V2025

පුවත්

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

රාජිත‍ගේ සහයත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න  ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසයි.

ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

වෛද්‍ය රාජිත සේනාරත්න අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.

ජල ගාස්තුත් අඩුවෙයි

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව, ගෘහස්ථ කාණ්ඩය සඳහා 7%කින් ද, රජයේ රෝහල් සඳහා 4.5%කින් ද, පාසල් හා ආගමික ස්ථාන සඳහා 6.3%කින් ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව රජය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023.8.1 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීමට 2024.7.15 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

water b

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර තිබෙයි.

එම වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

C2 1

පොහොට්ටුවේ රත්නපුර නායකයා වෙන්න : චොකා මාරුවෙයි !

පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකරමින් එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් නාමල් පාර්ශ්වයට එක්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබාගෙන රාජ්‍ය අමාත්‍යවරයා මෙම පිල් මාරුව සිදුකිරීමට තීරණය ගෙන ඇත.

මෙම යළි සිදුකිරීමට යන පිල් මාරුව පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් හෙට (13) පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත බවත් එහිදී තමන් පළමුව පක්ෂය අත් හැර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට ගියේ, ධම්මික පෙරේරා ට පක්ෂ අපේක්ෂකත්වය දීම නිසා වුවත් මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂ අපේක්ෂකත්වය ලබා ඇති බැවින් ඊට සහාය දෙන බවත් හෘද සාක්ෂිය එය බවත් පැවසීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ජනපති රනිල්ගේ පළමු රැලිය 17 අනුරාධපුරේ : පොහොට්ටු බලකොටුවේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමෙන් පසුව පවත්වන මංගල මහා ජන රැලිය එළැඹෙන සෙනසුරාදා (17) පස්වරු 2.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබාගැනීමෙන් පසුව පවත්වන පළමු දේශපාලන රැලිය මෙය වන බවයි.

මේ සඳහා බහුතර පක්ෂ නියෝජිතයන් සහ සංවිධාන මේ අවස්ථාවට එක්වීමට නියමිත බවත් අනුරාධපුරයේ පැවැත්වෙන මෙම ජන රැලිය මහත් ජන සහභාගීත්වයක් ඇතිව සංවිධානය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

රැලියට සහභාගී වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී මහා බෝධිය වෙත ගොස් ආශීර්වාද ගැනීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් ජන රැලි පවත්වන්නේ පොදුජන පෙරමුණ විසින් වන අතර එය මෙතෙක් එම පක්ෂයේ අනන්‍යතාවයක් වූ බවයි. නමුත් මෙවර එම අනන්‍යතාවය පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙතින් ගිලිහී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානය වෙත අත්පත්ව ඇති බව ද විචාරකයන් පෙන්වා දෙයි.

වතු සේවක දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇතැයි වාර්තා වේ.

ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.

ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.

මේ අතර වැටුප් ප්‍රශ්නය මහාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, සෙන්දිල් තොණ්ඩමන්  අධිකරණයේ සඳහන් වැරදි නිවැරදි කර වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට ස්තූතිය පුද කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වතු සේවකයින් සඳහා රුපියල් 1,700ක වැටුපක් යෝජනා කර ඇති බවත් එය ජනතාවගෙන් ලබාගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට පැවරී ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන්  පැවසීය.

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.

එහි දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (අගෝ. 12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය.

ඒ හේතුවෙන් අකුණු පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

weather report agu 12 768x1086

අලි සබ්‍රිට අධිකරණ ඇමති ධූරයත්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අලි සබ්‍රි  දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ජූලි 29 වන දා ඉල්ලා අස් විය.

ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා ඔහු මෙලෙස අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබිණි.

ඩිජිටල්කරණය කියන්නෙ කළුලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝර්ඩ් එකක් මාරු කරන එක නෙවෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.

අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති, පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

චිනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක්

‘‘ඩිජිටල්කරණය කියන්නෙ බෙහෙවින් පුළුල් වූ අර්ථයක් සහ දැක්මක් සහිත ක්‍රියාවලියක්. මගේ මැදිහත් වීමෙන් මෙරට සාමාන්‍ය අධ්‍යාපනය පාසල් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විස්සක ප්‍රදානයක් චීන රජයෙන් ලැබිල තියෙනවා. ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙනවා.

ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දිමට කටයුතු කර තිබෙනවා. මේ වෙද්දි ඊට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතිනවා. අපිට විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතුයි.

අධ්‍යාපනයට ඉහළ, ගුණාත්මක සංවර්ධනයක්

චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කරල අවසන්. අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ත්තත්වය කරා ළඟා වීම සඳහා අප මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතුයි. ඒ අනුව අපි 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් අභියෝග මැද මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලි ද අතනොහැර ඉදිරියට රැගෙන ආවා. මේ වන විට මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතිනවා. ඒකෙ අරමුණ තමයි, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම.

පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා ම තොරතුරු තාක්ෂණය සමග ම කෘත්‍රීම බුද්ධි විෂයත් ද උගන්වන්න කියල පාර්ලිමේන්තුවේ දී ඉල්ලීම් ඉදිරිපත් වුණත් ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ ව යු‍නෙස්කෝ සංවිධානයේ මූලික අධ්‍යාපන නිර්ණායක හා නිර්දේශ කෙරෙහි අවධානය යොමු කරන්න එහි දී අපිට සිද්ද වෙනවා. ඒ නිසා පළමුවෙන් ම අපි මේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුයි.

ගුරුවරුන්ගේ වගකීම

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වසර තුනක දී මේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරාට පස්සෙ ප්‍රවීණයන් කණ්ඩායමක් සමග එක් මධ්‍යස්ථානයක සිට සියලු‍ ම පාසල්වලට දැනුම බෙදා හැරීමේ ඉඩ ප්‍රස්ථා විවර වෙනවා. ඒ වැඩ පිළිවෙළ නිසා හදිසියේ ගුරුවරුන් අසනීප වුනත් අධ්‍යාපන ක්‍රියාවලිය බාධාවකින් තොර ව පවත්වාගෙනයන්න පුළුවන්. එනිසා ගුරුවරුන්ගේ වගකීම වන්නේ දරුවන් පාසලට ගෙන්වා ගැනීමට අභිප්‍රේරණයක් වෙන විදියට වේගයෙන් ඉදිරියට යන දරුවන්ට පෙරමග පෙන්වන්න පුළුවන් තාක්ෂණයෙන් නිපුණ, ගුණාත්මක සංවර්ධනයක් ගුරු භූමිකාව තුළ ඇති කරගැනීම යි’’

(සටහන - ජයසිරි අලවත්ත)

මීඩියා හෙඩ් ගේ විරෝධය නිසා හිරුනිකාට තැන නැති වෙලා !

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව සමඟ පුරප්පාඩු වූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් කිසිවෙකු පත් නොකිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අදාළ මන්ත්‍රී ධූරය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත ලබාදෙන බවට මීට පෙර සජබ නායක සජිත් ප්‍රේමදාස සහතික කර තිබුණත්, මේ වන විට සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැපවී සිටින පෞද්ගලික මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුගේ බලපෑම මත මේ ආකාරයට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙත අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අහිමි වන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඊට අදාළ මාධ්‍ය වාර්තා රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඇසුරේ සංසරණය වෙයි.

රනිල් දිනවන දිස්ත්‍රික් ගේමට ආදර්ශයක් ප්‍රසන්න ගම්පහින් දෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි ඒකාබද්ධ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු පත් කර ඇත.

ඊයේ(10) සහ අද (11) මෙම කමිටු පත් කිරීම සිදු කෙරුනේ ඇමති ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම කමිටු පිහිටුවීමේදී පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂවල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් කර තිබේ.

ගෙයින් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම, අදාළ ආසන මට්ටමින් සංවිධානය කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටුවලට පැවරේ.

ජනාධිපතිවරයාට සහාය පළ කරන ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයින්ගෙන් සමන්විත ගම්පහ දිස්ත්‍රික් ජනාධිපතිවරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව පත්කිරීම සිදුකෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දාය(08). ඒ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටුවේ නායක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රධානත්වයෙනි .

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක රුවන් විජේවර්ධන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකයෝ සහභාගි වූහ .

කාලයක් දේශපාලනිකව විරසක වී සිටි මේ පිරිස එකම අරමුණක් වෙනුවෙන් එක්ව සිටීම සුවිශේෂී සිද්ධියක් විය.

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පත් කර ගැනුණු පළමු ඒකාබද්ධ කමිටුවද මෙයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රධානීන් බොහෝ දෙනෙකු එකට එකතු වී තිබෙන බවත්, දැන් පක්ෂයේ දෙවැනි පෙළද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වෙමින් සිටින බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය.

ඇමතිවරයා අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රාජපක්ෂ කෑල්ල ගැලවී ඇති නිසා ඉදිරි දින කිහිපය තුළ තවත් පිරිස් ජනාධිපතිවරයාට සහය පළකරනු ඇති බවය.

එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“කාලයක් නයි මුගටි දේශපාලනය කරපු අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක්. ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්ද වනු ඇති මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කිසිම දේශපාලන පක්ෂයක ලාංඡනයක් අපි ගන්නේ නැහැ. අපි යන්නේ එක්ව ජයගමු කියලා තේමා පාඨය ඔස්සෙයි. නමුත් අපි අතර අර්බුධ ඇති කරන්න යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරාවි. අපේ එකම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමයි. ඒකට හැමෝගම සහය අවශ්‍යයි.

ඉකුත් මහා මැතිවරණයේදී ලක්ෂ 20ක් ඡන්ද පාවිච්චි වුණේ නැහැ.එතන තිබුනේ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. මොකද ජනාධිපතිවරණ පරාජයත් සමඟ ඔවුන් මහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ නැහැ. අපි ඔවුන් ඡන්ද පොළට ගේනවා ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අඩුම තරමින් ඒ ඡනද ලක්ෂ 10ක්වත් අපි ඡන්ද පොළට ගෙන්වා ගන්න ඕන. ඒ ඡන්ද ලබාගන්න නම් අපි ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒක ඉතාම සංවිධානාත්මක සිදුවිය යුතුයි.

මතක තියා ගන්න බඩු බෙදුවට වැඩ කරාට ඡන්දය දිනන්න බෑ. 2015 දී සිල් රෙද්ද පවා අපි දුන්නා. ඒත් මහින්ද මහත්තයා පරාදයි. මෛත්‍රීපාල සිරිසේන මහතා දින්නේ එදා තිබුණ මතවාදයත් එක්ක. යහපාලනය කියන මතවාදය එදා ගොඩනැගුවා. මේ වෙනකොට රනිල් රාජපක්ෂ කියන කෑල්ල ගැලවිලා ඉවරයි. දැන් සජිත් රාජපක්ෂ බවට පත්වෙලා තියෙනවා. ඇත්තම කතාව නඩු හබ ටික බේර ගන්න. සජිත්ව දිනව ගන්න. ඒ කටයුත්ත කරන්නයි ධම්මික පෙරේරාව ගේන්න හැදුවේ. ධම්මික පෙරේරට තේරුණා එයාව ඒ සඳහා පාවිච්චි කරනවා කියලා ඒකෙන් අයින් වුණා.

බැසිල් රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක දිගටම වැඩ කරගෙන ගියා. නමුත් එය අතරමඟදී ඉවත් වෙන්න තීරණය කළා. කළගුණ දන්න අපි මෙතන නතර වුණා. දැන් මොන ප්‍රශ්නෙ ආවත් අපිට ආපසු හැරෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය නැවත ජනාධිපතිවරයා කරලයි අපි පස්ස බලන්නේ. දිස්ත්‍රික් කාර්යාල ආසන කාර්යාල පිහිටුවීමේදී පොදු තැනක් ගන්න ඕනේ. අපේ ගෙදර තියෙන කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ අය එන්න කැමැති වෙන්නේ නෑ. මොකද පසුගිය කාලේ අපි අතර විරසකයක්නේ තිබුණේ. මේ හැදෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. අපි එකඟ වුණාට තාම ගම එහෙම වැඩ කරන්න හුරු නෑ. හුරු කර ගන්නකන් පොදු තැන් හදුනා ගන්න ඕනේ.

අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා සහභාගී වෙන ප්‍රධාන රැස්වීම් හතරක් කරන්න.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හිටපු පළාත් සභා නියෝජිතයන් හා පළාත් පාලන අපෙක්ෂකයන් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර

ශ්‍රී ලංකාව මේවන විට නව ආර්ථික යුගයකට !

ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බවත් ලබන වසර මැද භාගය වන විට මෙරට ආර්ථිකය මීට වඩා දියුණු තත්ත්වයකට පත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ හමුවකට ඊයේ  (10) මහනුවරදී එක් වෙමිනි.

ව්‍යාපාරවලට බලපා ඇති නීති රෙගුලාසි බොහොමයක් ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ව්‍යාපාරිකයන්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා පළාත්වල ආර්ථික බලය විමධ්‍යගත කිරීම සඳහා පළාත් ආර්ථික සංවර්ධන මණ්ඩල පිහිටුවීමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

මහනුවර මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා එම වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට මහනුවර සිංහල, දෙමළ මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

සිය ව්‍යාපාර ගැටලු මෙහිදී එම නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ යෝජනාවලියක් ද භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අද මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කෙරුණා. අප දැන් රටක් ලෙස ප්‍රවේශ වී සිටින්නේ නව යුගයකටයි. පළමු වතාවට රජය දේශීය ණය ලබා ගැනීම නවත්වා තිබෙනවා. ඒ වෙනුවෙන් අපට නව ආදායම් මාර්ග සෙවිය යුතුව තිබෙනවා. එම ආදායම් මාර්ග ලබා ගැනීම වෙනුවෙන් සංස්ථාවලට මුදල් යොදවන්නේ නැතිව මිල සුත්‍රයකින් මුදල් උපයා ගන්නා ලෙස සමාගම්වලට දැනුම් දී තිබෙනවා. ඛනිජ තෙල් අංශයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ එය සාර්ථක වී තිබෙන අතර ලෝක මිල තත්ත්වයන් අනුව ඉන්ධන සහ විදුලිබලයේ මිල නියම කිරීම සිදු වෙනවා.

ඒ වගේම වැට් බදු වැඩි කිරීම නිසා 2023 වසරේ සහ 2024 වසර මුල් කාලය සියලුදෙනාට අසීරු කාලයක් වුණා. නමුත් දැන් ආර්ථික ටිකෙන් ටික හොඳ අතට හැරෙමින් තිබෙනවා. ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ලබා ගැනීමට අපට හැකි වූ අතර එය හොඳ තත්ත්වයක් බව කිවයුතුයි. මෙය පුද්ගලික අංශයට ද බලපානවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මසකට වරක් සාකච්ඡා කරනවා. අප ලබා ඇති ප්‍රගිතිය එහිදී පෙනෙන්නට තිබෙනවා.

මේ අයුරින් අද රටේ ආර්ථික දියුණු වෙමින් තිබෙනවා. මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී තිබෙනවා. නමුත් ලබන වසරේදී වාහන ආනයනයට ඉඩ දීම සමඟ එම විදේශ සංචිත ප්‍රමාණය අඩු විය හැකියි. නමුත් වාහන ආනයනය නොකර සිටීමටද හැකියාවක් නැහැ. මෙම ප්‍රශ්න අප කෙටිකාලීව විසඳාගත යුතුව තිබෙනවා.

සමස්ථයක් ලෙස අද රටේ ආර්ථිකය දියුණු වෙනවා. අප රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආදායම් අධිකාරිය ස්ථාපිත කර මෙම වැඩකටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම එම නිලධාරින්ට අවශ්‍ය පුහුණුව ද ලබා දිය යුතුව තිබෙනවා. රටේ ආදායම් ඉහළ ගොස් ආර්ථිකය දියුණුවන විට බදු අය කිරීම්ද ඒ අනුව සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම සහන ලබාදීම පිළිබඳවත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරනවා.ඒ වගේම බැංකුවලට අදාළව අලුත් නීතියක් ද ගෙන එනවා. එහිදී ණය පතිව්‍යුහගතකරණය කරන අයට එම කටයුතු ඉදිරියට කරගෙන යා හැකියි. ඒ වගේම බැංකුවල තිබෙන බොල් ණය ඉවත් කළ යුතුයි. අලුතින් ප්‍රාග්ධනය ද ලබාගත යුතුව තිබෙනවා. එම කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ දේශීය ණය අඩු කරගෙන ඉදිරියට යා හැකි තත්ත්වයකට අප පැමිණ තිබෙනවා.

ව්‍යාපාරිකයන් මුහුණ දී තිබෙන ප්‍රශ්න පිළිබඳව ද මට හොඳ අවබෝධයක් තිබෙනවා. අප මෙම ප්‍රශ්න විසඳාගෙන ක්‍රමනුකූලව ඉදිරියට යා යුතුයි. ලබන වසර මැද වන විට රටේ ආර්ථිකයේ මීට වඩා හොඳ දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ වගේම ව්‍යාපාර නව නීතිවලට ඇතුළත් කිරීමට හා තිබෙන නීති රෙගුලාසි බොහොමයක් අඩු කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා සාකච්ඡා කර මෙම නව ක්‍රමවේදය සකස් කර ගමු. ඒ වගේම ආර්ථික කොමිසම ඇති කිරීමට ද අප කටයුතු කරනවා. දේශිය ව්‍යාපාරිකයන්ට එක් ස්ථානයකදී තම කටයුතු ඉටු කර ගැනීමට වෙනුවෙන් දැනට තිබෙන ආයතන එක් කර එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ඇති කරනවා. එහිදී ප්‍රාදේශීය වෙළෙඳ මණ්ඩල තවත් ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය විමධ්‍යගත කරන විට එය අවශ්‍යයි. පළාත් සංවර්ධන මණ්ඩල ඇති කිරීමට ද මම යෝජනා කර තිබෙන අතර අනෙකුත් පක්ෂද ඊට එකඟතාව පළ කර තිබෙනවා.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප ජපානය සමඟ සාකඡා කර තිබෙනවා. මහනුවර කේන්ද්‍රස්ථානය කර ගනිමින් මධ්‍යම පළාතේ ආර්ථිකය ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අඩුම තරමින් සංචාරකයෙක් රාත්‍රින් 03ක් වත් මහනුවර ගත කරන අන්දමින් එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සකස් කළ යුතුය . එහිදී ප්‍රධාන හෝටල් කිහිපයක්ම මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශය විශාල දියුණුවක් ඇතිවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ පිහිටි උඩවත්ත කැලේ සංචාරක ආකර්ශණයට ලක් කළ යුතුයි. බෞද්ධ ශිෂ්ඨාචාරය කේන්ද්‍රයක් ද මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. සෑම බෞද්ධ රටකම තිබෙන විහාරස්ථාන එම ආකෘතියට අනුව එහි ස්ථාපිත කිරීමට නියමිතයි. ඒ වගේම නුවරඑළිය දියුණු කිරීම වෙනුවෙන්ද නව වැඩසටහන් රැසක් අප සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන් සමඟ මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම මහනුවර තාක්ෂණය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැඟීමට ද අප අපේක්ෂා කරනවා. තවද නව විශ්වවිද්‍යාල කිහිපයක් මේ පළාතට ලැබෙනු ඇතියි. එසේම මධ්‍යම පළාත තුළ පුළුල් කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන ආර්ථිකයකට මේ පළාත සූදානම් කළ යුතුයි. මහනුවර මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානක් ලෙස ගොඩනැඟීමේ සැලසුම් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද කිවයුතුයි. ඒ සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ද මම බලාපොරොත්තු වෙනවා.

මහනුවර සිංහල වෙළඳ සංගමයේ සභාපති යසස් චන්ද්‍රසේකර, ලේකම් නදීච් වීරරත්න, මහනුවර දෙමළ වෙළෙඳ සංගමයේ සභාපති එම්. කුමාරදාස, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපති සලිම් ඩීබ් මහත්වරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ තීරණය කර ඇත.

ඒ බව ඇය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සජබ නායක සජිත් ප්‍රේමදාස හමුවී සඳහන් කර තිබේ.‍

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගිය සමයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා ගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානය සමඟ බවයි. එහෙත් පසුගිය සමයේ ඇය නිහඬ නිශ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔවුන් පවසයි.

කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.

පොහොට්ටුවෙන් සහායට එන අයට ජනපතිගෙන් රක්ෂණයක් : අලුත් පක්ෂයකුත් කරළියට !

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ ඊයේ (10) සංවිධානය කර තිබු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදි අගය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට කැපවන බවට ද සහතික වුහ.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පැවසීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජානක වක්කුඹුර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240810 WA0022

සජබ හිටපු විජේමුනි රනිල්ගේ සහායට ඇවිත් !

හිටපු අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දීමට තීරණය කර ඇත.

මෙම තීන්දුව ගන්නා විට ඔහු සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකයකු ලෙස දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදෙමින් සිටියේ ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය වෙත කිසිදු නිර්නායකයක් නොමැතිව රාජපක්ෂ කඳවුර නියෝජනය කළ දුෂ්ඨ උපදේශකයන් එක්කර ගැනීම මෙම තීන්දුව ගැනීමට හේතු වී තිබේ.

එසේම රට ඉතිහාසයේ මුහුණදුන් දුෂ්කරම ආර්ථික අර්බුදයට මුහුණදී සිටියදී කිසිවෙක් ඒ පීඩනයෙන් ජනතාව මුදවා ගැනීමට ඉදිරිපත් නොවීමත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ ඉදිරිපත් ව මේ වන විට රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ඇති බැවින් , ඉදිරි වසර 5ක කාලය සඳහා ද ඔහුට අවස්ථාව ලබාදිය යුතු බව පවසමින් හිටපු අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත.

මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සඳහා වූ ඡන්ද සලකුණු සහිත ගැසට් නිවේදනය මේවන විට නිකුත් කර ඇත.

ඒ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ද තහවුරු කර ඇත.

එය උප ලේඛන 01 හා උප ලේඛන 02 ලෙස කොටස් දෙකකි.

උප ලේඛන 01හි සඳහන් වනුයේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සඳහා නිකුත් කර ඇති ඡන්ද සළකුණුය.

උප ලේඛන 02 හි සඳහන් වනුයේ ස්වාධීනව තරග කරන අපේක්ෂකයන්ට ලබාගත හැකි සලකුණු බව මැකොස පැවසීය.

2395 07 S ව images 0

2395 07 images 1

2395 07 images 2

2395 07 images 3

2395 07 images 4

නාමල් සුමන්තිරන් හමුවක් !

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද පැවැත්විය.

ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ගේ කොළඹ පිහිටි නිවසේදීය.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිව සිටියේ ය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර ඇති බව දැනගන්නට ඇත.

ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Page 55 of 473