පුවත්
වැස්සත් සමඟ හිස ඔසවන ඩෙංගු මඩින්න කඩිනම් පියවර !
වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.
මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළේය.
සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මීඨ ඉහතදී පවත්වන ලද සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම හා ඒවායේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරිණ.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ඩෙංගු පාලනය කිරීම සඳහා සාගල රත්නායක මහතා විසින් ලබා දෙන නායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් අගය කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල සඳහා සිය උපරිම සහාය ලබා දෙන බවද පැවසීය.
මීට අමතරව කොළඹ නගරයේ ඇති අවදානම් සහිත ගස් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අතු කපා දමා අවදානම අවම කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. කෙසේ වුවද කපා දමන ගස් වෙනුවෙන් නව පැලයක් සිටුවීමේ වැඩපිළිවලක් සකස් කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද සාගල රත්නායක උපදෙස් දුන්නේය.
එසේම පිරිසුදු සහ ආකර්ශණිය වෙරළ තීරයක් පවත්වා ගැනීම මෙන්ම අපජලය මුහුදට මුදා හැරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක්ද අද (20) පෙරවරුවේ සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
රේඛීය අමාත්‍යාංශවල නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවලට එක්ව සිටියහ.
ගෝලීය උතුරේ අවාසනාවන්ත අසමත්කම ජනපති පෙන්වාදෙයි
යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.
ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.
සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.
1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි
ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.
10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.
සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.
මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,
10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.
“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.
ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.
දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.
මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.
ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.
ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.
දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.
2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.
යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.
අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.
එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.
මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.
මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.
නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.
එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.
දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.
ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.
එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.
ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.
මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19) පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
බන්ධනාගාර නිලධාරින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (මැයි 20) පස්වරුවේ අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ඔහු මේ බව පැවසීය.
කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරින් අද අධිකරණයට ඉදිරිපත් කළ යුතු චූදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර බන්ධනාගාර නිලධාරින් යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට බැඳී සිටින බව ඔහු සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදු කළත් බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදුව නොමැති අතර ඔවුන්ගේ වැටුප් වැඩීවීම පිළිබඳව 2023 ඔක්තෝම්බර් මස 9 වන දා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කළ බව ය.
“කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරින් අද දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු චූදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. බන්ධනාගාර නිලධාරින් යුක්තිය පසිදලිමේ ක්‍රියාවලියට බැදි සිටිනවා. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරින්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමේ හැකියාවක් නැහැ. අධිකරණයට වගකීම් ඉටු නොකිරීම පිළිබඳව කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවි ද? යන්න ප්‍රකාශ කරන්න බැහැ. 2013 වසරට පෙර පොලිස් සේවයේ නිලධාරින්ට සහ බන්ධනාගාර නිලධාරින්ට සම මට්ටමේ ආකාරයෙන් වැටුප් වැඩීවීම් සිදු කර තිබෙනවා. එහෙත්, 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදු කළත් බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩිවීමක් සිදුව නැහැ. ඒ නිසා වැටුප් විෂමතාවයක් තිබෙනවා. අපි මේ ගැටලුව පිළිබඳව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. අවධානය යොමු කළා. බන්ධනාගාර නිලධාරින්ට වැටුප් වැඩීව්ම පිළිබදව 2023 ඔක්තෝම්බර් මස 9 වන දා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කළා.”
බන්ධනාගාර නිලධාරින් රුපියල් 20,000ක දීමනාව වෙනුවට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට යෝජනා කළ අතර ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කළ බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.
“බන්ධනාගාර නිලධාරින් රුපියල් විසි දහසක දීමනාවක් ඉල්ලා සිටියා. නමුත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කළා. රුපියල් විසි දහසේ දීමනාව වෙනුවට රුපියල් පහලොස් දහසක දීමනාවක් ලබාදීමට යෝජනා කළා. ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේ සමස්ත රාජ්‍ය සේවයට ම රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට රජය විසින් තීරණය කළා. නමුත් බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනාව වැඩිවීම පිළිබඳව අවස්ථා කිහිපයකදි අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ වැටුප් ගැටලුව මුල් කර ගනිමින් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව අපි පිළිගන්නවා”
රටේ පවතින ආර්ථක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ත් බන්ධනාගාර නිලධාරින්ගේ ප්‍රශ්නය නොසලකා හැර නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය.
“නමුත් රටේ පවතින ආර්ථක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු යි. ඒ නිසා එම ඉල්ලීම් ඉටු කිරීමට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව අපි අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරනවා. අපි ඔවුන්ගේ ප්‍රශ්නය නොසලකා හැර නැහැ.”
2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරි සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණ අතර 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ නිසා, බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදු වී ඇති බව ත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ඔවුන්ගේ ඉල්ලීම්වලට යුක්තිය හා සාධාරණත්වය ඉටු කළ යුතු බවට අපි පිළිගන්නවා. නමුත් අධිකරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඔවුන් අද දිනයේ සේවයට වාර්තා කර සැකකරුවන් අධිකරණයට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාර නිලධාරින්ගේ අතිකාල දීමනාව සීමා කර තිබුණා. ඒ ගැටලුවට විසදුම් ලබාදීමට කටයුතු කළා. 2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරී සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණා. නමුත් 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතු යි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නවා”
දිස්ත්‍රික්ක 09 ක නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
පවතින අධික වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 9ක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂ සංවිධානය පියවර ගෙන තිබෙයි
ඒ අනුව අද පස්වරු 12 සිට හෙට පස්වරු 12 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි එම සංවිධානය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් 2 (ඇම්බර් වර්ණය) නිකුත් කරමින් අවදානයෙන් සිටින බව දන්වා තිබෙයි
අනතුරු ඇඟවීම් 1 විමසිලිමත් (කහ) වර්ණය නිකුත් කරමින්,
බදුල්ල දිස්ත්‍රික්කයේ – ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල,
කොළඹ දිස්ත්‍රික්කයේ – පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය,
ගම්පහ දිස්ත්‍රික්කයේ – අත්තනගල්ල,
කළුතර දිස්ත්‍රික්කයේ – දොඩන්ගොඩ, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කයේ – ගගවට කෝරළය, උඩුදුම්බර, යටිනුවර, උඩපලාත, උඩුනුවර, ගග ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ – යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ – අලව්ව, නාරම්මල, පොල්ගහවෙල
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, – රත්නපුර, ඉඹුල්පේ, කලවාන, කිරිඇල්ල, කුරුවිට, ඇහඅළියගොඩ, අයගම, ඇලපාත
යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙලෙස නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
ජනපති රනිල් සහ ඊලොන් මස්ක් අතර හමුවක් !
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) ගේ ආරාධනය පරිදි ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ලෝක ප්‍රමුඛ ධනවතෙක් මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් වන ඊලොන් මස්ක් (Elon Musk) හමුව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට අද (19) මෙම හමුව සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.
ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව ඇත.
අනුර -සජිත් විවාදයට : රනිල් ගිනි පිඹියි !
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ විවාදයට මේ වෙනකොට බාලගිරි දෝෂය. වැඩේ හැමදාම කල් යනවා. ඔන්න මේ වෙනකොට තිබුන තත්වය තමයි, මැයි 20 ට පෙර විවාදය පැවැත්වීම. ඕන විවාදයක් මැයි 20 ට පෙර පවත්වන්න ඕන බවත්, ඊට පස්සේ සජබ කියන කියන දවස් වලට විවාද ගැන කියවමින් ඉන්න තමන් සූදානම් නැති බවත් ජාතික ජනබලවේගය පාර්ශ්වය සඳහන් කළා.
නමුත් ඔන්න අද (19) තමයි සජබ පාර්ශ්වය විවාදයේ දවස මාරු කරලා නිවේදනයක් නිකුත්කරලා තියෙන්නේ. කොහොම නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ විවාදය ගැන උනන්දුවෙන් ඉඳලා තියෙනවා. ඒ ගැන ජනාධිපති දක්වපු ප්‍රතිචාරයක සඳහන් කරලා තියෙන්නේ අනුරගේ අභියෝගය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස විසින් පිළිගත යුතුව තිබූ බවයි.
මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා විසින් එය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරලා.
දේශපාලන ආරංචිමාර්ග නම් කියන්නේ අනුර එක්ක විවාදය සජිත් මඟ හැරියා වගේම , ආර්ථික කමිටු අතර විවාදයත් ඒ නිසාම නොකෙරෙන තැනට පත්කරා වගේ පේනවා කියලා. ඔය කතා මොනවා වුණත් සජබ ජාජබ දෙගොල්ලොම වැඩේ මඟ හැරියා කියලා කියන අය තමයි වැඩි.
දේශපාලන වාර්තාකරු
අනුර - සජිත් විවාදයේ දවස මාරු වෙයි : වැඩේ විගඩමක් වෙයි !
2024 ජනාධිපතිවරණය මුල් කරගනිමින් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂය අතර පැවැත්වීමට නියමිත විවාදයට අදාළ තවත් දින කිහිපයක් සමගි ජනබලවේගය පක්ෂය විසින් නියම කර ඇත.
එම ලිපිය අනුව එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇත.
නමුත් ගැටලුව වී තිබෙන්නේ මේකී විවාදය සඳහා ජාතික ජනබලවේගය නියම කළ අවසන් දිනය හෙට (20) වීමය. එම දිනය ප්‍රකාශයට පත්කරමින් ජාතික ජනබලවේගය පක්ෂය දැනුම්දී සිටියේ මැයි 20 ට පෙර ඕනෑම මොහොතක ඕනෑම විවාදයකට තම පාර්ශ්වය සූදානම් බවත් ඉන් අනතුරුව විවාද සම්බන්ධ කතා අවසන් කරන බවය.
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික ජනබලවේගය නියම කළ දිනය අවසන් වන මොහොතේ තවත් දින නියම කිරීම සජබ විසින් සිදුකළ අපරිණත දේශපාලන ක්‍රියාවක් බවයි. අවසාන දිනයට පෙර අදාළ දිනය සංශෝධනය කර ගැනීමට අවස්ථාව පැවති බවත් එහිදේ පෙන්වාදෙන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ දෙපාර්ශ්වයම අදාළ විවාදය සඳහා සත්භාවයෙන් කැපවූ බවක් නොපෙන්නු බවයි. එබැවින් දැන් මෙය හරවත් විවාදයකට වඩා නාඩගමක් බවද ඔවුන් පවසයි.
දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් !
දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරන ආකාරයට අද (19) අලුයම 03.00 සිට හෙට (20) අලුයම 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසීය.
🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
- ඇල්ල
🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- හපුතලේ
- හාලි ඇල
- බදුල්ල
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
ගම්පහ දිස්ත්‍රික්කය:
- අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- පාලින්දනුවර
- බුලත්සිංහල
- අගලවත්ත
- මතුගම
- වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
- ගඟවට කෝරළය
- උඩුදුම්බර
- යටිනුවර
- උඩපළාත
- උඩුනුවර
- ගඟ ඉහළ කෝරළය
- පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- යටියන්තොට
- මාවනැල්ල
- දෙහිඹ්විට
- බුලත්කොහුපිටිය
- ගලිගමුව
- වරකාපොල
- කෑගල්ල
- දැරණියගල
- රුවන්වැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය:
- බලංගොඩ
- රත්නපුර
- ඉඹුල්පේ
- කලවාන
- කිරිඇල්ල
- කුරුවිට
- ඇහැළියගොඩ
- අයගම
- ඇලපාත
ජනපති උපදෙසින් “සුරක්ෂා” රක්ෂණාවරණය යළි ඇරඹේ
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ.
මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටළු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනකි.
මෙම වැඩසටහන 2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන් පසු කාල සීමාවේදී මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
කෙසේ නමුත් මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලදී. 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම එහි අරමුණයි.
ඒ අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබේ.
එසේම අඩු ආදායම්ලාභී එනම් වාර්ෂික ආදායම රු. 180,000/= කට වඩා අඩු පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණය යටතේ වූ දෙමාපිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර ඇත.
මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේය.
- සෞඛ්‍ය රක්ෂණාවරණය.
නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල).
මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.) පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්‍රතිලාභ හිමි වේ.
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/= දක්වා.
මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්‍රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්‍රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත. එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ යටතේ ආවරණය වේ.
බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා.
2. අනතුරු රක්ෂණාවරණය
පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/=.
සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා.
තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා.
3. ජීවිත රක්ෂණාවරණය.
දෙමාපියන්ගේ මරණයකදී.
අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම ආවරණය වන පරිදි ප්‍රතිලාභ හිමිවේ.
පවුලේ සියලු පාසල් යන ළමුන්ට ප්‍රතිලාභ හිමිවන නමුත් එක් සිද්ධියක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු.225,000/= කි. (රු.75,000/= බැගින් උපරිම දරුවන් 3 දෙනෙකු සඳහා)
මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර පාසල් සිසුන් සඳහා වූ මෙම සියලුම ප්‍රතිලාභ සතියක් ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සලසා ඇති මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කඩිනමින් ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද සකස් කිරීමට නියමිතය.
ඒ අනුව “සුරක්ෂා” රක්ෂණාවරණය යටතේ දරුවන්ට හිමිවන ප්‍රතිලාභ මුදල් එම දරුවන්ගේ දෙමාපියන්ගේ අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරනු ඇත.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාසල්වල විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද සකස් කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍ර ලේඛය ද ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතය.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒකාබද්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.
ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන ඇමති අතර හමුවක් !
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි.
ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.
මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මින් මීට එක්ව සිටී අතර, ඉන්දුනීසියානු රජය නියෝජනය කරමින් එරට සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෝධායි ජී. එල්. කලාකේ (Ayodhia G.L Kalake), වන හා පරිසර කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය නානි හෙන්ඩියාර්ට් (Nani Hendiarti), යටිතල පහසුකම් සහ ප්‍රවාහනය පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය රහ්මත් කයිමුද්දීන් (Rahmat Kaimuddin), සමුද්‍රීය සම්පත් පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකරණ අමාත්‍ය ෆිර්මාන් හිදායත් (Firman Hidayat), දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක චෙරී නුර් සලිම් (Cherie Nur Salim) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
ඩිනාරා : ෆෝබ්ස් "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවේ !
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය ඇතුළත්වීමට සමත්ව ඇත.
ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි. ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් "30 අන්ඩර් 30 ඒෂියා"ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.
කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය. ඩිනාරා පුංචිහේවා මහත්මිය 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන මහතාගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා මහත්මියට ප්‍රසන්න විතානගේ ආරාධනා කර තිබිණි.
ඩිනාරා මහත්මිය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන Punchi Actors නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.
හර්ෂගෙන් බර අවි ප්‍රහාරයක් : සජබ දෙදරයි !
ඔන්න සජබේ ඇතුලෙ ලොකු අර්බුදයක් ඇතිවෙලා.
ජනාධිපති වික්‍රමසිංහ සජබේ කුට්ටියක් කඩාගන්න යනවා කියන කතාවත් එක්ක , සජිත්ගේ හිතවත්තු ඔය යනවයි කියන හැමොන්ම දිහා බලන්නේ සැකෙන් ලු..
මෙතනදී වැඩිම සැකය යොමුවෙලා තියන්නේ හර්ෂ, කබීර්, තලතා ල වගේ සජබේ ඉන්න කීපදෙනෙක් ගැන. ගම්පහ පැත්තේ දෙතුන් දෙනෙක් ගැනත් ලකීලා, ඇහැගහගෙන ලු ඉන්නවයි කියන්නේ.
මෙතනදී වැඩිම අවධානය යොමුවෙලා තියන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ගැන.
GL ලා - නාලක ලා සජබෙට එද්දී හර්ෂ ලොකු බාල්දියක් පෙරලුව.. ඒ GL ට නෙමෙයි, තවත් ආරථික විශේෂඥයකු වෙච්ච මහාචාර්ය නාලක ගොඩහේවා ට.. සජිත්ගේ ආණ්ඩුවක මුදල් ඇමතිකම ගොඩහේවා ට දෙන්න යනවා කියන කතාවට හර්ෂ හිටියේ මල පැනල ලු..
ඒ අවුලේදී '' චන්දෙන් පස්සේ බලාගන්නම් කියලා .. සජිත් , ගොඩහේවා ව බැලන්ස් කරගෙන තිබුනා.
ඔන්න දැන් හර්ෂ - සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරත් එක්ක පැටලිලා.
''ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න..'' - මාධ්‍ය හමුවකදී හර්ෂගෙන් ඒ විදියට බර අවි ප්‍රහාරයක් එල්ලවුණේ කාටද කියලා හුඟදෙනෙකුට කුතුහලයක්..
ඒත් සජිත්ට හිතවත් සමහර සමාජ මාධ්‍යවලින් කියලා, තියන විදියට ඒ බර අවි ප්‍රහාරය , ආණ්ඩුවේ කෙනෙකුට නෙමෙයි සජබේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරට
සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වා තියනවා කියලයි සමහර මධ්‍ය වාර්තාකර තියන්නේ..
ඒ කියන විදියට හර්ෂ ඔය විදියට පරලවෙලා තියෙන්නේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර, හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට.. කොහොම නමුත් තමන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දමා ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු ලබා දීමට පසුගියදා හර්ෂ ද සිල්වා පියවර අරගෙන..
හර්ෂ ඒ ගැන කියන්නේ වෙනම කතාවක්..
තමන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලට විමධ්‍යගත අරමුදල් ලැබුණා විනා තමන්ට මුදල් නොලැබුණු බවක් තමයි හර්ෂ කියන්නේ..
එසේම මන්ත්‍රීවරුන් තෝරාගෙන විමධ්‍යගත අරමුදල් ලබා දීම වැරදි ක්‍රියාවක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා.
ලංකාවට ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙලා !
දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
ලංකාව අදාළ අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවද එහි සඳහන් බවත් වාර්තාවෙයි.
අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් පවසයි.
බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක් එම වාර්තාව හරහා දන්වා තිබේ.
මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.
අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.
අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.
සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.
රණවිරු දින සැමරුමට රථ වාහන සැලැස්මේ වෙනසක් !
මැයි 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.
ඉහත මාර්ග භාවිත කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය !
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබයි.
පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම විසින් සිදු කරනු ලබන අතර, එම හරිතාගාර සඳහා අඛණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහාය ද ලබා දෙයි.
එම සමාගම යටතේ කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරයි. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මක කරයි.
දැනට AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ දේශීය සුපිරි වෙළෙඳසැල් වෙතද සිය නිෂ්පාදන සපයයි.
එමෙන්ම මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අළෙවි කිරීම ද සිදු කරයි.
AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කර ගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.
AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමඟ කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළේය.
ආචාර්ය හර්ෂ සුභසිංහ විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය.
අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වා දිමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසීය.
මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බව කිවයුතුයි. මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන රට තුළ පුළුල් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ ප්‍රාදේශය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළයුතුයි. ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය අප භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍යයි. අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව මම විශ්වාස කරනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රතුපස්වල ඛේදවාචකයේ නඩු තීන්දුව ලැබෙයි
වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.
පක්ෂයට වඩා රට වැදගත් : ප්‍රසන්න රාජපක්ෂවරුන්ගේ මතයට පිටුපායි !
මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් දිය යුතුමයැයි තමන් යෝජනා කරන්නේ ඒ නිසා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මේ මොහොතේ නුසුදුසු බවයි.
රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බවත් පවතින තත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ මොහොතේ ස්ථාවර ආණ්ඩුවක් බිහි නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණය පැවැත්වීමෙන් යලිත් ස්ථාවර ආණ්ඩුවක් රටට බිහිකර ගත හැකිවනු බව ඇමතිවරයාගේ අදහසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ පක්ෂය සවි බල ගැන්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මීරිගම ආසනයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි.
තමන් රනිල්ගේ ගොට්ටෙක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් නොකරන බවත් සහතික වූයේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේද පැවසීය.
“මැතිවරණයක් එනකොට එක එක කාලෙට එක එක මතවාද හැදෙනවා. එක කාලෙක “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියලා හැදුවා. දැන් අලුත්ම මත වාදය තමයි “75 වසරක සාපය”. ජනතා විමුක්ති පෙරමුණ හදන කතාවක් තමයි මේ අවුරුදු 75ම කෑවා මුන්ට එක පාරක් හරි දිලා බලන්න කියලා මතයක් හදනවා. මේ වෙලාවේදී මේ රටේ බහුතරයක් ලක්ෂ 05 ලක්ෂ 45ක් කරන්න හදනවා. එහෙම කරන්න සියයට 400කින් වැඩි වෙන්න වෙනවා. ඒ අය දන්නවා ඒකට යන්න අමාරුයි ඒ නිසා එක එක කණ්ඩායම් ඉලක්ක කරගෙන මතවාද හදනවා. අවුරුදු 75ක සාපය ගැන කියන කොට අපේ පාක්ෂිකයන්ට මේවාට උත්තර දුන්නේ නැත්තම් ඔලුව වන වන අහගෙන ඉන්නවා මිසක් ප්‍රතිවිරුද්ධ මතවාද ඇති කරන්නේ නෑ. අපි ඒකට වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.
දේශපාලනය කරනකොට සෙනඟ පෙන්නලා රැලි ඇති කරන එක ක්‍රමයක් වෙනවා. ඒ රැල්ල වැල්ලට ගහපුවම නැතිවෙලා යනවා. ඒක තාවකාලිකයි. ගම් මට්ටමින් හොඳ සංවිධාන ශක්තියක් ඇති කර ගත්තොත් අපිට දේශපාලනය කරලා අවශ්‍යතාවය අනුව තීන්දු තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. මැයි 09 වැනිදා මගේ ගේ ගිනි තිබ්බා. 77දී මගේ පියාගේ ගේ ගිනි තිබ්බා. අපි බයවෙලා හිටියොත් අපිට අපේ පාක්ෂිකයෝ රැක ගන්න බැරි වෙනවා. අපිත් එක්ක වැඩ කරන මිනිස්සුන්ව අපිට අතාරින්න බෑ. 2022 මැයි 09 වැනිදා සිද්ධියත් එක්ක අපේ මිනිස්සු දැන් බයවෙල ඉන්නවා. මොකද මිනිස්සු මැරුවා, ගෙවල් ගිනි තිබ්බා. අපි කතා කරන්නේ අමරකීර්ති ගැන විතරයි. නමුත් ලංකාව පුරාම මිනිස්සු 20කට වැඩි ප්‍රමාණයක් මැරුවා. අපිව ගම්වලින් එළෙව්වා. අපි ගමට ආවේ නෑ මාස දෙක තුනක් යනකන්. උන්ගේ අරමුණ ඉෂ්ඨ වුණා. අපි කණ්ඩායමක් ලෙස මේකට මුහුණ දෙනවා කියලා තීන්දුවක් ගත්තා. අපේ මතවාද පහළ මට්ටමට යන්න ඕනේ. ඒකයි අපි අපේ සංවිධාන ශක්තිය වැඩි කරන්න කටයුතු කරමින් යන්නේ.
අවුරුදු 75ක සාපය ගැන කතා කරනකොට ඇත්තටම මේ රටේ වැඩක් වෙලා නැද්ද? නිදහස ලබද්දි අපේ රටේ මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 42යි. දැන් මේ වනවිට ආයු කාලය අවුරුදු 77-80 අතර කාලයට ගිහින් තියෙනවා. මාතෘ මරණ අඩු වෙලා. රෝහල් දියුණු වෙලා තියෙනවා. සෑම කිලෝමීටර් 05කටම ප්‍රාථමික වෛද්‍ය ඒකකයක් තියෙනවා. දැන් දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් ආරම්භ කර නිදහස් සෞඛ්‍ය මේ රටේ ඉහල මට්ටමකට ගෙනවිත් තියෙනවා. යටත් විජිතයක් වෙලා රෝහල් වල ඇදන් 18යි. අවුරුදු 75ක කාල සීමාව තුළ දැන් ඇදවල් 90,000යි.
අවුරුදු 75ක සාපය ගැන කතා කරන අය ඒ අවුරුදු 75ක කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයකට දායකත්වය දීලා නැද්ද? මට මතකයි එදා ජේ ආර් ජයවර්ධනව බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා. එදා සිරිසේන කුරේ එක්ක සම්බන්ධ වෙලා ජේ ආර්ව මරන්න හදලා ප්‍රේමදාසව බලයට ගෙනාවෙත් ජවිපෙමයි. විහාරමහා දේවි ලෙස චන්ද්‍රිකාව ගේන්නත් වේදිකාවල්වල කතා කරෙත් ජනතා විමුක්ති පෙරමුණයි. මහින්ද මහත්තයාව ගෙනාවේ අපි කියලා ඔවුන් කියනවා. ඊට පස්සේ සරත් ෆෙන්සේකා එක්ක එකතු වුණා. මෛත්‍රීපාල දිනවන්නත් එකතු වුණා. ඔවුන් ඇමතිකම් අරගෙන කටයුතු කළා. ඔවුන් කතා කරන්නේ මේ අවුරුදු 75 තුළ කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති ගාණටයි.
ආර්ථික අර්බුදය ගෝඨාභය මහත්තයා ඇවිල්ලා අවුරුදු දෙකකින් ඇති වුණ දෙයක් නෙමෙයි. සුනාමිය වැනි ස්භාවික විපත්, 71 කැරැල්ල, 83 කලු ජූලිය, 88/89 කැරැල්ල ඇති වුණා. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ සෑම දෙයක්ම ආර්ථිකයට බලපෑවා.
83 කලු ජූලිය නිසා ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක් තහනම් කළා. පස්සේ පුනරුත්තාපනය වෙලා පස්සේ පක්ෂ නායකයෝ නැවත දේශපාලන කරලියට ආවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට ආවේ නෑ. ඔවුන් හැංගිලා ඉදලා 88/89 වෙනකොට මිනිස්සු මරලා තමන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න ගත්තා. ලාල් කාන්ත මේ ලගදි කිව්වා අපි ජයග්‍රහණය කළොත් ගමේ අපේ සාමාජිකයන්ට දෙනවා ගමේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අධිකරණ බලය කාටද ගමට දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙන් අධිකරණයට දුන්න බලයක් ගමට දෙන්න බෑ. කාටවත් එක එහෙම කරන්න අයිතියක් නෑ. ඔවුන් මේවා නිකන් කියන කතාවන් නෙමෙයි.
අද වනවිට ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එමින් තියෙනවා. සංචාරකයෝ සහ ආයෝජකයෝ අද ලංකාවට එනවා. විදේශ ශ්‍රමිකයෝ රට යනවා. මොකද මේ රටේ මිනිස්සුන්ට විදෙස් ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාව උදා වෙලා තිබෙනවා. දැන් සංචාරකයෝ එන එක නවත්වන්න කඩා කප්පල්කාරී ක්‍රියාවන් සිදු කරනවා. රට අර්බුදකාරී තත්ත්වයක තියෙනවා නම් සංචාරකයෝ ආයෝජකයෝ මේ රටට එන්නේ නෑ. කොවිඩ් වසංගතය, අරගලයත් එක්ක මේ තත්ත්වයට අපි මුහුණ දුන්නා. නමුත් දැන් අපි හිතුවට වඩා ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තියෙනවා.
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් කෙනෙක් නැති නිසයි මම ප්‍රකාශයක් කළේ මේ වෙලාවේ විසදුම අභියෝග භාර ගත් නායකයෙක්, අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් අපි තෝර ගන්න ඕනේ කියලා. 2022 අපේ ජනාධිපති අපේ අගමැති අයින් වුණා. ඊට පස්සේ මේක කරගෙන යන්න ආරාධනා කළා අපි උදව් කරන්නම් කියලා. කවුරුත් භාර ගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක භාර ගත්තා.
පක්ෂයක් කියන්නේ සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්. රටක් කියන්නේ මුළු පුරවැසියෝ සියලු දෙනාම. අපිට ලොකු වෙන්න ඕනේ රටට පක්ෂයද? පක්ෂයේ වැඩ පිළිවෙල අපි ගෙනියනවා. රට එක පක්ෂය දෙක. රට ගැන හිතලයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න තීන්දු කළේ. ඒක මගේ පෞද්ගලික මතයයි.
කෙටි කාලයක් තුළ ගොඩ ආපු රටක් ලෙස ලංකාව කියලා අයි එම් එෆ් එක, ලෝක බැංකුව අද කියනවා. ඒක කරන්න පුළුවන් වුණේ මේ රටේ මිනිස්සු කරපු කැප කිරීම් නිසයි. අරගල වලට මිනිස්සු ගියේ නෑ. නායකයෝ පෙළඹුවා මිනිස්සු අරගල කරවන්න. මිනිස්සු තේරුම් ගත්තා මේ රටේ මොකක්ද වෙන්නේ කියලා. වත්මන් ජනාධිපතිතුමාට උදව් කරනවා මිනිස්සු කැප කිරීම් කරලා. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ගත්තේ ජනප්‍රිය තීන්දු නෙමෙයි. මින්ස්සුන්ගේ දායකත්වය නොලැබුණා නම් අපිට මේක සාර්ථික කර ගන්න බැරි වෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් කාටවත් බහුතරයක් ගන්න බෑ. බහුතරයක් ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ අපි ආපු ක්‍රමවේදය ඉදිරියට ගෙන යන්න නොහැකි වෙනවා. මහින්ද මහත්තයා යුද්ධය දින්නේ කරු ජයසූරිය මහත්තයත් එක්ක කණ්ඩායමක් ඇවිල්ලා පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරපු නිසයි. බහුතරයක් නැත්තම් අපිය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වෙන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවාට වඩා හොඳයි ජනාධිපතිවරයක් තියෙන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩක් කරලා පෙන්නපු නිසයි මිනිස්සු ඔහුව නැවත බලයට ගෙන්න ඕනේ කියන මතයේ ඉන්නේ. එතුමා එන්න ඕනේ පොදු ලකුණකින් පොදු සංධානයකින්.
අද කියන්න අරගෙන මම රනිල්ගේ ගොට්ටෙක් වෙලා. මම යූ එන් පී එකට යන්න යනවා කියලා සමහරු කියනවා. අපි අතරෙම ඉන්න මිනිස්සුයි එහෙම කියන්නේ පිට මිනිස්සු නෙමෙයි. මම කවදාවත් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ආසාධාරණයක් වෙන තීන්දුවක් ගන්නේ නෑ. මම තීන්දු ගන්නේ ජනතාව ගැන හිතලයි. පක්ෂ එනවා යනවා. දේශපාලනය කරනකොට දිනනවා පරදිනවා. රටක් කඩන් වැටුනොත් අපි හැමෝම වගකියන්න ඕනේ.
ප්‍රදීප් අනුර කුමාර
ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්
කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන් වේ.
ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
Page 51 of 442