V2025

පුවත්

මර්ජුවානා ජාවාරමකට සහය දුන්න රේගු පරීක්ෂකට වැඩ වරදියි !

මර්ජුවානා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අදාළ ජාවාරම සඳහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සැකකාර රේගු පරික්ෂකවරයා එම ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇත.

මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට පත්වූ රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා ජාවාරම්කිරීමට ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශන වලදි හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනයක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් ලෙස සංශෝධනය කෙරෙන බව ය.

එමෙන් ම, මීට පෙර රුපියල් 10,000ට පැවති ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි වීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව ද එහි දැක්වේ.

එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.

තව ද ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට අදාළ ගැසට් පත්‍රය මගින් නියම කර ඇත.

image 13

ලන්සා නාමල් හා සාගරගෙන් ගේම ඉල්ලයි : පුළුවන් නම් අයවැය පරද්දන්න කියයි

"කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ  කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට පොහොට්ටු පාර්ශවයට නොහැකිනම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කර මැතිවරණයකට යා හැකි බවත් ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මේ අදහස් දක්වා සිටියේ , මාධ්‍ය වෙත වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය .

"සෞඛ්‍ය අමාත්‍යධූරය වෙනස් කිරීම ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාවකින් පසුවයි සිදු වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්තුමාගේ ප්‍රධාන චෝදනාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් වුන එක නෙමේ. ප්‍රධාන චෝදනාව අමාත්‍යාංශවල වැඩි වගකීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමයි. වැවිලි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්මය අමාත්‍යාංශයට එකතු කිරීමෙන් ඉතාමත් සමීපව එම අමාත්‍යාංශ වලට වැඩ කරන්න පුලුවන්. ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක්.

ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවනම් අමාත්‍යධූර සංශෝධනය එහෙම නැතිනම් විෂයන් සංශෝධනය වැරිදි විදියට කරලා තියෙනවා කියලා එතුමට ඒ ගැන අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කිරීමත්, පෞද්ගලීකරණය කරන්න තියෙන ඇතැම් විෂයන් මුදල් අමාත්‍යාංශයට එකතු කිරීම නිවැරදි තීන්දුවක්.

ඒ අයට බලය තියෙනවනම් සාගර කාරියවසම් ඇතුළු පිරිසට ඒ දේ පෙන්නන්න පුලුවන්. එක එක ඒවා කිය කිය ඉන්නේ නැතිව දැඩි තීන්දුවක් ගන්න පුලුවන්. විපක්ෂයට ගිහින් ඉදගන්න පුලුවන්.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඕනේ ‍නැතිනම්, එතුමා ජනාධිපතිධූරයේ වැඩ කරද්දි මෙතුමන්ලා‍ එක්ක වැඩ කරන්නේ නැතිනම් සාගර කාරියවසම් මහතාට පුලුවන් මාධ්‍ය වල එක එක ඒවා කියන්නේ නැතිව ජනාධිපතිතුමා හමුවෙලා ජනාධිපතිතුමාගේ මුණට කියලා මේකෙන් අයින් වෙන්න. අපි තවදුරටත් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්න.

සාගර කාරියවසම් මහතාට අභියෝග කරනවා පුලුවන්නම් ආණ්ඩුවෙන් එලියට ගිහිල්ලා ඔය කටයුත්ත කරන්න කියලා. ජනාධිපතිවරයා හොද නැතිනම්, ජනාධිපතිවරයා එක්ක වැඩි කරන්න බැරිනම් ජනාධිපතිතුමා එතුමලා කියන දෙ කරන්නේ නැතිනම් තමන්ට කැමති තීන්දුවක් ගන්න පුලුවන්. මාධ්‍ය වල අදහස් දක්වන්නේ නැතිව තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමාත්‍යධූර කීයක් දුන්නද ? රාජ්‍ය අමාත්‍යධූර කීයක් දුන්නද ? විෂයයන් කීයක් දුන්නද ? ඒ කාලේ අමාත්‍යධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ කියලා එතුමට තේරුනේ නැද්ද ? එතුමට දැන් තමා ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් වෙනස් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමාත්‍යවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එලියට දැම්මා. එදා කතා කලේ නැහැ නාමල් රාජපක්ෂ හෝ සාගර කාරියවසම් . එදා කතා කරන්න තිබුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා. සම්පුර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුනා. එදා පූස් පැටව් වගේ හිටියේ.

අද කියනවම් කිසිම තනරතුරක් වෙනස් කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා එදත් කියන්න තිබුනා. එදා කිව්වේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් මහත්වරුන්ට බොරු බයිලා කියන්නේ නැතිව, අතීතිය අමතක කරලා කතා කරන්නේ නැතිව පුලුවන්නම් මාත් එක්ක විවාදයකට එන්න. පසුගිය කාලයේ ඇමතිකම් වෙනස්කරපු ඒවා, විෂය වෙනස් කරපු දේවල්, තමන්ට වැඩි බලය ගත්තු හැටි, තමන්ට දෙද්දි කටවහගෙන හිටපු ඒවා ගැන කතා කරන්න.

ඇමති මණ්ඩලය කියන්නේ ශ්‍රීලනිප ද, යුඑන්පී ද කියන එක නෙමේ. ඇමති මණ්ඩලය කියන්නේ සාමුහික ඇමති මණ්ඩලයක්. ඒකේ විෂයයන් ඕනේ කෙනෙකුට ඒහාට මෙහාට යන්න පුලුවන්. ශ්‍රීලනිපය ද පොහොට්ටු ද කියන එක අදාළ නැහැ.

රට හරියට නොකිරීම තුළ තමා මිනිස්සු පෝලීම් වලට ආවේ. විදුලිය නැතිව මිනිස්සු හිටියා. ‍ගෑස් පොලිම්, බෙහෙත් ටික නැතිව හිටියා. ඉතින් එහෙම තිබුණු ආණ්ඩුවක් තමා මිනිස්සු එලියට ඇවිල්ලා පෙරලලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයට පත්වෙන්න අවස්ථාවක් ආවේ. නාමල් රාජපක්ෂලා ඒක කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. පොහොට්ටුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමේ. ‍පොහොට්ටු ආණ්ඩුව හරියට නොකිරීම තුළින් සිදුවුන දෙයක්. අපිත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. අපි අවුරුදු 30 ක් ගොඩනගාගත්ත දේශපාලනය විනාශ වුනා. ආණ්ඩුව හරියට නොකිරීම තුළ. එතුමන්ලා තමා එදා නා‍යකයෝ. එතුමන්ලා තමා කැබිනට් අමාත්‍යවරු. එදා ජනතාවට සහන දුන්නනම් කබලෙන් ලිපට වැටිලා ජනතාව මහපාරේ ලක්ෂ ගානක් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා එලවන්නේ නැහැ අපේ ආණ්ඩුව. ඒක අද අමතක වෙලා නාමල් රාපක්ෂ මැතිතුමාට. ජනාධිපතිතුමා භාර අරන් තියෙන්නේ බංකොලොත් වුන ආණ්ඩුවක්. මේ ආර්ථිකය තුළ නාමල් රාජපක්ෂ කියනවා වගේ සහන දෙන්න විදියක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපට උදව් කරලා ඒ අය නිර්නායක දීලා තියෙනවා. ආණ්ඩුව මේ විදියට ගියොත්, ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියලා.

කවුද අකමැති ජනතාවට සහන දෙන්න. අපි සියලු දෙනා කැමතියි. හැබැයි නාමල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යධූරයේ හිටපු ඒ ආණ්ඩුව රට බංකොලොත් කිරීම නිසා තමයි සහන දෙන්න බැරි. ඒක තේරෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතාට. රට සම්පුර්ණයෙන් ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, ජන ජීවිතය නැති කරලා අද නිකන් ඊයේ පෙරේදා ඉපදුන ළමයෙක් වගේ කතා කරන්නේ.

එතුමලට තීන්දු කරලා කැමති දෙයක් කරන්න පුලුවන්. ඉදිරියේ අයවැය එනවා. අය වැයට විරුද්ධව පුලුවන්නම් ජන්දය දීලා එලියට යන්න. ඊලග පාර්ලිමේන්තු මැතිවරණයට මුහුන දෙන්න යන්න පුලුවන්. මිනිස්සු එදාට උත්තරය දෙයි. නාමල් රාපක්ෂ මහතාටත්, සාගර කාරියවසම් මහතාටත් මට කියන්න තියෙන‍්නේ ඉදිරි අයවැය ලේඛණයට විරුද්ධ නම් එයට විරුද්ධ වෙලා ආණ්ඩුව පරද්දලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න කියන එක. අපි සියලු දෙනා ඒකට සූදානම්. මිනිස්සු ප්‍රතිඑලය පෙන්නයි ඒ අයට.

පාර්ලිමේනේතු‍‍වේ අයවැය ‍ලේඛණය පරද්දන්න මේ අය යන්නේ නැහැ. අයවැය ලේඛනය පරද්දලා මහ මැතිවරණයට යන්න බයයි. මේ අය පරද්දන්නේ නැහැ. පුලුවන්නම් ම‍ගේ අභියෝගය භාර ගන්න. ජනාධිපතිතුමා කියන දේ කරන්නේ නැතිනම් මේ අයට පුලුවන් මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියන්නේ නැතිව එලියට යන්න. කැබිනට් සංශෝධන හතරක් කළා ගෝඨාභය රාජපක්ෂ. මේ කවුරුත් ඒ වෙලාවේ කෑගැහැව්වේ නැහැ.

අද ජනාධිපතිතුමා කරලා තියෙන්නේ සංශෝධන දෙකක්. කැබිනට් ධූරයක් අඩුකරලා තියෙන්නෙ. රටේ මිනිස්සු ඉල්ලන්නේ අඩු කරන්න කියලා. ජනාධිපතිතුමා ඒක කරලා තියෙන්නේ. අදාළ අමාත්‍යාංශ වලට අදාළ විෂයන් හරියට දීලා තියෙනවා. ඒක වැරදි නම්, කොන්ද පණ තියෙනවනම් තමන් කියන දේ, තමන් විශ්වාස කරන දේ හරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වට්ටලා ඊ ලග පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. ජනතාව බලාගෙන ඉන්නවා ඉක්මිනින් මැතිවරණයක් එනකන්.

ආණ්ඩුවේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් එතුමන්ලට පුලුවන් මේ ආණ්ඩුව වට්ටන්න. ඒ අයට ජන්දයට ගියාම තෙරේයි මහපොළොවේ තියෙන යථාර්ථය. "

දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වේ.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.

ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන සැළැස්ම ඊළඟ අයවැයෙන් එළියට !

ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ දී රටට ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමටද බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල - NBQSA 2023” අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

1980 දශකයේ මුල් භාගයේදී, මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේ දී අප තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කළා. එය එම වකවානුවේ ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නොවුනත්, මට සින්ක්ලෙයාර් සමාගමේ, සින්ක්ලෙයාර් මහතා හමුවීමට අවස්ථාව ලැබුණා.

ඔහුගේ පියා ලන්ඩන් නුවර, වෙස්ට්මිනිස්ටර් නගරයේ කොන්සර්වේටිව් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිසා කොන්සර්වේටිව් පක්ෂයේ උත්සවයකදී තමයි මට ඔහුව මුණ ගැසීමට ලැබුණේ.

 ඉන්පසුව පළමු සින්ක්ලෙයාර් පරිගණක අපේ රටේ පාසල්වලට ගෙනාවා. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පරිගණක සහ තොරතුරු තාක්ෂණ කවුන්සිලය ආරම්භ කළා.

ඒ කාලේ තමයි මහාචාර්ය සමරනායක  කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය ආරම්භ කළේ. ඒ වන විට ඉන්දියාව තොරතුරු තාක්ෂණය ගැන උනන්දු වුණා. නමුත් අපිට නැති ප්‍රශ්න ඔවුන්ට තිබුණා. උදාහරණයක් ලෙස, අපට පරිගණක ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විනිමය තිබුණා, නමුත් ඔවුන්ට ඒ සඳහා හැකියාව තිබුනේ නැහැ.

මේ අතර චීනය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරන්න සූදානමින් සිටියා. 1991 දී, මම කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. මම ගියේ බැංගලෝර් වලට, ඒ තමයි මේ කර්මාන්තය ආරම්භ කළ ස්ථානය. ඔවුන්ට මුදලින් බිලියන කිහිපයක් සමග ඩොලර් බිලියන දෙකක වටිනාකමක් ඇති අපනයන තිබුනා.

තොරතුරු තාක්ෂණය ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳ අපි සාකච්ඡා කළා. චීනයත් ඒ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඔවුනගේ අවධානය යොමු කරමින් සිටියා. අවාසනාවට, අපට එම අවස්ථාව මගහැරුනා. එම රටවල් ඉදිරියට ගියා. අපත් මේ සමග ඉදිරියට ගියා නම් අද පවතින අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වෙන්නේ නැහැ.

කෙසේ වුවත් දැන් පසුතැවී තේරුමක් නැහැ. ඒ දේවල් සිදු වී අවසන්. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි අපට තිබෙන අවසාන අවස්ථාව මෙයයි. එසේනම් අප දැන් තොරතුරු තාක්ෂණය සමඟ ඉදිරියට යාමට සූදානම් විය යුතුයි. නැතිනම් අපට මෙම අවස්ථාව සදහටම මග හැරෙනවා.

රටක් ලෙස ඉදිරියට යාමට නම් රටේ වෙළෙඳ ශේෂය අපට වාසි වන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. එසේම අපනයනයන්හි අතිරික්තයක් තිබිය යුතුයි. අපට තවදුරටත් ඇඟලුම් කර්මාන්තය සහ තේ මත රඳා පැවතිය නොහැකියි. අප නව ක්ෂේත්‍ර පිළිබඳ සොයා බැලිය යුතුයි. නමුත් ඊට වඩා, අප අවධානය යොමු කර තිබෙන්නේ නව ආර්ථිකයක ව්‍යුහයක් පිළිබඳවයි.

රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය නම් සහ රට තුළ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අප ලෝකයේ ඕනෑම රටක් සමඟ තරගකළ හැකි තරගකාරී ආර්ථිකයක් ඇති කර ගත යුතුයි.

එහිදී හරිත ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්තිය යන සාධක දෙක ඉතා වැදගත් වෙනවා. පුනර්ජනනීය බලශක්තිය සහ හරිත ආර්ථිකය සඳහා අපේ රටේ ඉහළ විභවයක් තිබෙනවා. එසේම අප කඩිනමින් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළයුතුයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළේ ආරම්භය පිළිබඳ ඉදිරි අය වැයෙ කතාවේ දී මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය නීති ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.

70 දශකයේ මුල් භාගයේදී අපේ රටේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් පැවතුණා. එය නීති සම්පාදනය කිරීම මගින් ගෙන එන ලද්දක්. නමුත් 1977 දී වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වීම සමඟ එම නීති අහෝසි වුණා.

 නමුත් මෙවර පියවරක් ඉදිරියට තබමින් තරගකාරී ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.නීති පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඩිජිටල් යටිතල පහසුකම් අංශය දෙස ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගතයුතු පියවර මොනවාද කියා සිතා බැලිය යුතුයි.

රජයට එය තනිව සිදු කිරීමට මූල්‍යම හැකියාවක් නැහැ. එසේම මානව ප්‍රාග්ධනය ද විශාල ගැටලුවක් වී තිබෙනවා. අප ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරනවා නම් අපට පුහුණු මානව සම්පතක් අවශ්‍යයි.

අප එම ක්ෂේත්‍රයේ පුහුණු උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් ඇතුළු කුසලතාවන් ඇති මානව සම්පතක් ගොඩනැගිය යුතුයි. මෙය අප මුහුණ දීමට තිබෙන ප්‍රධාන අභියෝග වලින් එකක් බව කිව යුතුයි. එසේනම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්නේ කෙසේද කියා අප මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

මේ සඳහා අරමුදල් සපයා ගැනීමේදී අප අපේම අරමුදලක් ඇති කර ගත යුතු වෙනවා. නැත්නම් අපට විදේශ ආයෝජකයින්ට ආරාධනා කිරීමට සිදු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ නමක් හදාගත යුතුයි.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියාවට සමීපවයි. තොරතුරු තාක්ෂණය අද ඉන්දියාව තුළ වර්ධනය වෙමින් තිබෙන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එයින් ප්‍රයෝජනයක් ලබා ගන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි. අප මෙම අරමුණු වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි. රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ඩිජිටල් පරිවර්තනයක් රටට අත්‍යාවශ්‍යයි. එසේ නොමැතිව අපට ලෝකය සමග ඉදිරියට යා නොහැකියි.

මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය සැලසුම් රජයට සකස් කළ හැකියි. පෞද්ගලික අංශය ලෙස ඔබට තිබෙන්නේ එම වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමටයි. උදාහරණයක් ලෙස ගතහොත් 1977දී අපට ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳාමක් තිබුනේ නැහැ. නමුත් වසර 10-15ක් තුළ අප ඇගළුම් ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ලැබුවා.

අපි නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට එය වෙනස්කම්වලට ලක් වෙනවා. එම නිසා වේගවත් ගමනක් අවශ්‍යයි. මෙහිදී සම්මාන ලබාගත් කිහිපදෙනෙකු සමඟ කතා කළ විට මට විශාල සතුටක් දැණුනා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට ගොස් ඔවුන්ගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටයි. මේ සඳහා බැංකුවලින් අරමුදල් සපයා ගන්නේ කෙසේද මෙය වාණිජ ව්‍යාපාරයක් බවට පත් කර ගන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.

කෙසේ වෙතත් අප සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. දැනටමත් ඇතැමුන් මේ සඳහා ප්‍රවේශ වී සිටිනවා. ලබන වසර වන විට සෑම කෙනෙක්ම මේ සඳහා එක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ තොරතුරු තාක්ෂණ ආයතනවල විධායක කමිටු සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රාෂික් පාර්මර් (Rashik Parmar) මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතීය.

IMG 20231026 WA0001

IMG 20231026 WA0002

IMG 20231026 WA0003

ඉතිහාසයේ පෙරනොවූ විරූ ලෙස : ශ්‍රී ලංකාව වෙළෙඳ සබඳතා පුළුල් කරගෙන !

දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටයි.

ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටියි.

එසේම ශ්‍රි ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කර තිබේ.

දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමය (SAARC) සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA) වැනි කලාපීය වෙළෙඳ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී ඇත.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ භාණ්ඩ වෙළඳාම සඳහා වරණීය වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා 2021 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර මේ වන විට සාකච්ඡා වට තුනක් අවසන් කර තිබේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ධනාත්මක වු වෙළෙඳ ශේෂයක් පවතින අතර, ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුම දැනට පවතින වෙළෙඳ ගිවිසුම්වලින් ඔබ්බට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරියට ගෙන යන්නක් ලෙස හඳුනාගෙන ඇත.

තවද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ දොළොස් වන (12) සාකච්ඡා වටය මේ මස අගදී පැවැත්වීමට නියමිතය. වර්තමාන ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISLFTA) වඩා පුළුල් විෂය පථයක් මෙමගින් ආවරණය කෙරේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ආසියාන් (ASEAN) රටවල් සමඟ සම්බන්ධවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව 2018 ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Sri Lanka Singapore Free Trade Agreement-SLSFTA) එළැඹි අතර එය 2018 මැයි මාසයේදී බලාත්මක කෙරිණි.

එසේම ශ්‍රි ලංකාව මේ වන විට තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු ආසියාන් (ASEAN) රටවල් කිහිපයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.

තායිලන්තය සමඟ තුන්වැනි වටයේ සාකච්ඡා මේ වසරේ ජනවාරි මාසයේදී යළි ආරම්භ වූ අතර එහි 7වැනි සාකච්ඡා වටය පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම, භාණ්ඩ, මූලාරම්භයේ රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර (SPS), වෙළඳාමට ඇති තාක්ෂණික බාධක (TBT), වෙළෙඳ පිළියම්, සේවා, ආයෝජන, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපල අයිතිවාසිකම්, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

තායිලන්තය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දේශීය අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ඍජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රමුඛතා අංශවල ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

එපමණක් නොව, චීනය සමග යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර එහි සාකච්ඡා වට හයක් අවසන් කර තිබේ. හඳුනාගත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා චීනයේ වෙළඳපල ප්‍රවේශය ලබා ගැනීමටත්, ගෝලීය අගය දාමයන් සමඟ සුරක්ෂිත සම්බන්ධතා ඇති කර ගැනීමටත් මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වන “කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP)” ගිවිසුමට සම්බන්ධ වෙමින් ඕෂනියා සහ නැගෙනහිර ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ආසියාන් සමග ක්‍රමානුකූලව කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය දැනටමත් අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මගින් මෙම සියලු වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා පවත්වාගෙන යනු ලබයි.

එම සාකච්ඡා ප්‍රධාන සාකච්ඡාකරු ප්‍රමුඛ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) විසින් මෙහෙයවනු ලබන අතර මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සමන්විත වේ.

අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත අනුකමිටු එකොළහක් මගින් වෙළෙද සාකච්ඡා හා පාර්ශවකරුවන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ජාතික වෙළෙද සාකච්ඡා කමිටුවට සහාය ලබාදෙයි.

රජයේ දැක්මට අනුව 2048 වන විට සංවර්ධිත රටක් ගොඩනැඟීම සඳහා මෙම මුල පිරීම් හරහා පහසුකම් සැලසේ.

( මෙය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කළ නිවේදනයකි.)

ඩයනගේ අවනඩුව 6 වෙනිදා විභාගයට !

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පසුගිය 20 වැනිදා ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව 6 වැනිදා පෙරවරු 10.00 ට අදාළ පාර්ශ්ව කැඳවීමට අද (25) තීරණය කර ඇත .

ගැටුමට මැදිවූ තිදෙනා මෙන්ම සිද්ධිය ඇසින් දුටු සියලු දෙනා එහිදී කැදවීමට නියමිත බවත් වාර්තා වෙයි .

මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන කමිටු සාමාජිකයෝ අද (25) නැරඹූහ.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායකවරයා විසින් පත් කෙරුණු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ප්‍රථම වතාවට රැස්විය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක කටයුතු කරයි.

මෙම කමිටුව සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද ඇතුළත් කිරීමට ඊයේ තීරණය කෙරිණ. එම මන්ත්‍රීවරියන් දෙදෙනා කවුදැයි නම් කරන ලෙස කමිටු ආණ්ඩු පක්ෂයට සහ විරුද්ධ පක්ෂයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි

ලබන 06 වැනිදා කමිටුව රැස්වී විමර්ශන පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට බාරදෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි .

නාමල් රතු එළි දල්වයි : ජනාධිපති නිවැරදි බව විචාරකයන් කියයි !

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත්, පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතු බව ද මන්ත්‍රීවරයා පවසයි .

ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර සිටියි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (25) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි .

එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසන්නේ, එය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැළකිය නොහැකි බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

' එක පැත්තකින් විදුලිබිල වැඩිවෙනවා, බදු බර වැඩිවෙනවා. ඒ වගේම වතුර බිල වැඩිකරනවා. තව අලුතෙන් බදු ගහන්න ඕනේ කියලාත් කියනවා. ජීවන වියදම පාලනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ චෝදනාව පොහොට්ටුවේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඔය කියන හැමෝම. චෝදනා එන්නේ පොහොට්ටුවට. හැබැයි අනිත් පැත්තෙන් සහෝදර පක්ෂ එක්ක සාකච්ඡා නොකර තීන්දු තීරණ ගන්නවා. ඒ ගන්න කොට ඒක හරි ගියොත් ඒක වෙන කණ්ඩායමක්. ඒක වැරදුණොත් ඒක පොහොට්ටුවේ.

මේ වෙලාවේ, මේක කැබිනට් සංශෝධනයක් විදියට මම දකින්නේ නැහැ. මේක කැබිනට් හුවමාරුවක්. ඇතුලේ තනතුරු හුවමාරුවක් කර ගැනීම සිද්ධ වුණේ. ඒක ජනාධිපතිවරයාට කරන්න අයිතියක් තියෙනවා, එතුමා ජනාධිපතිවරයා විදියට. ඒ වගේම තමයි, ආණ්ඩුවට යුතුකමක් තියෙනවා, ඒ පිළිබඳව සහෝදර පක්ෂ එක්ක විමසන්න. මේ තනතුරු හුවමාරු කර ගැනීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවානං, තනතුරු හුවමාරු කරගැනීමෙන් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න පුළුවන් කියලා හිතනවා නං, තනතුරක් හුවමාරු කරගැනීම තුළින් මේ රටේ ජනතාව මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන් කියලා හිතනවා නං, ඒ අයට වැරදිලා. මේ වෙලාවේ අයවැයක් එනවා ඉදිරි කාලසීමාව තුළ. අයවැයේදීවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා.''

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ගනුලැබූ තීරණය නිවැරදි බවයි.

අතිශය දරුණු ආර්ථික අර්බුදයක් තිබී යන්තමින් හිස එසවූ රටක ජනතාව රජයේ රෝහලකුන් ඖෂධ ගැනීමට යාමට භීතියක් ඇතිවීම සමාජ පර්‍යාය පවත්වාගෙන යාමට තර්ජනයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල දැක්වූ ප්‍රතිචාර ජනතාව කුපිත කරවන සුළු බවත් එහි ඇති සමාජ හානිය ගැන තැකීමක් අමාත්‍යවරයා වෙතින් නොපෙනුනු බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එසේම දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සහය දුන් පදනමින්, එම පක්ෂයේ අමාත්‍යවරුන් සිදුකරන ඕනෑම වරදක් නොදැක්කා සේ සිටිය යුතු නැති බවයි.

ක්‍රම වෙනස වෙනුවෙන් නව නීති ගේනවා - මනුෂ

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ ද පැවසීය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපි විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඉතිහාසයේ වැඩිම නීති සහ අනපනත් සම්මත වූ කාලය ලෙස මෙම කාල සීමාව හැඳින්විය හැකියි.

රටට ක්‍රම වෙනසක් අවශ්‍යයි කියා (Systems Change) ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. එම වෙනස ඇති කිරීම වෙනුවෙන් අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති රෙගුලාසි ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් සිටිනවා. ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණා. සෑම අංශයකටම එවැනි ප්‍රතිපත්ති සකස් කිරීම රජයේ වැඩපිළිවෙළ බව කිවයුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් විදේශීය මූල්‍ය ආයතන සහ අනෙකුත් රටවල් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් වෙන්නේ රටේ මූල්‍ය විනයක් පැවතියහොත් පමණයි. ඒ නිසා රටේ මුල්‍ය විනය ඇති කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුව ඇතුළු විවිධ කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් එය සකස් කර තිබෙනවා.

ඒ වගේම වසර විස්සක් පුරා කතා කරමින් සිටි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලැබීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය මූදල් පරිපාලනය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් රාජ්‍ය පරිපාලනය විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙනවා.

එසේම දේශපාලන පක්ෂවල මුදල් භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට ද නියමිතයි. දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු ආකාරය එම කමිටුව විසින් විමර්ශනය කරනවා. ඉදිරියේදී එම කමිටුවට තම යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනවා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා. ආර්ථික ස්ථායිතාව පිළිබදව කාරක සභාවක් පත් කරනු ලැබුවා. එමෙන්ම ක්‍රම සහ විධි පිළිබඳව කාරක සභාවක් පත්කර තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය රටකට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කම්කරු පනත සංශෝධනය කිරීමටත් අපි කටයුතු කරනවා. එමගින් දැවැන්ත වෙනස්කම් රැසක් සිදු වන බව අපගේ විශ්වාසයි.

එමෙන්ම පසුගිය කාලයේ සිදු වූ ආර්ථික අර්බුද නිසා කඩා වැටුණු ව්‍යාපාර හඳුනාගෙන ඒවා නැවත නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නවා.

එපමණක් නොවෙයි, විදේශයන්හි සේවය කරන පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

සමනලවැව ජලාශයේ සූර්ය බලාගාර 02ක්

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ.

සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනය කිරීම සඳහා විභව ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයින්ගෙන් මෙගාවොට් 100 බැගින් ව්‍යාපෘති 2කට කැමැත්ත පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඇති විශාල ජල මූලාශ්‍ර ප්‍රයෝජනයට ගනිමින් රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් මෙම කැබිනට් අනුමැතිය මගින් සනිටුහන් කෙරේ.

සමනලවැව ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ හරිත හා තිරසාර අනාගතයක් සඳහා එහි කැපවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටි.

IMF දෙවන ණය වාරිකය ගැන අමෙරිකානු තානාපතිනියගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්, අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවූවා ය.

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාව ලබා ගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ පැතූ බව ය.

එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසය පළ කර තිබේ.

TODAY, AT MY MEETING WITH @CBSL GOVERNOR I EXTENDED MY CONGRATULATIONS ON THE IMF’S STAFF-LEVEL AGREEMENT, MARKING PROGRESS IN SRI LANKA’S EFFORT TO SECURE THE SECOND IMF INSTALLMENT. I REINFORCED THE NEED FOR FAIRNESS IN SRI LANKA'S DEBT RESTRUCTURING: EQUAL & EQUITABLE… PIC.TWITTER.COM/VWCGM4FGZJ

— Ambassador Julie Chung (@USAmbSL) October 25, 2023

සංක්‍රමිකයන් වෙනුවෙන් මධ්‍යස්ථානයක් !

සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සංක්‍රමණිකයන්ට, නැවත මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන්ට සහ සංක්‍රමණය වීමට අපේක්ෂා කරන අයට විදේශ රටවල සංචාරය කිරීමේ දී රැකියාවේ නිරත වීමේ දී සහ ජීවත්වීමේදී දී මුහුණ දීමට සිදුවන අවදානම සහ අභියෝග අවම කර ගැනීම සඳහා අවබෝධය ඇතිව තීරණය ගැනීමට හැකියාව ලබා දෙනු පිණිස ප්‍රමාණවත් කාලෝචිත හා විශ්වාසදායක තොරතුරු සහ මගපෙන්වීම ලබා දීම සඳහා නැගෙනහිර පළාතේ සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සහාය වීමට නවසීලන්ත රජය විසින් එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව නවසීලන්ත ව්‍යාපාර නවෝත්පාදන හා රැකියා අමාත්‍යංශය හරහා සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පිණිස නවසීලන්ත ඩොලර් 350000ක ප්‍රදානයක් ලබා දීමට එරට රජය එකඟ වී තිබෙන බවද රජය සඳහන් කරයි.

පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ නීතිඥයකුට වැඩ වරදියි !

ඉරුදින පාස්කු ප්‍රහාරය සොයා බැලීම පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ජංගම දුරකතනයක් මගින් පටිගත කිරීම සම්බන්ධව චෝදනාවලට වරදකරු වු නීතිඥවරයෙකුගේ නීතිඥභාවය මාස 8 ක කාලයකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊට අනුව මෙම අත්හිටුවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මකය.

මෙම තීන්දුව බුවනෙක අලුවිහාරේ, එස්.තුරේරාජා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිකුත්කළ අතර ඒ අදාළ කොමිසමේ ලේකම් එල්.එම්.බී.පී හේරත් විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුවය.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා අදාළ ජනාධිපති කොමිසමේදී එක්සත් ලංකා ජයමිතුල්ලා උලමා සංවිධානයේ මොහොමඩ් මුර්ෂා මර්ෂා නැමැත්තා සාක්කි දෙමින් සිටියදී ඔහුගේ සාක්කිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමෙන් නීතිඥවරයෙකුට නොහොබිනා ආකාරයට හැසිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කළා යැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණ.

එහිදී නීතිපති වෙනුවෙන් නීතිඥ ගංගා වාකිෂ්ඨ ආරච්චි සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂ් ගොපල්ලව පෙනී සිටියහ.

අස්වැසුම කඩිනමින් ගන්න : ඉක්මනින් බැංකු ගිණුම් විවෘත කරන්න !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම් දෙයි.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු සඳහන් කරයි.

ජයන්ත විජේරත්න  මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශවයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම අරමුණු කරගනිමින් ඇරඹි අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් ගෙවා අවසන් බවත් , ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ප්‍රමාදයන්ට හේතු වී ඇති කරුණු සොයා බලා ප්‍රතිලාභ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදු කිරීමට නොහැකිව ඇත්තේ මේ වන තුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවත් එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටළුවකින් තොරව අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේය.

තවද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතී. අනතුරුව එම ගිණුම් විස්තර අදාළ බැංකුව විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම් පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැකුව විසින් ලබා දී තිබේ.

එසේම අස්වැසුම වැඩසටහනේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශක්තිමත් ඒකකයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ අතර, දෙසැම්බර් මාසයේ අවසානය වන විට ප්‍රතිලාභ ගෙවීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා විශේෂ වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා කෙරිණ.

මත්ද්‍රව්‍යට වැට බඳින නව බල අධිකාරියක් ගැන සාගල කියයි !

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බව ද සාගල රත්නායක  පෙන්වා දුන්නේය.

සාගල රත්නායක  මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට අද (24) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොඟය අත්අඩංගුවට ගෙන මෙලස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

මෙම ‘මත්ද්‍රව්‍ය විරෝධී’ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක  සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් සාගල රත්නායක, මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය .

හෙරොයින් කිලෝ 200 ක තරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිතුමා ඇතුළු නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශයටත් මා පළමුවෙන්ම සුබ පතනවා. පසුගිය දින කිහිපය තුළ මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු දෙවැනි අවස්ථාව මෙයයි. පළමු අවස්ථාවේදී වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය‍ කර්යාංශයේ තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ලෝකය පුරා විශාල ජාලයක් ලෙස පැතිර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුරෙන් සිය ජනතාව බේරා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නාවික හමුදාව, පොලිසිය ඇතුළු අනෙක් රාජ්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා. මේ වැටලීම් සිදුකර අත්අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඇතුල් වන මත්ද්‍රව්‍යවලින් 65% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි 35%ක ප්‍රමාණය රටට රැගෙන එනු ලබනවා.

දැනට තිබෙන තොරුතුරුවලට අනුව විශාල නෞකාවලින් ජාත්‍යන්තර මුහුදු සීමාවට මෙම මත්ද්‍රව්‍ය තොග ගෙනැවිත් කුඩා බෝට්ටු භාවිතා කරමින් රට තුලට ගෙන එනු ලබනවා. මත්ද්‍රව්‍ය ජාලය විශාල ලෙස පැතිර තිබෙනවා.

‍අනෙක් කරුණ වන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් අතර ආයුධ වෙ‍ෙළඳාමත් සිදු වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. එය ජාතික ආරක්ෂාවට පවා ප්‍රශ්නයක් විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ නව නීති ගෙන ඒමට අවශ්‍යයි. මේ වන විට මත්ද්‍රව්‍ය විරෝධි ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධව නීති සකස් කරමින් සිටිනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා  ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231024 WA0006

සමාජ මාධ්‍ය නියාමනයට අලුත් පනත් කෙටුම්පතක් !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (23) දැනුම්දී ඇතැයි වාර්තාවේ.

 ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි ද පැවසේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා මිට සති කිහිපයකට පෙර සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජා කළ බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ සංශෝධන, තමා විදේශගතව සිටියදී නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදීරිපත්කර ඇතත්, ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබීම මත නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කර ඇතැයි ද වාර්තාවේ.

එම තත්ත්වය තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා අලුතින් පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සහිතව ඉදිරිපත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දෙන්නයි තමා නිතිපතිවරයට දැනුම්දුන් බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද පැවසේ.

මෙම පනත් කෙටුම්පත සංශෝධනය කරනවා වෙනුවට මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ පසුගිය දා ප්‍රකාශකර තිබිණ.

නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටියි.

අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.

අතිගරු ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය – ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය
H.E. Dr (Ms) Siri Walf – Ambassador of Switzerland in Colombo
අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය
H.E.Ms. Carmen Moreno – Ambassador of the European Union in Colombo
අතිගරු ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා -ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
H.E Dr. Alireza Delkhosh – Ambassador of the Islamic Republic of Iran in Colombo
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Ambassador of European Union 06

රටවල් 7ක සංචාරකයින්ට නොමිලේ වීසා

රටවල් 7 ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට, කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානයයි.

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බව, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ඒ අනුව 2024 මාර්තු 31 දක්වා කාලය තුළ චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව හා ජපානය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නොමිලේ වීසා නිකුත් කිරීමට නියමිතය.

විදේශ සංචාරකයන්ට ලෝක උරුම හා ඵෙතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීමට ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එක වර ගෙවා මිල දී ගැනීමට පැකේජ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ද එම ක්‍රියාමාර්ග අතර වේ.

මෙම ප්‍රවේශ පත්‍රය ගුවන්තොටුපොළේදී හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙයි.

තව ද, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එක වර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශ පත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදී ම මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම ද ඒ අතර වෙයි.

මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි වසර 3ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

Page 66 of 387