පුවත්

ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනුවෙයි !
දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණි.
ඊට එරෙහිව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන පාර්ශ්ව සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර තිබෙන බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.
ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් එහිදී චෝදනා කර ඇත.
එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරයි.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකාබලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මම ලෑස්තියි : ධම්මික කියයි !
පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.
එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියේය.
කෙසේ වුවත් පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යේෂ්ඨයන් රැසකගේ අදහස වී තිබෙන්නේ එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය ලබාදී ඉදිරි වසර 5 සඳහා ද රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවයි.

හැමදාම වැල් පාලමේ ඉන්න බෑ ස්ථිර පාලමක් හදාගන්න අවශයි !
හැමදාමත් රට වැල් පාලමේ ගෙනයා නොහැකි බැවින් රට ආර්ථික වශයෙන් ස්ථාවර කෙරෙන ස්ථිර පාලමක් තැනිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.
රට පවතින වත්මන් තත්ත්වය මත විදෙස් ආයෝජන රටට පැමිණීම ආරම්භ වන බවත් එසේම අර්බුදය සමයේ ඇනහිට තිබූ විදෙස් ආධාර සහිත සංවර්ධනය ව්‍යාපෘතිද නැවත ඇරඹෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
රට ණය බරෙන් එලියට ගත යුතුව තිබෙනවා. ඒ තත්ත්වයට රට පත්වීම සම්බන්ධව බියවී ඇති ඇතැම් පාර්ශ්ව රාක්ෂයන් සහ බිල්ලන් මවමින් සිටිනවා.
ගිය සතියේ සියලුම ණයකරුවන්ගේ සහාය ලංකාවට ලබා දීමට එකඟතාව හිමිවුණා. මෙරටට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන බිලියන 37ක්. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කරගෙන ගෙවීම් සිදුකරන ආකාරයට සම්බන්ධව එකඟතාවට පැමිණ ඇති නිසා දැන් රට බංකොලොත් ලේබලයෙන් එළියට ඇවිත් තියෙන්නේ. දැන් මෙරට ණයවර ලිපියකට පවා පිළිගැනීම ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය මෙරට ණය හිමි පාර්ශ්ව විසින් පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවද කිව යුතුයි. මෙම තත්ත්වය මත නැවතී තිබූ විදෙස් ආයෝජන නැවත රටට පැමිණීම විශ්වාසයි. ඒ වගේම අර්බුද සමයේ ඇනහිට තිබු විදෙස් ආධාර මත දියත්කළ සංවර්ධන ව්‍යාපෘතිද නැවත ආරම්භ වෙනවා.
ඒ වගේම හැමදාම වැල් පාලමේ ඉන්නත් බෑ. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන ආකාරයට ස්ථිර පාලමක් හදාගන්න ඕනේ. ණය බරෙන් එළියට එන්න ඕනේ. ඒකට වැඩ කරන විට බයවෙලා බිල්ලො මවනවා රාක්ෂියෝ මවනවා...
බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවන හැටි අපිට පෙන්නන්න ඕන.
චන්දෙ තියන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා..සමහරු චරිත ඝාතනය කරන්න හදනවද දන්නේ නෑ.

තරුණ ජීවිත ව්‍යාකූල නොකර අනධ්‍යයන සේවකයින් වැඩට එන්න !
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙනකු දවස් 65 ක් පුරා නිරත වැඩ වර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.
2019 වසරේ කොවිඩ් වසංගතයත්, 2020 වසරේ ආර්ථික අර්බුදයත්, 2021 අරගලයත් හමුවේ මානසිකව වඩාත් පීඩාවට පත් මේ දරුවන් ඒ සියලු අභියෝග හමුවේ විශ්වවිද්‍යාලයට තේරී පත් වන 18% අතරට එක් වුනත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ව තව දුරටත් ව්‍යාකූල තත්ත්වයට පත්වීම ජාතික ඛේදවාචකයක් බව කිව යුතුයි.
මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කණගාටුයි. ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවුයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සළකා බලා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා.
ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ( FUTA) එළි බැස තිබෙනවා. 2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කර ගත් ඔවුන්, අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා. විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්‍රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි. විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ. ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩ නගා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.
අනධ්‍යන සේවකයින් ගේ මෙම ඉල්ලීම් සාධාරණයි. ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී උදය සෙනවිරත්න කමිටුවට යොමු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරහා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව මා පොරොන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා කිරීමට අප කටයුතු කරනවා. සේවයට වාර්තා නොකළ දින නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා !
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.
රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමි වන බවද පෙන්වා දුන්නේය.
තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන්නේ රටට බත සපයන ගොවි ජනතාවයි. නමුත් ඔවුන්ට මෙතෙක් තම ඉඩම්වල අයිතිය හිමිව තිබුණේ නැහැ. තමන් ජීවත්වන බිමේ නීත්‍යානුකූල අයිතිය හිමි නොවූ ලක්ෂ ගණනක් ජනතාව අද මේ රටේ සිටිනවා. ඔවුන්ට අයිතිය ලබාදීම වෙනුවෙන් අප උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා.
මම ආණ්ඩුව හැදුවේ ඉතා අසීරු කාලයකදීයි. ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. නමුත් මම ආණ්ඩුව භාරගත්තා. සෑම පක්ෂයකම කොටස් එක් කර ගනිමින් ආණ්ඩුව ගොඩනැගුවා. දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා.
මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත් හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූතියි කළ යුතුයි. තමන්ගේ නිවස ගිනි බත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද අප රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන තිබෙනවා. අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.
ඒ වගේම අප පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. මේ සහනය මේ රටේ ජනතාවට ලැබී තිබෙනවා.
ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ. අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.
මා ආණ්ඩුව භාර ගැනීමට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට ඉන්දියාව ලිහිල් කොන්දේසි ණය මත ඩොලර් බිලියන තුන හමාරක් ලබා දුන්නා. ඒ වගේම බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. ආර්ථික අසීරුතා හමුවේ වුවද අප බංග්ලදේශය ලබා දුන් ඩොලර් මිලියන 200 ආපසු ගෙවා තිබෙනවා.
ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදු වුණා. වැට් බදු වැඩි කිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් ආර්ථිකය සකස් කිරීම වෙනුවෙන් එය කිරීමට සිදු වුණා. ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා. ගොවි මහත්වරුන්ට කිව්වා නැවත කොළඹට එන්න කියලා. කොළඹට එන්න බැහැ ඉන්ධන නැතිව.
අපි ජනතාවට අවශ්‍ය ඉන්ධන , පොහොර ලබා දුන්නා. ඒ අවස්ථාවේ දී පවා ගොවි ජනතාවට කිව්වේ වගා කරන්නේ නැතිව කොළඹට එන්න කියලා.
මේ රටේ ගොවි ජනතාව 2022 – 2023 කන්නවල ලබාදුන් අස්වැන්න නිසා තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වුණේ. ඒ සමඟම සංචාරක ව්‍යාපාරය දියුණු වුණා. මේ සියල්ල සමඟ අද අපි ඩොලර් බිලියන 08ක සහනයක් ලබාගෙන ණය බරින් නිදහස් වීමට මාර්ගය සකස් කරගෙන තිබෙනවා.
ආර්ථිකය කඩා වැටෙද්දි එයින් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව. දියුණුවන විට එහි වාසිය කොටසකට පමණක් හිමි වෙනවා. අප උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙනුයි. පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම් කොටසේ සින්නක්කර අයිතිය අද එම ජනතාවට හිමි වෙනවා. මෙය ආණ්ඩුව තැබූ වාර්තාවක් බව කිවයුතුයි.
අනිත් අය සමාජවාදය ගැන කථා කරනවා. නමුත් නියම සමාජවාදය මෙයයි. ඉඩම් ජනතා අයිතියට ලබා දීම මේ හරහා සිදු වෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ලෝකයේ රටවල් දෙකක් පමණයි. ඒ ජපනය සහ දකුණු කොරියාවයි. නමුත් එම රටවල් දෙකේම සිදු වුණේ අඩු මුදලකට ඉඩම් ලබාදීමයි. නමුත් අප මේ ඉඩම් ලබා දෙන්නේ නොමිලේ බව කිවයුතුයි. මෙම වැඩසටහන මඟින් මේ රටේ අයිතිය තිබෙන ජනතාව තවත් ලක්ෂ 20කින් වැඩි කර තිබෙනවා.
ඒ වගේම සමෘද්ධි වැඩසටහනේ ප්‍රතිලාභ මෙන් තෙගුණයක් ජනතාවට ලබාදෙමින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ බංකොලොත් වූ රටකයි. කෙතරම් අසිරුතා තිබුණත් රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. වැටුප් වැඩි කිරීම පිළිබඳ ඉදිරි වසරේදී අවධානය යොමු කළ හැකියි. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමක් ද සිදු වුණා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් ඉහළ ගියා. අද නවීන සංචාරක ව්‍යාපරයක් රටේ ක්‍රියාත්මක වෙනවා. මේ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය පෙසොන් පොහොයට රට පුරා දන්සැල් විශාල ප්‍රමාණයක් පැවත්වුණා. මීට දෙවසරකට පෙර ජනතාවට කන්න නැතිවයි සිටියේ. අද ඔබේ දහඩිය මහන්සියෙන් නෙළාගත් අස්වැන්නෙන් පොසොන් පොහොයට ලංකා ඉතිහාසයේ මෙතෙක් නොපැත්වුණු දන්සැල් ප්‍රමාණයක් පසුගිය පොසොන් පොහොය සමයේ පැවැත්වුණා. මේ පිළිබඳ විදෙස් තානාපතිවරුන් මා සමඟ පුදුමය පළ කළා. මේ අපේ ශක්තියයි.මේ අනුව ජනතාවට උපකාර කළ හැකි සෑම අන්දමකින්ම එම සහන ලබාදීමට අප කටයුතු කරනවා. ඒ සමඟම රට දියුණුව කරා ගෙන යනවා.
ඒ වගේම මේ වන විට මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සීග්‍රයෙන් දියුණුවෙමින් පවතිනවා. ගම්පහ සහ කොළඹින් පසුව වැඩිම ජනගහණයක් ජිවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ පළාත සැලැස්මක් අනුව දියුණු කිරීම අපේ අරමුණයි. ඒ නිසා බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි.
ඒ වගේම දැන් අපට ආධාර ලැබෙන නිසා අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙනවා. අනෙක් මාර්ග පද්ධතියත් මේ සමඟ එක් වෙනවා. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.

පොලිස් නිල සුනඛ අංශයට නව සුනඛයින් 35 දෙනෙක්
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ .
මෙම සුනඛයන් අතරට බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඇතුළත් වෙයි.
මෙම සුනඛයන් නෙදර්ලන්තයේ K.- 10 Working Dog නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .
මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .
මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .
මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .
මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 07/05 දින අලුයම 02.05 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණි.
මෙම සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .
මෙම සුනඛයන් එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
මෙම සුනඛයන් මෙරටට රැගෙන ඒමට පෙර පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් නෙදර්ලන්තයේ එම ගොවිපළ වෙත ගොස් පෞද්ගලිකව එම සතුන්ගේ අස්ථි , ජාන ආදිය පරීක්ෂා කිරීම ද සිදු කර තිබුණි .
මෙම අවස්ථාවේ සිය අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙම සුනඛයන් මාස 08 ත් 12 ත් අතර වයස් වල පසු වන බවත් , ඔවුන් මාස 03 ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය .

''ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක්''
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේය.
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
පසුගිය අර්බුද සමයේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක්ම අතරමඟ ඇනහිටියා. නමුත් මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ නිසා විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම රටේ පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීමට මහත් පිටුවහලක් වන බව කිව යුතුයි.
ඒ වගේම වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමත්‍යාංශය එක්ව අදාළ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මිල ගණන් පහළ දැමීමට හැකි වී තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉකුත් සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව අඩු මිලකින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට අපට හැකි වී තිබෙනවා. මෙවැනි පියවර ගැනීම හමුවේ විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වී තිබෙනවා.
තව ද අදානි ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් සහ පරිසර වාර්තා මෙන්ම ඊට අදාළ වැඩිදුර කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. අනතුරුව පවතින මිල ගණන් අනුව කටයුතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බවක් පෙන්නුම් කෙරෙනවා. ඔවුන් උමාඔය සහ සාම්පූර් වැනි විදුලි බලාගාර නිර්මාණය කිරීමේ දී ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළා.

ජනපති, ඊශ්‍රායල තානාපති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි - ජනපති
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරය වේ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියි.
තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරයයි.

2024 ,අයවැය යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අවසන් කිරීමට අවසන් දිනයක් දැනුම්දෙයි !
2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත්කර ඇත.
මේ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත කෙටි පණිවිඩයක් නිකුත්කර ඇත.
ඊට අනුව අද (03) MF/02/2023-(iv) චක්‍රලේඛය මඟින් මෙම උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !
ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. "යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ "2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි" යනුවෙනි.
මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
- බීබීසී සිංහල

සම්බන්න්ද ගේ අභාවයෙන් හිස්වූ අසුන කුගදාසන්ට !
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටින කදිරවේලු සම්මුගම් කුගදාසන් නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පසුගියදා (02) නිකුත් කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරන අතර කලක් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධයෙන් ගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

සජිත්ගේ නොදැනුවත්කම ඇමති සිරිපාල හෙළිකරයි !
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්විය ණය නොවන බවත් ඔහු කරුණු නොදැන විවිධ අදහස් දක්වමින් සිටින බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
මේ රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණයේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන හේතූන් මත විපක්ෂය එය අසුබවාදී යැයි පැවසුවත් රට ගැන හිතනවා නම් ඒ හරහා ඉතා සුබදායී පණිවිඩයක් ලැබුණු බව කිව යුතුයි.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නීති, රෙගුලාසි හා නිර්ණායක මත පදනම්ව මිස කාගේවත් මුහුණු බලා ගෙන නොවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදි ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොවෙයි. ඒ වාණිජ ණය ( Commercial Loans) සඳහායි. මෙරට වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා තවමත් සිදු කරමින් පවතිනවා. ඔහු නොදැනුවත්කම හේතුවෙන් මේ කියන්නේ තවමත් තීරණයක් ලැබී නැති සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් ගැනයි. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය තක්සේරු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් අනුව මෙම නිර්ණායක වෙනස් වෙනවා. මෙවැනි ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන් නොවිමසා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවද පැවසිය යුතුයි.
මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.
මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නෙවෙයි.
ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැනත් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස අප එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.
මීට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි. ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.
තවද අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා. ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා මා හමුවේ ප්‍රකාශ කළා.

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ඊයේ (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.
ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වේ.
ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත.

විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැක - ජනපති
ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.
එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,
පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.
අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.
ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.
රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.
ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.
අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.
පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා,
බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.
අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.
දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.
ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.
උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.
ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.
ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.
අධ්‍යාපනය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,
මේ ආකාරයට ගුරු පත්වීම් ලබාදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ආර්ථිකය අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් මෙම ගුරු පත්වීම් ලබාදීමේ අභියෝගය අප භාරගත්තා. අද 2000කට ආසන්න ප්‍රමාණයකට ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයන් රට මුදවා ගෙන ආර්ථික ස්ථාවරයක් ඇතිකර මෙවැනි පත්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ අද වන විට සාර්ථක වී තිබෙනවා. රට බංකොලොත් වී තිබූ මොහොතක වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස මුදල් වෙන් කිරීම නිසා ඔබට පත්වීම් ලබා දීමට හැකි වුණා . නමුත් මේ පත්වීම අරගෙන වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු වී දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා. ඔබ උපාධිධාරීයකු ලෙස අධ්‍යාපන ගමනක් ගියේ ඔබට ගුරුවරුන් ලබාදුන් අධ්‍යාපනය නිසයි. නමුත් ඔබ දරුවන්ට අධ්‍යාපනය නොදී වෘත්තිය ක්‍රියා මාර්ගවලට ගියොත් අඳුරු වන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.
අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එදා සිටි ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීම තුළින්. ඒවා ආදර්ශයට ගනියි කියා මා විශ්වාසස කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ශක්තියක් ඇතිකිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතායි. විද්‍යා පීඨ බිහිකළෙත් වතමන් ජනාධිපතිවරයා යි. එයින් වසරකට පන්දහසක් පමණ ගුරුවරුන් බිහිවෙනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ කෙනෙක් අද ජනාධිපතිවරයා වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාසනාවක්. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියෙකුට කිසි කෙනෙකුට අත නොපා රැකියා අවස්ථා ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. ඉදිරියේදී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් රැකියාවන්ට ගැලපෙන උපාධිධාරීන් බිහි කිරීමට කටයුතු කරනවා. මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකියි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර් යන ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://newstube.lk/news?start=954#sigProIdcd2a747830

සම්බන්දන් මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන අයද මෙහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? : රනිල් සජිත්ව හාන්සි කරයි !
අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
එසේම රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? කියා පෙරළා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.
ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
එය අසුබයි.
අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නේත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.
දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා.
දුප්පත්කම අසුබයි.
ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ.
මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?
ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා.
විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි.
මම තව එකක් අහන්න කැමතියි.
රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?
හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට මෙම ගිවිසුම් දෙක ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ දැන්ම හෙළි නොකරන ලෙස ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දැනුම් දී තිබෙනවා. ඒ අනිත් පාර්ශ්ව සමඟ ඇති කරගත් කොන්දේසි පිළිබඳව ඒ අය දැන ගන්නා නිසයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගිවිසුම් තුනම එකවර ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. නමුත් ඝානාව තවම එම කොන්දේසිවත් පිටතට ලබා දී නැහැ.
විශේෂයෙන්ම මෙම කරුණු සියල්ලම හර්ෂ ද සිල්වා මහතාගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙනවා. එහිදී සියලු දෙනා සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්න. ඔබතුමා හර්ෂ ද සිල්වා මහත්මයාට ඊර්ෂ්‍යා කරනවද? ඔහු මෙය සිදු කරනවාට අකමැතිද? දැන් මෙතනට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට අප දෙපාර්ශ්වයම එකඟයි. ඒ කමිටුව මොන අන්දමේ වාර්තාවක් සකස් කරයිද කියා අප දන්නේ නැහැ. අපට පක්ෂව එම වාර්තාව සකස් කරයිද, විරුද්ධව කරයිද කියා අප දන්නේ නැහැ. දැන් විවාද නොකර ඒ වාර්තාවට අනුව කටයුතු කරමු. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැනත් විවාදයක් අවශ්‍යද? ඒ වගේම විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා පත් කරගෙන එක සැරයක් වැටුණු වලේ ආයෙත් වැටෙනවද කියා ඇසිය යුතුයි.

ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.
ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,
රටේ ආර්ථිකය යළි ගොඩ නැගීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සුබ ආරංචිය මේ වන විට ලැබී තිබෙනවා. ඉකුත් ජූනි මස 26 වනදා පැරිසියේ දී ද්වී පාර්ශ්වික ණය හිමියන් ලෙස නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමඟ එකඟතාවන්ට පැමිණීම මෙන්ම ගිවිසුම්ගතවීම ද සිදු වුණා. ඒ වගේම එදිනම චීන එක්සිම් බැංකුව සමඟ ද එකඟතාවන්ට පැමිණ ගිවිසුම්ගතවීම සිදු වුණා. මේ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණා දෙකක් අප විසින් සම්පූර්ණ කර තිබෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාවේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක තිබෙනවා. එහෙත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුබවාදී ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. රටක් ලෙස මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් බව පැවසිය යුතුයි. අප පළමුව සිතා සිටියේ අප විසින් සිදුකළ කාර්යය පිළිබඳව ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශයන් ඒ සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා සිදුකරන්නක් බවයි.
නමුත් මේ වන විට පැහැදිලි වන කරුණක් වන්නේ එම ප්‍රකාශ දේශපාලන කුහකත්වය හේතුවෙන් සිදු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන විට විපක්ෂය වෙතින් ඒ බව මනාව පෙන්නුම් කෙරුණා. එබැවින් දේශපාලනයත්,ආර්ථිකයත් මිශ්‍ර කර ගනිමින් රටේ ඉදිරි ගමනට අකුල් හෙළන ව්‍යාපාරවල තරම ජනතාවට පැහැදිලි විය යුතුයි.
ඔවුන් ඝානාව, ඉක්වදෝරය සහ ආජන්ටිනාව වැනි රටවල තත්ත්වය පිළිබඳ යම් යම් ප්‍රකාශ සිදු කළා. නමුත් අඩු ආදායම් ලබන රටවල් සහ මැදි ආදායම් ලබන රටවල්වල සිදු කරන ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තිබෙන වෙනස්කම් අවබෝධ කරගත යුතුයි. අඩු අදායම්ලාභී රටක සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා මැදි ආදායම්ලාභී රටක් වන අප රටට අදාළව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත සංකීර්ණ වන බව පැවසිය යුතුයි. නමුත් මැදි ආදායම් රටවලට සාපේක්ෂව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්ත තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැවසිය යුතුයි.
තව ද ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන කරුණු 03ක් අප විසින් ක්‍රියාවෙන් ඔප්පු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව අපගේ ණය හිමියන් විසින් ණය ගෙවීම සඳහා 2024 සිට 2027 දක්වා සහන කාලයක් ලබා දී තිබෙනවා. එම කාලය තුළ අපට ලැබෙන ඩොලර් බිලියන 05ක පමණ ප්‍රතිලාභය රටේ ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් යෙදවීමට අවකාශය ලබාදී තිබෙනවා.
ඒ වගේම 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුව තිබෙනවා. 2027 සහ 2032 කාල රාමුව තුළ දළ මූල්‍යණ අවශ්‍යතාව 13% දක්වා අඩුකරගත යුතුයි. විදේශීය ණය සේවාකරණය 2027 – 2032 කාල පරිච්ඡේදය තුළ 4.5% දක්වා අඩු කරගැනීම ද සිදු කළ යුතුයි.
මෙම ඉලක්ක 03 සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අප මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව මෙරටට ණය තිරසරභාවය ලඟා කර ගැනීම වෙනුවෙන් පැවැති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත් වී තිබෙනවා.
මේ ආකාරයට සිදුකළ ආර්ථික කළමණාකරණය තුළ අද වන විට ශ්‍රි ලංකාවේ උද්ධමනය 70% සිට 1.7%ක් දක්වා අඩුවී තිබෙනවා. රටේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ වසරක භාණ්ඩාගාර බිලපත්වල පොලී අනුපාතය 10% මට්ටමකට පැමිණ තිබෙනවා.
Page 54 of 459