දකුණු ආසියාවේ පැරැණිතම ගුවන්විදුලි සේවය "කොළඹ ගුවන්විදුලි සේවය" නමින් ඇරැඹෙන්නේ 1924 ජුනි මාසයේ ය.
එය ක්‍රමානුකූලව වඩාත් සන්‍ධානගතව 1925 දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය රජයේ අනුදැනුම උඩ ය. 1925 වර්ෂය ගුවන්විදුලි සේවයේ ආරම්භක වර්ෂය ලෙස බොහෝ දෙනා සලකති. 1949 ඔක්තොම්බර් මස පළමුවැනි සෙනසුරාදා කොළඹ ගුවන්විදුලි සේවය "රේඩියෝ සිලෝන්" නම් විය. ඉදිරි දෙසැම්බර් මාසයේ දී ගුවන්විදුලියේ සියවස සැමරීම ද නියමිතව තිබෙයි.
රේඩියෝ සිලෝන් - wikipedia.org
කුලී පදනම මත ලබා ගත් තැටි
ගුවන්විදුලි සේවය ආරම්භක අවධියේ පටන් ම ඉංග්‍රීසි, සිංහල, දෙමළ, හින්දුස්තානි ආදී පෙරාපර දෙදිග ගීත, දේශන ප්‍රචාරය කෙරුණි. ප්‍රාථමික අවධියේ දී කොළඹ ගුවන්විදුලි සේවයට ස්ථිර තැටි ගබඩාවක් පැවතුණේ නැත. ග්‍රැමෆෝන් තැටි මෙරටට ගෙන්වූ ඒජන්ත සමාගම්වලින් සහ පෞද්ගලික තැටි එකතු පැවැති පුද්ගලයන්ගෙන් කුලී පදනම මත ග්‍රැමෆෝන් තැටි ලබාගෙන ඒවා වාදනය කිරීම සිදු විය. ග්‍රැමෆෝන් තැටි ඒජන්ත සමාගම් මේ ක්‍රමය තම සමාගම ගෙන්වන තැටි ප්‍රසිද්‍ධ කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් ද භාවිත කළේ ය. ඒ අනුව: කාර්ගීල්ස් සමාගම HMV, Hutching, මිලර්ස් සමාගම Columbia (අපරදිග), Regal, Zonophone සහ ඇන්. පොරෝලිස් ෆර්නෑන්ඩු සාප්පුව Columbia (පෙරදිග), Odeon, Megaphone ආදී වශයෙන් ඒ ඒ සමාගම් විසින් ගෙන්වූ තැටි වාදනය සඳහා එවකට ටොරින්ටන් චතුරස්‍රයේ පැවැති කොළඹ ගුවන්විදුලි සේවා මධ්‍යස්ථානයට ප්‍රචාරය සඳහා ලබා දුණි.
මේ අවධියේ වනවිට කොළඹ ගුවන්විදුලි සේවයේ 1927 දී ආරම්භ කළ ශබ්දාගාරයක් ද පැවැතිණි. මුල් යුගයේ සජීවී වැඩසටහන් රැසක් එම ශබ්දාගාරයේ තුළින් ප්‍රචාරය කෙරිණි. 1927 දී මුල් ම පෙරදිග සංගීත වැඩසටහන මේ ශබ්දාගාරයේ දී ප්‍රචාරය කෙරුණේ සංගීත ශාස්ත්‍රී ඇම්. ජී. ප්‍රේරා ගේ මූලිකත්‍වයෙනි. ප්‍රේරා ගේ ශිෂ්‍යයන් වූ දොන් මානිස් පට්ටිආරච්චි (වයලීන්) හා සී. ආර්. බටුවන්තුඩාවෙ (තබ්ලා) මේ වැඩසටහනට සහභාගී වූහ. එමෙන් ම 1929 දී මේ ශබ්දාගාරය පෙරකදෝරු චාර්ල්ස් ඩයස් ගේ මූලිකත්‍වය මත කොළොම්බියා ලේබලයේ තැටිගත කිරීම් සඳහා යොදාගැනුණි.

තැටි මිලදී ගැනීමේ ඇරඹුම
කොළඹ ගුවන්විදුලි සේවයට 1937 අගෝස්තු මස දී පත් වූ නව සේවා අධ්‍යක්‍ෂක වූ ඩබ්ලිව්. ෂර්ලි ද සිල්වා ගේ සමයේ දී මුලින් ම කොළඹ ගුවන්විදුලි සේවය සඳහා ග්‍රැමෆෝන් තැටි මිල දී ගැනීමේ පටිපාටියක් සැකසිණි. ඒ අනුව හින්දි, ඉංග්‍රීසි, දෙමළ, සිංහල ආදී භාෂාවල ග්‍රැමෆෝන් තැටි ඉතා ක්‍රමානුකූල අන්දමකින් නාමාවලියක් නඩත්තු කරමින් ගුවන්විදුලි සේවයට මිල දී ගැනුණි. ෂර්ලි ද සිල්වා ගේ සමයවන විට දී තැටි කැපීමේ යන්ත්‍රයක් ද කොළඹ ගුවන්විදුලි සේවය සතු විය. ඒ, ශබ්ද ඉංජිනේරු ඩී. පී. ජයසේකර ගේ අධීක්‍ෂණය යටතේ ය.
රේඩියෝ සිලෝන් කාර්ය මණ්ඩලය 1941 දී – mumbaimessenger.com
සර් ඩී. බී. ජයතිලක ගේ කෝපය
1936 දී මිල දී ගෙන තිබුණු එම තැටි කැපීමේ යන්ත්‍රය BCC ය මගින් භාවිත කළ වර්ගයකි. ඇසිටේට් ආලේප කළ තැටි මත මේ යන්ත්‍රය භාවිතයෙන් ශබ්ද තැටිගත කිරීමට හැකිය. ශබ්ද ඉංජිනේරු ඩී. පී. ජයසේකර මේ යන්ත්‍රය මගින් මුලින් ම සර් ඩී. බී. ජයතිලක ගේ විනාඩි පහළවක පමණ දේශනයක් තැටිගත කිරීමට උත්සහ කර ඇත. මේ යන්ත්‍රය මගින් වරකට තැටිගත කළ හැකිවන්නේ විනාඩි තුනකට ආසන්න කාලයක් පමණි. මේ තාක්‍ෂණික කරුණ පිළිබඳව සර් ජයතිලක දැනුවත් කෙරුණේ විනාඩි පහළවක දේශනයක් සඳහා ලකලැහැස්ති වී ශබ්දාගාරයට පැමිණි විට දී ය. ඒ අවස්ථාවේ දී හේ කිසිවක් නොබැණ ශබ්දාගාරයෙන් පිටවී ගියේ ය.
පළමු තැටිගත කිරීම
කෙසේනමුදු මේ යන්ත්‍රය යොදාගෙන 1937 දී කොළඹ ගුවන්විදුලි සේවය මගින් මුලින් ම තැටිගත කෙරුණේ යුනිවර්සිටි කොලිජියේ ප්‍රාචීන භාෂා කථිකාචාර්‍යය ලෙස කටයුතු කළ රඹුක්වැල්ලේ සිද්‍ධාර්‍ථ හිමියන් ගේ හඬයි. මුලින් මෙයට සිද්‍ධාර්‍ථ හිමි එකඟ නූන ද පසුව කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඉංජිනේරු ජයසේකර පෞද්ගලිකව හැඳින සිටි උන්වහන්සේ වන්නම්, පාලි ගාථා, සංස්කෘත ශ්ලෝක සහ සිංහල කවි වන්නම් රැසක් මෙමගින් තැටිගත කළහ. උන්වහන්සේ සමඟ ම මේ තැටිගත කිරීම සඳහා පැමිණි ඌරාපොල කිරිබණ්ඩා ද වන්නම් කිහිපයක් තැටි සඳහා ලබා දී තිබුණි. පසුව මේ වන්නම් සහ කවි ගැයුම් කොළඹ ගුවන්විදුලිය තුළින් වාදනය කර ප්‍රචාරය කෙරුණි.

පළමු මගුල් බෙර වැයුම තැටිගත කරයි
එම වසරේ දී ම කලාගුරු ජේ. ඩී. ඒ. ප්‍රේරා විසින් ඉංජිනේරු ඩී. පී. ජයසේකරට හඳුන්වා දුන් ඇස්. පණී භාරත ලවා මගුල් බෙර වැයුමක් ද තැටිගත කෙරුණි. එය කොළඹ ගුවන්විදුලි සේවයේ තැටි ගත කෙරුණු මුල් ම මගුල් බෙර වැයුමයි. මේ යන්ත්‍රය භාවිතය කොළඹ ගුවන්විදුලි සේවය සිංහල නර්තන ශිල්පීන්, සංගීත ශිල්පීන් රැසකගේ ගැයුම් වැයුම් තැටිගත කිරීම දිගින් දිගටම පවත්වාගෙන ආවේ ය. 1940 දී ගුවන්විදුලි සේවයට පත්කළ නව කමිටුවක් මගින් සිංහල ජන ගැයුම් වැයුම් තැටිගත කිරීමට යෝජනා කෙරිණි. මහාචාර්‍ය ගුණපාල මලලසේකර, මුදළිඳු ඊ. ඒ. අබේසේකර, කලාගුරු ඇස්. ඇල්. බී. කපුකොටුව යනාදි විද්වතුන්ගෙන් මේ කමිටුව සමන්විත විය. දෙවෙනි ලෝක යුද්‍ධ උණුසුම නිසා ගුවන්විදුලි සේවය කොටා පාරට මාරු වීමත් සමග මේ කමිටුවේ කටයුතු පමා වූවත් යුද්‍ධය නිමාවීමත් සමග ම කමිටුව නැවතත් ක්‍රියාත්මක විය.
පළමු ජංගම තැටි කපන යන්ත්‍රය
පෙර දී භාවිත කළ MSS වර්ගයේ තැටි කපන යන්ත්‍රය මෙවැනි කටයුත්තක් සඳහා යොදාගත නොහැකි නිසා 1946 දී RCA වර්ගයේ එහා මෙහා ගෙන යා හැකි තැටි කැපීමේ යන්ත්‍ර දෙකක් ගුවන්විදුලි සේවය මිලදී ගත්තේ ය. මේ නව යන්ත්‍ර භාවිත කරමින් අත්හදා බැලීමක් වශයෙන් මුලින් ම ජන සංගීත කමිටුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඇතුළු ස්ථාන කිහිපයක දී උඩරට වන්නම් කිහිපයක් තැටිගත කිරීම සිදු කළේ ය. 1947 සිට 1948 දක්වා අතර කාලය තුළ මාතර, තිස්සමහාරාමය, දෙනියාය, අනුරාධපුර, හොරොව්පතාන, රත්නපුර, මහියඞ්ගණය හා බදුල්ල ආදී ප්‍රදේශවලට ගොස් සමාන්‍ය ජනයා අතර ගැයුණු නාඩගම් ගී තාල, කවි, වන්නම් ආදිය මෙම කමිටුවේ මැදිහත් වීම මත තැටිවලට නැගුණි. 1948 අවසානවන විට තැටි 324 ක් සිදු කර තිබුණි.
මේ තැටි නැවත නැවත වාදනය සඳහා භාවිත නොකර කෙලින් ම කොළඹ ගුවන්විදුලි සේවයේ තැටි ගබඩාවට කමිටුව විසින් භාර දී ඇත. 1936 දී ගෙන්වූ MSS යන්ත්‍රයත් පසුව 1946 දී ගෙන්වූ RCA යන්ත්‍ර දෙකත් භාවිතයෙන් කොළඹ ගුවන්විදුලි සේවයට වෙළඳ තැටිවලට අමතරව ඔවුන් විසින් ම තැටිගත කළ තැටි රාශියක් හිමි විය. නමුත් ආරම්භක අවධියේ සිට ම කොළඹ ගුවන්විදුලි සේවය සතු වූ මේ මහාර්‍ඝ තැටි සම්පත නිලධාරීන් රැක ගත්තා ද? කණගාටුවෙන් වූවත් එයට පිළිතුර 'නැත' යන්න ප්‍රකාශ කළ යුතුම ය.
තැටිගත කිරීමේ යන්ත්‍රයක්- mumbaimessenger.com
මුල් යුගයේ තැටි විනාශ මුඛයට...
1949 ඔක්තෝබර් මාසයේ දී කොටා පාරේ බවර් හවුස්හි තාවකාලිකව ගෙනගිය කොළඹ ගුවන්විදුලි සේවය නැවතත් ටොරින්ටන් චතුරස්‍රයේ ඉදි කළ නව ගොඩනැගිල්ලට ගෙන ආවේ "රේඩියෝ සිලෝන්" නමිනි. 1950 ජනවාරි මස ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කොළඹ ගුවන්විදුලි සේවයේ ජන සංගීත කමිටුව විසින් සිදු කළ තැටිවලට සිදුවූයේ කුමක් දැයි ප්‍රශ්න කර තිබුණි. පරිපාලනයේ සිදු වූ වෙනස්කම් නිසාවෙන් තැටිගබඩාව පිළිබඳව තිබූ අවධානය මාස කිහිපයක් ඇතුළත ගිලිහී ගොස් තිබුණි. අවසානයේ එවකට වැඩසටහන් පරීක්‍ෂකව සිටි ඩී. ඊ. වීරකෝන් මහතා ජන සංගීත කමිටුවේ ලේකම්ව සිටි සී. ඇල්. පී. ගුණවර්ධන මහතාව තැටි ගබඩාව අධීක්ෂණයට යොමු කළේ ය. ඔහු "රේඩියෝ සිලෝන්" වීමට පළමුව ඉතා ආරක්‍ෂිතව වෙනම ම විධි විධාන යොදා තිබුණු ගුවන්විදුලි සේවයේ තැටිගබඩාවේ තිබූ තැටි අධීක්ෂණයට ගිය විට දුටු දර්ශනය පහත ඡායාරූපයෙන් දැක්වෙයි.
සී. ඇල්. පී. ගුණවර්‍ධන සහ තවත් සේවකයෙක් විනාශ වී තිබෙන තැටි අතුරින් භාවිතයට ගත හැකි තැටි තෝරමින්
නොසැලකිලිමත් ලෙස භාවිතය සහ ඇසිරීම නිසා තැටි ගබඩාවේ තැටි බොහොමයක් ඒවනවිටත් විනාශ වී ගොස් තිබුණි. ගුණවර්ධන මහතා භාවිතයට ගත හැකි තැටි 223 ක් පමණ තෝරා නැවත රේඩියෝ සිලෝන් වෙත භාර දී තිබුණි. නමුත් සිද්‍ධාර්ථ හිමිගේ හඬ ඇතුළුව ගුවන්විදුලි සේවයේ 1937 - 46 අතර මුල් යුගයේ සිදු කළ තැටිගතකිරීම් කිසිවක් සුරැකී තිබුණේ නැත. බොහෝසෙයින් ඉතිරිව පැවැතියේ 1946 න් පසුව සිදුකළ තැටිගත කළ තැටි ය. අවසානයේ කිසිවෙකුවත් මේ මහා විනාශයට වගකීවේ නැත.
සාවද්‍ය මත
මේ අවාසනාවන්ත සිදුවීම නිසා ගුවන්විදුලියේ මුල් යුගයේ ඉතිහාසයේ බොහෝ සාක්ෂි විනාශ විය. ඒ නිසා ම ගුවන්විදුලි ඉතිහාසය සම්බන්‍ධයෙන් සාවද්‍ය අදහස් බොහොමයක් මුල් බැසගෙන තිබේ. එවැනි බොහෝ දෙනා පිළිගෙන ඇති ප්‍රබල මතයක් වන්නේ 1946 දී ගුවන්විදුලි සේවයට මුලින් ම ගෙන ආ තැටි කපන යන්ත්‍රයෙන් ගුවන්විදුලියේ තැටිගත කළ මුල් ම ගී සුනිල් සාන්තගේ බව ය. සුනිල් සාන්තගේ මෙන් ම සෝමපාල, චිත්‍රා, සී. ටී. ෆර්නෑන්ඩු, සූරිය ශංකර් ආදීන්ගේ ගීත තැටිගත කිරීමට වසර දහයකට පමණ පෙර සිට ම ගුවන්විදුලි සේවයේ සිංහල බසින් ගීත සහ වාදන තැටිගත කිරීම් සිදු කළ නිසා ඉහත කරුණ සාවද්‍ය මතයක් බව පිළිගත යුතු ය. නමුත් එම මුල් තැටිගතකිරීම් කිසිවක් අද ගුවන්විදුලියේ ඉතිරිව නැත. ගුවන්විදුලිය විසින් ම ගුවන්විදුලියේ ඉතිහාසය විනාශයට ගෙන ගියේ අද ඊයේ සිට නොව මීට හැත්තෑහය වසරකට පෙර සිට ය.
(සටහන - තමල්ක නිලක්‍ෂණ)
උපුටා ගත්තේ මාතර අභිමානය Proud of Matara face book පිටුවෙන්

