතිඅපනයනය කරන්නෙ අමෙරිකාවටයි. ලෝකයේ කුරුඳු වෙනුවට භාවිතා කරන කැෂියා බෝගය පිළිකාකාරක බව බොහෝමයක් දෙනා දන්නෙ නැහැ.එම නිසා නිවැරදි වෙළඳකරණය මඟින් ශ්‍රී ලංකාවේ කුරුඳුවලට වැඩි වටිනාකමක් ලබාගත හැකියි.
කෘෂිකර්ම හා විවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර
කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයක් ලෙස දකුණු පළාතේ බිහිවන පළමු දෙපාර්තමේන්තුව ලෙස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ඉතිහාසගත වෙනවා. මෙම දෙපාර්තමේන්තුව මඟින් කුරුදු වගාවට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කෙරෙනු ඇතියි. නව වගා බිම් ප්‍රමාණයක් හඳුන්වා දෙමින් කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කුරුදු වගාවට කැමැත්තෙන් සිටිනවා. එමඟින් වන අලින්ගෙන් සිදුවන උවදුරු අවම කර ගැනීමට පුළුවන්. කැෂියා වල තිබෙන ඒකාධිකාරය සහ පිළිකාකාරක බව පිළිබඳ ලෝකය දැනුවත් කරමින් ලෝකයට හොඳ කුරුඳු ලබාදීමට අප කටයුතු කළ යුතු යි. එයින් විශාල ලෙස විදේශ විනිමය ඉපැයීමට හැකියාව තිබෙනවා.
මීට වසර දෙකකට පෙර පොහොර නැතුව ගොවීන් ගොවිබිම් අතහැර මහ පාරට පැමිණියා. නමුත් ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගෙ තිබෙන විදේශ සබඳතා මත පොහොර ලබා ගැනීමට කටයුතු කළා. එම වැඩපිළිවෙළ නිසා අද වන විට ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට හැකිවී තිබෙනවා. සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මගකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හැකි වුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ඩී.බී.හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

රටේ නව ගමනට සංඝ රත්නයේ මඟ පෙන්වීම ඉතා වැදගත් - ජනපති
සියලු ථෙරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව පමණක් ආනයන ආර්ථික ක්‍රමයක රැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස බංකොලොත්භාවයට පත්ව වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එබැවින් නව ආර්ථික ක්‍රමයක් මෙන්ම දේශපාලන ක්‍රමයක් ද රට තුළ කඩිනමින් ඇති කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම නව මාවතට රට ගෙන ඒමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම සහ අනුශාසනා ඉතා වැදගත් කොට සලකන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පිරිවෙණේ අද (10) පස්වරුවේ පැවත්වුණු මහා විහාර වංශික අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයට එක් වෙමිනි.
අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ උපසම්පදා විනයකර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද සිට ජූලි 14 වනදා දක්වා මහාඒදණ්ඩ හල්වතුර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර ස්වාමීන් වහන්සේලා 98 නමක් එහිදී උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදු කෙරේ.
විහාරස්ථාන 600කට අධික ප්‍රමාණයක ස්වාමීන් වහන්සේලා 4000කට අධික පිරිසක් නියෝජනය කරන අමරපුර අරියවංශ සද්ධම්යුක්තික පාර්ශ්වය වසර දෙකකට වරක් උපසම්පදා විනය කර්මය සිදු කරයි.
ගාල්ල කරන්දෙණිය සිරි අභයතිස්ස පරිවෙණාධිපති පූජ්‍ය ගිනිගල පෙදෙසේ සුධම්ම ස්වාමීන් වහන්සේ විසින් උපසම්පදා මහෝත්සවයට අදාළ සමරු ග්‍රන්ථය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.
පුණ්‍යෝත්සවය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
උපසම්පදා විනය කර්මය පැවිදි ඉතිහාසයේ ශක්තිමත්ම අවස්ථාවයි. එම උත්සවයේ වැදගත්කම නිසාම ඈත අතීතයේ සිට ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. අද මේ සිදුකරන උපසම්පදා මහෝත්සවයට ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට උපසම්පදා විනය කර්මය දෙයාකාරයකින් ලැබුණා. පළමුවැන්න සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් ලැබුණු උපසම්පදාවයි. මියන්මාරයේ අමරපුරින් ලැබුණේ දෙවන ක්‍රමයයි.
ශ්‍රී ලංකාවේ උපසම්පදා විනය කර්මය සිදු නොවු වකවානුවක් තිබුණා. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම සහ රාජ්‍ය අනුග්‍රහය මත සියම් රාජ්‍යයේ අයෝධ්‍යාවෙන් පළමුවරට උපසම්පදාව රැගෙන ආවා.
ඉන් පසුව නැවත උපසම්පදාව නැති වී ගිය විට මියන්මාරයේ අමරපුර රාජ්‍යයෙන් නැවත උපසම්පදාව මෙරටට ගෙන ඒමට කටයුතු කළා. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිතව උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ලක පාලනය කරන සමයේ භික්ෂූත්වය සහ ශාසනය රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා සිදුකළ සේවාව අතිමහත් බව ද කිවයුතුයි.
මීට වසර දෙකකට පෙර මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොලොත් වුණා . කාලයක් පුරා පවත්වා ගෙන එනු ලැබූ ආනයන ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. නමුත් අනෙකුත් සියලු ථෙරවාදි බෞද්ධ රටවල් අපනයන ආර්ථිකයක් කරා සිය රටවල් මෙහෙයවනු ලැබුවා.
එම නිසා අප නව ආර්ථික ක්‍රමයක් සහ නව දේශපාලන ක්‍රමයක් රට තුළ කඩිනමින් ඇතිකළ යුතුයි. මෙම නව මාවතකට රට ගෙනයාමේ වැඩපිළිවෙළේදී සහ නව සමාජ ක්‍රමයක් බිහිකිරීමේ දී මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ඉතා වැදගත් වෙනවා.

මෛත්‍රීට එරෙහි පෙත්සම සැප්තැම්බර් 02 කැඳවයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා සඳහන් කළේ තම සේවා දායකයා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කර අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය දෙන්න “රන්දොර උරුමය” ඇරඹේ !
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජිවත් වන ජනතාවට එම නිවසේ පූර්ණ අයිතිය හිමිවන අවස්ථාවටයි. ඒ වගේම උරුමය වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප එම සියලු දෙනාට උදව් උපකාර කළා.
එහිදි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය ලබා දිම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවසක අයිතිය ඉතා වැදගත් වෙනවා. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. එම බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන අපට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.
මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. නමුත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත්තේ නැතිනම් අපේ රට තවත් ලෙබනනයක්, කෙන්යාවක් බවට පත් වෙනවා.
අද රට තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා. වසර දෙකක් තුළදී මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අපට හැකි වුණා. මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව මා කාලයක් තිස්සේ ප්‍රකාශ කළ කරුණක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලුදෙනා එක් වුණා.
මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් වූ අවස්ථාවේ නිවසක වටිනාකම මට දැනුනා. එම පිරිස කිසිවෙකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නැහැ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වෙනවා. වෙඩි තිබා මිනිස්සු මරන එකට මම කැමති වුණේ නැහැ. එම නිවසේ තිබු මගේ පොත් පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා.
එම අවස්ථාවේ නිවසක වටිනාකම වඩා තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය ලබා දීම වෙනුවෙන් අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා උරුමය වැඩසටහන ගමට සිමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා.ගමේ ලක්ෂ 20ක ජනතාවට උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවසක උරුමය හිමි වෙනවා. ඔබ මෙම නිවස ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එය ලස්සනට පිරිසිදුව තබා ගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මෙය ඔබේ ජිවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා.
ජනතාවට හැකි තරම් සහන ලබා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලුදෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑ ගසා නොවෙයි. එම වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කරලා නොවෙයි. අරමුණක් තිබෙනව නම් එම අරමුණ ඔස්සේ වැඩ කළයුතුයි.
අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. අප සමෘද්ධි දීමනාව වගේ තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. ඒ වගේම රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස 02ක් ලබාදීමට කටයුතු කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.
ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. කෘෂිකර්මාන්තය දියුණු කළා. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.
පැවති රජයන්ට මෙම කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. නමුත් අපට මෙම වැඩකොටස සිදු කිරීමට හැකිවූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමතිවරුන්ට ස්තූති කළයුතුයි. අප සියලුදෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.
අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපට ණය ලබා දුන් නිල ණයහිමියන් සමග, චීනය එක්සීම් බැංකුව සමඟ මෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ අප එකඟතාවට පැමිණ තිබෙනවා. ඒ අනුව අපට ගෙවීමට තිබෙන ණයවලින් රුපියල් බිලයන 08ක් අඩු වී තිබෙනවා. ඒ වගේම 2042 වන තෙක් අපට ණය ගෙවීමට කාලය ලැබී තිබෙනවා. එසේ නම් අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යාමට කිසිවෙක් කැමතිවෙයි කියා මම හිතන්නේ නැහැ.
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ආරක්ෂා කරගත්තේ නැතිනම් ඉදිරියේදී අපට රටක් ලෙස මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අපට හැමදාම ණය වෙන්න බැහැ. ඒ නිසා අප මුදල් උපයාගත හැකි අපනයන ආර්ථිකයකට යා යුතුයි. මෙම අරමුණු වෙනුවෙන් අප කැපවිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබේ අනාගතය අද පවතින්නේ ඔබේ අතෙයි. ඒ වගේම අපි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය යුතුයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට අපි විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
විශ්‍රාම ගිය අයට සහනයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මම මහා භාණ්ඩාගර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අයට සහනයක් ලබාදීම වෙනුවෙන් මේ වසර අවසන් වන විට අප මුදල් වෙන් කළ යුතුයි. ඉදිරියේදී පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කිරීමට නම් බැංකු පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් පොළිය අඩු වූ විට විශ්‍රාමිකයන්ට එමඟින් අවාසියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාද වැඩසටහනක් සකස් කරන ලෙස මහා භාණ්ඩාගර ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.
ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යාමට තිබෙනවා. අනාගත පරපුරට අවශ්‍ය සමාජය අප ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අපට කළහැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය ලබා දීම තුළින් අද අප සිදු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

2024 උසස් පෙළට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
එම දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.
නොවැළැක්විය හැකි හේතූන් පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත ලබන 12 වැනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.

වර්ජනය නොකළ අයට වැටුප් වර්ධක දෙන අයුරු.......
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (10) පැහැදිලි කළේය.
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ, විධායක ශ්‍රේණියේ නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ඊයේ (09) කැබිනට් අනුමැතිය හිමිවුණි.
"වර්ජනය කරපු දිනවල... කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ නොවී දරුවන්ගේ පැත්තේ හිටගත්තු ගුරුවරුන්ට විතරක් 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335ක වැටුප් වැඩිවීමකුත්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප්වල වර්ධකයක් ලැබෙනවා."
"රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් අයටත්, වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙනවා ඇති. භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, කොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් කොහෙන්ද දෙන්නේ ? කවුද දෙන්නේ ?"
විශ්‍රාම වැටුපට බල නොපාන ආකාරයට වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්මතයි !
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි.
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.
ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව රජය පවසයි.

UDA අධ්‍යක්ෂ ජනරාල් දොට්ට දාපු හේතුව එළියට !
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2024 අයවැය යෝජනාවට අනුව කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය 04 වනදා පැවති සාකච්ඡාවක දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවයට නොගැළපෙන අප්‍රසන්න ආකාරයෙන් හැසිරුණු බවත් එය සමතයකට පත් කිරීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතේ ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තාවකාලිකව ඉවත් කිරීම සහ හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල පිළිබදව අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීම විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සදහන් කළේය.
පසුගිය 04 වනදා අදාළ සාකච්ඡාව පවත්වා ඇත්තේ මේ මස 17 වනදා කොළඹ තට්ටු නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු ලබා දීම ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රගති සමාලෝචනය සදහායි. විෂය භාර ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය යන ආයතන වල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සාමාන්‍යාධිකාරී ඇතුලු සියලුම වගකිවයුතු නිලධාරීන් සහභාගී වූහ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා ඇති අතර මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ දී ඒ සදහා වැය වන මුද්දර ගාස්තු හා නොතාරිස් ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණද මෙතෙක් එම ප්‍රතිපාදන නොලැබීම නිසා ඔප්පු ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමේ ගැටළුවක් තිබෙන බව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී ඇත. ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස තමන් ඒ සදහා මැදිහත්ව අදාළ මුදල ලබා දීමට කටයුතු කරන බවට තමන් මෙහිදී සහතික වූ බව අමාත්‍යාංශ ලේකම්වරයා කිවේය.
ඊට එකග නොවූ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම විෂය භාර අමාත්‍යවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිකර ගත් බවත් එය ඉතා අප්‍රසන්න තත්වයක් බැවින් එය සමතයකට පත් කර ගැනීම සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ මොහොතෙන් ශාලාවෙන් ඉවතට යන ලෙස උපදෙස් දුන් බවත් ලේකම්වරයා කියයි.
අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාද සදහන් කළේ මෙම හිමිකම් ඔප්පු ප්‍රධානය දිගින් දිගටම ප්‍රමාද වීම වැළැක්වීම සදහා අමාත්‍යවරයා ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවයි . ඊට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකගතාවය පල නොකළ බව පැවසූ සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විෂය භාර අමාත්‍යවරයා සමග ඇතිකර ගත්තේ අනවශ්‍ය ගැටුමක් බවයි. අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ ප්‍රතිපාදන ලබා දෙන බවට වගකීම භාරගත් පසු ඒ පිළිබදව දිගින් දිගටම තර්ක කිරීමේ අවශ්‍යතාවයක් නැතත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය පිළි නොගෙන දිගින් දිගටම අනවශ්‍ය වාදයකට පෙළඹුනු බවද සභාපතිවරයා කීවේය.
සාකච්ඡාව සදහා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද කැදවූ අතර ඔහු සදහන් කළේ චක්‍ර ලේඛ උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කරන ලෙස මෙම සාකච්ඡාවේ දී බලකෙරුණු බවයි. අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා එය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් එවැනි බලපෑමක් එදින සාකච්ඡාවේ දී සිදු නොවූ බවත් අවධාරණය කළේය. දැනට විනයානුකූල පියවරක් ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කෙරුණු බවත් ඔහුට එරෙහිව ඔහුට විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.
මෙහිදී අදහස් පල කළ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද අවධාරණය කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී තමන්ටද විවිධ ගැටළු මතු වූ බවයි. ඒ අනුව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීම මෙම රැස්වීමට සහභාගී වූ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද ඒකමතිකව අනුමත කළහ.

නීතිපති පුරප්පාඩුව : නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනපති ලේකම් ප්‍රතිචාර දක්වයි !
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබේ.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත්, ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන්ම, 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිපති ධූරය සඳහා කිහිප දෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර, එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධූරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබිණ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

වර්ජනය තිබුණත් විශ්‍රාම වැටුප් වෙලාවට !
රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් පැවසීය.
ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ සමඟ 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡන්ද දිනන්න බැරි පාර්ශ්ව රට අස්ථාවර කරන්න හදනවා
මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
බොරු පොරොන්දු ලබාදෙන කණ්ඩායම් කව්රුන් ද යන්න ජනතාව හඳුනාගත යුතු බවත් යළිත් වරක් ජනතාවගෙන් වරදක් සිදු වුවහොත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙසේද පැවසීය,
නිදහසින් පසුව බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම රට වෙනුවෙන් උපරිම වැඩ කොටසක් සිදු කළ බව අප කවුරුත් සිහි තබා ගත යුතුයි. නමුත් දුර්වලතා ද පැවැතියා. කෙසේ හෝ මේ වන විට නිදහසින් පසුව එක දිගට තිබුණු පාලන තන්ත්‍රයේ දුර්වලතා විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඊට එක් උදාහරණයක් මෙසේ පෙන්වා දිය හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 වගන්ති දෙකෙහි සඳහන් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් පිළිබඳවයි. එනම් මහජනතාවට අයිතිවාසිකම් ලබා දිය හැකි ආකාරය ගැනයි. කෙසේ හෝ 27, 28 කුමක් සඳහන් වුවද 29 වගන්තියේ කිසිම වගවීමක් ඇති නොවීමටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂාවීම සඳහා නීතියෙන් කිසිම අයිතිවාසිකම් නොපැවරේය යන්න සටහන් වී තිබෙනවා. එපමණක් නොවෙයි, කිසිම අධිකරණයක් හෝ විනිශ්චයාධිකාරයක් මඟින් දේශපාලනඥයන් විසින් කරන ප්‍රකාශ ඉටුකරවා ගැනීමට අවස්ථාව නොමැති බව ද සඳහන් වී තිබෙනවා.
දැන් මේ තත්ත්වය තුළ තමයි රටේ දේශපාලන පක්ෂ එක දිගට මහජනතාවට බොරු පොරොන්දු දෙමින් රට විටින් විට කඩාගෙන වැටීමට ඇද දමා තිබෙන්නෙ.
මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නිසා වර්තමාන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 සහ 29 වැනි වගන්ති වගවීමක් ඇති කිරීමට හැකිවන පරිදි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පිටු 165 කින් සමන්විත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහායි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151, 152 කියන වගන්තිවල සඳහන් වන මහජනතාව විසින් තෝරාපත් කර එවන මන්ත්‍රීවරයාගේ ප්‍රධාන වගකීම වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගකීමයි. ඒ මූල්‍ය වගකීම දුර්වල වන්නේ දේශපාලන පක්ෂ විටින් විට සිදු කරන අසත්‍ය ප්‍රකාශ නිසයි. එම තත්ත්වය වළක්වමින් දේශපාලන පක්ෂ පවසන කාරණාවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා වාර්තා කිරීමට අයවැය කාර්යාලය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එතැනින් නොනැවතුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම වගන්තිය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කළා. ඒ අනුව දැන් දේශපාලන පක්ෂ විසින් බොරු කියන යුගය අවසන් කළ යුතුව තිබෙනවා.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජුනි 23 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දී රට වැටෙනවා පරිස්සමින් ක්‍රියා කළ යුතු බව පැවසුවා. ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු බව මෙන්ම, රට යන ගමන් මඟ වෙනස් කළ යුතු බව ද සඳහන් කළා. නමුත් එය එවකට පාලකයන් විසින් ඉටුනොකළ බැවින් අවසානයේ එම පාලනය අකර්මණ්‍ය වුණා.
අනතුරුව 2022 මැයි 12 වෙනිදා පාර්ලිමේන්තුවේ තනි අසුනක් පමණක් හිමිව සිටි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජූලි මාසයේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ඡන්ද 134 ක් ලබාගෙන අට වැනි විධායක ජනාධිපති හැටියට රටේ වගකීම බාරගත්තා.
එමෙන්ම දැනට අවුරුදු දෙකකට කලින් ජනාධිපතිතුමා භාරගත්තේ බංකොලොත් වූ රට ජාත්‍යන්තරයේ සහය ලබාගෙන ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කිරීමට සමත් වුණා.
නමුත් මේ ප්‍රශ්නය ඉවර නැහැ. මේ වන විටත් විදෙස් ණය ගෙවීම සඳහා 2027 වන තුරු කාලය ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස් සංචිතයේ ඩොලර් කෝටි 500 ක පමණ මුදලක් තිබෙනවා. ශ්‍රී ලාංකික මහජනතාව ජීවත් කරමින්, ආදායම වැඩිවෙන ව්‍යාපෘති ආරම්භ කරමින් ආර්ථික පරිවර්තන පනත මඟින් රට ගොඩනැඟීමේ ඉලක්ක ලබා දී තිබෙනවා. ඊට අනුව 2027 වන විට ආර්ථික සංවර්ධන වේගය 5% ක ඉලක්කයක තබාගත යුතු බව නීතියෙන් නියම කර තිබෙනවා. එතැනින් නොනැවුතුණු ජනාධිපතිතුමා 2030, මෙන්ම 2042 දී ද කවුරු රට පාලනය කළත් එම දේශපාලන පක්ෂවල වගකීම නීතිගත කර තිබෙනවා.
ඒ වගේම අප කල්පනාවෙන් වැඩකළ යුතුව තිබෙනවා. යම් අයෙක් මෙවර රට වරදක් සඳහා තල්ලු කළහොත් අප ඒ අය කවුද කියා හඳුනාගත යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස බොරු කියන අයගේ ලේඛනයක් ගමේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. මහජනතාවට රවටන කණ්ඩායම්, බොරු පොරොන්දු දෙන කණ්ඩායම් මහජනතාව හඳුනාගත යුතුව තිබෙනවා.
මෙවර අප අතින් යළි වරදක් වුවහොත් ඒ වරද ආපසු හැරවිය නොහැකි බරපතල වරදක් බවට පත්වෙනවා. ඒ නිසා අප දැන් බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා.
එසේ නම් රටට පාලකයන් පත්කරගන්නා විට ශ්‍රී ලාංකික මහජනතාව සිතිය යුතු එක් කරුණක් තිබෙනවා. ඊළග ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙන කවුරුහරි සුදුස්සෙක් සිටිනවා නම් ඔහු සුදුසු වන්නේ කෙසේ ද යන බව ඔබ විසින් තීරණය කළ යුතුයි. ඒ නිසා මේ මෙහොතේ මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.
මේ වන විට ඇතැම් පාර්ශ්ව වැඩවර්ජනය කරනවා. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් අපොහොසත් නිසා ඒ අය ජයග්‍රහණය සඳහා රට අස්ථාවර කිරීමට සූදානම් වනවා.
වර්ජකයන් ඉල්ලා සිටින විදිහට වැටුප් වැඩි කිරීමට නම් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ ආකාරයට 18% වැට් බද්ද 21% ට වැඩි කළ යුතුයි. ඉන් සිදු වන්නේ වැඩ කරන ජනතාවගේ තේ කෝප්පය, බත් පැකට් එකට තව මුදලක් වැඩි වීමයි. එසේ වුවහොත් බංකොලොත්වුණු රට යළි භයානක තත්ත්වයකට ගමන් කිරීම වැළැක්විය නොහැකියි. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව සහාය ලබා නොදෙනු ඇතැයි ද අප විශ්වාස කරනවා.

ජුලි 08 සහ 09 සේවයට වාර්තා කළ අයට විශේෂ වැටුප් වර්ධකයක්
රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලදී.
දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර, ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට ද රජය කටයුතු කළේය.
පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මේ අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබිණි.
පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැත. අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැක.
කෙසේ වුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී 2024 ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ.

CLUB වසන්ත ඝාතනය ගැන පොලිස් නිවේදනය මෙන්න !
අද (08) පෙරවරුවේ අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයකු ඝාතනය කෙරුණු සිදුවීම සඳහා වෙඩික්කරුවන් පැමිණි වාහනය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කඩුවෙල කොරතට ප්‍රදේශයේ මාර්ගයක් අසල මෙම වාහනය දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.
ගායන ශිල්පිනී කේ සුජීවා ට අයත් ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් ඇයද තුවාල ලබා බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
2024-07-08 වන අද දින උදෑසන කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ කඩුවෙල පාර, අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
මරණකරුවන් අවුරුදු 55 හා 38 වයස් වල පසුවන කොළඹ 07 හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රථිකාර ලබයි.
සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩි තැබීම සඳහා ටී 56 ගිණි අවි 02 ක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේ දී අනාවරණය වී ඇත. අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

ලෙනවගේ පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි !
වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 ක් බව පැහැදිලි යැයි පෙන්වා දුන් අතර මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය මූලික විරෝධතා මතු කළාය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණ වලට පමණයි.ඒ නිසා පෙත්සම්කරුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් හැකියාවක් නෑ. පෙත්සම්කරු ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු විසින් අනුමත කොට නීතියක් බවට පත් වී තිබෙනවා. එවැනි නීතිගත වූ කරුණකට එරෙහිව කිසිදු අධිකරණයක් නඩු පැවරීමට හැකියාවක් නැහැ. එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණේ කෙසේදැයි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔහුගේ පෙත්සම පදනම් විරහිතයි " එම නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.
'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැහැ'
මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළේය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 යටතේ මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණයකට පමණයි. පෙත්සම්කරුට එවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හැකියාවක් නෑ. මෙම පෙත්සම තුළ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නෑ." එම නිසා පෙත්සම මුල් අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.
එය සලකා බැලීමට තරම් පදනමක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය. හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ ජනාධිපතිවරණය සමයේදී එම ජනාධිපතිවරණය අත් හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු විසින්ම රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නේය.
එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව 2019 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
තවත් අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු එය ක්‍රියාත්මක වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් 30(2) වගන්තිය සංශෝධනය කර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට 05 දක්ව අඩුකර තිබෙනවා. දින තුනක් විවාදයකින් පසුව පාර්ලිමේන්තුව එය සම්මත කළා. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියකට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැහැ." යනුවෙන් සඳහන් කළේය.
තවත් අතරමැදි පෙත්මක් ඉදිරිපත් කර තිබූ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පදනම් විරහිත බවත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඉල්ලා සිටියේය.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ භාවයෙන් ඉවත් කර තිබෙන පුද්ගලයෙකු යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ජනාධිපතිවරයාට වසර හයක කාලයක් නිලයේ සිටිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් එය අධිකරණයට කළ බලපෑමක් බවත් ජනාධිපති නීතිඥ වීරකෝන් පෙන්වා දුන්නේය.
පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මෙම පෙත්සම්කරු 2019 වසරේ ද මේ ආකාරයෙන්ම පෙත්සමක් ඉදිරිපත් කළා. එම තීන්දුවේ පිටපත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව කිසිදු කරුණක් පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර නෑ. කරුණු වසංකර තිබෙනවා. එම නිසා මෙම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමීල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "පෙත්සම්කරු සිය පෙත්සමේ තමන් ඡන්ද දායකයෙකු බව ප්‍රකාශ කර නෑ. 2019 වසරේ ජනතාව ඡන්දය ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව දැනගෙනයි. එසේ නම් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙත්සම්කරු කියන්නේ කෙසේද? පෙත්සම්කරු මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ කූට අරමූණකින් යුතුවයි." එම නිසා දැඩි ගාස්තුවට යටත්ව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටියි
ඉන් අනතුරුව පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව මා සඳහන් කරනවා." යනුවෙන් කියා සිටියේය.
අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්නයක් යොමු කරමින් "ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
"ස්වාමීනි... ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 යි. එම නිසයි මෙම නීතිවිරෝධී ජනාධිපතිවරණයට එරෙහිව නඩු පැවරුවේ." යනුවෙන් පෙත්සම්කරු පිළිතුරු ලබා දුන්නේය.
විනිසුරු විජිත් මලල්ගොඩ ප්‍රශ්නයක් මතු කරමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔබ එය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළා?
ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු "නැහැ.. ස්වාමීනි.." යනුවෙන් සඳහන් කළේය.
එම අවස්ථාවේදී විනිසුරු මළල්ගොඩ පෙත්සම්කරු අමතමින් "ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් තිබුණා නම් ඔබ එය අභියෝග කළ යුතුව තිබුණේ එම අවස්ථාවේ දී. ඔබ එම අවස්ථාවේදී එය කළේ නැහැ. දැන් අධිකරණයට පැමිණ අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම තුළ පදනමක් නැහැ" යනුවෙන් කියා සිටියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරු අමතමින් "ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය කියවා තිබෙනවාද? 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. ඉතින් ඔබ දැන් ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නේ කොහොමද?" යනුවෙන් විමසීය.
විනිසුරු විජිත් මළල්ගොඩ යළිත් ප්‍රශ්නයක් මතු කරමින් "සම්මත වූ නීතියක් යළි ප්‍රශ්න කරන්න කියලද ඔබ අපට කියන්නේ" යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සිට 86 දක්වා තිබෙන වගන්ති වලින් අධිකරණය සම්මත කළ නීතියක් සම්බන්ධයෙන් පවා යළි සලකා බැලීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. මෙම ක්‍රියාවලිය අධිකරණය අතින් සිදුවූ වරදක්." යනුවෙන් සඳහන් කළේය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුට තරයේ අවවාද කළ විනිසුරු විජිත් මළල්ගොඩ නීතියට අනුව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය ලබා දුන් අවස්ථාව වැරදි ලෙස පරිහරණය නොකරන ලෙසත් දන්වා සිටියේය.
ඉන් අනතුරුව අගවිනිසුරුවරයා පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒක අභියෝගයට ලක් කරමින් ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළාද? යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු තමා එම අවස්ථාවේදී අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් නොකළ බව ඔහු සඳහන් කළේය.
නැවතත් පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා "ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළේ නැහැ. එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා. ඒවා පිළිබඳ පූර්ණ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය තම නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිගමනවලට අනුවයි පාර්ලිමේන්තුව අදාළ පනත සම්මත කළේ. එය දැන් නීතියක් බවට සම්මත වී හමාරයි. සම්මත වූ නීතියකට එරෙහිව මෙයාකරයෙන් නඩු පැවරීමට හැකියාවක් නෑ. ඔබ 2019 වසරේදීත් මේ ආකාරයේ නඩුවක් ගොනු කර තිබුණා. එය අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඔබ එහි තීන්දුවේ පිටපත් ලබා ගත්තාද?" යනුවෙන් ප්‍රශ්න කළේය.
'ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද?'
ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරු සඳහන් කළේ තමා එම තීන්දුවේ පිටපත් ලබා නොගත් බව ය.
එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙත දෝෂාරෝපණ එල්ල කළ අගවිනිසුරුවරයා
"ඔබ වගකිවයුතු පුරවැසියෙක් නම් ඔබේ නඩුවේ තීන්දුවේ පිටපත ලබාගෙන කියවිය යුතුව තිබුණා. එහෙත් ඔබ එසේ කර නැහැ. එසේ නොකොට මේ ආකාරයෙන් නඩු පැවරීම යුක්ති සහගත නෑ." යනුවෙන් කියා සිටි අතර පදනමකින් තොරව අධිකරණයට පැමිණ අධිකරණයේ කාලය නාස්ති කිරීම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම්කරු ඇමතු අගවිනිසුරුවරයා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද? යනුවෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු එය තමා පිළිගන්නා බව අධිකරණය හමුවේ පැවසීය.
ඉන් අනතුරුව අගවිනිසුරුවරයා කරුණු දක්වමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 05 ක් බව පැහැදිලියි. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. එසේ තිබියදී මේ වගේ නඩු පවරා ඇයි අධිකරණයේ කාලය කා දමන්නේ" යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු එස්. තුරෙයි රාජා පෙත්සම්කරු අමතමින් “2019 වසරේ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස මා කටයුතු කළා. එහිදී ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අපි පියවර ගත්තා. එසේ තිබියදී ඔබ එම කාරණයම යළි අධිකරණයට ගෙන ඇවිත් තිබෙනවා. එදා පැවති නඩු විභාගයේදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඔබට ප්‍රශංසා කළ බව ඔබ ඔබගේ දේශනවලදී සඳහන් කළා. ඒක වැරදියි. එදා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා ඔබට කියා සිටියේ නීතිය හරියාකාරව දැනගෙන කරුණු දක්වන්න කියලයි. එය ප්‍රශංසා කිරීමක් ලෙස තේරුම් ගන්න එපා."යනුවෙන් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම පැය භාගයකින් පමණක් කල් තබනු ලැබීය.
ඉන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම පවරා පවත්වාගෙන යාමට තරම් සාධාරණ පදනමක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බව ය.
මෙම පෙත්සම්කරු විසින් 2019 වසරේ මේ ආකාරයෙන් නඩුකරයක් ගොනු කිරීමට පියවර පියවර ගෙන තිබියදී ඒ බව සඳහන් නොකොට යළි ඒ හා සමාන නඩුකරයක් ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයේ කාලය නාස්ති කිරීමක් කරන බවත් ඒ අනුව පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුව මසක් තුළ අධිකරණයට ගෙවිය යුතු බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.
අතරමැදි පෙත්සම්
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබුණි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර ඇති බව ය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දෙති.
ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවටත් ඔවුහූ චෝදනා කරති.
එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නීතියක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත් අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත.
ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.
ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ඡන්දය වැළක්වීමට අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.
"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. "යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ "2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි" යනුවෙනි.
මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මූලාශ්‍රය - BBC සිංහල
Page 67 of 473