Image

දීපචෙල්වන් සිද්ධිය සහ ඉන් ඔබ්බට...

දීපචෙල්වන් සිද්ධිය සහ ඉන් ඔබ්බට...

ලේඛක දීපචෙල්වන් ගේ කෘති කිහිපයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගැනීම සම්බන්ධයෙන් මතු වී ඇත්තේ බොහෝ ඝෝෂාකාරී කතාබහකි.

එක් කණ්ඩායමක් භාෂණයේ අයිතිය යන කේන්ද්‍රීය හා පරමාදර්ශීය පදනමේ පිහිටා මේකට විරෝධය පාති. තවත් කණ්ඩායමක් කිසි දෙයක් සොයා නොබලාම මෙය සාධාරණීකරණය කරති. ඒ මූලික වශයෙන් දමිළ රචකයෙක් ලංකාවට සාධාරණ දෙයක් නොලියනු ඇත යන පදනමේ පිහිටාය.

තවත් කණ්ඩායමක්, විශේෂයෙන් ආණ්ඩුව හා ඍජුවම සම්බන්ධිත පුද්ගලයින්, භාෂණයේ නිදහස ගැන කතා කළ ද, එසේ කරන්නේ, යමෙක් විසින් තමන් ලියන දේ ගැන සංහිඳියාව පැත්තෙන් පරිස්සම් විය යුතුය යන කතාවත් කියමින්ය. නමුත් අපි ජීවත්වන ලෝකය මෙතරම් සරලව සහ කළු-සුදු විලසින් තේරුම්ගත හැකිද? මේ කිසිවෙකු හෝ දීපචෙල්වන් ගේ අදාළ පොත් කියවා ඇති බවක් ද නොපෙනේ.

මම මේ කෙටි සටහන ලියන්නේ, ඉන්දියාවේදී මෑතකදී දෙවරක් වාරණයට ලක් වූ ලේඛකයෙක් විදියට; මේ සියලු දේ දෙස වඩාත් විධිමත්ව හා චිත්තවේගීය හා දේශපාලනික පදනම්වල හිර නොවී බලන්න පුරුදු වෙච්ච කෙනෙක් හැටියට; සහ මීට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා කලා මණ්ලයේ විධායක කමිටුවෙන් ඉල්ලා අස්වූ අයකු ද වශයෙනි.

කිසිදු පොතක් වාරණයට ලක් නොවිය යුතු ය

1. පර්මාදර්ශීයව නම්, කිසිදු පොතක් වාරණයට ලක් නොවිය යුතු ය. භාෂණයේ නිදහස ලොව සැම තැන තිබිය යුතුය. නමුත් ලෝකයේ කොහිවත් එවන් පරමාදර්ශී තැනක් හෝ යථාර්ථයක් නැත. එය සැම විටම පවතින්නේ සාපේක්ෂ වශයෙනි. භාෂණයේ නිදහස සමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය හා අදහස් ප්‍රකාශකරන්නන් අතර පවතින අවිධිමත් එකඟතාවක් මතය. එනම්, සමාජයට ‘ගැටලු ඇතිවන යමක්’ නොලියනු ඇත යන බෙහෙවින් අවිනිශ්චිත විශ්වාසය මත පදනම් වෙමින්ය. නෛතිකව නම්, භාෂණයේ නිදහස සීමා කරන්නට රාජ්‍යයට නොයෙකුත් පදනම් සහ බලතල ඇත.

මෙය ලොව අන් සියළු රටවලට මෙන්, ලංකාවටත් පොදුය. නමුත් අවාසනාව වන්නේ, මෙරට මෙන්ම ලොව අන් තැන්වලින් ද අපට පෙන්වා දී ඇති පරිදි, මේ තත්ත්වය රාජ්‍යයයන් විසින් මෙන්ම එක් එක් රටවල සිටින බලවත් කණ්ඩායම් ද විසින් සිය බලය යොදවා නොයෙක් විට උල්ලංඝනය කරන බවයි.

ගැටලුව දුරදිග ගියේ ඇයි...?

2. මේ සාමාන්‍ය තත්ත්ව තුළ, දීපචෙල්වම් ගේ ප්‍රශ්නය කුමක්ද? මම කියවා ඇත්තේ ඔහුගේ කෘති දෙකක් පමණි. ඒ සිංහල පරිවර්තන ලෙස ය. මට ඒ දෙකේම ගැටලුවක් තිබුණේ නැත. රේගුවට පොතක් හෝ වෙන ඕනෑම දෙයක් පිළිබඳ සැකයක් තිබේ නම්, එය රඳවාගෙන සොයා බැලීමේ නෛතික අයිතියක් ඇත. මේ පිළිබඳ ගැටලුවක් තිබිය යුතු නැත. එය ලොව සැම තැන ක්‍රියාත්මකවන සාමාන්‍ය තත්ත්වයකි.

එනමුත්, ප්‍රශ්නය මතුවන්නේ ද මෙතැනදී ය. දීපචෙල්වම් ගේ කෘති රඳවා ගැනීමේ පදනම අප අද වන තුරු පැහැදිලිව දන්නේ නැත. අපිට ඒ ගැන රේගුව, සංස්කෘතික අමාත්‍යාංශය හෝ ආරක්ෂක අමාත්‍යාංශය කිසිවක් නිසියාකාරව පැහැදිලි කර දී නැත. එසේ නිසි කලට කළේ නම්, දැනට උද්ගත වී ඇති ගැටලුව මෙතරම් දුර දිග නොයන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

සමස්ත ගැටලුව

3) මට පෙනෙන විදියට මේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අප ඇසිය යුතු ප්‍රශ්න වන්නේ මේවාය: මේ කෘති රඳවාගත්තේ, ඒවා මැනැවින් කියවා බලා, ඒවායේ අන්තර්ගතය තේරුම්ගෙන ගෙන ඇගයීමට ලක් කිරීමට පුහුණුව හා පළපුරුද්ද තිබූ කණ්ඩායමක් විසින් ද? එසේ කිරීමට අවශ්‍ය ආයතනික හා තාක්ෂණික හැකියාව අදාළ රජයේ ආයතනවලට තිබේ ද? නැතිනම්, එය කළේ එම කෘති දෙමළ බසින් තිබුණ නිසාම මතුවූ කුමක් හෝ සැකයක් නිසා ද? පිට රටවල මුද්‍රණය කර මෙරටට ගෙන්වන සිංහල හා ඉංග්‍රීසි පොත් ද මෙවැනිම සෝදිසියකට යොමු කරනවා ද? මේ කෘති නවතාගත්තේ පැහැදිලිවම, ශ්‍රී ලංකා රේගුව සතු නෛතික බලය මත ද, නැතිනම් යුද සමයේ සිට ක්‍රියාත්මක කළ යම් යම් භාවිත හෝ පුරුදු මත පදනම් වෙමින් ද?

අපි මේ කිසිඳු ප්‍රශ්නයකට පිළිතුරු දන්නේ නැත. අපි බොහෝ දෙනා එවන් ප්‍රශ්න ඝෝෂාවකින් තොරව මතුකරනන්නට උත්සාහ ගෙන ඇත්තේ ද නැත. රජය එවන් ප්‍රශ්නවලට සැක සාංකා ඇති නොවාන ලෙසින් පිළිතුරු දෙන්නට උත්සාහ අරගෙන ද නැත. මේ නිසා, පුද්ගලිකව, මම නම් මේවාට පිළිතුරු දන්නේ නැත. එමන්ම, ඒ ගැන කවුරුන් හෝ විශ්වාස කළ හැකි ලෙසකින් මට තවමත් පැහැදිලි කර දී ඇත්තේ ද නැත.

‘ජාතික ආරක්ෂාවට’ වඩාත් හානි සිදුවන ක්‍රම

4) රජය සහ ඊට පාක්ෂික කණ්ඩායම් විසින් දැනට ප්‍රචාරය කරන කතිකාව තුළ මතුකරන ප්‍රධාන සංකල්ප දෙකකි. එයින් එකක් ‘ජාතික ආරක්ෂාව’ ය. අනෙක, ‘සංහිඳියාව’ ය. මෙමගින් කියන්නේ, මේ කෘතිවලින් මේ තත්ත්ව දෙකටම හානි වන බව ය. එනමුත් මෙය ඍජුව කියන්නේ ද නැත. එසේ වන්නේ කෙස්ද යන්න ඔවුන් පැහැදිලි කරන්නේ ද නැත. කෙසේ නමුත්, අපි අනිවාර්යයෙන් දැන ගත යුත්තේ, එසේ වන්නේ කෙසේ ද යන්නය.

එම කෘති ඇතැම් විට ප්‍රචණ්ඩත්වය පදනම් කර ගත් ලොව අන් නොයෙක් රටවල ප්‍රකාශයට පත්කර ඇති බොහෝ නවකතා හෝ කවි මෙන් ඒ ප්‍රචණ්ඩ තත්ත්ව ගැන කතා කරන කෘති විය හැකි ය. නැතිනම්, ඒ ප්‍රචණ්ඩත්වයේ ඇතැම් පාර්ශ්වකරුවන් (මෙහිදී එල්.ටී.ටී.ඊ සවිධානය හෝ එහි සමාජිකයින්) උත්කර්ශයට නංවා තිබිය හැකි ය. නමුත් මෙමගින් ම ‘ජාතික ආරක්ෂාවට’ හෝ ‘සංහිඳියාවට’ හානි සිදු වේද? එමගින් රටේ ‘ජාතික ආරක්ෂාව’ පළුදු වේද?

මෙරටම ලියා පළ කර ඇති අනේක යුධ චරිතපදානවල සහ ඇතැම් දේශපාලනික රචනාවල මෙවැනිම අන්තර්ගතයක් නැත්ද? වසරකට සැරයක් පවත්වන ඉල් විරු සමරුවලින් සිදුවන්නේ රාජ්‍ය-විරෝධී කටයුතුවලදී මියගිය ජ.වි.පෙ. සාමාජිකයින් සැමරීම හා උත්කර්ෂයට නැංවීම නොවේද? අප රටේ මේ තත්ත්ව පදනම් කරගෙන කෙතරම් නවකතා හා කවි දැනටමත් සිංහලයෙන් ලියැවී ඇත්ද? නමුත් මේ කිසිවක් ‘ජාතික ආරක්ෂාව’ හෝ ‘සංහිඳියාව’ යන කරුණු පදනම් කරගෙන සංසරණයෙන් ඉවත් කර නැත.

මේ තත්ත්ව තුල, යම් ලියවිල්ලක් හෝ භාවිතයක් ‘ජාතික ආරක්ෂාවට’ හෝ ‘සංහිඳියාව ට’ හානි කරන්නේ කෙසේ ද සහ තවත් එවැනිම ලියවිල්ලක් එසේ නොකරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සමාජය දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම, ‘සංහිඳියාව’ සහ ‘ජාතික ආරක්ෂාව’ යන අදහස් ඒවායේ පරිසමාප්ත අර්ථයෙන් ගත්ත ද, ඒවායේ වගකීම සහ බර දෙමළ ලේඛකයින් මත පමණක් පැටවිය නොහැක.

එය සිංහලයෙන් ලියන අපගේ ද වගකීමකි. අප ද දැරිය යුතු බරකි. නමුත් දැනට වෙළෙඳ පොළේ තිබෙන සිංහල හා ඉංග්‍රීසි බසින් මෙරට පලකළ පොත් පත් දෙස බලන විට, මේ වගකීම ඒ සෑම පොතක් සම්බන්ධයෙන්ම පවත්වාගෙන ගොස් ඇති බවට මේ රජය හෝ පෙර බලයේ සිටි රජයන් වග බලාගෙන තිබේද?

මා සිතන පරිදි ‘ජාතික ආරක්ෂාවට’ වඩාත් හානි වන්නේ පොත්වලට වඩා අප රටේ ජාතික සම්පත් විදේශිකයින්ට විකුණා දැමීම වැනි දේ තුළිනි. උදාහහරණයකට, හම්බන්තොට වරායෙන් 85% ක කොටස් චීන රජයට අයත් සමාගමකට 2017 දී විකුණා දැමී ය. එලෙසින්ම, කොලොම්බෝ ඩොක් යාඩ් සමාගමෙන් 51% ක කොටස් ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමාගමකට 2025 දී විකුණා දැමී ය.

මේ කටයුතු දෙක මගින් ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් ඇති වේ. ඒ දෙකින්ම සිදුවන්නේ, අප රටේ කේන්ද්‍රීය හා සංවේදී ආරක්ෂක ස්ථානවලට ඍජු විදේශීය මැදිහත්වීම් සිදු කිරීමේ හැකියාව අතිවිශාල වශයෙන් වැඩි වීම සහ අපගේ ආර්ථිකයට හා ආරක්ෂාවට බලපෑම් එල්ල කිරීමට එම රටවලට ඇති හැකියාව වැඩි වීමය.

දීපචෙල්වම් ගේ හෝ අන් කිසිවෙකුගේ කෘතිවලට මෙවන් බලපෑමක් නම් එල්ල කළ නොහැකි ය.

5) මම විශ්වාස කරන්නේ, අපි මේ සම්බන්ධයෙන් කතා කළ යුත්තේ, මේ කරුණු ඔස්සේ සහ මේ සියල්ලට ම මනා අවධානයක් යොමු කරමින් බවයි. නමුත් මේ බොහෝ දේ සම්බන්ධයෙන් අපි පැහැදිලි තොරතුරු මැනැවින් දන්නේ නැතුවා මෙන්ම, මා කලින් කී ඝෝෂාව තුළින් තර්කයට ඇති ඉඩ හා යථාවට දිය යුතු තැන ද අඩු වී ගොස් ඇති බව ද පැහැදිලි ය.

නායකත්වය දිය යුත්තේ සංස්කෘතික අමාත්‍යංශය යි

6) රජය හා මේ සිද්ධියට ඍජුවම සම්බන්ධිත රාජ්‍යය ආයතන මේ සමස්ථ ක්‍රියාවලිය ම අපට විස්තර කරන්නේ නම් සහ අදාළ කෘතිවල අන්තර්ගතය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු අපට පැහැදිලි කර දෙන්නේ නම්, මේ සිද්ධිය මැනැවින් තේරුම් ගත හැකි වේ. තමන් ජනතාවාදී රජයක් බව වත්මත් රජය විශ්වාස කරන්නේ නම්, ඔවුන් විසින් කළ යුත්තේ ද මෙයයි.

මීට අමතරව, වඩාත් අත්‍යාවශ්‍ය වන්නේ, මේ සිද්ධිය මුල්කරගෙන මෙවන් තත්ත්ව තුළ දී අනාගතයේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් සම්පාදනය කර ගැනීම ය. එය දැනට ශ්‍රී ලංකා රේගුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යභාරයට වඩා පුළුල් කාර්යභාරයක් විය යුතුය.

culture

පරමාදර්ශීයව, මෙයට නායකත්වය දිය යුත්තේ සංස්කෘතික අමාත්‍යංශය බවත් එවන් නීති රාමුවක් සකසන කණ්ඩායමට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට අමතරව ඇතුළත් විය යුත්තේ, තෝරාගත් ස්වාධීන සංස්කෘතික ක්‍රියාධරයන් පමණක් බවත් මගේ විශ්වාසයයි. ඊට ආණ්ඩුවට සම්බන්ධ කිසිම සංස්කෘතික ක්‍රියාධරයෙක් හෝ අන් කිසිම දේශපාලන කණ්ඩායමකට අයත් කිසිදු අයෙක් හෝ සම්බන්ධ නොවිය යුතුය.

මේ සිද්ධියෙන් අනාගතය උදෙසා යම් ප්‍රයෝජනයක් ලබාගත හැක්කේ නම්, සිදු විය යුත්තේ මෙයයි.

(සිතුවම: ‘The Book of Kings’ [2025] සිතුවම් පෙළේ එක සිතුවමක්. © අනෝලි පෙරේරා)

 

සසංක පෙරේරාSasanka Perera

 

 

 

 

සබැදි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

 

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න