V2025

පුවත්

දිනේෂ් එක්ක පක්ෂයම රනිල්ට !

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත.

පොහොට්ටු අපේක්ෂකයා නම් කරන්න බැරි අර්බුදයක !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු පැවසීය.

කෙසේ වුවත් මීට පෙර සඳහන්ව තිබුණේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙත පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි සඳහන් කර තිබුණත් පක්ෂ අභ්‍යන්තරයේ තවමත් ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයන් කිහිපදෙනකු ඊට එකඟතාවයක් දක්වා නැති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

රනිල්ට සහාය දෙන්න : සාගර වෙනුවට රමේෂ් දාන්න : මාතරදී සම්මතයි !

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට සහ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ අමාත්‍යවරයා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද (01) සිදුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ යෝජනා දෙක ඉදිරිපත් කර ඇති අතර ඒකජන්දයෙන් එම යෝජනා සම්මත වී ඇත.

මාතර පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගීව තිබේ.

රජයේ පාසල් සිසුන්ට අද සිට රක්ෂණයක්

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා  අත්සන් තැබී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු. 300,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු. 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000ක් දක්වා ප්‍රතිලාභ හිමි වන බවයි. එමෙන් ම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී – රු. 200,000ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී – 25,000 සිට 100,000 දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවත් ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම ‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000 බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000 වන බවත් පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවද පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයකි.

දැනට හයක් ඇප තියලා !

එළැඹෙන 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි.

එකී නිවේදනය අනුව මෙතෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයන් මෙසේය.

වත්මන් රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අය ඇප මුදල් තැන්පත්කර ඇත.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.E 01

පොලිස් ඇමති ටිරාන්ට මරණ තර්ජන !

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බවයි.

ඉතුරු පොහොට්ටු ටිකත් ඉදිරි දින කිහිපයේ රනිල්ට පිපෙනවා !

පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “එක්ව ජයගමු” තේමාව යටතේ බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි .

පෙර සූදානමක් වෙනුවෙන් : ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක් !

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.

එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරති.

මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.

අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ.

ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.

එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට නියමිතය.

අවුරුදු දෙකෙන් රට ගොඩගැනීම ආශ්චර්යයක් !

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත මෙම වසරේ ලබාදී ඇති ආයෝජන ඉලක්කය ඩොලර් බිලියන එකක් වනවා. මේ වන විට ඩොලර් මිලියන 800ක ආයෝජන රටට පැමිණ තිබෙනවා. නමුත් මේ වසරේ අවසානය වන විට අප ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සඳහා ගමන් කළ හැකි බවට අප විශ්වාස කරනවා. 2024 වර්ෂය වෙනුවෙන් ව්‍යාපෘති 35ක් සඳහා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රදේශ රැසක ආයෝජන අවස්ථා ඇති කර තිබෙනවා. නමුත් මැතිවරණය ආරම්භ වීම නිසා ආයෝජනවල යම් අඩුවක් සිදුවිය හැකි බව අප විශ්වාස කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි.

ඒ වගේම නව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ආර්ථික කොමිසම හරහා බව සඳහන් කළ යුතුයි. එහි සාමාජිකයන් විසින් ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමට නියමිතයි. ඒ වගේම ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම ඉතා කෙටි කලකින් සිදු කරන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

අප විසින් අලුතින් ආරම්භ කළ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (Office of International Trade) මඟින් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා බදු රහිතව අපනයන ඉහළ නැංවීම සඳහා අවස්ථාව හිමිවන බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම පෝට්සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් අවසන් කර තිබෙනවා. ඒ වෙත ජල විදුලිය සැපයීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කම (Business strategic Importance) පනත යටතේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අයදුම්කරුවන් විසින් තම ව්‍යාපෘති වාර්තාව පෝට්සිටි කොමිසම වෙත ලබාදිය යුතු වනවා. මේ වන විට BSI විස්සකට අධික ප්‍රමාණයක් අප විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. තවත් BSI පනහක් පමණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද මේ මොහොතේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව සිහිපත් කළ යුතුයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බව ග්‍රීසිය සහ ලෙබනනය ඇතුළු වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනවා.

මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව සඳහන් කළ යුතුයි.

පළාත් සභා හිටපු පොහොට්ටුවේ සහ එජාප ප්‍රබලයන් 116 ක් : රනිල් දිනවන්න පෙරමුණ අරගෙන !

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලුදෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව භාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා.

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා.

ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා.

නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද, එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි.

ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා.

ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු.

2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන.

අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි.

එම ජාත්‍යන්තර ප්‍රශ්නය නිසා තවත් කරුණු කිහිපයක් මතුව තිබෙනවා. යුද්ධයක් ඇති වුණොත් තෙල් මිලට මොනව වෙයිද, ඒ වගේම යම් ප්‍රශ්නයක් මතු වුණොත් මැද පෙරදිග සිටින සියලුදෙනා නැවත ලංකාවට ගෙන්වීමට සිදු වෙනවා. 1991 දී ඉරානය විසින් කුවේට් අල්ලා ගත් විට අපට එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. එවිට රටට ආදායම් නැති වෙනවා. දැන් නැගී එන ශ්‍රී ලංකාවට එම තත්ත්වයට මුහුණදීම අසීරුයි.

මේ පිළිබඳ අනිත් රටවල විදේශ ඇමතිවරු සමඟ සාකච්ඡා කරන ලෙස මම විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

මෙම තත්ත්වය පාලනයට ඒකාබද්ධව කළ හැකි වැඩපිළිවෙළ ඔවුන් සාකච්ඡා කරනවා. අපි එම කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපේ කථානායකවරයා මේ වන විට ටෙහෙරාන් නගරයට ගොස් සිටිනවා. ඔහුව හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. අපි දැන් මෙම තත්ත්වයට සූදානම් විය යුතුයි. ඒ සඳහා මගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ වගේම මේ නිසා ඇති විය හැකි ආර්ථික විපාක පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විතව කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ආණ්ඩුව දැන් සිටම පියවර ගන්නවා. වේදිකාවේ සිට කෑගහලා වැඩක් නැහැ. ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ඉවත් කරන්න බැහැ. එය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා යුතුයි. මැතිවරණ පැවැත්වුණත් එම වැඩකටයුතු කිරීම අපේ යුතුකමයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග ඊයේ මේ පිළිබඳ කථා කළා.

ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළයුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා. අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි.

ජනාධිපති, අගමැති ඇතුළු මේ 09 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 07ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

ශ්‍රීලනිප සිරිපාල පාර්ශවයේ සහාය රනිල්ට

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි.

එහිදී දුමින්ද දිසානායක සඳහන් කළේ, "අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි." යනුවෙනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට බෙදී ඇත.

ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල පාර්ශවය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරද්දී , එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් එම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා නම් කර ඇත. ඒ අතර එම පක්ෂයේ හිටපු මහ ලේකම්, දයාසිරි ජයසේකර වෙනම කණ්ඩායමක් ලෙස මේවනවිට කටයුතු කරයි.

චම්පිකගේ බුලට් එකක් රනිල්ට සහාය දෙමින් එජාපයට එක්වෙයි !

ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමඟ දශක කිහිපයක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

ඊට අදාළ සාමාජිකත්වය ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර වෙතින් ලබාගත්තේය.‍ෙ

මෙම දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇති අතර එය පහත පළවේ.

''රට ගැනත් හිතලා රටේ අනාගතය ගැනත් හිතලා මේ මොහොතේ ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා. මායි නෝනයි දෙන්නම අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තා.

මගේ ජන්ම දිනයට තැබූ සටහනේදී මම කිව්වා මට ජූලි මාසය පෙරලිකාරී ප්‍රවේගකාරී උද්වේගකාරී මාසයක් වේවි කියල.. මේකත් ජාතික අරමුණක්.. ඒ වෙනුවෙන් ඉදිරි සති හත මේ ප්‍රවේගය උද්වේගය උපරිමින් තියා ගෙන තීරණාත්මක මෙම ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා වෙනුවෙන් කැපවෙනවා.. ඉදිරියට යනවා.

අනුරාධපුර පොහොට්ටු හෝදලාම අරගෙන : එස්.එම් ගේ සහාය රනිල්ට !

කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ එකඟත්වය පළ වු බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කළේය.

අද (30) අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතා ගේ නිවස පරිශ්‍රයේ ඇති පොදු ජන එක්සත් පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවැත් වූ දිස්ත්‍රික්සම්මේලනයේදී කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිස විසින් මෙම එකඟතාවයට පැමිණ තිබේ.

මේ සඳහා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් සහ දිස්ත්‍රික්කයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ,ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභා නියෝජිතවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙසීයකට අධික පිරිසක් එක්ව සිටියහ.

අතේ සහාය කාටද ? තීන්දුව හෙට !

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන අපේක්ෂකයා කවුද යන්න හෙට(31) ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවත් එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බව පැවසු මන්ත්‍රීවරයා මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති නිසා නිත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද සඳහන් කළේය.

උදේ නාමල් හමුවූ බව කියපු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හවස රනිල් හම්බෙලා : කොන්දේසි විරහිත සහාය !

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරනවා යැයි ඊයේ දිනයේ ප්‍රකාශ කළ පිරිස අද (30) උදෑසන තම නිවසට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබූ නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ප්‍රමුඛ 92ක පිරිසක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිඳු කොන්දේසියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරිමට කැප වන බවයි.

යළි දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැඟිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවද ඔවුන් සඳහන් කර ඇත.

තමන් අසීරුවෙන් ගොඩනැඟු පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මීට එක්ව සිටී මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අතර, මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇති බවද සඳහන් කර ඇත.

රටේ ආර්ථිකය අස්ථාවර වී, නීතිය හා සාමය කඩවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ මඟ ඝාතනය කළ තැනට වැටී තිබු රට දෙවසරක් තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවත්, එදා ඔහු පිළිබඳ තැබු විශ්වාසය කඩ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවත්ය.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවද පැවසිය.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන අලි සබ්‍රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී. හේරත්, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රේමනාත් සී.දොලවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න. ඩග්ලස් දේවානන්දා, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන අය ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වුහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

IMG 20240730 WA0011

මැතිවරණ කොමිසම හදිසියේ රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) පෙරවරුවේ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා ඇත.

එම රැස්වීමේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බව අනාවරණය වේ.

එහිදී ප්‍රධාන වශයෙන් පොලිස්පතිවරයෙකු නොමැතිව මැතිවරණය පවත්වන්නේ ද යන්න සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තාවේ.

මීට අමතරව මැතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ කටයුතු සම්බන්ධයෙන් සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳවත් එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙයයි.

චම්පික අතීරණයක !

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සම්බන්ධයෙන් වන ප පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රීලනිපයෙන් ජන්දයට එන්න ඉල්ලා අස්වූ විජේදාසගේ වාරණය දීර්ඝ කෙරේ !

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (29) නිලවශයෙන් නිවේදනය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයකින් එම මැතිවරනයට ඉදිරිපත් වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉල්ලා අස්වූ විජේදාසට වාරණයක් !

මේ අතර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් අද දිර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.

නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් මස 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට එහිදී නියෝග කෙරුණි.

Page 59 of 473