Image

රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන

රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන

දීපා ගෙ 'රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන' පොත ආයෙම කියවන්න ගත්තා.

හිතේ ඈත කෙළවරක මෝදුවෙන මහා බරක් එක්ක....හද කකියන අසරණ කමක් දැනෙනවා.  අපි ජීවත් වෙන්නෙ, දේශපාලනය කරන්නෙ, සාහිත්‍ය සංවාද කරන්නෙ, ලියන්නෙ, කියන්නෙ මොනවගේ සමාජයක් වෙනුවෙන් ද කියලා ආයෙ ආයෙම හිතෙන්න ගන්නවා.

දීපගෙ රාත්‍රිය මත රතු කුරුල්ලෙක් පරිවර්ථනය කරලා තියෙන්නෙ Sivalingam Anu සහෝදරිය.

Anusha Sivalingam

උතුරේ ලේඛකයින්ගේ ප්‍රකාශන දකුණේ සාහිත්‍ය සංවාද අතර තවමත් ආගන්තුකයි. ඒ ආගන්තුකකම අඩු කරන්න අනූ ගන්න මේ උත්සහය ප්‍රසංශනීයයි.
අනූ මේ ව්‍යායාමය මුලින්ම ගන්නෙ වන්නියෙ කවියෙක්, ලේඛකයෙක් වුණ සිවරාසා කරුණාකරන්ගෙ 'ඉප්පඩි ඔරු කාලම්' පොත 2016 දී 'මතක වන්නිය' නමින් සිංහලයට පරිවර්ථනය කරලා.
ඒ පරිවර්ථනය ක්‍රියාදාමය පොතක් විදිහට ප්‍රකාශයට පත්කිරීම සහ ඒ පිළිබඳව දකුණේ සංවාදයක් ඇති කිරීම කියන කාර්යයට මටත් දායකවෙන්න ලැබුණා.

ඇත්තටම උතුරේ සාහිත්‍ය පිළිබඳ දකුණේ සංවාදයක් නොවීම අඩුවක්. මේ අඩුව යම් තරමකින් හරි පුරවන්න ඕන කියන අදහසින්, සාහිත්‍ය දේශපාලන සංවාද අතරේ මුණගැහෙන අපේ සහෘද හිත මිතුරු කණ්ඩායම් එකතුවෙලා යමක් කරන්න ඕන කියලා කතා වෙන්නෙ 2016 ජූනි මාසෙදි විතර. හමුවීම සිදුවුණේ එකල අපේ සාහිත දේශපාලන මිතුරු හමුවීම්වල තිත්පල වුණ ආචාර්ය Kaushalya Kumarasinghe ගෙ කළුබෝවිල ෆ්ලැට් එකේ ගෙදරදි.

ඒ එකතුව විසින් අනූ සහෝදරිය පරිවර්ථනය කරපු 'මතක වන්නිය' පොතක් විදිහට එළියට එන්න අවශ්‍ය මූලික මැදිහත්වීම කරා. ඒ වගේම 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි 'මතක වන්නිය' පරිච්ඡේදයෙන් පරිච්ඡේදය කියවන, විචාර අදහස් බෙදා හදා ගන්න 'පොත් කියවීමක්' සංවිධානය කරන්නත් පුළුවන් වුණා.

එදා අපි කියවීම් සිදුකරද්දිත් ඒ කියවීම් උළෙල අවට බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුණ බව පසුව ආරංචි වුණා.  'මතක වන්නිය' පරිවර්ථනය කරන්න ප්‍රකාශයට පත් කරන්න 'අහස' ප්‍රකාශකයින්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පූර්ව අනුමැතියක් ගන්න අවශ්‍ය වුණාද නැද්ද කියලා මම දන්නෙ නැහැ එහෙම ගන්න වුණා නම් Asanka Sayakkara සහෝදරයට ඒ පිළිබඳව අදහසක් දක්වන්න පුළුවන්.

එදා අපි උත්සහකරේ උතුරේ නිර්මාණවේදීන්ගේ පරිකල්පනයන් දකුණට සමීපකරවන්න. බල දේශපාලනික අරමුණින් අධිපති දෘෂ්ටිවාදය උත්කර්ෂයට නඟන පරිකල්පනයන් වෙනුවට සැබෑ පොදුජන පරිකල්පනයන් පිළිබඳ සංවාදය පුළුල් කරන්න. නමුත් දශකයකට පස්සෙත් අපි ඉන්නෙ එකම තැන.  

දකුණේ අධිපති දෘෂ්ටිවාදය උත්කර්ෂයට නොනගන,  ඒ දෘෂ්ටිවාදය ප්‍රශ්නකරන, ඒ දෘෂ්ටිවාදය විනිවිදින කොයි නිර්මාණකරුවටත් සෑම ආණ්ඩුවක් යටතේම අඩු වැඩි වශයෙන් අද දීපාට වෙලා තියෙනවා වගේ අනර්ථයන්ට මුහුණදෙන්න වෙලා තියෙනවා.

ඒක දමිල වීම නිසා පමණක්ම මුහුණ දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අධිපති දෘෂ්ටිවාදයට යට නොවන කාටත් තියෙන ප්‍රශ්නයක්. දකුණේ සිංහල නිර්මාණවේදීන් ගණනාවක් පහුගිය ආණ්ඩු ගණනාවක් යටතේ මේ ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා.

ඒත් උතුරේ නිර්මාණවේදියෙක්ට මෙහෙම වුණාම ඒක දැනෙනවා වැඩියි. ඒක බරයි.

මම දීපා වුණා නම්.... මම කතාකරන භාෂාව රටේ ප්‍රධාන භාෂාව නොවන තත්ත්වයක මගේ කවියක් ප්‍රකාශයට පත්කරනවද නැද්ද යන්න තීරණය කිරීම රටේ ආරක්ෂක අමාත්‍යංශය විසින් තීරණය කළයුතුයි කියලා කියනවා නම් මේ රට 'මගේ රට' කියලා මට හිතෙයි ද?  
උතුර පිළිබඳව මේ සහකම්පනය නැති අධිපති දකුණක් තමයි අපිට හැමදාම තිබුණෙ.

දකුණේ අධිපති දෘෂ්ටිවාදය දේශපාලනිකවත් සාමාජීයයවත් උත්කර්ෂයට නඟන, ඒ වෙනුවෙන් පෙනී සිටින සිංහල පොත් රාශියක් එදා මෙදා තුර ලියවිලා තියෙනවා. සිංහල චිත්‍රපට රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ගීත රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කිසිම පොතක්, චිත්‍රපටයක්, ගීතයක් ජාතීන් අතර ප්‍රශ්නයක් ගැටුමක් ඇතිවෙන්න හේතුවේවි කියලා හිතලා ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පෙර පරීක්ෂාකර බලා පූර්ව අනුමැතියක් ලබාදුන් පොත් නෙමෙයි. ඒ පොත් ලියන්න කාගෙන්වත් කිසිම අවසරයක් අරගෙන නැහැ.

ඒ විතරක් නෙමෙයි මෑත කාලීනව උදය ප්‍රභාත් ගම්මන්පිල පාස්කු ප්‍රහාරය ගැන ලියපු පොත පවා ප්‍රකාශයට පත්කරේ ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් සහිතව බව වාර්ථාවෙන්නෙ නැහැ.
දකුණේ අධිපති දෘෂ්ටිවාදය පෝෂණය කරන මහා සම්ප්‍රදායේ පරිකල්පනයන් වෙනුවෙන් අවශ්‍ය නොමැති අවසරයක් චූල සම්ප්‍රාදායේ පරිකල්පනයන්ට අවශ්‍යවීමම  සමානාත්මතාවය මෙන්ම සාධාරණත්වය යන මූලධර්ම දෙකම උල්ලංඝණය කිරීමක්.
මෙතන කේන්ද්‍රීය ප්‍රශ්නය අන්න ඒක.

අප මිත්‍ර Sanjeewa Pushpakumara ගෙ 'ඉඟිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය තහනම් කරේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කාලේ.


2015 දි අපි ගෙනාපු යහපාලන ආණ්ඩුව කාලෙ  Shakthika Sathkumara ලියපු 'අර්ධ' කෙටිකතාව නිසා ශක්තිකට සත්කුමාරට ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වෙලා බන්ධනාගාර ගතවෙලා ඉන්න වුණා.  

ඒ විතරක් නෙමෙයි විකල්ප දහරාවේ පරිකල්පනයන්ට එරෙහිව සෘජුවම රාජ්‍ය යන්ත්‍රය මැදිහත් නොවන තැන්වලදි බල දේශපාලනික වුවමනාවන් මත ගොඩනැඟුණු ආගමික කණ්ඩායම්වල බලපෑමෙන් එකී පරිකල්පනයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අවස්ථා, ආරක්ෂක අංශවලට පැමිණිලිකර රස්තියාදු කරවීම් සිදුකරන අවස්ථා දක්නට ලැබුණා.  

ඇත්තටම අපිට කාලයක් තිස්සෙ දකුණෙ මේ කියන විකල්ප දහරාවේ සිංහල කවීන්ගේ, සාහිත්‍ය නිර්මාණකරුවන්ගෙ පරිකල්පනීය අයිතියට එරෙහිව ඇතැම් දේශපාලනික මුහුණුවරක් සහිත ආගමික කණ්ඩායම්වල බලපෑම දකින්න ලැබුණා. තවමත් දක්නට ලැබෙනවා. Upul Sannasgala මහතාත් ප්‍රකාශකයෙක් ලෙස මේ ප්‍රශ්නයට මුහුණදීලා තියෙනවා.

2019 දී විතර මාලක දේවප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක් කරා 'නිහොං සැප ලැබේවා' කියලා.  ඒකෙ කිසිම ආගමික කතාවක් නැතිවුණත් ජාතික හෙළ උරුමය පක්ෂයෙන් කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඕමල්පේ සෝභිත හාමුදුරුවො මාලකව නීතිය ඉදිරියට ගෙනත් නාට්‍ය වාරණය කරන්න උත්සහ ගත්තා. අපි සාමාන්‍යයෙන් ජාපනෙට වීසා වැදුණ උන්ට සුභ පතන්න හාස්‍යමය අර්ථයෙනුත් කියනවා 'නිහොං සැප ලැබේවා' කියලා. නමුත් ඒ කාලෙ ජාතික හෙල උරුමයේ ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙ ක්‍රියාකලාපය නිසා ඒක බෞද්ධ ආගමික සංස්ථාවට පේටන්ට් අයිතිය හිමි වචනයක් ද කියලා හිතෙන තරමට ප්‍රශ්නයක් වුණා.


2017 මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන වැටුණම මුවිඳු බිනෝයි කියලා තරුණයෙක් ජේතවනාරාමයේ පින්තූරයක් සහ කුණුකන්දෙ පින්තූරයක් මුහුකරලා ෆේස්බුක් එකේ පින්තූරයක් පළකරා. ඒක බහු අරුත් සහිත ඡායාරූපමය පරිකල්පනයක්.

ඒකාලෙ රජවරු ජේතවනාරාම හැදුවා වගේ අද රජවරු කුණුකඳු ගොඩගහනවා කියන අර්ථයේ ඉඳන් 2500 ක සභ්‍යත්වය ගැන පාරම්බාන නිදහසින් 70 වසරක අධිපති දේශපාලනය අවසානයේ අපට ඉතිරිකරලා තියෙන්නෙ ඒ සභ්‍යත්වය උඩ කුණු කඳු පුරවන එක කියන තැන දක්වා විවිධ බහු අරුත් ගොඩනැංවිය හැකි ඡායාරූපමය නිර්මාණයක්.

ඒ ඡායාරූපය Samanalee Fonseka සහෝදරිය සිය ෆේස්බුක් ගිණුමෙ ශෙයාර් කරා. ඒ ශෙයාර් කිරීම හුවා දක්වමින් එවක ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරි භික්ෂුවක් සහ වර්තමානයේ මා දන්නා තරමින් පාඨලී චම්පික රණවකගේ පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන හැඩිගල්ලේ විමසාර හාමුදුරුවෝ පොලිස්පතිට ලිපියක් ලිවුවා ඒ මුවිඳු සහ සමනලී ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
2003 දී කොළඹ දී දමිල කලාකරුවන්ගෙ පොංගු තමිල් උළෙලට පාඨලී චම්පික රණවකගෙ සහ උදය ගම්මන්පිළගෙ ආශිර්වාදය ලත් චන්ඩින් පහර දෙනකොට මම ඉස්කෝලෙ 10 පංතියෙ හිටියෙ. අපි ඒ ගැන දැනගත්තෙ මාධ්‍යයෙන්. ඒ පහරදුන්නෙත් මේ දකුණෙ අධිනිෂ්චය වුණ අධිපති දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන විකල්ප පරිකල්පනයන්ට එරෙහිව. මම හිතන්නෙ මේ ගැන දැන් ස්විට්සර්ලන්තයේ ෆ්‍රීබර්ග් නුවර ඉන්න අප මිත්‍ර Terrel Abeysinghe ට සජීවී අත්දැකීමක් ඇති.
ICCPR පනත යටතේ අත්අඩංගුවට ගන්න නම් රබාත් මූලධර්ම මත කරුණු හයක් තෘප්ත වෙන්න වුවමනා බව පැහැදිලිව තියෙද්දිත්, ඒ කිසිවක් නොසලකා  ICCPR පනතේ අර්ථ නිරූපණයට ගත නොහැකි ක්‍රියාවකට අත්ඩංගුවට ගත්ත Ramzy Razeek ට සහ නටාශා එදිරිසූරියට බන්ධනාගාරගත වෙන්න සිදුවුණා.

images
ඇත්තටම මේ ප්‍රශ්නය දීපාගෙ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය සමාජමය ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්නය,
ICCPR පනත යටතේ වරදක් තෘප්ත නොවී නටාෂලා අත්අඩංගුවට ගත් සමාජයක...
ICCPR පනත යටතේ වරදක් සිදුකරලත් ඒ නිසා අත්අඩංගුවට ගැනීම සිදුකරන්න කියලා නීතිපති උපදෙස් ලැබිලත් තවම මඩකලපුවේ අම්පිටියේ සුමන භික්ෂුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්.

මිත්‍රවරුනි,
අපි අවධාරණය කරගන්න අවශ්‍යම කොටස තමයි මේක ආණ්ඩුවක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සමාජමය ප්‍රශ්නයක් කියන එක. එහෙම ප්‍රශ්නයක් විසඳන්න හුදු ආණ්ඩු මාරුවකින් විතරක් බැහැ. ඒක ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.
කාලාන්තරයක් තිස්සෙ රාජ්‍ය යාන්ත්‍රණය සහ සමාජයේ අධිපති දෘෂ්ටිවාදය එකට මුහුවෙලා තමයි මේ ප්‍රශ්නයේ වර්තමාන ස්වභාවය හැඩගස්සවලා තියෙන්නෙ. මේක දෘෂ්ටිවාදී ප්‍රශ්නයක්.
අපි ජීවත්වන සමාජය තුළ අධිනිෂ්චය වූ දෘෂ්ටිවාදය නිදහස් සමාජ වටිනාකම් කෙරෙහි නැඹුරු වූ දෘෂ්ටිවාදයක් නෙමෙයි. ඒක ස්වෝත්තමවාදය පදනම්වුණු රාජ්‍යකේන්ද්‍රීය දෘෂ්ටිවාදයක්.
ඒ අධිපති දෘෂ්ටිවාදය අධිනිෂ්චය වූ සමාජය ඇතුළෙ එකී දෘෂ්ටිවාදය විනිවිදින විචාරණ ප්‍රශ්න කරන හැමෝම දීපචෙල්වන් ලා.
දීපචෙල්වන් ගෙ ප්‍රශ්නය ගැන සංවේදී හැමෝම කරන්න ඕන පුළුල් ප්‍රතිසංස්කරණවාදී කතිකාවකට එකතුවෙන එක.

images 1
ස්වෝත්තමවාදී රාජ්‍යකේන්ද්‍රීය අධිපති දෘෂ්ටිය සමානාත්මතාවාදී පුරවැසිකේන්ද්‍රීය දෘෂ්ටියකට පරිවර්ථනය කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු හොයන එක.  
මම හිතන විදිහට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් තෙවැදෑරුම් උත්සහයකින් පමණයි.
එනම්,
1. ව්‍යුහාත්මක
2. කාර්යපටිපාටිමය
3. ආකල්පමය වශයෙන් වූ පුළුල් ප්‍රතිසංකරණ ක්‍රියාවලියක් තුළිනි.
ව්‍යුහාත්මක වෙනස කරන්න පුළුවන් ප්‍රධානම තැන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. කාර්යපටිපාටිමය වෙනස කරන්න පුළුවන් පනත් සහ රෙගුලාසි ප්‍රගතිශීලී ලෙස සංශෝධනය කරමින්. ආකල්පමය වෙනස කරන්න පුළුවන් පුළුල් සමාජ කතිකාවක් තුළින්.
ඒ වගේම සමාජ ආකල්පමය පැත්තෙන් මේක විසඳන්න තවත් විදිහකින් මැදිහත් වෙන්න පුළුවන් වෙන්නෙත් සෞන්දර්යය සහ කලාවටම තමයි.
ඒක විශාල සමාජ පරිවර්ථනයක් වෙනුවෙන් සිදුකරන සෞන්දර්යය චාරිකාවක් වෙන්න පුළුවන්. ඒ තුළින් තමයි සමාජ කතිකාව පුළුල් වෙන්නෙ.
ඇත්තටම විකල්ප දහරාවේ කලාව හැමදාම කරේ මර්ධනීය ආණ්ඩුවලට එරෙහිව සෞන්දර්යය මැදිහත්වීම. දැන් අවශ්‍ය මර්ධනීය අධිපති දෘෂ්ටිවාදයට එරෙහි සෞන්දර්යය මැදිහත්වීමක් සහ ඒ ඔස්සේ කරන පුළුල් සමාජ කතිකාවක්.  ව්‍යුහාත්මක සහ කාර්යපටිපාටිමය ප්‍රතිසංස්කරණ වඩාත් අරුත් ගැන්වෙන්නෙ එවිට.
මේ ප්‍රශ්නෙදි දෘෂ්ටිවාදීව සමානව හිතන සියල්ලන්ටම තියෙන වැදගත්ම වගකීම තමයි අනිත් ප්‍රශ්න සියල්ල පැත්තකින් තියලා මේ පොදු කතිකාවට එකතුවෙලා මේ ප්‍රශ්නය නැවත අනාගත පරම්පරාවකට ඉතිරි නොකර විසඳන එක.

මේක ආණ්ඩුවකට ලඝුකරලා ගහලා පොඩි දේශපාලන ආතල් එකක් අරගන්න පාවිච්චි කරන්න හොඳ මාතෘකාවක් නෙමෙයි. මේක ආණ්ඩුවත් වාඩිකරගෙන සාකච්ඡාකරලා විසඳන්න ඕන ප්‍රශ්නයක්.
අපිට පෙර පරම්පරාව අපේ පරම්පරාවෙ අනාගතය එක්ක මේ දේශපාලන සෙල්ලම කරා. අපි දැන්වත් අපේ දරු පරම්පරාවේ අනාගතය එක්ක ඒ සෙල්ලම කරන එක නතර කරමු.

 

akalankaඅකලංක හෙට්ටිආරච්චි

 

 

 

 

සබැදි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

දීපචෙල්වන් ගේ (පමණක් නොව) ලිවීමේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු

දීපචෙල්වන් සිද්ධිය සහ ඉන් ඔබ්බට...

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න