රේගු භාරයේ රඳවා ගෙන ඇති ලේඛක දීපචෙල්වන් ගේ කෘති නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් 2026.04.17 දින සංස්කෘතික අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක් වූ සහ ඔහු වෙනුවෙන් එහි රැස්වූ ලේඛක / සමාජ ක්‍රියාකාරීන් ගේ ස්ථාවරය.
2026 අප්‍රේල් 19
මාධ්‍ය නිවේදනය
ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත කෘති පහක පිටපත් රේගුව විසින් රඳවාගනු ලැබීමෙන් පසුව එය නිදහස් කිරීම හා සම්බන්ධ සාකච්ඡාවක් එම ලේඛකයාගේ ද සහභාගීත්වය ඇතිව සිකුරාදා දින (17) බත්තරමුල්ලේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දී පැවැත්වුණි. එහිදී දීපචෙල්වන්ට සහයෝගය දැක්වීම පිණිස එම පරිශ්‍රයට එක්වූ සිංහල සහ දෙමළ ලේඛකයන් සහ සමාජ ක්‍රියාකාරීන් ලෙස මේ ආකාරයට අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඒ පිළිබඳ නොමග යවනසුලු ප්‍රකාශ රාජ්‍ය මාධ්‍ය සේ ම සමාජ මාධ්‍ය හරහා ද මේ වන විටත් පළවෙමින් පවතින බැවිනි.
ඉන්දියාවේ මුද්‍රණය කර මෙරටට ගෙන්වන ලද දීපචෙල්වන් ගේ කෘති පහක පිටපත් 360ක් මාර්තු මස 18 වැනිදා රේගු භාරයේ රඳවා ගැනෙනු ලබන අතර, එය මාර්තු 27 වැනිදා වන විට ලේඛකයාට දන්වන ලදී. ඉන්පසු එම පොත් නිදහස් කිරීම සඳහා කෙරෙන සාකච්ඡාවක් යැයි පවසමින් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට එම ලේඛකයා කැඳවනු ලැබිණ. ඒ, සංස්කෘතික අමාත්‍යාංශය ලේඛකයා වෙත නිකුත් කළ ලිපියකින් ම සඳහන් වන පරිදි කෘති නිදහස් කිරීමට "මාර්ගෝපදේශන" ලබා දීම සඳහා ය.
කිලිනොච්චියේ සිට පැමිණි ලේඛකයා ඊට සහභාගි වූයේ එම සාකච්ඡාවෙන් පසු සිය කෘති නිදහස් කිරීම පිළිබඳ කිසියම් හෝ නිශ්චිත තීන්දුවක් බලාපොරොත්තුවෙනි. එනමුත් කණගාටුදායක ලෙස එම සාකච්ඡාව අවසන් වූයේ දීපචෙල්වන් ලියූ කෘති ගැන ජාතික කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනු-මණ්ඩලයේ නිරීක්ෂණ වාර්තාවක් සකසා තිබෙන බව පවසා එය රේගුව වෙත භාර දීමෙන් පසු පොත් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගනු ලබන බව දන්වමිනි.
දැනටත් ලංකාවේ වෙළඳපොළෙහි පවතින කෘති තුනක්ද ඇතුළත් තම පොත් තොගය රේගු භාරයේ රඳවාගෙන ඇති බව ලේඛකයා සමාජ මාධ්‍ය හරහා දන්වා සිටීමෙන් පසු, රජය කෙරෙහි මතු වෙමින් තිබූ මහජන අප්‍රසාදය කලමණාකරණය කිරීමේ උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබුණු මේ සාකච්ඡාව ආශ්‍රිතව අපට ඇති වූ ගැටලු කිහිපයකි.
1. සංස්කෘතික අමාත්‍යංශයට මේ ප්‍රශ්නය සමග නෛතික සම්බන්ධයක් නැති තත්ත්වයක් තුළ ඒ යටතේ පවතින ලංකා කලා මණ්ඩලයේ සහ රාජ්‍ය සාහිත්‍ය අනු-මණ්ඩලයේ සාමාජිකයන් දීපචෙල්වන් ගේ කෘති සම්බන්ධයෙන් දක්වන අදහස් ඇතුළත් නීරීක්ෂණ වාර්තාවක් සැකසීමේ අරමුණ කුමක්ද? එම වාර්තාවේ අන්තර්ගතය ප්‍රසිද්ධ නොකිරීමේ පදනම කුමක්ද?
2. අදාළ නිරීක්ෂණ වාර්තාව සංස්කෘතික ඇමතිවරයාට භාරදෙන බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි. එහෙත් සාකච්ඡාව තුළදී දැනුම් දුන්නේ එය රේගුවට භාර දෙන බවයි. සංස්කෘතික ඇමතිවරයාට භාර දෙන්නේ නම් එම නිරීක්ෂණ වාර්තාව ඉන්පසු රේගුව හෝ ආරක්ෂක අමාත්‍යංශය වෙත භාර දෙන්නේද?
3. එම සාකච්ඡාවේ දී තමන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන කිසිවක් තම කෘතිවල ලියා නැති බව ලේඛක දීපචෙල්වන් අවධාරණය කළේය. ඔහු ලියූ කෘති හතරක් "ගැටලු සහිත" බව රේගු පාර්ශ්වයෙන් දන්වනු ලැබීය. රාජ්‍ය කලා මණ්ඩල සහ සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයන් වෙතින්ද එම කෘති කිහිපයක ගැටලු පවතින බව ප්‍රකාශ විය. එසේ නම් එම ගැටලුකාරී තත්ත්ව පිළිබඳ නිර්වචන සපයමින් අවසන් විනිශ්චය ලබා දෙන්නේ කවුරු විසින්ද?
4. මීට ඉහත දී මේ හා සමානව රේගුව විසින් රඳවා ගනු ලැබූ ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන කෘති තිබේද? තිබේ නම් ඒවා මේ වනවිට නිදහස් කර තිබේද? ඒවා නිදහස් කිරීමට අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද?
ඉහතින් සඳහන් කරන ලද්දේ සිකුරාදා පැවති සාකච්ඡාව මූලිකව උද්ගත වූ ප්‍රශ්න සමූදායකින් කිහිපයක් පමණි. පිළියම් වෙනුවට තවදුරටත් ගැටලු සහ ව්‍යාකූලතා ඉතිරි කළ සාකච්ඡාවක් අවසන, කිලිනොච්චියේ සිට කොළඹට ගෙන්වාගත් ලේඛකයා, නිශ්චිත තීරණයක් ලබා නොදෙමින් ආපසු හිස් අතින් යැවීමට සැලැස්වීම පිළිබඳව ඔහුට සහයෝගය දැක්වීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට රැස්වූ අපි අපගේ තදබල විරෝධය පළ කරමු.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනේ. දීපචෙල්වන් ඔහු ගේ සමාජය දිගුකාලීනව මුහුණ පෑ පීඩනය සහ අයුක්තිසහගත පිළිබඳව ලියා තබන්නේ එම හිමිකම ව්‍යවස්ථාවෙන් ම හිමි වූ පුරවැසියෙකු හැටියටය.
තමන් ලියූ කෘති සම්බන්ධයෙන් ලේඛකයෙකුට මේ ආකාරයට නිලධාරීන් ඉදිරියේ පැහැදිලි කිරීම් කරන්නට සිදුවීම පවා අදහස් ප්‍රකාශනයේ නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස අපි හඳුනාගන්නෙමු.
පරිකල්පනයේ සහ අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කරන මෙවැනි පීඩාකාරී හා තර්ජනාත්මක සිදුවීම්වලට කවර ප්‍රජාවකට හෝ අයත් ලේඛකයන් මුහුණ නොදිය යුතුය. දකුණේ සිංහල සමාජය කේන්ද්‍ර කරගෙන අතීතයේ පැන නැඟුණු රාජ්‍ය විරෝධී කැරළිකාරීත්වය කෙරෙහි සහානුකම්පිතව සාහිත්‍යමය පරිකල්පන සහ දේශපාලන අදහස් දැක්වීමේ යෙදීමට බල නොපාන සීමා, වාරණ හා තර්ජනයන් දෙමළ හා මුස්ලිම් ජාතික ලේඛකයන්ගේ කෘති ඉලක්ක කරමින් මතුකරන්නෙ කවර යුක්තියක් යටතේද? යුද ගැටුම්, අවතැන්වීම්, මර්දනකාරීත්වයන් ඇතුළු පැතිරුණු ඛේදවාචකවලට ගොදුරු වූ ප්‍රජාවට අයත් ලේඛක-ලේඛිකාවන් තම සාමූහික ජීවන අනුභූති ප්‍රතිනිර්මාණය කළ යුත්තේ රාජ්‍ය හා එහි නිලධරයන් විසින් අනුමත කළ නිර්ණායකයන්ට යටත්ව යැයි නිර්දේශ කිරීම ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ විශ්වාසදායක මාර්ගය ලෙස වත්මන් ආණ්ඩුවත් සලකන්නේ ද?
සිකුරාදා පැවති සාකච්ඡාවේ දී ද අප විසින් නිශ්චිත ලෙස ම අවධාරණය කරන ලද්දේ ඔවුන්ගේ කෘති අන්තවාදී අදහස් දැක්වීම් ලෙස සැකමුසුව බලා, සිංහලෙන් ලියවෙන කෘතිවලට වඩා වෙනස්කොට බැහැර කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවට, ඔවුන් විඳි අව්‍යාජ අත්දැකීම් කවර හෝ වාරණයකින් තොරව අනෙක් ජනකොටස් හා බෙදාගැනීමේ විවෘත අවකාශය සහතික කළ යුතු බව ය.
ඒ අනුව, උපරිම විනිවිදභාවයකින් කටයුතු කරමින් දීපචෙල්වන් ගේ කෘති අප්‍රමාදව නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අපි අදාළ බලධාරීන්ට බල කර සිටිමූ. ඒ සමගම මීට ඉහතදී ද මෙවැනි කෘති රඳවා ගැනීම් සිදු වූ ලේඛකයන් වෙත් නම් ඔවුන්ට ද ඒ හා සමාන ලෙස සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු.
මින් ඉදිරියට ද, මෙවැනි පීඩාකාරී සිදුවීම්වලට කවර හෝ ලේඛකයකු මුහුණ නොදිය යුතුය. මෙවැනි සිදුවීම් හුදෙකලා සිද්ධීන් ලෙස සලකමින් සංදර්ශනාත්මක ලෙස යම් යම් ලේඛකයින් ගේ ප්‍රශ්නවලට පුද්ගලික මට්ටමින් කෙරෙන මැදිහත්වීම් වෙනුවට ලේඛනයේ සහ ප්‍රකාශනයේ නිදහස පොදුවේ ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට බියෙන් සැකයෙන් තොරව ලේඛනයේ යෙදීම සඳහා අවශ්‍ය වාතාවරණය සලසන රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයටත් නොපමාව කටයුතු කළ යුතු බව ද අපි අවධාරණය කරමු.
අවසාන වශයෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම වෙනුවෙන් සිය හඬ අවදි කරන ලෙස සියලුම සහෝදර ලේඛකයන්, පාඨකයන් ඇතුළු සාහිත්‍යකාමීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
*එම්.සත්‍යවේල් පියතුමා
*ශෙරාඩ් ජයවර්ධන පියතුමා
*අනූෂා සිවලිංගම්
*කත්‍යානා අමරසිංහ
*විරංජන හේරත්
*සංජුලා පීටර්ස්
*ජෝසෆ් ස්ටාලින්
*කනගසූරියර් ප්‍රදීප්
*ඉන්ෆාස් ඉස්සදීන්
*ටී.එම්.ජී.චන්ද්‍රසේකර
*දර්ශන කාහිංගල
*සුරේඛා සමරසේන
*සම්මානි විජේසිංහ
*රංග බණ්ඩාරනායක
*රන්ජන් ප්‍රනාන්දු
*ආලෝක බණ්ඩාර
*තරුරසී ප්‍රනාන්දු
*මො.ල. සෙනෙවිරත්න
*ජනක් මායාදුන්න
*සම්පත් සමරකෝන්
*ප්‍රසාද් තුසිත
*ඩී.එම්.එස්.ආරියරත්න
*ලාල් ලක්ෂ්මන්

සබැදි පුවත්
ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට
දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?
දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව
දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?
ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි
කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය
වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!
කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
