Language Switcher

V2025

හිරු කිරණ , තාපය සහ වායුවේ තෙතමනය කෝවිඩ් -19 ට එරෙහි බරපතළ ආයුධ බව සොයා ගනී...

හිරු කිරණ , තාපය පමණක් නොව වායුගෝලයේ ඇති තෙතමනය ( ආර්ද්‍රතාවය ) කෝවිඩ් -191 ට එරෙහිව බරපතළ ආයුධ බවට ඔප්පු කළ හැකි බව ඇමරිකානු රජය විසින් කළ අධ්‍යයනයකින් හෙළි කර ගෙන තිබේ.

හිරු කිරණ , තාපය සහ ආර්ද්‍රතාව නිසා කොරෝනා වෛරසය පැතිරීම දුර්වල වන බව ඔවුන් පවසති.

කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේදී හිරු කිරණ ,තාපය සහ ආර්ද්‍රතවය දුර්වල මූලද්‍රව්‍යන් ලෙස හඳුනා ගත් බව එක්සත් ජනපදයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරියෙකු වන බිල් බ්‍රයන් කියා තිබේ.

හිරු එළිය සහ පාරජම්බුල කිරණ කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය දුර්වල කරන බව ඔහු වැඩි දුරටත් පවසයි.

මෙම සොයා ගැනීම දිරිගන්වන සුළු සොයා ගැනීමක් බව එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් හඳුන්වා දී තිබේ.

මේ අතර , ප්‍රංශයේ මහජන සෞඛ්‍ය උපාධි පාසලේ වසංගත රෝග විද්‍යාඥයන් විසින් ප්‍රංශය තුළ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක් එළිදක්වා තිබේ.

මෙම අධ්‍යයනයට අනුව ඔවුන් පවසා ඇත්තේ ප්‍රංශය විසින් මේ වන විට නරකම දේ වලක්වා ගෙන ඇති බවය.

ප්‍රංශය වෛරසය පැතිරීම පාලනය නොකළේ නම් , ප්‍රංශ ජනගහනයෙන් 25% කට මෙම වෛරසය ආසාදනයවීමට ඉඩ තිබුණු බව ඔවුන් පවසති.

සැබවින්ම වෛරසය පාලනය නො කළේ නම් මේ වන විට රෝගීන් 6, 70, 000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමට සිදුවන බවත්, දැඩි සත්කාර ඒකක තුළ බරපතල රෝගීන් 1, 40, 000 ක් පමණ කළමනාකරණය කරගැනීමට සිදුවන බවත්, පුද්ගලයන් 60, 000 කට ආසන්න ප්‍රමාණයක් මිය යෑමට තිබුණු බවත් ඔව්හු පවසති.

මේ අතර, ප්‍රංශයේ පාස්චර් ආයතනය පවසන්නේ , ප්‍රංශය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවී ඇති මරණ සංඛ්‍යාව 0.5% ක් බවය. ප්‍රංශය කිරීටක වෛරසය පැතිරීම පාලනය නො කළා නම් පුද්ගලයන් 2, 50, 000 ක් පමණ මිය යෑමට ඉඩ තිබුණු බව එම අායතනය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ප්‍රංශ ජනාධිපති එම්මානුඑල් මැක්‍රෝන් අද (24) උදෑසන ප්‍රංශයේ ව්‍යාපාර ආයතනන නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත් විය.

මෙම සම්මන්ත්‍රණය සඳහා ජනාධිපතිවරයා සමඟ , ප්‍රංශ ආර්ථික කටයුතු අමාත්‍ය බෘනෝ ල මෙයර්, රාජ්‍ය ගිණුම් අමාත්‍ය ජෙරල් දාර්මොනි, විදේශ කටයුතු අමාත්‍ය ජොන් ඊව් ල ඩ්‍රිඔන් සහ රාජ්‍ය ලේකම් ජොන් බැප්තිස්ත් ල මොයින් එක්වී සිටියහ.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ව්‍යාපාර ආයතන ඉන් මුදවා ගැනීම සඳහා රජය විසින් අනුගමනය කිරීමට බලාපොරොත්තුව සැලසුම් මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත්කොට ඇත.

රජය විසින් අධ්‍යයනය කරන ලද විකල්ප අතර, ආපනශාලා හිමියන්ට සිදුවී ඇති මෙහෙයුම් පාඩුව පියවා ගැනීමේ දී, රජය විසින් තුනෙන් එකෙක් ද, රක්ෂණය විසින් තුනෙන් එකෙක් ද, ඉතිරි තුනෙන් එකෙ හිමිකරුවන් විසින් ද, යෙදිය යුතුය.

ආපනශාලා , සංචරක සහ හෝටල් ක්ෂේත්‍රයේ පිරිස් මෙම සාකච්ඡාව නියෝජනය කළ අතර, සංචාරක සහ ආපනශාලා ක්ෂේත්‍රය විශේෂයෙන් බලාපොරොත්තුවන්නේ 2020 වර්ෂයේ දී ගෙවිය යුතු දේශීය බදු ගෙවීම , මාස හයක් සඳහා කුලී ගෙවීම අවලංගු කිරීම සහ සේවකයන්ගේ අර්ධ විරැකියාව දීර්ඝ කිරීම බව ඔවුන් පෙන්වා දී ඇත.

මිලියනයක් වූ සේවකයන් සේවයේ යෙදී සිටින මේ ක්ෂේත්‍රය සඳහා නිශ්චිත ආධාර සැලැස්මක් සකස් කොට ඇති බව රජය පවසා ඇත.

ක්‍රේප් අලේවි කරන ස්ථාන වල සිට තරු 3 හෝටල් දක්වා පරාසය තුළ සිටින ව්‍යාපාර මිය යෑමට ඉඩ නොදී පණපිටින් තබා ගැනීම විශාල අභියෝගයක් බවත්, නැවත විවෘත කිරීම ගැන සිතීමට පෙර , බින්දුවටම වැටී සිටින ව්‍යාපාර ආයතන සුරැකීම ගැන සිතා බලා ඒවාට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් සුප්‍රසිද්ධ සුපවේදියෙකු වන ෆිලිප් එචෙබෙස් (Phillippe Etchebest ) පවසා ඇත.

ප්‍රංශයේ කොරෝනා වෛරසයේ ව්‍යාපතිය පිළිබඳව ඊයේ ප්‍රකාශයට පත කරන ලද සංඛ්‍යා ලේඛන වලට අනුවෙ අප්‍රේල් 23 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදනයෙන් පුද්ගලය 516 ක් මියගොස් තිබුණා.

වෛරසය ආසාදනයවූ පුද්ගලයන් ප්‍රමාණය 1, 20, 804 ක් වන අතර රෝහල්ගතව සිටින පිරිස 29, 219 ක් වෙනවා.

දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් සංඛ්‍යාව 5, 053 ක් බවත්, මේ වන විට ප්‍රංශය තුළ කොරෝනා වෛරස් ආසාදනයවීමෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයන් ප්‍රමාණය 21, 856 ක් බවත් අනාවරණය කරනු ලැබුවා.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )