V2025

පුවත්

කොළඹ ජල කප්පාදුවක් !

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (29) වනදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අස්වැසුම සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට ප්‍රතිලාභ ගෙවීමට රුපියල් බිලියන 11.6ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි.

වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.

එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න සඳහන් කරයි.

මේ සුබ ආරංචිය බස් ගැමුණුගෙන් !

එළඹෙන ජූලි 01 වනදා සිට බස් ගාස්තු 5%කින් පමණ පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් ලෙස රුපියල් 28ක් දක්වා පහල යාමට නියමිතය.

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කරන අතර ඒ, බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගෙන ඇත.

ෆොන්සේකාට ඉදිරියේදීද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්වවූ අතර මේ අවස්ථාව සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ නොසිටීමද කැපීපෙනෙන සිදුවීමක් විය.

කෙසේ නමුත් උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.

මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතාව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගීවූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. එම අවස්ථාවේ මම අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර යාපනය භාර දෙන්නේ කාටද කියා අපට තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා.

එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ.

ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනිමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා.

අප මුහුණ දුන්නේ ලෝකයේ තිබු අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය යුද්ධය ආරම්භ කළේ අපටත් කළින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා.

ඒ වගේම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා.

සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.

සරත් ෆොන්සේකා මහතා වරක් යාපනයේ දී ප්‍රකාශ කළා, “දැන් යුද්ධය අවසන් රට තුළ සාමය ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක්වී රට ගොඩනගමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. අපේ හමුදාව අත්දැකීම් බහුල දක්ෂ හමුදාවක්. රට ගොඩනගමින් සාමය ස්ථාපිත කිරීම සඳහා මේ සියලුදෙනාගේ සහාය ලබාගත හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා :

යුද්ධය ජය ගැනීමට හැකි වූයේ අපේ විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසයි. එහිදී රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා. මේ අවස්ථාවේදී සියලු රණවිරු පවුල්වලට මාගේ ගෞරවය හිමිවෙනවා. ඔවුන් ජීවිත කැපකිරීම් සිදු කළේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනුවෙන්.

යුද්ධය අවසන් කිරීමට නම් දේශපාලන විසඳුමකට යා යුතු බව එදා බොහෝ දෙනෙක් පැවසුවා. එදා මම යුද හමුදාපති ධූරය භාර ගන්නා විට ආරක්ෂක සාමාජිකයන් සිටියේ කලකිරීමකින් යුතුවයි. නමුත් අපි තිස් වසරක යුද්ධය ජය ගත්තා . අපේ රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම නොමැති වූවා නම් මේ යුද්ධය ජයගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, තානාපතිවරුන්, හිටපු යුද හමුදා ප්‍රධානීන්, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=990#sigProId2885f86e7a

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් බාල ප්‍රතිජීවක එන්නත් සැපයීම සම්බන්ධව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.

අදාළ සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදාහැරීමටද අධිකරණය කටයුතු කර ඇත.

ආර්ථිකය හැදුවේ නැත්නම් ලංකාවත් අද කෙන්යාවක් වෙලා !

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවුවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවත් පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.

ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවද සඳහන් කළේය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකට පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රන් සම්මාන ප්‍රදානය කිරිමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

 සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මානලාභීන් සමඟ සමුහ ඡායාරුපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

මධ්‍යම පරිසර අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මෙම වසරේදී ද උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීම මම ඉතා අගය කරනවා. පසුගිය වසරේදී පරිසරය වෙනුවෙන් විශාල සේවාවක් කළ අය අද මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කරනු ලැබුවේ 1981 වසරේදී. එය සකස් කළේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විජේදාස මැතිතුමා. ඒ කාලයේ සිදුවූයේ පරිසරය පිළිබඳ අවධානය ඇතිවීම පමණයි. ඊට පෙර දශකයේ පරිසරය පිළිබඳ අවධානයක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙම සංකල්පය ඉදිරියට ගෙන ආ අවස්ථාවේ මෙම අධිකාරිය ඇති කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වුණා. එදා අවධානය යොමු වුණේ පරිසරයට හානි වන කරුණු පිළිබඳව පමණයි. ඒ අනුව එම වැඩකටයුතු ඒ වෙනුවෙන් සීමා වුණා.

අද වන විට පරිසරය කියන විෂය ඊට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසරයෙන් ආරම්භ වී දේශගුණික විපර්යාස දක්වා එය පුළුල් වී තිබෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අද සෑම ක්ෂේත්‍රයකටම පරිසරයත්, දේශගුණික විපර්යාසත් බලපෑම් එල්ල කරනවා.

1981 සකස් කළ නීතිය පිළිබඳ අපට අලුතින් සිතීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ලෙස මම ලේකම්තුමාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධන සිදු කර තිබෙනවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදිරියට යමින් දේශගුණික විපර්යාස පිළිබඳ නීතියක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාස මධ්‍යස්ථානය ඇති කර ඒ සඳහා උපදේශකවරයෙකු පත් කිරීමට අප කටයුතු කළා.

ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප ජාත්‍යන්තරයේ ද යම් වැඩකොටසක් භාරගෙන තිබෙනවා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙනවා. අප මෙම කටයුතුවලට පමණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළගා වීම රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කර තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ සමඟ කෘෂි නවීකරණ වැඩසටහන ද අප ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉලක්කය සපුරාගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළිගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපුරාගත යුතු බවයි. නමුත් 2050 වසරට පෙර අපට මෙම ඉලක්කයට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙනවා.

ඒ වගේම මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී හරිත මූල්‍යකරණය සහ හරිත බැදුම්කර අවශ්‍යයි. එසේනම් මෙය ආර්ථිය වැඩපිළිවෙළට ඇතුළත් වෙනවා. අප මෙම ඉලක්ක සපුරාගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අවධානය යොමු කරමින් මෙම වැඩකටයුතු සිදු කරගෙන යනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම රටකට තනිව සිදු කළ නොහැකියි. එහිදී සියලු රටවල් එක්ව කටයුතු කළයුතුයි. නමුත් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කළත් මේ වන විට බටහිර ලෝකයේ ඇතැම් රටවල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකාශය ඇති කර ගත්තා. නමුත් අද බිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත්වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිදසුන ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් ඇමරිකාව මේ සම්බන්ධව ගනු ලබන තීරණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයෙන් පසුවයි.

නමුත් අප මෙම ඉලක්කය කරා ගමන් කළයුත්තේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි.

අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක් ණය වී සිටිනවා. ඔවුන් ණය සහන ඉල්ලා තිබෙනවා. අසියාවේ ණය සහන ඉල්ලීමට මම සහාය ලබා දුන්නේ නැහැ. ලංකාවේ ණය ප්‍රශ්නය අපට විසදාගත හැකි බව මම පෙන්වා දුන්නා. නමුත් අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සහන සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ලංකාව මේ වන විට පළමු පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අප බංකොලොත්භාවයෙන් ඉවත් වී තිබෙනවා. දැන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගනිමින් අප එම ගමන යා යුතුයි. නමුත් අප්‍රිකාව වැනි රටවලට එම වැඩකටයුතු කිරීම අසීරුයි. ඒ නිසා ඒ අයට සහන ලබා දිය යුතුයි. විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට තිබෙන එම ණය සම්පුර්යෙන් අහෝසි කරන ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සමුළුවේදී යෝජනා කළා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ප්‍රතිපාදන අවශ්‍යයි. එම අවශ්‍ය මුදල් මේ වන තෙක් ලැබී නැහැ. නමුත් යුක්‍රේන යුද්ධයට සහ ගාසා තීරයේ යුද්ධයට බටහිර රටවල් මේ වන විට ඩොලර් බිලියන 100ක් පමණ වියදම් කර තිබෙනවා. රුසියාව ඒ සඳහා වියදම් කළ මුදල අප දන්නේ නැහැ. මෙම මුදල් අප්‍රිකානු රටවලට සහ අනෙකුත් රටවලට ලබා දුන්නා නම් විශේෂ පරිවර්තනයක් සිදු කළ හැකියි. යුද්ධ කර වැඩක් නැහැ. අප ඉල්ලා සිටින්නේ යුක්‍රේන යුද්ධය නවත්වන්න ලෙසයි. ගාසා තීරයේ යුද ගැටුම් නවතා දමන්න. එම යුද්ධය නවතා වසර 05කින් පලස්තීන රාජ්‍ය ඇති කරන්න. ඒ වගේම ඊශ්‍රාලයේ ආරක්ෂාව පිළිබදවත් පියවර ගන්න.

නමුත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ මේ පිළිබඳ ගෝලීය දකුණ තුළ හඬ නැගීමයි. මෙම යුද්ධය නවත්වා අප්‍රිකානු රටවලට උදව් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල කෙන්යාවේ තිබෙන කෝලහාල අප දුටුවා. දැනට 20 දෙනෙකු පමණ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. රටක ආර්ථිකය සකස් කළේ නැත්නම් මතුවන තත්ත්වය මෙයයි. ලංකාවේ මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැත්නම් අපටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

ඒ නිසා මේ මුදල් එම රටවලට ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ඊට සම්පුර්ණ සහාය ලබා දෙනවා. ලංකාව එවන් උපකාරයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ලංකාව ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ඥානය අප සතුව තිබෙනවා. අප එම මාර්ගයේ ඉදිරියට යා යුතුයි. එහිදී අප තරගකාරි, ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අපේ ශක්තියෙන් අපි එම ගමන යමු.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර :📌

මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආයතනය සහ පුරවැසියන් ලබාදෙන දායකත්වය අගය කිරීමට වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා. කර්මාන්තවලින් පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීමට ඔබ දක්වන උනන්දුවත්, උත්සාහයත් මෙලෙස ඇගයීමට ලක් කරන්නේ තවත් පිරිසකට ඒ වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙමින් බව කිවයුතුයි.

හෙට උපදින දරුවා වෙනුවෙන් යහපත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. වසර 2032 වන විට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් පසුගිය පරිසර දිනයට සමගාමීව පැල දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අප දියත් කරනු ලැබුවා.

අභියෝග රැසක් හමුවේ රට බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩා වැටී තිබු කර්මාන්ත යළි නගා සිටුවීමට විශාල වෙහෙසක් දැරූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ රට නැවතත් ලෝකයේ පිළිගත් රටක් බවට පත් වුණේ ඒ නිසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන මෙම දියුණුවත් සමඟ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම අපේ වගකීමක් වෙනවා.

ඒ නිසා 2025 වසරේ ජනාධිපති පරිසර සම්මාන සඳහා මෙවරට වඩා වැඩි ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එවිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත නගා සිටුවමින් ඔබ ලබා දෙන දායකත්වය මෙන්ම පරිසරය රැක ගැනීම සඳහා ද ඔබ දුන් දායකත්වය අගය කිරීමට අපට හැකි වෙනවා.

පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ තානාපතිවරුන්, පරිසර ක්ෂේත්‍රයේ විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිරුණිකාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

නව විදුලි පනත ක්‍රියාත්මකයි

නව විදුලි පනත ඊයේ (27) සිට ක්‍රියාත්මක වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම පනත මීට සති තුනකට පෙර කථානායකවරයා විසින් අනුමත කර තිබිණි.

වැඩි ඡන්ද 44කින් සංශෝධන සහිතව ජූනි 6 වැනිදා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විවාදය අවසානයේ පනතට පක්ෂව ඡන්ද 103ක් සහ විපක්ෂව ඡන්ද 59ක් ලැබිණි.

මීට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට හඳුනාගෙන එම පනත් කෙටුම්පත පවතින ආකාරයෙන්ම සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය බව සඳහන් කර තිබිණි.

නිර්දේශිත සංශෝධන කරන්නේ නම් මෙම නොගැළපීම් විසඳෙනු ඇති බව ද අධිකරණය සඳහන් කර තිබිණි.

ලංකාවේ කැපවීම ණය හිමියන්ගේ පැසසුමට !

ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය හිමි කමිටුව ඇතුළත් පැරිස් සමාජය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ඊයේ (26) එළැඹි ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ මෙරට අමෙරිකානු තානාපතිනියද අද (27) සිය ප්‍රසාදය පළ කර තිබේ.

එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය, වර්ධනය සහ ස්ථාවරත්වය උදාකරලීම උදෙසා නොසැලී කැපවී සිටින බවය. 

එසේම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ද ඊයේ ශ්‍රී ලංකාව එළඹුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අමෙරිකාව සාදරයෙන් පිළිගන්නා බව x සටහනක් තබමින් සඳහන් කර තිබේ. 

එම ගිවිසුම් මෙරට මූල්‍ය පරිසරය පිළිබද විශ්වාසයක් ගොඩනැංවීමට ඉවහල්වන බවද එහිදී සඳහන් කර ඇත.

මේ අතර මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට අයත් පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බවය. 

2022 වසරේ අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට නිවේදනය කරන අවස්ථාවේ මෙරටට  අමෙරිකානු ඩොලර් බිලියන 37ක පමණ විදෙස් ණය ගෙවීමට ඉතිරිව තිබුණි.

ඒ අතරින් ව්‍යාපෘති හෝ වැඩසටහන් සඳහා ලබාගත් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 22.3ක් වූ අතර වාණිජ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 14.7ක් ය.

ව්‍යාපෘති හෝ වැඩසටහන් ණයවලින් අමෙරිකානු ඩොලර් බිලියන 11.7ක් බහුපාර්ශ්වීය ණය වන අතර අමෙරිකානු ඩොලර් බිලියන 10.6ක් ද්විපාර්ශ්වික ණය වෙයි.

එම ණයවලින් ද්වීපාර්ශ්වික ණයහිමියන්ගේ නිල කමිටුවට අයත් රටවල් 17ක අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය සහ චීනයට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 10 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණයට ඊයේ එකඟතාව පළව තිබේ.

මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරුණු මුළු ණය ප්‍රමාණය මෙරට සමස්ත විදෙස් ණය ප්‍රමාණයෙන්  27% ක ප්‍රතිශතයකි.

එම ණයවලින් කොටසකට ගෙවීමට සහන කාලයක් හිමි වන අතර ණය වාරික සහ පොලී ගෙවීමේ කාලයද දීර්ඝ කර තිබේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණය ගැන IMF අදහස මෙන්න !

ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමග ඇතිකරගත් එකඟතා, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය .

පවිත්‍රාගේ ගැසට් එකට එරෙහි  වාරණයක් !

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කර සිටියේ  පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි .

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් විණ.

දළදා වැන්ද ජනාධිපති ගුරුවරුන්ට දුන්න පණිවිඩය මෙන්න !

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදි පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඉදිරියේ දී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා
ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.

එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.

එමෙන්ම පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (27) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර  විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

කලාශිල්පී අතුල හේරත්  විසින් කෘතීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටී ජනතාවගේ ද තොරතුරු විමසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා  මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගැන්වීය.

උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය,

මා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ මල්වතු මහා විහාරය වෙත පැමිණියා. ඔබ වහන්සේලා ලබා දුන් උපදෙස් අනුව රට පාලනය කර අද රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට මට හැකි වී තිබෙනවා. අද මා පළමුවෙන්ම මෙහි පැමිණියේ එම පණිවිඩය ඔබවහන්සේට දැනුම් දීමටයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අප මේවන විට එකඟතා දෙකකට අත්සන් තබා තිබෙනවා.

ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදි බව කිවයුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් දසදහක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට මේ වන විට ලැබී තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.

මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා. සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන සැලැස්මට අනුව පරිපාලන නගරය කුණ්ඩසාලයට ගෙන යාමට කටයුතු කරනවා. එහිදී ඉන්දියානු IIT විශ්වවිද්‍යාලයත් මහනුවර ස්ථාපිත කිරීමට සාකච්ඡා කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේ සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් මඟින් ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලන බෙදීම් අනුව කටයුතු කර මේ රට ගොඩගත නොහැකියි. දේශපාලන වශයෙන් බෙදිලා කටයුතු කළා නම් වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වයට රට ගෙන ඒමට පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම විවිධ කොටස් අපට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකම කොටසක් විපක්ෂයටත් ගියා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කළා නම් රටක් ලෙස අපට මීට වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිව තිබුණා.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාට ආරාධනා කර තිබෙනවා. අද ලෝක දේශපාලනය වෙනස් වෙමින් පවතිනවා. එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය වැනි රටවල ප්‍රධාන පක්ෂ කැඩී යමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ බිඳී යාම පුදුමයට කරුණක් නොවෙයි.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අප එකඟතාවට එළැඹ තිබෙනවා. ගුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ ද වැටුප් වැඩි කිරීම් පිළිබඳ රජයේ අවධානය යොමු කර තිබෙනවා.

ගමකට රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට වඩා සිටියද ආර්ථිකයට ඔවුන්ගේ පුළුල් දායකත්වයක් ලැබෙන්නේ නැහැ. පොල් සම්බන්ධ ආයතනයක් ක්‍රියාත්මක වුවද ලංකාවේ පොල් නිෂ්පාදනය එන්න එන්නම අඩුවෙලා තිබෙනවා. නමුත් කේරළයේ පොල් නිෂ්පාදනය වැඩි වෙමින් තිබෙනවා. ඔවුන් වේගයෙන් අපනයන ආර්ථියකට මාරු වෙමින් සිටිනවා. අපේ මහවැලි කලාප කාර්යාල සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුවද මහවැලි කලාපයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් තුනක පමණ අස්වැන්නක් පමණයි ලබාගන්නේ.

වසර 50ක් තුළ වැවිලි කාර්මාන්තය තුළින් ඉන්දියාව, චීනය වැනි රටවල් විශාල ආර්ථික වාසි ලබා ගනිමින් ඉදිරියට පැමිණ තිබෙනවා. සුදු ජාතිකයන්ගේ කාලයේ තේ, පොල්, රබර් ආර්ථිකයක් පැවතුනා. ඉන් පසුව 1977 විවෘත ආර්ථිකය සමඟ ඇතිකළ ඇගළුම කර්මාන්තය නොවන්නට මේ රටේ ආර්ථිකය මීට වඩා පහළට ඇඳ වැටෙනවා.

ගඩලාදෙනිය, ලංකාතිලකය සහ ඇම්බැක්කේ එක් කරමින් සංචාරක කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා යටිතල පහසුකම් ලබාදීමට පියවර ගන්නවා. බෞද්ධ ශිෂ්ඨාචාර මධ්‍යස්ථානයක් ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ මහනුවර ප්‍රදේශයට ගෙන්වා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඓතිහාසික දළදා මාළිගාව, උඩවත්ත කැලේ හා වික්ටෝරියා වේල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් එවිට දින කිහිපයක් මෙම මහනුවර ප්‍රදේශය තුළ රැඳී සිටිනු ඇතියි.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ බෝගම්බර බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. ඒ වගේම නුවර පරිපාලන කටයුතු කුණ්ඩසාලයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දිගන ප්‍රදේශයට තාක්ෂණ කලාපයක් ලබාදෙමින් මෙම ප්‍රදේශයේ දියුණු තාක්ෂණික දියුණුවත් ඇති කිරීමට කටයුතු කරනවා.

නුවර කොළඹ අධිවේගි මාර්ගයේ කොළඹ සිට මීරිගම දක්වා කොටස චීනයේ සහාය ඇතිව සහ කුරුණෑගල සිට මහනුවර දක්වා කොටස ජපානයේ සහාය ඇතිව නිම කිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටද ඔබවහන්සේලාගේ සහාය අපේක්ෂා කරනවා.

මෙහිදී අදහස් දැක්වු අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඓතිහාසික මුතියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ.

පසුගිය වසර දෙකක ඉතිහාසය අපට මතකයි. ඔබතුමා ජනාධිපති ධූරය භාර ගැනීමට පෙර මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එදා රට තිබුණේ ඉතා අසීරු තැනකයි. ජනතාව පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඔබතුමා සෘජු තීන්දු තීරණ ගෙන රට අද මෙම තත්ත්වට ගෙන ඒමට කටයුතු කළා.

ශ්‍රී ලංකාවට රටක් ලෙස හුදකලාව ජීවත්විය නොහැකියි. ජාත්‍යන්තරය සමඟ එක්ව කටයුතු කළයුතුයි. ඔබතුමාට ඒ පිළිබඳ හොද අවබෝධයක් තිබෙනවා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර රටේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ඔබතුමාට හැකි වුණා. ඔබතුමාගේ විශේෂ ප්‍රකාශය තුළ රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකියි. ඒ සඳහා අප ආශිර්වාද කරනවා. මෙම කාලය නායකයන් අත්හදා බලන කාලයක් නොවෙයි.

රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන උද්ඝෝෂණ ඉදිරි දේශපාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිදු කරන්නක්. මේ සඳහා ගුරු භූමිකාව මැදිහත්වීම, ගුරු වෘත්තියේ ගරුත්වය කෙළසා දමනවා. දරුවන්ට වැරදි පූර්වාදර්ශයක් ගුරුවරුන් විසින් මෙහිදී ලබා දෙනවා.

ගමක් තුළ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. උදාහරණයක් ලෙස පොල් වගාව සම්බන්ධයෙන් ගත් විට නිලධාරින් හතර දෙනෙක් පමණ ගමකට සිටිනවා. නමුත් ඔවුන් ගමට හා ආර්ථිකයට සිදු කරන දායකත්වය නැවත සිතා බැලිය යුතුයි.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස්. ක්‍රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕ.එල්.එම්. තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දාන්නද අලුත්ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් 8,435කට ස්ථිර පත්වීම්

පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඒ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කර තිබෙයි.

 

කොළඹ ගංවතුර ගැන වාර්තා කැඳවයි

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

සාගල රත්නායක  මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක  පැවසීය.

ඒ අනුව ඉදිරියේදී නැවත එවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල් යන අය, අදාළ ආයතන ප්‍රධානීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලුදෙනා ලැබු සුබ ආරංචියක්

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසූ ජනාධිපතිවරයා‍ ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බවත්, ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැක ගැනීමට බිය වූ සහ ඊට කිසිඳු සහායක් ලබා නොදුන් පිරිස් දරුවා වැල් පාලමෙන් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවද කියා සිටියේය.

ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම

ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය.

රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

වැරදි පාරකට හැරුණොත්, නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම පිළිබඳ සියලුදෙනාට අවබෝධයක් ඇති බැවින් එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ජනතාවට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගන්නා තීන්දුවෙන් තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නොව රටේ සහ දරු පරපුරේ අනාගතය බව ද අවධාරණය කළේය.

බංකොලොත්ව, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණු රට තමා ගොඩ ගත්තේ තම පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක්, තමා පත් කළ රාජ්‍ය නිලධාරීන් හෝ තමා පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නොවන බවද පැවසූ ජනාධිපතිවරයා එම කිසිවක් නොමැතිව වසර දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩනැගීමට තමාට හැකිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය

අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා.

අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා.

ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.

Sri Lanka Won …. !!

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.

මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.

මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.

2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.

අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි.

2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ.

මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා.

නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්.

ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.

අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා.

අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා.

සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ.

අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි.

ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා.

මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා.

අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා.

එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ. රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා.

හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා.

මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.

ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්.

“යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි!

මම බය නැතුව වැඩේට අත ගැහුවා.

2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.

  1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.
  2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම.
  3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම.
  4. මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීම


මම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.

සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.

ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්, අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.

අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.

ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.

2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?

එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.
2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.

2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.

ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.

මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.

එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.

ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා. ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.

මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.

කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ.

මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කිහිපයක් ගත වේවි.

නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.

අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ.

අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.

අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.

ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.

අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි. සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.

තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.

සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.

රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි? මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?
මෙන්න මේකයි හේතුව.

ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.

ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.

ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා.

ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.

මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.

එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.

මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද?

මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා. ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.

බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි. ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.

ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද?

මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.

හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා.

නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.

“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම ලැබිය යුතු ය..

රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය…..”

ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.

එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි.

ස්තුතියි.

ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා සාර්ථකව අවසන් කරයි !

ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණ ඇත.

මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණීම සාර්ථකව අවසන් කර තිබේ.

මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතීත්වය ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් දරන ලදී. ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, හංගේරියාව, කොරියාව, නෙදර්ලන්තය, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය මෙම නිල ණය හිමියන්ගේ කමිටුවේ සෙසු සාමාජිකයන් වෙයි.

නිල ණය හිමියන්ගේ සහ චීන එක්සිම් බැංකුව හරහා ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණයවල ඒකාබද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10 කි.

මෑතකාලීනව ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් විදේශ ණය ගෙවීමට නොහැකි විය. ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත වූ අතර, ණය තිරසාර නොවන රටවලට ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට සිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට සමගාමීව ආරම්භ කිරීම අවශ්‍ය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය (Debt Sustainability Analysis – DSA) ආරම්භයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ණය සහන මට්ටම තීරණය කරනු ලබයි. ඉන් අනතුරුව, අදාළ ණයහිමියන් සහ ණයගැතිභාවයට පත්වී ඇති රට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මඟින් පෙන්වා ඇති ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය ණය සහන සපුරාලන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මඟින් දක්වා ඇති ඉලක්ක මත පදනම්ව, ලබාදෙනු ලබන ණය සහන, රටින් රටට වෙනස් වේ.

විවිධ ණය හිමියන් විවිධ ක්‍රම මඟින් ණය සහන ලබාදෙයි. නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව වැනි නිල ණය හිමියන්, ගෙවීම් කාලය දීර්ඝ කිරීම (ණය කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම) සහ පොලී අනුපාත අඩු කිරීම හරහා ණය සහන සලසනු ලැබේ.

නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් දෙකම සැලකිය යුතු කල්පිරීමේ කාල සීමාවන් දීර්ඝ කිරීම, ප්‍රාග්ධනය සඳහා සහන කාලසීමාවන් ලබාදීම සහ පොලී අනුපාත අඩු කිරීම් යන කරුණු ඔස්සේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ණය සහනයක් ලබා දෙයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් සහ අනාගතයේ දී ණය ගෙවීමේ හැකියාව වැඩිදියුණු වන තෙක් කෙටි කාලීනව ශ්‍රී ලංකාව සඳහා පවතින ගෙවීම් බර අඩු කර තිබේ.

මෙය ප්‍රමාණාත්මකව තක්සේරු කිරීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ වන ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් ක්‍රියාත්මක කාල සීමාව තුළ ගෙවිය යුතු ඔවුන්ගේ අදාළ ණය ප්‍රමාණයෙන් 92% දක්වා ණය සහන ලබා දෙයි.

එක් එක් ණයහිමියා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය මගින් දක්වා ඇති ඉලක්කය සපුරාලිය යුතු අතර අනෙකුත් ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සමඟ ද සන්සන්දනාත්මක විය යුතු වේ.

මීළඟ පියවර ලෙස ශ්‍රී ලංකාව වාණිජ බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවන්ට පැමිණීම කඩිනම් කරනු ඇතියි. නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කිරීම මෙම ක්‍රියාවලිය පහසු කරනු ඇත.

අද එළැඹුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවල පහත සඳහන් ප්‍රතිලාභ ඇතුළත් වේ.

  1. මූල්‍ය සහන:

ශ්‍රී ලංකාවේ බදු ආදායම, ණය ගෙවීම් වෙනුවට අත්‍යවශ්‍ය පොදු සේවා සඳහා යොදා ගත හැකි අතර, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා කාලය ලබා දෙයි.

  1. විදේශ මූල්‍යකරණය:

ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ද්විපාර්ශ්වික මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කළ හැකිය. අයවැයේ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය සහාය සම්බන්ධයෙන් වන කෙටි කාලීන විදේශ මූල්‍ය පහසුකම් සලසා ගැනීම සම්බන්ධයෙන් මෙමගින් සැලකිය යුතු බලපෑමක් සිදුවේ.

එය ඉදිකිරීම් වැනි අංශ සඳහා ධනාත්මක බලපෑම් ඇති කරන අතර වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මධ්‍ය කාලීනව සිට දිගු කාලීනව ධනාත්මක බලපෑම් ඇති කරයි.

  1. ණය ශ්‍රේණිගත කිරීම්:

නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිගමනය, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරකි. වාණිජ බැඳුම්කර හිමියන්ගේ ණය ද කඩිනමින් ප්‍රතිව්‍යුහගත කළ පසු, එය ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට මග පාදයි. නිල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිගමනය විදේශ මූල්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශය සහ අඩු පිරිවැය යන ආකාරවලින් සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙනු ඇතියි. එය වෙළඳ මූල්‍යකරණයේ සිට අන්තර් බැංකු අරමුදල් සලසා ගැනීම දක්වා සියලු අංශ කෙරෙහි බලපායි.

මහේල ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන  ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ 2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පරාජයට පත්ව පළමු වටයෙන්ම ඉවත්වීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවෙමින් ඇති පසුබිමක ය.

එසේම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවය.

ගුරු-විදුහල්පති හෙටත් ලෙඩ වෙනවලු !

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවය. එහිදී විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එම විරෝධයට කඳුළුගැස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

Page 56 of 459