Language Switcher

V2025

කොරෝනා වෛරසයට එරෙහිව ' නිකොටින් ' මඟින් ආරක්ෂිත බලපෑමක් කළ හැකි බවට ප්‍රංශයෙන් මතයක්...

නව කොරෝනා වෛරසයට එරෙහිව නිකොටින්වල බලපෑම පිළිබඳව සොයා බැලීමට ප්‍රංශ වෛද්‍යවරුන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

විද්‍යාත්මක පරීක්ෂණ සඳහා විශාලතම ප්‍රංශ ආයතනය වන , විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානය ( CNRS ) තර්කයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ නිකොටින්වලට කොරෝනා වෛරසයට ආරක්ෂිත බලපෑමක් කළ හැකි බවය.

මේ අතර විද්‍යා ඇකඩමියේ ජීව විද්‍යා ගිණුම් වල ලිපි පළ කර ඇති පැරිස් රෝහල් සමූහයේ මහජන සාහායක අංශය, සෝබෝන් විශ්වවිද්‍යාලය, ප්‍රංශ කොලීජිය, සහ පාස්චර් ආයතනයේ පර්යේෂකයෝ මෙම මතය තහවුරු කර ඇත.

මොවුන් විසින් ඊයේ (අප්‍රේල් 21) නිකුත් කළ නිවේදනය මගින් තර්ක කර සිටින්නේ මෙම කිරීටක වෛරසයට එරෙහිව ආරක්ෂිත බලපෑමක් නිකොටින් වලට කළ හැකි බවය.

පැරීසියේ පිහිටි ලා පිති සල්පෙත්‍රී (La Pitie - Salpetriere ) රෝහලේ සිටින රෝගීන් අතර දුම් පානය කරන රෝගීන් අතුරින් ප්‍රමාණාත්මක අද්‍යයනයක් ක ළ බවත්, ඒ අනුව, ව්‍යාප්තිය හා ව්‍යාධි විද්‍යාව තුළ නිකොටින් ඇසිටිල්කෝලින් ප්‍රතිග්‍රාහක යට කෝවිඩ් -19 ට එරෙහිව කේන්ද්‍රීය භූමිකාවක් ඇති බව ඔවුන් පවසනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අප්‍රේල් මස මුලදී රෝහල් ගත ක ර සිටි රෝගීන්ගෙන් 11, 000 ක් අතුරින් කළ අධ්‍යයනකින් හෙළි වී ඇත්තේ එම රෝගීන්ගෙන් දුම් පානය කරන රෝගීන් සිට ඇත්තෙ 8.5% පමණක් බවයි. ප්‍රංශයේ සමස්ත දුම් පානය කරන ප්‍රතිශතය 25.4% ක් බවත් පැරිස් රෝහල් සමූහයේ මහජන සාහායක අංශය පවසනවා.

එසේම මාර්තු අග දී ප්‍රකාශයට පත් කළ New England සගරාවේ පළ වූ චීන අධ්‍යයනයකින් ද මෙවැනිම තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. එම අධ්‍යයනට අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1000 ක් සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ එම පිරිසෙන් දුම් පානය කරන්නන් සිට ඇත්තේ 12.6% ක් බවයි. සාමාන්‍යයෙන් චීනය තුළ දුම් පානය කරන්නන් ගේ ප්‍රතිශතය 28% ක් බැවින් කොරෝනා ආසාදනය වී ඇත්තේ එම අනුපාතයෙන් ඉතා කුඩා ප්‍රමාණයකට බව එම ලිපිය පෙන්වා දෙනවා.

මේ අතර වෛරස් රෝගය සෘතුමය රෝගයක් බව, කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සෙවීම සඳහා පර්යේෂණයක නියැලී සිටින මහාචාර්‍ය දිදීඒ රවුල් ( Didier Raoult ) ප්‍රකාශ කොට තිබෙනවා.

මාර්සෙයි ( Marseille ) නගරයේ රෝග විනිශ්චය කරන ලද රෝගීන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර සඳහා රෝහල්ගත කරන රෝගීන් සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවත්, එමගින් මෙම රෝගය සැබවින්ම සෘතුමය රෝගයක් බවත් ඔහු පවසනවා.

සෞම්‍ය දේශගුණික රටවල ශ්වසන ආසාදිත වෛරස ශීතල සමයේ බහුලව දකින්නට ලැබෙන බව පවසන මහාචාර්‍යවරයා , මේ වසන්ත සමයේ දී මෙම වසංගතය මඟ හරවා ගත හැකි බව කියා සිටිනවා.

මේ අතර ප්‍රංශය තුළ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ (21) නවතම සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම සංඛ්‍යා ලේඛන වලට අනුව 21 වෙනි දිනෙන් ගෙවී ගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 531 ක් මියගොස් තිබෙනවා.

මේ වන විට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන් 1, 17, 324 ක් සිටින අතර, රෝහල්ගතව සිටින ප්‍රමාණය 30, 106 ක් වෙනවා.

දැඩි සත්කාර ඒකකවල රෝගීන් 5, 433 ක් සිටින අතර, මේ වන විට ප්‍රංශය තුළ මිය ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 20, 796 ක් වෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පිරිසෙන් මේ වන විට රෝගීන් 39, 181 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )